දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : වාහනේ ළඟ සිට මාරු වූ අය සොයා විමර්ශන

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : වාහනේ ළඟ සිට මාරු වූ අය සොයා විමර්ශන


දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : වාහනේ ළඟ සිට මාරු වූ අය සොයා විමර්ශන

(30.12.2022 – dinamina.lk)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසානභූමියේ අපරාධයට ලක් වී සිටි මෝටර් රථය අසල සිට ඉක්මනින් ඉවත්ව ගිය පුද්ගලයා කවුරුන්දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය වී සිටි මෝටර් රථය අසල රැඳී සිටි එම පුද්ගලයා කෙට්ටු උස අයකු බවත්, ඔහු මෝටර් රථය අසල සිට සුසාන භූමියේ පසුපස ආදාහනාගාරය දෙසට ගිය බව තමා දුටු බවත් සුසාන භූමි සේවකයකු විසින් දී ඇති ප්‍රකාශයක් පදනම් කරගෙන මේ විමර්ශනය සිදු කරනු ලබයි. එම සුසාන භූමි සේවකයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තොරතුරු විමසීමේදී ඔහු පවසා ඇත්තේ කලිසමක් සහ කමීසයක් හැඳ සිටි එම පුද්ගලයා යළි දුටුව හොත් හඳුනාගැනීමට හැකි බවයි. ඒ අනුව එම පුද්ගලයා හඳුනාගැනීමෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. දිනේෂ් ෂාෆ්ටර් මහතා සුසාන භූමිය තුළ අපරාධයට ලක්ව සිටි අයුරු දැක ඇත්තේ පුද්ගලයන් තිදෙනෙක් (3) පමණි. ඒ ක්‍රිෂ් පෙරේරා සහ සුසාන භූමි සේවකයෝ දෙදෙනෙකි (2). ඒ අය විසින් පොලිසියට දී ඇති ප්‍රකාශවලින් මේ වන විට පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඇඟ වටා වයරයක් ඔතනු ලැබ තිබුණු බවයි. එසේම දෑත් කේබල් පටිවලින් සිර කර තිබුණු බවත්, එය ගැලවීමට උත්සාහ කළත් නොහැකි වූ තැන ඇඟ වටා තැබුණු වයරය පමණක් ඉවත් කර දෑත් එසේම තිබියදී රියැදුරු අසුනට යාබද අසුනට දිනේෂ් ෂාෆ්ටර් මහතා දමාගෙන කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවත් ඔවුන්ගේ ප්‍රකාශවල සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් විවිධ මතයන් ඔස්සේ තවදුරටත් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වාගෙන යමින් මේ අපරාධය විසඳීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව සඳහන්ය. මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ නිවෙසින් හමු වූ ‘කේබල් ටයි’ කිහිපය මෙන්ම දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඇඟ වටා තිබුණු ඇන්ටනා වයරයට සමාන නිවෙසින් හමු වූ ඇන්ටනා වයරය ආදිය සම්බන්ධයෙන් තවදුරටත් විශේෂඥ සාක්ෂි මත විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

මේ විමර්ශනයේදී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් හුවමාරු වූ දුරකතන පණිවිඩ, වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ කෙටි පණිවිඩ ආදිය ගැන මෙන්ම ඔහුගේ බිරියගේ සහ බිරියගේ මවගේ ජංගම දුරකතන ඔස්සේ හුවමාරු වූ දුරකතන ඇමතුම් සහ පණිවිඩ ගැනද විශේෂ අවධානයක් යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

~ ගයාන් කුමාර වීරසිංහ

++++++++++

ෂාෆ්ටර්ගේ මිය ගොස් සති දෙකයි (2) – සිද්ධිය තවමත් අභිරහසක්

(30.12.2022 – 19:47 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුවී අදට දින 14 ක් ගතවනවා.

එහෙත් තවමත් ෂාෆ්ටර්ගේ මරණය පිටුපස තිබෙන අභිරහස අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැහැ.

ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට 100 කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ප්‍රකාශ ලබාගත් අය අතර ෂාෆ්ටර්ගේ බිරිඳ, පවුලේ සාමාජිකයන්, සමීපතමයන් සහ සමාගමේ සේවකයන් ද වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව ෂාෆ්ටර්, සිය මෝටර් රථය තුළ දෑත් බැඳ, ගෙලද පටියකින් ගැට ගසා සිටියදී සොයාගන්නා අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ෂාෆ්ටර්ගේ සමීපතම විධායක නිලධාරියා සහ ෂාෆ්ටර් රෝහල්ගත කිරීමට සහය ලබාදුන් ‘නිලාම්’ නම් සුසාන භූමි සේවකයා මෙන්ම තවත් කම්කරුවෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ ලබාගෙන තිබුණා.

දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථය තුළ සිටියදී සොයාගන්නා අවස්ථාවට ආසන්න කාලසීමාවේ එම ස්ථානයෙන් ගමන්ගත් බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් සුසාන භූමි සේවකයෙක් ලබාදුන් ප්‍රකාශය ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථය අසළ රැඳී සිටි අදාළ පුද්ගලයා, සිහින් උස පුද්ගලයෙකු බවත් ඔහු මෝටර් රථය අසළ සිට සුසාන භූමියේ, පසුපස ආදාහනාගාරය දෙසට ගිය බවත් සුසාන භූමි සේවකයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඒ ඔස්සේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරන අතර සුසාන භූමි සේවකයා සඳහන් කර ඇත්තේ එම තැනැත්තා යළි දුටුවහොත් හදුනාගත හැකි බවයි.

දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථය තුළ සුසාන භූමියේ සිටිනු දැක ඇත්තේ එම ස්ථානයට පළමුව ලඟාවූ ඔහුගේ සමීපතම විධායක නිලධාරියා වන ක්‍රිෂ් පෙරේරා සහ සුසාන භූමි සේවකයන් දෙදෙනෙකු (2) පමණයි.

ඔවුන්ගෙන් බොරැල්ල පොලිසිය මඟින් මූලික ප්‍රකාශ සටහන්කර ගැනීමක් සිද්ධිය වූ දිනම සිදුකළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීමද පසුගිය දින කිහිපයේදී සිදුකර තිබුණා.

මේ අතර පසුගිය දිනක පොලිස්පතිවරයා විසින් ෂාෆ්ටර්ගේ මරණය පිලිබඳ විමර්ශන සිදුකරන සියලු අංශ කැඳවා විමර්ශනවල ප්‍රගතිය විමසා ඇති බවයි වාර්තා වුණේ.

එහි දී මෙම මරණය පිලිබඳ විමර්ශන කඩිනම් කරන ලෙස ඔවුන්ට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇති බවද සඳහන් ෴

++++++++++

30-12-2022

ගල්කිස්සේදී ASPට පහර දුන් දෙදෙනා (2) දැලේ

(30.12.2022 – dinamina.lk)

ගල්කිස්ස වෙරළ පාරේ පිහිටි සිය මිතුරකුගේ නිවෙසකට ගොස් රාත්‍රී ආහාරය ගෙන නිවෙස බලා යෑමට බස් රථයකට ගොඩ වීමේ අපේක්ෂාවෙන් ගමන් කරමින් සිටි බව කියන කොළඹ නාගරික රථවාහන පොලීසියේ සේවයේ නිරත සහකාර පොලිස් අධිකාරි චූලනී වංසනාථ චානක ඉද්දමල්ගොඩ මහතාට මහමඟදී පහර දුන්නේයැයි කියනු ලබන තරුණයන් දෙදෙනකු (2) ගල්කිස්ස පොලිසිය පෙරේදා (28) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔවුන් ගමන් ගත් මෝටර් රථය ද සමඟිනි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ගංගාරාම පාරේ පදිංචිකරුවකු වන ජේ.කේ. ක්‍රිෂාන්ත (20) සහ අත්තිඩිය ශ්‍රීජන මාවතේ පදිංචිකරුවකු වන එස්. සචිත් අලෝක (26) යන තරුණයන් දෙදෙනාය (2).

කොළඹ නාගරික රථ වාහන පොලීසියේ මධ්‍යම දිසාව භාර සහකාර පොලිස් අධිකාරිවරයා වන චානක ඉද්දමල්ගොඩ මහතා මිතුරාගේ නිවෙසේ රාත්‍රී ආහාරයකට ගොස් ඇත්තේ පසුගිය 27 දා රාත්‍රී කාලයේදීය. රාජකාරි විවේකීව සිටියදී ඔහු මිතුරාගේ නිවෙසට ගොස් ඇති බව සඳහන්ය. පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේ සහකාර පොලිස් අධිකාරීවරයාට වාහනයක් නිකුත් කර ඇතත් ඔහු මිතුරාගේ නිවෙසේ රාත්‍රී ආහාරය ගැනීමට ගොස් ඇත්තේ පොදු ප්‍රවාහන සේවා බස් රථයක නැඟීය.

රාත්‍රී ආහාරය ගෙන මේ නිලධාරියා නැවත සිය පෞද්ගලික නිවෙසට පැමිණීම සඳහා රාත්‍රීයේ ගල්කිස්ස සේරම් මාවත ඔස්සේ ගාලු පාර දෙසට පා ගමනින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් ඔහු අසල නතර කර ඇත. එහි සිටි තරුණයකු හෝටලයක නමක් කියා, ඒ හෝටලය වෙත ගමන් කරන මාර්ගය සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් විමසා ඇති බව ගල්කිස්ස පොලිසිය කියයි. සහකාර පොලිස් අධිකාරිවරයා සිට ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසීය. එබැවින් ඔහු පොලිස් නිලධාරියකු බව මෝටර් රථයේ සිටි තරුණයන් දැන සිට නැත. ගල්කිස්ස පොලිසිය පවසනුයේ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් තරුණයන් දෙදෙනාට (2) ප්‍රතිචාරයක් නොදක්වා ඇති බවය. ඒ ගැන තරුණයන් නැවත විමසීමේදී දෙපාර්ශ්වය අතර බහින් බස් වීමක් සිදුව ඇති බවත්, එහිදී මෝටර් රථයේ සිටි තරුණයන් දෙදෙනකු (2) ඉන් පිටතට පැමිණ, සහකාර පොලිස් අධිකාරිවරයාට පහර දී ඇති බවත් ගල්කිස්ස පොලිසිය කියයි.

ඒ පහර දීමෙන් තුවාල ලැබූ සහකාර පොලිස් අධිකාරිවරයා කළුබෝවිල රෝහලට ප්‍රතිකාර ගැනීමට ඇතුළත් වී ඇත. මේ පහරදීම සිදු වන විට ඔහු සන්තකයේ පොලිස් ගමන්කථන යන්ත්‍රය තිබී ඇත. මේ සිදුවීමේදී එම ගමන්කථනයද අස්ථානගත වී ඇති බව පොලිසිය කියයි. ගමන්කථනයේ බැටරිය සහ ඇන්ටනා කොටස ගැටුම සිදු වූ මාර්ගයේ විසි වී තිබියදී හමු වූ බව ගල්කිස්ස පොලිසිය සඳහන් කළේය.

සහකාර පොලිස් අධිකාරිවරයාට පහර දුන් සැකකාර තරුණයන් දෙදෙනා (2) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

~ ගයාන් කුමාර වීරසිංහ


දැරිය බරපතළ අපයෝජනයකට – ඥාණ ගවේෂණ විහාරාධිපති වල් සාදු, උගේ සහෝදරයා, අනුබල දුන් අත්තම්මා සහ නැන්දාත් අත්අඩංගුවට

(30.12.2022 – divaina.lk)

දැරිය බරපතළ අපයෝජනයකට – ඥාණ ගවේෂණ විහාරාධිපති අත්අඩංගුවට
විහාරාධිපති හිමි නමගේ සහෝදරයා, අනුබල දුන් අත්තම්මා සහ නැන්දාත් දැලේ

පහළොස් (15) හැවිරිදි දැරියකට බරපතළ අපයෝජනයක් කළ විහාරාධිපති හිමිනමක් සහ හිමිනමගේ සහෝදරයකු සහ ඊට අනුබල දුන් දැරියගේ අත්තම්මා සහ නැන්දා දොඹගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරිය කොළඹට ආසන්න ප්‍රදේශයක ඥාතියකුගේ නිවෙසේ සිට පාසල් යන අතර ඉකුත් නොවැම්බර් මාසයේ පාසල් නිවාඩුවට තම නිවෙසට පැමිණ ඇත. යාබද නිවසේ පදිංචි ආත්තම්මා සහ නැන්දා ඇයව ‘ලියන්ගොල්ල ඥාණ ගවේෂණ විහාරස්ථානය’ට කැඳවාගෙන ගිය අවස්ථාවේදී විහාරස්ථානය තුළදී විහාරාධිපති හිමියන් ඇයට බරපතළ අතවරයක් සිදුකර ඇති බවත්, පසුව විහාරාධිපති හිමියන්ගේ සහෝදරයකුද අත්තම්මාගේ නිවෙසේදී දැරියට බරපතළ ලිංගික අතවරයක් සිදුකර ඇති බවත් සඳහන්ය.

අත්තම්මා විසින් දැරිය, විහාරාධිපති හිමියන්ගේ සහෝදරයකුට අතවර කිරීම සඳහා ඉඩ සලසාදී ඇති බවට ගමේ ප්‍රචාරයක් යෑමෙන් පසු දැරියගේ දෙමව්පියන් ඒ පිළිබඳ දැරිය පාසල් යෑම සඳහා පදිංචිව සිටින නිවෙසේ ඥාතිවරියට දැනුම්දී ඇත. ඥාතිවරිය විසින් දැරියව වෛද්‍යවරයකුට පෙන්වීමෙන් පසු සිද්ධිය පිළිබඳ අනාවරණයවී ඇත. පසුව දැරියගේ මව විසින් දොඹගහවෙල පොලිසියට පැමිණිලි කර තිබේ.

පරීක්ෂණ පැවැත්වූ පොලිසිය හිමිනමත්, හිමිනමගේ සහෝදරයාත්, ස්ත්‍රී දූෂණයට අනුබල දුන් දැරියගේ අත්තම්මා සහ නැන්දාත් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත්කර ඇත. දොඹගහවෙල වැඩබලන පොලිස් ස්ථානාධිපති උ.පො.ප. සිල්වා මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

~ බඩල්කුඹුර – රවිඳු ගුණතිලක


දරුවෙකු ඔසවා පොළොවේ ගැසූ නරුමයා රිමාන්ඩ්

(29.12.2022 – 17:59 +0530 – sinhala.adaderana.lk)

බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් පාන් ත්‍රීරෝද රථයක් අසලට පැමිණි වයස අවුරුදු හතරහමාරක කුඩා දරුවෙකුව ඔසවා පොළොවේ ගැසූ බව කියන සිද්ධියක් දඹුල්ලෙන් වාර්තා විය.

සිද්ධියට සම්බන්ධ 44 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක නියෝග කර තිබේ.

සැකකරු දඹුල්ල කණ්ඩලම කැප්පැල ප්‍රදේශයේ පදිංචි අජිත් වර්ණසූරිය නොහොත් සමන්ත නමැති පුද්ගලයෙකි.

සිද්ධියෙන් තුවාල ලැබූ දරුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝහලේ වෛද්‍යවරුන් විසින් සිද්ධිය ගැන සැක සිතී දඹුල්ල රෝහල් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව සිද්ධිය හෙළිවී ඇත.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මව සහ පියා මෙන්ම දරුවාගේ සීයා සමග දරුවා කණ්ඩලම ප්‍රදේශයේ නිවසේ රැඳීසිටින අවස්ථාවේ මාර්ගයේ චූන් පාන් ත්‍රීරෝද රථයක හඬ ඇසී මෙම කුඩා දරුවා තම සීයාගෙන් බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලාගෙන මාර්ගය අසලට දිව ගොස් ඇති බවය.

පසුව එම ස්ථානයේ බීමතින් සිටි අයෙකු මෙම කුඩා දරුවාට බැන වැදී චුන් පාන් ගැනීමට මුදල් කොහින්දැයි විමසා එකවරම දරුවාව ඔසවා පොළොවේ ගසා තිබේ ෴


බෞද්ධකමට ලැජ්ජ කරන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මේ රටක සාපයක්. මේ මැර මධ්‍යස්ථානය වහල දාන්න (29.12.2022)


කොරෝනා කාලේ සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් කෝටි දෙකකට (2) වඩා දීමනා ගෙවලා

(30.12.2022 – 20:23 +0530 – hirunews.lk/sinhala)

අනුමැතියකින් තොරව සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ කළමනාකරණ නිලධාරීන් 27 දෙනෙකු සඳහා එක් නිලධාරියෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් 1,40,50,000 ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මහා භාණ්ඩාගාරයට අයත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව දීමනා ලබා නොදිය යුතු වූවත්, 2018 වසරේ මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස එම දීමනා ලබාදී ඇති බවයි එමඟින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවේ මේ බව දක්වා තිබෙනවා.

ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා අධිකාරිය විසින් මුළු දීමනා වෙනුවෙනුයි මෙම මුදල ගෙවා ඇත්තේ.

කොරෝනා වසංගතය පැවති සමයේ අධිකාරියේ සෑම අංශයකම කාර්ය සාධනය පහත වැටී සහ වසංගතය හේතුවෙන් රට කලින් කලට වසා දැමීම හේතුවෙන් සේවකයින්ට නිවසේ සිට සේවය කිරීමට අවස්ථාව ලබා දී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන්.

එසේ පැවතියත් අධිකාරිය විසින් එම තත්ත්වයන් සැලකිල්ලට නොගෙන සමාලෝචිත වර්ෂය සඳහා කාර්ය මණ්ඩලයට සාමාන්‍ය නිවාඩු මුදල් ලෙස, රුපියල් 1,04,28,105 ක් ගෙවා ඇති බවයි එමඟින් පෙන්වා දෙන්නේ.

එය පෙර වර්ෂයට සාපේක්ෂව 37% ක වර්ධකයක් බවද විගණන වාර්තාවේ සඳහන්.

එම තීරණය විවාදාත්මක බවත්, එය සාධාරණීකරණය කළ නොහැකි බවත්, විගණන වාර්තාවේ නිරීක්ෂණවල ඇතුළත්.

කොරෝනා වසංගත සමයේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ අයහපත් මූල්‍ය තත්ත්වය නොසලකා අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව 2016 වසරේ සිට 2020 දක්වා හිඟ ප්‍රවාහන දීමනා ලෙස රුපියල් 92,86,520 ක මුදලක් ගෙවා ඇති බවද එහි දැක්වෙනවා.

එසේම, 2020 වසරේ දෙසැම්බර් 31 දක්වා මිලදී ගැනීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබිය යුතු වැට් බදු රුපියල් කෝටි 24 කට වැඩි මුදලක් අයකර ගෙන නොමැති බවද එම වාර්තාවෙන් ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා ෴


ජනවාරි 02 වැනිදා විදුලි කප්පාදුවට අවසර – හෙට (31) සහ අනිද්දා (01) කිසිදු විදුලි කප්පාදුවක් නැත

(30.12.2022 – 17:21 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 02 වැනිදා පැය 02 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව දිවා කාලයේ දී පැයක (01) කාලයක් සහ රාත්‍රී කාලයේ දී පැය 01 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළේ හෙට (31) සහ අනිද්දා (01) කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි ෴


උද්ධමනය පහළට

(30.12.2022 – 15:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 57.2 දක්වා පහත බැස ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

නොවැම්බර් මාසයේදී එය පැවතියේ සියයට 61 ක මට්ටමේයි.

එමෙන්ම, ආහාර කාණ්ඩයේ දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 64.4 දක්වා පහත බැස ඇති අතර, එය පසුගිය මාසයේ පැවතියේ සියයට 73.7 ක් ලෙසයි.

එමෙන්ම මධ්‍යසාර සහ දුම්කොළ කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 7.6 කින් පහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 1.1 කින් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සදහන්.

ආපනශාලා සහ හෝටල් කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ද 13.8 කින් පහළ ගොස් තිබෙනවා.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 900 කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව අවධාරණය කළේ පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ගේ ප්‍රධානත්වයෙන් පැවති ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සඳහා වන උතුරුමැද පළාත් සැලසුම් කමිටු රැස්වීමේදීයි.

මේ අතර, අසරණ රෝගීන් සඳහා ජනාධිපති අරමුදලෙන් වෛද්‍ය ආධාර ලබාදීම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම අරමුදලේ ලේකම් ඩබ්ලිව්. ඒ. සරත් කුමාරට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ වසර තුළ අදාළ වෛද්‍යාධාර සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1500 කට ආසන්නයි.

අදාළ වෛද්‍යාධාර ලබාදීමේ සැත්කම් සහ ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් දැනට ගෙවන මූල්‍යාධාර වැඩි කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටුවකින් නිර්දේශ ලබා ගැනීමට ද නියමිතයි. මීට අමතරව වෛද්‍යාධාර ගෙවනු ලබන රෝග ලැයිස්තුව ද යාවත්කාලීන කිරීමට නියමිතව තිබෙනවා ෴


පාසල් ළමුන්ට ‘මාවා’ විකුණු පුද්ගලයකු අත්අඩංගුවට

(30.12.2022 – 15:34 +0530 – hirunews.lk/sinhala)

කළුතර, හීනටියංගල ප්‍රදේශයේ දී පාසල් සිසුන් ඉලක්කකර සිදු කරගෙන ‘මාවා’ විකුණු පුද්ගලයකු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) සිදුකරනු ලැබූ එම වැටලීමේ දී ‘මාවා’ කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 200 ක් සහ ‘මාවා’ සකස් කිරීමට ගන්නා හුණු දියර ටින් 02 ක් ද විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 36 ක අයෙක්.


නව කජු ප්‍රභේද 11 ක් හඳුනා ගනියි

(30.12.2022 – 15:08 +0530 – hirunews.lk/sinhala)

කජු සංස්ථාව හා වයඹ විශ්ව විද්‍යාලය එක්ව නව කජු ප්‍රභේද 11 ක් හඳුනාගෙන තිබෙනවා.

මෙම නව ප්‍රභේද, බීජ පැළ වෙනුවට බද්ධ ශාක ලෙස වගා කිරීමට හඳුන්වා දී ඇති අතර, එමගින් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බවයි කජු සංස්ථාවේ වැවිලි අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී අජිත් විජේතුංග සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *