දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය තවමත් අභිරහසක්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය තවමත් අභිරහසක්


දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය තවමත් අභිරහසක්

(23.12.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්ව මේ වන විට දින 07 ක් ඉක්මවා ඇතත් තවමත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ මෙම විමර්ශන සඳහා කිසිදු බලපෑමක් එල්ලවී නොමැති බවයි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියට යාමට පෙර ගිය බව පැවසෙන අවන්හල ඔහු නිරන්තරයෙන් ආ ගිය තැනක් නොවන බවටද තොරතුරු වාර්තා වනවා.

අදාල අවන්හලේ ප්‍රකාශකයෙකුද සඳහන් කර තිබුණේ ෂාෆ්ටර් එදින පැමිණි බවට නිශ්චිතව හදුනාගැනීමට තරම් සමීප පාරිභෝගිකයෙකු නොවූ බවයි.

කොළඹ 07 මල්පාරේ පිහිටි සිය නිවසේ සිට ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමිය වෙත ගමන්කරන අතරතුර මලලසේකර මාවතේ අවන්හලකින් පුද්ගලයින් දෙදෙනෙකුට (2) ප්‍රමාණවත් කෙටි ආහාර මිලදී ගෙන ඇති බවට පසුගියදා අනාවරණ වුණා.

ඒ ඔස්සේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළ අතර අදාළ ආහාර මිලදීගැනීමට අවහන්හලට ගොස් ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ද එසේ නොමැතිනම් වෙනත් පුද්ගලයෙක්ද යන්න තහවුරු කරගැනීම සඳහා එහි සීසීටීවී කැමරා නොමැතිවීම බාධාවක් වී ඇති බවයි වාර්තාවන්නේ.

එහෙත් එම ආහාර මිලදී ගැනීම සඳහා ෂාෆ්ටර්ගේ බැංකු කාඩ්පත භාවිතකර ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් අප කළ සොයබැලීමකදී අනාවරණ වුණේ දිනේෂ් ෂාෆ්ටර් කෙටි ආහාර සඳහා එතරම් ප්‍රියතාවක් නොදැක්වූ අයෙක් බවයි.

එවන් පසුබිමක් තුළ දහවල් 02 ත් 03 ත් අතර නිවසින් පිටව ගිය ෂාෆ්ටර් කෙටි ආහාර මිලදීගැනීම ගැටළුවක් නොවන්නේද?

ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව අද (23) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී ඔහු කියා සිටියේ ෂාෆ්ටර්ගේ ඝාතකයා අත්අඩංගුවට ගැනීම තරම් ප්‍රමාණවත් ප්‍රබල සාක්ෂි තවමත් ලැබී නොමැති බවයි.

මේ අතර ෂාෆ්ටර්ගේ ඝාතනයත් සමඟ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ, රුපියල් කෝටි 143 ක පමණ ණය මුදලක් ලබාගෙන එය යළි නොගෙවීම සම්බන්ධයෙන් ආරවුලක් පවතින ක්‍රිකට් විස්තර විචාරක ‘බ්‍රයන් තෝමස්’ වෙතයි.

තමන් අවසන් වරට ෂාෆ්ටර් හමුවී ඇත්තේ 2019 වසරේ දෙසැම්බර් 24 වනදා කොල්ලුපිටියේ වාලුකාරාම පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයේ 04 වන තට්ටුවේදී බවයි අප කළ විමසීමකදී බ්‍රයන් තෝමස් සඳහන් කළේ.

මියගිය දින පස්වරු 02:43 ට පමණ බ්‍රයන් තෝමස්ට ෂාෆ්ටර්ගෙන් කෙටි පණිවුඩයක් ලැබී තිබුණේ ඔහු එනතෙක් තමා රැඳී සිටින බවට දන්වමින්.

කෙසේ වෙතත් එම කෙටි පණිවුඩය ෂාෆ්ටර්ගේ දුරකථනයෙන් ඝාතනය සිදුකල පාර්ශ්වය විසින් යොමුකරන්නට ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසය පළකරන්නේ.

එමෙන්ම ෂාෆ්ටර් විසින් එම කාලය තුළම බ්‍රයන් තෝමස්වෙත තවත් කෙටි පණිවුඩයක් යොමුකරමින් ‘ඈස් ඉන්ස්ට්‍රක්ටර්ඩ් බයි යූ , අයි හෑව් ඩිලීටඩ් යුවර් මෙසේජ්’ යනුවෙන් සඳහන් කර තිබූ බවද ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් සඳහන් කළා.

එහිදී බ්‍රයන් තෝමස් ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ “කවදද මම එවැනි ඉල්ලීමක් කළේ ” යනුවෙනුයි.

මෙම කෙටි පණිවුඩ හුවමාරුවේදී ෂාෆ්ටර් භාවිත කළ ඉංග්‍රීසි ව්‍යාකරණ භාවිතය වෙනදාට වඩා වෙනස් බවද බ්‍රයන් තෝමස් අප සමඟ ප්‍රකාශ කළා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) දිනයේ දිනේෂ් ෂාෆ්ටර්ගේ සොහොයුරන් දෙදෙනෙකු (2) ගෙන්ද ප්‍රශ්න කර ඇති අතර මේ දක්වා පුද්ගලයින් 60 කගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴

දිනේෂ් ෂාෆ්ටර්

+


නඩු නවයකට (09) ඇප තැන්පත් කළත් ප්‍රියමාලි තවමත් බන්ධනාගාරයේ

(23.12.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු 09 ක් සඳහා ඇප තැන්පත් කළත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

ඒ, ඇයට එරෙහිව පවතින තවත් නඩුවකට අදාළවයි.

අද (23) පස්වරුවේ ඇයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු නවය (09) සඳහා මුදලින් රුපියල් ලක්ෂ හතර හමාරක් (4½) සහ රුපියල් මිලියන 180 ක ශරීර ඇප තැන්පත් කිරීම සිදු කළා.

තිලිණි ප්‍රියමාලිගේ ස්වාමි පුරුෂයා, මව, පියා, සහෝදරයන් දෙදෙනෙකු (02) ඇතුළු හිතවතුන් පිරිසක් රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 18 ක් නඩු 09 සඳහා අධිකරණය හමුවේ තැන්පත් කරනු ලැබුවා ෴

තිලිණි ප්‍රියමාලි

එප්පාවල දරුවා තවමත් අතුරුදන්

(23.12.2022 – 19:16 +0530 – hirunews.lk/sinhala)

එප්පාවල -කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේදී අතුරුදන් වූ, නව (9) හැවිරිදි පිරිමි දරුවා ළගින් ඇසුරුකළ විදුලි කාර්මික ශිල්පියාගේ දුරකතන දත්ත ඔස්සේ මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නුවර – ගලහ ප්‍රදේශයට සහ මාතලේ ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2) අද (23) පෙරවරුවේ පිටත්කර යවා තිබුණා.

එම දරුවා ළඟින් ඇසුරු කළ විදුලි කාර්මික ශිල්පියා පෙරේදා (21) සහ ඊයේ (22) දිනයේදී ඔහුගේ ඥාතීන්ට දුරකථන ඇමතුම් ලබාදී ඇති අතර ඒ අනුවයි පොලිසිය මෙලෙස විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ.

එසේම තවත් පොලිස් කණ්ඩායම් 03 ක් එම දරුවා සොයා එප්පාවල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්ද සිදුකරනු ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22) කරුණු වාර්තාකළ අතර, එහිදී මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය නියෝග කලේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ, සිව්වන (4) වසරේ ඉගෙනුම ලබන ‘දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර’ නැමැති මෙම සිසුවා අතුරුදන් වූයේ, පසුගිය 19 වනදා රාත්‍රියේ සිටයි. සිද්ධිය සම්බන්ධයෙන් මව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන කටයුතු මෙලෙස ආරම්භ වූයේ ෴

+

+


ආගමන, විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

(23.12.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala)

ලබන 26 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීම හේතුවෙන් විදෙස් ගමන්බලපත්‍ර අයදුම් කළ පිරිස් සඳහා වෙනත් දින ලබාදී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා ලබන 27 සිට 30 දක්වා දින වෙන්කර ඇති බවයි.

ඒ අනුව 26 වනදා උදෑසන 08 ත් 10 ත් අතර වේලාවන් ලබාදී තිබූ පිරිස් සඳහා 27 වනදාත්, උදෑසන 10 ත් දහවල් 12 ත් අතර වේලාවන් ලබාදී තිබූ පිරිස් සඳහා 28 වනදාත් වෙන්කර තිබෙනවා.

මීට අමතරව දහවල් 12 ත් පස්වරු 02 ත් අතර වේලාවන් ලබාදී තිබූ පුද්ගලයින්ට ලබන 29 වනදා සහ පස්වරු 02 න් පසුව වේලාව වෙන්කර දී තිබූ පිරිස් සඳහා ලබන 30 වනදා සිකුරාදා දිනය ලබා දීමටයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ ෴


බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් 32 දෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම්

(23.12.2022 – 16:22 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් 32 දෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහෝපාධ්‍ය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි පවසනවා.

නවක වධ සිද්ධීන් මුල්කරගනිමින් මෙම සිසුන්ගේ පන්ති තාවකාලිකව තහනම් කර ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ෴

+

(සාදු බල්ලන් වෙනුවෙන් බුරන තවත් බල්ලෙක්)

+


නව වසරේ (2023) සිට වැටුපෙන් කැපෙන බදු මුදල් එළියට

(23.12.2022 – 14:48 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන ජනවාරි මාසයේ සිට රාජ්‍ය හා පුද්ගලික අංශවල සේවයේ නියුතු පිරිස් වෙතින් අය කරන බදු මුදල ගණනය කර, නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාසික ආදායම රුපියල් 1,000,000 ක් නම් නව වසරේ සිට රුපියල් 286,500 ක් අයවෙනවා.

එය 2018-2019 වර්ෂයට සාපේක්ෂව අය වූ රුපියල් 186,000 ක බදු මුදල රුපියල් 90,000 කින් වැඩි වීමක්.

සිය වැටුප රුපියල් 750,000 ක් නම්, සිය බදු මුදල පෙර වසරවලට සාපේක්ෂව රුපියල් 45,000 කින් ඉහළ ගොස් එය රුපියල් 196,500 ක් දක්වා අය වීමේ ප්‍රතිශතයකට පැමිණ තිබෙනවා.

මීට අමතරව සිය වැටුප රුපියල් ලක්ෂයක් (100,000) නම් කිසිදු බදු මුදලක් අය නොවීම ද විශේෂත්වයක්.

පහතින් මෙම නව බදු සංශෝධනය පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකියි.

+

+++++++++

+


ගුරු හිඟයෙන් පීඩා විඳින අඹගස්වැව දරුවෝ

(23.12.2022 – 14:07 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපනය ලැබීම දරුවන්ගේ මූලික අයිතියක්.

එහෙත් ඉගෙනීමට සුදුසු වටපිටාවක් රටේ අනාගත පරපුරට දායාද කිරීම වැඩිහිටියන්ගේ මෙන්ම වගකිව යුතු බලධාරීන්ගේත් වගකීමක් වනවා.

මේ තොරතුරු, ගුරුවරුන් හිඟ පාසැලක නිසි අධ්‍යාපනයක් නොලැබීමෙන් පීඩාවට පත් සිසුන් පිරිසක් පිළිබඳවයි.

හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් අඹගස්වැව මහා විද්‍යාලය සිසුන් 1200 කට අධික ප්‍රමාණයක් සඳහා සිප් සතර බෙදාදෙන පාසැලක්.

පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන්ට මෙහි ඉගැන්වීම් සිදුකෙරෙන නමුත් බොහෝ අවස්ථාවල පංති කාමර තුළ හුදෙකලා ලෙස කල් ගෙවීමටයි ඔවුන් සිදුව තිබෙන්නේ.

සිසුන් සහ මව්පියන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක සිට මෙම පාසැලේ ගුරුවරුන්ගේ අඩුවක් පවතින බවයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ගණිතය, ඉතිහාසය වැනි විෂයන් සඳහා මෙම පාසැලේ ගුරුවරුන් නොමැතිවීම තුළින් තම දරුවන්ගේ අධ්‍යාපනය බොහෝ ලෙස අඩාල වී ඇති බවටයි මව්පියන් චෝදනා කරන්නේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, තම දරුවන් මුහුණ දෙන මෙම ගැටලුව පිළිබඳ කළාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් අවස්ථා ගණනාවකදී දැනුවත් කළද ඔවුන් නෑසූ කන්ව සිටීම විමතියට කරුනක් බවයි.

මීට වසර කිහිපයකට පෙර අඹගස්වැව මහා විද්‍යාලයේ ආරම්භ කළ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය මෙන්ම ටැබ් පරිඝණක ද භාවිතයට නොගෙන මෙලෙස විනාශ මුඛයට යමින් පවතින්නේ ගුරු පුරප්පාඩුවල ප්‍රතිඵලයක් ලෙසයි.

මේ හේතුවෙන් මව්පියන් පිරිසක් පාසැල ඉදිරිපිට නිහඬ විරෝධතාවකද නිරත වුණේ සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙම ගැටළුව සඳහා කඩිනම් පිළියමක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

+


කෙළවරක් නැති ත්‍රිකෝණමඩු වන විනාශය – ඇමති කියනවා මේක ෆාම් එකක්ලු – එහෙම එකක් මෙහෙ නෑ (23.12.2022)

+


RMV අසලින් පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට

(23.12.2022 – 16:46 +0530 – sinhala.adaderana.lk)

පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුලු පොලිස් නිලධාරීන් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (23) දහවල් නාරහේන්පිට ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අවට ප්‍රදේශයේ එම මෙහෙයුම දියත්කර තිබූ අතර එහිදී සැකපිට පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල පොලීසිය විසින් සොයමින් සිටින, ලිංගික අතවරයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවෙකු ද ඒ අතර වන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ විවිධ වංචනික ක්‍රියා, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්, ව්‍යාජ ලිපිලේඛන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්, ව්‍යාජ සාමදාන විනිශ්චයකරුවන් සිටි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සැකකරුවන් සතුව ඇතැම් පෞද්ගලික ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ රබර් මුද්‍රා තිබූ බවද ඔහු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රජයේ ආතනවල මුද්‍රිත ලිපිලේඛන පවා සොයාගෙන තිබේ.

සැකකරුවන් සියලුදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම්දෙන්නේ මහමඟ රැඳීසිටින මෙවැනි වංචනිකයින්ගෙන් සහාය ඉල්ලා වංචාවලට හසු නොවී වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙසය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *