විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කල් යයි

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කල් යයි


විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කල් යයි

(02.01.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

මෙම මාසයේ සිට ඉහළ දැමීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අද (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින්.

කෙසේ වෙතත් එය ලබන සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩල හමුවේදී තවදුරටත් සාකච්ඡා කිරීමටයි තීරණය වී ඇත්තේ.

මේ අතර ගාස්තු නැංවීමට කැබිනට් මණ්ඩලය ලබාදෙන කිසිදු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නොපිළිගන්නා බවයි එහි සභාපති ජනක රත්නායක අද (02) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (02) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණේ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී විදුලි ගාස්තු ඉහළ දැමිම සඳහා වන යෝජනාව සාකච්ඡාවට ගැනීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළ දැමූ පසුබිමක් තුළයි යළි ගාස්තු ඉහළ නැංවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය යෝජනා කර ඇත්තේ.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න කියා සිටියේ නව ගාස්තුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළහොත් සියයට 60 ත් 65 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවයි.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා පනත අනුව විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන ක්‍රමවේදයක් නෛතිකව පවතින බැවින් එය නොපිළිගන්නා බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අද (02) කියා සිටියේ.

මේ අතර විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව හෙට (03) දහවල් 12 සිට පැය 02 කාලයක් දිවයිනේ සෑම විදුලි බල මණ්ඩල ශාඛා කාර්යාලයක් ඉදිරිපිට විරෝධතා පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කියා සිටියා.

ඒ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+


දිනේෂ් ශාෆ්ටෙර්ගේ දේහ කොටස් රස පරික්ෂකවරයා වෙත

(02.01.2023 – 18:43 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ රුධිර සාම්පල්, නියපොතු ඇතුළු දේහ කොටස් මෙන්ම අපරාධ ස්ථානයේ තිබී විමර්ශන නිලධාරින් සොයා ගත් සාක්ෂි ඩී.එන්.ඒ. පරීක්ෂාව සිදු කිරීම සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අධිකරණය අද (02) අවසර ලබා දුන්නා.

මෝසමක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙම නියෝගය නිකුත් කළා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම මරණය ඝාතනයක්ද එසේ නොමැති නම් සියදිවි නසාගැනීමක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් සිදුකරන බවයි.

එම නිසා අපරාධ ස්ථානයේ තිබි සොයාගත් වයර් කැබලි, ලේ තැවරණු රෙදි, දිනේෂ් ෂාෆ්ටර්ගේ නියපොතු ඇතුළු ස්ථානීය සාක්ෂි රස පරීක්ෂක වෙත යොමුකරන ලෙසට ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මීට අමතරව දුරකථන විශ්ලේෂණ වාර්තාද අධිකරණයට අද ඉදිරිපත් කර තිබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ ෴


ළමා නිවාසයක දරුවෙක් ගසකින් වැටී මරුට

(02.01.2023 – 18:57 +0530 – hirunews.lk/sinhala)

කඩවත රම්මුතුගල මහා විහාරයට අනුබද්ධිත (ජපන් පන්සල) ශ්‍රී විමල වංශ ළමා නිවාසයේ වයස අවුරුදු 12 ක දරුවෙක් ළමා නිවාසයේ වත්තේ පිහිටි මාදම් ගසකින් වැටී ඊයේ (01) මිය ගොස් තිබෙනවා.

පරිවාස භාරයෙන් සිටි මෙම දරුවා මීට වසර කිහිපයකට පෙර මෙම ළමා නිවාසය වෙත භාර දී තිබෙන බව සඳහන්.

මෙම දරුවා ළමා නිවාසයේ සිටින තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ අදාළ මාදම් ගස තිබෙන ප්‍රදේශයේ සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

අනිකුත් දරුවන් කිහිප දෙනෙකු බලා සිටිය දී එම ගසට නැග ඇති දරුවා එකවරම ගසෙන් ඇද වැටී මෙම අනතුර සිදු වූ බව යි වාර්තා වන්නේ.

අඩි විස්සක (20) පමණ උසකින් දරුවා ඇද වැටී ඇති අතර, ඉන්පසු අනිකුත් ළමුන් විසින් දරුවා ව ළමා නිවාසයේ ප්‍රධාන ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශයට ගෙනවිත් තිබෙනවා.

කෙසේ නමුත් අනතුර සිදු වූ පසු දරුවා ව ඉතා ඉක්මනින් රෝහල වෙත රැගෙන යාමට පසුකම් තිබී නැති බව යි වාර්තා වෙන්නේ.

පසුව විහාරස්ථානය වෙත පැමිණි අසල්වැසියෙකුගේ වාහනයකින් දරුවාව රාගම රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

එහි දී දරුවා මිය ගොස් ඇති බව යි පොලිසිය පවසන්නේ.

ආර්. එම්. මධුශංක නමැති මෙම දරුවාගේ මව කුඩා කාලයේ අතහැර ගොස් ඇති අතර, ඉන්පසු පියා වෙනත් කසාදයක් කරගෙන තිබෙනවා.

අදාළ කුඩම්මාට තවත් දරුවන් තිදෙනෙකු (3) සිටින අතර, ගම්පහ නගරයේ මහමග සිටිය දී පොලිසිය විසින් දරුවා ව අධිකරණය වෙත ඉදිරිපත්කර පරිවාස භාරයට යොමු කර තිබෙනවා.

දරුවාගේ දේහය ගම්පහ පුද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු රාගම නැලිගම පොදු සුසාන භූමියේ දී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිත බව වාර්ථා වනවා ෴


අද (02) දුම්රිය 18 ක් අවලංගු වෙයි

(02.01.2023 – 19:38 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විශ්‍රාම යාම නිසා ඇතිවු පුරප්පාඩු හේතුවෙන් අද (02) දිනයේ ගමන්වාර 18 ක් අවලංගු වී තිබෙනවා.

මුහුදුබඩ, කැළණිවැලි, පුත්තලම, සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් සහ ඉන්ධන හා භාණ්ඩ දුම්රිය ගමන් වාර 6 ක් ඒ අනුව අවලංගු වී ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය සදහන් කළේ.

2022 වසරේ දෙසැම්බර් 31 වන දිනට වයස අවුරුදු 60 සම්පුර්ණ වු රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්විමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ කණිෂ්ඨ සේවකයින්ගේ සිට ඉහල ශ්‍රේණිවල සේවකයින් 500 කට අධික පිරිසක් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගොස් තිබෙනවා.

දුම්රිය රියදුරු සහායක, නියාමක සහ ප්‍රධාන නියාමක ශ්‍රේණිවල උග්‍රසේවක හිගයක් මේ හේතුවෙන් නිර්මාණය වි ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ නිසා දෛනික දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වු අතර ඒ හේතුවෙන් පසුගිය දින දෙක (2) තුල පමණක් දුම්රිය ගමන් වාර 100 කට වඩා අවලංගු කෙරුණා.

අද (02) දින පෙරවරුවේද දුම්රිය 11 ක් අවලංගු විම හේතුවෙන් මගීන් අපහසුතාවයන්ට පත්ව තිබුණා.

මේ අතර, පවතින ගැටලුවට විසදුම් ලබාදීම සදහා විශ්‍රාම ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ සේවකයන් සේවා අවශ්‍යතා මත කොන්ත්‍රාත් පදනම යටතේ තවදුරටත් සේවයේ යොදා ගැනීමට ජනාධිපති ලේකම්වරයා අනුමැතිය ලබාදී තිබුනා.

කෙසේ වෙතත්, අදාල බදවාගැනීම සදහා තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න කියා සිටියේ.

මේ අතර, නව දුම්රිය ස්ථානාධිපතිවරුන් 50 දෙනෙකු සදහා පත්වීම ලබාදීමට රජයේ අනුමැතිය හිමිවු බව දුම්රිය සාමන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩි.එස්. ගුණසිංහ පවසනවා.

2018 වසරේ පැවති තරග විභාගයෙන් සමත් පිරිස් අතුරින් 44 දෙනෙකුට පමණක් හෙට (03) පත්වීම් පිරිනමන බවයි ඔහු සදහන් කළේ.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති පත්වීම් ලබාදිම තුලින් පවතින සේවක හිගයට විසදුම් නොවන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළේ.

දුම්රිය රියදුරු සහායක, නියාමක සහ ප්‍රධාන නියාමක ශ්‍රේණි සේවක හිඟයට විසදුමක් ලබා දිමෙන් පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත්ව සිදුකරගෙන යා හැකි බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මතුව ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් අද (02) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර අදහස් දක්වා සිටි අතර ඔහු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට මෙහිදී චෝදනාවක් එල්ල කළා.

+


ඩීසල් සහ භූමිතෙල් මිල පහළට

(02.01.2023 – 21:17 +0530 – hirunews.lk/sinhala)

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක (2) මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15 කින් පහත දමා තිබෙනවා.

එසේම භූමිතෙල් මිලද රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355 ක් ෴


පක්ෂ කිහිපයක් එක්ව නායකත්ව මණ්ඩලයක් සහිතව පුළුල් සන්ධානයකට

(02.01.2023 – 11:29 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය, නායකත්ව මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

එම පුළුල් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අතර නව සන්ධානය ‘නිදහස් ජනතා සන්ධානය’ ලෙස නම් කිරීමට ද යෝජනා වී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

අලුතින් පිහිටුවන නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන කණ්ඩායම් තුන (3) නියෝජනය වන නායකයන් තිදෙනෙකු (3) ගෙන් යුත් මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති බවද සදහන්ය.

කෙසේවෙතත්, සන්ධානය පිහිටුවීමට මූලික වී සිටින දේශපාලන පක්ෂ නායකයෙක් සදහන් කළේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

නව සන්ධානය පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බව වාර්තා වන අතර, මේ සති අන්තයේ එහි කටයුතු නිම කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව එම සන්ධානයට පිහිටුවීමට මුල් වී සිටින දේශපාලන පක්ෂයක නායකයෙක් සඳහන් කරයි ෴


නිරාගමික මිසදිටුවෙකු වන සේපාල් අමරසිංහගේ කතාවට ජේවීපී අනුර එකඟදැයි අහන අක්මීමන හිමි පොලිසි යයි (02.01.2023)

+


Hiru TV Salakuna Live – Ven. Elle Gunawansa Thero – EP 367 – 2023-01-02

+


පස්දෙනකු (5) සපාකෑ, ප්‍රංශ ජාතිකයාගේ පිස්සු බල්ලා මියයයි.. විදේශිකයා අත්අඩංගුවට..

(03.01.2023 – 06:20 +0530 – lankacnews.com)

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකුව ඇතුළු පුද්ගලයන් පස්දෙනකු නිදැල්ලේ පැමිණ සපාකැ බෙන්තොට ප්‍රදේශයේ පදිංචිව විදේශිකයෙකු ඇතිදැඩි කළ සුනඛයා ජලභීතිකා රෝගය වැළදී මියගියපසු එම ප්‍රංශ ජාතිකයා (02) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තොට, අංගාගොඩ, ලිපිනයේ පදිංචි එරික් මාර්ෂල් බර්නාඩ් ගෝල්මාන් 84 හැවිරිදි ප්‍රංශ ජාතිකපුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරු විසින් ග්‍රෙඩන් සුනඛ වර්ගයට අයත් අවුරුදු 6 ක් පමණ වයසැති ලැකී නැමැති බැල්ලියක සුරතලයට ඇති දැඩි කර ඇති අතර , බැල්ලිය ඉකුත් 23 දා එම නිවසින් පැන ඇවිත් පුද්ගලයින් පස් දෙනෙකු (5) සහ නිවාස වල ඇති කරන සුනඛයින් තිදෙනෙකු (3) සපාකා තිබුණි. මේ වන විට එම බැල්ලිය සපා කා තිබෙන නිවාස වල ඇති කළ සුනඛයන් දෙදෙනෙකු (2) ද මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

එම බැල්ලිය ඉකුත් 26 දා හදිසියේ මියගොස් ඇති අතර, සුනඛ හිස බොරැල්ල වෛද්‍යපරීක්ෂණ ආයතනයට යොමුකිරීමෙන් පසු කල පරීක්ෂණ වලදී සුනඛයාට ජලභීතිකා රෝගය වැළදී ඇති බවට තහවුරුව තිබේන බව මහජන සෞඛ්‍ය පාර්ශව නිලධාරීන් ද තහවුරු කර තිබේ.

සුනඛයා සපා කෑ පුද්ගලයන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, පළමු වරට එම පුද්ගලයන් අලුත්ගම පොලිසියට පැමිණිලි කර නැවත සුනඛයා සපාකෑම සම්බන්ධයෙන් අළුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි වෙඩික්කාරගේ නීල් ප්‍රියනන්ද යන අය විසින් අලුත්ගම පොලිසියට ද පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය පවසයි.

ඒ අනුව සැකකාර ප්‍රංශ ජාතිකයා 02 දින දහවල් පොලිසියට කැදවා පරීක්ෂණ සිදුකිරීමෙන් පසු වරද කියාදී ජලභීතිකා පනත යටතේඅත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි .

සැකකාර ප්‍රංශ ජාතිකයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

~ අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


IMF ප්‍රමාදයට හේතුව හම්බන්තොට වරාය ගිවිසුම – විජයදාස රාජපක්‍ෂ

(03.01.2023 – 07:49 +0530 – mawbima.lk)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම මෙතෙක් ප්‍රමාද වීමට හේතුව හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුමත් සමග බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග විරසක වීම බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පැවසීය.

එම ගිවිසුම නිසා ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව, ජපානය, අමෙරිකාව, බුරුමය, යුරෝපය ආදී රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග විරසක වූ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.

හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධ වීම නිසා 2017 වර්ෂයේදී තමාව අමාත්‍ය ධූරයෙන් පවා නෙරපා හැරිය බව ද ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටි කාලයකදී ජපානය සමග ඇති කර ගත් ශ්‍රී ලංකාවට හොඳ ප්‍රතිලාභ ලබාගත හැකි සැහැල්ලු දුම්රිය ගිවිසුමක් කිසිදු අධ්‍යයනයකින් තොරව අවලංගු කළ බව ද මේ ආකාරයට ශ්‍රී ලංකාව රටවල් රැසක් අමනාප කරගත් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලැබුණත් මෙරට ආර්ථිකයේ ලොකු වෙනසක් කිරීමට නොහැකි නමුත් ලෝකයේ වෙනත් රටවලට අප රට පිළිබඳව විශ්වාසයක් ඇතිකර ගැනීමට මෙන් ම විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම, වෙනත් රටවල් සමග ගනුදෙනු කිරීමට හැකිවීම වැනි වාසිදායක තත්ත්වයන් එම ණය මුදල අප රටට ලැබීම හරහා සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ වුව ද ඉදිරි මාස දෙකක (2) කාලය ඇතුළතදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය ආධාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා වැඩිදුරට ත් පැවසීය ෴


අනවසරෙන් කටුනායක අධිවේගයට ගොස් විදුලි රැහැන් කපමින් සිටි අයෙකු රිය අනතුරකින් මරුට

(02.01.2023 – gossiplankanews.com)

කටුනායක අධිවේගී මාර්ගයේ කඳාන ජා–ඇළ අතර අධිවේගී මාර්ගයේ 13.4 කිලෝමීටර් කණුව අසල මාර්ගය මැද බිම අතුරා ඇති විදුලි රැහැන් කපමින් සිටියදී පුද්ගලයෙකු රිය අනතුරකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි. අනතුරින් මියගිය පුද්ගලයාගේ හිස කොටස හදුනාගත නොහැකි තරමටම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර දෙපා බිදී ගොස් ඇති බවද පොලීසිය පවසයි. චීන ජාතිකයකු පැදවූ මෝටර් රථයක ගැටී විරුද්ධ මංතීරුවට විසිවී එහි ගමන් ගත් තවත් වාහනයකට යට වීමෙන් මොහු අනතුරට ලක්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි.

කොළඹ පෝට්සිටි ව්‍යාපෘතියේ ආහාර සපයන්නෙකු ලෙස සේවය කරන චීන ජාතිකයකු ඉකුත් (31 දා) අලුයම ඔහුගේ මිතුරෙකු කටුනායක ගුවන්තොටුපළට ඇරලවා නැවත එමින් සිටියදී කදාන පොලිස් වසමට අයත් අධිවේගී මාර්ගයේ 13.4 කිලෝ මීටර් කණුව අසලදී මාර්ගය හරහා ගමත් කිරීමට උත්සාහ දැරූ පුද්ගලයකු මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබිණි. අනතුරින් මෝටර් රථයේ ගැටුණු පුද්ගලයා අතුරුගිරිය දෙස සිට කටුනායක දෙසට වාහන ධාවනය වන විරුද්ධ මං තීරුවට විසිවී එහි ගමන්ගත් තවත් වාහනයකට යට වී ඔහුගේ හිස කොටස හදුනාගත නොහැකි තරමටම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය වාර්තාවීමත් සමග අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයා සොරා ගත් බවට සැකකෙරෙන අගල් 20 සහ 22 දිගින් යුත් විදුලි රැහැන් තොගයක්, යකඩ කපන කියතක්, සහ මිටියක් සොයාගෙන තිබේ.

මොහු අධිවේගී මාර්ගය මැද එළා ඇති විදුලි රැහැන් සොරා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණදී ඇති බවට පොලීසිය සැක කරයි. අනතුරින් චීන ජාතිකයා පැදවූ මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට සහ තවත් උපාංග රැසකට බරපතළ හානි සිදුව ඇතැයි පැවසේ. මේ වන විට මියගිය පුද්ගලයාගේ දේහය හඳුනාගෙන නොමැති අතර නාදුනන මළසිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මෘතදේහය හඳුනාගැනීමට පොලීසිය මහප්ත සහාය පතන අතර යම් තොරතුරක් වෙතොත් කඳාන පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

~ ශාන්න පුදීප් කුමාර කුලරත්න

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *