මල්ලවපොර ශූරී නෙත්මිගේ සැබෑ වූ බලාපොරොත්තුව

මල්ලවපොර ශූරී නෙත්මිගේ සැබෑ වූ බලාපොරොත්තුව


මල්ලවපොර ශූරී නෙත්මිගේ සැබෑ වූ බලාපොරොත්තුව

(20.12.2022 – 13:43 +0530 – sinhala.adaderana.lk)

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ඉතිහාසයේ පළමු වරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදුන් නෙත්මි අහිංසා වෙනුවෙන් ‘මනුසත් දෙරණ’ ඉදිකළ නව නිවස ඇයට පිරිනමනු ලැබීය.

ඒ ‘දෙරණ මාධ්‍ය ජාලයේ’ සභාපති දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

2022 වසරේ පැවති 22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට 18 හැවිරිදි නෙත්මි අහිංසා සමත් වුණේ සිය ප්‍රතිවාදී ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි.

පොදුරදමඩුලු ක්‍රීඩා උළෙලක මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව හිමි කරගත් පළමු පදක්කම ලෙස ඇය දිනා ගත් ලෝකඩ පදක්කම වාර්තා අතරට එක්වුණි.

කුරුණෑගල වෙල්පල්ල ග්‍රාමයේ දිවි ගෙවන නෙත්මි එවන් දැවැන්ත ජයක් වාර්තා කළේ එතරම් සුව පහසු ගමනක් පැමිණ නම් නොවේ.

ආර්ථික අපහසුතා රැසක් මැද වුවත් ක්‍රීඩාවෙන් රටට කීර්තියක් ගෙන ඒම වෙනුවෙන් නෙත්මිට නව නිවසක් තනා දෙන්නට මනුසත් දෙරණ තීරණය කළේය.

ඒ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ උපදෙස් මතය.

ඒ අනුව කුරුණෑගල වෙල්පල්ල ප්‍රදේශයේම නෙත්මි වෙනුවෙන් නිවසක් ඉදිකිරීම ඇරඹුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.

වැඩ නිමකෙරුණු අංග සම්පූර්ණ නව නිවහන ගෘහ භාණ්ඩ ද සහිතව නෙත්මි අහිංසා වෙත ඊයේ පිරිනැමුණි.

ඒ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

නෙත්මි අහිංසා :

“මනුසත් දෙරණින් මට මාසිකව රු 50,000 ක ශිෂ්‍යත්වයකුත් ලබාදෙනවා. ඉතින් ඒ මුදලින් මගේ ක්‍රීඩා කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒක ලොකු හයියක්. 2024 පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කමක් ගේන්න තමා බලාපොරොත්තුව.”

මීට අමතරව නෙත්මි අහිංසා ජාත්‍යන්තර මට්ටම දක්වා ඔසවා තැබීමට පුහුණුවීම් කළ ඉතා අවම පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථානය ද දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ නිරීක්ෂණයට ලක්වුණි.

නෙත්මි මෙන්ම තවත් ක්‍රීඩිකාවන් රැසක් පුහුණුවීම් කරන එම මධ්‍යස්ථානය අංග සම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ඉදිකරදීමටත් මනුසත් දෙරණ සූදානමින් සිටී.

+


ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක අල්ලස් කොමිසමට

(20.12.2022 – 14:12 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් පැමිණිල්ල අල්ලස් කොමිසමට අද (20) භාරදී ඇත.

ඔෂල හේරත් මහතා කියා සිටින්නේ, ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවය.

එබැවින් ඇයට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන හා විගමන පනතට පටහැනි ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙයි.

එම නිසා මේ තුළින් බලය අයුතු ලෙස පරිහරණය කිරීම සිදුවී ඇතැයි පෙන්වා දෙන පැමිණිලිකාර ඔෂල හේරත් මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ ෴


නොසිතූ මොහොතක ආ ‘මාරයා’

(20.12.2022 – 12:01 +0530 – sinhala.adaderana.lk)

බස් රථයක් අද (20) අලුයම මත්තේගොඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ නිවසක තාප්පයක ගැටී අනතුරක් සිදුව තිබේ.

බස් රථයේ රියදුරුට හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් මෙලෙස බස්රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඇති අතර රියදුරු බස් රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

අද (20) අලුයම 5 ට පමණ පළමු ගමන් වාරය ආරම්භ කිරීම සඳහා මෙම බස් රථය කොට්ටාව බස් නැවතුම්පළට යමින් සිටිය දී එහි රියදුරුට මත්තේගොඩ ප්‍රදේශයේදී හදිස්සියේ ම හෘදයාබාධයක් සෑදී තිබේ.

එම අවස්ථාවේදී බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද තාප්පයක් කඩා ගෙන ගොස් නිවසක් අසල නැවතී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

පසුව බස් රථයේ රියැදුරු බස් රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මත්තේගොඩ පොලිස් නිලධාරීන් පැමිණ ඔහු වෑතර දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.

+


එප්පාවල 09 හැවිරිදි දරුවෙකු පැහැර ගනී

(20.12.2022 – 21:08 +0530 – hirunews.lk/sinhala)

එප්පාවල – කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි දරුවෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ පී.කේ. ජී දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නමැති කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ 04 වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙක්.

මේ සම්බන්ධයෙන් දරුවාගේ මව විසින් එප්පාවල පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.

දරුවා පැහැරගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ විදුලි කාර්මික වෙළඳසැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පිළිබඳව සැක කරන බවයි දරුවාගේ මව කියා සිටියේ.

+


ඕමානයේ පීඩාවන්ට ලක් වූ කාන්තාවන් 25 දෙනෙකු නැවත මෙරටට ගෙන්වීමට අනුමැතිය

(21.12.2022 – 07:26 +0530 – hirunews.lk/sinhala)

ඕමානයේ ගෘහසේවය සඳහා ගොස් සිටියදී විවිධ පීඩාවන්ට ලක්ව බේරාගැණුනු කාන්තාවන් 115 දෙනෙකුගෙන් 25 දෙනෙකු නැවත මෙරටට ගෙන්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මුදල් ප්‍රතිපාදන ලබාදීමත් සමඟයි.

එලෙස පීඩාවට පත්ව සිටින කාන්තාවන් 115 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත නිවස්නයක රඳවා සිටින බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම කාන්තාවන් රැදී සිටින ආරක්ෂිත නිවස්නයයෙහි අවම පහසුකම් හෝ නොමැතිවීම හමුවේ කාන්තාවන් ඉන් පැනයාමේ තත්වයක් මතුව ඇති බව විමර්ශන නිලධාරින් පෙන්වා දෙනවා.

මේ අතර මෙරට කාන්තාවන්ට සිදුවූ අඩත්තෙට්ටම් ඇතුළු හිරිහැර සම්බන්ධ සිද්ධීන් 15 ක් පිළිබඳ අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පවසනවා ෴

++++++++

+++++++++

මිනිස් ජාවාරමට කොටුවූ කාන්තාවන් පිරිසක් කළ සංවේදී හෙළිදරව්ව

(20.12.2022 – 20:22 +0530 – sinhala.adaderana.lk)

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් සුරක්ෂා නිවස්නයේ සිටින තවත් ශ්‍රී ලාංකික කතුන් 18 දෙනෙකු තමන් මිනිස් ජාවාරමට හසු වූ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී තිබේ.

ඒ, අතර සිටි එක් (1) තරුණියක් දූෂණයට ලක්ව ඇතැයි වාර්තා වෙයි.‍

පසුගිය 18 වනදා දක්වා රැඳී සිටි නිලධාරීන් කණ්ඩායම කාන්තාවන් 41 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇත.

අදාළ කාන්තාවන් බහුතරයක් සංචාරක වීසා මත ඩුබායි දක්වා ගොස් පසුව දේශ සීමා පසුකර ඕමානය දක්වා පැමිණ තිබේ.

අදාළ කාන්තාවන් 18 දෙනා අතර සිටින අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක් විමර්ශන නිලධාරීන්ට පවසා ඇත්තේ තමන් ඩුබායිහි සිට පැමිණෙන අතරතුරදී 20 හැවිරිදි තරුණයෙකු තමන්ට ලිංගික අතවර කළ බවය.

එමෙන්ම දෙමටගොඩ පදිංචි තවත් තරුණියන් දෙදෙනෙකුව (2) ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (2) විසින් හෝටලයකට රැගෙන ගොස් පැනි බීම වර්ගයක් බව පවසා මත්පැන් පානය කිරීමට සලස්වා අතවර කිරීමට උත්සාහ කළ බවද විමර්ශන නිලධාරීන්ට අදාළ තරුණියන් දෙදෙනා පවසා තිබේ.

තවත් කුච්චිවේලී ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක් විමර්ශන නිලධාරීන්ට පවසා ඇත්තේ, තමන් සේවයකළ නිවසේ සිටි තරුණයන් තිදෙනෙකු (3) තමන්ට මත්වීමට යම්කිසි දෙයක් ආහාරයට ලබාදී අතවර කිරීමට උත්සාහ කළ බවය.

ඒ, අතර අන්ධ තරුණයෙකු සිට ඇති අතර ඔහුද තරුණියට අතවර කිරීමට උත්සාහ කර තිබේ.

තරුණයින් තිදෙනා (3) අදාළ තරුණියගේ කාමරය තුළ කැමරා සවිකර අදාළ කාන්තාවට අතවර කර එම දර්ශන අන්තර් ජාලයට දැමීමට උත්සාහ කර ඇති බව එම තරුණිය විමර්ශන නිලධාරීන්ට පවසා ඇත.

එමෙන්ම ගෘහ රැකියා සඳහා බව පවසා යැවූ ඇතැම් තරුණියන්ට එළුවන් සහ කුකුලන් බලාගැනීමට සිදුව ඇති බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.

‘තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ’ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ උපදෙස් පරිදි විමර්ශන නිලධාරීන් කණ්ඩායම සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාවන් පිරිස මෙරට පිහිටි විදේශ රැකියා ආයතන 5 කින් විදෙස්ගත කර ඇති බවය.

එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ එක්තරා උසස් නිලධාරීයෙකු සම්බන්ධයෙන් ද අදාළ කාන්තාවන් ප්‍රකාශ කර ඇත.

මේ අතර කාන්තාවන් 20 කට පමණ රැඳීසිටීමට ඉඩ පහසුකම් ඇති ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන ‘සුරක්ෂා නිවස්නයේ’ මේවන විට කාන්තාවන් 100 කට අධික පිරිසක් රැඳී සිටින බව වාර්තා වෙයි.

ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන ‘සුරක්ෂා නිවස්නයේ’ සිටින මෙරට කතුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා පසුගිය 10 වනදා ‘තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ’ නිලධාරීන් කණ්ඩායමක් හා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඕමානය බලා පිටව ගියේය.

මේ අතර ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට හරිහැටි අයුරින් ඕමාන භාෂාව හැසිරවීමට නොහැකි වීම නිසා අදාළ කාන්තාවන් පිරිසට තවත් ගැටලු රැසකට මුහුණදීමට සිදුව තිබේ.

එවන් පසුබිමක පසුගිය 15 වනදා ඕමාන තානාපති කාර්යලයේ භික්ෂූන් වහන්සේ දස නමක් (10) පමණ වැඩමවා පිරිතක් ද පවත්වා ඇති බව වෙයි.

ඊට අවම වශයෙන් රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් වැයවී ඇති අතර එම මුදලින් එරට රැඳී සිටින කාන්තාවන් 30 දෙනෙකු පමණ මෙරටට රැගෙන ඒමට හැකියාව ඇති බව අප වෙත තොරතුරු ලබාදුන් පාර්ශ්ව පෙන්වාදෙයි.

+


ෂාෆ්ටර් ඝාතනයට දුරකථන හතරක (4) විමර්ශන වාර්තා කැඳවෙයි

(21.12.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ව දුරකථන හතරක (4) විශ්ලේෂණ වාර්තා ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල බොරැල්ල පොලිසියට නියෝග කළා.

ඒ, මෙම සිද්ධියට අදාළ දුරකථන අංක හතරක (4) විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබාදෙන ලෙස බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් ඊයේ (20) සළකා බැලීමෙන් අනතුරුව යි.

ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ සහ ඔහුගේ ආයතනයේ සේවකයන් දෙදෙනෙකු (2) ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද බොරැල්ල පොලිසිය මෙහි දී අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර කරුණු වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කරමින් නඩුව කල් තබනු ලැබුවා.

මේ අතර, ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ, ඔහුගේ සමීපතමයෙකුගේ සැලසුමකට අනුව බවට ඒ සම්බන්ධ විමර්ශන සිදු කරන නිලධාරින්ට සැකයක් මතු ව තිබෙනවා ෴

+


කොළඹට එන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැසුමක්

(21.12.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala)

වසර අවසානයේ නෙළුම් කුළුණ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත ව පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් රථවාහන ගාල් කිරීම සඳහා ස්ථාන කිහිපයක් පොලිසිය වෙන් කර තිබෙනවා.

+++

ඒ අනුව නෙළුම් කුළුණ ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන්ට සිය රථවාහන ගාල් කිරීම සඳහා ලේක් හවුස් ඉදිරිපිට රථගාල, කැප්ටන් ගාඩ්න් කෝවිල් රථගාල මෙන්ම ඩී.ආර්. විජේවර්ධන මාවත, ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථවාහන නැවතුම් ස්ථාන ලෙස භාවිත කළ හැකි යි.

+++

එසේම ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන්ට රථවාහන ගාල් කිරීම සඳහා ද ස්ථාන වෙන් කර තිබෙනවා. ඒ අනුව එම්.ඕ.ඩී. රථගාල, ගාලු මුවදොර – ගාලු මැද පාරේ සහ නව බාලදක්ෂ මාවතේ රථවාහන ගාල් කිරීමේ අවස්ථාව හිමි වනවා.


බූස්ස බන්ධනාගාරයේ වැටලීමකින් ජංගම දුරකතන 07 ක් සහ උපාංග හමු වෙයි

(21.12.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බූස්ස බන්ධනාගාරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ජංගම දුරකතන 07 ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (20) සිදු කළ මෙම වැටලීමේ දී බන්ධනාගාර විශේෂ අංශය තුළ ජේලර් විවේකාගාරයේ සිවිලිමේ තිබී ජංගම දුරකතන 06 ක් සහ විශේෂ අංශයේ අපද්‍රව්‍ය බැහැර කරන කාණුව තුළ පිළුණු බත් පාර්සලයක් තුළ සඟවා තිබිය දී තවත් ජංගම දුරකතනයක් සොයා ගනු ලැබුවා.

පසු ව අවට සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී චාජර්, කේබල්, පවර් බෑන්ක් එකක් සහ වයල් කැබලි කිහිපයක් සොයාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර පාතාල කල්ලි නායකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරු ව බන්ධනාගාරයෙන් පිටත් ව ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සිය සඟයෙකු මුදා හරින ලෙසට විදේශ රටක සිට පොලිස් නිලධාරියෙකුට දුරකථනයෙන් තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් පසුගිය බදාදා මීට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇපයක් මත සැකකරු මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කළේ.

එහෙත් එම ඇප කොන්දේසිය සපුරාලීමට ඔහුට හැකියාව නොලැබුණු අතර, ඊයේ (20) දිනයේ එය සැපිරීමෙන් අනතුරුවයි ‘කංජිපානි ඉම්රාන්’ මෙලෙස බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් ඇත්තේ.

කෙසේ වෙතත් අධිකරණය විසින් ඔහුට විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවා ෴


ජපානයත් තරහා කරගත් ලයිට් රේල් සිද්ධියේ වගතුග එළියට එයි (20.12.2022)

Hon. (Prof.) Charitha Herath, M.P

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *