වදාකඩ ‘හොර දළඳා මාලිගාව’ ගැන සොයන්න රහස් පොලීසිය යයි – මර්වින් සිල්වාත් හදිසියේ එයි

වදාකඩ ‘හොර දළඳා මාලිගාව’ ගැන සොයන්න රහස් පොලීසිය යයි – මර්වින් සිල්වාත් හදිසියේ එයි


වදාකඩ ‘හොර දළඳා මාලිගාව’ ගැන සොයන්න රහස් පොලීසිය යයි – මර්වින් සිල්වාත් හදිසියේ එයි

(07.01.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ‘ව්‍යාජ දළඳා මාලිගාව’ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද (07) එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ අදාළ කණ්ඩායම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතින බවයි.

මේ අතර, මෙම ‘ව්‍යාජ දළඳා මාලිගාව’ සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් සෝමරත්න විදානපතිරණ කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන්ද ඉල්ලීමක් කළ බවයි.

ඊට අමාත්‍යාංශය සහයෝගය දැක්වීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

ඊට අමතරව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නියමිත පරිදි අනුමැතිය ලබා ගැනීම, ආධාර මුදල් එකතු කිරීම, විදේශ ආධාර ලැබීම් ආදිය පිළිබඳව විමර්ශනය කරන ලෙසද පොලිස්පතිවරයා වෙත දැනුම්දුන් බව ලේකම්වරයා කියා සිටියා.

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට සමාන අංග කිහිපයක් සහිත එම ස්ථානයේ පත්තිරිප්පුවට සමාන ආකාරයේ ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමෙන් එය දළඳා මාලිගාවේ අනුරුවක් ලෙස නිර්මාණය කිරීමට උත්සාහ දරා ඇති බව පැහැදිලි වනවා.

එමෙන්ම, ගොඩනැගිල්ල අභ්‍යන්තරයට ඇතුළුවන දොරටුවද නිර්මාණය කර ඇත්තේ ශ්‍රී දළඳා මාලිගාවේ ද්වාරයට සමාන ආකාරයෙන් වන අතර අභ්‍යන්තරයේ ඇති චෛත්‍යයද ඊට සමාන ආකාරයෙන්ම ඉදිකර තිබෙනවා.

බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී දළඳා වහන්සේ තැන්පත් කර ඇති රන් කරඬුව ආකාරයේම කරඬුවක් මෙම ස්ථානයේද තැන්පත් කර තිබීම පිළිබඳවයි.

කෙසේ වෙතත්, මෙය නිර්මාණය කර ඇති ‘ජානක සේනාධිපති’ නැමැත්තා පවසන්නේ එය පිත්තලෙන් නිර්මාණය කර රන් ආලේප කරවූවක් බවයි.

විවිධ ලෙඩරෝග සුව කරන බවට ගෙන යන ප්‍රචාරයත් සමඟ මෙම ස්ථානයට බොහෝ ජනතාවක් ඇදී එන ආකාරයද දැකගත හැකියි.

එහෙත් ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට තමන්ට කිසිදු සුදුසුකමක් නොමැති බව ජානක සේනාධිපති විසින්ම පිළිගනු ලැබුවා.

මේ අතර, ‘සුරකිමු දළඳා’ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මෙම ව්‍යාජ දළඳා මාලිගාව යැයි කියන ස්ථානය පිළිබඳ මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළා.

එම පිරිස පළමුවෙන් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දුටුවා.

අනතුරුව එම පිරිස අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැක මේ සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා.

මේ අතර, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (07) පෙරවරුවේ කුරුණෑගල පිහිටි ව්‍යාජ දළඳා මාලිගාව පවතින ස්ථානයට පැමිණි එහි ගොඩනැගිල්ල නිරීක්ෂණය කළා ෴

+++++++++

+++++++++

ජංජාලයයි. මර්වින් දළදා මාලිගා අනුරුව බලන්න ගිහින් යකා නටයි. කඩන්න කියයි.

+++++++++

+++++++++++

කුරුණෑගල ‘හොර බෝසතා’ මහා පරිමාණ ඉඩම් කොල්ලයක…

(07.01.2023 – 13:20 +0530 – lankacnews.com)

= කුරුණෑගල බෝසතුන් මහා පරිමාණ ඉඩම් කොල්ලයක… =

කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ආධ්‍යාත්මික ශක්තියෙන් විවිධ කටයුතු සිදු කරන පුද්ගලයෙකු ලෙස හඳුන්වන ‘ජානක බෝධිසත්වයන්’ ලෙස පෙනී සිටින පුද්ගලයා විසින් රුපියල් කෝටි තුන්සියයකට (300) අධික මහා පරිමාණ මුදල් වංචාවක් සිදු කර ඇතැයි චෝදනා එල්ල වෙයි.

විහාරස්ථාන වල චෛත්‍යය සැදීමට බව පවසමින් මෙම මුදල් වංදා සිදුකර ඇති බව ‘දුක හඳුනන අපි’ සංවිධානයේ නිර්මාතෘ නිලන්ත රණසිංහ මහතා පවසයි.

ආරාමයකට බව පවසමින් ජනතාවගේ ඉඩම් ඔහුගේ නමට සහ ඔහුගේ පුත්‍රයාගේ නමට ලබා ගැනීමට කටයුතු කර ඇතැයිද නිලන්ත රණසිංහ මහතා හෙළි කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

+++++++++++

++++++++++

පොතුහැර ව්‍යාජ දළදා මාලිගාවේ හොර වෙදා රෝගීන් සුවපත් කිරීමේ දර්ශන

+


+


06-01-2023

බෞද්ධ දහමට අපහාස කරන ‘රැඩිකල්’ නිරාගමිකයන්ගේ කැලන්ඩරය

(07.01.2023 – 16:22 +0530 – lankaleadnews.com)

ජනවාරි –

ජනවාරි යනු ‘රැඩිකල්’ සහෝදරයන්ගේ අවුරුදු සමයයි. බක් මසේ එළඹෙන සිංහල අලුත් අවුරුද්ද ඔවුන් පිළිනොගන්නා නිසා ජනවාරි මාසයේ සැමට සුබ පතමින් අලුත් අවුරුද්ද පිළිගැනීම සිදුකරයි. අවුරුද්ද මෙසේ ගත කළ යුතු යැයි රටටම උපදෙස් ද බෙදාදෙයි.

පෙබරවාරි –

පෙබරවාරි ඇරඹෙන්නේම ‘රැඩිකල්වාදීන්’ට අපූරු කටගැස්මක් ලබා දෙමිනි. ඒ නිදහස් සමරුවයි. නිදහසක් තිබෙනවාද නැද්ද ? ජාතික ගීය සිංහලෙන් විතරක් කිව යුතුද? දෙමළෙන් කියන්නේ නැද්ද ? ජාතික ගීයට දෙමළ හා සිංහල දෙකම කලවම් කරන්න ඕනෑය, සුද්දා ආවේ නැත්නම් අපි තවමත් හෙලුවෙන්ය… යනාදී පණ්ඩිතකම් කියවමින් ඔවුහු පෙබරවාරියේ පළමු දෙසතිය ගතකරති. පෙබරවාරි මැද හරියේ එළැඹෙන පෙම්වතුන්ගේ දිනයද ‘රැඩිකල්වාදීන්ට’ මගුල් දිනයකි. ලංකාවේ අනිත් සියල්ලෝම ආදරය කරන්නට, ආදරය විඳින්නට දන්නේ නැතිය, දන්නේ අප පමණක්මය, අනිත් උන්ට සමාජය සමග ‘ඇරියස්’ එකක් තිබෙනවාය, ආදරය වපුරන්නට ඕනෑය, නිරුවතින් පාරේ ඇවිදින්නට ඕනෑය, යනාදී දහසක් දේ කියමින් පෙබරවාරි අවසන් කරයි.

මාර්තු –

මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙන සමයයි. ඉතින් ඒ වෙනුවෙන් ලංකාව මානව හිමිකම් කඩ කරා යනුවෙන් ඔප්පු කිරීම මාර්තුවේ ඔවුන්ට පැවරෙන වගකීමයි. යුද්ධයේදී ආරක්ෂක හමුදාව සිවිල් වැසියන් මැරුවාය, දේපළ විනාශ කරාය, කාන්තාවන් දූෂණය කරාය, මාධ්‍යවේදීන් අතුරුදන් කරාය… යනුවෙන් කියන්නට දේ දහසකි. ඒ ටික කියන්නට මාර්තු මාසයම මදිය.

අප්‍රේල් –

අප්‍රේල් සිංහලයන්ගේ අලුත් අවුරුදු සමයයි. දැන් ඉතින් ‘රැඩිකල්වාදීන්’ එය විවේචනය කරන්නට පටන් ගනී. අවුරුද්ද සිංහලයන්ගේ නොවේය, තිරික්කල් රේස් පැදීම තුළින් ගවයන්ට හිංසා වන්නේය, කණාමුට්ටිය – අන්ධයාට කිරි කැවීම වැනි ජනක්‍රීඩා මගින් ආබාධ සහිත පුද්ගලයන්ට අපහාස වන්නේය, අවුරුද්දට නිවාඩු දීම මගින් ජාතික ආර්ථිකයට හානි වන්නේය… යනුවෙන් කියවමින්ම හොර රහසේ කැවුම් කොකිස් රහ බැලීමටද ‘රැඩිකල්වාදීහු’ අමතක නොකරති.

මැයි –

මැයි වල තියෙන්නේ වෙසක්ය. මැයි පළමු වෙනිදා ‘රැඩිකල්වාදීන්’ට වැඩ වැඩිය. එදාට බොහෝ ‘රැඩිකල්වාදීහු’ රතු කමිස හැඳ කම්කරුවන්ගේ දිනය සැමරීමට එක්වෙති. අනතුරුව ටික දිනක් යනවිට වෙසක් ළං වෙත්ම බුදුහාමුදුරුවන් කියා කෙනෙක් සිටි බව ‘රැඩිකල්වාදීන්’ට සිහි වන්නට පටන් ගනී. වෙසක් කූඩු බොරු වැඩක් යැයි කියයි. පහන් දැල්විය යුත්තේ හදවතේ බව කියයි. තොරණ හදන්නට පුවක් ගස් කපන්න එපා යැයි කියමින් බිම පෙරළෙයි. දන්සැල් දීම බොරු වැඩක් යැයි කියයි. දන්සැල් වලින් කන්නේ පොහොසත් සල්ලිකාරයන් බවත් ඔවුන්ට කෑම බීම හොඳහැටි තිබෙන බවත් කියමින් කාර් වෑන් වලින් ගොස් අඳුරන දන්සැලකින් කෑම කා එති. හොරෙක්, මිනීමරුවෙක් ආවත් දන්සැලෙන් බත් කටක් නොදී පිටත් නොකරනා සිංහල බෞද්ධයෝ මේ ආවේ තමන්ට ගරහන ‘රැඩිකල්වාදියෙක්’ බව දැන දැනම සංග්‍රහ කරති. ඒ සිංහල බෞද්ධයන්ගේ හැටිය. දන්සැලෙන් හොඳ හැටි කා බී ගෙදර යන ගමන් මුහුණු පොතේ දන්සැල් දීමට එරෙහිව පෝස්ටුවක් පළ කරන්නටද ‘රැඩිකල්වාදීහු’ අමතක නොකරති.

ජුනි –

මැයි, ජුනි මාස දෙකම බෞද්ධ ආගමික කටයුතු පැවැත්වෙන කාලසීමාවන්ය. විශ්වවිද්‍යාල, පාසල්, රජයේ කාර්යාල.. මේ සෑම තැනකම විවිධාකාර බෞද්ධාගමික ක්‍රියාකාරකම් පැවැත්වේ. ඉතින් ‘රැඩිකල්වාදීන්’ට මේවා පෙන්නන්නට බැරිය. විශ්වවිද්‍යාල, පන්සල් කරන්නට එපා යැයි මොරදෙති. වෙසක් කූඩුව හතර පැත්තේ සර්වාගමික ලාංඡන ඇලවීමට යෝජනා කරති. මේ මාස දෙකේ ඔවුන්ට තව වැඩක් පැවරී ඇත. එනම් යුධ විජයග්‍රහණය පැවැත්වෙන නිසා එයට එරෙහි වීමයි. මාර්තු මාසයේ වාදනය කළ තැටිය නැවත වාදනය කෙරේ, යුද්ධයකින් ජය ගන්නේ කවුදැයි අසයි, අපි හැමෝම පැරදුණා යැයි කියයි, රණවිරුවා කියා කෙනෙක් නැති බව තහවුරු කිරීමට වෑයම් කරයි. වැඩ ගොඩකි.

ජූලි – අගෝස්තු –

මේ එළඹෙන්නේ ඇසළ පෙරහැර සමයයි. මේ කාලයට ‘රැඩිකල්වාදීන්’ බුදියන්නේද මහනුවර දළදා මාළිගාව දෙස බලාගෙනය. ඇහැරෙන්නේද දළදා මාළිගාව දෙස බලාගෙනය. ඒ දළදා හාමුදුරුවන් කෙරෙහි ඇති සැදැහැයෙන් කියා ඔබ සිතනවා නම් එය වැරදිය. ඔවුන් ඒ හොයන්නේ පෙරහැරට පැමිණි හීලෑ අලි ඇතුන් ගැනය. පෙරහැරේ යන අලියා ඔවුන්ගේ ප්‍රධානම තේමාව වේ. මහා සත්ත්ව හිංසනයක් වන බව කියයි. ධාතු කරඬුව ලොරියක ගෙන යෑමටද යෝජනා කරයි. ඒ මාස දෙක හීලෑ අලි වෙනුවෙන්ය. ඒ කුණු කා මියැදෙන ‘වන අලි’ මාකට් කළාට ඩොලර් නොලැබෙන නිසාය.

සැප්තැම්බර් –

සැප්තැම්බර් යනු සාහිත්‍යය මාසයයි. ‘රැඩිකල්’ සාහිත්‍යකරුවන්ද එළියට බහින්නේ මේ කාලයටය. අගක් මුලක් නැති ප්‍රලාප මහා සාහිත්‍යය නිර්මාණ සේ හුවා දක්වමින් ‘රැඩිකල්’ විචාර ද ලියැවේ. පිංපෙට්ටි කඩා දමා හෝ නාට්‍ය තනන්නට යෝජනා කරයි. ‘රැඩිකල් බුක් ලෝන්ච්’ හැමතැනමය. ඒවායේ පැය ගණන් ‘රැඩිකල්’ දෙසුම්ය. දෙසුම ඉවර වෙද්දී කියුවේ මොනවාදැයි කාටවත්ම වැටහී ද නැත.

ඔක්තෝබර් –

විශේෂ වැඩසටහනක් නොමැති මෙවැනි මාසවල ‘රැඩිකල්වාදීහු’ පාරේ යන කැහැටු බල්ලන් අල්ලාගෙන උන්ට සත්කාර කරති. බිස්කට් කවති. බෑග් එකෙන් කෝප්පයක් ගෙන වතුරද බොන්නට දෙති. කොහේ හෝ තැනක බල්ලෙක් දෙන්නෙක් මියගොස් සිටියහොත් ආණ්ඩුව බල්ලන් මරා දමා ඇතැයි විරෝධතා පෙළපාලිද යති. මේවා වෙනුවෙන් විකාර නම් සහිත සංවිධාන ද පිහිටුවාගෙන තිබේ. බුද්ධ පූජාව තහනම් කර පූජා කරන ආහාර මෙවැනි සතුන්ට දිය යුතු යැයි යෝජනා කරයි.

නොවැම්බර් –

නොවැම්බර් යනු තවත් වැඩ අධික මාසයකි. මන්ද උතුරේ ඇතැම් අන්තවාදීන් මහවිරු සැමරුම් පවත්වන මාසයයි. ඉතින් දකුණේ එය සාධාරණීකරණය කරන්න පැවරෙන්නේ ‘රැඩිකල්වාදීන්’ටය. උතුරේ පහන් දල්වන විට දකුණේත් පහන් දැල්විය යුතු බව කියයි. ත්‍රස්තවාදීන්ද මව්වරුන්ගේ දරුවන් බව කියයි. හමුදාව යුධ අපරාධ කළ බවත් ත්‍රස්තවාදීන්ට ඒ වෙනුවෙන් වන්දි දිය යුතු බවත් කියයි. නොවැම්බරයේ ‘හැලොවීන්’ නමින් මළවුන් සමරන කෙළියකටද ඇතැම් ‘රැඩිකල්වාදීන්’ මහත් අභිරුචියකින් එක්වනු පෙනේ.

දෙසැම්බර් –

මේ නත්තල් සමයයි. නිරාගමික ‘රැඩිකල්වාදීන්’ද හොරෙන්ම වගේ නත්තලද සමරයි. වෙසක් කූඩුවේ කුරුසය ඇලවීමට යෝජනා කරත් නත්තල් ගස මුදුනේ ධර්ම චක්‍රය සවි කිරීමට යෝජනා කරන්නේ නැත. එය ‘රැඩිකල්’භාවයට හානියකි. ‘රැඩිකල්’ වන්නේ බුද්ධාගමට හා හාමුදුරුවන්ට තඩි බෑවොත් පමණකි.

‘රැඩිකල්වාදීන්’ගේ වාර්ෂික සැලැස්ම ඔයාකාර වන්නේය.

පසන් චාමර
(උපුටාගැනීමකි)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *