කුරුණෑගල ‘හොර දළඳා මාළිගාවේ පත්තිරිප්පුව’ කඩා ඉවත් කෙරේ

කුරුණෑගල ‘හොර දළඳා මාළිගාවේ පත්තිරිප්පුව’ කඩා ඉවත් කෙරේ


කුරුණෑගල ‘හොර දළඳා මාළිගාවේ පත්තිරිප්පුව’ කඩා ඉවත් කෙරේ

(08.01.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)

= කුරුණෑගල දළඳා මාළිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කෙරේ =

කුරුණෑගල, පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පු කොටස මේ වන විට කඩා ඉවත් කරමින් තිබෙන බව වාර්තා වනවා.

එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ පත්තිරිප්පුව බව කියන ඉදිකිරීමේ වහළ මේ වනවිට ඉවත් කරමින් තිබෙන බවයි.

මෙම ව්‍යාජ දළදා මාළිගාව සම්බන්ධයෙන් දැඩි මතබේදාත්මක තත්වයක් උද්ගතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි මහනායක හිමිවරුන් ද රජයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ඊයේ (07) පිටත්ව ගිය අතර, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ පුරාවිද්‍යා පනත අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි ෴


කිරිබත්ගොඩ දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

(08.01.2023 – 10:03 +0530 – hirunews.lk/sinhala)

කිරිබත්ගොඩ, ඊරියවැටිය හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ඇති වූ ගින්නකින් එහි උඩු මහල සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

මහල් දෙකකින් යුත් මෙම අලෙවිසැලේ අද (08) උදෑසන ගින්න හටගෙන තිබූ අතර, එය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් (2) යොදාගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴


මිනිස් ජාවාරම්වලට හසුවීමෙන් වළකින ලෙස නාවික හමුදාවෙන් දැනුම්දීමක්

(08.01.2023 – 07:20 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කර මිනිස් ජාවාරම්වලට හසුවීමෙන් වළකින්නැයි නාවික හමුදාව ජනතාවට දැනුම් දෙනවා.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ මෙහෙයුමකදී එලෙස මිනිස් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ, මීගමුව ප්‍රදේශයේදීයි.

මෙම සැකකරුවන් පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) ගෙන් රුපියල් ලක්ෂ පනහකට (50,00,000) අධික මුදලක් ලබාගෙන ඇති අතර, ඔවුන් හලාවත සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

පසුගිය කාලය තුළ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් සංක්‍රමණයවීමට උත්සාහ කළ කණ්ඩායම් කිහිපයක්ම ආරක්ෂක අංශ භාරයට ගැනුණා.

එලෙස සංක්‍රමණය වීමට ගිය ශ්‍රී ලාංකිකයන් 300කට අධික පිරිසක් වියට්නාම මුහුදේ අතරමංව සිටියදී නොවැම්බර් මාසයේ මුදාගත් අතර, ඉන් එකසිය පනස් දෙදෙනෙකු දෙසැම්බර් 27 වනදා යළි ශ්‍රී ලංකාවට පැමිණියේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ මැදිහත්වීම මතයි ෴


18 වංගුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා

(08.01.2023 – 09:22 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – මහියංගනය 18 වංගුව මාර්ගයේ 14 සහ 15 වංගු අතර ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වනවිටත් එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, එහි පස් ඉවත්කරමින් පවතින බවයි.

එමෙන්ම රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ තවදුරටත් පස් කඳු කඩාවැටීමේ අවදානමක් පවතින හෙයින් සැළකිළිමත්ව රිය ධාවනය කරන ලෙසයි ෴


ඕමානයේ සුරක්ෂා නිවසේ සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් හත්දෙනෙකු (7) දිවයිනට

(08.01.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

ඕමානයේ මස්කට් නුවර සුරක්ෂා නිවසෙහි රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් හත්දෙනෙකු (7) කටුනායක ගුවන් තොටුපල වෙත එවා තිබෙනවා.

යූ.එල්. 206 දරණ යානයෙන් අද (08) අලුයම දිවයිනට පැමිණි පිරිස අතර, වෙන්නප්පුව, ත්‍රිකුණාමලය, කින්නියා සහ මඩකලපුව ප්‍රදේශවල කාන්තාවන් පිරිසක් සිටින බව සඳහන්.

ඕමානයේ සුරක්ෂා නිවසේ ගෘහ සේවිකාවන් 118 දෙනෙකු රඳවා සිටි අතර, ඔවුන්ගෙන් 11 දෙනෙකුයි මෙලෙස ශ්‍රී ලංකාවට පිටත් කර හැරීම සඳහා මස්කට් ගුවන් තොටුපල වෙත එවා තිබුණේ.

කෙසේ වෙතත් ලියකියවිලි ගැටළු හේතුවෙන් ඉන් සිව්දෙනෙකුට (4) පැමිණිමට නොහැකිවී ඇති අතර, ඉතිරි හත්දෙනා (7) ශ්‍රී ලංකාවට එවා ඇති බවයි වාර්තාවන්නේ ෴


ෂාෆ්ටර් දිවිනසාගත් කතාව නැවත නැවත පළකිරීම පොලිසියට ප්‍රශ්නයක්

(07.01.2023 – gossiplankanews.com)

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නොමැති පසුබිමක ඔහු දිවිනසාගත් බවට ප්‍රබන්ධ කතා පතුරුවා හැරීමට ඇතැම් මාධ්‍ය උත්සාහ දරා ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

ඇතැම් මාධ්‍ය මෙය සියදිවි නසා ගැනීමක් බවට ප්‍රකාශ කිරීමට එක්වරක් උත්සාහ ගෙන නැන්දම්මාට ලියූ ලියුමක් හා නිවසේ තිබී හමුවූ ලණු කැබලි ගැන ප්‍රබන්ධ කතාවක් ප්‍රචාරය කිරීමෙන් පසු පොලිස් මාධ්‍ය ඒකකයෙන් ඒ සියලු කරුණු අසත්‍ය බවට නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් නැවතත් සතිඅන්ත පුවත්පතකින් ප්‍රචාරයක් යවා ඇත්තේ ෂාෆ්ටර් දිවිනසාගන්නට මරණයට දින 5 කට පෙර ගත් උත්සාහයක් ගැනයි. එම කතාව නිල වශයෙන් එළියට දමා නැති බව හා ඥාතීන්ට පමණක් පොලිසිය පවසා ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මෙම කරුණු සියල්ල අසත්‍ය බව නැවත වතාවක් පොලිසිය පවසයි.

සෙනසුරාදා සවස පොලිසිය ප්‍රකාශ කරන්නේ එවැනි නිගමනයක් කරා විමර්ශකයන් තවමත් එළඹී නැති බවයි.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා පසුගිය මස 15 වනදා බොරැල්ල සුසාන භූමියේදී දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් හමුවූ පසු සමාගමේ විධායක නිලධාරියෙකු වූ ක්‍රිෂ් පෙරේරා සහ බොරැල්ල කනත්තේ කම්කරුවෙකු ෂාස්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර පැය 5 කට පසුව මරණයට පත්වූයේය.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් ෂාෆ්ටර් මහතාගේ බිරිද, නැන්දනිය ඇතුලු 84 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කළ අතර ඔහු ගමන් කළ මාර්ගයේ සීසීටීවී කැමරා දර්ශන 40 කින් පමණ දත්ත ලබාගෙන විශ්ලේෂණය කිරීමට කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධ අවසන් නිගමනයක් තවම ප්‍රසිද්ධ කර නැත ෴


යුක්රේනයෙන් පුපුරණ ද්‍රව්‍ය මිලදී ගෙන කොටුවේ මහ බැංකු බෝම්බ පිපිරීම සිදු කළ හැටි වසර 27 කට පසු හෙළිවෙයි

(08.01.2023 – 19:19 +0530 – lankaleadnews.com)

කැනඩාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් අශෝක වීරසිංහ මහතා හෙළිකරන්නේ 1997 ජනවාරි 31 දා සිදුවූ කොටුවේ මහ බැංකු බෝම්බ පිපිරීම සඳහා ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය ටොන් 50 ක් සහ ආර්.ඩී.එක්ස්. පුපුරණ ද්‍රව්‍ය ටොන් 10 ක් මිලයට ගෙන ඇත්තේ යුක්රේනයේ රුබේයෝන් රසායන කම්හලෙන් බව ය.

කොටුව බෝම්බ පිපිරීමෙන් සියයකට (100) අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වූ අතර, මෙම ප්‍රහාරය පිළිබද තොරතුරු මෙලෙස අනාවරණය වන්නේ වසර 27 කට පසුවය.

බෝම්බ සෑදීම සදහා අධිබල පුපුරණ ද්‍රව්‍ය මිලයට ගෙන ඇත්තේ කැනඩාවේ වැන්කුවර්හි බැංකුවක ඩොලර් මිලියන 7 ක ගිණුමකින් වන අතර, ගිණුමේ හිමිකරු ද්‍රවිඩයකු බවද අශෝක වීරසිංහ මහතා තවදුරටත් හෙළිකර ඇත.

එහෙත් කැනඩාවේ ආණ්ඩු අද වනතුරු එම සිද්ධිය ගැන පරික්‍ෂණ පවත්වා නොමැති බවත් ඒ මහතා සදහන් කරයි.

කොටුවේ බෝම්බ පිපිරීම ප්‍රභාකරන් සිදුකළ බවට තහවුරු වූයේ බෝම්බකරුවන්ට තෑගි කළ ‘තෑගි බෝම්බයේ’ තිබී පොලිස් ත්‍රස්තමර්දන ඒකකයේ පරීක්‍ෂක නිලාබ්දීන් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු තුනක් (3)සොයාගැනීම නිසාය ෴


බුදු දහමට අපහාස කිරීම ප්‍රකාශන නිදහසද? – ඉසුරු ප්‍රසංග

(08.01.2023 – 19:51 +0530 – lankaleadnews.com)

බෞද්ධ සංකේතතවලට අපහාස කිරීම අද විලාසිතාවක් බවට පත්වී ඇති බවත්, මෙය කාලාන්තරයක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක් බවත් ‘අනාගතය අපි’ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සදහන් කරයි.

+


පොලිස් සැරයන්වරයෙක් මෙහෙයවූ මංකොල්ල කල්ලියක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි

(08.01.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

රථවාහන පොලිසියේ ලෙස පෙනී සිටිමින් පොලිස් සැරයන්වරයෙකු මෙහෙයවූ මංකොල්ල කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ හලාවත පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු තවත් සිව් (4) දෙනෙකු සමඟ එක්ව කොල්ලකෑම් රැසක් සිදුකර ඇති බවයි.

මෙහි ආසන්නතම සිදුවීම වාර්තාවන්නේ කැකිරාව – ගිරානේගම ප්‍රදේශයෙන්.

පසුගියදා මෙම සැරයන්වරයා ඔහුගේ සඟයන් සිව්දෙනා සමඟ පොලිස් නිල ඇඳුමින් සැරසී ගිරානේගම ප්‍රදේශයේ පාළු ස්ථානයක සැඟව සිට තිබෙනවා.

එහිදී සංචාරක වෙළඳාමේ පැමිණි ලොරි රථයක් නවතා පවසා ඇත්තේ මෙහි මත්කුඩු ඇත්දැයි සැකයක් පවතින බැවින් එය පරීක්ෂා කිරීමට අවශ්‍ය බවයි.

පසුව ලොරි රථය තුළ තිබූ රුපියල් ලක්ෂ 28 ක මුදලක් කොල්ල කා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොල්ලකෑම් සිදුකර පලායන සැකකරු පසුපස ලොරි රථයේ රියදුරු ලුහුබැඳ ඇති අතර, එහිදී ලොරි රථය එක් සැකකරුවෙකුගේ යතුරුපැදියේ ගැටී තිබෙනවා.

එහිදී ඔහු බිම ඇද වැටී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව එම පුද්ගලයා පොලිසියට භාර දී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ජාවාරම මෙහෙයවූ පොලිස් සැරයන්වරයා ඇතුලු සෙසු පුද්ගලයන් තුන්දෙනා (3) පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.

වැඩිදුර පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ මෙම පොලිස් සැරයන්වරයා මෙලෙස කාලයක් තිස්සේ රථවාහන පොලිසියේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් තවත් කිහිපදෙනෙකු සමඟ එක්ව මෙලෙස කොල්ලකෑම්වල නිරතව සිට ඇති බවයි ෴


උතුරු දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ඇරඹෙයි

(08.01.2023 – 14:10 +0530 – hirunews.lk/sinhala)

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තේ දක්වා ප්‍රතිසංස්කරණ කටයුතු අද (08) ආරම්භ වුණා.

ඒ, මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන පිරිස් හි ප්‍රධානත්වයෙන්.

මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට සමගාමීව, ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිස අනුරාධපුර රුවන්වැලි සෑ පරිශ්‍රයේදී ඊයේ (07) ආගමික වතාවත්වල නිරත වුණා.

+


ශ්‍රී ලංකන් දුන් බෝනස් ගැන පරිපාලන ලේකම් කතා කරයි

(08.01.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයින්ට පසුගියදා හිමි වූ මුදල, ප්‍රසාද දීමනාවක් නොව තමන්ට ලැබිය යුතු මුදලක් බව එහි අන්තර් සේවක සංගමය පවසනවා.

එහි පරිපාලන ලේකම් නිසල් අධිකාරී මේ අදහස් පළකළේ කටුනායක පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

+


පිරිමිකම හිතට ගත් දිරිය යකඩ ගැහැණිය

(08.01.2023 – 14:16 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑම් හමුවේ මෙරට බොහෝ පිරිසකට ජීවත් වීම පවා දැඩි අභියෝගයක් වී තිබෙනවා.

එම අභියෝග හමුවේ වුවද ජීවිතයට ධෛර්යවන්තව මුහුණ දෙන පිරිස් ද සමාජයේ නැතුවාම නොවෙයි.

මේ තොරතුරු එලෙස ධෛර්යවන්තව අභියෝගවලට මුහුණ දෙන දිරිය කාන්තාවක් පිළිබඳවයි.

මේ අම්බලන්තොට නෝනාගම පදිංචි රෝහිණී මල්ලිකායි.

28 හැවිරිදි දෙදරු (2) මවක් වන ඇයගේ සැමියාද මීට වසර කිහිපයකට පෙර ඇගෙන් වෙන්වී තිබෙනවා.

එක්දරු (1) මවක්වන සිය නැගණිය අසනීප වීම හේතුවෙන් ඔවුන් රැකබලා ගැනීමේ වගකීම පැවරෙන්නේ ද රෝහිණීටයි.

එලෙස නැඟණියගේ නිවසට පැමිණෙන රෝහිණි ප්‍රධාන ජීවනෝපාය පොල් කැඩීමයි.

නැගණියගේ දියණිය අධ්‍යාපන කටයුතුවල නිරතවන්නේද රෝහිණී පොල් කැඩීමෙන් සොයා ගන්නා මුදලින්.

පොල් කැඩීමට අමතරව අම්බලන්තොට නෝනාගම ප්‍රධාන මාර්ගයේ තැඹිලි, දෙල් ආදිය විකිණීම මගින්ද රෝහිණී සිය දිවි ගමනට ශක්තියක් ලබා ගන්නවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *