නීති විරෝධී මැතිවරණ ක‍්‍රියා – පලමු චෝදනාව ජනාධිපතිට එරෙහිව …

නීති විරෝධී මැතිවරණ ක‍්‍රියා – පලමු චෝදනාව ජනාධිපතිට එරෙහිව …


නීති විරෝධී මැතිවරණ ක‍්‍රියා – පලමු චෝදනාව ජනාධිපතිට එරෙහිව …

(06.01.2023 – 22:22 +0530 – lankacnews.com)

මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම කැඳවීමට ජනාධිපතිවරයාට බලතලයක් හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය :

මැතිවරණ කොමිෂන් සභාවට නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලතල තිබේද ?

අද (05) දින රජය සතු පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨයන්හි දැක්වෙන්නේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විවිධ මතවල සිටින බැවින් නීතිපතිගේ උපදෙස් විමසිය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති බවයි.

ජනාධිපතිවරයාට එවැනි බලතලයක් තිබෙන බව හෝ මැවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම කැඳවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බැලීමේදී පෙනී යයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර යම් බෙදුණු මතයක් ඇත්නම් ගත හැකි ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (අ) වගන්තියේ දැක්වේ.

“කොමිෂන් සභාවේ තීරණ ඒ ඒ රැස්වීමට පැමිණ ඡන්දය දෙන්නාවූ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ගනු ලැබිය යුතු අතර යම් විටක සමසමව ඡන්දය ලැබුන හොත් ඒ රැස්වීමේ සභාපතිවරයාට තීරක ඡන්දයක් හිමි වේ”

ව්‍යවස්ථාව පැහැදිලිය, එයට බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් නැත, මන්ද ඔහු ද දේශපාලන පක්ෂයක නායකයෙකු බැවින් එය ළබැඳියාව අතර ගැටුමක් වන බැවිනි.

සියලුම පළාත් පාලන මැතිවරණ මේ වන විට පවතින්නේ කාලය වසරකින් දීර්ඝ කිරීමෙන් අනතුරුවය. පවත්නා නීතිමය තත්ත්වය අනුව මාර්තු මස 20 වන විට නව පළාත් පාලන ආයතන අනිවාර්යෙන් ස්ථාපිත කිරීමට සිදුවේ. ගිය වසරේ අයවැයෙන් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් වෙන් කොට ඇත. අධිකරණ ක්‍රියාමාර්ගයක දී රජයට මැතිවරණයක් පැවැත්වීමට මුදල් නොමැති බව පවසා ඡන්දය කල් දැමීමෙන් ශ්‍රී ලංකාව තුළ ‍ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බව ජාත්‍යන්තරයට පෙනී යනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලංකාවට සහය වීමට සිටින රටවල් වලට ද මේ තත්ත්වය මැතිවරණයට මුහුණ දීමට භය, දේශපාලන ස්ථාවරත්වයක් නැති රජයක් ලෙස වර්තමාන රජය පිළිගැනීමට ලක් වීමට ඉඩ ඇත.

මේ තත්ත්වය අපට සිහිකරන්නේ ජනාධිපතිවරයා ගේ මාමා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබාගත්, මහමැතිවරණ නොපවත්වා ජනමත විචාරයකින් වසර හයකින් (6) පාර්ලිමේන්තු කාලය දික් කරගත් අතීතයයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ද වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් එම තත්ත්වය ඔප්පු කරන්නේ තවදුරටත් කොමිෂන් සභා කිසිවක් පිළිබඳ ජනතාවට විශ්වාසයක් තබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය
NPOC


රුපියල් කෝටි ගණනක් වටිනා කල් ඉකුත් වූ ඔසු ඖෂධ සංස්ථාවේ

(07.01.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2019 වසරේ ජනවාරි 01 වනදා වනවිට තත්ත්වයෙන් අසමත් වූ, කල්ඉකුත් වූ සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය රුපියල් 11,60,62,583 ක් බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වන අතර, සමාලෝචිත වර්ෂයේදී එලෙස තත්ත්වයෙන් අසමත් වූ, කල්ඉකුත් වූ සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය රුපියල් 5,16,76,681 ක්.

එම ඖෂධවලින් තත්ත්වයෙන් අසමත් ඖෂධවල පිරිවැය රුපියල් 2,46,32,504 ක් වන අතර, ඉන් 69,03,953 ක් 2020 වසරේ මැයි 12 වනදා වනවිටත් අයකරගෙන නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන්.

2018 වසරේදී සහ 2019 වසරේදී ඖෂධ කල්ඉකුත් වීම සහ හානිවීම හේතුවෙන් සංස්ථාවට දැරීමට සිදුව තිබූ මුළු අලාභය රුපියල් 8,37,99,538 ක්.

එසේම, 2018 වසරේදී ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරීව පැවති ඔසුසැල් 40 න් ඔසුසැල් 24 කින් ලැබී තිබුණු මුළු අලාභය රුපියල් 4,51,39,259 ක් බව විගණන වාර්තාවෙන් හෙලි කර තිබෙනවා.

සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාකාරීව පැවති ඔසුසැල් 46 න් 15 කින් ලැබී තිබුණු මුළු අලාභය රුපියල් 2,24,12,586 ක්.

මේ අතර, 2018 සහ 2019 වර්ෂවල අවස්ථා 14 කදී වෛද්‍ය සැපයීම් අංශය සඳහා රුපියල් 89,11,81,800 ක් වැයකර ගලනාල සහ පියයුරු පිළිකා සඳහා භාවිත කරන ‘ට්‍රස්ටුසුමැබ්’ මිලිග්‍රෑම් 440 එන්නත් තොගයක් මිලදී ගෙන තිබූ බව විගණන වාර්තාවේ සඳහන්.

එම ඖෂධ ඒකකයක් සඳහා 2018 අගෝස්තු 31 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පැවති උපරිම පාලන මිල රුපියල් 95,000 ක් වූවත්, එම වසරේ සැප්තැම්බර් 04 වනදා නිකුත් කර තිබූ ගැණුම් ඇණවුමේදී කරන ‘ට්‍රස්ටුසුමැබ්’ ඖෂධ ඒකක 500 ක් සඳහා ඒකකයකට රුපියල් 1,35,900 බැගින් මුදල් ගෙවා තිබෙනවා.

ඒ අනුව පාලන මිලට වඩා වැඩියෙන් සැපයුම්කරුට ගෙවා තිබූ මුදල රුපියල් 2,04,50,000 ක් බවයි විගණනයෙන් පෙන්වා දෙන්නේ.

එසේම, ඉහළ ගණයේ ප්‍රතිජීවකයක් වන ‘සෙෆ්ට්‍රයක්සෝන්’ මිලිග්‍රෑම් 500 එන්නත් කුප්පි 80,000 ක් රුපියල් 18.72 බැගින් මිලදී ගැනීමේ ප්‍රධාන ඇණවුම 2018 වසරේදී නිකුත් කර තිබී ඇති අතර, එම තොගය ප්‍රමාද වී සපයා ඇති බව විගණන වාර්තාවේ සඳහන්.

ඒ හේතුවෙන් ඇති වූ තොග හිඟය වළක්වා ගැනීම සඳහා එම ඖෂධයෙන් ඒකක 10,998 ක් දේශීය වෙළඳපොලෙන් කුප්පියක් රුපියල් 490 බැගින් මිලදී ගැනීමට සිදුව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැරීමට සිදුව තිබූ අතිරේක පිරිවැය රුපියල් 51,83,137 ක් වූවත්, ඇණවුම් කොන්දේසි ප්‍රකාරව සැපයුම්කරුගේ ප්‍රමාදය හේතුවෙන් දැරීමට සිදුවී තිබුණු අතිරේක පිරිවැය සැපයුම්කරුගෙන් අයකර ගෙන නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් ෴

++++++++++

අපේක්ෂා රෝහලේ බෙහෙත් නැතිව රෝගීන් අමාරුවේ

(07.01.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

මහරගම අපේක්ෂා රෝහල තුළ පිළිකානාශක ඇතුළු ඖෂධ වර්ග කිහිපයක දැඩි හිඟයක් පවතින බව වාර්තා වනවා.

සමස්ත ලංකා හෙද සංගමයේ මහරගම ශාඛාවේ සභාපති ගාමිණි ගුණරත්න කියා සිටියේ දෛනිකව පැමිණෙන රෝගීන් බොහෝ පිරිසක් ඖෂධ නොමැතිකමින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි ෴


හෙරොයින් තොගයක් සමඟ ඇල්ලූ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

(07.01.2023 – 08:41 +0530 – hirunews.lk/sinhala)

මිරිස්ස ධීවර වරාය ආසන්නයේදී රුපියල් කෝටි 23 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා (5) දින හතක් (7) රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

නාවික හමුදාව පෙරේදා (05) අලුයම සිදුකළ මෙහෙයුමකදී ධීවර යාත්‍රාවක් සමඟ මොවුන් අත්අඩංගුවට ගත් අතර, එහි දී සැකකරුවන් සතුව තිබී කිලෝග්‍රෑම් 23 යි ග්‍රෑම් 235 ක් සොයාගනු ලැබුවා.

පසුව නාවික හමුදාව විසින් සැකකරුවන් සහ හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබුණා ෴


17 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු උසස් පෙළ උපකාරක පන්ති බෑ! – විභාග කොමසාරිස්

(07.01.2023 – 09:22 +0530 – hirunews.lk/sinhala)

ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ විභාගය අවසන් වන පෙබරවාරි 17 වනතෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධාන කිරීම සහ මෙහෙයවීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

එසේම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම මෙන්ම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීමද තහනම් වනු ඇති.

තව ද විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

2022 වසර සඳහා වන අ.පො.ස. සා.පෙළ විභාගය මේ වසරේ මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. කෙසේ නමුත් විභාගය පැවැත්වෙන නිෂ්චිත දින වකවානු දැනුම් දෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසන් අනුමැතියෙන් පසුව බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ ෴


උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ Whatsapp කණ්ඩායම අත්අඩංගුවට

(07.01.2023 – 11:51 +0530 – hirunews.lk/sinhala)

පුවරසන්කුලම්, තට්ටන්කුලම්, සහ සෙට්ටිකුලම් යන ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරමින් ක්‍රියාත්මක වූ ‘ගෙත්තු පසංග’ (Geththu Pasanga) යන නාමයෙන් හැදින්වෙන Whatsapp මගින් සංවිධාන කටයුතු මෙහෙය වූ කණ්ඩායමක් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (06) පුවරසන්කුලම පොලිස් වසමේ දී කරන ලද වැටලීමකින් මෙමෙ පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දා (05) පුවරසන්කුලම පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ලද තොරතුරු අනුව පුවරසන්කුලම්, තට්ටන්කුලම්, සහ සෙට්ටිකුලම් යන ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරමින් ක්‍රියාත්මක වන Geththu Pasanga යන නාමයෙන් හැදින්වෙන Whatsapp කණ්ඩායමක් සම්බන්ධව තොරතුරු වාර්තා වී තිබුණා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ඊට සම්බන්ධ වව්නියාව ප්‍රදේශයේ පදිංච් වසය අවුරුදු 18 ක් වන පුද්ගලයින් සිව් (04) දෙනෙකු ජංගම දුරකතන 04 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුවරසන්කුලම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බවයි විශේෂ කාර්‍ය බලකාය පවසන්නේ ෴


පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම ඇරඹේ

(07.01.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala)

රජයේ පාසල් සඳහා පෙළ පොත් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

ඒ අනුව පොත් වර්ග 300 කට අධික සංඛ්‍යාවකින්, පිටපත් මිලියන 43 ක මුද්‍රණය කටයුතු ආරම්භ කර ඇති බවයි ඇය කියා සිටියේ.

මාර්තු මාසයේ ආරම්භ වන නව පාසල් වාරයේ බෙදා හැරීමේ අපේක්ෂාවෙන් මෙම පෙළපොත් මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති බවයි රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ වැඩිදුරටත් සඳහන් කළේ ෴


නාවික රැකියා අපේක්ෂකයන් ‘කහ උණ එන්නත්’ ගැටළුවක

(07.01.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)

නාවික ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූ පිරිස්වලට රැකියාවට අනුයුක්ත වීමේ දී ලබා ගත යුතුව ඇති ‘කහ උණ එන්නත’ ලබා ගත යුතුව තිබුණ ද එය ලබා ගැනීමට නොහැකිවීමෙන් ඔවුන් ගැටලු රැසකට මුහුණදී ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

අදාල පුහුණුව ලැබූ පිරිස් රැකියාවට නිරත වීමේදී විදේශීය නැව් සමාගම් විසින් නියම කර ඇති නිර්නායකයන්ට අනුව කහ උණට ලබා ගත යුතු එන්නත ලබා ගැනීම අනිවාර්ය වනවා.

පවතින හිඟය හේතුවෙන් රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් මෙම එන්නත ලබා ගැනීමට තමන්ට නාවික රැකියාවට අනුයුක්ත වීමට නොහැකි වී ඇති බවයි නාවික පුහුණුව ලැබූ කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අදාළ පුහුණුව ලැබූ නාවිකයින්ට රැකියාවට අනුයුක්ත වීමේ ගැටලුව විසදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ අදාළ එන්නත් තොග තිබේ ද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයෙන් ද විමසීමක් කළා.

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන කියා සිටියේ කහ උණ සඳහා ලබාදෙන එන්නත තොගයක් මේ වනවිට ඇණවුම් කර ඇති අතර එය සති දෙකකින් (2) ලැබීමට නියමිත බවයි ෴


පාසල් අවට දුම්වැටි අලෙවිය තහනම් වන ලකුණු

(07.01.2023 – 13:04 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන්ට දිවා ආහාර වේල ලබාදීමේ වැඩපිළිවෙල මෙන්ම විශ්වවිද්‍යාලවල ආපනශාලාවල ආහාරවේලටද බිත්තර හිඟයෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පාසල් අවට දුම්වැටි අලෙවිය ද තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි ෴


ක්‍රෙඩිට් කාඩ්පත් දත්ත සොරාගෙන තරුණයෙක් ‘ගහපු ගේමක්’ – ගිහින් තියෙන්නේ පාසලේ 11 වසරට පමණයි

(07.01.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

අන් සතු ක්‍රෙඩිට් කාඩ්පත්වල දත්ත භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්‍ෂ 55 ක පමණ විවිධ භාණ්ඩ මිල දී ගත් 18 හැවිරිදි තරුණයෙකු CID අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත ප්‍රධාන පෙළේ සමාගමකින් ලද පැමිණිල්ලක් අනුව ‘සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය’ මගින් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මොහු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු විවිධ පුද්ගලයන් සතු කාඩ්පත්වල දත්ත භාවිත කරමින් ඔහු රුපියල් ලක්‍ෂ 28 ක පමණ මුදලකින් අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කර ඇති බව වාර්තා වෙනවා.

11 වන වසරට පමණක් අධ්‍යාපනය ලබා ඇති සැකකරු කුලී වැඩ කරන අතරතුර පරිගණක තාක්‍ෂණය සම්බන්ධයෙන් දැනුම ලබාගෙන ඇත්තේ ද අන්තර්ජාලය හරහායි.

කුඩා ජංගම දුරකතනයක් උපයෝගී කරගෙන ඔහු අන්සතු දත්ත ‘හැක් කිරීම්’ අත්හදා බලා ඇති බව සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඔහු මෙම වංචාව පළමුවෙන්ම අත්හදා බලා ඇත්තේ රුපියල් 50 ක පෙරගෙවුම් (Reload) ඇණවුම් කර එය සාර්ථක වීමෙන් පසුවය.

අනතුරුව ඔහු ටිකෙන් ටික ඉහළ මිල ගණන් තිබෙන විවිධ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුගේ පරිගණකය පරීක්‍ෂා කිරීමේදී අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත්වලට අයත් දත්ත ලක්‍ෂ පහක් (5,00,000) පමණ ගබඩා කර ඇති බවත් 2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට සැකකාර තරුණයා මෙම වංචනික ක්‍රියාව සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බහුතරයක් භාණ්ඩ සැකකරු අන්තර්ජාලය ඔස්සේ ගෙන්වාගෙන ඇත්තේ ව්‍යාජ ලිපින සඳහන් කර බවත්, එම භාණ්ඩ ලබා දීමට නොහැකිව බෙදාහැරීමේ සේවකයා ඇමතුම් ලබාදීමෙන් අනතුරුව ‘මම කිට්ටුව ඉන්නේ. ඇවිත් ගන්නම්’ යැයි කියා බෙදාහැරීමේ සේවකයා හමුවට ගොස් භාණ්ඩ ලබාගෙන තිබූ බවත් පොලිසිය පවසනවා.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *