ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක්

ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක්


ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක්

(29.12.2022 – 12:33 +0530 – sinhala.adaderana.lk)

ජපානයේ ආධාර ඇතිව නිමකළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් බංග්ලාදේශයේ ඩකා නගරයේ විවෘත කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති ඩකා නගරයේ ජනතාවට විශාල සහනයක් ලැබෙන බවය.

එම නගරයේ ජනගහනය මිලියන 20 කි.

එම ව්‍යාපෘතිය විවෘත කළ අවස්ථාවට එක්වූ එරට අගමැතිනි ෂෙයික් හසීනා පැවසුවේ එය එරටට ආඩම්බරයක් බවය.

එම සෑම දුම්රියකම එක් මැදිරියක් කාන්තාවන් වෙනුවෙන් වෙන්කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

එහි ක්‍රියාත්මක කළ පළමු සැහැල්ලු දුම්රියෙහි රියදුරු ලෙස කටයුතු කළේ කාන්තාවකි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘මේරියම් අෆිසා’ පැවසුවේ සිය සිහිනයක් සැබෑවූ බවය.

මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වසර 6 ක් පමණ ගතවී ඇති අතර එමගින් කිලෝ මීටර් 12 ක් අතර පැයක් (1) තුළ විශාල මගීන් සංඛ්‍යාවකට ගමන් පහසුකම් සැපයීමට හැකිය.

එය තවදුරටත් ව්‍යාප්ත කිරීමට නියමිතය.

මෙවැනිම ව්‍යාපෘතියක් කොළඹ නගරය ආශ්‍රිතවද නිර්මාණය කිරීමට සූදානම් වුවද එය පසුව අවලංගු කිරීමට මෙරට බලධාරීන් තීරණය කළේය ෴

++++++++

++++++++

අපිට ආපු විදුලි දුම්රිය බංගිලියන්ට ගිය හැටි – පොහොට්ටුවේ මෝඩ ගොං වැඩ (29.12.2022)

+


රෙඩ් වින්ග්ස් මත්තල ට

(29.12.2022 – 10:28 +0530 – sinhala.adaderana.lk)

රුසියාවේ “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය අද (29) ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළේය.

ඒ අනුව සංචාරකයින් 398ක් රැගත් එම ගුවන් සේවයට අයත් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ට අද (29) පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

සංචාරක අමාත්‍යංශය පැවසුවේ, “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය සතියකට දෙවරක් (2) මත්තල ගුවන් තොටුපොළට ගුවන් ගමන් ඇරඹූ බවය.

+


එක්දරු පියා ඝාතන සිද්ධියේ අලුත්ම කතාවක් එළියට

(29.12.2022 – 16:45 +0530 – sinhala.adaderana.lk)

කුලී රථ රියදුරෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඔහුගේ මෝටර් රථය කොල්ලකෑ සිද්ධියක් වාර්තා විය.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බවය.

පොලීසිය සඳහන් කළේ, අදාළ රථයේ රියදුරුට පහරදී ඔහුගේ දෙඅත් පිටුපසට කර බැඳ පුවත්පතක කොටස් මුඛයට ඇතුළුකර ගෙල මිරිකා අමානුෂික ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවය.

පසුව සැකකරුවන් විසින් ඔහු ධාවනය කළ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා මෝටර් රථය රැගෙන පළාගොස් තිබුණි.

සැකකරුවන් අතර එම ඝාතනයට සෘජුවම සම්බන්ධවූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) වන හිටපු නාවික හමුදා සෙබළෙකු සහ හිටපු යුද හමුදා සෙබළෙකු සිටින බවද පොලීසිය පැවසීය.

අනෙක් සැකකරුවා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ජංගම දුරකථන 02 ක් උකසට ගත් පුද්ගලයා ය.

මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙලෙස ඝාතනයට ලක්වූයේ මිනුවන්ගොඩ ගල්ලොලුව හරස් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අශෝක බණ්ඩාර නමැති 48 හැවිරිදි එක් දරු පියෙකි.

අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචිව සිටින සිද්ධියට ඝෘජුවම සම්බන්ධ බවට හඳුනාගෙන ඇති සැකකරුවන් සිව්දෙනා (4) ඉකුත් 14 වනදා එම ප්‍රදේශයෙන් බස් රථයට නැග පිටත්වගොස් ඇත්තේ ‘කාගේ හෝ මෝටර් රථයක් පැහැරගෙන එය කොටස් කර අලෙවි කිරීමේ අරමුණින්’ බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හෙළිකර තිබේ.

එලෙස සැකකරුවන් සිව්දෙනා (4) රත්නපුර නගරයට පැමිණීමෙන් අනතුරුව නුගේගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන සමාගමකට දුරකථනයෙන් අමතා කටුනායක ගුවන්තොටුපොළ වෙත යෑම සඳහා මෝටර් රථයක් ලබාදෙන ලෙස දුරකථනයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දුරකථනයට ඇමතුමක් ගත් එම සමාගම, රත්නපුර නගරයට යන ලෙස කරන ලද දැනුම්දීම අනුව ඝාතනයට ලක්වූ අශෝක බණ්ඩාර නමැත්තා එදින රාත්‍රී 08:45 ට පමණ රත්නපුර නගරයට පැමිණ ඇත.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) සහ තවත් දෙදෙනෙක් (2) මෝටර් රථයට ගොඩවී ඇති අතර කටුනායක ගුවන්තොටුපොළ වෙත යෑමට අවශ්‍ය බවට පැවසීමෙන් අනතුරුව රියදුරු අශෝක බණ්ඩාර ඉංගිරිය හොරණ හරහා ගැලනිගමට පැමිණ අධිවේගී මාර්ගය ඔස්සේ යෑමට හැකියැයි පැවසූ බව අත්අඩංගුවේ පසුවෙන සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර තිබේ.

ඒ අනුව මෝටර් රථය රත්නපුර සිට කිරිඇල්ල හරහා පැමිණීමේදී එහි සිටි එක් අයෙක් ශාරීරික අවශ්‍යතාවයක් තිබෙන බව පවසා මඩවල පාළු ප්‍රදේශයකදී මෝටර් රථය නවතාගෙන ඇත.

එම අවස්ථාවේදී එකවරම හිටපු නාවික සෙබළා මෝටර් රථයේ පිටතින් පැමිණ රියදුරු වෙත කඩාපැන ඔහුට පහරදී තිබේ.

පසුව සියලුදෙනාම රියදුරාට පහරදී ඇති අතර ඉන් බේරී පළායෑමට තැත් කළ අශෝක බණ්ඩාර ලිස්සා වැටීමෙන් එය වැළැකී ඇත.

එහිදී අශෝක බණ්ඩාරව මෝටර් රථයේ පිටුපස අසුන වෙත රැගෙන ගොස් ඔහුගේ ඇඳුම්වලින් ඔහුව ගැටගසා හිසට සහ ශරීරයට පහරදී තිබේ.

පසුව හිටපු හමුදා සෙබළා මෝටර් රථය පදවාගෙන හොරණ දක්වා පැමිණ ඇති අතර ඒ අතරතුර පිටුපස සිටි සැකකරුවන් අශෝක බණ්ඩාරගේ මුඛයට පුවත්පතක පිටු විශාල සංඛ්‍යාවක් ඇතුළු කර ඇත.

පසුව බැනියමකින් කට ගැටගසා ගෙල මිරිකා අශෝක බණ්ඩාරව ඝාතනය කිරීමට සැකකරුවන් කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව යළිත් රථය හරවාගෙන හොරණ සිට රත්නපුර දෙසට ධාවනය කර ඇති අතර ඉංගිරිය නම්බපාන පාලම ආසන්නයේ පාළු ප්‍රදේශයේදී ඝාතනය කරන ලද අශෝක බණ්ඩාරගේ සිරුර බෑවුමකට ඇද දමා ඔහු හැඳ සිටි කලිසම ද ස්ථානයට විසිකර ජංගම දුරකතන දෙක (2) සහ මෝටර් රථය රැගෙන පළාගොස් ඇත.

ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී ගෙල මිරිකා සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව නුගේගොඩ කුලී රථ සමාගම වෙත ලැබී තිබූ දුරකථන අංකය ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයේදී සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු නාවික හමුදා සෙබළා මෝටර් රථය විකිණීම සඳහා පදවාගෙන පැමිණෙමින් සිටියදී අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පිට්ටනිය යාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.

පාරදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න, සහකාර පොලිස් අධිකාරී උදයකුමාරගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිස්සංක, අලුබෝමුල්ල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකෙරේ ෴


රැකියා විරහිත තරුණ තරුණියන් ට අවස්ථාවක්

(29.12.2022 – 20:32 +0530 – sinhala.adaderana.lk)

කර්මාන්තගත ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය යටතේ NVQ–3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයන් 3,000 ක් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහනක් 2023 වසරේ ජනවාරි මස ‘ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය’ (නයිටා) මගින් ක්‍රියාත්මක කරයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණුව සඳහා බඳවාගෙන ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම තුළින් දේශීය හා විදේශීය රැකියා අවස්ථා සඳහා යොමු කිරීම මෙම වැඩසටහනේ අරමුණ වෙයි.

ක්ෂේත්‍ර සහකාර (කෘෂිකාර්මික), සාත්තු සේවක, ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පී, මෝටර් රථ සේවා සහ අභ්‍යන්තර පවිත්‍රකරු, ජලනල කාර්මික, විදුලි කාර්මික (ගෘහස්ත), පෑස්සුම්කරු, සූර්ය බල තාපක ස්ථාපක, ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ කාර්මික ශිල්පී සහ භෝජනාගාර සේවක ලෙස තෝරා ගත් පාඨමාලා 10 ක් මෙම පුහුණු වැඩසටහනට ඇතුළත් වෙයි.

මෙම පුහුණුවේදී ප්‍රථමයෙන් මධ්‍යස්ථානපාදක පුහුණුවක් ලබාදී, ඉන් අනතුරුව පිළිගත් රජයේ හෝ පෞද්ගලික අංශයේ ආයතනයක / කර්මාන්තයක පුහුණුවකින් පසු ඇගයීම් පවත්වා NVQ සහතිකය පිරිනැමීම සිදුකෙරේ.

පුහුණුවට බඳවා ගන්නා ආධුනිකයින් සඳහා ගමන් වියදම්, ජීවන කුසලතා හා නායකත්ව පුහුණුව සහ කර්මාන්ත / නියම වැ‌ඩබිම් පරිසරවල පුහුණුව ලබාදීම වැනි ප්‍රතිලාභ ද හිමිවෙයි.

එළඹෙන 2023 වසරේ ‘NVQ–3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයින් 3,000 ක් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහන’ තුළින් අනාගතය යථාර්ථයක් කර ගැනීමට එක්වන ලෙස නයිටා ආයතනය දැයේ දූ දරුවන්ට ආරාධනා කර සිටී ෴


29-12-2022

ලංකා බැංකුව ඉන්දියානු රුපියලෙන් ගනුදෙනුවට නව වෙළෙඳ අවකාශයක් විවෘත කරයි

(29.12.2022 – divaina.lk)

ලංකා බැංකුව, ඉන්දියානු රුපියල් භාවිතයෙන් සෘජුවම ගනුදෙනු කළ හැකි නව වෙළෙඳ අවකාශයක් විවෘත කරයි. SAARC කලාපය තුළ වෙළෙඳ කටයුතු සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල් නම් කරන ලද විදේශ මුදල් ඒකකයක් ලෙස මෑතකදී පිළිගැනීමත් සමග, ලංකා බැංකුව සිය චෙන්නායි ශාඛාව සමග ඉන්දියානු රුපියල්වලින් සිය පළමු Nostro ගිණුම විවෘත කෙරිණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලංකා බැංකුව විසින් මෙම නව ක්‍රමවේදය හරහා ඉන්දියාව සමග ඉන්දීය රුපියල්වලින් පළමු ගනුදෙනුව සිදු කරන ලද අතර, එමගින් මෙරට විදේශ වෙළෙඳ ක්ෂේත්‍රය තුළ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින්, එවැනි ගනුදෙනුවක් සිදු කළ පළමු ශ්‍රී ලාංකේය බැංකුව බවට ලංකා බැංකුව පත් විය.

මෙම නව සේවාව ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලාංකිකයින්ට දැන් සෘජුවම ඉන්දියානු රුපියල් භාවිතයෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙන අතර, එම නිසා විදේශ විනිමය ආශ්‍රිත ගනුදෙනුවලදී ශ්‍රී ලංකා රුපියල් ඇමරිකානු ඩොලර් බවට පත් කර, ඉන් අනතුරුව ඇමරිකානු ඩොලර් ඉන්දියානු රුපියල් බවට පත් කිරීම වැනි සංකීර්ණ ගනුදෙනු ක්‍රමවේද අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් නොමැත. මෙය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා බැංකුව INR (ඉන්දියානු රුපියල්) නම් කරන ලද මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය සියලුම අවශ්‍යතා සම්පූර්ණ කර ඇති අතර, එය ඉන්දියාව සමග ද්විපාර්ශ්වික ගනුදෙනු සිදු කිරීම ක්‍රමවත් කිරීමට සමත් වී ඇත. මෙම නව සේවාව මගින් ඇමරිකානු ඩොලර් මත යැපීම අවම කරමින්, අපනයන, ආනයන සහ ප්‍රේෂණ සඳහා සිය ගනුදෙනුකරුවන් වෙත තවදුරටත් සහයෝගය දැක්වීමට ලංකා බැංකුව අපේක්ෂා කරයි.

මේ නිසා දෙරට අතර ආර්ථික සහ වාණිජ හවුල්කාරිත්වය ද වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරන අතර, එමඟින් දෙරටේ අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට විශාල වශයෙන් පහසුකම් සැලසෙනු ඇත.

ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි මහතා ඉන්දියානු රුපියල් මගින් සිදු වන මංගල ගනුදෙනුව නව පද්ධතිය හරහා සිදු කරයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය මහා කළමනාකරු (ජාත්‍යන්තර, භාණ්ඩාගාර හා ආයෝජන) ආර්. එම්. එන්. ජීවන්ත, සහකාර මහා කළමනාකරු (භාණ්ඩාගාර) ඒ. ඩබ්ලිව්. ආර්. තුෂාන්ත යන මහත්වරුද සහභාගිවිය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *