එප්පාවලින් අතුරුදන් වූ නව (9) හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩින් සොයා ගැනේ

එප්පාවලින් අතුරුදන් වූ නව (9) හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩින් සොයා ගැනේ


එප්පාවලින් අතුරුදන් වූ නව (9) හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩින් සොයා ගැනේ

(24.12.2022 – 07:15 +0530 – hirunews.lk/sinhala)

එප්පාවල – කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේදී අතුරුදන් වූ, නව (9) හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩ – ජෝන්ස්ලන් වතුයායේ නිවසකින් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ මෙම දරුවා ළගින් ඇසුරුකළ විදුලි කාර්මික ශිල්පියාගේ හිතවතෙකුගේ නිවසක සිටියදී සොයාගත් බවයි.

පසුව අදාළ විදුලි කාර්මිකයා ද එහි සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, දරුවා ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ සිසුවා පසුගිය 19 වනදා රාත්‍රියේ සිට අතුරුදන්වූ බවට මව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන කටයුතු සිදු කෙරුණේ ෴

+++++++++++

නිවසින් ගිය හේතුව 09 හැවිරිදි දරුවා හෙළිකරයි

(24.12.2022 – 13:44 +0530 – sinhala.adaderana.lk)

දින කිහිපයකට පෙර එප්පාවල ප්‍රදේශයේදී අතුරුදන් වූ 09 හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ වතුයායක නිවසක සිටියදී අද (24) සොයා ගෙන තිබුණි.

පොලීසිය සඳහන් කළේ දරුවා රැගෙන ගිය බව පැවසෙන සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවය.

එප්පාවල කිරලෝගම ගැටදිවුල ප්‍රදේශයේ 9 හැවිරිදි පිරිමි දරුවෙකු පසුගිය 19 වනදා සිට එලෙස අතුරුදන්වී සිටියේය.

එම දරුවාගේ මව සඳහන් කළේ නිවසට ආගිය පුද්ගලයෙකු විසින් දරුවා රැගෙන ගොස් තිබූ බවය.

ඒ අනුව පවුලේ ඥාතීන් එප්පාවල පොලීසියට කළ දැනුම්දීමත් සමග අදාළ දරුවා සොයා පරීක්ෂණ ආරම්භ කෙරුණි.

එහිදී මූලික විමර්ශනවලදී අනාවරණය වූයේ නිවසට ආගිය විදුලි කාර්මික ශිල්පියෙකු බව පැවසෙන අදාළ සැකකරුගේ මාතලේ සහ උකුවෙල ප්‍රදේශයේ ඥාති නිවෙස් කිහිපයකට දරුවා රැගෙන ගොස් ඇති බවය.

ඒ අනුව පොලීසිය සිදුකළ අඛණ්ඩ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස එම දරුවා රිකිල්ලගස්කඩ ජෝන්ස්ලන් වතුයායේ නිවසක සිටියදී එප්පාවල පොලීසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

එහිදී දරුවා රැගෙන ගිය බව පැවසෙන විදුලි කාර්මික ශිල්පියා ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් දෙදෙනාට (2) නවාතැන් ලබාදුන් විදුලි කාර්මික ශිල්පියාගේ ඥාතියෙකු බව පැවසෙන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිසුවා සැකකරු සමග සිය කැමැත්තෙන් ගොස් ඇති බවට ද සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වැඩිදුර විමර්ශන සඳහා දරුවා සහ අදාළ සැකකාර විදුලි කාර්මික ශිල්පියා අද (24) පෙරවරුවේ එප්පාවල පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

එහිදී පොලීසිය විසින් දරුවාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණි.

පොලීසිය – “ඔයත් එක්ක ගිය මාමා කොච්චර කල් ඉඳලා අඳුනනවාද ?”

දරුවා – “මාස දෙකක් (2) විතර.”

පොලීසිය – “ඉස්කෝලෙ පන්ති යන්නේ මාමා එක්කද ?”

දරුවා – “ළඟකදී ඉඳලා ඉස්කෝලෙ පන්ති එහෙම ගියා මාමා එක්ක.” 

පොලීසිය – “මාමා එක්ක කඩේ නැවතිලා එහෙමත් හිටියා ද ?”

දරුවා – “දවස් දෙකයි (2). තාත්තා එදා එනවා කිව්වා. ඒ නිසා මම කිව්වා යන්න බෑ කියලා.” 

පොලීසිය – “ඇයි තාත්තා එන නිසා යන්න බෑ කිව්වේ?”

දරුවා – “එතකොට තාත්තා එක්කරන් ගිහින් මාව මහණ කරනවා කිව්වා.”

පොලීසිය – “ඒ නිසා මාමාට කිව්වද එක්කන් යන්න කියලා ?”

දරුවා – “ඔව්.”

පොලීසිය – “ටියුෂන් පන්ති ගිහිල්ලා පුතා ගෙදර ගියා නේද මාමා එක්ක. ඊට පස්සේ මොකද වුණේ?”

දරුවා – “මාමා ගියාට පස්සේ මමත් ගියා මාමා එක්ක එයා පස්සේ. එයා කිව්වා ගෙදර යන්න කියලා. මම බෑ කියලා අවේ.”

එම දරුවා අද (24) අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකාර විදුලි කාර්මික ශිල්පියා තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

+++++++++

දරුවාව පැහැරගත් සැකකරු ඇතුළු දෙදෙනෙක් (2) රිමාන්ඩ්

(24.12.2022 – 18:31 +0530 – sinhala.adaderana.lk)

එප්පාවල ප්‍රදේශයේදී දරුවෙකු පැහැරගත් සැකකරු සහ ඔවුන්ට නවාතැන් සපයමින් සැඟවී සිටීමට උපකාර කළ නිවෙස්හිමියා ජනවාරි 04 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවා පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ විදුලි කාර්මික ශිල්පියා හා ඔවුන්ට සැගවී සිටීමට උපකාර කළ රිකිල්ලගස්කඩ නගර සභාවේ රියදුරා එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

ඒ සැකකරුවන් අද (24) තඹුත්තේගම මහෙස්ත්‍රාත් එම්. එල්. නුවන් කෞෂල්‍ය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (24) පස්වරුවේ තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට රැගෙන ගොස් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන තලාව ප්‍රදේශයේ පදිංචි අසේල ප්‍රියන්ත නම් විදුලි කාර්මික ශිල්පියා සහ ඔවුන්ට එප්පාවල ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටීමට උපකාර කළ ජොන්ස්ලන්ඩ් වතුයායේ අදාළ නිවසේ හිමිකරු වන අමිල සම්පත් 42 හැවිරිදි තිදරු (3) පියෙකි. 

සැකකාර විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන ගිය දින සිට ඔහුට අයත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ඉන් පසු දරුවා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයාගත නොහැකිව තිබුණි.

නමුත් ඊයේ (23) පස්වරු 06:30 ට පමණ එම දුරකථනයෙන් හදිසියේම දරුවාගේ මවට ඇමතුමක් ලැබී තිබේ.

එහිදී දරුවාව පැහැර ගත් විදුලි කාර්මික ශිල්පියා පවසා ඇත්තේ දරුවා හොඳින් සිටින බවය.

තමන් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දරුවා සමඟ සිටින බවත්, කඩිනමින් දරුවා මව වෙත ලැබීමට සලස්වන බවත්, දරුවාගේ ඉල්ලීම මත තමන් දරුවාව රැගෙන ගිය බවද සැකකාර විදුලි කාර්මික ශිල්පියා දරුවාගේ මවට පවසා ඇත.

කෙසේවෙතත් ඔවුන් තලාව ප්‍රදේශයේ රැඳීසිටින බව පැවසුවද අදාළ දුරකථන අංකය ඔස්සේ ලැබුණු ඇමතුම පරීක්ෂා කර එය රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ භාවිත වන බවට තොරතුරු අනාවරණය වීමත් සමගින් ඒ ඔස්සේ පරික්ෂණ පවත්වා දරුවා හා දරුවා පැහැර ගත් පුද්ගලයා රැඳී සිටි රිකිල්ලගස්කඩ, ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවස ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ වටලා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.

++++++++++

hirunews.lk/sinhala :

සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ දරුවා විසින් සිය කැමැත්තෙන් මෙම පුද්ගලයා සමඟ පිටත්ව ගොස් ඇති බවයි. ඒ, දරුවා නිසි පරිදි අධ්‍යාපනය නොලබන්නේ නම් පියා පැමිණි පසු පැවිදි කරවන බවට මව විසින් ප්‍රකාශ කිරීමත් සමඟයි.

වත්මන් ආර්ථික සහ සමාජ වටපිටාව හමුවේ දරුවන්ගේ මානසික තත්ත්වය තේරුම් ගෙන දෙමව්පියන් කටයුතු කිරීම කොතරම් වැදගත් වන්නේ ද යන්න පිළිබඳව මෙවැනි සිදුවීම් හරහා යළිත් යළිත් සියළු දෙනාට වැදගත් පණිවුඩයක් ලබාදෙනවා.

ඒ දරුවන් දරුවන් ලෙස දකින්නට සියලු වැඩිහිටියන්ට වගකීම් පවරමින්.

+


මිලට ගත් නළඟනන් සමග දාපු පැපිලියානේ අමුතු පාටිය

(24.12.2022 – 07:02 +0530 – hirunews.lk/sinhala)

මුදලට ගත් සුරූපී නළඟනන් සිවුදෙනකු (4) සමග මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයන් පස්දෙනකු (5) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

එම සැකකරුවන් අතර බඩෝවිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ පුතුන් ද වන බව පොලීසිය සඳහන් කරන බව මෙරට ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 600 ක් සහ හඳුනා නොගත් මත් පෙති වර්ග තුනක් (3) ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දින එකහමාරක් (1½) පුරා අඛණ්ඩව බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ නිවසක පිරිසක් එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමක් හෝ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව‍යි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණියන් කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන්නියන් බවත්, ජාවාරම්කරුවන් දෙදෙනා (2) එම සුරූපී නළඟනන් සාදය සඳහා මුදලට ගෙන්වාගෙන ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වූ බව එම පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

සැකකාරියන් සිව්දෙනා (4) කොළඹින් දුරබැහැර පදිංචිකාරියක් බවත් සැකකරුවන් කොළඹ අවට පදිංචිකරුවන් බවත් මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා ෴


විදුලි ඉංජිනේරුවන් අලුත් ඇමතිවරයෙක් ඉල්ලයි

(24.12.2022 – 08:35 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉවත් කර වෙනත් අමාත්‍යවරයෙක් පත් කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

කොළඹ ඊයේ (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති නිහාල් වීරරත්න මේ බව කියා සිටියා ෴

+


ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන 75 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

(24.12.2022 – 08:41 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වී අදට (24) දින 8 ක් ගතවුවත් එය තවමත් අභිරහසක්ව පවතිනවා.

කෙසේ වෙතත් සිද්ධියට අදාළව පුද්ගලයින් 75 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයින් 58 දෙනෙකුගෙන් සහ බොරැල්ල පොලිසිය පුද්ගලයින් 17 දෙනෙකුගෙන් ඊට අදාළ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියට යාමට පෙර ගිය බව පැවසෙන අවන්හල ඔහු නිරන්තරයෙන් ආ ගිය තැනක් නොවන බවටද මේ වනවිිට තොරතුරු වාර්තා වනවා.

අදාල අවන්හලේ ප්‍රකාශකයෙකු ද සඳහන් කර තිබුණේ ෂාෆ්ටර් එදින පැමිණි බවට නිශ්චිතව හදුනාගැනීමට තරම් සමීප පාරිභෝගිකයෙකු නොවන බවයි.

කොළඹ 07 මල්පාරේ පිහිටි සිය නිවසේ සිට ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමිය වෙත ගමන්කරන අතරතුර මලලසේකර මාවතේ අවන්හලකින් පුද්ගලයින් දෙදෙනෙකුට (2) ප්‍රමාණවත් කෙටි ආහාර මිලදී ගෙන ඇති බවට පසුගියදා අනාවරණ වුණා.

ඒ ඔස්සේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළ අතර අදාළ ආහාර මිලදීගැනීමට අවහන්හලට ගොස් ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ද එසේ නොමැතිනම් වෙනත් පුද්ගලයෙක්ද යන්න තහවුරු කරගැනීම සඳහා එහි සීසීටීවී කැමරා නොමැතිවීම බාධාවක් වී ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම මේ වනවිට සීසීටීවී දර්ශන රැසක් ද විමර්ශන නිලධාරීන් පරීක්ෂාවට ලක් කර තිබෙනවා ෴


මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය ට අලුත් වැඩක්

(24.12.2022 – 08:11 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා යොමු කිරිමේදී ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලු විනිශ්චකාරවරුන් සහ අධිකරණ නිලධාරින් වෙත ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රලේඛය නිකුත්කර ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කිරීම මගින් බන්ධනාගාර සහ මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානවල මේ වන විට දැඩි තදබදයක් හටගෙන ඇති බවට පසුගියදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබුණි.

අගුණකොළපැලැස්ස පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 75 ක් වුවද මේ වන විට එහි 140 දෙනෙකු සිටින අතර මහර බන්ධනාගාර පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ රැඳවිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 80 ක් වුවද එහි 204 දෙනෙකු රඳවා සිටින බව ද බන්ධනාගාර මූලස්ථානය පවසයි.

පවතින ඉඩකඩ පහසුකම් පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට කටයුතු කළ ද දිගින් දිගටම රැඳවියන් යොමුකිරීම නිසා ගැටලු සහගත තත්ත්වයක් හටගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබු අතර එම යෝජනා පිළිබඳව අවධානය යොමුකරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු විනිසුරුවරුන්ට නව චක්‍රලේඛය මගින් දැනුම්දී තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා යොමු කිරිමේදී පවතින ඉඩ පිළිබඳව බන්ධනාගාර අධිකාරිවරයාගෙන් වාර්තාක් ලබාගෙන රැඳවියන් යොමු කිරීම හෝ සියලු නඩු අවසානයේ පුනුරුත්තාපනයට යොමු කිරීම සිදුකළ යුතුව ඇත.

ඊට අමතරව හැකි සෑම අවස්ථාවකම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බන්ධනාගාර පුනුරුත්තාපනයට යොමු නොකර පුනුරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ මධ්‍යස්ථාන, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මධ්‍යස්ථාන හෝ ප්‍රජා විෂෝධනය සඳහා යොමු කිරීම සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම්දී තිබේ.


ලොව ඉපැරැණිම බෞද්ධ විහාරය යැයි සැලකෙන විහාරය පාකිස්තානයෙන් හමුවේ

(24.12.2022 – 07:43 +0530 – lankaleadnews.com)

ලොව පැරණිම බෞද්ධ විහාරය වයඹ දිග පාකිස්තානයේ කයිවර් ප්‍රාන්තයේ බරිකොට් නගරයේ කළ කැණීම්වලදී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පුරාවිද්‍යාඥයකු වන ලුකා මරියා ඔලිවේර් හෙළිකර ඇත්තේ මෙම විහාරය වසර 2200 ක් පැරණි බව ය. වැනිස් විශ්වවිද්‍යාලයේ පුරවිද්‍යා ගවේෂකයකු වන ඔහු පවසන්නේ මෙම විහාරය මගින් තහවුරු වන්නේ බෞද්ධාගම සහ ගාන්ධාර ශිෂ්ටාචාරය පාකිස්තානය හරහා වෙනත් රටවලට ව්‍යාප්ත වූ ආකාරය බවය.

මෙම බෞද්ධ විහාරය උසින් අඩි 10 ක් පමණ වන බවද, බෞද්ධ සිතුවම්වලින් යුක්ත වන බවද සදහන්ය. එමෙන්ම එහි තිබී ස්ථුපයක් ද හමුවී තිබේ ෴

+


ආශු මාරසිංහගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති සත්‍යය කතාව එළියට – හිරුණිකාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

(23.12.2022 – 20:22 +0530 – lankaleadnews.com)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතාගේ ඉවත්වීම පිළිබදව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබේ.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම හෙළිදරව්ව සිදුකර ඇති අතර, එහිදී ආශු මාරසිංහ මහතා සමාජයට හෙළිදරව් වෙතැයි බියෙන් පසුවූවා යැයි කියන ඔහුගේ විකෘති ලිංගික කාරණා කිහිපයක් පිළිබදව ද මෙහිදී හෙළිදරව්වක් සිදුවී තිබේ.

විශේෂයෙන්ම සුනඛයකු සමග තිබුනා යැයි පැවසෙන සම්බන්ධයක් පිළිබදවද ඇය මෙහිදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර ඇත.

++++++

( ආශු බල්ලා තවත් බල්ලෙකු සමග … )

++++++++++

සමාජ මාධ්‍යවල සංසරණය වෙන වීඩියෝව ට එරෙහිව ආශු CID යයි

(24.12.2022 – 17:21 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති හිටපු උපදේශක ආශු මාරසිංහ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වෙන වීඩියෝව සම්බන්ධයෙන් ඔහු ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ, අදාළ සිද්ධිය ගැන පැමිණිලි කිරීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආශු මාරසිංහ :

“මෙය නීතිය ඉදිරියේ තියෙන කාරණයක්. අසත්‍ය කාරණයක්. ඒ නිසා මම මේ ගැන කතා කරන්නේ නැහැ. මගේ නීතිඥවරයා මේ ගැන කතා කරයි.”

ආශු මාරසිංහගේ නීතිඥයා සඳහන් කළේ :

“ආශු මාරසිංහ සම්බන්ධයෙන් ඉතාමත්ම පිළිකුල් සහගත, අසත්‍ය, සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාලා පුරා සංසරණය වෙනවා. ඒ වගේම කරුණු විකෘති කරල ලද ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුවා. ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.” 

“මාගේ සේවාදායකයා සහ එක්තරා කාන්තාවක් අධ්‍යක්ෂ ධුරය දරන සමාගමක ඇතිවෙන ආරවුලක්. ඒ ආරවුල මත විශාල මුදල් ප්‍රමාණයක් මගේ සේවාදායකයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ පසුබිම තමයි මේ දේවල් සිදුවෙන්නේ.”

+

++++++++++

24-12-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *