2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ

2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ


2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ

(30.12.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ ජනවාරි පළමුවැනිදා (2023.01.01) සිට බල පැවැත්වෙන පරිදි ‘කොන්සල් සේවා ගාස්තු’ කිහිපයක් වෙනස් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සල් අංශය සහ එහි ප්‍රාදේශීය කාර්යාල මඟින් ඉටු කරනු ලබන සේවාවන් සඳහා මෙම සංශෝධන අදාළ වන බවයි.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන විභාග සහතිකයක් සඳහා රුපියල් 800 ක්ද, විදේශීය ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය නිකුත් කරන සහතිකයක් සඳහා රුපියල් 3,000 ක්ද අය කරන බවයි.

එමෙන්ම, යම් අපනයන ලේඛනයක් සඳහා රුපියල් 8,000 ක මුදලකුත්, වෙනත් යම් ලේඛනයක් සඳහා රුපියල් 1,200 ක මුදලකුත් ලෙස අය කරන බවද එහි සඳහන්.

විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සත්‍ය පිටපතක් බවට සහතික කරවා ගැනීම සඳහා විදේශවල පිහිටි කොන්සල් කාර්යාල හරහා ලේඛනයක් ඉදිරිපත් කිරීමේදී, ලේඛන හිමියා ශ්‍රී ලාංකිකයෙකු නම් අමෙරිකානු ඩොලර් 37 ක් සහ ලේඛන හිමියා විදේශිකුයෙකු නම් අමෙරිකානු ඩොලර් 49 ක් අය කරන බවද නව ගැසට් නිවේදනයෙන් දක්වා තිබෙනවා.

උපත් ලියාපදිංචි කිරීමකට අමෙරිකානු ඩොලර් 37 ත් 22 ත් අතර ගාස්තුවකුත්, මරණ සහ විවාහ ලියාපදිංචි කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 60 ත් 22 ත් අතර ගාස්තුවකුත් අය කරන බව එහි සඳහන් ෴


රථවාහන වැරදි අනුව ලකුණු කැපෙන විදිය

(30.12.2022 – 21:25 +0530 – sinhala.adaderana.lk)

රියදුරන් සිදුකරන රථ වාහන වැරදි අනුව ඔවුන්ට දඬුවම් පැමිණවීම සඳහා දඩ ලකුණු ක්‍රමවේදයක් ලබන මාර්තු මස සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

ඊට අනුව දඩ ලකුණු 24 ක් රැස්කරගන්නා අයෙකුගේ වසරක (1) කාලයක් සඳහා රියදුරු බලපත්‍රය අහෝසි කෙරෙයි.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සහ දඩ මුදල් එම මොහොතේම අයකර ගැනීමට නවීන තාක්ෂණික උපකරණ ද පොලිස් නිලධාරීන්ට ලබාදීමට ද සැලසුම් කර අවසන්ය.

මෙරට මාර්ග අනතුරු හේතුවෙන් වසරකට (1) අහිමිවන ජීවිත සංඛ්‍යාව ආසන්න වශයෙන් 3,000 ඉක්මවනු ලබයි.

ඒ අනුව, 

• නියමිත සංඥා ලබා නොදීම හෝ වැරදි සංඥා ලබාදීම, ජංගම දුරකථන භාවිතය, අනතුරක් වළක්වා ගැනීමට අසමත්වීම, ආසන පටි නොපැළදීම සහ අධික ශබ්දය යන වැරදි සඳහා ලකුණු 3 ක් රියදුරු බලපත්‍රයට එකතු වෙයි.

• එමෙන්ම නියමිත මං තීරුවේ ධාවනය නොකිරීම, වැරදි ලෙස ඉස්සර කිරීම, ඉස්සර කිරීම සඳහා ඉඩ ලබානොදීම, මංසන්ධියකට අදාළ නීතී කඩකිරීම, එක් මාර්ගයක සිට වෙනත් මාර්ගයකට ගමන් කිරීමට අදාළ රීති කඩකිරීම ආදී වැරදි සඳහා ලකුණු 4 ක් හිමිවෙයි. 

• එසේම මෝටර් රථයක් දිගු දුරක් පසුපසට ධාවනය කිරීම (REVERS කිරීම), සුළු අනතුරු ළඟම පොලිස් ස්ථානයට වාර්තා නොකිරීම, පොලිස් නිලධාරීයෙකුගේ උපදෙස් හා හස්ත සංඥා අනුගමනය නොකිරීම යන වැරදි සඳහා ද ලකුණු 4 ක් එක් කෙරෙයි. 

• මේ අතර අධික වේගයෙන් රිය පැදවීමේ වරදට වේග සීමා අනුව ලකුණු 4 ත් 8 ත් අතර ප්‍රමාණයක් හිමි වෙයි. 

• වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම, අධික වේගය, මාර්ග යෝග්‍යතාව නොමැති වාහන ධාවනයක් (අනතුරක් විය හැකි ආකාරයෙන් ධාවනය), අපරික්ෂාකාරී ධාවනය හා නොසැලකිලිමත් ලෙස ධාවනය යන වැරදි සඳහා ලකුණු 6 ක ප්‍රමාණයක් ලබාදීමට නියමිතය. 

• මාර්ග අනතුරකින් පසු වාහනය නතර නොකිරීම, (Hit & Run) අදාළ තොරතුරු ඉදිරිපත් නොකිරීම, තුවාල ලැබුවන් රෝහල වෙත හෝ වෛද්‍යවරයෙකු වෙතට රැගෙන නොයෑම, ළඟම ඇති පොලීසිය වෙත අනතුර වාර්තා නොකිරීම සඳහා හිමිවන ලකුණු ප්‍රමාණය ලකුණු 10 කි.

එමෙන්ම අදාළ වරදට හසුවන රියදුරන්ගේ ලකුණු ප්‍රමාණය සලකුණු කිරීමටත් දඩ මුදල එම අවස්ථාවේදීම ගෙවීම සඳහාත් නව උපකරණයක් පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට නියමිතය. 

මේ අතර 2023 වසරේ ජනවාරි පළමුවැනිදා (01) සිට රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කිරීමට කටයුතු කර තිබේ ෴

+++++++++

+


අලෙවිය අඩුවීමෙන් පොළොන්නරුවේ වැලි ගොඩ ගැසෙයි

(30.12.2022 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ඉදිකිරීම් කර්මාන්තයේ බිඳ වැටීමත් සමඟ වැලි අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව පවසනවා.

මනම්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව වැලි ගොඩ දැමීම් සිදුකරනු ලබන භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට අනුබද්ධ ‘ජී.එස්.එම්.බී. තාක්ෂණ සේවා පෞද්ගලික සමාගම’ දිස්ත්‍රික්කයේ ස්ථාන 06 ක වැලි අලෙවි කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

ඒ, කුඩා ප්‍රමාණයෙන් වැලි මිලට ගැනීම් සිදුකරන පුද්ගලයින්ගේ පහසුව සඳහායී.

එම ස්ථාන වෙත රැගෙන එනු ලබන වැලි, ට්‍රැක්ටර් රථ වෙත පටවනු ලබන පුද්ගලයන් සහ ඒවායේ හිමිකරුවන් ප්‍රකාශ කළේ වැලි අලෙවිය සීග්‍රයෙන් අඩු වීම නිසා තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.

මෙම ස්ථානවල මේ වනවිට වැලි ගොඩ ගැසී ඇති බව ද අප වාර්තාකරු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අප ‘ජී.එස්.එම්.බී. තාක්ෂණ සේවා පෞද්ගලික සමාගමේ’ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී පවන් දේශාන්ත මහආරච්චිගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ පෞද්ගලිකව වැලි මිලට ගන්නා ප්‍රමාණය මේ වනවිට අඩු වී ඇති බවයි.

එහෙත් රජයේ ව්‍යාපෘති සඳහා වැලි මිලට ගැනීම අඛණ්ඩව සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළා ෴


බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගැටළු ගැන සාකච්ඡාවක්

(30.12.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උද්ගතව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු, පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු පිරිසක් අද (30) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හමුවුණා.

ඒ, විශ්ව විද්‍යාලය වසා දැමීමට එරෙහිව පසුගියදා ඔවුන් විසින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයෙන් පසු, අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව මතයි.

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණට රැගෙනවිත් තිබෙනවා.

සැකකරු ඊයේ (29) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු අද (30) උදෑසන වනතෙක් මහනුවර පොලිස් ස්ථානයේ රඳවා තිබුණා ෴


ඖෂධයක් විෂ වී ළමයින් 18 ක් මියයෑමේ සිද්ධිය ගැන උස්බෙකිස්ථානය පරීක්ෂණ අරඹයි

(30.12.2022 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ඖෂධයක් විෂ විමෙන් උස්බෙකිස්ථානයේ කුඩා ළමයින් 18 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කුඩා ළමයින් සඳහා කැස්සට ලබාදෙන ඉන්දීය සමාගමක් විසින් නිෂ්පාදිත සිරප් වර්ගයක් විෂවීමෙන් මෙම දරුවන් මියගොස් ඇති බව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් උස්බෙකිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

එම ඖෂධයේ එතිලීන් ග්ලයිකෝල් (Ethylene Glycol) නැමැති විෂ සහිත ද්‍රව්‍යයක් තිබීම ඊට හේතුව බවටයි එහි දැක්වුණේ.

කෙසේ වෙතත්, අදාළ ඖෂධ සහ එය නිෂ්පාදනය කළ සමාගම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා උස්බෙකිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා ෴


හිරුණිකාට සහ ආදර්ශාට ආශු මාරසිංහගෙන් එන්තරවාසි

(30.12.2022 – 11:20 +0530 – hirunews.lk/sinhala)

‘හිරැණිකා ප්‍රේමචන්ද්‍ර’ට සහ ‘ආදර්ශා කරදන’ට රුපියල් බිලියන 1.5 ක් ගෙවීමට එන්තරවාසි ලැබී ඇති බව වාර්තා වනවා.

ඒ, මහාචාර්ය ආශු මාරසිංහ ව සම්බන්ධ කර අපහාසයට ලක් කිරීමට එරෙහි ව යි.

මහාචාර්ය ආශු මාරසිංහ පිළිබඳ සකස් කර සංස්කරණය කරන ලද වීඩියෝවක් පළ කිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරැදි අර්ථ නිරූපණයක් ලබා දීම තුළින් තමාට සිදු වූ අපකීර්තිය සලකා බලමිනු යි ආශු මාරසිංහ මෙම එන්තරවාසිය යවා ඇත්තේ.

හිරුණිකා හා ආදර්ශා විසින් පසුගිය 23 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව මගින් මහජනතාව නොමග යැවීමට හා එමගින් අයුතු ආකාරයෙන් මහජන මතයක් මහාචාර්ය ආශු මාරසිංහට එරෙහි ව ගොඩ නැඟුණු බවත් එහි සඳහන්.

ඒ අනුව හිරුනිකා ප්‍රේමචන්ද්‍රට රුපියල් මිලියන 500 ක් හා ආදර්ශා කරඳනට රුපියල් බිලියනයක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස යි මෙම එන්තරවාසි මගින් දන්වා යවා ඇත්තේ.


පාසල් ළමයින්ගේ බෑග් පරීක්ෂාව ගැන පොලිස්පතිගෙන් උපදෙස්

(30.12.2022 – 10:35 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමයින් පරීක්ෂා කළ යුත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවසනවා. ‍

ඒ අනුව නිකරුනේ පාසල් ළමයින් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

එසේම, පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා පමණක් ඉදිරියේ දී පාසල් ළමයින්ගේ බෑග් පරීක්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළා.

එහි දැක්වුණේ පන්ති කාමරය මෙන්ම පාසල් පරිශ්‍රය දරුවන්ට ප්‍රියජනක ස්ථානයක් මෙන්ම මානසික තෘප්තියක් සහිත ස්ථානයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන බවයි ෴


දකුණේ ATM සුද්ද කළ ‘සුද්දා’ සොයා විමර්ශන

(31.12.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කළ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගාල්ල, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල පිහිටි බැංකුවල ATM යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිසී ඔවුන් මුදල් සොරාගෙන ඇති බවයි.

ATM යන්ත්‍ර පද්ධතියේ ඇති පරිගණක මෘදුකාංග පද්ධතිය වෙනස් කරමින් මෙම විදේශිකයන් පිරිස මුදල් ලබාගෙන ඇති බවටයි වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

+++++++++

දකුණු පළාතේ ඒටීඑම් (ATM) සුද්දයක්

(31.12.2022 – 08:34 +0530 – sinhala.adaderana.lk)

දකුණු පළාතේ නගර තුනක (3) පිහිටි රාජ්‍ය බැංකු තුනක (3) ඒටීම් යන්ත්‍රවලින් රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදල් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

හික්කඩුව, ගාල්ල හා බද්දේගම නගරවල පිහිටි ඒටීඑම් යන්ත්‍ර වලින් මෙම මුදල් සොරාගෙන ඇත.

ඒටිඑම් යන්ත්‍රවල ඇති පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී මෘදුකාංග වෙනස් කර එක් ඒටීඑම් යන්ත්‍රයකින් රුපියල් හතලිස් හය ලක්ෂ අසූ දහසක් (46,80,000) තවත් යන්ත්‍රයකින් රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් (2,75,000) හා අනෙක් යන්ත්‍රයෙන් රුපියල් පනස් හත් ලක්ෂයක් (57,00,000) මෙලෙස සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

විදේශකයින් බවට සැකකරන පිරිසක් එම කුටි තුළ සවිකර තිබෙන සිසිටිවි කැමරා වලට ස්ටිකරයක් වැනි යමක් අලවා එකම ආකාරයෙන් මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

මෙම මහා පරිමාණ මුදල් වංචාවට එකම පිරිසක් සම්බන්ධ බවට සැකකරන අතර හික්කඩුව, ගාල්ල හා බද්දේගම යන පොලිස් ස්ථානවලින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි ෴

+


මරා වල දැමු ඇතෙකු සහ අලියෙකුගේ සිරුරු ගොඩගනී

(31.12.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

තිරප්පනේ – ඔරුක්මාන්කුලම ප්‍රදේශයේදී ඝාතනය කර රහසේ වළ දැමූ බව කියන වන අලියෙකුගේ සහ ඇතෙකුගේ සිරුරු අධිකරණ නියෝගයක් අනුව ඊයේ (30) ගොඩගනු ලැබුවා.

ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයද අනුරාධපුර පශු වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකළ අතර, ඒ සම්බන්ධයෙන් සැකපිට තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම වන අලියා සහ ඇතා ඝාතනය කර පුළුස්සා බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් වළ දමා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම සත්වයින් වළ දැමීම සඳහා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට රුපියල් 80,000 ක මුදලක් සැකකරු විසින් ලබාදී ඇති බවද විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

ගොඩගත් සිරුරු දෙක (2) අතර එක් දළ ඇතෙකු ද සිටි බවටයි පශු වෛද්‍යවරුන් අනාවරණ කරගනු ලැබුවේ.

දළ ඇතා සහ අලියා විදුලි සැර වැද්දවීමෙන් ඝාතනය කර ඇති බවටද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු කරගෙන තිබෙනවා.

පසුව තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් උට්ටිමඩුව ප්‍රදේශයේ දී මෙම 47 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කළු විරෝධයක්

(31.12.2022 – 07:40 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු සංශෝධනයට විරෝධය පළ කරමින් ජනවාරි අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, දිවයින පුරා විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බවයි එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

දිවයිනේ සියලු‍ රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000 කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන අතර එම පෙත්සම ජනවාරි 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට ද නියමිතයි ෴


කොට කලිසමෙන් දේව කාරිය කළ බදුල්ලේ ජීවකයාණෝ

(31.12.2022 – 06:58 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඊයේ (30) අළුයම ඇතුළත් කෙරුණු අසාධ්‍ය රෝගීන් තිදෙනකුට (3) ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේ වෛද්‍යවරයෙකු නිවසේ සිටි අයුරින්ම රෝහලට පැමිණ එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් පුවතක් වාර්තා වනවා.

මෙලෙස කටයුතු කර ඇත්තේ බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්‍ෂ විසිනුයි.

අසාධ්‍ය රෝගීන් තිදෙනකු (3) රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවට රෝහලෙන් ලැබුණු කැඳවීමක් අනුව මෙම වෛද්‍යවරයා මෙලෙස රෝහලට පැමිණ ඇති අතර ඔහු එම අවස්ථාවේ පැවති හදිසිය නිසා ඔහුට සිය කණ්ණාඩි කුට්ටම පවා අමතක වී ඇති අතර ඒ වෙනුවට කණ්ණාඩි කුට්ටමක් ද ඉල්ලාගෙන ඇත්තේ වෙනත් අයකුගෙන් බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත්, වෛද්‍ය රාජකාරියේ දී අඳින ඇඳුමකින් සැරසීමට ගත වන කාලය ද රෝගියාගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට වැදගත් බැවින් වෛද්‍යවරයා කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී පැමිණ මෙසේ රෝගීන්ට ප්‍රතිකාර කළ බව එම වෛද්‍යවරයා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ :


නිවාස අලෙවියෙන් ඩොලර් ලක්ෂ 05 ක් ඉපයූ නාගරික සංවර්ධන අධිකාරිය

(30.12.2022 – 08:02 +0530 – hirunews.lk/sinhala)

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ වැඩපිලිවෙල යටතේ මේ දක්වා අමෙරිකානු ඩොලර් ලක්ෂ 05 කට අධික මුදලක් උපයා තිබෙනවා.

රට තුළ පැවති ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලෙවි කිරීම ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිටයි.

ඒ අනුව ඩොලර් ගෙවා පළමු නිවස මිල දී ගනු ලැබුවේ ඩුබායි හි සිටි ශ්‍රී ලාංකිකයෙක් වන අතර, මේ වනවිට නිවාස 11 ක් ඩොලර්වලට අලෙවි කර තිබෙනවා.


අධ්‍යාපන වීසා මුවාවෙන් රැකියා දෙන බව පැවසූ අඹුසැමි යුවළක් අත් අඩංගුවට

(30.12.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

බ්‍රසීලය හරහා කැනඩාවට යවන බවට පොරොන්දු වී රුපියල් කෝටි 3 කට අධික මුදලක් වංචා කළ බව කියන ඩුබායි හි සිටින මහා පරිමාණ මූල්‍ය වංචාකරුවෙකුගේ මෙරට නියෝජිතයා ලබන වසරේ ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ, දූනගහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම වංචාවට හසු වූ බඩල්ගම, උස්වැටකෙයියා, මුන්නක්කරය සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 07 දෙනෙකු මීගමුව කොට්ඨාස වංචා විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු විසින් මොවුන්ට ඩුබායි හි සිටින ශ්‍රී ලාංකිකයෙකු හඳුන්වා දී ඇති අතර, ඔහු ඩුබායි හි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන අයෙක් බවත්, ඔහුගේ සබඳතා මත කැනඩාවේ රැකියා අවස්ථා ලබාගත හැකි බව පවසමිනු යි මෙම වංචාව සිදු කර ඇත්තේ.

මේ අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත කරන මුවාවෙන් පෝලන්තයේ සහ තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කළ අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිලි 11 ක් මත මේ පිළිබඳ විමර්ශන සිදු කරනු ලැබුවා.

ඒ අනුව තිඹිරිගස්යාය ප්‍රදේශයේ මෙම අඹුසැමි යුවළ විසින් පවත්වාගෙන ගිය ව්‍යාජ රැකියා නියෝජිතායතනයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 11 ක් ඇතුළු ලිපිලේඛණ තොගයක් විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

මොවුන් පෝලන්තයේ සහ තුර්කියේ රැකියා ලබා දෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 555,000 බැගින් ලබාගෙන ඇති බවට යි අනාවරණ වී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *