මිල පහළ දැමුණු ලිට්‍රෝ ගෑස්වල නව මිල නිකුත් වෙයි

මිල පහළ දැමුණු ලිට්‍රෝ ගෑස්වල නව මිල නිකුත් වෙයි


මිල පහළ දැමුණු ලිට්‍රෝ ගෑස්වල නව මිල නිකුත් වෙයි

(05.01.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ලිට්‍රෝ ගෑස්වල නව මිල නිකුත් වී තිබෙනවා.

ඒ අනුව, 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409 ක් බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම, කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1770 ක්.

එසේම කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822 ක් වන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

+


සේපාල් අමරසිංහ නැමති නිරාගමික මිසදිටුවාගේ නින්දිත ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවත් සංවේදී වෙයි

(05.01.2023 – 11:23 +0530 – hirunews.lk/sinhala)

= සේපාල් අමරසිංහගේ අසංවේදී ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවත් සංවේදී වෙයි =

සේපාල් අමරසිංහ නමැති යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ඉකුත් දිනයක දී බුදුරජානන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට අපහාස වන ආකාරයේ බරපතළ ප්‍රකාශයක් සිදු කර තිබුණා.

මේ පිළිබඳ විවිධ පුද්ගලයන් විවිධ අදහස් පළ කර තිබුණා.

මහනායක හිමිවරුන් ද ඊයේ (04) ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා තිබුණේ, සේපාල් අමරසිංහ නමැති මෙම පුද්ගලයාට එරෙහි ව වහා ම නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙස යි.

මෙම සිදුවීම පිළිබඳ අද (05) පාර්ලිමේන්තුවේ ද දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් වුණා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ අතර, ඔහු අවධාරණය කළේ, මොහුට විරුද්ධ ව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව යි.

ලංකාවේ පවතින සියලු ආගම් පවතින්නේ, අවිහිංසාව හා අන්‍යයන්ට ගරු කිරීම මත බව යි විජේදාස රාජපක්ෂ පවසන්නේ.

ඕනෑ ම අයෙකුට පෞද්ගලික ව තමන් මිත්‍යාදෘෂ්ටිකයකු බව ප්‍රකාශ කළ හැකි නමුත් අනෙකාගේ විශ්වාසයන්ට හා ඇදහිලිවලට හානි වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම කිසි සේත් කළ නොහැකි බව විජේදාස රාජපක්ෂ සඳහන් කරනවා.

මේ අතර, දණ්ඩ නීති සංග්‍රහයට අනුව යම් ආගමකට හෝ ලබ්ධියකට අයත් ජන කණ්ඩායමක හිත් පෑරෙන ප්‍රකාශයක් සිදු කළ හොත් එය දණ්ඩනයට ලක් කළ යුතු වැරැද්දක් බව යි විජේදාස රාජපක්ෂ අවධාරණය කරන්නේ.

‘ඉන්ටර්නැශනල් කන්වෙන්ශන් ඔෆ් සිවිල් ඇන්ඩ් පොලිටිකල් රයිට්ස්’ ICCPR පනතට අනුව ද මෙසේ යම් ආගමකට හෝ ලබ්ධියකට අයත් ජන කණ්ඩායමක හිත් පෑරෙන ප්‍රකාශයක් සිදු කිරීම සාපරාධී වරදක් වන අතර, ඒ සඳහා වසර 10 ක සිර දඬුවමකට පවා යටත් කළ හැකි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කරනවා.

++++++++

+++++++++

+++++++++

(05.01.2023 – 18:07 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සහ බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් ජනක සේනාධිපති ට සහ සේපාල් අමරසිංහ ට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාල පරීක්ෂණ මෙහෙයවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් (2) යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසන්නේ ෴

+++++++++

++++++++++

05-01-2023

+++++++++++

වේසිපුත්‍රයා අත්අඩංගුවට

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බෙල්ලංවිල ප්‍රදේශයේදී එලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. (sinhala.adaderana.lk)

(06.01.2023 – 14:10 +0530 – hirunews.lk/sinhala)

දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ ජනවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු අද (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

+++++++++

කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ඉදිකෙරෙන ව්‍යාජ දළදා මාළිගාව සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. මහානායක හිමිවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය ෴ (sinhala.adaderana.lk)


ශ්‍රී ලාංකිකයින් සඳහා අමෙරිකාවේ නව රැකියා 550 ක්

(05.01.2023 – 11:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය සමඟ එක්ව අමෙරිකාවේ රැකියා අවස්ථා 550 ක් ලබා ගැනීමට වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වී තිබෙනවා.

එමඟින් හෙදියන් 250 කට, රසායනාගාර කාර්මික ශිලිපීන් 100 කට හා හෙද සහයකයින් 200 කට අමෙරිකාවේ රැකියා ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පූර්ණ රාජ්‍ය අනුබද්ධිත ආයතනයක් වන SLFEA ආයතනය විසින් රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි ෴


ඩයනාගේ පුරවැසිභාවය ගැන අධිකරණයෙන් නියෝගයක්

(05.01.2023 – 12:12 +0530 – hirunews.lk/sinhala)

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පුරවැසිභාවය ගැන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශණය සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ, ඩයනා ගමගේගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍ර ව්‍යාජ බවත්, ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දන්වා සිටියේ ඩයනා ගමගේගේ පුරවැසිභාවය පිළිබඳ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා තිබුණ ද එය මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අදාළ වාර්තාව ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම අධිකරණ අමාත්‍යාංශය හරහා එම තානාපති කාර්යාලය වෙත යොමුකර තිබෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එහිදී අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මෙම පැමිණිල්ල නැවත පෙබරවාරි මස 09 වැනිදා කැඳවීමට නියමිතයි ෴

+++++++++

21 ට අත ඉස්සුවාට පස්සේ ඩයනාට වස්තු සම්භාරයක් ලැබුනද ? ඩයනාට එරෙහිව නඩු කියන ඕෂල කියපු කතාව (05.01.2023)

+


පොදුජන පෙරමුණ කළුතරට ඇප තැන්පත් කරයි

(05.01.2023 – 12:39 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඇප තැන්පත් කිරීම අද (05) සිදුකරනු ලැබුවා.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා නාම යෝජනා කැඳවීමේ දැන්වීම් නිවේදනය ඊයේ (04) නිකුත් කෙරුණු අතර ඒ අනුව එදින සිට ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව පැවතුණා.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මහනගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් ඊයේ (04) ඇප තැන්පත් කළා.

මේ අතර, සමගි ජනබලවේගය එළැඹෙන 18 වැනිදා දිවයිනේ සියලු පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ඇප මුදල් තැන්පත් කිරීමට අපේක්ෂා කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළා.

සියලු පළාත් පාලන ආයතන සඳහා තනිව හෝ සන්ධානගත වී හෝ ඉදිරිපත් වන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හැටන් ප්‍රදේශයේදී ඊයේ (04) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.

මේ මස 20 වැනිදා දහවල් 12 දක්වා දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් තැන්පත් කළ හැකියි.

+


පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂාවට මැදිහත් නොවන්නැයි පොලීසියට උපදෙස්

(05.01.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරින්ට මැදිහත් නොවන ලෙසට උපදෙස් ලබා දුන් බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

කැළණිය – සපුගස්කන්ද ප්‍රදේශයේ පාසලක ඊයේ (04) පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴


බසවක්කුලම වැව් තාවුල්ල වැනසුවේ කවු ද?

(05.01.2023 – 12:57 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික අනුරාධපුර පූජා නගරයේ බසවක්කුලම වැව් තාවුල්ලේ ඇති දැවැන්ත වෘක්ෂයන් එහි අනන්‍යතාව මෙන්ම සුන්දරත්වය විදහාපාන ප්‍රධානත ම අංගයක්.

නමුත් මේ වනවිට එම ගස් කපා දමා දැවැන්ත පාරිසරික හානියක් සිදු කිරීම ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයටද හේතු වී තිබෙනවා.

අනුරාධපුර බසවක්කුලම වැව් තාවුල්ල වටා පිහිටා ඇති විශාල වෘක්ෂයන් හේතුවෙන් රුවන්වැලිසෑය ඇතුළු ප්‍රදේශවල පාරිසරික සුන්දරත්වයට නොමඳ වටිනාකමක් එක් කෙරුණා.

කෙසේ වෙතත් එම ස්වභාව සෞන්දර්යය විනාශ කරමින් දැවැන්ත වෘක්ෂයන් බිම හෙළා ඇති අයුරුයි මේ.

ජනතාව පවසන්නේ මැරුණු ගස් කපා දැමීමේ මුවාවෙන් අනෙකුත් ගස්ද කපා විනාශ කිරීමේ කූට ව්‍යාපාරයක් දියත් වන බවයි.

++++++++++

බසවක්කුලම වැව දෙපස ගස් කැපූ හේතුව හෙළිවේ

(05.01.2023 – 20:19 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික බසවක්කුලම වැව දෙපස තිබූ ගස් කපා දැමීමට හේතු වූයේ ඒවා දිරාපත්ව තිබීම නිසා කඩාවැටීමේ අවදානමක් පැවතීම හේතුවෙන් බව මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ඩී. සේනාරත්න පවසනවා.

අදාළ ගස් කපා දමා ඇති අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳ සමාජයේ දැඩි කතා බහක් මතුව තිබෙනවා.

ඒ අනුවයි අප බසවක්කුලම වැව දෙපස තිබූ ගස් කපා දැමීම සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකළේ.

අප කළ විමසීමකදී මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ඩී. සේනාරත්න කියා සිටියේ ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරියා විසින් පසුගිය වසරේ මැයි මස 12 වැනි දා යොමුකළ ලිපියකින් අනාරක්ෂිත පැවති මාර ගස් 07 ක් සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකළ බවයි.

ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඔහු තමන් වෙත යොමුකළ ලිපියෙන් ඉල්ලා තිබූ බවයි මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ඩී. සේනාරත්න සඳහන් කළේ.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රාදේශයේ වාරිමාර්ග ඉංජිනේරු වෙත ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දීමට පියවර ගෙන තිබූ බව සඳහන් ෴

+++++++++

බසවක්කුලම වන විනාශයට නිධන් කොල්ලකරුවන් සම්බන්ධයිද ? දිගු කාලයක සිට ගස් ටික මරලා දාලා ද ? (05.01.2023)

+


සූර්ය ශක්ති උපාංගවල බදු ඉවත් කිරීමෙන් පසු ඉන්වර්ටර් මිල පහළට

(05.01.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

සූර්ය බල උත්පාදනය සඳහා යොදා ගන්නා උපාංග ආනයනය කිරීමේ දී පනවා තිබූ 10% ක වරාය හා ගුවන්තොටුපල බද්ද ඉවත් කිරීමට පසුගියදා කටයුතු කෙරුණා.

ඒ අනුව, ඉන්වර්ටරයක මිල රුපියල් 10,000 – 12,000 ක් අතර මිලකින් පහල යනු ඇති බව ජාතික වානිජ මණ්ඩලයේ පුනර්ජනනීය බලශක්ති කවුන්සිලයේ සභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු පවසනවා.

පසුගිය පළමුවැනිදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය මෙම බදු ඉවත් කිරීම සිදුකර තිබූ බවයි එම කවුන්සිලයේ සභාපතිවරයා පැවසුවේ ෴


වරායෙන් මුදා නොගත් කහදොඩම් බහාලුම් 3 ක් රෝහල්වලට බෙදා හැරේ

(05.01.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ආනයනය කර වරායෙන් මුදා නොගත් කහදොඩම් බහාලුම් 3 ක් මෙරට රෝහල්වලට බෙදා හැරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා භාරදී තිබෙනවා.

කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පළාත් බද රෝහල් 60 කට පමණ මෙම දොඩම් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ප්‍රදානයන් පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ.

මෙම බහාලුම් තුනේ (3) දොඩම් කිලෝ 72,000 ක පමණ ප්‍රමාණයක් අඩංගු වී ඇති අතර එහි දළ වටිනාකම රුපියල් මිලියන 72 ක් ෴


රත්‍රං ආනයනය නවති

(05.01.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)

කැරට් 22 ට වැඩි රත්‍රන් ස්වර්ණාභරණ ලෙස ආනයනය කිරීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රත්‍රං ජාවාරම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර ආනයන හා අපනයන සඳහා වන නව නියාමන රෙගුලාසි ද රජය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.


දුම්රිය ගමන්වාර 20 ක් අදත් (05) අවලංගුයි – දුම්රිය ස්ථානාධිපති සංගමය

(05.01.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය නියාමකවරුන් නොමැතිවිම හේතුවෙන් අද (05) දිනයේත් දුම්රිය ගමන් වාර 20 කට වඩා වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

ඒ අතර කලින් ආසන වෙන් කරන බදුල්ල සිට කොළඹ කොටුව අතර ධාවනය වන දුම්රියක් සහ කාර්යාල දුම්රිය වන බවයි එම සංගමය සදහන් කළේ.

දුම්රිය සේවකයින් පිරිසක් විශ්‍රාම යාම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ දුම්රිය ගමන් වාර අවලංගු වූ අතර ඒ හේතුවෙන් මගීන් අපහසුතාවන්ට පත්වුණා.

+


පුංචි ඡන්දෙට ආණ්ඩුවේ බාධාවක් නෑ! – විජේදාස රාජපක්ෂ

(05.01.2023 – 15:05 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දී ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට ඇති බලයට ආණ්ඩුව කිසිදු බාධාවක් සිදුනොකරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අද (05) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට අදාළ තරුණ නියෝජනය වැඩි කිරීම පිළිබඳව වාර්තාවක් අද (05) සභාවට ඉදිරිපත් කළා.

කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට පිළිතුරු වශයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ “මෙතුමාගේ මේ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාව ඉදිරිපත් කරන්න මාස 6 කට කලින් ඒ යෝජනාව ඉම්තියාස් බාකීර් මාකර් මහතා ගෙනාවා. ඒක පස්සට දාලා. අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය ඒක පස්සට දාලා. මම කණගාටුවෙනවා. මේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරපු යෝජනාව ඉස්සරහට ගත්තා. ඉතාමත් නින්දිත ක්‍රියාවක්.” යනුවෙන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *