ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් ජීවිතක්ෂයට පත් වෙයි (පහරදී ඝාතනය කෙරේ)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් ජීවිතක්ෂයට පත් වෙයි (පහරදී ඝාතනය කෙරේ)


ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් ජීවිතක්ෂයට පත් වෙයි (පහරදී ඝාතනය කෙරේ)

(15.12.2022 – 23:55 +0530 – hirunews.lk/sinhala)

පැහැරගෙන බරපතළ තුවාල සිදු කොට බොරැල්ල කනත්තේ මෝටර් රථයක දමාගොස් සිටිය දී හමු වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මීට ටික වේලාවකට පෙර මිග බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් පැහැර ගෙන ගොස් බොරැල්ල කනත්තේ දමා ගොස් තිබීය දී හමු වූ අතර සොයා ගන්නා අවස්ථාවේ බරපතල තත්ත්වයේ පසු වූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරුණා.

මිය යන විට 51 වැනි වියෙහි පසු වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්, මල් පාරේ පිහිටි සිය නිවසෙන් ඊයේ (14) දහවල් පිටත්ව ගොස් ඇත්තේ ණයහිමියෙකු මුණ ගැසීමට බව පවසමින් බවත් ඔහුගේ දුරකතනය ටික වේලාවකින් ක්‍රියාවිරහිත වී තිබුණු බව ද බිරිඳ පැවසුවා.

දුරකතනය හරහා ලැබුණු සංඥා අනුව එම දුරකතනය බොරැල්ල කනත්ත අසල ඇති බව අනාවරණය වීමෙන් සැක සිතූ බිරිඳ එහි පැමිණ පරික්ෂා කර තිබෙනවා.

එහිදී දැක ඇත්තේ දැඩි ලෙස පහර කෑමට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ දෑත් බැඳ ගෙල ද ප්ලාස්ටික් පටියකින් ගැට ගසා දමා ගොස් ඇති බවයි.

කෙසේ නමුත් පොලිසිය අදාල සිද්ධිය සම්බන්ධයෙන් සඳහන් කර සිටියේ සුසාන භූමිය තුළ දී ඔහු ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවයි ෴

++++++++++

+

අන්තරේ අරගලය අල කල හැටි ‘මෝටිවේෂන් අප්පච්චි’ කියයි …

(16.12.2022 – 03:11 +0530 – lankacnews.com)

මෙරට විශ්වවිද්‍යාල තුල වෙනම පාතාලයක් අද වන විට නිර්මාණය වී ඇති බව සමාජ ජාල ක‍්‍රියාකාරී ‘සංජු සමරසිංහ’ නොහොත් ‘මෝටිවේෂන් අප්පච්චි’ නැමැත්තා පවසයි.

විශ්වවිද්‍යාලය තුළ එම පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන්නේ ‘අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය’ බවත් අරගලයේ ඇතැම් ක්‍රියාකාරකම් මෙවැනි දේවල් සිදුවීමට බලපෑ බවත් ඔහු පෙන්වා දෙයි.

වසන්ත මුදලිගේ අත්අඩංගුවේ පසු වන්නේ තමන්ගෙ සාක්ෂියක් මත යන්න අසත්‍යයක් බව සඳහන් කරන සංජු සමරසිංහ ඔහුට තමන් අනුකම්පා කරන බවත් ඔහුව නිදහස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් කියා සිටී.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


‘අයිස්’වලට ගොදුරු වූ තරුණියකගේ සංවේදී හෙළිදරව්ව

(15.12.2022 – 19:33 +0530 – sinhala.adaderana.lk)

‘අයිස්’ වසංගතයට ගොදුරුවූ පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ (2) ශෝචනීය අත්දැකීම ‘අද දෙරණ’ ඊයේ (14) රටට අනාවරණ කළේය.

අද (15) හෙළිදරව්ව කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක අධ්‍යාපනය හැදෑරූ තරුණියක් ‘අයිස්’ වසංගතයට ගොදුරුවූ ආකාරය පිළිබඳවය.

පාසල් සිසු සිසුවියන්ගෙන් නොනැවතුණු ‘අයිස්’ වසංගතයේ තවත් ප්‍රධානතම ගොදුරක් බවට පත්වී ඇත්තේ, තරුණියන්ය.

එලෙස ‘අයිස්’ රකුසාගේ ගොදුරක් වූ, කොළඹ ප්‍රධාන කාන්තා පාසලක ඉගෙනුම ලද 22 හැවිරිදි තරුණියකගේ අනුවේදනීය අනාවරණයයි මේ,

“යාළුවෙක් එක්ක පාටියකට ගිහින් පුරුදු වුණේ. දැන් නම් ගොඩක් දුරට ඒකට ඇබ්බැහි වෙලා. මටත් ඕනේ මේකෙන් මිදෙන්න. හිතුවේ නැහැ මෙච්චර ලොකු දෙයක් වෙයි කියලා. මම හැමෝටම කියන්නේ කිසිම වෙලාවක මේක අත්හදා බැලීමටවත් ගන්න එපා කියලා.”

එමෙන්ම රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව දැඩිව ‘අයිස්’ වංගතය පැතිරෙන බවට රාත්‍රී සමාජ ශාලාවක සේවය කළ තරුණියක් ‘අද දෙරණ’ හමුවේ අනාවරණ කළාය.

“මම ක්ලබ් එකක වැඩ කළා. ඇතුලේ වැඩ කරන අය මේක පාවිච්චි කරන කොට තමයි දැක්කේ. දැනට අවුරුදු 2 කට කලින්. පොඩ්ඩ පොඩ්ඩ ඒකට ඇබ්බැහි වුණා. යාළුවෙක් තමයි මුලින්ම දුන්නේ. මේක පාවිච්චි කළාම. කන්න බැහැ. නිදිමතයි. ඇඟ දුර්වල වෙනවා. කටවල් තුවාල වෙනවා. දිව පැලෙනවා. උගුර සෙම වගේ බැඳෙනවා. ක්ලබ් එකේ ගොඩක් ගැහැණු අයනේ ඉන්නේ. එයාලා තමයි මේකට පුරුදු වුණේ. එතනට එනවා මේවා බිස්නස් කරන අය. මම නම් කියන්නේ මේක ගන්න එපා..අපිට අපිවම පාලනය කරගන්න බැහැ. කරන කියන දේ අපි දන්නේ නැහැ. මේක ලංකාවේ නැතිවෙලා යන්න ඕනේ.. වැඳලා ඉල්ලන්නේ..”

අයිස් වසංගතයට ගොදුරුවූ පුද්ගලයන්ගේ ස්වරූපයේ සිදුවන වෙනස්කම් පිළිබඳව විදෙස් මාධ්‍ය ඡායාරූප කිහිපයක් ඇසුරෙන් වාර්තාවක් ද ඉදිරිපත් කර තිබුණි.

මේ අතර හෙට (16) දිනයේදී අප අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සිදුකළ හෙළිදරව්වක් පිළිබඳව ‘අද දෙරණ’ තුළින් බලාපොරොත්තු වන්න.

+


කොල්ලකරුවන් දෙදෙනෙකු (2) මාංචු පිටින් පැන යයි

(15.12.2022 – 15:07 +0530 – sinhala.adaderana.lk)

අධිකරණයක් වෙත රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනෙකු (2) අත් මාංචු පිටින් පැනගොස් තිබේ.

පිළියන්දල පොලීසිය සඳහන් කළේ, කැස්බෑව අධිකරණය වෙත හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට රැගෙනවිත් සිටි “චුට්ටියා” සහ “චූටියා” නමැති කොල්ලකරුවන් දෙදෙනා (2) එලෙස අත් මාංචු පිටින් පළාගොස් ඇති බවය.

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7,000 ක මුදලක් කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාව (2) පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ දී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් දෙදෙනා (2) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදී මෙලෙස පළාගොස් ඇත.

කොල්ලකරුවන් රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයා රාජකාරි අවශ්‍යතාවයක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගිය අවස්ථාවේදී එහි සිටි සෙසු පොලිස් නිලධාරීන්ගේ ඇස් වසා කොල්ලකරුවන් දෙදෙනා (2) පළාගොස් තිබූ බව පොලීසිය කියයි.

එම කොස්තාපල්වරයා කොල්ලකරුවන් අසලින් ඉවත්වීමේදී ඔවුන් දෙදෙනා (2) බලාගන්නා ලෙස එහි සිටි සෙසු පොලිස් නිලධාරීන්ට දැනුම්දී තිබූ බවද වාර්තා වෙයි.

දමා තිබූ අත් මංචු පිටතට නොපෙනෙන ලෙස ඔහුන් ආවරණය කර තිබූ රෙද්දෙන් වසාගෙන ප්‍රධාන ගේට්ටුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ත්‍රීරෝද රථයක නැඟ සැකකරුවන් දෙදෙනා (2) පළාගොස් ඇති බවට පැවසෙයි. 

කොල්ලකරුවන් දෙදෙනා (2) පළායන අවස්ථාවේදී අධිකරණ පොලිස් මුරපොළේ පොලිස් සැරයන්වරයෙකු, කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) සහ පොලිස් කාන්තාවන් දෙදෙනකු (2) මෙන්ම ප්‍රධාන ගේට්ටුවේ අධිකරණ සේවකයෙකු ද රාජකාරියේ දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පළාගිය කොල්ලකරුවන් දෙදෙනාව (2) අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සහ බුද්ධි නිලධාරීන් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි පුෂ්පකුමාරගේ උපදෙස් මත පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි ෴


මව වෙනුවෙන් ජීවිතයම කැප කළ බෝසත් පුතා ‘තරුෂ’

(15.12.2022 – 13:59 +0530 – sinhala.adaderana.lk)

කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේ පදිංචි දාහත් (17) හැවිරිදි තරුෂගේ පියා හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් සිය දිවිසැරිය නිමකරන්නේ තරුෂ පෙරපාසල් යන අවධියේදීය.

තරුෂ ට සිටි එකම සොහොයුරා ද මීට වසර 5 කට පෙර ජීවිතක්ෂයට පත්වන්නේ හදිසි අනතුරක් හේතුවෙනි.

එතැන් පටන් දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුවත් තරුෂගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසවූ ඔහුගේ මවද දරුණු පිළිකා රෝගයක් හා ස්නායු රෝගයක් හේතුවෙන් ඔත්පල වී වන්නේ තරුෂගේ ලෝකය තවත් අඳුරට ඇද දමමිනි.

මේ අභියෝගයන්ගෙන් නොසැලී තරුෂ තම යුතුකම් නොපිරිහෙලා ඉටුකරමින් මවගේ වැඩකටයුතු සියල්ලක්ම සිය දෑතින්ම සිදුකරයි.

අධ්‍යාපනයට දැඩි ඇල්මක් දක්වන තරුෂ බාධාවන් රැසක් මධ්‍යයේ වුවත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව උසස් පෙළ හැදෑරීමට වරම් ලැබුවත්, තම මව රැකබලා ගැනීම වෙනුවෙන් සිය පාසල් ගමනද නවතා දමා තිබේ.

තරුෂ පවසන්නේ අසල්වාසීන් ලබාදෙන ආහාරවේලකින් එදාවේළ පිරිමහගන්නා බවය. 

අගහිඟකම් රැසක් මැද දිවිගෙවමින් සිය මව වෙනුවෙන් ජීවිතයම කැපකළ මේ බෝසත් පුතණුවන් සමාජයේ සියලුම දරුවන්ට ලබා දෙන්නේ උතුම් ආදර්ශයකි.

“ගෙදර ඉඳන් ජොබ් එකක් කරන ගමන් හරි කොහොම හරි අම්මව බලාගන්නයි මට ඉගෙන ගන්නයි සල්ලි තිබුණා නම් හොඳටම ඇති. එච්චරයි මම ඉල්ලන්නේ. අම්මට හොඳ වෙයි කියනවා. ඉතින් අම්මව හොඳ කරගෙන මට කෙලින් ජීවත් වෙන්න පුළුවන් විදියට සල්ලි කීයක් හරි තිබුණා නම් හරි.”

ඔවුන්ට උපකාරයක් කළ හැකි නම් 071 903 7495 දුරකථන අංකයට කතා කර සම්බන්ධ විය හැකිය.

++++++

මේ බෝසත් පුතාට පිහිටවී සසර කෙටිකර ගන්න.

ඔවුන්ගේ ලිපිනය :

ඒ. එම්. අමිතා ගුණවර්ධන මහත්මිය
කොටාගල හන්දිය
මඩාටුගම

දුරකථන අංකය : 071 903 7495

බෝසත් පුතාගේ බැංකු ගිණුම :

බැංකු ගිණුමේ අංකය :
890 54 310
89054310

බැංකු ගිණුමේ නම :
ඩබ්ලිව්. ජි. තරුෂ ගුණවර්ධන
W G Tharusha Gunawardhana
W G T Gunawardhana

බැංකුව සහ ශාඛාව :
ලංකා බැංකුවේ මඩාටුගම ශාඛාව
Bank Of Ceylon (BOC) – Madatugama

(එස්. කරුණාරත්න විසින්) (07-12-2022 – ada.lk)


දක්ෂිණ අධිවේග මාර්ගයේ ලොරියක් පෙරළෙයි

(15.12.2022 – 10:01 +0530 – sinhala.adaderana.lk)

කුරුඳු දර පටවාගෙන දක්ෂිණ අධිවේග මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේ පෙරළීයාමෙන් එම ලොරි රථයට බරපතළ අලාභ සිදුවී ඇතැයි අධිවේග රථ වාහන පොලීසිය කියයි.

මාතර, මිද්දෙනිය ප්‍රදේශයේ සිට තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ආයතනයකට කුරුඳු දර රැගෙන එමින් සිටියදී එම ලොරි රථයේ දකුණු පස පිටුපස රෝදය පිපිරීයාමෙන් එම ලොරිය පෙරළී මීටර් දහයක් (10) පමණ ඉදිරියට ඇදීගොස් ආරක්ෂිත වැටෙහි ගැටී නතර වී තිබුණි.

අනතුර වන අවස්ථාවේ ලොරි රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහුට තුවාල සිදුවී නොමැත.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *