අන්තර්ජාලය හරහා පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වල මුදල් ගත් තිදෙනා (3) අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වල මුදල් ගත් තිදෙනා (3) අත්අඩංගුවට


අන්තර්ජාලය හරහා පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වල මුදල් ගත් තිදෙනා (3) අත්අඩංගුවට

(24.12.2022 – 13:10 +0530 – sinhala.adaderana.lk)

විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත වංචනික ලෙස ලබාගෙන ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ බැංකු ගිණුම්වලින් රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදලක් වංචා කළ පුද්ගලයන් තිදෙනෙකු (3) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් තිදෙනා (3) එලෙස වංචාකර ලබාගත් මුදල්වලින් ඇතැම් දිනවලදී රුපියල් ලක්ෂයක (1,00,000) පමණ මත්ද්‍රව්‍ය භාවිතකර ඇති බවටද අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට පසුගියදා පැමිණිලි 12 ක් ලැබී තිබුණේ ජංගම දුරකථන යෙදවුමක් හරහා බැංකු ගිණුම්වලින් මුදල් වංචාකර ඇති බව සඳහන් කරමිනි.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ නිලධාරීන්ට අනාවරණ වී තිබුණේ අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංක සහ නම් අදාළ භාණ්ඩ මිලදී ගන්නා බව පවසමින් ලබාගෙන, සැකකරුවන් විසින් මෙරට ප්‍රසිද්ධ ජංගම දුරකථන යෙදවුමක පළමුව ලියාපදිංචි වන බවය.

අනතුරුව අදාළ යෙදවුමේ ලියාපදිංචිවන විට ලැබෙන OTP අංකය භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ගෙන් ලබාගෙන සැබෑ හිමිකරුවන්ගේ බැංකු ගිණුම්වලින් ඊට අදාළ මුදල් ප්‍රමාණය ලබාගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත.

ජාවාරම්කරුවන් විසින් රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදලක් විවිධ පුද්ගලයන්ගෙන් එලෙස වංචා කර ඇති බව වාර්තා වෙයි.

පසුව විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයෙන් අනතුරුව අනාවරණ කරගෙන ඇත්තේ ගෙලිඔය ප්‍රදේශයේ සැකකරුවන් තිදෙනෙකු (3) විසින් එලෙස වංචනිකව එක්රැස්කරගත් මුදල් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා මුදල් ලබාගෙන ඇති බවය.

ඒ අනුව CCTV දර්ශන ඔස්සේ විමර්ශන සිදුකළ නිලධාරීන් අදාළ සැකකරුවන් තිදෙනාව (3) අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා එලෙස මුදල් ලබාගෙන ඇති අතර එම මුදල්වලින් ඇතැම් දිනවලදී රුපියල් ලක්ෂයක (1,00,000) පමණ මත්ද්‍රව්‍ය භාවිතකර ඇති බවය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අන්තර් ජාලයෙන් ගනුදෙනු සිදුකරන අවස්ථාවලදී කිසිඳු අවස්ථාවක තමන්ගේ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශ්වයන් වෙත ලබානොදෙන ලෙසය ෴


සත්‍ය හෙළිකළ ‘දෙරණ’ට මාක්ස්පුත්‍ර සාදුබල්ලන්ගෙන් බලපෑම්

(24.12.2022 – 20:05 +0530 – sinhala.adaderana.lk)

= සත්‍ය හෙළිකළ දෙරණ ට බලපෑම් =

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ සිදුවන නවකවදය, මත්පැන් භාවිතය ඇතුළු විෂමාචාර ක්‍රියා රැසක් “අද දෙරණ” අනාවරණය කිරීමත් සමග අද (24) එම විශ්වවිද්‍යාලයේ භික්ෂූන් පිරිසක් දෙරණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගයට පැමිණ බලපෑම් එල්ල කර තිබුණි.

කෙසේවෙතත් “අද දෙරණ” යළිත් අවධාරණය කරන්නේ විෂමාචාර ක්‍රියා නිවැරදි කරගැනීම වෙනුවට මෙලෙස මාධ්‍යයට බලපෑම් කිරීම තුළින් කිසියම් කණ්ඩායමක හීනමානය ප්‍රකටවීම විනා විනයධර හා ධර්මධර භික්ෂූන් බිහි කිරීමේ එම විශ්වවිද්‍යාලයේ අරමුණ ඉටු නොවන බවය.

1982 අප්‍රේල් 22 වනදා පූජ්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමියන් විසින් හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට මූලිකත්වය ගනු ලැබුවේ ථේරවාදී බෞද්ධ දර්ශනය මෙරට තුළ මෙන්ම විදෙස් රටවලටත් ව්‍යාප්ත කිරීමට හැකි ගිහි සහ පැවිදි ධර්මදූත පිරිසක් නිර්මාණය කිරීමේ අරමුණිනි.

කෙසේවෙතත් මෙම උතුම් අරමුණ අමු අමුවේ කෙලසමින් රජයේ සෙසු විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක නවකවදය මෙම විශ්වවිද්‍යාලය තුළත් ක්‍රියාත්මක කිරීමට ගිහි සහ පැවිදි සිසුන් පිරිසක් පෙරමුණ ගෙන තිබුණි.

ඒ, පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ සාක්ෂි සහිතව අවස්ථා රැසකදී අනාවරණ කළ කරුණු, තහවුරු වෙමින් තිබු පසුබිමක ඉකුත් 19 වනදා සිට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් තීරණය කළේය.

ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නේවාසිකාගාරවලින් ඉවත් වූයේද එහි තිබූ හිස් මත්පැන් බෝතල් හා බියර් ටින් 1,000 කට ආසන්න ප්‍රමාණයක් පොහොර උරවල බහා අපද්‍රව්‍ය බැහැර කරන වලවල්වලට දැමීමෙන් පසුව බව මෙම දර්ශන මගින් තහවුරු විය.

එයත් සමග මෙම විශ්වවිද්‍යාලය තුළ මත්පැන් සාද පවත්වන දර්ශනද මාධ්‍ය වෙත නිකුත් වූ අතර ඊයේ (23) දින විශ්වවිද්‍යාලයේ උපකුලපති හිමියන් සඳහන් කළේ මෙම මත්පැන් සාදය පැවැත්වීමට අදාළව සිසුන් 30 දෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කළ බවය.

මෙවැනි පසුබිමක බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේ පිරිසක් අද (24) පස්වරුවේ කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට සිට දෙරණ ප්‍රධාන කාර්යාලය පිහිටි ප්‍රදේශයට පැමිණ තිබුණි.

එලෙස දෙරණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගයට රැස්වූ එම භික්ෂූන් පසුගිය දිනවල විශ්වවිද්‍යාලයේ විෂමාචාර සම්බන්ධයෙන් අප සිදුකළ මාධ්‍ය වාර්තාකරණයට එරෙහිව බලපෑම් එල්ල කළේය.

එම අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ සමග විශ්වවිද්‍යාල සිසුවෙකු ලෙසින් පෙනී සිටි සිසුවෙක් තවත් මාධ්‍යව්දියෙකුට තර්ජනය කිරීමත් සමග ඇතිවූයේ නොසන්සුන් තත්ත්වයකි.

කෙසේවෙතත් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිදුවන භික්ෂුත්වයට නොගැළපෙන විෂමාචාර ක්‍රියාකාරකම් අප වාර්තා කළේ ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේ සමාජයට දායාද කිරීමේ එම විශ්වවිද්‍යාලයේ මූලික අරමුණ රැකගැනීමේ අභිලාෂය ඇතිවය.

එහෙත් භික්ෂුත්වයට නොගැළපෙන ක්‍රියාදාමයන් නිවැරදි කරගැනීම වෙනුවට මෙලෙස මාධ්‍යයට තර්ජනය කිරීම තුළින් කිසියම් කණ්ඩායමක හීන මානය ප්‍රකටවීම විනා විනයධර හා ධර්මධර භික්ෂූන් බිහි කිරීමේ එම විශ්වවිද්‍යාලයේ අරමුණ ඉටු නොවන බව ‘අද දෙරණ’ යළිත් අවධාරණය කරයි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය බෞද්ධ දර්ශනයට අනුකූල පරිශ්‍රයක් බවට පත්වනු දැකීම ඔබවහන්සේට දන්පැන් පූජා කරන මුළු මහත් බෞද්ධ ජනතාවගේම අපේක්ෂාවයි.

+


ෂාෆ්ටර්ගේ නිවසට රස පරීක්ෂකයන් එයි – ප්‍රකාශ 75 ක් අරන්

(24.12.2022 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර විමර්ශන සඳහා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිඳගෙන් සහ සොහොයුරියගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ෂාෆ්ටර්ගේ කොළඹ – 7 මල්පාරේ පිහිටි නිවසට ගොස් බිරිඳගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ෂාෆ්ටර්ගේ සොහොයුරියගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා බව සඳහන්.

මේ අතර, අද (24) රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් දිනේෂ් ෂාෆ්ටර්ගේ කොළඹ – 7 මල්පාරේ පිහිටි නිවසට පැමිණියා. ඒ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් අත්පා බැඳ ගෙළ ප්ලාස්ටික් පටියකින් ගැටගසා අසාධ්‍ය තත්ත්වයේ සිටියදී සොයා ගෙන රෝහල් ගත කිරීමෙන් අනතුරුව, පසුගිය 15 වනදා ජිවිතක්ෂයට පත්වුණා.

පස්වරු 2 ට පමණ මල්පාරේ නිවසින් පිටවූ දිනේෂ් ෂාෆ්ටර් සිය බිරිඳට පවසා තිබුණේ තමන් පැය භාගයකින් (½) පමණ යළි නිවසට පැමිණෙන බවටයි.

එහෙත්, ඔහු ප්‍රමාද වූ බැවින් බිරිඳ විසින් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් යොමුකර ඇති අතර ඊට ප්‍රතිචාර නොදැක්වූ අවස්ථාවේ ඇය ජංගම දුරකථන යෙදවුමක් හරහා ඔහු සිටි ස්ථානය නිරීක්ෂණය කළ බවයි බිරිඳ පොලීසියට සඳහන් කර තිබුණේ.

ඒ අනුව බොරැල්ල සුසාන භූමියේ සිය සැමියා සිටින බව ෂාෆ්ටර්ගේ සමීපතම විධායක නිලධාරියා වූ ක්‍රිෂ් පෙරේරාට ඇය පවසා ඇත්තේ ඔහු පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලමින්.

ක්‍රිෂ් පෙරේරා යනු දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික රහස් සියල්ල දන්නා වසර 10 ක තරම් දීර්ඝ හිතවත්කමක් ඇති අතිශය විශ්වාසවන්තයෙකු බවට පැවසෙනවා.

ක්‍රිෂ් පෙරේරා පොලීසියට පවසා තිබුණේ තමන්ට ෂාෆ්ටර්ගේ බිරිඳ වන ටානි ෂාමින්ගේ දුරකථන ඇමතුම ලැබෙන විට ඔහු සිය දරු දෙදෙනා (2) පාසලේ සිට වත්තල – හැඳල ප්‍රදේශයේ නිවසට රැගෙන යාමට සූදානමින් සිටින බවටයි.

කෙසේ වෙතත් ඔහු දරු දෙදෙනා (2) ආරක්ෂිතව නිවසට රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා ඔහුගේ රියදුරෙකු සහ වෙනත් මෝටර් රථයකින් ෂාෆ්ටර් සෙවීම සඳහා බොරැල්ල සුසාන භූමියට පැමිණි බවයි ක්‍රිෂ් පෙරේරා පොලීසිය සඳහන් කර තිබුණේ.

එවන් හදිසි තත්ත්වයක් යටතේ ෂාෆ්ටර් සෙවීමට ක්‍රිෂ් පෙරේරා බොරැල්ල සුසාන භූමියට පැමිණිය ද ඔහු පැමිණි රථය සහ රියදුරු සුසාන භූමිය තුලට කැඳවාගෙන නොගොස් තනිව ගොස් ඇති බවයි දැනට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

සුසාන භූමිය අසල ඇති මාර්ගයක මෝටර් රථය නවතන ලෙස රියදුරුට දන්වා ක්‍රිෂ් පෙරේරා තනිව ෂාෆ්ටර් සෙවීමට සුසාන භූමියට ඇතුළු වී ඇත්තේ ෂාෆ්ටර්ගේ මෝටර් රථය සුසාන භූමියට ඇතුළු කළ ගේට්ටුවෙන්ම බව සඳහන්.

එලෙස, සුසාන භූමියට ඇතුළු වූ ක්‍රිෂ් පෙරේරා ගුවන් හමුදා ස්මාරකය අසල නවතා තිබූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය සොයා ගත් බවයි පොලීසියට සඳහන් කර තිබුණේ.

එහිදී ෂාෆ්ටර්ගේ ගෙල රියදුරු අසුනට තබා ගැට ගසා තිබූ බවත් අත්පා බැඳ දමා ඇති බවත් පවසන ක්‍රිෂ් පෙරේරා තමා සමග පැමිණි රියදුරාට කැඳවීමක් නොකර උදව් ඉල්ලා ඇත්තේ සුසාන භූමියේ ඈතින් සිටි ‘නිලාම්’ නම් කම්කරුවා ගෙන්.

ඔහුගේ සහාය ද ඇතිව ෂාෆ්ටර් රියදුරු අසුනට යාබද අසුනට දමා ගන්නා ක්‍රිෂ් පෙරේරා එම කම්කරුවා ද සමග ජාතික රෝහලට පැමිණ තිබෙන්නේ පස්වරු 03 ත් 03:15 ත් අතර කාලයේදීයි.

ෂාෆ්ටර්ගේ මෝටර් රථය සුසාන භූමියේ නතර කර තිබෙන අවස්ථාවේ යම් පුද්ගලයෙකු එම රථය අසලින් වේගයෙන් ගමන් කළ අයුරු තමන් යන්තමින් දුටු බව ෂාෆ්ටර් රෝහල් ගත කිරීමට සහාය ලබාදුන් කම්කරුවා පොලීසියට ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව ක්‍රිෂ් පෙරේරා විසින් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ ඡායාරූපයක් දුරකථනයෙන් ‘නිලාම්’ නමැති කම්කරුට පෙන්වමින් මොහු නේද ගිය කෙනා ලෙස යම් හඳුන්වාදීමකට දැඩි උත්සාහයක නිරත වූ බවට ද විමර්ශන නිලධාරින්ට තොරතුරු ලැබී තිබෙනවා.

රුපියල් කෝටි 143 ක ණය මුදලක් සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස් හා ෂාෆ්ටර් අතර විරසකයක් පවතින අතර එම ආරවුල මෙම ඝාතනය හා සම්බන්ධ කිරීමට උත්සාහ දැරීමක් කර ඇද්ද යන්න විමර්ශන නිලධාරින්ගේ දැඩි අවධානයට ලක්ව ඇති කරුණක්.

ෂාෆ්ටර්ගේ සමීපතමයන්ගේ ද දුරකථන දත්ත වාර්තා නිරීක්ෂණය කරමින් මෙම ඝාතනය කවුරුන් විසින් සිදුකලේ ද යන්න පිළිබඳව ප්‍රබල සාක්ෂි රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මේ වනවිට එක්රැස් කරමින් පවතිනවා.

+


වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රමාදයෙන් රුපියල් ලක්ෂ 29 ක ඖෂධ රේගුවේ නැවතිලා

(24.12.2022 – 19:40 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය ශික්ෂණ රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු රුපියල් ලක්ෂ 29 කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් මාස 3 ක කාලයක් නිෂ්කාශනය නොකර වරායේ සිර වී ඇති බව වාර්තා වනවා.

අදාළ ඖෂධ තොගය කඩිනමින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්.එස්. වීරබණ්ඩාර විසින් ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ වරායේ සිරවී ඇති අදාළ ඖෂධ තොගය අතර බිඳුනු අස්ථි කොටස් සැකසීමට ගන්නා ඖෂධ, ශ්වසන සහ සේලයින් ලබාදීමට ගන්නා බට ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ වන බවයි.

ඇමෙරිකානු දානපතියෙකුගෙන් පරිත්‍යාගයක් ලෙස පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලට ලැබුණු මෙම ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගය මෙරටට පැමිණ ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මස මුල් සතිය තුලයි.

කෙසේ වෙතත්, වෛද්‍ය සැපයුම් අංශයේ නිෂ්කාශන අනුමැතිය නොලැබීම හේතුවෙන් ඒවා ගුදම් තුළ සිර වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 සහ වෛද්‍ය ප්‍රදානයන් පිලිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ.

අප මේ පිළිබඳ විමසීමට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ධර්මසිරි හේරත් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණේ ඔහු දුරකථනය විසන්ධි කිරීම හේතුවෙන් ෴


+


+


+


බස්නාහිර පළාතේ සොරකම්වලින් 80% කටම හේතුව මත්ද්‍රව්‍යයි

(25.12.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ අපරාධවලින් 75% කටම හේතු වී ඇත්තේ මත්ද්‍රව්‍ය බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය සඳහා යොමුකළ පිරිසක් සඳහා ඊයේ (24) පැවති වැඩමුළුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බස්නාහිර පළාතේ සොරකම්වලින් 80% කටම හේතු වී ඇත්තේද මත්ද්‍රව්‍ය බවයි ෴


2022 දෙසැම්බර් මස 25 දින සඳහා කාලගුණ අනාවැකිය

(25.12.2022 – meteo.gov.lk)

2022දෙසැම්බර් මස 25 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන්කරමින් පවතී.

මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ ෴

+++++++

2022දෙසැම්බර් මස 25 දින උදෑසන 02:30 ට නිකුත් කල කාලගුණ අනාවැකිය (pdf file)

+++++++

Satellite Image 1

( SL Time = EST + 10:30 hours ) ( UTC = EST + 5 hours )

Satellite Image 2

( SL Time = UTC + 05:30 hours )


මත්තල ගුවන්තොටුපොළ ගැන විගණන වාර්තාවක්

(24.12.2022 – 22:27 +0530 – sinhala.adaderana.lk)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් පිරිවැය රුපියල් බිලියන 02 ඉක්මවා ඇතත් එම පිරිවැය එහි ආදායමට වඩා විසි (20) ගුණයකින් පමණ වැඩි බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එනම් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 2021 වසරේ මෙහෙයුම් පිරිවැය රුපියල් බිලියන 2.02 ක් වන අතර එම ගුවන්තොටුපළේ මෙහෙයුම් ආදායමට වඩා 21 ගුණයකට වඩා ඉහළ හොස් තිබේ.

එමෙන්ම එම වාර්තාවේ දැක්වෙන්නේ මෙම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 247 කට වැඩි මුදල ඵලදායි ලෙස භාවිත කර නැති බව නිරීක්ෂණය වී ඇති බවයි.

මත්තල ගුවන්තොටුපළ 2021 වර්ෂයේදී බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් බිලියන 4.44 ක් වූ අතර 2017 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ බදු ගෙවීමෙන් පසු සමුචිචිත ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59 ක් බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ගුවන්තොටුපළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාවය මිලියනයක් (1,000,000) පමණ වුවද පසුගිය වසර 5 ක කාලය තුළ මගී ධාරිතාව දැක්වෙන්නේ 91,747 ක් ලෙසයි.

පසුගිය වසර 5 ක කාලය තුළ මත්තල ගුවන්තොටුපළෙන් ක්‍රියාත්මක කර ඇත්තේ ගුවන් ගමන් 2,396 ක් පමණක් බවද වාර්තාවේ දැක්වේ.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා දරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 247.7 ක් නැතහොත් රුපියල් මිලියන 36,564 ක සමස්ත මුදල ඵලදායි ලෙස භාවිතා නොකළ බවද විගණනයේදී නිරීක්ෂණය වී තිබේ.

එමෙන්ම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 190 ක ණය මුදල සඳහා පොලිය ඇතුළුව වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2,610 ක මුදලක් සමාගම විසින් ගෙවා ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මීට අමතරව රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ අඛණ්ඩව අලාභ ලබා ඇති අතර 2017 වසරේ සිට 2021 වසර දක්වා සමුච්චිත අලාභය රුපියල් මිලියන 1,693.66 ක් බවත් 2021 වර්ෂය සඳහා වූ අලාභය රුපියල් මිලියන 461.08 ක් බවත් වාර්තාවේ දැක්වේ.

2020 සහ 2021 වර්ෂවල රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් හැසිරවූ යානා ප්‍රමාණය එක් වසරකට 13 ක් පමණක් වූ අතර ගුවන්තොටුපළ භාවිත කර ඇති මගීන් ගණන 2020 වසරේ 60 ක් සහ 2021 වසරේ 28 ක් බව විගණන වාර්තාවේ සඳහන් වේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *