බෝනස් දුන් ‘ඛනිජ තෙල්’ සහ ‘ශ්‍රී ලන්කන්’ සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි

බෝනස් දුන් ‘ඛනිජ තෙල්’ සහ ‘ශ්‍රී ලන්කන්’ සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි


බෝනස් දුන් ‘ඛනිජ තෙල්’ සහ ‘ශ්‍රී ලන්කන්’ සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි

(03.01.2023 – 19:03 +0530 – hirunews.lk/sinhala)

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල සේවකයන් හට ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබූ පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ.

ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ (2) සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවූ බවට ලැබුනු වාර්තාවක් පදනම් කරගෙනයි.

ජනාධිපතිවරයා වෙත බාර දුන් එම වාර්ථාවට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සේවකයන්ට මාස දෙකක (2) වැටුප් බෝනස් ලෙස ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක (100,000) ප්‍රසාද දීමනාවක් ගෙවා තිබෙනවා.

මුදල් අමාත්‍යංශය චක්‍ර ලේඛයක් මගින් මෙම දැනුම් දීම කර තිබුණ ද ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාබ ලබන බව පෙන්වමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි සඳහන් වනවා.

මෙම බෝනස් ලබා දීම වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක (120,00,00,000) මුදලක් වැය කර ඇතැයි ද ලාබ ලබන බව පෙන්වා ඇත්තේ සංස්ථාවේ ඇති ණය ඇතුළත් නොවු වාර්තාවක් යටතේ බව ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයක් 4200 ක් සිටින අතර මොවුන්ට මාස දෙකක (2) වැටුපක් මෙලෙස බෝනස් ලෙස ගෙවා ඇති අතර එහි ඉහළ නිලධාරීන් අතර රුපියල් ලක්ෂ 5 ක (5,00,000) මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 (10,00,000) බැගින් වූ බෝනස් ද ගෙවා ඇතැයි ද වාර්තා වනවා.

එලෙස ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් බෝනස් ලබා ගැනීම නිසා ඉහත මුදල වැයවී ඇතැයි සඳහන්.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයන් 5800 ක් සිටින අතර ඔවුන්ට 13 වෙනි මස වැටුප ලෙස සදහන් කරමින් සේවකයෙකුට රුපියල් ලක්ෂය (1,00,000) බැගින් ගෙවා ඇත්තේ මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛයට පටහැනිව යමින්.

ඒ අනුව මෙම ප්‍රසාද දීමනාව ලබාදීම සඳහා රුපියල් කෝටි 58 (58,00,00,000) ක් වැය කර ඇති අතර මෙලෙස 13 වෙනි මස ලෙස දක්වා මෙම වැටුප් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගෙන ඇති බවයි ජනපතිවරයාට බාර දුන් වාර්තාවේ දැක්වා ඇත්තේ.

මෙලස රජයේ චක්‍රලේඛ කඩකරමින් ප්‍රසාද දීමනා ගෙවීම ගැන මෙම ආයතන දෙකෙන් (2) නිදහසට කරුණු විමසා ඇති අතර එම කරුණු දැක්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගැනීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජනතාව ආර්ථික පීඩාවට පත්ව ඇත්තේ මෙම ආයතනවල ණය බර නිසාවෙන් වුවත් තව තවත් ජනතාවට බර පටවමින් කළ මෙම ක්‍රියාව ගැන ද ජනපතිවරයා සිය දැඩි කණස්සල්ල පළ කර ඇතැයිද වාර්තා වනවා ෴


ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉවත දමන්නැයි විදුලි ඉංජිනේරුවන්ගෙන් ඉල්ලීමක්

(03.01.2023 – 15:15 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉවත දමන ලෙස විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඉල්ලා සිටිනවා.

විදුලිබල පනත සහ ස්වාධීන කොමිෂන් සභා මඟහරිමින් ඉදිරිපත් වූ අදාළ යෝජනාවට විරෝධතා එල්ලවීම හේතුවෙන් එය ඉදිරි කැබිනට් මණ්ඩලයට කල්ගිය බවයි එහි සභාපති නිහාල් වීරරත්න අද (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල දී මෙහෙයුම් ලාභයක් ලබා ඇති බවට මහජන උපයෝගීතා කොමිසම සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එමඟින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2017 වසරේ සිට 2022 දක්වා සෑම වසරකම ජල විදුලි උත්පාදනය ඉහළ යෑම හේතුවෙන් යම් කාලසීමාවල දී විදුලිබල මණ්ඩලය මෙහෙයුම් ලාභයක් උපයා ඇති බවයි.

කෙසේ වෙතත් එය පසුගිය අගෝස්තුවේ සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් සිදුවූවක් නොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සිදුව ඇත්තේ ණය ප්‍රතිව්‍යුහ ගතකර ජාත්‍යන්තර විශ්වාසය දිනාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති කොන්දේසිවලට අනුව කටයුතු කිරීමට සිදුවීම නිසා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා ෴

+++++++++

03-01-2023

නව වසරේ වැඩ අරඹමින් හිස් පුටුවලට කතා කළ අපනයන සංවර්ධන මණ්ඩල සභාපති

(03.01.2023 – 18:46 +0530 – hirunews.lk/sinhala)

ලංකාවේ ප්‍රමුඛ ආයතනයක් වන අපනයන සංවර්ධන මණ්ඩලයේ, සියලුම නිළධාරීන් එහි සභාපතිවරයාට විරෝධය පෑමේ පුවතක් වාර්තා වෙනවා.

2023 නව වසර ආරම්භක උත්සවයේ දී, සියලුම නිළධාරීන් සභාපතිවරයා වන සුරේෂ් ඩී. ද මෙල් සහභාගී වූ උත්සව ශාලාවෙන් නික්ම ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

අපනයනය සදහා පිහිටුවා ඇති මුලික ආයතනය (APEX) තුළ පරිපාලනය හා කළමණාකරණය යන කර්තව්‍ය පසුගිය වසර තුළ මෙම සභාපතිවරයාගෙන් නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් මෙලෙස විරෝධතාවක් සිදු කර ඇති බවයි එම ආයතනයේ නිළධාරීන් පවසන්නේ.

නිළධාරීන් උත්සව ශාලාවෙන් නික්ම ගිය පසු සභාපතිවරයාට සිදු වූයේ හිස් වූ උත්සව ශාලාවක සිට සිය කතාව පැවැත්වීමටයි.

+


‘වැලිමැස්සා’ගෙන් බෝවන ‘ලීෂ්මේනියාසිස්’ රෝගය යළි හිස ඔසවයි

(03.01.2023 – 18:52 +0530 – hirunews.lk/sinhala)

වැලිමැස්සාගෙන් බෝවන ‘ලීෂ්මේනියාසිස්’ රෝගය යලි දිවයින පුරා හිස ඔසවමින් පවතින අතර වියලි කලාපවල මේ තත්ත්වය වඩාත් වර්ධනය වෙමින් තිබෙන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක පවසනවා.

ඌව පළාතේ මෙම මැස්සා හා ඒ ආශ්‍රිතව බෝවන රෝගය පැතිරයාම පිළිබදව පර්යේෂණයට පැමිණ සිටියදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මෙම රෝගය ආසාධනය වූ විට එය කුරුලෑවක් වැනි කුඩා බිබිලක් ලෙස පෙන්නුම් කරන අතර එය ක්‍රමයෙන් වර්ධනය වී තුවාලයක් බවට පත් වන බවත් එමගින් කිසිම වේදනාවක් නොදැනීම මෙන්ම කැසීමක් ද සිදු නොවීම විශේෂත්වයක් බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

මේ හේතුවෙන් වැඩිපුරම හමේ තුවාල දකින්නට ලැබෙන්නේ ශරීරයේ නිරාවරණය වන කොටස්වල වන අතර මුහුණ, අත් සහ කකුල් ඒ අතර විශේෂයි.

එමෙන්ම උඩු කය නිරාවරණය කරගෙන වැඩ කරන පුද්ගලයන්ගේ පිට ප්‍රදේශයේ ද මෙම තුවාල දක්නට ලැබෙන බව ප්‍රකාශ කළ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක සඳහන් කළේ මෙම රෝග ලක්ෂණ පවතින්නේනම් හැකි ඉක්මණින් චර්මරෝග විශේෂඥ සානයකයකට යොමු විය යුතු බවටයි.

එමෙන්ම මාස කිහිපයක් හෝ වසර කිහිපයක් මෙම තුවාල පැවතීමේ හැකියාව ද පවතින බවයි පැවසෙන්නේ.

මෙම රෝගය හේතුවෙන් අභ්‍යන්තර අවයවවලට හානි ගෙන දිය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරන ලෙස කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴


මගනැගුම සමාගමේ සිද්ධිය පිළිබඳව රහස් පොලීසිය පරික්ෂණ අරඹයි

(03.01.2023 – 20:19 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ පිහිටි ‘මගනැගුම සමාගමේ’ සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින පෑලියගොඩ ‘මගනැගුම මාර්ග ඉදිකිරීමේ යන්ත්‍රෝපකරණ සමාගමේ’ නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සඳහා ඊයේ (02) පැවති උත්සවයේ දී එහි සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට සේවකයින් විරෝධය පළ කර කිරිබත් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් ඊයේ (02) සහ අද (03) හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ වනවිට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

+


සීතාවකටත් ‘ඔඩිසි’

(03.01.2023 – 16:04 +0530 – lankadeepa.lk)

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ දුම්රිය ඉදිරි සති දෙක (2) තුළ ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ‘වග’ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන බවත් එය ගමනාන්තය දක්වා ආකර්ශනීය ස්ථානවල නතර කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

කොළඹට නුදුරු රන්මුදු ඇල්ල කුමාරි ඇල්ල ගොරක ඇල්ල ආදී දිය ඇලි මෙන්ම තුම්මෝදර වැල්පාලම, ගල් බංගලාව කොඩිගල කදු පන්තිය, සීතාවක රාජධානිය උද්භිද උද්‍යානය , ලබුගම හා කලටුවාව ජලාශ නැරඹීයට අවස්ථාව උදාවේ ෴


03-01-2023

මහ පාරේ පරිස්සම වෙනුවෙන් කෑගල්ලේ කරපු විශේෂ වැඩේ මෙන්න (03-01-2023)

+


මාළු කඩයක් වගේ තිබුණ කටුනායක ඩියුටි ෆ්‍රී එක පිළිවෙලක් කරා (03-01-2023)

03-01-2023

අධිබලැති විදුලි රැහැනක් ස්පර්ශවී පුද්ගලයෙක් මරුට

(03.01.2023 – 16:28 +0530 – sinhala.adaderana.lk)

උපකාරක පන්ති පවත්වාගෙන යන ගොඩනැගිල්ලක් ආසන්නයෙන් ගමන් කරන අධිබලැති විදුලි රැහැනක් ස්පර්ශවීමෙන් එහි සිටි පුද්ගලයෙකුට විදුලිසැර වැදී ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

කුලියාපිටිය නගරශාලාව පිටුපස උපකාරක පන්ති පවත්වාගෙන යන ගොඩනැගිල්ලක යකඩ බටයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අද (03) එම අනතුරට මුහුණදී තිබුණි.

අනතුරට ලක්වී ඇත්තේ එම ගොඩනැගිල්ලේ උපකාරක පන්තියක සේවය කරමින් සිටි විමුක්ති දිල්ශාන් පෙරේරා නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකරයි ෴


1815 පසු අප ඉදිරියේ ජෝන් ඩොයිලි ක්‍රියාත්මකය – එදා වගේම අපි පරාද වීමට සුදානම්ය

(27.01.2023 – 07:21 +0530 – lankaleadnews.com)

‘ජෝන් ඩොයිලි’ ඉතිහාසය තුළ බලවත් වුයේ අපේ අසමගිය නිසාය. එදාද අපි ඔවුන් විශ්වාස කිරීමේ අවසන් ප්‍රතිපලය වුයේ ස්වෛරී රාජ්‍යය අපට අහිමි වීමය. අද ජෝන් ඩොයිලිගේ භූමිකාව ඉටු කරන්නේ ‘එරික් සෝල්හම්’ය. එදා වගේම අදත් එරික් සෝල්හයිම්, පාවිච්චි කරන්නේ සිංහලයාගේ අසමගියයි. (මම මෙතැන සිංහලයා ලෙස ගන්නේ මොන පක්ෂ වලින් බැලුවත් බහුතරය සිංහල දේශපාලකයන් වැඩි නිසාය.)

එදා සහ අද

රටේ ‘අරගලයක්’ යනුවෙන් තානාපති කාර්යාළ ‘කුමන්ත්‍රණයක්’ සිදුවිය. එහි ප්‍රතිපලයක් ලෙස රටේ ජනාධිපති රටෙන් නිළ නොළත් ලෙස දේශපාලනිකව පිටුවහල් විය. නිශ්ක්‍රීය කලේය. ඉන්පසු බටහිර ඉත්තෙක්ට සහ බැසිල් රාජපක්ෂ වැනි ‘එක්නැළිගොඩලා’ගේද සහායෙන් බලය මාරු කලේය. දැන් එදා වගේම කුමන්ත්‍රණය ක්‍රියාත්මකය. රනිල් වික්‍රමසිංහ නම් ඉත්තා යටතේ එදා ජෝන් ඩොයිලිලා සම්පුර්ණ ලෙස සිංහල ද්වීපය බෙලහීන කරන්නට ක්‍රියාත්මක වු ක්‍රියාදාමය එරික් සෝල්හයිම් යටතේ නව වටයකින් ක්‍රියාත්මක කරන්නේය. රනිල් වික්‍රමසිංහගේ ‘දේශගුණ කාලගුණ විපර්යාස පිළිබද උපදේශක’ ලෙස එරික් සෝල්හයිම් පත්වී අද කරන කාර්යය ලංකාවේ ස්වෛරීත්වය විපර්යාසයකට පත් කරන්න කටයුතු යෙදෙන්නේය.

තනතුරෙන් රනිල්ගේ උපදේශකයෙකු වුවත් එදා 1815 පසු ස්වේදේශිකත්වයේ බලය අහිමි කරන්නට ජෝන් ඩොයිලිලා ක්‍රියාත්මක වු ආකාරයට අද එරික් සෝල්හයිම්ලා බලය බෙදීමට දරුණුවට මැදිහත් වෙමින් බලපෑම් කරමින් සිටින්නේය. රටේ ආර්ථික අර්බුදයට රට වෙනුවෙන් එක මේසයට එකතු කරන්න බැරිවුන රනිල්ලා, සජිත්ලා, සම්බන්ධන්ලා, හකීම්ලා, රාජපක්ෂලා, ගුණවර්ධනලා එරික් සෝල්හයිම් ‘බලය බෙදීම’ වෙනුවෙන් සහ රනිල් උවමනාවෙන් මුමුණන ‘ඒකීය වෙනුවට එක්සත් ලංකාව’ වෙනුවෙන් එක මේසයට ගන්නේය. දෙමළ සංධානයේ නායක ආර්. සම්බන්ධන් බලය බෙදීම ගැන එහි සැකැස්ම පිළිබද කරුණු කියන්නේ රනිල්ගේ ‘දේශගුණ කාලගුණ විපර්යාස පිළිබද උපදේශක’ එරික්සෝල්හයිම්ටය.

එයා අතින් වියදම් කරගෙන ඒවා සම්බන්ධීකරණයට ලංකාවට එන්නේය යන්නේය. හදිසියේ ජනාධිපති රනිල් දෙමළ සංධාන මන්ත්‍රීවරු සාකච්ඡාවකට කැඳවන කොට ඉක්මනින් නැව් නැග එරික් සොල්හයිම් ලංකාවට එන්නේය. රටෙන් එළියේදී දෙමළ ඩයස් පෝරාව මුණ ගැහෙන්නේ එරික්ය. එහි තීන්දු කොළඔට ගේන්නේ රනිල්ගේ ‘කාලගුණ විපර්යාස පිළිබද උපදේශක’ය. සුමන්දිරන් කියන ‘උතුරු නැගෙනහිර එකට ඈදපු එක කලාපයක්’ කියන එකට නැගෙනහිර මුස්ලිම් මන්ත්‍රී අහමඩ් නසීර්ලා විරැද්ධ වෙනකොට ඒ ගැන අහමඩ් නසීර්ලා එක්ක සාකච්ඡා කරන්න කඩිනමින් එන්නේ රනිල්ගේ ‘කාලගුණ දේශගුණ විපර්යාස පිළිබද උපදේශක’ එරික් සොලහයිම්ය.

බලය බෙදීමේදී ‘දෙමළ කථා කරන’ යන වචනයට කඳුරට වතු දෙමළ සහ කොළඔ දෙමළ කථා කරන මනෝ ගනේෂන්ලා වගේම සමස්ථ නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව එක්ක කථා කරන්නේ එරික් සොලහයිම්ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වු පසුව එයාගේ ‘කාලගුණ දේශගුණ විපර්යාස පිළිබද උපදේශක’ වැඩිම කාලයක් සංචාරය කර ඇත්තේ උතුරු නැගෙනහි සහ නුවරඑළියටය. මුණ ගැසී ඇති පුද්ගලයන්ගෙන් බහුතරයක් සමග සාකච්ඡා කර ඇත්තේ උතුරු නැගෙනහිර ගැටළුවය.

එදා වගේම අනතුර දැක දැක අපේ ජාතිකවාදී පිළ හුදෙකලා වීම සිද්ධකර ඇත. ලංකාවේ අනාගතය බලය බෙදීම හරහා ‘ඉතා දුර්වල එක කලාපයක්’ සහ ‘ජාත්‍යන්තර සහාය ලබන පෝෂණය කරන ආරක්ෂා කරන එක කළාපයක්’ ලෙස නිර්මාණය වන්නේ අපේ බෙදීම වෙන්වීම අසමගිය තුළය. මුදල් / ආරක්ෂක / විදේශ / පරිපාලන යන සියල්ල විමධ්‍යගත කරන ලද පුර්ණ බළය බෙදීමක් එරික් සොල්හයිම්ලාගේ ‘කාලගුණ දේශගුණ විපර්යාස’ පිළිබදව තනි ඇහැට ඇඩෙන තනතුරු හරහා ක්‍රියාත්මක වන්නේ කොතනටදැයි වටහා ගත යුතුය.

එදා ද, අද ද ජෝන් ඩොයිලිලා එරික් සෝල්හයිම්ලා ඉතිහාසය තුළ ශූර රාජ්‍ය ත්‍රාන්තිකයන් ලෙස ලියවුනේ ද ලියවෙන්නේ ද උන්ගේ හැකියාවට වඩා අපේ ජානමය උරුමයට කරේ තියන් එන අසමගිය සහ කාකොටා වැටීම නිසා බව ලියා තැබිය යුතුය.

~ නුවන් මොණරවිළ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *