තැපෑල හරහා පිටරටින් එන මත්ද්‍රව්‍ය මැඩලීමේ උත්සාහයට තැපෑලෙන් ම බාධාවක්

තැපෑල හරහා පිටරටින් එන මත්ද්‍රව්‍ය මැඩලීමේ උත්සාහයට තැපෑලෙන් ම බාධාවක්


තැපෑල හරහා පිටරටින් එන මත්ද්‍රව්‍ය මැඩලීමේ උත්සාහයට තැපෑලෙන් ම බාධාවක්

(22.12.2022 – 22:55 +0530 – hirunews.lk/sinhala)

විදේශීය තැපැල් පාර්සල් හරහා මෙරටට අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් පැමිණෙන බව අනාවරණය වීමත් සමග මීට මාස හතරකට (4) පමණ පෙර පොලිස් විශේෂ කාර්ය බලකා මත්ද්‍රව්‍ය නාශක අංශයේ විශේෂ ඒකකයක් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ පිහිටුවීමට සඳහා පොලිස්පතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජනරාල් කමල් ගුණරත්න විසින් තැපැල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වන අනුෂ පැල්පිට වෙත යොමුකර තිබුණා.

තැපැල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා විසින් එවන ලද එම ඉල්ලීම අයත් ලිපිය වැඩිදුර කටයුතු සඳහා තැපැල්පතිවරයා වෙත යොමුකර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්යය බලකා මත්ද්‍රව්‍ය පරීක්ෂණ ඒකකයක් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ පිහිටුවීම සඳහා ගැනුණු එම උත්සාහය ලත් තැන ම ලොප් වී ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරු නිලධාරීන් විසින් ‘ඒ සඳහා ඉඩකඩ නොමැති’ බව පැවසීමත් සමගයි.

මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ මැඩලීම සඳහා විශේෂ පුහුණුවලත් ලත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කිහිප දෙනකු හට පහසුකම් සැලසිය හැකි ප්‍රමාණයේ කුඩා ඉඩක් මෙලෙස වෙන් කර දීමට මධ්‍යම තැපැල් හුවමාරු බලධාරීන් පසුබසින්නේ, තැපෑල හරහා මෙරටට පැමිණෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ කොටස්කරුවන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සහ එහි ක්‍රියාත්මක වන රේගු නිලධාරීන් අතර ද සිටින නිසාවෙන් බවයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

අදාල ආරංචි මාර්ගය පැවසුවේ, යම් හෙයකින් ඒ ආකාරයේ විශේෂ ඒකකයක් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ ක්‍රියාත්මක වූයේ නම් විශේෂයෙන්ම මෙරටට තැපෑල හරහා පැමිණෙන මත් පෙති ජාවාරම මැඩලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ හැකි බවයි.

එවැනි ඒකකයක් ක්‍රියාත්මක වූයේ නම් අද (22) දිනය තුළ දී මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සොයාගත් රුපියල් කෝටි 17½ ට අධික මත් පෙති තොගය තුළ තිබූ එක් මත් පෙති තොගයක් නිදහස් කර ගැනීම සඳහා තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පවා ඉඩ තිබුණු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම මත් පෙති තොගය නිදහස් කර ගැනීම සඳහා එලෙස ලිපි ලේඛන භාර දුන් අදාළ පුද්ගලයා එම මත් පෙති ගබඩා කර තිබූ කෝපි කුඩු ගබඩා කරන ටින් විවෘත කිරීමට රේගුව තීරණය කිරීමත් සමඟම මධ්‍යම තැපැල් හුවමාරුව වෙන් පළාගොස් තිබුණා ෴


වළගම්බා රජුගේ කඩුවක් රුපියල් ලක්ෂ 40 කට විකුණන්නට දැරූ තැත වරදියි

(23.12.2022 – 07:12 +0530 – hirunews.lk/sinhala)

වළගම්බා රජුට අයත් යැයි සැලකෙන කඩුවක් නිධානයකින් ගොඩගෙන විකිණීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනකු (2) වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (19) දිනයේ දී මෙම වැටලීම සිදු කර ඇත්තේ මහියංගණය – සමනලවැව පොලිස් වසමේ දියි.

මෙම කඩුව රුපියල් ලක්ෂ 40 කට විකිණීමට මෙම සැකකරුවන් උත්සාහ දරා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


නොරොච්චෝලේ එක් (1) ජනන යන්ත්‍රයක් අක්‍රීය කරයි

(23.12.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් (1) ජනන යන්ත්‍රයක් ඊයේ (22) රාත්‍රියේ සිට අක්‍රීය කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ නඩත්තු කටයුත්තක් සඳහා මෙම ජනන යන්ත්‍රය අක්‍රීය කළ බවයි.

කෙසේ වෙතත්, වාර්ෂික නඩත්තුව යෙදී තිබුණේ ලබන වසරේ මැයි මාසයට බවයි අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

මෙය ගල් අඟුරු තොග කළමනාකරණය කිරීම සඳහා ගත් තීරණයක් බවයි වාර්තාවන්නේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක් එක් කරනවා.

එය මෙරට දෛනික විදුලි සැපයුමෙන් 45% ක පමණ ප්‍රතිශතයක්.

කෙසේ වෙතත්, මෙම ජනන යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ ජාතික පද්ධතියට අහිමි වන ධාරිතාවය මෙගාවොට් 270 ක්.

එම අහිමි වන ධාරිතාවය ජල විදුලි බලාගාරවලින් සහ කැලණිතිස්ස බලාගාරයෙන් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 165 ක් ලබා ගැනීමට නියමිත අතර, සෙසු ධාරිතාව ජල විදුලියෙන් ලබාගනු ඇති.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ අද (23) දිනයේ සැලසුම් කළ දෛනික විදුලි කප්පාදු කාලයේ වෙනසක් සිදු නොවන බවයි.

මේ අතර, හෙට (24) සහ නත්තල් දිනය (25) මෙන්ම 26 වනදා විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. එමෙන්ම දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වනදා විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළේ ෴


අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගයේ ගමනාගමනයට බාධා

(23.12.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමනාගමන කටයුතු සිදුකිරීමට බාධා එල්ල වී තිබෙනවා.

ඒ, 73 වන කිලෝමීටර කණුව අසළ අද (23) උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන්.

ඒ අනුව කොළඹ සිට පැමිණෙන වාහන කුරුදුගහ හැතැප්ම අන්තර් හුවමාරුවෙන් පිටවී නැවත බද්දේගම අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

මෙම අනතුරෙන් 11 දෙනෙකු තුවාල ලබා තිබුණා ෴

++++++++

(23.12.2022 – facebook.com/accident1stofficial/)

දක්ෂිණ අධිවෙගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම අතර 73 වන කිලෝමීටර් කනුව අසලදී (මාතර දෙසට) මාර්ගයේ පසෙක නවතා ටයරයක් මාරුකරමින් තිබූ ලොරි රථයක පිටුපස චාරිකාවක නිරත වෙමින් තිබූ බස් රථයක් ගැටිමෙන් අද (23) උදෑසන 06:00 ට පමණ සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන්කල 11 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

+


බස්නාහිර පළාතේ දරුවන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකුණූ 47 ක් අල්ලයි

(23.12.2022 – 08:54 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පාසල් 149 ක් ආවරණය වන පරිදි ඊයේ (22) දිනයේ සිදුකළ මෙහෙයුමකදී ඒ අවට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 09 යි මිලිග්‍රෑම් 630 ක්, අයිස් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 38 ක්, ගංජා ග්‍රෑම් 207 යි මිලිග්‍රෑම් 590 ක් සහ මාවා නැමති මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 260 ක් මෙහිදී සොයාගෙන තිබුණා.

ඊට අමතරව මෙම මෙහෙයුමේදී ගංජා ළඟ තබාගැනීමේ වරදට අවුරුදු 17 ක පිරිමි දරුවෙක් මිරිහාන පොලිස් වසමේ ප්‍රසිද්ධ පාසලක් අසළ දී අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියා සිටියේ ෴


සීදූවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(23.12.2022 – 09:30 +0530 – hirunews.lk/sinhala)

සීදූව – ගලිගංඑළිය ප්‍රදේශයේ අද (23) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) මියගොස් කාන්තාවක (1) තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වෙඩි වැදී තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු (1) සහ කාන්තාවක (1) සීදූව රෝහලට ඇතුළත් කර පසුව රාගම රෝහලට මාරුකර යැවූ බවයි. එහිදී 39 හැවිරිදි පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴


අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් වෙනසක්

(23.12.2022 – 10:57 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්, අධ්‍යාපන, වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා යන අමාත්‍යාංශවල ආයතන කිහිපයක් එම අමාත්‍යාංශ විෂය පථවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒවා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන, සෞඛ්‍ය, කෘෂිකර්ම, කර්මාන්ත යන අමාත්‍යාංශවලට ඇතුළත් කිරීමටයි එමඟින් පියවර ගෙන ඇත්තේ.

අති විශේෂ ගැසට් පත්‍රය – 2311/42 – 2022-12-22 – Presidential Secretariat – Amended Functions and duties from 23.12.2022 (pdf file)


දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : සැකකරුවකු පසුපස පොලිසිය පන්නයි

(23.12.2022 – 01:00 +0530 – dinamina.lk)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට කෙරෙන දුරකතන විශ්ලේෂණ අවසන් වීමත් සමඟ සෑම අතින්ම සැකයට පාත්‍ර වී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මිනිස් ඝාතන විමර්ශන කොට්ඨාසය විශ්වාසය පළ කරයි.

සැකයට ලක්ව සිටින පුද්ගලයාගේ පෙර සහ පසු හැසිරීම් ගැන අවධානයෙන් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු සම්බන්ධයෙන් සමීප ආවේක්ෂණයක නිරතව සිටින බවද සඳහන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන හෝ ප්‍රශ්න කර නැත්තේ ඔහු සම්බන්ධයෙන් ශක්තිමත් සාක්ෂි තවමත් ලැබී නැති බැවිනි.

එම සාක්ෂි දුරකතන විශ්ලේෂණ මඟින් පැහැදිලිවම අනාවරණය කර ගැනීමත් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීමට පසුබට නොවන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම පුද්ගලයා ඝාතන විමර්ශනය නොමඟ යැවීමට පවා උත්සාහ දරා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

මේ අපරාධය සිදු වන විට සැකයට ලක්ව සිටින පුද්ගලයා රැඳී සිටි ස්ථාන ගැන දැඩිව අවධානය යොමු කරමින් විමර්ශන පැවැත්වෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පුද්ගලයා මෙම අපරාධය කර තිබේ නම් ඔහුට මේ සඳහා සහාය දුන් අය ගැන ඔහුගේ කටින්ම තොරතුරු දැනගැනීමට හැකි වනු ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය.

~ ගයාන් කුමාර වීරසිංහ


මත් චෝදනාවලට බන්ධනාගාරගත වන පාසල් සිසුන් 5000 ක්, උපාධිධාරීන් 349 ක්

(23.12.2022 – 01:00 +0530 – dinamina.lk)

මත්ද්‍රව්‍ය චෝදනා යටතේ බන්ධනාගාරගත වන සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සංඛ්‍යාව 5000 දක්වා ඉහළ ගොස් ඇතැයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා දිනමිණට ඊයේ (22) පැවසීය. (බන්ධනාගාරගතව සිටින ?)

වසර 2015 දී මේ සංඛ්‍යාව 2000 ක් ලෙස වාර්තා වී ඇත. එහෙත් වයස අවුරුදු 16-17 අතර 5000 ක් පමණ තරුණ පිරිසකට පසුගිය වසර වන විට මේ කනගාටුදායක ඉරණම අත් වී ඇතැයිද ඒකනායක මහතා කීවේය.

එමෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට වරදකරුවන් වූ උපාධිධාරීන් 22 ක් 2020 වසරේදී බන්ධනාගාරවලින් වාර්තා වී ඇති අතර, වසර 2021 වන විට බන්ධනාගාරගතව සිටින රැඳවූවන් අතුරින් සමස්ත උපාධිධාරීන් සංඛ්‍යාව 349 ක් බවද අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

2022 වසර වන විට බන්ධනාගාරවල සිටි රැඳවූවන්ගෙන් 2.2% ක් පාසල් ගොස් නැති බව වාර්තා වී තිබෙන බවද හෙතෙම කීවේය. 2015 වසරේ පාසල් නොගිය පුද්ගලයන් 600 කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගත කර තිබුණද එය 2021 දී 190 දක්වා අඩු වූ නමුත්, පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදානෙ සිසුන් බන්ධනාගාරගත වීමේ ප්‍රමාණය ඉහළ ගොස් තිබීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද ඒකනායක මහතා කීවේය. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන පිරිස අතුරින් වැඩි වශයෙන්ම වාර්තා වන්නේ වයස අවුරුදු 22-30 අතර අය බැවින් මේ රටේ තරුණ පරපුර මහත් ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතින බවද ඒ මහතා පැවසුවේය ෴


25-04-2021 (ගායක නිහාල් නෙල්සන්)

+


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *