ජී.අයි. බට සොරකමකට අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සහ සොහොයුරා රිමාන්ඩ්

ජී.අයි. බට සොරකමකට අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සහ සොහොයුරා රිමාන්ඩ්


ජී.අයි. බට සොරකමකට අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සහ සොහොයුරා රිමාන්ඩ්

(29.12.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala)

ජල නල එලීමේ ව්‍යාපෘතියකට අදාළ ජී.අයි. බට සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ සොහොයුරා ලබන ජනවාරි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අඩි 09 ක දිගින් යුත් බට 11 ක් කැබලි 22 ක් ලෙස වෙන්කර ඊයේ (28) රාත්‍රියේ ප්‍රවාහනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම බට තොගය බෙලිඅත්ත පොලිසිය භාරයට ගනු ලැබුවා.

ඊට අදාළ විමර්ශන සිදුකිරීමෙන් පසු ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරයා අද (29) දිනයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිසියට කැඳවූ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ ෴

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි සිරිල් මුණසිංහ නමැති බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ 67 හැවිරිදි ඔහුගේ සහෝදරයෙකු වන පියදාස මුණසිංහ නමැතිතෙකි. (sinhala.adaderana.lk) ෴

+


පරිවාස භාරයේ සිටි බාලවයස්කාර සිසුවියක් පැහැර ගෙන ගිය තරුණයෙකු අත්අඩංගුවට

(29.12.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

පරිවාස හා ළමා ආරක්ෂක සේවා අධිකාරිය යටතේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි බාල වයස්කාර ගැබිණි සිසුවියක් ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන යමින් සිටි තරුණයෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ දඹුල්ල – කැකිරාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් 24 හැවිරිදි තරුණයා ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

15 හැවිරිදි සිසුවිය කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටිය දී තරුණයෙකු අතින් අපයෝජනයට ලක්ව අධිකරණ නියෝගයක් අනුව පරිවාස හා ළමා ආරක්ෂක සේවා අධිකාරිය භාරයේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.

අත්අඩංගුවට ගත් තරුණයා මෙම සිසුවිය අපයෝජනයට ලක් කර ඇති අතර ඔහු ඇය පැහැර ගෙන ගොස් ඇත්තේ පසුගිය 22 වැනිදායි.

අනතුරුව තාවකාලික ලැගුම්හලක රඳවාගෙන සිටිය දී දඹුල්ල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසට සිසුවිය රැගෙන ගමන් කරමින් සිටිය දීයි අත්අඩංගුවට පත්ව ඇත්තේ ෴


බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කිරීම ගැන පැහැදිලි කිරීමක්

(29.12.2022 – 13:23 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කළ යුත්තේ පවතින ගැටලුවලට විධිමත් විසදුම් ලබා දීමෙන් අනතුරුව බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.

ඒ, අද (29) කොළඹ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

+


රාජ්‍ය සේවයේ 30,000 ක් විශ්‍රාම යයි

(29.12.2022 – 12:44 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (31) 30,000 කට අධික රාජ්‍ය සේවකයින් පිරිසක් විශ්‍රාම යාමට නියමිත බැවින් එම පුරප්පාඩු පිරවීමට වැඩපිළිවෙල කිහිපයක්ම ක්‍රියාත්මක බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

කෙසේ වෙතත්, එකවර විශාල සංඛ්‍යාවක් විශ්‍රාම ගිය ද රාජ්‍ය සේවයේ කිසිදු කඩා වැටීමක් සිදුනොවන බවයි ඔහු සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව පසුගිය රජය විසින් අවුරුදු 65 දක්වා ඉහළ නැංවූ අතර වත්මන් රජය එම වයස් සීමාව යළි 60 දක්වා පහත හෙලනු ලැබුවා.

එහිදී පසුගිය වසරේ රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් විශ්‍රාම නොගිය අතර එම පිරිස් ද ඇතුළුවයි ඉතිහාසයේ වැඩිම රාජ්‍ය සේවකයින් පිරිසක් අනිද්දා (31) දිනයේ දී විශ්‍රාම යාමට නියමිතව ඇත්තේ ෴


හිරෙන් නිදහස් වූ රාජ් රාජරත්නම් ශ්‍රී ලංකාවට

(29.12.2022 – 12:33 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ එදා මෙදා තුළ සිදු වූ බරපතළ ම හෙජින් අරමුදල් අභ්‍යන්තර වෙළෙඳ වංචාවේ ප්‍රධාන මොළකරුවා ලෙස හැඳින්වෙන රාජ් රාජරත්නම් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඔහු ශ්‍රී ලංකාවේ උපත ලැබූවෙක්.

අදාළ මූල්‍ය වංචාව හේතුවෙන් ඇමරිකානු අධිකරණය විසින් ඔහුට වසර 11 ක සිර දඬුවක් ද නියම කළා.

රාජ් රාජරත්නම් මෙරටට පැමිණීමෙන් පසු මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලඥයන් කිහිප දෙනෙකු ද හමු වීමට නියමිත බව යි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

හෙජින් අරමුදල් වංචාව ඇතුළු වැරැදි ගණනාවක් මත 2009 වසරේ දී රාජ් රාජරත්නම් ව ඇමරිකානු ෆෙඩරල් බුද්ධි කාර්‍යාංශයෙ හෙවත් එෆ්.බී.අයි. මඟින් අත් අඩංගුවට ගනු ලැබුවා.

එම චෝදනාව යටතේ යි රාජ් රාජරත්නම් ව 2011 වසරේ දී වසර 11 ක් සඳහා සිරගත කෙරුණේ.

කොටි ත්‍රස්ථවාදීන් සමඟ සබඳතා ඇති බවට චෝදනා එල්ල වීම හේතුවෙන් අත් හිටවෙන ලද දෙමළ පුනරුත්ථාපන සංවිධානයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.5 කට වැඩි මුදලක් ලබා දුන් බවට ද රාජ් රාජරත්නම්ට චෝදනා එල්ල වනවා.

මෙම සංවිධානය, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මඟින් වත්කම් අත් හිටුවන ලද සංවිධානයක් ෴


හෙට (30) සහ අනිද්දා (31) විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

(29.12.2022 – 12:25 +0530 – hirunews.lk/sinhala)

හෙට (30) සහ අනිද්දා (31) දෙදින විශේෂ ඩෙංගු මර්ධන දින ලෙස නම් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ඩෙංගු උණ රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාම හමුවේ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් මෙම දින ප්‍රකාශයට පත් කළ බවයි.

එබැවින් සියළු දෙනා මෙම දින දෙකෙහි (2) නිවෙස් තුළ සහ අවට මෙන්ම තමන් රාජකාරී කරන ස්ථානය සහ ප්‍රදේශයේ පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ලබන 02 වැනිදා නව පාසල් වාරය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බැවින් දිවයින පුරා සියළු පාසල් වල විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ ස්වේච්ඡා සංවිධාන එක්ව පාසල් පරිශ්‍ර පිරිසිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළා.

මේ වසරේ අද (29.12.2022) දක්වා දිවයිනෙන් ඩෙංගු රෝගීන් 76,749 ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව එය දෙගුණයකට (2) වඩා වැඩිවීමක්.

එසේම පසුගිය සති 4 ක කාලය තුළ දිනකට රෝගීන් 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් රෝහල් වලින් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

පවත්න තත්ත්වය මත ලබන ජනවාරී මාසය තුළ ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් රට පුරා වර්තාවීමේ අවධානමකට මුහුණ දි තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඩෙංගු රෝගකාරක වෛරසය පතුරුවන ‘ඊඩීස්’ වර්ගයේ මදුරු ඝනත්වය ද මේ වන විට ඉහළ ගොස් ඇති බවයි ෴

මී උණ රෝගීන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බවයි ෴


අමෙරිකානු ජාතිකයෙකු මැගසිනයක් සහ ජීව උණ්ඩ සමග කටුනායක දී අත්අඩංගුවට

(29.12.2022 – 10:42 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකාව බලා යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අමෙරිකානු ජාතිකයෙකු ලඟ තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක මැගසීනයක් (1) සහ උණ්ඩ 09 ක් සොයාගෙන තිබෙනවා.

මෙම විදේශිකයා ඊ.කේ. 659 දරණ ගුවන් යානයෙන් අමෙරිකාව බලා යාමට කටුනායකට පැමිණ ඇත්තේ ඊයේ (28) රාත්‍රි 08:20 ට පමණ බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් තොටුපල පොලිසිය වෙත භාර දී ඇති අතර ගුවන් තොටුපල පොලිස් ස්ථානයේ අපරාධ අංශය මගින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා ෴

+


ඇමරිකානු ආයතනයකින් මෙරටට තවත් වෛද්‍යාධාර තොගයක්

(29.12.2022 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ආයතනයකින් ශ්‍රී ලංකාවට තවත් වෛද්‍ය ආධාර තොගයක් ලබා දී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ‘හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල්’ ආයතනයෙනු යි මෙම වෛද්‍යාධාර තොගය ලංකාවට ලබා දී ඇත්තේ.

මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක්.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 2.7 ක් බව සඳහන්.

එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති මේ බව සඳහන් කරනවා ෴


ගුවන්තොටුපළේ පැමිණීමේ සහ පිටවීමේ කාඩ්පත මාර්ගගත ක්‍රමයට පිරවීමට පහසුකම්

(29.12.2022 – 15:44 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි පළමු වැනිදා (01) සිට දිවයිනට පැමිණෙන සහ පිටව යන විදේශිකයන්ට සහ ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් විසින් පිරවිය යුතු ‘පැමිණීමේ සහ පිටවීමේ කාඩ්පත’ මාර්ගගත ක්‍රමයට පිරවීමට (Arrival / Departure e-Card) පහසුකම් සළසා දී තිබෙනවා.

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට :
https://www.immigration.gov.lk/
පිවිසීමෙන් පිටව යාමට හෝ පැමිණීමට දින තුනකට (3) පෙර අදාළ කාඩ්පත පිරවීමට පහසුකම් පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගුවන්තොටුපළේ දී මගීන්ට ඇතිවන අපහසුතාවයන් මඟ හරවාගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් ෴


මට පිහියෙන් ඇන්නේ ඇයි? ඩිලාන් සේනානායක කතාකරයි (28.12.2022)

+


ඉන්දීය ඖෂධයක් හේතුවෙන් තවත් රටකින් ළමා මරණ

(29.12.2022 – 15:40 +0530 – sinhala.adaderana.lk)

ඉන්දීය ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කළ කැස්සට ලබාදෙන දියර ඖෂධයක් පානය කළ දරුවන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව උස්බෙකිස්තානය පවසයි. 

එම ඖෂධය Marion Biotech නම් සමාගමේ නිෂ්පාදනයක් බව බී බී සී පුවත් සේවය වාර්තා කළේය.

උස්බෙක්ස්තාන සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ එම ඖෂධවල විස සහිත ‘එතිලීන් ග්ලයිකෝල්’ අඩංගු බවය.

එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ දරුවන්ගේ වැඩිහිටියන් වෛද්‍ය උපදෙස් ලබා නොගෙන එම ඖෂධය දරුවන්ට ලබාදී ඇති බවය.

මීට දින කිහිපයකට පෙර ගැම්බියාවේ ද ළමුන් 69 දෙනෙක් දියර ඖෂධයක් පානය කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි ෴


මැණික් පාර්සලයක් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

(29.12.2022 – 15:11 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 04 කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගල් 116 ක් සොරකම් කිරීමේ සිද්ධියක් කළුතරින් වාර්තා විය.

දෙහිවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ සිට දෙයියන්දර බලා ධාවනයවූ බසයක ගමන් කරමින් සිටියදී ඔහුගේ ගමන් මල්ලේ තිබූ පාර්සල් කිහිපයක් එලෙස සොරකම් කර තිබේ.

එහි මැණික් ගල් 116 ක් තිබූ පාර්සලයේ මැණික් තිබෙන බව නොදැන පාර්සලය බසයේ තබා සැකකරු (1 වන සැකකරු) බේරුවල ප්‍රදේශයෙන් බැසගොස් තිබුණි.

ඒ අනුව අදාළ බස් රථයේ කොන්දොස්තරවරයා (2 වන සැකකරු) එම පාර්සලය අහුලාගෙන නිවසට රැගෙන ගොස් සඟවාගෙන ඇත.

එම සොරකම අසුවේයැයි බියෙන් බසයේ තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය ගලවා පුළුස්සා දැමීමට ද ඔහු කටයුතු කර ඇත.

පොලීසිය සඳහන් කළේ, සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමේදී බසය බේරුවල නගරයේ නතර කිරීමෙන් පසු මැණික් කැට සහිත පාර්සලය පළමුව සොරකම් කළ සැකකරු (1 වන සැකකරු) කලබලයෙන් බසයෙන් බැස පාර්සලය නොමැතිව අසල තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත දිවයන අයුරු නිරීක්ෂණය කළ බවය.

ඒ අනුව විමර්ශන නිලධාරීන් බස් රථයේ කොන්දොස්තරවරයාව (2 වන සැකකරු) සැක කරමින් පරීක්ෂණ සිදුකර තිබුණි.

සැකකරු (2 වන සැකකරු) ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සඟවා තිබු මැණික් පාර්සලය සොයාගැනීමට හැකිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුවන් දෙදෙනෙකුව (2) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ඌරුබොක්ක සහ පයාගල ප්‍රදේශවල පදිංචි 48 සහ 36 හැවිරිදි පුද්ගලයින්ය.

+


ජනාධිපති එන්න කියනකම් බලාගෙන ඉන්නේ – ජනක රත්නායක

(29.12.2022 – 14:15 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයාගෙන් මෙතෙක් තමාට කිසිදු කැඳවීමක් සිදුනොවුණ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

“අපි බලාගෙන ඉන්නවා එතුමාට ගිහින් මේ ගැන පැහැදිලි කරලා දෙන්න.” යනුවෙන් ද ජනක රත්නායක මහතා එහිදී පැවසීය.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් විශේෂ කතාවක් සිදුකරමින් ජනාධිපතිවරයා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් සැර ප්‍රකාශයක් සිදුකළේය.

මේ අතර, විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ජනක රත්නායක මහතා පැවසීය.

“විදුලි කප්පාදුවක් සිදුකරනවා ද? විදුලි බිල වැඩිකරනවා ද? කියන පදනම මත විදුලිබිල සංශෝධනය කිරීමේ කිසිම හැකියාවක් නෑ. ඒක පුහු තර්කයක්. මේ අවස්ථාව වෙද්දි විදුලිය පැය 2 යි විනාඩි 20 ක් කපනවා. දැන් කරන්න ඕනේ සම්පූර්ණයෙන් ම විදුලිබලය දීමයි. එතකොට කියන්න ඕනේ ‘අපි දැන් විදුලිය දීලා තියෙන්නේ, මෙන්න අපේ වියදම අයකර ගන්න ඕනේ’ කියලා. ඒක සාධාරණයි. මට හිතෙන්නේ මේක විහිළුවට කාරණාවක්. විදුලිබිල වැඩිකිරීමේ ක්‍රමවේදයක් පනතේ නෑ.”

අද දෙසැම්බර් 29 වෙනිදා. අද වෙනකල් විදුලි බිල සංශෝධනය පිළිබඳ කිසිම යෝජනාවක් විදුලිබල මණ්ඩලයෙන් තාම කෙරිලා නෑ. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම ට මේ පිළිබඳ කිසිම තීරණයක් ගන්න බෑ. ඒ යෝජනාව එන්න ඕනේ අපිට, ඒකයි ක්‍රමවේදය. ඒක කැබිනට් එකට දාන එක කිසිම ඵලයක් නෑ. මොකද ඒක නෙමෙයි ක්‍රමවේදය. මේක කැබිනට් එකට දානවා – දානවා කියලා මහජනතාව බයකරන්න කරන්න හදනවා ද දන්නෙත් නෑ. ඒ ක්‍රමවේදයේ තියෙන්නේ ‘යෝජනාවක් තියෙනවා නම්, එය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ යුතුයි’ කියලයි. අපි තාමත් බලාගෙන ඉන්නවා තීරණයක් ගන්න.”

+


ලංකාවේ දුප්පතුන් ගැන අලුත්ම වාර්තාව

(29.12.2022 – 13:41 +0530 – sinhala.adaderana.lk)

පවතින අර්බුදය හමුවේ 2021 වසර තුළ මෙරට ජන ගහණයෙන් ලක්ෂ 24 කට අධික පිරිසක් දුගීභාවයට පත් ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි.

ඔවුන් විසින් නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක මේ බව සඳහන් කර තිබුණි.

වර්තමාන අර්බුදය හමුවේ මෙරට ජනගහණයෙන් 11% ක් පමණ එනම් 24 ලක්ෂයකට අධික පිරිසක් පසුගිය 2021 වසර තුළ දුගීභාවයට පත්ව ඇති බව එහි දැක්වේ.

එහි සඳහන් වන්නේ, වඩාත් දුගී පවුල්වල ආදායමෙන් අඩක් පමණ අර්බුදය ආරම්භයේදීම අහිමි වී ඇති බවය.

එම පවුල් සිය වත්කම් විකිණීමටත්, ණයගැති වීමටත් පෙළඹී ඇත අතර සිය ආහාර වේල් කපා හැරීමටත් දරුවන්වන්ගේ පාසල් ගමන් නතර කිරීමටත් පියවර ගෙන ඇති බවද එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම මෙරට ජනගහණයෙන් 26% ක් එනම් පුද්ගලයින් 57 ලක්ෂයකට පමණ මානුෂීය ආධාර අවශ්‍ය බවත් එම වාර්තාවේ දැක්වේ.

එමෙන්ම මෙරට මිලියන 5 ට අධික ජනතාවක් අහාර අවශ්‍යතාවයෙන් පෙළෙන බවද එම කාර්යාලය පවසයි.

එමෙන්ම කෘෂිකාර්මක ජනතාවයෙන් මිලියන 3.45 ක අධික සංඛ්‍යාවකට මෙම අර්බුදය දැඩිව බල පා ඇති අතර, පෝෂණ අවශ්‍යතා සහිත ජනගහණය මිලියන 2.43 ක් සහ අත්‍යාවශ්‍ය ඖෂ්‍ය අවශ්‍ය ජනගහණය මිලියන 2 කට ආසන්න බවද එම වාර්තාවේ සඳහන් වේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *