‘වික්‍රමාආරච්චි හොර දියසෙන් වෙදා’ පැහැරගනු ලබයි

‘වික්‍රමාආරච්චි හොර දියසෙන් වෙදා’ පැහැරගනු ලබයි


‘වික්‍රමාආරච්චි හොර දියසෙන් වෙදා’ පැහැරගනු ලබයි

(03.01.2023 – 15:00 +0530 – lankacnews.com)

‘දියසෙන් කුමාරයා’ පිළිබඳව නිතරම සමාජ මාධ්‍ය තුළ කතා කරන ‘වික්‍රමාආරච්චි වෙද මහතා’ නැමැති පුද්ගලයා පැහැරගැනීමකට ලක්ව ඇත.

ඔහු ශාන්තිකර්මයකට ගොස් සිටි අවස්ථාවක වංචාවක් සිදු කළ බවට සඳහන් කරමින් කිසියම් පිරිසක් එම ස්ථානයේ ඔහුව සිර කරගෙන ඉන්නා ආකාරය
දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරයි.

කෙසේ නමුත් ‘වික්‍රමාරච්චි වෙද මහතා’ සමාජ මාධ්‍යට වීඩියෝවක් එකතු කරමින් සඳහන් කරන්නේ අදාල සාන්තිකර්මය අවස්ථාවේදී එම පිරිස විසින් තමාව පැහැර ගත් බවය.

03-01-2023

++++++++++

https://www.youtube.com/watch?v=wMi_F3ipbR4
03-01-2023

+


ෂාෆ්ටර්ගේ රුධිර සාම්පල් ස්ථානීය සාක්ෂි රජයේ රස පරීක්ෂකට යොමු කරයි

(03.01.2023 – dinamina.lk)

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂක දිනේශ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල්, නියපොතු ඇතුළු දේහ කොටස් මෙන්ම අපරාධ ස්ථානයේ තිබී විමර්ශන නිලධාරීන් සොයා ගත් ස්ථානීය සාක්ෂි කිහිපයක් සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂාව සිදු කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුරීය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (02) අවසර ලබා දුන්නාය.

අධිකරණය හමුවේ මෝසම් පත්‍රයක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සිදු කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝග නිකුත් කළාය.

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂක දිනේශ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භුමිය වෙත ගෙන්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව භාර දී ඇති බවත් මෙම මරණය ඝාතනයක් ද? නැත්නම් සියදිවි නසා ගැනීමක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන බැවින් මෙසේ බොරැල්ල පොලිසිය විසින් ඝාතන ස්ථානයේ තිබී සොයා ගත් වයර් කැබැල්ල, ලේ තැවරුණු රෙදි , දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ නියපොතු, ලේ සාම්පල් මෙන්ම සොකෝ නිලධාරීන් විසින් සොයා ගත් ස්ථානීය සාක්ෂි හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයෙන් අනතුරුව සොයා ගත් ස්ථානීය සාක්ෂි කිහිපයක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර රස පරීක්ෂක වාර්තාවක් මෙන්ම ඩී.එන්.ඒ. වාර්තාවක් කැඳවන ලෙසට අධිකරණ නියෝග නිකුත් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්ති ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම අධිකරණය හමුවේ සිදු කර තිබිණ. ඉකුත් 15 වන දින ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂක දිනේශ් ෂාෆ්ටර් මහතා කොළඹ 7 මල් පාරේ සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගෙන්වා මොටර් රථය තුළදී වයරයකින් ගෙල සිර කර මෙසේ ඝාතනය කර තිබෙන බවට බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ ලද තොරතුරු අනුව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරයෙකු වන බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතන විශ්ලේෂණ වාර්තා, බිරියගේ දුරකතන වාර්තා හා සමාගම් අධ්‍යක්ෂකවරයෙකුගේ දුරකතන වාර්තා ද අධිකරණය විසින් කැඳවා තිබිණ. පසුව බොරැල්ල පොලිසියේ ඉල්ලීමකට අනුව බ්‍රයන් තොමස් මහතාගේ ද විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් ද නිකුත් කෙරිණ.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නඩු භාණ්ඩ පරීක්ෂා කොට රස පරීක්ෂක වාර්තාවක් මෙන්ම ඩී.එන්.ඒ. වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළාය ෴


03-01-2023 – අවවාදයයි ! දීගොඩ කුමාර මහතාගේ දේශනාවල නිබෙන ‘මිසදිටු බොරු බණ’ වලින් ප්‍රවේශම් වන්න ! එතුමාට තිබෙන රෝගීන් සුවපත් කිරීමේ අධිමානසික බලය ගැන පමණක් සැළකිලිමත් වන්න ! – අමරසර

+


කොයිවෙලෙත් ‘පාඩුයි පාඩුයි’ යැයි කෙඳිරිගාන සිපෙට්කෝ සේවකයින්ට දුන්නු බෝනස්

(03.01.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) තම සමාගම දිගින් දිගටම පාඩු ලබන බවට සඳහන් කරමින්, ජනතාව තවදුරටත් පීඩාවට ලක් කරමින් ඉන්ධන මිල පවා ඉහළ දැමීම් සිදු කළ ද, මේ වනවිට නව වසර උදෙසා බෝනස් නොහොත් ප්‍රසාද දීමනා පිරිනමා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම කරුණ සම්බන්ධයෙන් ඊයේ (02) දිනයේ දී ‘සලකුණ’ දේශපාලන සංවාදයට එක්වෙමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ද කරුණු අනාවරණය කළා.

උන්වහන්සේ සඳහන් කළේ, තමන්ට ලැබී ඇති තොරතුරු අනුව මේ වනවිට සිපෙට්කෝහි ඇතැම් පිරිස් වෙත රුපියල් ලක්ෂ 2-3 ක ප්‍රසාද දීමනා ලබාදීමක් සිදුව ඇති බවයි.

කෙසේවෙතත් පාඩු ලබන පෞද්ගලික හෝ රාජ්‍යය ආයතනයකට, සමාගමකට ලාභ අලාභ ශේෂ පත්‍ර සැකසුමේ දී සිය සේවකයින්ට ප්‍රසාද දීමනා (බෝනස්) ලබාදීමේ හැකියාවක් පැවතීම පුදුමසහගත කරුණක්.

ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින්ට බෝනස් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ද සොයා බැලීමක් කළා.

එහිදී එම සමාගමේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පවසා සිටියේ එම බෝනස් ලබාදීමේ පුවත සත්‍යයක් බවයි.

+


‘හිරු පුවත’ ඵල දරා පතල් හෑරිල්ල නවතියි

(03.01.2023 – 13:35 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර නගරයේ රථ වාහන තදබදය මගහැර යාම සදහා ඉදිකර ඇති රත්නපුර ගොඩකවෙල මාර්ගය දෙපස සිදුකරන පතල් කැණීම නිසා සිදුවන දැඩි පාරිසරික හානි පිළිබදව ‘හිරු ප්‍රවෘත්ති’ පසුගියදා වාර්තා කළා.

ඒ සමග බලධාරීන්ගේ අවධානය ඒ පිළිබඳ යොමු වී තිබෙනවා.

කොළඹ සිට රත්නපුර නගරය හරහා බදුල්ල හම්බන්තොට කතරගම යන ප්‍රදේශවලට ගමන් කිරීමේදී රත්නපුර නගරය මගහැර යාම සදහා ඉදිකර ඇති රත්නපුර ගොඩකවෙල මාර්ගය දෙපස සිදුකරන පතල් කැණීම නිසා එම මාර්ගය අබලන් වීම හා ප්‍රදේශයේ දැඩි පාරිසරික හානියක් සිදුවන බව අප වාර්තා කළේ පසුගිය ජනවාරි 01 වැනිදායි.

ප්‍රදේශවාසීන් චොදනා කළේ මෙම පතල් කැණිම සම්බන්ධයෙන් අවස්ථා ගණනකදී පොලිසියට පැමිණිලි කලත් එයට නිසි විසදුම් නොලැබුණු බවයි.

මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ වාර්තා කිරීමත් සමග සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ඇතුළු අදාළ පාර්ශ්ව ඒ සදහා අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ නිරීක්ෂණයට එක්ව සිටියා.

එමෙන්ම සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මීට සම්බන්ධ සියලු පාර්ශ්වවල නියෝජිතයින් ගෙන්වා සාකච්ඡාවක නිරත වුණා.

+


රට බංකොලොත් වීමට මහා පරිමාණ වංචාකරුවන් හේතුවක් – විජේදාස රාජපක්ෂ

(03.01.2023 – 13:43 +0530 – hirunews.lk/sinhala)

රට බංකොලොත්වීමට මහා පරිමාණ වංචාකරුවන් හේතුවක් වී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

එම වංචා මැඩලීමට නීති සකස් කළ ද ඒවා ක්‍රියාත්මක කරන ආයතන මන්දගාමීව කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

+


දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සේවක ගැටලු විසඳීමට රජයේ අවධානය

(03.01.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සේවක සහ නිලධාරී හිඟය පියවීම සඳහා අවශ්‍ය විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රාජ්‍ය සේවයේ නිරත ඊට සුදුසුකම් සහිත අයවලුන්ගෙන් අයදුම්පත් ඉදිරි සතියේ දී කැඳවන බව යි.

පසුගිය 31 වනදා දුම්රිය දෙපාර්තමේන්තුවේ 500 කට වැඩි පිරිසික් විශ්‍රාම ගැනීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු පවත්වාගෙන යාමට බාධා මතු වූ අතර, එහි දී දුම්රිය ගමන්වාර සියයකට (100) වැඩි ප්‍රමාණයක් පසුගිය දින 3 තුළ අවලංගු කෙරුණා.

පැවති සේවක හිඟයට විසදුම් ලබා දෙන ලෙස කළ ඉල්ලීම්වලට ප්‍රවාහන අමාත්‍යවරයා විසදුම් ලබා දී නොමැති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පසුගිය දා චෝදනා කළේ.

ඒ අනුව, ඉදිරි දින කීපය තුළ පවතින සේවක හිඟයට විසදුම් ලබා නොදුන හොත් ලබන 10 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද එම සංගමය කියා සිටියා.

අද (03) ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ පවතින සේවක ගැටලුවට ක්ෂණික විසදුම් ලබාදීමට හැකියාවක් නොමැති බව යි.

මේ අතර, නව දුම්රිය ස්ථානාධිපති වරුන් 44 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදු කෙරුණා.

පවතින ආර්ථික තත්වය හමුවේ නව බඳවා ගැනීම් සිදු නො කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණත් නව දුම්රිය ස්ථාන සඳහා පැවති අවශ්‍යතා මත 2018 වර්ෂයේ පැවති තරඟ විභාගයෙන් සමත් වූ පිරිසෙන් 50 දෙනෙකු බඳවා ගැනීමට යි රාජ්‍ය සේවා කොමිසම පසුගිය දා අවසර ලබා දී තිබුණේ ෴


අලුත උපන් බිළිඳා පණ පිටින් වැළලු මව අත්අඩංගුවට

(03.01.2023 – 14:47 +0530 – hirunews.lk/sinhala)

අනියම් සම්බන්ධයකින් අලුත උපන් බිළිදාව සිය නිවස පිටුපස පණ පිටින් වළ දමා ඝාතනය කළ තිදරු (3) මවක් මරදන්කේණි පොලීසිය ඊයේ (02) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදන්කේණි පොලිස් වසමේ තාලයඩි ගම්මානයේ පදිංචිව සිටින 36 හැවිරිදි මෙම කාන්තාව සිය නිවස තුළ දී දරුවා ප්‍රසූතිකර ඇත්තේ පසුගිය ජනවාරි පළමු (01) වැනිදායි.

එහිදී ඇය එම බිළිදාව නිවසේ පිටුපසට රැගෙන ගොස් වළක් හාරා වළ දමා කිසිවක් නොවූ ආකාරයට නිවසට වී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුව, බිළිදාව වළ දැමූ ස්ථානය ඊයේ (02) දහවල් සුනඛයෙක් විසින් හාරා බිළිදු මළ සිරුර ගොඩගෙන එය ඇදගෙන යමින් තිබිය දී අසල නිවසක සිටි කාන්තාවක් මෙය දැක සුනඛයා විසින් හා-පැටියෙකුව අල්ලාගෙන යන බව සිතා සුනඛයාට ගලකින් පහර දී ඇති බවයි පොලීසිය පවසන්නේ.

එහිදී සුනඛයා විසින් බිළිදාව අතහැර දිව ගොස් ඇති බවත් සුනඛයාට පහර දී පලවා හැරිය කාන්තාව සුනඛයා විසින් අතහැර ගිය හාවා ගැන බැලීමට පැමිණිමේ දී ඒ බිළිදෙකු බව දැක පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබුණු බවත් පොලීසිය පවසනවා.

ඒ අනුව පොලීසිය මෙම බිළිඳු සිරුර ගැන පරීක්ෂණ පැවැත්වීමේ දී ඒ අසල නිවසක පදිංචිව සිටි කාන්තාවක් විසින් මෙම බිළිදා ප්‍රසුතිකර වළ දමා ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඉන්පසුවයි සැකකාර කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීමේ දී පවා ඇය එය පිළිගත් බවත් ගර්භනී භාවය මාස 10 ක් පුරාවට සඟවාගෙන සිට දරුවා ප්‍රසූති කළ බවත් ඇය පවසා තිබෙනවා.

ඇය මෙම බිළිදාව වළ දමා ඇත්තේ වැලි සහිත පසක බවත් එය නොගැඹුරු ලෙස වළ දමා තිබීම නිසා සුනඛයා විසින් එය ඇදගෙන ගොස් තිබෙන බවත් විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

මෙම කාන්තාව ප්‍රසූතිකර ඇත්තේ ඇගේ තෙවැනි (3) දරුවා යි.

වැඩිමහල් දරුවා පාසලේ 10 වසරේත්, දෙවැනි දරුවා 05 වසරේත්, අධ්‍යාපනය ලබන අතර ඇය සිය ස්වාමියාගෙන් වෙන්ව ජීවත්වන බවයි පොලිසිය පවසන්නේ.

සුහස්කරන් ඉලක්කි රංජනී නැමැති මෙම කාන්තාව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *