දිනේෂ් ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ උඩුයටිකුරු වෙයි – පරීක්ෂණ වෙන අතකට යන හැඩ

දිනේෂ් ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ උඩුයටිකුරු වෙයි – පරීක්ෂණ වෙන අතකට යන හැඩ


දිනේෂ් ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ උඩුයටිකුරු වෙයි – පරීක්ෂණ වෙන අතකට යන හැඩ

(26.12.2022 – dinamina.lk)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශනය උඩුයටිකුරු කරමින් මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතයක් ඔස්සේ විර්ශන වෙනත් මඟකට යමින් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙතෙක් කළ විමර්ශනවල අවසාන ප්‍රගතිය බවට පත්ව ඇත්තේ මෙතෙක් ඔවුන් සැක කළ පුද්ගලයන් අතහැර වෙනත් සිදුවීමකින් මෙම මරණය සිදු වූ බව තහවුරු කිරීමයි.

ඒ අනුව මෙතෙක් මේ ඝාතනයේ සැකය දැඩිව එල්ල වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සමීපතමයා සැකයෙන් මුදාහැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පියවර ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (24) සවස දිනේෂ් ෂාෆ්ටර් මහතා ජීවත් වූ කොළඹ 7 මල් පාරේ නිවෙසට ගොස් පරීක්ෂාවක් කර ඇත. එහිදී එම නිවෙසේ තිබී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිර කර තිබුණු ‘ඇන්ටනා වයරයේ’ ඉතිරි කොටසද, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෑත් ගැට ගසා තිබුණු වර්ගයේ ‘කේබල් ටයි’ කිහිපයක්ද හමු වී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායම්වලින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.

ඇන්ටනා වයරය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මවගේ නිවෙසේ රූපවාහිනිය සඳහා යොදා තිබූවක් බව කියයි. ‘කේබල් ටයි’ 08 ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති අතර එම ‘කේබල් ටයි’ හමු වී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතය තහවුරු කර ගැනීම සඳහා පශ්චාද් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන්ගේ මතය විමසා ඇතත් ඔවුන් එය ‘වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්’ යනුවෙන් ප්‍රකාශ කර ඇති බව අනාවරණය වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය අලුත් මතය තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි මේ වන විට රැස් කරමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ’ විමර්ශන නිලධාරීන් මේ වන විට සිය සැකය මුළුමනින්ම යොමු කර ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධ අලුත් මතය තහවුරු කර ගැනීම වෙනුවෙනි.

මෙතෙක් සැකයට ලක් වූ සියලු පුද්ගලයන් සැකයෙන් නිදහස් කිරීමටද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් පියවර ගෙන හමාරය. ව්‍යාපාරික ගනුදෙනුවක් මත හෝ වෙනත් මූල්‍යමය සිදුවීමක් මුල් කරගෙන ඔහුගේ මරණය සිදුව ඇතැයි තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය සාක්ෂි මේ වන විටත් රැස් කරමින් පවතී. ෂාෆ්ටර් මහතාගේ හා පවුලේ අයගේ මෙන්ම ව්‍යාපාරික හිතවතුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක් කර ඇත්තේද එබැවිනි.

දිනේෂ් ෂාෆ්ටර් මහතාට බොරැල්ල පොදු සුසාන භූමිය නුහුරු තැනක් නොවන බවද මෙහිදී පැහැදිලිවම පෙනී ගොස් ඇත. ඔහුට බොරැල්ල පොදු සුසාන භූමිය නුහුරු තැනක් වී නම් මෝටර් රථය එවැනි තැනක නතර නොකරනු ඇත.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ සිට එදින සවස 02:06 ට පමණ නිවෙසින් පිටත්ව කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි කෙටි ආහාර අලෙවි ස්ථානයකින් දෙදෙනකුට (2) සෑහෙන කෙටි ආහාරද ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. එම ආහාර ඔහු විසින් කා ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබිණි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ දෑත් ගැට ගසා තිබුණු කේබල් ටයි වර්ගය බහුල වශයෙන් මෙරට භාවිත කරන වර්ගයේ එකක් නොවන බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එසේම දිනේෂ් ෂාෆ්ටර් මහතා අපරාධයට ගොදුරු වී සිටි මෝටර් රථය අසළින් යම් පුද්ගලයෙකු ගමන් කරන අයුරු කනත්තේ සුළු සේවකයෙකු දැක තිබිණි. එම පුද්ගලයා කවුරුන්ද යන්න කරුණු අනාවරණය වී නැත. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මතු කර ගත් අලුත් කරුණ අසාමාන්‍ය තත්ත්වයක් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මේ අතර අධ්‍යක්ෂවරයා සිය නැන්දම්මාට යවන ලද කෙටි පණිවිඩයක් සම්බන්ධව විමර්ශකයන් විසින් අවධානය යොමු කර ඇති අතර ‘මේ වගේ හොඳ දුවක් හදලා මට ලබා දුන් අම්මාට බොහොම ස්තූතියි’ යනුවෙන් එහි දක්වා තිබේ.

සමාගම් කීපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතා කරන ලද ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයිද නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් කෝටි 300 ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු සම්බන්ධ වී කළ ව්‍යාපාරයකට ආයෝජනය කළ රුපියල් කෝටි 85 ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා වෙත දුන් රුපියල් කෝටි 160 ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනුවලින් රුපියල් කෝටි 2000 ක් පමණ ඔහුට පාඩු වී ඇති බවද පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් මේ වන විට අනාවරණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ මේ ඝාතනය කළේ කුමන හේතුවක් මතද? කුමන ආකාරයකටද? මේ ඝාතනයේ අපේක්ෂාව කුමක්ද? සැලසුම කුමක්ද? ආදි තොරතුරු අනාවරණය කර ගැනීමට මේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදු කරන බවය.

මේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව මේ වන විට පුද්ගලයන් 75 දෙනකුට වැඩි ප්‍රමාණයකින් සාක්ෂි සටහන් කර ගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා කීය. ඒ ඔස්සේ ලැබෙන නව තොරතුරු විශ්ලේෂණය කරමින් සාක්ෂි සොයා යන බවද ඔහු කීය. සාක්ෂි සටහන් කර ගත් අය අතර පවුලේ සාමාජිකයන්ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පවුලේ සාමාජිකයන් සියලු දෙනාම ආවරණය වන පරිදි සාක්ෂි සටහන් කර ගැනීම් සිදු වී තිබෙන බවද නිහාල් තල්දූව මහතා කීය.

එසේ ප්‍රශ්න කිරීමට ලක්වූ අය අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයන් දෙදෙනාද (2) සහෝදරියකද සිටින්නේය. ඒ අයගෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේපොළ සම්බන්ධයෙන් මෙන්ම ව්‍යාපාර ගනුදෙනු ගැනද බොහෝ තොරතුරු විමසා තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය ටානි ශමින්ගෙන් බොරැල්ල පොලිසිය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණද නැවත වරක් ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ විවිධ අවස්ථාවලදී ලැබෙන සාක්ෂි සහ ප්‍රශ්නගත අවස්ථාවන් නිරාකරණය කර ගැනීම සඳහාය.

මේ විමර්ශනයේදී ආරක්ෂක කැමරා දර්ශන විශාල පිටිවහලක් වූ බවද නිහාල් තල්දූව මහතා පැවසීය. පුද්ගලික නිවාස සහ ආයතනවලින් ලද එම ආරක්ෂක කැමරා දර්ශන ඉදිරි විමර්ශන සඳහා විශාල සහායක් වූ බවද ඔහු කීය.

මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනයට අමතරව ඔහුගේ බිරිය ටානි ශමින්, දිනේෂ් ෂාෆ්ටර්ගේ මිතුරකු මෙන්ම සේවකයකුද වන ක්‍රිෂ් පෙරේරා, දිනේෂ් ෂාෆ්ටර්ව බොරැල්ල සුසාන භූමියේදී හමුවීමෙන් පසු රෝහලට රැගෙන යෑමට සහාය දුන් සුසාන භූමි සේවකයාගෙන් මෙන්ම ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර්ගේ කාර්යාලයක කාර්ය සහායකයකුගේද ජංගම දුරකතන අංකයක්ද අධිකරණ නියෝගයකින් ජාල විශ්ලේෂණයකට යොමු කර තිබිණි.

~ ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ


ඉතිහාසයේ දරුණුම විදුලි කැපිල්ල අත ළඟ ද?

(26.12.2022 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ගල් අඟුරු ගැන කතා කරන විට නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරය හිතට එන්නේ, නිරායාසයෙන්.

සාමාන්‍යයෙන් පුත්තලම් මුහුදේ වාරකම් නොමැති කාලය ලෙස සැලකෙන්නේ, ඕනෑ ම අවුරුද්දක ‘සැප්තැම්බර් මස මැද සිට අප්‍රේල් මාසයේ මැද දක්වා’ පමණ කාලය වන බව සඳහන්.

මේ කාලය තුළ මුළු අවුරුද්දට ම බලාගාරයට අවශ්‍ය කරන ගල් අඟුරු තොග ගොඩ බා ගත යුතු වනවා.

බලාගාරය සඳහා දිනකට මෙට්ට්‍රික් ටොන් 7500 ක ගල් අගුරු අවශ්‍ය වන අතර, වසරට ම මෙට්ට්‍රික් ටොන් 60,000 ක් එනම් නැව් 38 ක් අවශ්‍ය බව යි සඳහන් වන්නේ.

නමුත් සැප්තැම්බර් සිට අද (26) දක්වා ගොඩ බා ඇත්තේ, නැව් 5 ක් වන අතර, 6 වැනි නැව පැමිණෙන්නේ ජනවාරි මස මුල් සතියේ වන බව සඳහන්.

මේ අතර, ගල්අඟුරු නැවක් ගොඩ බෑම සඳහා දින 5 ක් ගත වන බවත් දැනට ඉතිරි දිනවලින් බෑමට හැක්කේ, නැව් 25 ක් වැනි ප්‍රමාණයක් බවත් විශේෂඥයන් පවසනවා.

සතියකට නැව් 5 ක් ගොඩ බෑ හැකි බවට ඇතැම් අය පැවසුවත් එය කිරීමට අසීරු දෙයක් බව බව හා නැව් 20 ක් සඳහා ටෙන්ඩර් දමා තිබුණත් තව ම පැමිණ ඇත්තේ, නැව් 5 ක් පමණක් බව යි වාර්තා වන්නේ.

ඉතිහාසයේ දරුණුතම විදුලි කැපිල්ල සඳහා පාර කැපීමක් මේ හරහා සිදු වන බව යි විශේෂඥයන් වැඩිදුරටත් පවසන්නේ ෴


එල්.ටී.ටී.ඊය තමිල්නාඩුවේ යළි ගොඩ නැඟීමේ උත්සාහයක් ගැන ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය හෙළිදරවුවක

(26.12.2022 – 07:10 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි නගා සිටුවීමට කටයුතු කරමින් ඇති බවට වාර්තා පළ වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය දා ඉන්දිය ජාතික විමර්ශන ඒජන්සිය මගින් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවල දී මේ පිළිබද තොරතුරු අනාවරණය වී ඇති බව යි එම වාර්තා පෙන්වා දෙන්නේ.

‘කිඹුලා ඇලේ ගුණා’ ඇතුළු මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 9 දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ නීති විරෝධී අවි වෙළඳාමට අදාළ චෝදනා මත යි.

මොවුන් අතර සිටි දෙදෙනෙකු (2) ඩුබායි, පාකිස්ථානය සහ ඉරානය අතර නිරන්තරයෙන් ගමන් කර පාකිස්ථානයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අබු සලීම්’ සමඟ සබඳතා පවත්වා ඇති බවට ඉන්දිය ජාතික විමර්ශන ඒජන්සිය අනාවරණ කරගෙන තිබුණා.

‘අබු සලීම්’ සහ අත්අඩංගුවට ගත් මෙම ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්දියාව තුල එල්.ටී.ටී.ඊ.ය යලි නගා සිටුවීම සඳහා කටයුතු කරමින් සිටි බවයි එම ඒජන්සිය සඳහන් කර ඇත්තේ.

2021 වසරේ මාර්තු මාසයේ තිරූවපුරම් හී දී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු හෙරෝයින් කිලෝග්‍රෑම් 300 ක් සහ ඒ.කේ. 47 වර්ගයේ රයිෆල් 5 ක් මෙන්ම මිලිමීටර් 9 ය වර්ගයේ ජීව උණ්ඩ 1,000 ක් සමඟ අත්අඩංගුවට ගත් අතර එහි වැඩිදුර විමර්ශනවලට අනුවයි පසුගිය දා ‘කිඹුලා ඇලේ ගුණා, ලඩියා’ ඇතුළු මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 9 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඉන්දිය ජාතික විමර්ශන ඒජන්සිය මේවනවිට සිදු කර ඇති විමර්ශනවල දී පාකිස්ථානයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අබු සලීම්’ සමඟ රුපියල් කෝටි ගණනක් මූල්‍ය ගණුදෙනු මෙම සැකකරුවන් හරහා සිදුව ඇති බව හෙළි වී තිබෙනවා ෴


මාරක අනතුරු කිහිපයක් – ජීවිත 4ක් අහිමිවෙයි

(26.12.2022 – 11:52 +0530 – sinhala.adaderana.lk)

‍කෝපායි, හලාවත, කටාන සහ කිරිඳිවැල යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු හතරකින් (4) පුද්ගලයින් සිව්දෙනෙක් (4) මියගොස් තිබේ.

+++

පොලීසිය සඳහන් කළේ, කෝපායි ප්‍රදේශයේදී කාන්තාවක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ‘ඇයගේ සාරිය යතුරුපැදියේ පසුපස රෝදයට පැටලී’ යතුරුපැදිය පෙරළීයාමෙන් එක් අනතුරක් සිදුව ඇති බවය.

අනතුරින් මියගොස් ඇත්තේ 56 හැවිරිදි කෝපායි ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය සමග යතුරුපැදියේ පසුපස ගමන් කළ දියණිය ද තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබයි.

+++

මේ අතර හලාවත තිත්කඩ ප්‍රදේශයේ දී යතුරුපැදියක් පා පැදියක ගැටී සිදුවූ අනතුරකින් පා පාදිකරු (1) මියගොස් තිබේ.

අනතුරින් 72 හැවිරිදි හලාවත කොක්කාවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

+++

මේ අතර කටාන පොලිස් වසමේ මීගමුව – ගිරිඋල්ල මාර්ගයේ ගම්සභා හන්දිය ආසන්නයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් (1) ජීවිතක්ෂයට පත්ව තිබුණි.

යතුරුපැදියක් මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුර සිදුව තිබූ අතර අනතුරට පත්වූ පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

+++

මේ අතර කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල, නිට්ටඹුව මාර්ගයේ සංඝමිත්තා පාසල ඉදිරිපිට දී සිදුවු අනතුරකින් කාන්තාවක් (1) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලොරි රථයක් පදික මාරුව හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 67 ක් වූ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියකි ෴


රටම නිහඬ කළ මොහොතක්

(26.12.2022 – 09:46 +0530 – sinhala.adaderana.lk)

2004 වර්ෂයේ ඇති වු සුනාමි ඛේදවාචකයෙන් මියගිය දහස් සංඛ්‍යාත පිරිස සිහිපත් කරමින් අද (26) පෙරවරු 09:25 ට දිවයින පුරා මිනිත්තු 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.

ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ලක්ෂ තුනකට (3) අධික පිරිසකගේ ජීවිත බිලිගත් සුනාමි ව්‍යසනයට අදට (26.12.2022) වසර 18 ක් සපිරේ.

ඒ මහා ඛේදවාචකයෙන් දිවි අහිමි වූ මෙරට ජනතාව සිහිකිරීම දිවයින පුරා අදත් (26) සිදුකෙරුණි.

2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ ඇති වූ රික්ටර් පරිමාණයේ ඒකක 9 ක තරම් ප්‍රබල වූ භූ කම්පනයේ අවසන් ප්‍රතිඵලය වූයේ රටවල් රැසක ජීවිත ලක්ෂ ගණනක් බිලිගත් සුනාමි ව්‍යසනයයි.
 
උදෑසන 06:58 ට පමණ සුමත්‍රා දූපත ආසන්නයේ හටගත් සුනාමි රළ අතරින් ප්‍රබලතම උදම් රළ පහර ඉන් පැය දෙකකට (2) පමණ පසු ශ්‍රී ලංකාවට ළඟා වුයේ පැයට කිලෝමීටර් 800 ක තරම් වේගයකිනි.

ඒ උදෑසන 09:26 ට පමණ ය.

චණ්ඩ රළ පහර මිනිත්තු කිහිපයක් තුළ මෙරට ජීවිත 35,000 කට අධික සංඛ්‍යාවක් බිලිගනිමින් රුපියල් කෝටි ගණනක දේපළද විනාශ කළේ සිදුවූයේ කුමක්ද යන්න පවා සිතන්නට කාලයක් ඉතිරි නොකරමිනි.

මෙම ඛේදවාචකයෙන් රළ අතර සැඟවුණු ආදරණීයයන් සිහිපත් කරමින් වසර ගණනාවක් පුරා උදෑසන 09:25 සිට 09:27 දක්වා මිනිත්තු 02 ක කාලයක් නිහඬතාව සුරැකීම සිදුකෙරුණි.

සුනාමි ව්‍යසනයට මුහුණදුන් පැරෑළිය දුම්රිය අනතුර සිහිපත් කිරීම සඳහා ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයේ විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබේ.

සුනාමි රළ පහරට හසුව පැරෑළියේදී අනතුරට පත්වූ අංක 50 දුම්රියේ එන්ජිම අදත් (26) ඒදා මෙන්ම පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත්වූ අතර එය පැරෑළියේ සුනාමි රළ පහරට හසුවූ ස්ථානයේදී නවත්වනු ලබයි.

+


සහල් වංචාවකට අනුරාධපුර සතොස ගබඩා පාලිකාව රිමාන්ඩ්

(26.12.2022 – 07:52 +0530 – lankadeepa.lk)

අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ රුපියල් හය කෝටි අනූ හත් ලක්ෂයක් (6,97,00,000) පමණ වටිනා නාඩු සහ සම්බා සහල් තොගයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් අනුරාධපුර සතොස තොග ගබඩා කළමනාකාරිණිය ලබන ජනවාරි මස 05 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කළේ අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනිය වන ‘හචිනි පවිත්‍රා මධුමාලි ගුණවර්ධන’ නැමති අයෙකි. ඇය අනුරාධපුර ඇලයාපත්කුව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

මෙම සැකකාරියට විදේශ ගතවීම වළකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මීට පෙර කටුනායක සහ මත්තල ජාත්‍යංතර ගුවන් තොටුපලවල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් (2) නිකුත් කරනු ලැබ තිබිණ. ඇය රහස් පොලිසියේ අත්අඩංගුවට පත් වූයේ ඉන් අනතුරුවයි ෴


නූතන පටාචාරාවකට පිහිට වූ උසස් පෙළ සිසුවා

(25.12.2022 – 21:46 +0530 – lankadeepa.lk)

සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිටි 11 හැවිරිදි පාසල් දැරියක දිවි පරදුවට තබා උසස්පෙළ පාසල් සිසුවකු බේරාගත් පුවතක් බිබිල මැදගම 17 කනුව ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම විරක්‍රියාව සිදුකර ඇත්තේ මැදගම 17 කනුව පදිංචි මැදගම අමුනේකඳුර ජාතික පාසලේ 12 වසරේ වානිජ අංශයේ ඉගෙනුම ලබන ‘ඩි. එම්. ලක්ෂිත දිල්ශාන්’ සිසුවායි.

සැඩ පහරට හසුවි ගසාගෙන යමින් සිටියදි මෙම පාසල් සිසුවා විසින් බේරාගනුලැබ ඇත්තේ බිබිල සේනාපතිය පදිංචි නන්නපුරාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දැරියකි.

ඇය, මව හා තම බාල සහෝදරයා සමග 17 කනුව ප්‍රදේශයේ පිහිටි සියාගේ දානමය පිංකමක් සඳහා සහභාගිවිමට මැදගම 17 කනුව ප්‍රදේශයේ පිහිටි බෙල්ලන්ඔය හරහා පිහිටි සපත්තු පාලමෙන් එතෙර වෙමින් සිට ඇත.

මිටර් එක හමාරක් (1½) පමණ තිබු වතුරට බැස මව පළමුව කුඩා පුතු පාලමෙන් එතෙර කර දෙවනුව මෙම දියණිය අතින් අල්ලාගෙන පාලමෙන් එතෙර වෙමින් සිටියදි දියණියගේ පය ලිස්සා ගොස් මවගේ අතින් ඇය ගිලිහි සැඩ පහරට හසුවි ගසාගෙන ගොස් තිබේ.

දියේ ගිලි ගසාගෙන තම දරුවා බේරාදෙන ලෙස එම ඔය ආසන්නයේ සිටි කිහිපදෙනකුට මෙම මව කෑ ගසා උදව් ඉල්ලා සිටියදි කිසිවකුත් ඉදිරිපත් වි නොමැති අතර එම මව තවත් කුඩා දරුවකු එගොඩ තබා සිටි බැවින් එම දරුවා දියට පනිවි යැයි බියෙන් ඔහුව බේරා ගැනිම සඳහා වහා වහා එගොඩ විමට උත්සහ දරා තිබේ.

එම අවස්ථාවේ මෙම පාසල් සිසුවා වහා එම ස්ථානයට පැමිණ දැරිය ගසාගෙන යන සැඩ පහරට පැන මිටර් 50 ක් පමණ දුර සැඩ පහරේ පිහිනා ගොස් මෙම දැරිය අල්ලාගෙන ගොඩට ගෙනවිත් දිවි ගලවාගෙන තිබේ.

+


25-12-2022

+


23-12-2022

+


26-12-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *