පසුගිය දෙවසර (2) තුළ විශේෂඥ වෛද්‍යවරුන් 200 ක් සේවය අතහැර රට ගිහින්

පසුගිය දෙවසර (2) තුළ විශේෂඥ වෛද්‍යවරුන් 200 ක් සේවය අතහැර රට ගිහින්


පසුගිය දෙවසර (2) තුළ විශේෂඥ වෛද්‍යවරුන් 200 ක් සේවය අතහැර රට ගිහින්

(22.12.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර දෙක (2) තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට නො දන්වා විශේෂඥ වෛද්‍යවරුන් 150 ත් 200 ත් අතර සංඛ්‍යාවක් සේවය අතහැර විදේශගත වීම නිසා දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බරපතළ තර්ජනයක් මතු ව තිබෙනවා.

ඉකුත් මාස කිහිපය තුළ මෙවැනි විදේශ ගතවීම් ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ යටතේ වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා රජය වසරකට විශාල මුදලක් වැය කරනු ලබනවා.

එසේම අනිවාර්ය විදේශ පුහුණුව සඳහා වසරකට වෛද්‍යවරුන් සැළකිය යුතු සංඛ්‍යාවක්, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට පිටත් කර හරින අතර, ගුවන් ටිකට් පතේ සිට දීමනා රැසක්ද ඔවුන්ට ලබාදීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එහිදී ජීවන වියදම් දීමනාව ලෙස මසකට ස්ටර්ලින් පවුම් 3,000 කට ආසන්න ප්‍රමාණයක් පිරිනමන අතර, වසර දෙකක (2) කාලයක් සඳහා පූර්ණ වැටුප සහිත නිවාඩුද එලෙස විදේශ පුහුණුව සඳහා යනු ලබන වෛද්‍යවරයෙකුට හිමියි.

විදේශ ගතවීමට පෙර ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළඹෙන අතර, එහි කොන්දේසියක් වන්නේ විශේෂඥ පුහුණුවෙන් පසු වසර අටක (8) කාලයක් අනිවාර්යෙන් සේවය කළ යුතු බවයි.

එසේම වෛද්‍යවරයෙකුගේ පත්වීම් ලිපියේද සඳහන් වන්නේ ඔවුන් 1961 අනිවාර්ය සේවා පනතට යටත් බවයි.

එවන් පසුබිමකයි නිවාඩු ලබා නො ගෙන, නො දන්වා මෙලෙස විදේශගත වන විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ.

එසේම ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් බැඳුම්කර මුදල පවා නොගෙවා මෙලෙස විදේශගත වී ඇති බව හෙළිව තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය ආචාර්ය ධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව කටයුතු කරන මෙවැනි වෛද්‍යවරුන් අසාදු ලේඛනගත කිරීමටත්, ඔවුන්ට හිමි වරප්‍රසාද ලබා නො දීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයට නො දන්වා විදෙස්ගත වූ වෛද්‍යවරුන් සිව් (4) දෙනෙකුගේ ලියාපදිංචිය අහෝසිකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෛද්‍ය සභාවෙන් කළ ඉල්ලීම එම සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් දැනුම් දෙන්නේ නීතියට අනුව වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අහෝසි කළ හැක්කේ වෛද්‍ය ආචාරධර්මවලට පටහැනි ව කටයුතු කර ඇත්නම් පමණක් බවයි ෴

+++++++++++


තමිල්නාඩුවෙන් ඇල්ලූ අපරාධකරුවන් රැගෙන ඒමට විශේෂ සී.අයී.ඩී. කණ්ඩායමක්

(22.12.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ ආයුධ වෙළඳාමට සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ට්‍රිචීහි විශේෂ කඳවුරක සිටිය දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් 9 දෙනා ගෙන්වාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තමිල්නාඩුවට ගොස් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ කණ්ඩායමක්ද නම් කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

හැකි ඉක්මනින් එම කණ්ඩායම ඉන්දියාවට පිටත් කොට ඊට අදාළ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ ආයුධ වෙළඳාමට සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ට්‍රිචීහි විශේෂ කඳවුරක සිටිය දී මෙම අපරාධකරුවන් 9 දෙනා පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින්.

සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලාඇලේ ගුණා, පුෂ්පරාජ් හෙවත් පූගුඩුකන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා හෙවත් කොට ගාමිණී ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු හෙවත් බුම්මා, කංකානම්ගේ නලින් චතුරංග හෙවත් අතුරුගිරියේ ලඩියා, ධනුක රොෂාන් හෙවත් කෙසෙල්වත්තේ ධනුක, ගමගේ සුරංග හෙවත් වැල්ලේ සුරංග, සින්නයියා තිලීපන් හෙවත් කිඹුලාඇළේ ගුණාගේ පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට යි ඉන්දීය පුවත් සේවා අනාවරණය කර තිබුණේ ෴

++++++

ඉන්දියාවේ රැඳවුම් කඳවුරක දී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රමුඛ පෙළේ පාතාල ක්‍රියාකාරීන් වන කිඹුලාඇල ගුණා, පූකුඩුකන්නා, ඇතුළු පාතාල ක්‍රියාකාරීන් නව දෙනා සම්බන්ධයෙන් මේ වන තුරුත් මෙරට පොලිස් දෙපාර්තමේන්තුවට නිල වශයෙන් දැනුම් දීමක් සිදු කරන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී මාධ්‍ය මාධ්‍යවේදීයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සාමාන්‍යයෙන් මෙවැනි පණිවිඩ ලබා දීම සිදු කරන්නේ රටේ විදේශ කටයුතු අමාත්‍යංශ හරහා බවයි.

එවැනි අත්අඩංගුවට ගැනීම් පිළිබඳව සෘජුව දෙරටේ පොලිස් දෙපාර්තමේන්තු ගනුදෙනු සිදු නොකරන බවත් ඔහු පැහැදිලි කළා.

මෙලෙස ඉන්දීය පොලිසියේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් නව දෙනාගෙන් හත් දෙනකු ම ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴


දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙයි

(22.12.2022 – 11:48 +0530 – hirunews.lk/sinhala)

මේ මස 26 වනදා සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (22) පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින්.

මෙම වසර සඳහා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සමාගම්වල සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් සීමා කර තිබෙනවා.

ඒ අනුව රුපියල් විසි පන්දහසක (25,000) උපරිම සීමාවකට යටත්ව එම ගෙවීම සිදු කළ හැකි බවයි භාණ්ඩාගාරය දැනුම් දෙන්නේ.

පාඩු ලබන ආයතන සඳහා ප්‍රසාද දීමනා නොගෙවන ලෙසට යි මහ භාණ්ඩාගාරය සියලු ම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත්තේ.

මීට පෙර ඉන්ධන අර්බුදය පැවති සමයේ දී සතියේ සෑම සිකුරාදා දිනක් ම රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරුණා.

විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ට සඳහා ගෙවතු වගාව හුරු කරවීම සඳහා හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම යි එහි අරමුණ වුණේ.

නමුත් පසුව එම ගැසට්ටුව ඉවත් කෙරුණා ෴


කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ට රුපියල් කෝටි 17½ ක මත් පෙති සහ කුෂ් ඇවිත්

(22.12.2022 – 22:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශීය පාර්සල අංශය වෙත අද (22) ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, කැනඩාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලින් ලැබුණු සැක කටයුතු පාර්සල් කිහිපයක් පරීක්ෂා කිරීමේ දී එම පාර්සල තුළ තිබී ‘කුෂ්’ නමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් හතරයි ග්‍රෑම් 673 ක් සහ මත්පෙති 9586 සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙලෙස සොයාගන්නා ලද ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි අනූපන් ලක්ෂයක් (7,95,00,000).

එමෙන් ම කෝපි කුඩු අසුරන ටින් තුළ බහාලමින් මෙරටට එවන ලද මත් පෙති තොගයේ වටිනාකම රුපියල් නවකෝටි පනස් අට ලක්ෂයක් (9,58,00,000) බවයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අදාල පාර්සල වත්තල, කොහුවල සහ බොරලැස්ගමුව ප්‍රදේශවල ලිපිනයන්ට ලැබුණු ඒවා බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර කෝපි කුඩු බහාලන ලද ටින්වල දමා මෙරටට එවන ලද මත් පෙති තොගය නිදහස් කරගැනීමට බොරලැස්ගමුව ප්‍රදේශයේ පුද්ගලයා එයට අදාළ ලිපි ලේඛන පවා ඉදිරිපත් කර තිබියදී රේගුව විසින් ලද තොරතුරකට අනුව එම ටින් විවෘත කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම තොරතුරු අනාවරණය වීමත් සමග එම ලිපි ලේඛන භාර දුන් පුද්ගලයා මධ්‍යම තැපැල් හුවමාරුවෙන් පලාගොස් තිබෙනවා.


කිරිපිටි බිව්වත් අයිස් ගැහුවත් දෙකම එකයි. මේ වාර්තාව මාධ්‍යයට නොදී හැංගුවා (22.12.2022)

+


භික්‍ෂු සරසවියේ නවක භික්‍ෂූන්ට බලෙක් අරක්කු පොවයි … බලෙන් ලිංගික හිරිහැර …

(23.12.2022 – 03:19 +0530 – lankacnews.com)

‘මාක්ස්පුත්‍රයින්’ගෙන් බුද්ධපුත්‍රයින් බේරා ගැනීමට සමස්ත සමාජයම පෙරට පැමිණිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

‘මාක්ස්පුත්‍රයින්’ගෙන් බුද්ධපුත්‍රයින් බේරා ගනිමු

පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාලය පිලිබඳ මාධ්‍ය ඉදිරියේ දිග හැරෙන කතාව අපි බෞද්ධයින් ලෙස බලාගෙන ඉන්නේ ඉමහත් වේදනාවකින්. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ලෙස පැවසුවත් ඒ විශ්ව විද්‍යාලයේ නවක වදය ලෙස ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට අරක්කු බලහත්කාරයෙන් පොවන එක, මත්ද්‍රව්‍ය බලහත්කාරයෙන් පොවන එක, ලිංගික හිරිහැර කරන එක තිත්ත ඇත්තක්. ඒ නවක වදයන්ට ගොදුරු වුණු භික්ෂුන් වහන්සේලා මේ ගැන අපව දැනුම්වත් කලා. ඒ නවක වදයන් ලෙස කරණ අමාණුෂික ක්‍රියාවන් ගැන කලකිරිලා උපාධි අත්හැරපු භික්ෂුන් වහන්සේලා අපව දැනුම්වත් කලා. මේ පිලිබඳ කතා කරන අයට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිතා කරලා දැඩි මඩ ප්‍රහාරයක් එල්ල කරන නිසා බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන්නේ නෑ. නමුත් ශාසනයේ නාමයෙන් අපි මේ ගැන සමාජය දැනුම්වත් කරමින් මෙය නවත්වා ගැනීම සඳහා පෙරට පැමිණිය යුතු කාලය පැමිණ තියෙනවා. අද සිට මටත් දැඩි ප්‍රහාරයක් එල්ල කරාවි. අපි කොටි ත්‍රස්තවාදය එක්ක හැප්පුනේ මෙවැනිම අවලාද අපවාද ලබමින්. ඒ නිසා ශාසනය වෙනුවෙන් ඒ මඩ ප්‍රරහාරවලට මුහුණදීමට මම සූදානම්.

පන්සල්වල නායක හාමුදුරුවරු දායකයින්ගෙන් මුදල් එකතු කරලා දෙමව්පියන් ඒකට දායක කරගෙන මේ තරුණ භික්ෂුන් වහන්සේලා පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාලයට එවන්නේ බුදු දහම ගැන තම දැනුම පුළුල් කරගෙන ශාසනයට සේවයක් කරන්න මිස ‘ශාසන භක්ෂක’ කාර්යභාරයක් කරන්න නොවේ. භික්ෂුන් වහන්සේලා පෘතග්ජනයින් වශයෙන් මතට යොමු වෙන්න පුළුවන්. ඒක අනුමත කරන්න බැරි වුණත් විය හැකි දෙයක්. අනුකම්පාවෙන් බැලිය යුතු දෙයක්. නමුත් තරුණ භික්ෂුවකට මත්පැන් මත්ද්‍රව්‍ය බලහත්කාරයෙන් ලබා දීලා ඒකට ඇබ්බැහි කිරීමට කටයුතු කරනව නම් ඒක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවත් කරන්නේ නැති අමානුෂික වැඩක්. ඒ වගේම තමන් නාඳුනන අහිංසක තරුණ භික්ෂුවකට අමානුෂික ලිංගික වද හිංසා කිරීමට භික්ෂුවකට නොවේ හොඳ සිහියෙන් ඉන්නා ගිහියෙකුටවත් කරන්න පුළුවන් දෙයක් නොවේ. අද මේ විශ්ව විද්‍යාලවල භික්ෂු සංගම්වල බලය අල්ලා ගෙන ඉන්නේ සතුරාටත් මෛත්‍රි කරන නොපෙනෙන සතාටත් කරුණාව දක්වන ‘බුද්ධ පුත්‍රයින්’ නොවේ. “ප්‍රතිගාමින් භංග වේවා” කියන වෛරී මානසිකත්වයකින් ඉන්නා ‘මාක්ස් පුත්‍රයින්’. ඒ නිසා මේ ‘මාක්ස් පුත්‍රයන්’ගෙන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන සැබෑ ‘බුද්ධ පුත්‍රයන්’ බේරා ගැනීම ශාසනයට ආදරය කරන සියලු දෙනාගේම යුතුකමක් කියන එක අප සිහිපත් කරනවා.

අද බුදුදහම අතහැරලා මාක්ස්වාදය වැළඳ ගන්නා මේ තරුණ භික්ෂුන් වහන්සේලා නොදන්නා කරුණ වෙන්නේ බුදු දහම එහි පවතින පරම සත්‍යය නිසාම වසර 2,600 ක් නොනැසි පැවතුනත් මාක්ස්වාදය පැවතුනේ වසර 200 ක් විතරයි කියන තිත්ත ඇත්ත. මේ නිසා විශ්වවිද්‍යාල වල බලය අත්පත් කරගෙන සිටින ‘මාක්ස්පුත්‍රයින්’ ගෙන් බුද්ධපුත්‍රයින් බේරා ගැනීමට පෙරට ඒම මේ රටේ ශාසනයට ආදරය කරන සියළුම දෙනාගේ යුතුකමක්. සමස්ත සමාජයම ඒ සඳහා පෙරට පැමිණිය යුතු කාලය උදාවී තිබෙනවා.

පැරණි වමේ නායකින් එදා ආචාර්ය වල්පොල රාහුල නාහිමියන්, උඩකැන්දල සරණංකර නාහිමියන් වැනි වියත් භික්ෂුන් වහන්සේලා වමේ ව්‍යාපාරයේ නායකයින් බවට පත් කර ගනිමින් බුදු දහම සමග සහජීවනයෙන් වාමාංශික ව්‍යාපාරය පවත්වාගෙන ගියා කියන එක ඒ වාමාංශික පක්ෂ වලට ගෞරවයක් වශයෙන් සිහිපත් කරන්න ඕනෑ.

ආණ්ඩුව මැතිවරණයට බය වෙන්න හේතු තුනක්

මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම ජනවාරි 09 ට පෙර පළාත්පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීමට දක්වන උනන්දුවම ආණ්ඩුව මැතිවරණය නොපැවැත්වීමට දක්වනවා. ඊට හේතු තුනක් (3) බලපාලා තිබෙනවා.

ආණ්ඩුව වැඩි කරපු සෘජු සහ වක්‍ර බදු ක්‍රියාත්මක වෙන්නේ ජනවාරි 01 දා ඉඳන්. බද්දක් – මිල වැඩි වීමක් ඇඟට දැනෙන්නේ ඒක වැඩි කරපු කාලයේ. ඊට පස්සේ ඒකට හුරු වෙනවා. ඒ නිසා බද්ද වැඩි කරපු අළුත ජනතාව කෝපයෙන් සිටින අවස්ථාවක ඡන්දයක් පැවැත්වීම ආණ්ඩුවට මාරාන්තිකයි.

දෙවැනි (2) කාරණය වන්නේ විදුලි කප්පාදුව. මාර්තු මාසය වන විට පැය 8 ඉක්මවා විදුලිය කැපීමට සිදුවන බවට මුලින්ම කිව්වේ අපි. ජනතාව කළුවරේ පොතකින් පවන් සලමින් ඉන්න අතරේ ආණ්ඩුවට ඡන්දය දෙන්න කියා අපේක්ෂකයෙකු ගෙදරට ගොඩ වුණොත් ඡන්දය වෙනුවට මෝල් ගස් පහරක් වුණත් ලැබෙන්න ඉඩ තිබෙනවා.

තුන්වන (3) කාරණය තමයි අයි.එම්.එෆ්. ණය පහසුකම ලැබෙන්නේ මාර්තු වලින් එපිට වීම. අයි.එම්.එෆ්. ණය පහසුකම ලැබෙන්නේ මාර්තු වලින් පස්සේ කියලා මුලින්ම කිව්වේ අපි. ණය ප්‍රතිව්‍යුහකරණය කළ වහාම අයි.එම්.එෆ්. ණය වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක් සහ බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන දෙකක් (2) රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සල්ලි වලින් තමයි ඉන්ධන ඖෂධ ගෙනැල්ලා ඒවායේ හිඟය නැති කරන්න බලාපොරොත්තු වුණේ. ඒ සල්ලි වලින් තමයි රුපියල ස්ථායි කරලා බඩු මිල අඩු කරන්න බලාපොරොත්තු වුණේ. එහෙම කරලා වීරයන් වගේ මැතිවරණට යන්නයි ඔවුන් බලාපොරොත්තු වුණේ. මේ කිසිවක් කරගන්න බැරුව, විදුලි කප්පාදුවක් මැද ඖෂධ හිඟය මැද, ඉහළ යන බඩු මිල මැද, වැඩි වන බදු බර මත මැතිවරණයකට මුහුණ දීමට සිදුවුවහොත් එය ආණ්ඩුවට මාරාන්තික බව ආණ්ඩුව දන්නවා. නමුත් ආණ්ඩුව මොන තරම් උත්සාහ දැරුවත් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට ආණ්ඩුවට අප ඉඩ තබන්නේ නෑ කියන පොරොන්දුව අප ජනතාවට ලබා දෙනවා.

ප්‍රශ්නය :
මැතිවරණය සඳහා ඔබ තුමන්ලාගේ සූදානම කොහොමද ?

පිළිතුර :
අප මේ වන විට විපක්ෂයේ පක්ෂ ගණනාවක් සමග පුළුල්තම දේශපාලන සන්ධානයක් පිහිටුවීමට සාකච්ඡා කරනවා. එම සන්ධානයේ අරමුණ වන්නේ පළාත් පාලන ආයතන වල කොහොමහරි බලය ලබා ගැනීම නොවෙයි. ‘අපට රට ගොඩගන්න වැඩ පිළිවෙළක් තිබෙනවා, අපට රට ගොඩගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය අත්දැකීම් වෘත්තීය සුදුසුකම් තිබෙන නිපුණතාවය තිබෙන නායකයන් ඉන්නවා, ජනතා ප්‍රශ්නවලට සංවේදී දේශපාලකයන් ඉන්නවා’ කියන එක ජනතාවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් වෙනවා. ඒ නිසා හුදු පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කිරීමේ සන්ධානයක් ලෙස නොව මේ අර්බූදයෙන් රට ගොඩ ගැනීම සඳහා පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ හැකි සන්ධානයක් වෙනුවෙන් මේ දිනවල සාකච්ඡා පැවැත්වෙනවා. එය සාකච්ඡා අතිශයින්ම සාර්ථකයි කියලා කියන්න කැමති. මේ හැදෙන සන්ධානය දැක්කහම ආණ්ඩුව වියරු වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ සන්ධානය බිහි වුනාම මාධ්‍ය හමුවක් තියලා අප කියන්නම්.

ප්‍රශ්නය :
විදුලිය කැපීම දිගු වෙන්නේ නැති බව අමාත්‍යවරයාගේ පැත්තෙන් කියවෙනවා. දිගු විදුලි කැපීමක් ගැන තවත් පැත්තකින් කියවෙනවා. ඔබතුමා හිතන්නේ මොකක්ද ?

පිළිතුර :
මා විදුලිබල අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර නැහැ. නමුත් මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යම් දැනුමක් ඇති පුද්ගලයෙක් විදියට මා තමා මුලින්ම දැනුවත් කලේ මාර්තු මාසයේ විදුලි කප්පාදුවක් එන බවට. මීට කලිනුත් ජනවාරි මස 10 වෙනිදා ජනාධිපතිතුමා ඇතුළු අදාළ නායකයින්ටත්, ජනවාරි මාසයේ 22 වෙනිදා මේ රටටත් මාර්තු මාසයේ පැය 8 ඉක්මවූ විදුලි කප්පාදුවක් එනවා කියලා මම කිව්වා.

අවාසනාවට නායකයෝ එය බැහැර කළා. බැහැර කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කිව්ව දේ නාහපු ජනාධිපති තුමාගේ සිට මුදල් ඇමති දක්වා සියලු දෙනාට තනතුරු අත්හැරලා යන්න වුණා. අපේ පක්ෂ කාර්යාලයේ බැටරිය සහිත සූර්ය විදුලි බල පද්ධතියක් පිහිටුවා තිබෙනවා. ඒ නිසා විදුලි කැපීමේ ගැටළුවක් නැහැ. මේ දෙය කරන්න පුළුවන් විශාල පිරිසක් රටේ ඉන්නවා. නමුත් සූර්ය විදුලි බලය ගැන කතා කරපු ගමන් විදුබල මණ්ඩලය කියන්නේ අපේ විදුලිබල පද්ධතිය නවීකරණය කරන්න ඕනෑ මේ ධාරිතාවය විදුලිබල පද්ධතිය ලබාගන්න කියලා. ඒකට තියනවා විසඳුමක්. ඒ තමයි කර්මාන්ත ශාලා හෝටල් කාර්යාල වලට මධ්‍යම පාන්තික නිවාස වලට බැටරිය සහිත සූර්ය විදුලි බල පද්ධතියක් සපයා ගන්න අවශ්‍ය මුදල් පොලී රහිත ණයක් ලෙස දෙන්න. එවිට ඔවුන්ට විදුලිය නිෂ්පාදනය කරගෙන ඔවුන්ට ම එය ගබඩා කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එවිට ප්‍රධාන විදුලි පාරිභෝගිකයන් ස්වයංපෝෂිත වුනොත් ඉතිරි විදුලි පාරිභෝගිකයන්ට අඩු මිලට විදුලිය ලබා දෙන්න හැකියාව තියෙනවා. සරල විසඳුම් පවා ක්‍රියාත්මක නොකරන්නේ ඉන්ධන මාෆියාවක් නිසාද විදුලි මාෆියාවක් නිසා ද යන්න පැහැදිලි කළ හැක්කේ විදුලි බල අමාත්‍යාංශය ට පමණයි.

ප්‍රශ්නය‍ :
ඇතැම් ස්වාමීන්වහන්සේලා ‘ගංජා බීම සාමාන්‍ය දෙයක්’ වගේ ප්‍රකාශ මාධ්‍ය ඉස්සර ඇවිත් කරනවා. ඔබතුමා මේක දකින්නේ කොහොමද ?

පිළිතුර :
පස් වන සිල්පදය අදාළ වන්නේ ගිහියන්ට පමණක් නොවේ. පංචශීලය භික්ෂුන් වහණ්සේලාටත් අදාලයි. විනය ශික්ෂාපද 227 ක් තියෙනවා. ඊට අමතරව කෝටියක් සංවර සීලය භික්ෂූන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙනවා. ගන්ජා භාවිතය යනු භික්ෂූන් වහන්සේලා අතර නොව සාමාන්‍ය ජනතාව අතර වත් සාමාන්‍ය දෙයක් නොවේ. කවුරු හෝ එයට ඇබ්බැහි වී තියෙනව නම් අපි ඔහුට අනුකම්පා කළ යුතුයි පුනරුත්ථාපනය වීමට උදවු කළ යුතුයි. නමුත් කවුරුන් හෝ බලහත්කාරයෙන් ගංජා මත්පැන් පොවනවා නම් අන්න ඒ අය සමාජයේ හතුරෙක්. ශාසනයේ විතරක් නොව සමස්ථ සමාජයේම හතුරෙක්. හතුරන්ට බයේ කටවල් වහගෙන ඉන්නැතුව අපි මේක හෙළි කළ යුතුයි. අපි මේක සමාජ සංවාදයට ලක්කල යුතුයි. වසර දෙදහස් තුන්සියයක් මේ රටේ පැවති බුද්ධ ශාසනය ඊළඟ පරම්පරාවට දායක කරන්න නම් භික්ෂු ශාසනය ඇතුලේ ශාසනය විනාශ කිරීමේ අරමුණින් සිවුරු පොරවාගෙන සිටින පිරිස් හෙළි කළ යුතුයි. ගන්ජා භාවිතය සාමාන්‍ය දෙයක් කියලා කවුරුන් හෝ කියනවා නම් ඔහු භික්ෂුවක් වෙන්න බැහැ.

මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමය ගම්පහ දිසා සංවිධායක අංජන උදාර, බියගම ආසන සංවිධායක දිනේෂ් සලින් ද යන මහත්වරුන්ද සහභාගී විය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *