විදුලි බල මණ්ඩලයේ මාෆියාවක් ඇති බවට විදුලි පොදු සේවක සංගමයෙන් ප්‍රකාශයක්

විදුලි බල මණ්ඩලයේ මාෆියාවක් ඇති බවට විදුලි පොදු සේවක සංගමයෙන් ප්‍රකාශයක්


විදුලි බල මණ්ඩලයේ මාෆියාවක් ඇති බවට විදුලි පොදු සේවක සංගමයෙන් ප්‍රකාශයක්

(28.12.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය තුල මාෆියාවක් ක්‍රියාත්මක වන බවත්, මේ මොහොතේ විදුලිබිල ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, ලංකා විදුලි පොදු සේවක සංගමය පවසනවා.

එහි සභාපති මාලක වික්‍රමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ගොවි පවුල් ලක්ෂ 12 ක් සඳහා ලබාදීමට නියමිත රුපියල් මිලියන 8000 ක මුදල උතුර නැගෙනහිර ගොවීන්ට පමණක් ලබාදෙන බව ජාතික ගොවි ජන එකමුතුව චෝදනා කරනවා.

වී වගා කරන ගොවි පවුලක් සඳහා රුපියල් 15,000 ක මුදලක් ලබාදීමට නියමිත බවයි එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.

++++++

++++++++++

විදුලිබිල වැඩි කලොත් විසන්ධි කිරීම් වලට නොයන බව වෘත්තීය සමිති කියයි

(28.12.2022 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසයේදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් විදුලි බිල්පත් නොගෙවන පාරිභෝගිකයන්ගේ සම්බන්ධතා විසන්ධි කිරීමට මණ්ඩලයේ සේවකයින් එක් නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මේ බව කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (28) පස්වරුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් හමුවී සාකච්ඡාවක නිරත වුණා.

එහිදී විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මෙන්ම අඛණ්ඩව විදුලිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි ඊට එක්වූ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ කියා සිටියේ.

කෙසේ වෙතත්, අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (27) දිනයේදී කියා සිටියේ ‘ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කරන වෘත්තීය සමිති’ සමඟ සාකච්ඡාවල නිරත නොවන බවයි.

අමාත්‍යවරයා සිදුකළ එම ප්‍රකාශයට ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කොළඹදී අද (28) ප්‍රතිචාර දක්වා සිටි අතර, එහිදී ඔහු කියා සිටියේ ඉදිරියේදී ත්‍රස්තවාදීන් කවුරුන්ද යන්න පෙන්වා දෙන බවයි ෴

+++++++++

+


අනුරාධපුර – වව්නියා දුම්රිය ධාවනය නැවතෙයි

(28.12.2022 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ (2023) ජනවාරි සිට මාස 5 ක කාලයක් අනුරාධපුර සහ වව්නියාව අතර දුම්රිය ධාවනය නො වන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

එමෙන්ම, සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය නවතා දැමෙන අතර, අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණෙන මගීන් ශ්‍රී ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවයි කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ.

මේ අතර, උතුර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතුවලින් පසු ව එහි ආසන වෙන් කර ගැනීමේ කාලය සංශෝධනය කරන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. පොල්වත්තගේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴


කොළඹ වරායේ ජායා පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැ යි උපදෙස්

(28.12.2022 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ප්‍රමාද වී ඇති කොළඹ වරායේ ජායා පර්යන්ත පුළුල් කිරීමේ සංවර්ධන කටයුතු, කඩිනම් කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, එම පර්යන්තයේ ඊයේ (27) සිදු කළ නිරීක්ෂණ චාරිකාවක දී යි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට පූර්ණ අයිතිය ඇති ඉපැරණි පර්යන්තය වන්නේ ජායා පර්යන්තය යි.

එය පුළුල් කිරීමේ කටයුතුවල ප්‍රමාදයන් ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පර්යන්තයේ ඉදිකිරීම් භාර චීන සමාගම වහා කැඳවා ගිවිසගත් දින වකවානුවලට මෙම ව්‍යාපෘතිය නිම කරන ලෙස දන්වන්නැ යි සිය ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

දිගින් මීටර් 1260 ක් වන ජායා පර්යන්තය අදාළ ව්‍යාපෘතිය යටතේ මීටර් 1380 ක් දක්වා පුළුල් කිරීමට නියමිත යි.

ඒ අනුව, මීටර් 360 ක දිගින් යුත් නෞකා දෙකක් (2) එකවර නැංගුරම් ලෑමට මෙහි දී ඉඩ සැලසෙනවා.

දැනට ජායා පර්යන්තයේ වාර්ෂිකව බහාලුම් ලක්ෂ 20 ක් පමණ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර සංවර්ධන කටයුතු නිම වීමෙන් පසු එම සංඛ්‍යාව ලක්ෂ 30 ක් දක්වා ඉහළ දැමීමට හැකියාව ලැබෙනු ඇති.

මෙම සමස්ත සංවර්ධන කටයුතු සඳහා වැය වන ඩොලර් මිලියන 32 ක පිරිවැය සපයා ගන්නේ වරාය අධිකාරියේ ඉතුරුම්වලින් වීම විශේෂත්වයක්.

ජායා බහාලුම් පර්යන්තයට සමගාමී ව නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ද මේ වන විට සිදු වන බැවින් ඉදිරි වසර 5 තුළ දී කොළඹ වරාය දකුණු ආසියාවේ සුවිශේෂී වරායක් වනු ඇති බව යි වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

+


නිවසක් නොමැති දියණියකගේ දේහය බණ මඬුවේ තැබීමට අවසර දුන් බුද්ධ පුත්‍රයා

(28.12.2022 – 11:24 +0530 – hirunews.lk/sinhala)

හිසෙහි ඇති වූ පිළිකා රෝගී තත්වයකින් මිය ගිය 15 හැවිරිදි පාසල් දියණියකගේ දේහය තබා ගැනීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැඩිගමුව මානුංගමුව විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දේහය තැන්පත් කර අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දුන් සිදුවීමක් වාර්තා වනවා.

ඒ, දැඩිගමුව ප්‍රදේශයෙන්.

මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මිය ගිය පාසල් දැරිය ඇයගේ මව්පියන් සහ සහෝදරියන් දෙදෙනා (2) සමග දැඩිගමුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති බව සඳහන්.

පියා ත්‍රී රෝද රථ රියදුරකු ලෙසත් මව පෞද්ගලික අංශයේ ආයතනයක කම්කරු රැකියාවක නිරත ව ඇති බවත් වාර්තා වනවා.

නවගමුව දැඩිගමුව දේවමිත්ත මහා විද්‍යාලයේ දහය (10) ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නිපුනි නිසංසලා නමැති දියණිය මාස කිහිපයකට පෙර හදිසියේ අසනීප තත්ත්වයට පත් වී පිළිකා රෝගී තත්ත්වයක් නිසා මිය ගොස් තිබෙනවා.

ඇය පදිංචි ව සිටි කුලී නිවසේ හිමිකරුවන් දේහය අදාළ නිවසේ තැන්පත් නො කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.

මෙසේ මොවුන් දැඩි අසරණභාවයට පත් ව සිටි අවස්ථාවේ දී මානුංගමුව විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය කළුබෝවිටියන සිරිරතන හිමියන් මැදිහත් වී දේහය විහාරස්ථානයේ ධර්ම ශාලාවේ තැන්පත් කර අවසන් ගෞරවය දක්වන ලෙස යි අනුශාසනා කර ඇත්තේ.

ඒ අනුව ඇයගේ දේහය පිළිබඳ ආගමික කටයුතු සියල්ල අද (28) දින විහාරස්ථානයේ දී සිදු කර අවසන් කටයුතු දැඩිගමුව සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඇයගේ හත් (7) දවසේ දානමය පිංකම ද මානුංගමුව විහාරස්ථානයේ සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බව යි එම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය කළුබෝවිටියන සිරිරතන හිමියන් පවසන්නේ.

+


අත්අඩංගුවට ගත් ඩුබායි සුද්දා ඇප මත මුදා හැරේ – අදත් (28) ජපන් පෝලිම්

(28.12.2022 – 19:12 +0530 – hirunews.lk/sinhala)

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ‘නිශ්ශංක ප්‍රියදර්ශන’ හෙවත් ‘ඩුබායි සුද්දා’ ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනි විජේබණ්ඩාර හමුවට අද (28) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී අධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂය (100,000) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත ඔහුව මුදා හරින ලෙසටයි.

නීතිවිරෝධීව පුද්ගලයින් විදෙස් ගත කිරීම ඇතුලු චෝදනා කිහිපයක් මතයි ඔහු අද (28) දහවල් අත්අඩංගුවට ගැණුනේ.

ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ඩුබායි සුද්දා පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණ කළ අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර තිබුණා.

මේ අතර, රුසියාවට යවන බව පවසමින් මුල්‍ය වංචා සිදු කළ නුගේගොඩ විදේශ රැකියා ආයතනයකට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිට අද (28) විරෝධතාවක් පැවැත්වුණා.

මේ අතර, ජපානයේ විදේශ රැකියා සඳහා ඉල්ලුම් කිරීමට අද (28) දිනයේදීත් විශාල පිරිසක් විදෙස් සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණි සිටියා.

එවන් පසුබිමක ව්‍යාජ තොරතුරු ලබාදී විදෙස් රැකියා සඳහා යාම වැළැක්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට ද අද (28) අත්සන් කෙරුණා ෴

+++++++++

+


ඖෂධ වර්ග 300 න් 153 ක්ම රට තුල නැහැ

(28.12.2022 – 19:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට භාවිත කරන ඖෂධ වර්ග 300 කින් 153 ක්ම රට තුල නොමැති බැවින් ඒවා හැකි ඉක්මනින් ආනයනයට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ෴

හදිසි ඖෂධ මිලදීගැනීමේ ක්‍රියාවලියේදී කිසිවිටෙකත් හදිසි ප්‍රසම්පාදන රෙගුලාසි කඩකිරීමක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොලත් සමාගම්වලින් ඖෂධ ආනයනය කරන බවට පෙරටුවාදී සමාජවාදී පක්ෂය සිදුකරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අද (28) මේ බව සඳහන් කළා.

මෙරටට ඖෂධ ආනයනයේදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පවා නොමැති සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීම හරහා අකටයුතු කමක් සිදුවන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පල කළා ෴


ආශුට බලු දුෂණ චෝදනා කල ‘ආදර්ශා’ගේ හඬ පටයක් සමාජ ජාලා හොල්ලයි.. බුද්ධික පතිරණ සමග නත්තල් හුරතල්..

(28.12.2022 – 22:22 +0530 – lankacnews.com)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සමග අනියම් බිරිඳ ලෙස කලක් ජීවත් වූ බව පැවසූ ‘ආදර්ශා කරදන’ සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සිදු කරන සංවාදයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබේ.

හෝටල්කට පැමිණෙන ලෙසත් ඊට අදාළ කටයුතු පිලිබඳවත් එහිදී ඇය සැලකිය යුතු කාලයක් මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කරයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා මේ ගැන සඳහන් කර ඇත්තේ අදාළ හඬ පටය ඉතා පැරණි එකක් බවත් එහි සිදුවන සාකච්ඡාව ද ඉතා සාමාන්‍ය සුහද සාකච්ඡාවක් පමණක් බවත්ය.

‘ආදර්ශා කරදන’ ද සඳහන් කරන්නේ මෙය සාමාන්‍ය කතාබහක් මිස ඉන් එහා ගිය කිසිවක් නොවන බවත් එය වසර කිහිපයක් පැරණි සංවාදයක් බවත් ය.

තමන් විසින් ආශු මාරසිංහට එල්ල කරන චෝදනා හේතුවෙන් පරණ හඬ පට නැවත මතුවී ඇති බවද ඇය කියා සිටී.

https://www.youtube.com/watch?v=3OJ3vVFFeN4

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *