දළදාව දැන් මහනුවර නෑ.. ළඟදීම මගේ ලඟට වඩිනවා.. – පොතුහැර දළදා මාලිගාවේ හිමිකරු ‘පොතුහැර ජානක’ මානසික රෝගී තුමා

දළදාව දැන් මහනුවර නෑ.. ළඟදීම මගේ ලඟට වඩිනවා.. – පොතුහැර දළදා මාලිගාවේ හිමිකරු ‘පොතුහැර ජානක’ මානසික රෝගී තුමා


දළදාව දැන් මහනුවර නෑ.. ළඟදීම මගේ ලඟට වඩිනවා.. – පොතුහැර දළදා මාලිගාවේ හිමිකරු ‘පොතුහැර ජානක’ මානසික රෝගී තුමා

(06.01.2023 – 09:20 +0530 – lankacnews.com)

= දළදාව දැන් මහනුවර නෑ.. ළඟදීම මගේ ලගට වඩිනවා.. – පොතුහැර දළදා මාලිගාවේ හිමිකරු පොතුහැර ජානක =

දළදා වහන්සේ නුවර දළදා මාලිගාවේ නොමැති බවත්, උන්වහන්සේ තමන් ළඟට ළඟදීම වඩින බවත් ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

‘බෝසත් ජානක’ නමැති මෙම පුද්ගලයා පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර මෙම අසත්‍ය ප්‍රචාරවල නිරතවන බවට කරුණු හෙළි වී ඇත. ඒ සඳහා ඔහුට දෙස් විදෙස් ආධාර ලැබෙන බවද දැන ගන්නට ඇත. මෙලෙස ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තමන් කිසිම අවසරයක් ලබා නොදුන් බව ​පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ. දිසානායක පැවසීය.

මොහු කරන මෙම ක්‍රියාවලියට විරෝධය දැක්වූ පුද්ගලයකු හට යම්කිසි පිරිසක් පහර දීමට කටයුතු කර ඇති හෙයින් එම පුද්ගලයා පොතුහැර පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇත.

‘බෝසත් ජානක’ නමැති පුද්ගලයා වසර හතරකට (4) පමණ පෙර පොතුහැර උප්පලවණ්ණා මෙහෙණි ආරාමයට පැමිණ ඇත්තේ බෝධිපූජා පැවැත්වීමට පමණක් අවසර ලබා ගැනීමට බව පොන්නිලමේ උප්පලවණ්ණා මෙහෙනින් වහන්සේ පැවසුවාය. අවසර ලබාදීමෙන් අනතුරුව බෙහෝ හිරිහැර පීඩාවන්ට තමන්ට ලක්වීමට සිදු වූ අතර එම ගැටලු විසඳා ගැනීමට නීතියේ සරණ පැතීමටද මෙහෙණින් වහන්සේලාට සිදු වූ බවද වැඩිදුරටත් පැවසුවාය. දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවලට චෛත්‍යය තනා දීමට දායක වන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන එලෙස ඉදිකරන ලද චෛත්‍යය ප්‍රමිතියෙන් තොර නිසා එම චෛත්‍ය කඩා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද එම විහාරස්ථානවල හිමිවරු කියති.

ව්‍යාජ දළදා මාලිගයක් තනාගෙන පිළිකා ඇතුළු නිධන්ගත රෝග සඳහා ප්‍රතිකාර ලබාදෙන බව කියන ‘පොතුහැර බෝසත් ජානක’ නමැත්තාට එසේ කිරීමට තමන් අවසර ලබාදී නොමැති බව වයඹ පළාත් ආයුර්වේද කොමසාරිස් එස්.එම්.ඒ.ආර්. සෙනවිරත්න පැවසීය.

දෙවියන් විසින් ලබාදුන් වට්ටෝරුවකට අනුව නිපදවූ තෙල් බව පවසා ජනතාවට ප්‍රතිකාර කරන මෙම පුද්ගලයා ආයුර්වේද ක්‍රම මගින් දරුඵල අහිමි කාන්තාවන්ට දරුඵල ලබාදෙන බව කියන බවද ආයුර්වේද දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති බව ද එහි උසස් නිලධාරියෙකු පැවසීය.

පොතුහැර ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පති, ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලිඛිතව ඉල්ලීමක් සිදු කළ බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි. දළදා මාලිගයට සමාන හැඬයකින් යුතු ගොඩනැගිල්ලක් තනමින් ‘බෝසත් ජානක’ නමැති පුද්ගලයකු විසින් පොතුහැර ප්‍රදේශයේ මෙම ව්‍යාජ මාලිගාව නිර්මාණය කර තිබේ.

‘ජානක සේනාධිපති’ නමැති පුද්ගලයකු විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව හා සමාන දළදා මාලිගාවක් කුරුණෑගල පොතුහැර වැදෑකඩ ප්‍රදේශයේ ඉදිකරන බවත් කඩිනමින් මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් සහ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබිණි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම සිදුවීම්වලට අදාළව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර ඒ අනුව මෙම විමර්ශන සිදුකෙරේ.

~ Aruna

++++++++

දළදාව පොතුහැරට වැඩිය පසු ‘ජානක සේනාධිපති’ රටේ රජකමට … – රහසිගත හඬ පටය මෙන්න …

(06.01.2023 – 14:10 +0530 – lankacnews.com)

කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ‘ජානක සේනාධිපති’ නැමැත්තෙකු විසින් පවත්වාගෙන යන ශ්‍රී දළදා මාළිගයට අනුරු ස්ථානයට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වඩින බවත් ඔහුගේ ප්‍රධාන සංවිධායකවරයෙක් වන ‘අවුලේගම කුමාර’ නමැත්තා පවසයි.

ඉන්පසුව ‘ජානක සේනාධිපති’ නැමැත්තා රටේ නායකයා බවට පත්වන බවට සඳහන් කරමින් නිලන්ත රණසිංහ නැමති අයෙකුට ලබා දෙන දුරකථන ඇමතුමක හඬපටයක් සමාජ ජාල වලට එක් කර ඇත.

++++++++

මානසික රෝගී තුමා

++++++++

බුද්ධාගම විකෘති කලේ, සමන්ත බඩ්ඩ.. දන්ත ධාතුව මාලිගාවේ නෑ ලූ – නිලන්ත රණසිංහ (08.12.2022)

++++++++

+++++++++++

+


ඝාතන සිද්ධියකට අදාළ ව අවශ්‍ය කර සිටි සැකකරුවකු පොලිස් වෙඩි පහරින් මරුට

(06.01.2023 – 07:03 +0530 – hirunews.lk/sinhala)

අද (06) අලුයම් කාලයේ දී හංවැල්ල පොලිස් වසමේ දිද්දෙණිය-කිඹුල්බෙනය ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගැනීමක් සිදු කිරීම සඳහා පිටත් වී තිබෙනවා.

අදාළ සැකකරු ඝාතනයක් පිළිබඳ අවශ්‍ය කර සිටි සැකකරුවකු බව යි පොලිසිය වාර්තා කරන්නේ.

නමුත් අත් අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් පොලිසියට වෙඩි තබා ඇති අතර, පසු ව පොලිසිය ද සැකකරුට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙසේ එල්ල් වූ ප්‍රතිප්‍රහාර හේතුවෙන් සැකකරු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව වාර්තා වනවා.

මිය ගිය සැකකරු වයස අවුරුදු 32 ක් වූ දෙල්වල පොලිස් වසමේ පිටකන්ද-උඩකරවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු 2022-12-18 වැනි දා හංවැල්ල පොලිස් වසමේ හර්ස්පාර හංවැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනයක් කිරීම පිළිබඳ පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවකු බව යි සඳහන් වන්නේ.

මේ අතර, සැකකරු විසින් පොලිසියට වෙඩි තැබීමට භාවිත කළ පතොරම් තුවක්කුවක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා ෴

+


කුඩු සල්ලි නො දුන්නැ යි මීගමුවේ දස (10) හැවිරිදි පිරිමි දරුවෙකු පැහැර ගැනෙයි

(06.01.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala)

මිල දී ගත් මත් කුඩුවලට මුදල් ලබා නොදීම නිසා දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මීගමුවේ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු මත්කුඩු ජාවාරමේ නිරත ව සිටි ඇති අතර, ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කාන්තාවකගෙන් මත් කුඩු ලබාගෙන තිබෙනවා.

ඒ සඳහා ලැබිය යුතු මුදල් ප්‍රමාද වීම නිසා අදාළ කාන්තාව අදාළ ව්‍යාපාරිකයාගේ මුණුබුරෙකු වූ දස (10) හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මෙම දරුවා ග්‍රෑන්ඩ්පාස් රන්දිය උයන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රඳවා තිබෙනවා.

අනතුරුව සැකකාර කාන්තාව, ව්‍යාපාරිකයා අමතා පුත්‍රයා ලබා ගත් මත්කුඩුවලට මුදල් ඉල්ලා ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

ඒ අනුව ලද බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය නිවාස සංකීර්ණය වටලා දරුවා ඊයේ (05) සිය බාරයට ගෙන තිබෙනවා.

දරුවා පැහැර ගත් බව කියන මත් කුඩු ජාවාරමේ නිරත කාන්තාවද ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴

+


රුසියානු සංචාරකයන් පැය හතරක් (4) මත්තල ගුවන් තොටුපොළේ සිර වෙයි

(06.01.2023 – 07:52 +0530 – hirunews.lk/sinhala)

සංචාරක කර්මාන්තයට සම්බන්ධ ඇතැම් ආයතනවල සම්බන්ධීකරණයක් නොමැති වීම නිසා සංචාරකයින්ට ගැටලු මතු වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසනවා.

ආගමන විගමන නිලධාරින් හිඟ වීම ඇතුළු කරුණු කිහිපයක් නිසා මත්තල ගුවන්තොටුපළට පසුගිය දා පැමිණි පළමු ‘රෙඩ් වින්ග්ස්’ ගුවන් සේවයට අයත් යානාවේ සිටි රුසියානුවන්ට පැය 04 ක් පමණ එහි රැඳී සිටීමට සිදු වූ බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙම වසරේදී සංචාරකයින් ලක්ෂ 15 ත්, 20 ත් අතර ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති බවත්, එමඟින් ඩොලර් බිලියන 03 ක ආදායමක් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළා.

එසේම යාපනයේ, කරෙයිනගර් ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙමළ ඩයස්පෝරාව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක පමණ ආයෝජනයක් සිදු කිරීමට කැමැත්ත පළ කර ඇති බව යි සභාපතිවරයා කරුණු අනාවරණය කළේ ෴


බස්නාහිර පළාත් පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කළ 55 දෙනෙක් අත්අඩංගුවට

(06.01.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පාසල් ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමක දී පාසල් ළමයින් ඉලක්ක කර මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) සිදු කළ මෙම මෙහෙයුමේ දී අයිස්, හෙරොයින්, ගංජා, බාබුල්, මාවා සහ මත්පෙති තොගයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙම වැටලීම් තවදුරටත් අඛණ්ඩ ව සිදු කරන බව යි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සඳහන් කළේ.

පසු ගිය දිනවල දී අයිස් මත්ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡාව ප්‍රබල ව සමාජගත වුණු අතර, මෙම අයිස් උවදුර ශීඝ්‍රයෙන් පාසල් ලමුන් අතර ව්‍යාප්ත වබ බව ද පොලිසිය සඳහන් කළා ෴

ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා රැගෙන ඒමට සූදානම් කර තිබූ නීති විරෝධී මත්පෙති ලක්ෂ හයක (6,00,000) තොගයක් ඉන්දියාවේ රාමනාදන්පුරම් හි දී තමිල්නාඩු පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

වේඩාලෙයි ගම්මානයට ආසන්න වෙරළ තීරයේ තිබූ යාත්‍රාවකින් මෙම මත්පෙති තොගය සොයා ගෙන ඇති බව යි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලැසුම් කළ ජාවාරම්කරුවන් සොයා තමිල්නාඩු පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර, මුහුදු මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් මැඩලීමට ඔවුන් සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති බව සඳහන් ෴


මෙම මාසයට අදාළ පළමු ගල් අඟුරු නෞකාව පුත්තලමට

(06.01.2023 – 09:38 +0530 – hirunews.lk/sinhala)

මෙම මාසයට අදාළ ව පැමිණීමට තිබූ ගල් අඟුරු නෞකා අතරින් පළමු (1) නෞකාව පුත්තලමට ළඟා වී තිබෙනවා.

මෙම මාසයට අදාළ ව ගල් අඟුරු නෞකා 6 ක් පැමිණීමට නියමිත යි.

පුත්තලමට ළඟා වූ මෙම ගල් අඟුරු නෞකාවේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් පටවා ඇති බව යි වාර්තා වන්නේ.

ගල් අඟුරු සංගමයේ සභාපතිවරයා මේ බව නිවේදනය කළා.

මේ අතර, තවමත් දිනකට පැය 2 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ගල් අඟුරු ගැටලුව දැන් දැන් ප්‍රබල ලෙස සමාජය තුළ කතාබහට ලක් වී තිබෙන කාරණයක්.

මෙම ගැටලුවේ දී මහජන උපයෝගිතා කොමිසම, විදුලි බල ඇමති හා විදුලි ඉංජිනේරු සංගමය දරන්නේ, එකිනෙකට වෙනස් මතවාදයක්.

ගල් අඟුරු ආනයනය හා ඉදිරියේ දී මුහුදේ ඇති වන ‘වාරකම්’ තත්ත්වය නිසා ගල් අඟුරු නෞකා පැමිණීමේ ප්‍රමාදයක් ඇති විය හැකි බව යි විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ.

කෙසේ වෙතත් පවතින ප්‍රායෝගික තත්ත්වයන් හමුවේ ඉදිරියේ දී දීර්ඝ විදුලි කප්පාදුවක් සිදු වීමට නියමිත බව යි විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ.

මේ අතර, හෙට සහ ජනවාරි 13, 20, 23, 27 සහ 31 යන දිනවල ‍ මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ ගල් අගුරු නෞකා ළඟාවීමට නියමිත බවයි ලංකා ගල් අගුරු සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, වත්තල කෙරවලපිටිය – යුගදනවි විදුලි බලාගාරයෙන් නිකුත් වන දුම සමග කළු පැහැති තෙල් විශේෂයක් පරිසරයට මුදා හැරෙන බවට එම බලාගාරය ආසන්නයේ පිහිටි අවරකොටුව ගම්වාසීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් වගාවන් විනාශ වී ඇති අතර මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ද හට ගෙන ඇති බවයි ඔවුන් චෝදනා කළේ ෴

+


වරාය නගර කොමිසමේ බලධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාව මඟ හරී

(06.01.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර කොමිසමේ 2021 වසරට අදාළ ගිණුම් මේ දක්වා විගණනයට ලක්කර නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, එම කොමිසමේ යෝජිත රෙගුලාසි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි සාමාජිකයන් කාරක සභාව හමුවට කැඳවා තිබූ බව යි.

එහෙත් ඔවුන් සූදානමින් නොපැමිණීම හේතුවෙන් හිස් අතින් රැස්වීම අවසන් කිරීමට සිදු වූ බව ඔහු ප්‍රකාශ කළා.

විදේශගත වූ බව පවසමින් වරාය නගර කොමිසමේ සභාපතිවරයා කමිටුව හමුවට පැමිණ නොතිබූ අතර, එහි ප්‍රධාන විධායක නිලධාරියා සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ.

ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව පෙන්වා දෙන සභාපතිවරයා එය වෘත්තීයභාවයක් නොමැති වීමද නැතහොත් වුවමනාවක් නොමැතිකමද යන්න ඔහු සිය ට්වීටර් පණිවුඩයෙන් ප්‍රශ්න කරනවා.

කොමිසමේ සාමාජික සාලිය වික්‍රමසූරිය එහි යෝජිත කරුණු සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමට උත්සාහ කළත්, එය ප්‍රමාණවත් නොවන බවයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ආයෝජනයක් සහිත වරාය නගර ව්‍යාපෘතිය සාර්ථකව වනවා දැකීම තම අභිලාෂය වූවත්, ඒ සඳහා වරාය නගර කොමිසමේ සාර්ථකත්වයද අත්‍යවශ්‍ය බවයි ඔහු සිය ට්වීටර් පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවද ඊයේ (05) පාර්ලිමේන්තුවේදී රැස්ව තිබෙනවා.

එහි දී කම්කරු හා රැකීරක්ෂා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් විගණකාධිපතිවරයාගේ සහ කෝප් කමිටුවේ බලතල අභියෝගාත්මකව විවේචනයට ලක් කිරීම පිළිබඳව කෝප් කමිටුවට, විගණකාධිපතිවරයා විසින් ලිපියක් මගින් කරුණු දන්වා තිබෙනවා.

එමඟින් පෙන්වා දී ඇත්තේ අමාත්‍යවරයා සඳහන් කළ පරිදි තමන්ට ලැබී ඇති බලතල ඉක්මවා කටයුතු කර ඇති බව හෝ එලෙස කිරීම සඳහා කිසිදු සහය දැක්වීමක් සිදුකර නොමැති බවයි.

කාරක සභාව ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කිරීමෙන් අනතුරුව තීරණ කිහිපයකට එළැඹ තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රකාශය වැරදි පූර්වාදර්ශයක් බවත්, එමඟින් කාරක සභාව හෑල්ලුවට ලක් කර ඇති බව ඔවුන් නිගමනය කර තිබෙනවා.

එසේම, කතානායකවරයාට අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කිරීමට කෝප් කමිටුව තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය දින දෙකක් (2) තුළ දැනුවත් කරන ලෙසත්, ලබන 17 වනදා කමිටුව හමුවේ පෙනී සිටින ලෙස කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දීමට යි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *