ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයාගේ ඝාතනය : බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක්

ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයාගේ ඝාතනය : බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක්


ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයාගේ ඝාතනය : බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක්

(16.12.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්‍ටර් ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරන ලද හිටපු ක්‍රීඩා විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති අතර දිනේෂ් ශාෆ්‍ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයන්ට අනුව බොරැල්ල පොලීසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබෙනවා.

(වමේ : බ්‍රයන් තෝමස් ; දකුණේ : දිනේෂ් ශාෆ්‍ටර්)

මේ අතර ඊයේ (15) බොරැල්ල පොදු සුසාන භූමියේ දී අත් පා ගැට ගසා බරපතල තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

හිටපු ක්‍රිකට් විස්තර විචාරකයා විසින් මියගිය ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ඇති රුපියල් කෝටි 14 ක ණය මුදල සම්බන්ධයෙන් පවතින ආරවුල සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (15) දිනයේ පස්වරු 2 ත් 3 ත් අතර අදාළ ව්‍යාපාරිකයා, හමුවක් සඳහා යන බව සිය බිරිඳට පවසා නිවසින් පිටව ගොස් ඇතැත් තම ලේකම්වරයාට සඳහන් කර තිබුණේ, රුපියල් කෝටි 14 ක ණය මුදල ලබාගත් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් හමුවීමට යන බවටයි.

එම තොරතුරු අනුවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) රාත්‍රී බ්‍රයන් තෝමස්ගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ.

ඒ අනුව ඊයේ (15) රාත්‍රි 11:30 හේ සිට අද (16) අලුයම 03:30 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සිද්ධියට අදාළව ඔහුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබූ අතර නිවසේ සී.සී.ටී.වී. දර්ශනද පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එහි දී හෙළිවී ඇත්තේ, බොරැල්ල පොදු සුසාන භූමියේ දී ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් අත් පා ගැටගසා බරපතල තුවාල සහිතව මෝටර් රථයක් තුල සිටියදී සොයාගන්නා අවස්ථාව වන විට බ්‍රයන් තෝමස් සිය නිවසේ සිට ඇති බවටයි.

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් ක්‍රිකට් පරිපාලකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුත්‍රයෙකු ද වනවා.

බ්‍රයන් තෝමස් ප්‍රසිද්ධ ඇඳුම් සමාගමක ආයෝජනය කිරීමට, අතරමැදියෙකු ලෙස ඉදිරිපත් වූ දිනේෂ් ෂාෆ්ටර්ගෙන්, රුපියල් කෝටි 14 ක ණය මුදලක් ලබාගෙන වංචා කළ බවට 2019 වසරේ මාර්තු 20 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ලට අදාළව බ්‍රයන් තෝමස් රක්ෂිත බන්ධනාගාර ගතවද සිටියා.

මෙම ව්‍යාපාරිකයාගේ මරණයත් සමග බ්‍රයන් තෝමස් සමඟ පැවති මෙම ආරවුල මුල් කර ගනිමින් බ්‍රයන් තෝමස් සම්බන්ධයෙන් ද මේ වන විට දැඩි කතා බහක් නිරීමාණය වී තිබෙනවා.

ඒ අනුව මේ පිළිබඳව විමසීමට හිරු ප්‍රවෘත්ති අංශය බ්‍රයන් තෝමස් දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර එහි දී ඔහු කියා සිටියේ ඊයේ (15) දිනයේ දිනේෂ් ෂාෆ්ටර් තමන් එනතෙක් ඔහු රැඳී සිටින බව සඳහන් කරමින් කෙටි පණිවිඩයක් යොමු කර තිබූ බවයි.

කෙසේ වෙතත් බ්‍රයන් තෝමස්, ෂාෆ්ටර් හමුවීම ප්‍රතික්ෂේප කරමින් කෙටි පණිවිඩයක් ඔස්සේ සිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර බොරැල්ල පොදු සුසාන භූමියේ සහ ඒ අවට ඇති සී.සී.ටී.වී. කැමරා මෙන්ම දුරකථන වාර්තා විශ්ලේෂණය කිරීමද ආරම්භ කර තිබෙනවා.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කෙරුණේ සුසාන භූමිය තුළ ද, එසේ නොමැති නම්, ඉන් පිටත ස්ථානයකදී ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනය කෙරෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (15) දිනයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී මරණ 6 ක අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති අතර ඒ හේතුවෙන් වාහන විශාල සංඛ්‍යාවක් සහ වැඩි පිරිසක් සුසාන භූමියට ප්‍රවේශ වී ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ සොයා බැලීමේ දී අනාවරණ වුණා.

සුසාන භූමියේ පරිපාලන කටයුතු කොළඹ මහනගර සභාව මගින් සිදු කළ ද එහි ආරක්ෂාව භාරව කටයුතු කර ඇත්තේ ‘රක්නා ලංකා සමාගම’යි.

බොරැල්ල පොදු සුසාන භූමියේ ප්‍රවේශ දොරටු 5 ක් පවතින අතර දෛනිකව ආරක්ෂාවට දොරටු 4 ක් සඳහා ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙකු යොදවන බවයි අප කළ විමසීමකදී ‘රක්නා ලංකා සමාගම’ සඳහන් කළේ.

ආරක්ෂක නිලධාරියෙකු යොදවා නොමැති දොරටුව දෛනිකව වසා තැබෙනවා.

අවමංගල්‍ය කටයුතු සිදුවන අවස්ථාවලදී දේහය රැගත් අවමංගල රථය සමඟ එහි පිටුපසින් පැමිණෙන වාහන වලට පරික්ෂාවකින් තොරව සුසාන භූමියට ඇතූළු වීමට අවස්ථාව ලබා දීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන බව සඳහන්.

එහෙත් අද (16) සිට එලෙස ඇතුළු වන වාහන අංක සහ රියදුරන්ගේ අන්‍යයතාව තහවුරු කෙරෙන තොරතුරු ලේඛන ගත කරන ලෙසයි සුසාන භූමියේ ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇති මූලික විමර්ශන අනුව හෙළිවී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ රථය බොරැල්ල සුසාන භූමිය වෙත ඇතුල්වී ඇත්තේ කාසල් වීථිය ආසන්නයේ ‘ෆාම් පාර’ පෙදෙසේ ඇති ගේට්ටුවෙන් බවයි.

එසේ ඇතුලු වූ රථය ආදාහානාගාර දෙක (2) සහ තුන (3) යන ස්ථාන අතර, ඇති පාලු ප්‍රදේශයක් වන ගුවන් හමුදා ස්මාරකයක් අසළ නවතා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ සාමාජිකයන් ඊයේ (15) රාත්‍රියේ බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබී ඇති අතර ෂාෆ්ටර් නිවසට නොපැමිණීම හේතුවෙනුයි බිරිඳ, ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ.

එහෙත් ඒ වනවිට දුරකථනය ක්‍රියාවිරහිත වී තිබී ඇති අතර, දුරකථන සංඥා අනුව ඔහුගේ බිරිඳ පසුව අනාවරණ කරගෙන ඇත්තේ ඔහු බොරැල්ල පොදු සුසානභූමිය අසළ සිටින බවටයි.

ඒ අනුව ඇය, ඔහුගේ ලේකම්වරයා එම ස්ථානයට පිටත් කර යවා ඇති අතර, එහිදී මෝටර් රථයේ රියදුරු අසුනේ අසාධ්‍ය තත්වයෙන් සිටින දිනේෂ් ෂාෆ්ටර්ව ඔහුගේ ලේකම්වරයා දැක තිබුණා.

ඔහුගේ අත් පා බැඳ, ගෙළ ද ප්ලාස්ටික් පටියකින් ගැටගසා සිටින අයුරු නිරීක්ෂණය කළ ලේකම්වරයා උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර, එම අවස්ථාවේ සුසානභූමි සේවකයෙකු එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

පසුව ඔහුගේද සහය ඇතිව දිනේෂ් ෂාෆ්ටර් ඊයේ (15) පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර, රාත්‍රියේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මේ අතර මියගිය ෂාෆ්ටර් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) පස්වරුවේ සිදුකෙරුණු අතර එහිදී හෙළිව ඇත්තේ තන්තුවකින් ගෙල සිරකිරීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

+

+

+++++++++++

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

(17.12.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල පොදු සුසාන භූමියේ දී අත් පා ගැට ගසා බරපතළ තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

විමර්ශන සිදු කරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ, බොරැල්ල පොදු සුසාන භූමියේ සේවකයින් කිහිපදෙනෙකු ගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බවයි.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථයේ ඇති සාක්ෂි සහ අදාළ ස්ථානීය පරීක්ෂණ අනුව සැකකරුවන් හදුනා ගැනීමේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (15) රාත්‍රියේ ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

ඔහු විසින් මියගිය ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ඇති රුපියල් කෝටි 14 ක ණය මුදල සම්බන්ධයෙන් පවතින ආරවුල සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++

+ https://www.youtube.com/watch?v=YDK53jF47Nk

+


මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිස් ලොක්කන්ට දැඩි උපදෙසක්

(16.12.2022 – 20:27 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකෙරෙන මිනීමැරුම්වලට සම්බන්ධ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා, එවැනි අපරාධ සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සඳහා එම නිලධාරීන් අමාත්‍යාංශය වෙත අද (16) කැඳ වූ අවස්ථාවේ දී යි.

මිනී මැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා උපදෙස් ලබා දී තිබෙනවා.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සදහා අමාත්‍යවරයා විසින් එම නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවනු ලැබුවේ අද (16) පෙරවරුවේයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකෙරෙන මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සමස්ත සමාජයටම බරක් වී ඇති බැවින් මෙම ව්‍යසනකාරී තත්ත්වය මර්දනය කිරීම සඳහා ඊට අදාළ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා කටයතු කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

එවැනි අපරාධ සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වුණා ෴

+


කොල්ලුපිටිය රිය අනතුරට බන්ධනාගාරගත කර සිටි සැකකරුට කොන්දේසි සහිත ඇප

(16.12.2022 – 22:29 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 2 ක් සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) තීරණය කර තිබෙනවා.

මේ අතර මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කර ඇත්තේ, අනතුරින් මිය ගිය ත්‍රීරෝද රථ රියදුරුගේ දරු තිදෙනා (3) වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ලක්ෂ 15 ක සානුකම්පිත දීමනාවක් ගෙවන ලෙසයි.

තව ද සැකකරුට සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 09:00 – 12:00 ත් අතර කාලය තුළ කොල්ලුපිටිය පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසත්, අදාල නඩුව අවසන් වන තුරු පනවා තිබූ විදෙස් ගමන් තහනම ඒ අයුරින් ම පවත්වාගෙන යාමටත් අධිකරණය තීරණය කළා.

ඉකුත් 10 වැනි දා උදෑසන බම්බලපිටියේ සිට ගාලුමුවදොර දෙසට සැකකරු ධාවනය කළ මෝටර් රථය, ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරෙන් එහි රියදුරු මිය ගිය අතර අනතුර සිදු කරන ලද මෝටර් රථයේ රියදුරු ඩුබායි රාජ්‍ය වෙත පළා ගොස් සිටි අතර නැවත ඔහු දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා ෴


ඇප ලැබුණත් තිළිණි තවමත් බන්ධනාගාරයේ

(16.12.2022 – 20:12 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තිලිණි ප්‍රියමාලිට ගොනුකර තිබූ සියළු නඩුවලට අදාළව මේ වනවිට ඇප හිමිව තිබුණත්, එම කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

තිලිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන ඔවුන්ට එරෙහිව විභාග වූ නඩුවක් අද (16) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා ඔවුන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කළා.

කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් ආයෝජනය සඳහා යැයි පවසා මුදල් ලබාගෙන අගරු චෙක්පත් ලබාදෙමින් මහා පරිමාණ වංචා සිදුකළ බවට චෝදනා එල්ල වූ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වූ තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔක්තෝම්බර් මස 06 වැනිදායි.

ප්‍රියමාලිගේ අයථා ගනුදෙනුවලට ආධාර අනුබල දුන් බවට ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන නමැත්තියද නොවැම්බර් මස 04 වැනිදා අත්අඩංගුවට ගැනුණා.

තිළිණි ප්‍රියමාලිට එරෙහිව අධිකරණයේ නඩු 9 ක් විභාග වූ අතර ඉන් අටකට (8) මීට පෙර ඇප නියම වී තිබුණා.

අමෙරිකානු ඩොලර් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් ලබාගෙන ඒ සඳහා සහතිකයක් ලෙස ලබාදුන් චෙක්පත් අගරුවීමේ සිද්ධියකට අදාළව මෙතෙක් ඇප හිමි නොවූ නඩුව අද (16) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේදී කැඳවනු ලැබුවා.

ඒ සඳහා සැකකාරියන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කෙරුණු අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ දැඩි ඇප කොන්දේසි මත ඔවුන් මුදා හැරීමටයි.

ඒ, රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් මිලියනයක (10,00,000) ශරීර ඇප දෙකක් (2) මතයි.

එහිදී ඇපකරුවන්ගේ පදිංචි සහතික, වත්කම් සහතික ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙස නියෝග කර තිබෙනවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සිද්ධියට අදාළව විමර්ශන බොහෝ දුරට අවසන් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් තවත් ප්‍රකාශයක් පමණක් ලබා ගැනීමට නියමිතව ඇති බවද ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී අගරු වූ චෙක්පත් සඳහා ගෙවීමක් සිදු කරන්නේද යන්න අධිකරණය විසින් තිලිණි ප්‍රියමාලිගේ නීතිඥවරුන්ගෙන් විමසා තිබෙනවා.

එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පවසා ඇත්තේ ආයෝජනයක් සම්බන්ධ කරුණක් වන බැවින් තම සේවාදායිකාවගෙන් විමසා ඊට පිළිතුරක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එළැඹෙන ජනවාරි මස 11 වැනිදා නඩුව යළි කැඳවන ලෙසත් එදිනට විමර්ශන ප්‍රගතිය දන්වන ලෙසත් මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා ෴

+


වළක්වාගත හැකි මරණ ඉහළ යාමේ අවදානමක් ගැන අනතුරු ඇඟවිමක්

(16.12.2022 – 18:20 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසන්නේ, ඇස්ප්‍රින් ඖෂධය පවා නොමැතිවීම හේතුවෙන් බෝ නොවන රෝගීන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් මතුවී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින් වෛද්‍යවරයා පවසන්නේ, “ඇස්ප්‍රින් ඖෂධය දැන් මාස 4 ක සිට නැහැ. රුධිරය කැටිගැසීම අඩු කරන්න තමයි අපි මේ ඖෂධය භාවිත කරන්නේ. හෘද රෝගීන්ට, අංශභාගය සහිත රෝගීන්ට, දියවැඩියාව වැනි රෝගීන්ට මෙම ඖෂධය භාවිත කරනවා. ඇස්ප්‍රින් නැතිවුණාට පස්සේ මෙවැනි රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වෙලා. විශේෂයෙන්ම බෝ නොවන රෝගීන්.”

“ඒ වගේම වකුගඩු රෝගයට මාසිකව භාවිත කරන ඖෂධයකුත් මාස ගාණක් තිස්සේ සමහර තැන්වල නැහැ.”

“අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය නැති තත්ත්වයන් ද වාර්තා වෙනවා. සම්පූර්ණ රුධිර පරීක්ෂණ වැනි මූලික දෙයක්වත් කරගන්න බැරි තත්ත්වයකට පත්වෙලා.”

“සමහර තැන්වල ප්ලාස්ටර්වත් නැහැ. ඉතා බරපතළ තත්ත්වයක්. මේ නිසා රෝගීන්ට ප්‍රතිකාර කරන්න බැරි වෙලා. මේ නිසා ඉදිරියේ දී මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. අපි දිගින් දිගට ම මේ ගැන පැහැදිලි කළා. ආණ්ඩුව මැදිහත්වෙන ආකාරය ප්‍රමාණවත් නැහැ.”

“අපේ රටේ ලක්ෂ 30 ක් විතර ඉන්නවා බෝ නොවන රෝගීන්. ඔවුන් ශ්‍රම බළකායේ පිරිස්. ඔවුන්ගේ රෝග තත්ත්වයන් පාලනය නොවුණොත් ඔවුන්ට වැඩ කරගන්න බැරි වෙනවා. මේ තත්ත්වය ආණ්ඩුව හිතනවාට වඩා බරපතළයි.”

“ඒ වගේම අද වෙළෙඳපොලේ තිබෙනවා අනවශ්‍ය විටමින් වර්ග විශාල ප්‍රමාණයක්. ඒ සම්බන්ධයෙනුත් ආණ්ඩුව තීරණයක් ගන්න ඕනේ. ඖෂධ නොවන අත්‍යව්‍යශ නොවන ද්‍රව්‍ය ගැනත් මේ වෙලාවේ තීරණයක් ගන්න ඕනේ.” යනුවෙන් ෴


බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන සදුදා (19) සිට වසා දැමෙයි

(16.12.2022 – 17:15 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සදුදා (19) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (16) පස්වරු 04 සිට ලබන සදුදා (19) පස්වරු 04 දක්වා විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඉවත්වීමට සියලු නේවාසික සිසුන්ට අවස්ථාව ලබාදී ඇති බවයි එම විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි කියා සිටියේ.

මේ අතර නවක වද සිද්ධියකට අදාළව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය තලාවේ ධම්මික හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෝමාගම පොලිසිය විසින් සැකකාර හිමිනම අද (16) අත්අඩංගුවට ගත් බවයි.

පසුව එම හිමිනම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ෴


ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවල දී ‘ඉන්දීය රුපියල්’ භාවිත කිරීමට අවසර

(16.12.2022 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවල දී ඩොලර් සහ වෙනත් ප්‍රධාන විදෙස් මුදල් ඒකක වෙනුවට ‘ඉන්දීය රුපියල්’ භාවිත කළ හැකි යාන්ත්‍රණයකට ඉන්දියානු මහබැංකුව අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ‘වොස්ට්‍රෝ ගිණුම්’ 05 ක් විවෘත කිරීමට ඉන්දියානු මහබැංකුව අවසර ලබාදුන් බවයි විදෙස් මාධ්‍යය වාර්තා කළේ ෴


නොපෙනෙන දෑසින් ආර්ථික අර්බුදයට මුහුණ දෙන දොඩම්ගස් යායේ දිරිය මිනිසා

(16.12.2022 – 13:48 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙකු විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා.

නමුත් දෛවෝපගත සිදුවීම් හමුවේ එම දුෂ්කරතාවන් දෙගුණ තෙගුණ වූ පුද්ගලයින් ද විවිධ අවස්ථාවන් හී දී හමුවනවා.

එවැනි පසුබිමක සිය පවු‍ලේ වගකීම උරමත පැටවුණු දෑස් නො පෙනෙන දොඩම්ගස්යාය – පල්ලේපොළ ප්‍රදේශයේ පදිංචි දිරියවන්තයෙකු පිළිබඳ කතාවක් වාර්තා වනවා.

මෙ‍ලෙස ජීවිකාව උදෙසා පොල්ලෙලි ගැසීම සිදු කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු නෙවේ.

ඔහු උපතින් ම දෑස් නො පෙනෙන පුද්ගලයෙක්.

එම්.ජී. ගාමිණී නම් 45 හැවිදිරිදි මොහු ජීවත් වන්නේ සිය දෑස් නො පෙනෙන සහෝදරයාත් සමඟ යි.

ජයන්ත විමලසිරි නම් ඔහු පොල් ගස් නැග උපයන මුදලින් සිය පවුලටත් දෑස් නො පෙනෙන ගාමිණීටත් ශක්තියක් වුණා.

නමුත් කිසිසේත් නො සිතු පරිදි දෑස් නො පෙනෙන ජයන්ත පොල් ගසකින් ඇද වැටී හදිසි අනතුරකට ලක්වීමත් සමඟ ඔවුන් සියලු දෙනා කබලෙන් ලිපට ඇදවැටෙනවා.

අනතුරෙන් පසු දෙපයින් නැගීසිටීමට නො හැකි තත්ත්වයට පත්වූ ජයන්ත විමලසිරි නිවසේ ඇඳක් මත මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ අනුව ඔහුගේ පෙරපාසල් දියණියත්, පාසල් වයසේ පසුවන පිරිමි දරුවාත්, බිරිඳ සහ මවත් රැකබලා ගැනීමේ වගකීම පැවරෙන්නේ උපතින්ම දෘෂ්‍යාබාධිත එම්.ජී. ගාමිණි ජයසුරිය වෙත යි.

දෑස් නො පෙනුනත් මේ ධෛර්යවන්තයා ඒ සියලු අභියෝගවලට මුහුණ දෙමින් රැකියාවක නිරතවීමට තීරණය කරනවා.

සිදුවිය හැකි අනතුරුද පසෙකලා පොල්ලෙලි ගසා සුළු මුදලක් උපයා සිය පවුල හැකි උපරිමයෙන් රැකබලා ගන්නේ ඒ අනුව යි.


ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම් බවට විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

(16.12.2022 – 12:45 +0530 – hirunews.lk/sinhala)

ලබන ඉරිදා (18) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විශේෂ ආශිර්වාදාත්මක බෝධි පුජාවක් ඊයේ (15) පැවැත්වුනේ අනුරාධපුර රුවන්වැලි මහ සෑය පුජා භුමියේදියි.

එහිදී අදහස් දැක්වූ රුවන්වැලි සෑ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් කියා සිටියේ, දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කළ යුතු බවයි.

එසේම ඉගෙනීම දරුවන්ට ලබාගත හැකි හොඳම දායාදයක් බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *