2004 වසරේ පැමිණි සුනාමියෙන් මිය ගිය අය සිහි කෙරෙයි

2004 වසරේ පැමිණි සුනාමියෙන් මිය ගිය අය සිහි කෙරෙයි


2004 වසරේ පැමිණි සුනාමියෙන් මිය ගිය අය සිහි කෙරෙයි

(26.12.2022 – 10:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට සුනාමි ව්‍යවසනය සිදුවී වසර 18 ක් සපිරෙන අද (26) දිනයේ ඉන් මිය ගිය සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිකර මිනිත්තු 02 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරනු ලැබුවා.

ඒ පෙරවරු 09:25 සිට පෙරවරු 09:27 දක්වා යි.

ඊට සමඟාමීව ජාතික සුරක්ෂිතතා දින ප්‍රධාන සැමරුම පෙරවරුවේ පවත්වනු ලැබුවේ, පැරෑලිය සුනාමි ස්මාරකය අභියස යි.

සුනාමි ව්‍යවසනයෙන් වැඩි ම ජීවිත හානි ප්‍රමාණයක් සිදුවූ පැරෑලිය දුම්රිය අනතුර සිහි ගන්වමින් එම අනතුරට මුහුණ දුන් අංක 50 දරණ එන්ජිම සහිත දුම්රියද අද (26) පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානයේ සිට පැරෑලිය බලා පිටත්ව ගියා.

මෙම අවස්ථාවට සුනාමියෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන් පිරිසක්ද එක්වුණා.

සුනාමියේ බලපෑමෙන් පැරෑලිය දුම්රිය අනතුරෙන් මියගිය පුද්ගලයන් සහ සුනාමියෙන් මියගිය එම ප්‍රදේශයේ ජනතාව මිහිදන්කර ඇති සුනාමි ස්මාරකය අභියස පුෂ්පෝපහාර පළ කර පිං අනුමෝදන් කිරීමට ද කටයුතු කළේ සර්ව ආගමික වතාවත් ඉටු කරමින්.

ජාතික සැමරුමට සමඟාමීව දිස්ත්‍රික් මට්ටමින්ද සැමරුම් පවත්වනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද සුනාමියෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයන් සිහි කරනු ලැබුවා.

මේ අතර සුනාමි ව්‍යවසනයෙන් සිය දරු දෙදෙනා අහිමි වූ තංගල්ල, මාවැල්ල ප්‍රදේශයේ මවක් වසර 18 කට පසු සිය මතකය අවදි කළා.

එමෙන්ම සුනාමි ව්‍යවසනය සිදුව වසර 18 ක් ගත වී ඇති පසුබිමක් තුළ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් සිදු කිරීම සඳහා දකුණු පළාතේ සවිකළ සංඥා කුළුණු කිහිපයක් මේ වන විට නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් අක්‍රිය ව පවතින බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ගාල්ල නගර මධ්‍යයේ විද්‍යාලෝක පාසල් භූමියේ සහ පැරෑලිය තෙල්වත්ත පුරාණ විහාරස්ථානයේ ඇති සංඥා කුළුණු මේ වන විට අක්‍රීය වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම හික්කඩුව සහ අම්බලන්ගොඩ නගරවල ඇති සුනාමි සංඥා කුළුණුද අක්‍රියව ඇති බව වාර්තා වන අතර ඒ පිළිබඳ ජනතාව අදහස් පළකළා.

මේ අතර හිටපු ජර්මානු චාන්සලර් හෙල්මට් කෝල් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදුන් මහල් 06 කින් යුත් මාතෘ රෝහලේ ඉදිකිරීම් වසර 18 ක් ගතව ඇතත් තවමත් අවසන්ව නොමැති බව ප්‍රදේශවාසින් පවසනවා.

2004 වසරේ මෙරට සංචාරයක නිරත වූ ඔහු සුනාමියෙන් විනාශ වූ මහමෝදර මාතෘ රෝහල වෙනුවට නව මාතෘ රෝහලක් ඉදිකිරීමට මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළා.

+


රට බේරාගන්න නඩු දාන්න වෙලා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(26.12.2022 – 23:16 +0530 – hirunews.lk/sinhala)

‍රට බේරා ගැනීමට ඉදිරියේ දී ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට සිදුවන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ, අද (26) පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමු වූ අවස්ථාවක දී අදහස් දක්වමින්.

බුද්ධාගම මෙරට ප්‍රමුඛස්ථානයට පත් කරන බවත්, එය පෝෂණය කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ව පැවතිය ද, එය සිදු කරන්නේ කෙසේද යන වග සඳහන් නොවන බව‍යි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සඳහන් කළේ.

ඒ අනුව පෙනී යන්නේ ව්‍යවස්ථාව ද ජනයා මුලා කර ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

+


මහනුවර යටවූයේ අනවසර ඉදිකිරීම් නිසා – මහනුවර නගරාධිපති

(26.12.2022 – 23:13 +0530 – sinhala.adaderana.lk)

අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට ලක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ ආයතන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහනුවර ගඟවටකෝරළය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අද (26) සහභාගී විය.

එසේම පවතින තත්ත්වය ගැන විශේෂ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ මහනුවර නගරාධිපති කේසර සේනානායක පැවසුවේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය ගලා බැසීමට තිබෙන කාණු පද්ධතිය සහ ඇළ මාර්ග අවහිර වී ඇති බවය.

“හැමවෙලේම මෙවැනි විපත්තියක් වුණාම මහනුවර නගරසභාවට තමා ඇඟිල්ල දික්වෙන්නේ. හැබැයි ඇතැම් අය විසින් නගරසභාවේ කිසිදු අවසරයක් නැතුව හදලා තියෙන ගොඩනැගිලි සහ කඩසාප්පු දාගෙන ඉන්න එකෙන් තමයි ජලය ගලා බසින්න තිබෙන ඇළවල් බෝක්කු තිබුණ ප්‍රමාණයට වඩා අඩුවෙලා තියෙන්නේ. මේක තමා ප්‍රධාන හේතුව ජල ගැල්මට. ඒ නිසා මහනුවර නගරසභාව වශයෙන් අනාගතයේ දී මේ අනවසර ඒවා හඳුනාගෙන එවා ඉවත් කරලා ජලය බැස යන්නට තිබුණු කානු පද්ධතිය සහ ඇලවල් පුළුල් කිරීමට තමයි අපි අදහස් කරන්නේ.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර ගඟවට කෝරළය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ මහනුවර නගරයේ ජල ගැලීම් මඩපැවැත්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්දයෙන් නිවැරදි සැලසුම් සැකසීමට කටයුතු කරන බවය.

“විටින් විට මහනුවරට වර්ෂාපතනය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා LRDC එකත් ගෙනැල්ලා ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉන්ජිනේරුවරු සහ නගරසභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකාබද්ධව මහනුවර නගරය ආශ්‍රීතව මේ ජල ගැලීම් තත්ත්වය මඩපැවැත්වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා සැලසුම් කරන්න.”

මේ අතර හදිසි ජල ගැලීමෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තාප්පයක් කැඩී ජල පහර එහි ගොඩනැගිලි තුළට ඇතුල් වී තිබේ.

එම අවස්ථාවේ එහි තිබූ ලිපිගොනු පිටතට රැගෙන යාමට සේවකයින් පියවර ගෙන තිබූණි.

කෙසේවෙතත් ඊයේ (25) ඇතිවූ ජල ගැලීමෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගබඩා කර තිබූ පෙළපොත්, විභාග ප්‍රශ්නපත්‍ර, පෞද්ගලික ලිපිගොනු සහ පරිගණක 50 කට පමණ හානි වී ඇත.

එම පරිශ්‍රය පිරිසිදු කිරීමට එහි සේවකයින් අද (26) පියවර ගෙන තිබුණි.

+


සහන සොයන සහන සෙවණේ සහෝදරියන්

(26.12.2022 – 14:05 +0530 – hirunews.lk/sinhala)

කාන්තා දිනය, ආබාධිත දිනය වැනි දිනයන් වෙන් කරමින් කාන්තාව ඔසවා තැබීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණ ද කාගෙන් හො පිළිසරක් යදින කාන්තාවෝ අප සමාජයේ නැතුවාම නොවෙයි.

විශේෂ අවශ්‍යතා සහිත, එහෙත් දක්ෂතාවලින් පිරිපුන්, කිසිවෙකුගේ ඇස නොගැටුණු සරණක් සොයන කාන්තාවන් පිරිසක් පිළිබඳ සේරුවාවිල පුද බිමට මායිම් වු සහන සෙවන ආයතනයෙන් වාර්තා වනවා.

වසර 12 ක පමණ කාලයක සිට මෙය පවත්වාගෙන එන්නේ පී.කේ.ඒ. නිරෝෂා මහත්මිය යි.

මෙම ස්වේච්ඡා ආයතනය මගින් ආබාධිත සහිත කාන්තාවන්, දරුවන් ඇතුළු පුද්ගලයන් සඳහා රැකවරණය, පුනරුත්ථාපනය සහ වෘත්තීය පුහුණුව ලබා දෙනවා.

මේ වන විට මෙහි නේවාසික ව සිටින පිරිස 28 ක්.

පරිගණක පාඨමාලා, අකුරු ඉගැන්වීම මෙන්ම මෙහි නේවාසිකව සිටින පිරිසගේ හැකියාවන් ඔපනැංවීම සඳහා තවත් වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක යි.

කෙසේ වෙතත්, පවතින ආර්ථික අර්බුදයේද ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සහන සේවා ආයතනයටද විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු ව තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ නිරෝෂා මහත්මියගේ සැමියා විසින් සිදු කරගෙන යන ගොවිතැනේ අස්වැන්නද මෙම මධ්‍යස්ථානය පවත්වා ගෙන යාම වෙනුවෙන් කැපකිරීමට සිදුව තිබෙනවා.

මෙහි නේවාසික පිරිස් වෙනුවෙන් විවිධ පිරිස් විසින් ලබා දෙනු ලබන දාන මාන අඩු වීම ඊට ප්‍රධානතම හේතුව යි.

සිය දස්කම් උපයෝගී කරගනිමින් අත්කම් නිර්මාණ හා මැහුම් ගෙතුම්වලින් යම් මුදලක් සොයා ගැනීමට මොවුන්ට හැකියාව තිබුණ ද එවැන්නක් කිරීම සඳහා අමුද්‍රව්‍ය නොමැතිකම දැඩි ගැටලුවක් වී තිබෙනවා.

තමන්ටත් සමාජයේ ස්වාධීන ව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙසයි මොවුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ.

+


අනුලා දේවී චෛත්‍ය පුදබිමේ දී සුවිශේෂී දානමය පුණ්‍ය කර්මයක්

(26.12.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය ආශ්‍රිත ව සිදු කළ කැණීම්වල දී අනුලා මෙහෙණින් වහන්සේගේ බවට විශ්වාස කළ හැකි ධාතූන් වහන්සේ සොයාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පැවසූවේ එම කැණීම්වල දී සොයාගත් සියලු පුරාවස්තූන් එක් කර කෞතුකාගාරයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව යි.

මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය සැලකෙන්නේ, මෙරට ප්‍රථම භික්ෂුණිය වූ අනුලා මෙහෙණිය ප්‍රමුඛ භික්ෂූණින් වැඩ වාසය කළ ස්ථානය ලෙසයි.

වල් බිහි වී විනාශයට පත්වෙමින් තිබූ මෙම ස්ථානය මීට වසරකට පමණ පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කිරිම ආරම්භ කළා.

එම කැණීම්වලදී අනුලා මෙහෙණින් වහන්සේගේ බවට විශ්වාස කළ හැකි ධාතූන් වහන්සේ ඇතුළු පුරාවස්තු රැසක් සොයාගැනීමට සමත්ව තිබෙනවා.

හමු වූ පුරාවස්තූ නිරීක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඇතුළු පිරිසක් එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මේ අතර අනුලා දේවී චෛත්‍ය පුදබිමේ දී සුවිශේෂී දානමය පුණ්‍ය කර්මයක් ද අද සංවිධානය කර තිබුණා.

+


මත්තල සිට රුසියාවට ගුවන් ගමන් අනිද්දා (28) ඇරඹේ

(26.12.2022 – 16:46 +0530 – hirunews.lk/sinhala)

මත්තල ගුවන්තොටුපළේ සිට රුසියාව දක්වා , ගුවන් ගමන් අනිද්දා (28) ආරම්භ කරන බව මෙරට රුසියානු තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව ‘රෙඩ් වින්ස්’ ගුවන් සේවයට අයත් යානා සතියකට දින දෙකක් (2) මෙලෙස ගුවන් ගමන් සිදු කරන බවයි එම කාර්යාලය සඳහන් කළේ ෴


දිනේෂ් ෂාෆ්ටර් දිවි නසා ගත්තා ද? – විමර්ශකයින්ට සැකයක්

(26.12.2022 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි නසාගැනීමක් ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැක මතුව තිබෙනවා.

එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ එම සැකය ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක බවයි.

මේ අතර ෂාෆ්ටර්ගේ සිරුරෙන් සහ මෝටර් රථයෙන් ලබාගත් ඇඟිලි සළකුණු පිළිබඳ වාර්තාව අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

ෂාෆ්ටර්ගේ කොළඹ 07, මල්පාරේ පිහිටි නිවසට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පෙරේදා (24) ගොස් විමර්ශන සිදුකළා.

වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ෂාෆ්ටර්ගේ ගෙල සිරකර තිබූ ප්ලාස්ටික් පටිය ඔහුගේ නිවසේ ඇති කේබල් ඇන්ටනාවේ වයරයට සමාන බවටයි.

එසේම ෂාෆ්ටර්ගේ දෑත් බැඳ තිබූ පටියට සමාන පටි ඔහුගේ නිවසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සොයාගෙන ඇති බවටත්, එම පටි ෂාෆ්ටර් සිය මෝටර් රථයේ ඉදිරිපස අසුනේ දමා රැගෙන යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවල සටහන් වී ඇති බවටත් වාර්තා වනවා.

මෙම සියලු කරුණු කෙරෙහි අවදානය යොමුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර ෂාෆ්ටර්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් පොලිසියට සඳහන් කර ඇත්තේ අවසන් කාලයේ ඔහුගේ හැසිරීමේ වෙනසක් දුටු බවයි.

සිද්ධිය වීමට දින කිහිපයකට පෙර සිය මව අමතා “අම්මේ මාව හදාගත්තාට බොහොම ස්තූතියි” යනුවෙන් ප්‍රකාශ කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම ෂාෆ්ටර් සිය බිරිඳගේ මවට ද යහපත් දියණියක් හදාදීම පිළිබඳ කෙටි පණිඩුඩයක් යොමුකරමින් ස්තූතිය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බ්‍රයන් තෝමස්ට අමතරව තවත් පුද්ගලයෙකු ද දිනේෂ් ෂාෆ්ටර්ට රුපියල් කෝටි 40 ක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට ද විමර්ශන නිලධාරින් මේ වන විට හෙළිදරව් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කතාබහට ලක්වන පරිදි දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි නසාගැනීමක්ද? එසේ නොමැති නම් සිද්ධිය පිළිබඳ සත්‍ය තොරතුරු යටපත් කිරීමේ අරමුණින් විමර්ශන වෙනත් අතකට යොමුකිරීමේ උත්සාහයක් ද?

අප ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ, එම කරුණ සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදු කරන බවත්, ඇතැම් කරුණුවල සංවේදීත්වය හේතුවෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි.

+++++++++

++++++++++

26-12-2022

++++++++++

27-12-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *