විභාග දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 54 ක අවභාවිතයක් ගැන චෝදනා

විභාග දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 54 ක අවභාවිතයක් ගැන චෝදනා


විභාග දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 54 ක අවභාවිතයක් ගැන චෝදනා

(18.12.2022 – 13:44 +0530 – hirunews.lk/sinhala)

රුපියල් පනස්හතර කෝටි හැටදෙලක්ෂ හැටහතරදහස් හාරසිය පනස් දෙකක් (54,62,64,452) වැය කොට විභාග දෙපාර්තමේන්තුවට මිල දී ගත් මුද්‍රණ යන්ත්‍රයක් නිසි පරිදි භාවිත නොකිරීමක් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් වාර්තා කර තිබෙනවා.

ප්‍රශ්න පත්‍ර වඩාත් හොඳින් මුද්‍රණය කිරීමේ අපේක්ෂාවෙන් බව පවසමින් මෙම මුද්‍රණ යන්ත්‍රය මිලදී ගෙන තිබුණේ 2020 වසරේදියි.

කෙසේ වෙතත් අධික මුදලක් වැයවූ මෙම යන්ත්‍රයෙන් මේ දක්වා නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් 2021 වසරේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමේදී මෙම යන්ත්‍රය භාවිත කර ඇත්තේ සියයට 10 ක් මුද්‍රණය කිරීම සඳහා පමණයි.

එමෙන්ම ප්‍රශ්නපත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා රුපියල් අසූහතර ලක්ෂ විසිඅටදහස් හයසිය තිස්හතක් (84,28,637) වටිනා එම යන්ත්‍රයේ තවත් කොටසක් මිලදී ගෙන ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොමැති බවයි විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ.

+


ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 03 ක් මේ වසරේ විදේශ ගතවේ

(18.12.2022 – 16:02 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ (2022) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ මෙම වසරේ බවයි.

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අද (18) පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ෴


පොලිස් නිලධාරියෙකු ඉදිරිපිට අවන්හල් හිමිකරුවෙකුට පිහියෙන් අනී

(18.12.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

කොහුවල ප්‍රදේශයේ අවන්හලක් අසළ සිදු වූ පිහි ඇණුමකින් එම අලෙවිසැලේ හිමිකරු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තුවාල ලැබූ අවන්හල් හිමිකරු පවසන්නේ කොහුවල පොලිසියේ නිලධාරියෙකු සමඟ පැමිණි අයෙකු ඊයේ (17) රාත්‍රියේ තමන්ට පිහි ඇනුම සිදුකළ බවයි.

120 ප්‍රධාන මාර්ගය ආසන්නයේ කොහුවල පිහිටි මෙම අවන්හලේ හිමිකරු වන රංජිත් දයාල්ට මෙම අනතුර සිදු කිරීමේ සීසීටීවී දර්ශන නිකුත් වී තිබෙනවා.

එහි දැක්වෙන්නේ පොලිස් නිලධාරියෙකු බව කියන පුද්ගලයා සිවිල් ඇඳුමකින් සැරසී යතුරුපැදියකින් පැමිණ අවන්හල් හිමිකරු සමඟ සාකච්ඡා කරමින් සිටින ආකාරයයි. එම අවස්ථාවේ පිටුපසින් පැමිණි වෙනත් පුද්ගලයෙකු පිහි ඇනුම සිදුකර පලා යන අයුරු ද එහි දැක්වෙනවා.

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ පිහි ඇණුම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි. පුළුල් විමර්ශනයක් සිදුකරන බවද ඔහු සඳහන් කළා.

+


‘අයිස්’වලට ගොදුරු වූ තරුණයෝ කළ පාපොච්චාරණ

(18.12.2022 – 22:20 +0530 – sinhala.adaderana.lk)

මීගමුව දළුපොත පිහිටි තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටින ‘අයිස්’ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටි තරුණයින් තිදෙනෙකු (3) පුනරුත්ථාපනය වන ආකාරය පිළිබඳව අපට වාර්තා වුණි.

ප්‍රශ්නය – ‘අයිස්’ භාවිතය හේතුවෙන් කොච්චර විතර මේ ස්ථානයට තරුණයෝ ඇවිල්ලා ඉන්නවාද?

සුභාෂ් උපුල්දෙණිය : “අපේ ආයතනයේ තරුණ රැඳවූවන් 87 ක් පමණ ඉන්නවා. 60 කට වඩා ඉන්නෙ ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිරදඬුවම් නියම වෙලා රක්ෂිත භාරයට පත්වූ අවුරුදු 16 – 22 ත් අතර තරුණම කොටසක්.”

ප්‍රශ්නය : “අපි රැඳවියෝ තුන්දෙනා (3) පැත්තට හැරුණොත් මේ තුන්දෙනා සිංහල, දෙමළ, මුස්ලිම් තිදෙනෙක්. මත්ද්‍රව්‍යවලට ජාති භේද නැහැ කියන්න හොඳම උදාහරණයක් තමයි මේ. මධුසංඛ අපිට මුලින්ම කියන්න බලන්න ඔයා කොහොමද මේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ලබාගන්න පෙළඹුණේ.”

මධුසංඛ : “මගේ අයියගේ විවාහ මංගල්‍යය දවසේ මගේ යාළුවෝ ඇවිල්ලා හිටියා. ඒගොල්ලො කිව්වා පොඩ්ඩක් බීලා බලන්න. මේක හොඳයි කියලා. ඇත්තටම අයියේ ඒක මවාපෑමක් විතරයි. ඊටපස්සෙ මම ඒක භාවිත කරලා ඇබ්බැහි වෙලා කොහොමහරි ටික කාලයක් යද්දි මගේ රැකියාවත් මට අහිමි වුණා. මම සමාජයෙනුත් කොන් වී ගෙන එන්න ගත්තා. ‘කුඩුකාරයා’ යන නාමය මට ගෑවෙන්න ගත්තා. මටම තේරුණා අයියේ මගේ ශරීරයෙන් මම කොච්චර දුක් වින්දාද කියලා. මගේ අම්මට මගේ දිහා බලන්න බැරිවුණා. ඇවිදගන්නවත් බැරුව අත් පණ නැහැ. නින්දක් නැහැ. කල්පනාවක් නැතුව මානසිකත්වයෙන් ගොඩක්ම වැටුණා. මම ඊටපස්සෙ අම්මට ඇත්තම කිව්වා. ‘මම ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍යයට පෙළඹිලා ඉන්නවා. මට මේකෙන් මිදෙන්න ඕන’කියලා. ඊටපස්සෙ අම්මා කිව්වා ‘එහෙනම් අවුරුද්දකට පුනරුත්ථාපනය දානවා’ කියලා. ඊටපස්සෙ තමයි මේ මධ්‍යස්ථානයට ගෙනාවේ.”

ප්‍රශ්නය : රාජ් කොහොමද මේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙන්නේ?

රාජ් : “8 වසරෙන් වගේ තමයි මම ඉස්කෝලෙන් අවුට් වුණේ. යාළුවෝ කිව්ව විදිහට මටත් ආසාවක් ආවා බොන්න ඕන කියලා. එතකොට තමයි පළමුවෙනි වතාවට බිව්වෙ. කකුල් අතපය පණ නැතුව ගියා. කන්න බොන්න බැහැ. බඩ යනවා. දුකක් තමයි විඳින්නේ. කාලයක් යද්දී ඒ යාළුවෝ ඔක්කොම නැතුව ගියා. සල්ලිත් නැතුව ගියා. ගෙදර කට්ටියත් උදවු කරන්නෙ නැතුව ගියා. මට වැඩිය වයසින් වැඩි කට්ටිය එක්ක ආශ්‍රය කරලා හොරකම් කරන්න පුරුදු වුණා. ඒ වගේම පොලිසියට අහුවුණා. ඒ ආපු වෙලාවෙ තමයි පුනරුත්ථාපනය වුණේ.”

ප්‍රශ්නය : රහුමාන් කොහොමද මේ අයිස් භාවිතයට යොමු වුණේ?

රහුමාන් : “යාළුවොත් එක්ක ඉඳලා තමයි. යාළුවෝ බීගෙන හිටියා. ඒ ගත්තම තමයි තේරුණේ පළමුවෙනි පාර බොන්නැති එක්කෙනෙක් ඒක බිව්වා කියන්නෙ ආයෙත් ඒක අත්හරින්න බැහැ කියලා. ටක්ගාලා තරහා යනවා. ‘අයිස්’ නවත්තගන්න බැරුව ගියා .”

ප්‍රශ්නය : කොහොමද ඔවුන්ව ‘අයිස්’වලින් මුදවාගන්න කරන වැඩපිළිවෙළ?

සුභාෂ් උපුල්දෙණිය : පෙරවරු 06:00 සිට පස්වරු 05:30 දක්වා කාලසටහනකට අනුව තමයි වැඩ කිරීම සිද්ධ වෙන්නෙ. උදේ මේගොල්ලො 6 ට නැගිට්ට ගමන්ම කරන්නෙ ශාරීරික ව්‍යායාමවල යොදවන එක. ඊට අමතරව අපි වෘත්තීය පුහුණු අධිකාරියෙ පුහුණු උපදේශක මහතුන් ලවා වඩු, මේසන්, වෑල්ඩින්, විවිධ ස්වයං රැකියා සඳහා අපි පුහුණුවීම් කටයුතු කරනවා. ඒත් එක්කම උපදේශන නිලධාරීන් සම්බන්ධ කරගෙන උපදේශන පාඨමාලාවන් පවත්වනවා මෙයින් මිදෙන්නෙ කොහොමද කියලා. වෛද්‍ය නිලධාරීන් මගින් මොවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනවා. පුනරුත්ථාපනය ලබලා හොඳ මනුස්සයින් විදිහට එළියට එන කොටස නැවතත් මේ නිවැරදි පුද්ගලයන් කියලා පිළිගන්න සමාජය ලෑස්තිවෙලා ඉන්න ඕන. මේ මනුස්සයට සදාකාලිකව ‘ඕකා කුඩුකාරයා’ යනුවෙන් ආමන්ත්‍රණය කළොත් කවදාවත් ඒ මනුස්සයා එහෙම වෙන්නෙ නැහැ.”

ප්‍රශ්නය : මෙතනට ආවට පස්සෙ ඔයාට කොයිවගේ හැඟීමක්ද ආවේ? ඔයාට නතර කරගෙන ඉන්න හැකියාව හම්බවුණාද මේ ‘අයිස්’ භාවිතය?

රහුමාන් : “මෙතනට ආවම පස්සෙ තමයි දැනුණෙ නවත්තන්න පුළුවන් කියලා. මෙච්චර කාලයක් අපි අපේ ජීවිත අපිම නාස්ති කරගත්තනෙ කියලා හිතෙන්නෙ දැන් තමයි.”

රාජ් : “දැන් තේරෙනවා අපිට සමාජයට ගිහිල්ලා ඉන්න හැකියාවක් තියෙනවා කියලා. අපේ මනස තමයි – සිත තමයි ගොඩක්ම හයිය කරගන්න ඕනෙ. කිසිම මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙන්න එපා. මත්ද්‍රව්‍ය කියන්නෙ ජීවිතයක් නෙවෙයි.”

රහුමාන් : “සිහි බුද්ධියෙන් අපි ඉන්නෙ දැන් තමයි. ඒ නිසා අපිට තේරෙනවා මේ කියන දේ ඇවිල්ලා කොච්චර කට්ටිය එළියෙ භාවිත කරනවාද කොච්චර කට්ටිය ‘හැක්’වෙලා ඉන්නවද කියලා. මෙච්චරයි කියන්න තියෙන්නෙ එළියේ ඉන්න කට්ටියට. ‘පාවිච්චි කරන්න එපා !’ “

‘අයිස්’ ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා විවිධ කායික හා මානසික පීඩාවට ලක්වූවන්ට නොමිලේ උපදේශන හා ප්‍රතිකාර ලබාගැනීමට දැන් අවස්ථාව පවතී.

ඒ සඳහා 1926 කෙටි දුරකථන අංකය ඔස්සේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය වෙත සම්බන්ධ විය හැකිය.

ඊට අමතරව 1927 කෙටි දුරකතන අංකය ඔස්සේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උපදේශන සේවාවන්ටත් සම්බන්ධ විය හැකි අතර 011 286 8794 හෝ 011 286 8795 දුරකතන අංක ඔස්සේද ඊට සම්බන්ධ විය හැකිය.

මෙම සෑම සේවාවකදීම අදාළ පාර්ශ්වකරුවන්ගේ අනන්‍යතාව සුරැකෙන ආකාරයෙන් ප්‍රතිකාර ලබාගත හැකිය.

‘අද දෙරණ’ මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ පාසල් දරුවන් ඊට ගොදුරු කරගැනීම පිළිබඳව රටට තොරතුරු හෙළි කරන්නේ ඉන් ජනතාව මුදාගැනීම සඳහා වන මාධ්‍ය සතු කාර්යභාරය ඉටුකිරීමටය.

කෙසේ වෙතත් ‘අද දෙරණ’ අනාවරණයන්ගෙන් කැලඹීමට පත් එක්තරා දේශපාලන පක්ෂයක් සිය වේදිකාවල සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සිය සමාජ මාධ්‍ය අවකාශය භාවිත කරමින් ‘අයිස්’ අවදානම අවඥාවට ලක් කිරීමේ මෙහෙයුමක් දියත් කරනු මේ වන විට දැකගැනීමට පුළුවන්ය.

කෙසේ වෙතත් එම කණ්ඩායම්වල අසත්‍ය ප්‍රකාශයන්ට නොරැවටී ඔබගේ දරුවා ‘අයිස්’ ජාවාරමේ ගොදුරක් වීම වළක්වාගැනීමට සිහි නුවණින් කටයුතු කරන ලෙස ‘අද දෙරණ’ සිහිපත් කර සිටී.

+


දෙසැම්බර් 23 හා 24 නොමිලේ ලැබෙන අවස්ථාව

(18.12.2022 – 18:11 +0530 – sinhala.adaderana.lk)

දෙසැම්බර් මාසයේ දින දෙකක් (2) පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

දෙසැම්බර් 23 සහ 24 යන දෙදින මෙම විශේෂ අවස්ථාව ලබා දි ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

23 වන දින පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීට අවස්ථාව ලබා දී ඇති අතර එදිනට ‘පාසල් දරුවෝ පරිසර නියමුවෝ’ යන තේමාව යටතේ එම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර තිබේ.

ලබන 24 වන දින වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම නත්තල් දිනය යෙදී ඇති ලබන 25 වනදා සත්වෝද්‍යානය තුළ විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇති බවද සඳහන්ය ෴


2023 මාර්තුවේ සිට ගෘහ සේවිකාවන් විදේශගත කිරීම නවතී

(18.12.2022 – 15:49 +0530 – sinhala.adaderana.lk)

ලබන වසරේ (2023) මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශගත කිරීම නතර කරන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ ‍වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අමාත්‍යවරයා එම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් අද දින (18) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

එමෙන්ම මේ වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් තිබේ.

විදේශ රැකියා අමාත්‍යවරයා සඳහන් කළේ, ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවය.

ඒ අනුව, අද දිනය (18) වන විට 6,120 ක පිරිසක් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

මේ අතර මෙම වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයටය වන අතර එය 76,579 කි. 

කටාර් රාජ්‍යයට 69,992 දෙනෙක්ද, සෞදි අරාබිය සඳහා 51,421 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ. ජපානය සඳහා ශ්‍රමිකයින් 4,410 දෙනෙකු පිටත්ව ගොස් ඇත ෴


‘ඔබ එන තුරු මම ඉන්නවා’ යනුවෙන් SMS පණිවිඩය යැව්වේ දිනේෂ්ගේ ඝාතකයා!

(19.12.2022 – dinamina.lk)

• ගෙදර සිට කෙළින්ම ගිහින් තියෙන්නේ බොරැල්ල කනත්තටයි

• දිනේෂ්ගේ හා බ්‍රයන් තෝමස්ගේ දුරකතන වෝහාරික පරීක්ෂණයකට යොමු කරයි

• SMS පණිවිඩය ගියේ කනත්ත ආසන්නයේ දුරකතන කුලුනු හරහා

• තවත් සැකකටයුතු තොරතුරු රැසක් ගැනත් පරීක්ෂණ

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යොමු වී ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත් වීමෙන් අනතුරුව බව ඒ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ඒ අනුව පැහැදිලි වී ඇත්තේ එම කෙටි පණිවිඩය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතකයා විසින් බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතනයට යොමු කර ඇති බවය.

එසේම කුරුඳුවත්ත මල්පාරේ පිහිටි සිය නිවසේ සිට ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා පසුගිය 15 වෙනිදා ගමන්ගත් මෝටර් රථය කෙළින්ම පැමිණ ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සවස 02:06 ට පමණ නිවෙසින් පිටත්ව ඇති බවත් නිවෙසින් පිටත් වීමෙන් පැය භාගයක් (½) හෝ ඒ ආසන්න කාලයක් තුළ ඔහුට මේ අපරාධය සිදුව ඇති බවත් විමර්ශන තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් අනුමාන කරයි.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසින් පිටත් වූ අවස්ථාවේ සිට ඔහුගේ ගමන්මඟ ආරක්ෂක කැමරා දත්ත විශ්ලේෂණය තුළින් කළ පරීක්ෂාවේදී ඔහුගේ මෝටර් රථය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත කෙළින්ම පැමිණ ඇති බව පෙනී ගොස් තිබේ. අතරමඟදී මෝටර් රථයට යම් පුද්ගලයෙක් ගොඩවූවාද නැතිනම් ඔහු යම් පුද්ගලයෙක් මුණගැසීමේ අපේක්ෂාවෙන් සුසාන භූමියට ගියේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීය. මෝටර් රථය සුසාන භූමියට ඇතුළු කර නතර කර තිබුණු ස්ථානයේ පිහිටීම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ බොරැල්ල පොදු සුසාන භූමිය ගැන හොඳ අවබෝධයක් ඇති අයෙක් මේ අපරාධයට සම්බන්ධව ඇති බවය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සමඟ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් පවතින ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගෙ ජංගම දුරකතනයට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ඔයා එනකම් මම ඉන්නවා යන අදහස ඇති කෙටි පණිවුඩයක් යොමු වී ඇත්තේ ද දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය බොරැල්ල පොදු සුසාන භූමියට ඇතුළු කර තිබියදී බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. බොහෝ විට එම පණිවිඩය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් යොමු කර ඇත්තේ ඔහුව එම ස්ථානයට කැඳවා එම අපරාධය කළ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් බවට සැකයක්ද ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එම සැකය මතුවී ඇත්තේ එම කෙටි පණිවුඩය යොමුකර ඇත්තේ සවස 02:30 න් පසුව වීම නිසාය. මේ ඝාතන සැලසුම්කරුවන් උත්සහ ගත්තේ බ්‍රයන් තෝමස් මහතාව එම ස්ථානයට ගෙන්වා ඔහුව මේ අපරාධයට කොටුකරලීමට විය හැකි බවට සැකයක් ද මේ වන විට මතුව තිබේ. එම කෙටි පණිවිඩයට බ්‍රයන් තෝමස් මහතාද පිළිතුරු පණිවුඩයක් යොමු කරමින් ‘මට ඔයා එක්ක කිසි කතාවක් නැහැ. මට ඔයාව හම්බවෙන්න උවමනාවක් නැහැ’ යන අදහස ඇති කෙටි පණිවුඩයක් ඉංග්‍රීසියෙන් යොමු කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

එසේ පණිවිඩ හුවමාරු වූ බ්‍රයන් තෝමස් සහ දිනේෂ් ෂාෆ්ටර් මහත්වරුන්ගේ ජංගම දුරකතන දෙක (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන පරිගණක වෝහාරික පරීක්ෂණාගාරයට යොමු කර ඒ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මතුකරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ බ්‍රයන් තෝමස් මහතාගේ නිවසේ ඇති ආරක්ෂක කැමරා පද්ධතිය පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට ලක්ව ඇති බවය. එහිදී එම ඝාතනය සිදුවූ කාල වකවානුව තුළ බ්‍රයන් තෝමස් මහතා නිවෙසින් බැහැර ගිය බවට හෝ මේ අපරාධයට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බවද ඔහු පැවසීය. මේ ඝාතන විමර්ශනය පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පුද්ගලයන් 23 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා පැවසීය.

ඒ අය අතර දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක් මෙන්ම බොරැල්ල සුසාන භූමියේ සේවකයන් කිහිප දෙනෙක්ද සිටින බව නිහාල් තල්දූව මහතා කීය. ආරක්ෂක කැමරා සහ දුරකතන විශ්ලේෂණ මෙන්ම ඇසින් දුටු සාක්ෂි පදනම් කරගෙන විමර්ශන ක්‍රියාත්මක වන බවද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. ඔහු පවසන්නේ මේ විමර්ශනය පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුකරන බවය. දිනේෂ් ෂාෆ්ටර් මහතා ව්‍යාපාරිකයෙක් මෙන්ම විවිධ ක්ෂේත්‍ර සමඟ සම්බන්ධකම් පැවැත්වූ අයෙක් වූ බැවින් ඒ හැම පැත්තක් කෙරෙහිම විමර්ශන වලදී අවධානය යොමු කර ඇති බවද නිහාල් තල්දූව මහතා කීය. මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතාට එරෙහිව කිසියම් පැමිණිල්ලක් හෝ ඔහු සමඟ යම් ආරවුලකින් සිටි පුද්ගලයන් සිටියේදැයි කියාත් විමර්ශන පැවැත්වෙන බව නිහාල් තල්දූව මහතා කීය.

එහෙත් මෙතෙක් එවැනි අනාවරණයක් නැතැයිද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. විද්‍යාත්මක මෙන්ම තාක්ෂණික සාක්ෂි රැසක් ඔස්සේ මේ වන විට විමර්ශන පැවැත්වෙන බවත් පොලිසියේ අපේක්ෂාව කඩිනමින් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම බවත් නිහාල් තල්දූව මහතා කීය. මෙම අපරාධය සිදුවූ දින දිනේෂ් ෂාෆ්ටර් මහතා නිවෙසින් පිටත්ව ඇත්තේද තමා බොරැල්ලට යන බව බිරියට කියා බව මුල් ප්‍රකාශවලින් කියැවෙන බැවින් ඒ ගැන ඇගෙන් වැඩිදුර තොරතුරු විමසීමටද නියමිතව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. දිනේෂ් ෂෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන තුරු පවුලේ අයගෙන් මේ මරණය ගැන වැඩිදුර විමසීම්වලට පොලිසිය යොමුවී නැත. ඊයේ (18) දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළ බැවින් හෙට (20) සිට එම කටයුත්තට අත තබනු ඇතැයිද එම නිලධාරියා කීය.

සිය සැමියා පැය භාගයකින් (½) පැමිණෙන බව කියමින් නිවෙසින් පිටත්ව ගිය බව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය මුල් අවස්ථාවේදී පොලිසියට පවසා තිබුණි. හරියටම පැය භාගයක් (½) ගෙවී යන විට ඇය සිය සැමියාට දුරකතන ඇමතුමක් ගෙන ඊට ප්‍රතිචාර නොවූ තැන කලබල වූයේ සිය සැමියාට යම් තර්ජනයක් තිබුණු බැවින් දැයි කියා දීර්ඝ වශයෙන් ඇගෙන් විමසීමට ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. දිනේෂ් ෂාෆ්ටර් මහතා තමා සිටිනා තැන හඳුනා ගැනීමට හැකි දුරකතනයේ පහසුකම සිය බිරියට අමතරව ව්‍යාපාරික සඟයාටද යොමු කර තිබීම ගැනද විමර්ශනවලදී විශේෂ අවධානයක් යොමුකර තිබේ. දිනේෂ් ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස් හමුවීමට යන බව තමාට කීවේ යැයි පොලිසියට කියා ඇත්තේ සමාගම් අධ්‍යක්ෂවරයෙක් වන එම ව්‍යාපාරික සඟයාය. අපරාධකරුවන්ට ගොදුරු වී සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාව මුලින්ම හමුවන්නේද ඔහුටය. කෙටි පණිවුඩය ගැන බ්‍රයන් තෝමස් මහතා පවසන හැටියට තමාට එවැනි හමුවක් ගැන දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් ආරාධනාවක් ලැබෙන්නේ එදින 02:30 හෝ ඒ ආසන්න කාලයකදී ලැබෙන කෙටි පණිවුඩය හරහාය. සැබෑ ලෙසම දිනේෂ් ෂාෆ්ටර් මහතා නිවෙසින් පිටත් වූයේ බ්‍රයන් තෝමස් හමුවීමට නම් බොරැල්ල පොදු සුසාන භූමියේ සිට ඔහුට කෙටි පණිවුඩයක් යොමු නොකරන බවත් කාර්ය බහුල ව්‍යාපාරිකයෙක් වන ඔහු කල්වේලා ඇතිව වේලාවල් වෙන් කරගන්නා බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවුඩය ගොස් ඇත්තේද බොරැල්ල සුසාන භූමිය අවට දුරකතන සංඥා කුලුනුවලින් බවද පෙනී ගොස් ඇත.

“සතුරෙකු අතින් මේ ඝාතනය වෙලා තියෙන්නේ. සතුරා ගැන සොයා ගන්න හැම ක්ෂේත්‍රයක් ගැනම සොයා බලනවා” යනුවෙන් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රතකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කීය. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශන මේ වන විට සිදුවන්නේ මුල් අවස්ථාවේ පැවති තත්ත්වයට වඩා අලුත් මඟක බවත් මේ ඝාතනය සම්බන්ධයෙන් සැක කටයුතු තොරතුරු රැසක් අනාවරණය වෙමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කරයි. මේ වන විට ඇත්තේ එම තොරතුරු වඩාත් තහවුරු කර ගැනීමේ කටයුතු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඇතැම් විට හිතා ගැනීමටත් නොහැකි සිදුවීම් රැසක් අනාවරණය වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය. මේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ඒ මහතා නිවෙසේ සිට කනත්ත දක්වා පැමිණි මාර්ගයේ තිබූ CCTV 42 ක්ද පරීක්ෂා කර තිබේ.

ගයාන් කුමාර වීරසිංහ සහ බණ්ඩාරගම බිමල් ජයසිංහ

+++++++++

+


ප්‍රියමාලි තනිවෙයි – ජානකී ගෙදර යයි

(19.12.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මූල්‍ය වංචාව සිදු කිරීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලී සමඟ අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන අද (19) අධිකරණයෙන් නියම කළ ඇප සම්පූර්ණ කර පිටව ගොස් තිබෙනවා.

පෙර නඩු දිනයේ ඇප ලැබූ ඇය බන්ධනාගාර නිලධාරීන් විසින් අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබූ අතර එහි දි ඇයගේ ඥාතීන් විසින් ඇප තැම්පත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනයක් බැගින් වූ ශරීර ඇප 2 ක් සම්පූර්ණ කිරීමෙන් පසුවයි ඇය පිටව ගොස් ඇත්තේ.

කෙසේ වෙතත්, මූල්‍ය වංචා චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලි ට ද පසුගිය දා ඇප හිමිවූ අතර ඇය මේ දක්වා ඇප සම්පූර්ණ කර නොමැති බැවින් තවදුරටත් බන්ධනාගාරයේ සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *