කොණ්ඩ රැවුල් වවාගෙන සිටීම තුන් නිකායම අනුමත කරන්නේ නෑ – අමරපුර මහා සංඝ සභාව

කොණ්ඩ රැවුල් වවාගෙන සිටීම තුන් නිකායම අනුමත කරන්නේ නෑ – අමරපුර මහා සංඝ සභාව


කොණ්ඩ රැවුල් වවාගෙන සිටීම තුන් නිකායම අනුමත කරන්නේ නෑ – අමරපුර මහා සංඝ සභාව

(21.12.2022 – 15:08 +0530 – sinhala.adaderana.lk)

භික්ෂූන්ගේ විනය රැකගැනීම සඳහා රජය ගෙන ඒමට බලාපොරොත්තු වන කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතට තම සංඝ සභාවේ පූර්ණ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව පවසයි.

එහි මහා ලේඛකාධිකාරී පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, භික්ෂුන් අපේක්ෂකයින් ලෙස මැතිවරණවලට ඉදිරිපත් වී දේශපාලනයේ යෙදීම අනුමත කළ නොහැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ, මහා ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමි :

“මේ වනවිට පනත් දෙකක් (2) පිළිබඳව කතා කරනවා. එකක් තමා කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත, අනෙක තමා විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම. අමරපුර මහා නිකාය හැටියට පාර්ශව 22 ම මහානායක හාමුදුරුවෝ, ලේකම් හාමුදුරුවරු ඇතුළු සියලුදෙනා හාමුදුරුවන්ගේ කැමැත්ත ලබාදීලා තියෙනවා නිල වශයෙන් ම බෞද්ධ කටයුතු කොමසාරිස් ට. හේතුව අදටත් හැම සංඝ සභාවකටම කථිකාවත් තියෙනවා. නමුත් ඒවා සාම්ප්‍රදායිකව පවත්වාගෙන යන නිසා, රටේ නීතියට එකඟ නැති නිසා, යම් සංඝ සභාවකින් යම් පන්සලක් ගැන හෝ භික්ෂූන් වහන්සේ නමක් ගැන අධිකරණ නිමිත්තක් ආවා කියලා, අධිකරණ සංඝනායක හිමිවරු තීන්දුවක් දුන්නත් අපිට ඒ තීන්දුව රටේ නීතිය සමග බලාත්මක කරන්න බලයක් නෑ. මෙයින් කරන්නේ, ඒ සංඝ සභාවන්වලට ඒ නීතියට අවස්ථාව ලබාදෙන එක.”

ප්‍රශ්නය – කොණ්ඩ රැවුල් වවාගෙන, මාක්ස් ලෙනින් අදහන භික්ෂු පිරිසක් බිහිවෙලා තියෙනවා. එකඟයිද? මෙහෙම කොණ්ඩ රැවුල් වවාගෙන ඉන්න පුළුවන්ද?

“මම හිතන්නේ අමරපුර මහා නිකායේ විතරක් නෙමෙයි. ලංකාවේ තියෙන තුන් නිකායම කවදාවත් ඒවා අනුමත කරන්නේ නැහැ.”

ප්‍රශ්නය – මේ අලුත් පනත හරහා යම් කිසි විදියකට භික්ෂුවට දේශපාලනයට ඒමට සීමා දාන්න සූදානම්ද?

“රජයෙන් ගේන්නේ කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක්. එතකොට ඒ නිකායට තමා ඒ බලය තියෙන්නේ ඒ නිකායට අදාළ කථිකාවත ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් පොදු මතය තමයි ‘භික්ෂු දේශපාලනය කියන එක ජාතික ආරක්ෂාව සමඟ තිබිය යුතු’ බව. නමුත් අපට එකඟවෙන්න බැරි ‘භික්ෂුවක් සක්‍රීය දේශපාලනය කරන එකට. මැතිවරණවලට, අපේක්ෂකයෝ හැටියට පාර්ලිමේන්තුවට යන එකට … ඒ කියන දේශපාලනයට අපිට එකඟවෙන්න බෑ නිකායක් විදියට.”

+


හෙට (22) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(21.12.2022 – 16:48 +0530 – sinhala.adaderana.lk)

හෙට (22) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

පැය 12 ක පමණ කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව එහි සඳහන්ය.

එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ උස්වැටකෙයියාව, පමුණුගම සහ තල්දියවත්ත යන ප්‍රදේශවලටය.

2022.12.22 වනදා පස්වරු 06 සිට 2022.12.23 වනදා පෙරවරු 12 දක්වා එම එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත ෴


බිළිඳිය සමග උමං මඟක දිවිගෙවන පුංචි පවුල

(21.12.2022 – 13:38 +0530 – sinhala.adaderana.lk)

ස්ථිර නිවහනක් හැමකෙනෙක්ගේම සිහිනයක් වුවත් එය යථාර්ථයක් බවට පත්කර ගත නොහැකි බොහෝ පිරිසක් අපි අතර නැතිවාම නොවෙයි. 

මේ අපට වාර්තා වූ එවැනි කතාවකි.

ඔබ පේරාදෙණිය ගැටඹේ උමං මාර්ගය භාවිත කරන්නෙක්නම් බිළිඳියක් අතැතිව සිටින මේ යුවළ ඔබට නෙත ගැටෙනවා ඇති.

මේ පවුලේ කතාව පටන් ගන්නේ මීට මාස 7 කට පෙරයි. 

ගිරාඳුරුකෝට්ටේ කාසන්පිටිය ප්‍රදේශයේ පදිංචි චමින්දට සහ ඇගේ බිරිඳ නිලන්තිට දාව පුංචි දියණිය මෙලොව එළිය දැකීමත් සමග ඔවුන්ට මාපිය පදවිය ලැබී දින 7 කට පසු රැඳී සිටි නිවසත් ඔවුන්ට අහිමිව ගොස් තිබේ.

ඒ එම නිවසේ අයිතිය චමින්දගේ වැඩිමහල් සොහොයුරි විසින් පවරා ගැනීම හේතුවෙනි.

එවන් පසුබිමක නිවහනක් නොමැතිව අසරණව සිටින මේ යුවළ කිරිකැටි බිළිඳිය ද රැගෙන කඩපිල් , බස්නැවතුම්, උමං මාර්ග ඇතුළුව නොතෙමී ඉන්නට ආරක්ෂිතයැයි සිතෙන ස්ථාන සිය නිවහන කරගෙන තිබුණි.

අදවන විට එවන් ස්ථානවල මේ පුංචි පවුල මාස 7 ක් පුරා දිවි ගෙවයි.

සීතලට මෙන්ම අව්රශ්මියෙන් පීඩාවිදින ඔවුන්ගේ පුංචි දියණිය රෝගීවීම නිසා අදවන විට ඔවුන්ගේ නවාතැන පේරාදෙණිය රෝහලට ආසන්න ගැටඹේ උමං මාර්ගයයි.

මේ පවුලේ අසරණකම කොතෙක්ද කිවහොත් මේ පුංචි බිළිඳිය දින 35 ක් පුරා ස්නානය කරවා ගත නොහැකිවී තිබෙන්නේ, ඊට අවැසි ජලය ඇතුළු පහසුකම් නොමැති වීමෙනි.

රෝහල්වල රෝගීන් බලාගැනීම සිය වෘත්තීය ලෙස සිදුකරන චමින්ද ගතින් මෙන්ම සිතෙනුත් ශක්තිමත්ය.

එහෙත් සිය බිරිඳ සහ හත් (7) මස් බිළිඳිය ආරක්ෂිතව තබා යන්නට ස්ථානයක් නොමැතිවීම අද වන විට චමින්දට රැකියාව කරන ගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

“වැඩකට යන්න විදියක් නැතිව ඉන්නේ, වැඩකට යන්න ඕනේ. පොඩි එක්කෙනා තියලා යන්න විදියක් නෑ. මම ඇහැරිලා ඉන්නවා 4 වෙනකල්. පාන්දර 4 ට මෙයාව ඇහැරවනවා. මම නිදාගන්නවා පැයක්. එහෙම තමයි ඉන්නේ.”

මේ පුංචි පවුලට නොතෙමී ඉන්නට ස්ථිර නිවහනක් තනාදෙන්නට පරිත්‍යාගශීලි ඔබට හැකිනම් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. 

වැඩි විස්තර : 071 927 7277

+


දරුවා පැහැරගැනීමේ සිද්ධියට විදුලි කාර්මිකයෙකු සොයා පොලිස් පරීක්ෂණ

(21.12.2022 – 10:38 +0530 – sinhala.adaderana.lk)

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු රවටා පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයා, 45 හැවිරිදි විදුලි කාර්මිකයෙකු බව වාර්තා වේ.

පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි ‘පී.කේ. දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර’ නැමති දරුවෙකි.

දරුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමග මිතුරුව සිටි බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන යන්නට ඇති බවට සැකකරන බවත් දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.

පසුගිය (19) රාත්‍රි 08:30 න් පමණ පසුව දරුවා නිවසේ නොමැති බවට දැන ගෙන සොයා බැලූවද මෙතෙක් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව පැවසුවාය.

දරුවා පැහැරගෙන ගිය බවට සැක කරන පුද්ගලයා සන්තකයේ දරුවා සිටින බවට තොරතුරුද මේ වන විට ලැබී ඇතැයි ද පොලීසිය පවසයි. 

අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවාද සමඟ නාවුල ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ නිවසකට ගොස් එම නිවසේ රාත්‍රියේ රැඳී සිට ඊයේ (20) අලුයම එම නිවසින් දරුවාද රැගෙන පිටත් ව ගොස් ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

දරුවා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව මෙසේ අදහස් දැක්වීය :

“මගේ පුතා ඉලෙක්ට්‍රික් වැඩවලට ආසයි. ඒ නිසා මගේ පුතාව රවට්ටගෙන ඒ වැඩ උගන්වන විදිහට දරුවට ගොඩක් ළං වෙලා හිටියේ. එයා නිතර නිතර ගෙදර ආවා ගියා. දරුවා පාසල් දාන්න. පන්ති දාන්න පවා එක්කගෙන ගියා. එයාගේ දරුවෝ දෙන්නයි බිරිඳයි බෝම්බයකට අහුවෙලා මැරුණා කියලා කිව්වා. එයාගේ දරුවෝ නැති නිසා මගේ දරුවාට ගොඩක් ආදරෙයි කියලා එයා ඇඟෙව්වා. ඒ නිසා සැකයක් තිබුණේ නෑ අපිට. පහුගිය 19 වැනිදා රෑ පුතා ගෙදර නෑ කියලා දැන ගෙන හොයද්දී මෙයාගේ ත්‍රිවිල් එක අපේ ගෙවල් ළඟ තිබ්බා. අපි හැමතැනම හෙව්වත් දරුවා හොයා ගන්න බැරි වුණා. අපි ඊට පස්සේ එප්පාවල පොලීසියට පැමිණිලි කළා. තවම මගේ දරුවා ගැන තොරතුරක් නෑ, මගේ දරුවා කොහොම හරි හොයලා දෙන්න.”

දරුවා පැහැරගෙන ගිය බවට පැවසෙන පුද්ගලයාගේ ඡායාරූපයක් ද මේ වන විට ලැබී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකථන අංක 025 224 9122 ඔස්සේ එප්පාවල පොලිස් ස්ථානය හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

++++++++

gossiplankanews.com :
දරුවා පැහැරගෙන ගිය බවට සැක කරන ‘ඇස්වැද්දුමේ අසේල ප්‍රියන්ත’ නම් 45 හැවිරිදි විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටින බවට තොරතුරුද මේ වන විට ලැබී ඇතැයි පොලීසිය පවසයි. අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවාද සමඟ නාවුල ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ නිවසකට ගොස් එම නිවසේ රාත්‍රියේ රැදී සිට ඊයේ (20) අලුයම එම නිවසින් දරුවාද රැගෙන පිටත් ව ගොස් ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත. මෙම පුද්ගලයා YI- 1752 දරණ රතු පැහැති ත්‍රී රෝද රථයෙන් දරුවා පැහැර ගෙන ගොස් ඇති බවටද පොලීසිය අනාවරණය කර ගෙන ඇත ෴


ෂාෆ්ටර්ගේ ඝාතනය තවමත් අභිරහසක්

(21.12.2022 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශන වලට අදාළව ඍජුව සැකකරුවෙකු හඳුනාගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට ෂාෆ්ටර්ගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් 50 කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

+


වෛද්‍යවරුන් සිව් (4) දෙනෙකුගේ ලියාපදිංචිය අහොසි කරන්නැයි කළ ඉල්ලීම වෛද්‍ය සභාව ඉවත දමයි

(21.12.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා විදෙස්ගත වූ වෛද්‍යවරුන් සිව් (4) දෙනෙකුගේ ලියාපදිංචිය අහෝසිකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේඛම්වරයා වෛද්‍ය සභාවෙන් කළ ඉල්ලීම එම සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් දැනුම් දෙන්නේ නීතියට අනුව වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අහෝසි කළ හැක්කේ වෛද්‍ය ආචාරධර්මවලට පටහැනිව කටයුතු කර ඇත්නම් පමණක් බවයි ෴


රාජසන්තක වූ රථ වාහන පොලිස් දෙපාර්තමේන්තුවට

(21.12.2022 – 16:20 +0530 – hirunews.lk/sinhala)

රේගුව මඟින් රාජසන්තක කරන ලද රථ වාහන මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුලු පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම් සඳහා භාවිතා කිරීමට සැලසුම්කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව නීති විරෝධී ලෙස ආනයනය කොට දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල් කර තිබෙන වාහන නිරීක්ෂණයකටද ඊයේ (20) අමාත්‍යවරයා එක්ව සිටියා.

එහිදී අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දි ඇත්තේ එම වාහන වල නීතිමය බාධාවන් ඉවත් කොට පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා ලෙසයි.

++++++++++

+


විෂ දුමක් ආග්‍රහණය වීමෙන් පාසල් සිසුන් 5 දෙනෙකු සහ ගුරුවරු 3 දෙනෙකු රෝහලේ

(21.12.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala)

පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ විද්‍යාගාරයේ, රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතලයක් පුපුරා යාමෙන් එහි දුමාරය ආග්‍රහණය වී සිසුන් පස් දෙනෙකු (5) හා ගුරුවරුන් තිදෙනෙකු (3) ප්‍රතිකාර සඳහා පුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළ කර තිබෙනවා.

උසස් පෙළ සිසුන් පිරිසක් සහ ගුරුවරුන් පිරිසක් අද (21) විද්‍යාගාර පරීක්ෂණයක නිරතව සිටිය දී රසායනික ද්‍රව්‍යක් අඩංගු බෝතලයක් බිම වැටී පුපුරායාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල අධ්‍යාපන කාර්යාලයට දැනුම් දීමට පියවර ගෙන ඇති අතර වැඩිදුර විමර්ශණ පුස්සැල්ලාව පොලිසිය සිදු කරනවා.

+


වෙළඳ ප්‍රදර්ශනාගාරයකින් කෝටියකට අධික විද්‍යුත් උපකරණ සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

(21.12.2022 – 10:27 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ප්‍රදේශයේ විද්‍යුත් උපකරණ අලෙවි ප්‍රදර්ශනාගරයක් බිඳ එහි තිබූ රුපියල් කෝටියකට (1,00,00,000) අධික භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, ප්‍රදර්ශනාගාරයේ වීදුරුවකට ගලකින් පහර දී බිඳ දමා එම සැකකරු ඊට ඇතුලු වී ඇති බවයි.

38 හැවිරිදි සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීට පෙර ද ඔහු රාජගිරිය ප්‍රදේශයේ වෙළඳසැළක් බිඳ භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියකට බන්ධනාගාර ගතවූවෙකු වනවා.

එම සිද්ධියට ඇප ලබා දුම්රියෙන් ගාල්ලට පැමිණි ඔහු පෙරේදා (19) පස්වරුවේ මෙම අලෙවිසැළ ද බිඳ ජංගම දුරකථන සහ පරිගණක ඇතුලු විද්‍යුත් උපකරණ සොරාගෙන ඇති බවයි විමර්ශනවල දී හෙළිව ඇත්තේ ෴


සෙවණගල විහාරාධිපති හොර සාදු රුපියල් කෝටි 3 කුත් අරන් පැන ගිහින්

(21.12.2022 – gossiplankanews.com)

= සෙවණගල විහාරාධිපති හිමි රුපියල් කෝටි 3 කුත් අරන් පැන ගිහින් =

සෙවණගල ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක කිලෝ 20 ක රන් බිස්කට් දෙන බවට ව්‍යාපාරිකයන් පිරිසක් රවටා රුපියල් ලක්ෂ 300 ක් වංචා කර පෙරේදා (19) සවස පලා ගොස් ඇතැයි සෙවණගල පොලිසිය පවසයි. සෙවණගල විහාරස්ථානයක වැඩ සිටි හිමිනම පසුගිය දිනවල එම විහාරස්ථානයේ නොසිට සෙවණගල ප්‍රදේශයේම පිහිටි වෙනත් විහාරස්ථානයක වැඩ සිට ඇති බව පොලිසිය කියයි.

එම විහාරස්ථානයේ සිටිය දී කිලෝ 20 ක් බර රන් බිස්කට් ලබාදෙන බව පවසා දොඩන්දුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් විහාරස්ථානයට ගෙන්වා රුපියල් කෝටි තුනක (3) මුදලක් ලබාගෙන හිමිනම අතුරුදන්ව ඇතැයි පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත.

එම හිමිනමගේ පැමිණීම ප්‍රමාදයෙන් ව්‍යාපාරිකයන් පිරිස ඊයේ (20) උදෑසන සෙවණගල පොලීසියට ගොස් මේ බව දන්වා තිබේ.

මෙම හිමිනම දේශපාලන කටයුතුවලට සක්‍රියව දායකත්වය දක්වා ඇති අතර හිමිනම වැඩ විසූ විහාරස්ථානය පිහිටි ප්‍රදේශයේ ගම්වැසියන්ගෙන් ද මුදල් මෙන්ම රථවාහන වංචා සහගත ලෙස ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. මේ අතර තමන්වහන්සේ ළඟදීම විදේශගත වන බවට විහාරාධිපති හිමියන් ගම්වැසියන් සමග පැවසූ බව ද ගම්වැසියෝ පිරිසක් ප්‍රකාශ කළහ. මේ අතර මෙම ව්‍යාපාරිකයන් පිරිස ඇඹිලිපිටිය පොලිස් අධිකාරි කාර්යාලයට ද වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත ෴


සුපිරි නිවසක රුපියල් කෝටි 25 කට අධික සොරකමක්

(21.12.2022 – 21:30 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලයෙකු බම්බලපිටියේ පිහිටි සුපිරි නිවසකින් රුපියල් කෝටි 25 කට අධික වටිනාකමින් යුත් භාණ්ඩ හා මුදල් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකර තිබේ.

එහිදී සැකකරු අදාළ නිවසේ හිමිකාර ව්‍යාපාරිකයාගේ ලියාපදිංචි ගිනි අවියද රැගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුගේ බම්බලපිටියේ පිහිටි නිවසකට පසුගිය සිකුරාදා රහසිගතව ඇතුළු වූ පුද්ගලයකු එහි තිබූ රුපියල් කෝටි 25 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ එලෙස සොරගෙන තිබුණි.

ඒ අතර රුපියල් 5,000 නෝට්ටුවලින් රුපියල් එක්කෝටියක (1,00,00,000) පමණ මුදලක්, විදෙස් මුදල්, රත්‍රං සහ නිවසේ හිමිකාර ව්‍යාපාරිකයාගේ ලියාපදිංචි පිස්තෝලය ද සැකකරු රැගෙන පළාගොස් ඇති බව වැඩිදුරටත් අණාවරණය වී ඇත.

සොරකම සිදුවන අවස්ථාවේ නිවස තුළ ව්‍යාපාරිකයාගේ බිරිඳ හා සේවකයන් දෙදෙනකු (2) ද සිට තිබේ.

මෙම සැකකරු නිවසට ඇතුළුවීමට යන අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

https://www.youtube.com/watch?v=DQTqqmDl1bw#t=5

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *