පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම වෙයි

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම වෙයි


පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම වෙයි

(04.01.2023 – 09:51 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම මේ මස (ජනවාරි) 18 වැනිදා සිට 21 වනදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා කියා සිටියේ පළාත් පාලන ආයතන 341 න් 340 ක් සඳහා මෙලෙස නාම යෝජනා කැඳවන බවයි.

ඒ අනුව, ඇප මුදල් තැන්පත් කිරීමට ලබන 20 වනදා මධ්‍යහ්න 12 දක්වා අවස්ථාව ලබාදී ඇති බව සභාපතිවරයා සඳහන් කළා.

නාම යෝජනා කැඳවීම සම්බන්ධයෙන් දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නිකුත් කරනු ලැබූ අතර, එහි නාම යෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධයෙන් විස්තර, අපේක්ෂක සංඛ්‍යාව සහ කාන්තා නියෝජනය යන කරුණු ඇතුලත් ෴

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම හෙට (05) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ අනුව, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් සිය අයදුම්පත්‍ර ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු බවටයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය ජනවාරි 23 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා ෴


අධිවේගී මාර්ගවල බස් ගාස්තු 10% කින් පහළට

(04.01.2023 – 11:06 +0530 – hirunews.lk/sinhala)

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල බස් ගාස්තු 10% කින් අඩු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව නිවේදනය කළා.

සාමාන්‍ය සේවා බස් රථවල බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව යි බස් සංගම් මීට පෙර පැවසුවේ.

බස් ගාස්තු අඩු කිරීමට තරම් ප්‍රමාණයක ඉන්ධන අඩු වීමක් සිදු නො වුණු බව යි ඔවුන් පවසන්නේ ෴

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කතරගම සිට කොළඹ දක්වා ගාල්ල ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ‘අර්ධ සුඛෝපභෝගී’ බස් රථ සේවාව අවලංගු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා ෴

+


රටේ ඕනෑම පුද්ගලයෙකු සමග ගැටීමට හැකියාව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පවසයි

(04.01.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

රටේ ඕනෑම පුද්ගලයෙකු සමග ගැටී අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව මහජන උපයෝගිතා කොමිසමට තිබෙන බව, එහි සභාපති ජනක රත්නායක අවධාරණය කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර, ලක්ෂ 3 ක ජනතාවක් වෙනුවෙන්, ලක්ෂ 47 ක් පමණ වන ජනතාව මත බර පැටවීමට විදුලිබල මණ්ඩලය සහ ආණ්ඩුව ක්‍රියා කිරීම වැරදි ක්‍රියාවක් බව විදුලි වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපතිවරයා පවසන්නේ, ඒකක 300 ට වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන පිරිස වෙනුවෙන්, ඒකක 90 ට වඩා අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන ජනතාව බිල්ලට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරන බවයි ෴


යාල ගනුදෙනු ඩොලර්වලින්

(04.01.2023 – 13:22 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මේ මාසයේ සිට ඩොලර් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බව කෘෂිකර්ම, වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

මේ දිනවල යාල වනෝද්‍යානය නැරඹීමට විදෙස් සංචාරකයින් බහුල ව පැමිණෙන බැවින් ඔවුන්ට ඩොලර් මගින් ගෙවීමේ පහසුකම් සළසා දෙන ලෙසට යි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ ෴


‘කංජිපානි ඉම්රාන්’ට ඇප ලබාදීමේ දී අත්සන් කළ තිදෙනාට (3) සිතාසි

(04.01.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)

‘මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්’ හෙවත් ‘කංජිපානි ඉම්රාන්’ට ඇප බැඳුම්කර අත්සන් කළ තිදෙනාට (3) වහාම අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේවින්ද පෙරේරා අද (04) සිතාසි නිකුත් කළා.

ඒ පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම් සහ ඒ සඳහා ආධාර අනුබල ලබාදීම යන චෝදනා යටතේ ‘කංජිපානි ඉම්රාන්’ ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට (3) එරෙහිව පවරා තිබූ නඩුවක් අද (04) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ රහසිගත ලෙස විදෙස්ගත වී ඇති බවයි.

ඒ අනුව අද (04) දිනයේදී එම ඇපකරුවන් තුන්දෙනා (3) අධිකරණය හමුවේ පෙනී නොසිටීම යන කරුණු සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔවුන් තුන්දෙනාට (3) වහාම අධිකරණයේ පෙනී සිටින ලෙසයි ෴


සූර්ය පැනල හා ඒ ආශ්‍රිත උපකරණ මත පනවා තිබූ වරාය සහ ගුවන් සේවා බද්ද ඉවතට

(04.01.2023 – 13:37 +0530 – hirunews.lk/sinhala)

සූර්ය පැනල, ස්ථිතික පරිවර්තක / ඉන්වර්ටර් සඳහා වරාය සහ ගුවන් සේවා බද්ද (PAL) ඉවත් කළ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එය 2023 ජනවාරි පළමුවැනිදා (01) සිට ක්‍රියාත්මක වන පරිදියි ඉවත් කර ඇත්තේ ෴


පොළොන්නරුව ගඳගස්වන කොම්පෝස්ට් නිශ්පාදනාගාරය

(04.01.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ කොම්පෝස්ට් නිශ්පාදනාගාරයක පවතින දුර්ඝන්ධය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
 
අදාල නිශ්පාදනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා බවට එහි හිමිකරු පොරොන්දු වූ පසුත් එම ස්ථානයට කොම්පෝස්ට් නිශ්පාදන ද්‍රව්‍ය රැගෙන ඒමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
 
මාස කිහිපයක් තිස්සේ ප්‍රදේශයේ පවතින දුර්ඝන්ධය හේතුවෙන් සිය දරුවන් රෝගී වී ඇති බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් අදාල කොම්පෝස්ට් අංගනයට රැස්ව තිබුණා.

එමෙන්ම අදාළ කොම්පෝස්ට් අංගනයට කසළ එක් රැස් කිරීම හේතුවෙන් එහි කසළ ආහාරයට ගැනීමට වන අලි පැමිණෙන බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

+


පුංචි ඡන්දයට ‘උත්තර ලංකා සභාගය’ නව සන්ධානයකින්

(04.01.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

උත්තර ලංකා සභාගය, ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට තරග වදින්නේ නව සන්ධානයකින් බව ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර පවසනවා.

ඒ අද (04) පැවති සාකච්ඡාවක දීයි.

+


කුරුණෑගල, රිදිගම ප්‍රදේශයේ පිහිටි බඹරකන්ද පාලම කඩා වැටීමෙන් බඹරගල ගම්මානයේ ජනතාව දැඩි දුෂ්කරතාවක

(04.01.2023 – 14:23 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල, රිදිගම ප්‍රදේශයේ පිහිටි බඹරකන්ද පාලම කඩා වැටීමෙන් බඹරගල ගම්මානයේ ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, වැසි කාලයේ දී ගම්මානයේ පවුල් 150 ක පමණ පිරිසකට ගම තුළටම කොටුව සිටීමට සිදුවන බවයි.

මේ හේතුවෙන් තාවකාලිකව අටවාගත් පාලමක් මතින් අවදානම් ආකාරයෙන් ගමන් බිමන් යාමටයි බඹරගල ගම්වැසියන්ට සිදුව ඇත්තේ.

+


හෙට (05) සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා පමණයි

(04.01.2023 – 16:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය හෙට (05) සිට අනුරාධපුරය දක්වා සීමා කර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුරය සහ කන්කසන්තුරය අතර, දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවන්නේ මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන්.

ඉන්දියානු ණය ආධාර ක්‍රම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 91 ක් දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා යොදවා තිබෙනවා ෴


මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයේ සාක්ෂි විමසීම මහේස්ත්‍රාත් නිළමැදිරියේදී

(04.01.2023 – 16:49 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මිය යෑමේ සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (04) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ කැඳවා තිබෙනවා.

එය ප්‍රථමයෙන් විවෘත අධිකරණයේ කැදවූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමකට අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිළ මැදිරියේ සිදු කරන බවයි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරියගේ නිළමැදිරියේදී සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා.

එය ආවරණය කිරීම සඳහා මාධ්‍යටද අවසර ලබා දී තිබුණේ නැහැ.

ප්‍රථමයෙන් මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිදගෙන් සහ ඔවුන්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වූ ක්‍රිෂ් පෙරේරාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

වැඩි දුර සාක්ෂි විභාගය ලබන 10 වනදා දක්වා කල් තැබුණා ෴


සතොස වංචාවන්ට හසු වූ කෙනා අද සමූපකාර ඇමති වෙලා – මහින්ද ජයසිංහ

(04.01.2023 – 18:11 +0530 – hirunews.lk/sinhala)

හිටපු සතොස සභාපති ලෙස වංචාවන්ට හසු වී අධිකරණයේ නඩු පැවරුණ පුද්ගලයෙක් අද ‘සමූපකාර ඇමති’ වෙලා ‘අධ්‍යාපන ණය දෙන සමුපකාර සමිතිය’ නැතහොත් ‘ගුරු ගෙදර’ට නීති විරෝධී අතුරු පාලක මණ්ඩල පත් කරන බව ලංකා ගුරු සේවා සංගමය ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසනවා.

ඒ ආසියාවේ විශාලතම අධ්‍යාපන ණය දෙන සමුපකාර සමිතිය නැතහොත් ‘ගුරු ගෙදර’ තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ලංකා ගුරු සේවා සංගමය සංවිධානය කළ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක දී යි.

මෙම මාධ්‍ය හමුව දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ දී අද (04) පැවැත්වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ අධ්‍යාපන සමුපකාර ණයදෙන සමිතිය, එහි සාමාජිකයන්ගේ මහ සභාවක දී එම සාමාජිකයන්ගෙන් තෝරාගන්නා අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලන කටයුතු සිදු කරනු ලබන බවයි.

එලෙස පත්තු පත්වූ මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ කාලය පසුගිය 2022 ජුනි මාසේ 29 වැනිදා අවසන් වුණා.

එහි දී සාමාජික සාමාජිකාවන්ගේ කැමැත්ත මත නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ගත යුතු වුව ද වර්තමාන සමුපකාර ඇමති නලින් ප්‍රනාන්දු නීති විරෝධී ලෙස 14 දෙනෙකුගෙන් සමන්විත අතුරු පාලක මණ්ඩලයක් පත් කළා.

යම්හෙයකින් අමාත්‍යවරයා විසින් සමුපකාර ණය දෙන සමිතිය ට අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්නේ නම් එම අතුරු පාලක මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව විය යුත්තේ තුනක් (3) පමණයි.

නමුත් එම නීති රීති උල්ලංඝනය කරමින් ඔහු දාහතර (14) දෙනෙකු පත් කරනවා.

“මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවේ ‘වසර දහයකට (10) වැඩි කාලයක් මෙහි පරිපාලන වෘත්තිය සමිති විසින් සිදු කල බවත්, ඒ සඳහා මා විසින් නිතිඥයෙකු ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කලා’ යනුවෙන්. ඇත්තටම මෙතන සිද්ධ වුණේ සාමාජිකයෝ වෘත්තිය සමිති නියෝජිතයින්ට ඡන්දෙ දීලා ඔවුන්ව පාලනයට පත් කරා. සාමාජිකත්වය 2016 දී ලංකා ගුරු සේවා ගුරු සේවා සංගමයට බලය දුන්නා, 2019 දී ඒ සාමාජිකයෝම පොහොට්ටුවේ ගුරු සංගමයට බලය දුන්නා. ඒ අනුව පොහොට්ටුවේ අධ්‍යක්ෂ මණ්ඩලයක් තමයි හිටියේ. හැබැයි ඇමතිවරයාට කියන්න දෙයක් තියෙනවා ඔයා පත්කරපු මේ අතුරු පාලක මණ්ඩලයේ ඉන්න 14 දෙනා තුළ ඉන්නවා ණය පැහැර හැරපු අය ගොඩදෙනෙක්. ඒ වගේම ආයතනයේ වාහන ගාල් කරලා මේ අයගේ පෞද්ගලික වාහන පරිහරණය කරලා ඒ සඳහා විශාල වශයෙන් මුදල් ලබාගෙන තියෙනවා. ඒ වගේම අයවැය අනුමත කර ගන්නේ නැතිව විශාල වශයෙන් නීති විරෝධී ලෙස මුදල් පරිහරණය කරනවා. ඒ වගේම ගණකාධිකාරීවරයා විෂමාචාර ක්‍රියාවන් සිදුකිරීම නිසා තනතුරෙන් ඉවත් කර තිබුණත් ඔහුට වැටුප් ගෙවමින් තියනවා. ඒ වගේම සාමාන්‍යාධිකාරි ඇතුළු විවිධ තනතුරු සඳහා සඳහා ද සේවකයන් බඳවා ගෙන තියෙනවා. අතුරු පාලක මණ්ඩලයක් පත් කර මාස හයක් (6) ඇතුළත නිලවරණයක් පැවැත්විය යුතු වුවත්, මේ වන විට මාස පහක් (5) අවසන් වෙමින් පැවතුණත්, සමූකාර කොමසාරිස්වරයා විසින් සේවකයින් බඳවා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. අපි දන්නවා නිලවරණය පවත්වන්නෙ නැත්තේ ඇයි කියලා. රට වගේම තමයි. ‘රනිල් රාජපක්ෂ ආණ්ඩුව’ ඡන්ද මගහැරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒකම තමයි මෙතනත්.”

අද වෙනකොට මේ සමිතිය විනාශ කරල. මේ සමිතිය සතුව ගුරුවරුන්ට නවතින්න කතරගම විශ්‍රාම ශාලාවක් තියෙනවා. එහි මත්පැන් පානය කිරීම තහනම්. එහෙත් පසුගිය දෙසැම්බර් 26 වැනිදා බීමත් පිරිසක් නොමනා ලෙස හැසිරෙමින් ඉඳල තියෙනවා.

මේ වෙනකොට මේ පාලකයෝ, රට බංකොලොත් කලා වගේ ම, ආසියාවේ විශාලතම සමුපකාර ණය දෙන සමිතිය බංකොලොත් කරලා ඒ සමිතිය සමාජිකයන්ට අහිමි කරමින් යනවා. මේ ණය දෙන සමිතිය නැවතත් සාමාජිකයන්ට බාර දෙන්න. එසේ නොවන්නේ නම් එහි පළමුවන පියවර ලෙස ජනවාරි 11 වැනි දින මෙම සමිතියට අයත් කාර්යාල 21 ඉදිරිපිටම දීප ව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට අපි සූදානම්. ඒ වගේම තමන්ගෙ සාමාජික මුදල ඇතුළු සියලු ගෙවීම් නතර කිරීමට අපි කටයුතු කරනවා” ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *