අරගලයට මුවා වී ජගත් ත්‍රස්ත කණ්ඩායම් හරහා විශාල මුදල් ජාවාරම් වෙලා – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් උසාවියට කියයි

අරගලයට මුවා වී ජගත් ත්‍රස්ත කණ්ඩායම් හරහා විශාල මුදල් ජාවාරම් වෙලා – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් උසාවියට කියයි


අරගලයට මුවා වී ජගත් ත්‍රස්ත කණ්ඩායම් හරහා විශාල මුදල් ජාවාරම් වෙලා – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් උසාවියට කියයි

(14.12.2022 – dinamina.lk)

අරගලයට මුවා වී ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම් හරහා මුදල් විශාල ලෙස සංසරණය වී ඇති බවත්, අරගලය අත්පත් කර ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා පෙරටුගාමීන් ප්‍රචණ්ඩත්වය මුදා හැරි බවත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවේ කරුණු දැක්වීය.

වසන්ත මුදලිගේ යන සැකකරු සම්බන්ධයෙන් පැහැදිලිවම ත්‍රස්තවාදී පනත ප්‍රකාරව සාක්කි අනාවරණය වී ඇති බව පැවසූ දිලීප පීරිස් මහතා අරගලයේ සිටි ‘මෝටිවේෂන් අප්පච්චි’ හෙවත් ‘පියුමල් සමරසිංහ’ යන අය ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් අරගලය සාමකාමීව තිබූ බවත් එහෙයින් යම් සමාජ මතයක් ගොඩනැඟූ අතර, පසුව එකී පාලනය පෙරළා දමන්න ක්‍රියා කළත් පසුව අන්තරේ හා පෙරටුගාමීන් අරගලය පැහැරගෙන ප්‍රචණ්ඩත්වය මුදා හැරි බවට සාක්කිකරු පවසා ඇති බව සඳහන් කළේය.

තවද බස් සංගම් සභාපති ‘ගැමුණු විජේරත්න’ මහතාගෙන් ද ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව සඳහන් කළ දිලීප පීරිස් මහතා වසන්ත මුදලිගේ විසින් තමන්ට දුරකතන ඇමතුමක් ලබා දෙමින් අරගලයේ පිරිස් ප්‍රවාහනය සඳහා බස් ඉල්ලා තිබූ අතර, ඒ සඳහා තමන්ට ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් මුදල් ලබා දෙන බව පැවසූ බවට ප්‍රකාශයක් ලබා දී ඇති බව සඳහන් කළේය.

‘අරගලය හොඳයි, ආණ්ඩු පෙරළන්න ඕනේ, දේශපාලනඥයන් ගෙදර යවන්න ඕනේ, ඒ සඳහා ක්‍රියාවලියක් තිබෙනවා. මොවුන් සිදු කර ඇත්තේ අන්තවාදී ප්‍රචණ්ඩත්වය මුදා හැර පොදු දේපළවලට හානි සිදු කිරීම යි. ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් විමර්ශනය සිදු කරන්නේ යැයි සඳහන් කළ දිලීප පීරිස් මහතා ඉකුත් 12 වන දින උදේ අධිකරණය ඉදිරිපිට විශාල පිරිසක් බෝඩ් අල්ලාගෙන ඔල්වරසම් දෙමින් රැස්ව සිටි බවත් සැකකරු බන්ධනාගාරයට රැගෙන යන අතරතුරදී පිරිස අමතා “ජනතා ප්‍රශ්න කතා කරනවා නම් මම ත්‍රස්තවාදියෙක් වෙන්න සූදානම්” බවට වසන්ත මුදලිගේ ප්‍රකාශයක් කරමින් ඔහුම තමන් ත්‍රස්තවාදියකු බවට පිළිගෙන ඇති බව පැවසීය.

බැලූ බැල්මට විශාල මුදල් ආයෝජනයක් සිදුව ඇති බවත් මෙම සංකීර්ණ පරීක්ෂණය සඳහා කාලය අවශ්‍ය බවත් ඉදිරි නඩු දිනයට පෙර සැකකරු සම්බන්ධ නීතිපතිවරයාගේ ස්ථාවරය ලබා දීමට කටයුතු කරන බවට හෙතෙම අධිකරණය හමුවේ සඳහන් කෙළේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසුවේ ත්‍රස්තවාදී පනත අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ පැහැදිලි ලෙස සැකකරු සිදු කළ වරද සඳහන් කර නොමැති බවත් අධිකරණය සෑහීමකට පත් වන ආකාරයේ නිශ්චිත වරදක් අනාවරණය කර නොමැති බවත් සඳහන් කළේය.

පොල්දූව මංසන්ධියේ විරෝධතාව, අරලියගහ මන්දිරය අසල විරෝධතාව, ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාව, ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළු වීම, කොටුව දුම්රිය ස්ථානයේ විරෝධතාව ඇතුළු විරෝධතාවන් සම්බන්ධයෙන් එකී පොලිසි වෙන වෙනම අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් එකී සිද්ධීන්වලට පමණක් මෙම සැකකරු ත්‍රස්තවාදී පනත යටතේ ඉදිරිපත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බව සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

මෙම අරගලය අනුමත කළ පුද්ගලයන් සිටි බවත් එසේ නම් ඔවුන්ට විරුද්ධව නීතිය අනුව ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපති මන්දිරයට අයුතුව ඇතුළු වූ අයට පවා අද රජයේ පත්වීම් ලබා දී ඇති අතර, පුද්ගලයන් තෝරා බේරා මෙසේ නීතිය අවභාවිත කරන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා කූට ලෙස අධිකරණය වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට ඉඩ නොතබන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පළමු සැකකරුට ඇප ලබා දීමටත් මෙම සැකකරුට ඇප ලබා නොදීමටත් සුවිශේෂී කරුණ කිමක් දැයි පැමිණිල්ලෙන් විමසා සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ගොනු කර තිබෙන බී වාර්තාව අනුව සැකකරු රඳවා සිටීම නීති විරෝධී බැවින් ඔහු මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල අමතා සඳහන් කරනු ලැබුවේ මෙම නඩුවේ මුල සිටම අධිකරණය ක්‍රියාකාරීව සිටි බවත් අසනීප තත්ත්වයේ සිටි හිමිනමට ඇප දීම සඳහා ද අධිකරණය මැදිහත් වූ බවය.

අරගලය සඳහා 1000 ක් පිරිස සිටිය ද එහි නායකත්වය ගැනීමටත් පුද්ගලයකු සිටිය යුතු බවත් ත්‍රස්තවාදී පනත හා පොදු දේපළ පනත අනුව විවිධ පුද්ගලයන් මීට වඩා ප්‍රකාශ නිකුත් කරන අවස්ථා තිබෙන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය සිය හෘද සාක්කියට අනුව සිතා බලා සැකකරු සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත නියෝග කළාය.

තවද සැකකරු සමඟ පුද්ගලික අමනාපයක් ඇද්දැයි ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියාගෙන් විමසා සිටි මහේස්ත්‍රාත්වරිය ස්ථාන කිහිපයකදී එකම අවස්ථාවකදී ප්‍රචණ්ඩත්වය සැකකරුට පමණක් මුදා හැරීමට නොහැකි බවත් විශාල පිරිස් සහභාගි වූ මෙම අරගලය සම්බන්ධයෙන් එක් අයකුට පමණක් චෝදනා කිරීම සුදුසු නොමැති බව පෙන්වා දෙමින් සැකකරු ලබන ජනවාරි 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදිනට සාධාරණ තීන්දුවක් ලබා දෙන ලෙසට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත නියම කළාය.

බන්ධනාගාරය විසින් වසන්ත මුදලිගේ වන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අතර, ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නුවන් බෝපගේ, මොහොමඩ් නසාර් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ ෴

+++++++

‘මෝටිවේෂන් අප්පච්චි’ හෙවත් ‘පියුමල් සමරසිංහ’

+++++++++

+++++++++

+


පේරාදෙණි ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් වර්ජනයක

(14.12.2022 – 10:42 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් අද (14) සිට ලබන 18 වනදා දක්වා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම දින කිහිපය තුල ශාස්ත්‍ර පීඨයේ සිසුන්ට අධ්‍යයන කටයුතු සිදු නො කෙරෙන අතර ආචාර්යවරුන්ට පවතින ආරක්ෂාව ප්‍රමාණවත් නො වීම මෙම වර්ජනයට හේතුව වී ඇති බව සඳහන්.

වර්ජනය සම්බන්ධයෙන් ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ලිඛිත ව දැනුම්දීමක් ද සිදු කර තිබෙනවා ෴


කොල්ලුපිටියේ රිය අනතුරේ දී මහමග බිම දමා කතකට පහර දුන් තැනැත්තිය අත්අඩංගුවට

(14.12.2022 – 20:55 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා කොල්ලුපිටියේ සිදු වූ රිය අනතුරට සම්බන්ධ රථයෙහි ගමන් කළ කාන්තාවට පහර දුන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (14) පස්වරුවේ පානදුර ප්‍රදේශයේදියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම තැනැත්තිය එදින සිදුවීමේ දී මහමග කාන්තාවකට අමානුෂික අයුරින් පහරදුන් ප්‍රධාන තැනැත්තිය බවයි.

කොල්ලුපිටිය පෞද්ගලික බැංකුවක් අසල දී බීමතින් රිය පැදවූ අධිසුඛෝපභෝගී බෙන්ස් රථයක් කුලී ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රියෙහි රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

මෝටර් රථයේ ආ කාන්තාවන් දෙදෙනකු (2) තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර, තවත් තැනැත්තියකට එම ස්ථානයේ සිටි කාන්තාවන් විසින් අමානුෂික අයුරින් බිම දමාගෙන පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වුණා.

එම සිද්ධිය සම්බන්ධයෙනුයි මෙම සැකකාරිය පොලිස් අත්අඩංගුවට පත්වුණේ.

අනතුරින් පසුව මෝටර් රථය පදවාගෙන ආ රියදුරු පලා ගොස් එදින සවස් වරුවේ දී ම ඩුබායි රාජ්‍යය බලා යන ගුවන් යානයකින් මෙරටින් පලා ගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

කෙසේ වෙතත් යළිත් ඔහු පසුදින පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ දී ගුවන් තොටුපල පරිශ්‍රයේ දී පොලිස් අත් අඩංගුවට පත් වුණා ෴


දකුණේ නමගිය අපරාධකරුවන් 9 ක් රට පනී – මාස හයට වෙඩි තැබීම් 16 ක් – අජිත් රෝහණ

(14.12.2022 – 20:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජුනි මස පළවැනිදා සිට දෙසැම්බර් 14 දක්වා දකුණු පළාතේ වෙඩි තැබීමේ සිද්ධීන් පමණක් 16 ක් වාර්තා වී ඇති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එමෙන්ම දකුණු පළාතේ පමණක් නමගිය අපරාධකරුවන් 9 දෙනෙකු පමණ විදෙස් ගත වී ඇති බවද ඔහු කියා සිටියා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ ගාලු දිසා අපරාධ කොට්ඨාසය අද (14) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

+


60 න් විශ්‍රාම ගැන්වීමේ තීන්දුව ගැන අධිකරණයෙන් දුන් නියෝගය

(14.12.2022 – 19:11 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන ඇති තීරණය ‘විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන්’ සම්බන්ධයෙන් පමණක් ජනවාරි මස 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා.

විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම අද (14) සලකා බැලූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මූලික විරෝධතාවක් මතු කරමින් මෙය රාජ්‍ය සේවා කොමිසම විසින් ක්‍රියාත්මක කරන තීරණයක් බැවින් ඒ පිළිබඳ කරුණු සලකා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව සඳහන් කළා.

කෙසේ වෙතත් කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ජනවාරි මස 24 වනදා දක්වා කල් දැමීමටයි තීන්දු කෙරුණේ.

ඉන් අනතුරුව ජනවාරි මස 25 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් ඔක්තෝබර් මස 17 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවයි.

මෙය අත්තනෝමතික මෙන්ම අසාධාරණ තීන්දුවක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් විශේෂඥ වෛද්‍යවරුන්ට අවම වශයෙන් අවුරුදු 63 දක්වා සිය සේවය කිරීමට අවස්ථාව තිබිය යුතු බවත් පවසනවා.

එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ එම අත්තනෝමතික තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ෴


මෙක්සිකෝවෙන් මෙරටට ආ අයිස්

(14.12.2022 – 18:49 +0530 – hirunews.lk/sinhala)

මෙක්සිකෝවේ සිට මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට බෑගයක් තුළ සඟවා සූක්ෂ්මව එවූ Methamphetamine හෙවත් ‘අයිස්’ මත්ද්‍රව්‍යය ග්‍රෑම් 650 ක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පාර්සලය කුරියර් මාර්ගයෙන් පැමිණ ඇති බවයි රේගුව පැවසුවේ.

අදාළ පාර්සලය රැගෙන යාමට සැකකාර පුද්ගලයා පැමිණ ඇති අතර, එම අවස්ථාවේ දී ඔහුව රේගුව භාරයට ගැනුණා.

මෙම මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් මිලියන 13 ක් පමණ වන බවයි රේගුව සඳහන් කළේ.

මෑත ඉතිහාසයේ මෙක්සිකෝවේ සිට පැමිණ අත්අඩංගුවට ගන්නා ලද පලමු Methamphetamine තොගය ද මෙය වනවා ෴


රුපියල් කෝටි 33 කට අධික හෙරොයින් තොගයක් මුල්ලේරියාවෙන් මතුවෙයි

(14.12.2022 – 17:06 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළොන්නාව – අංගොඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම මෙහෙයුමේ දී එම නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බළකායේ මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ලද තොරතුරුකට අනුව සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ ලොක්කගේ ප්‍රධාන ගෝලයෙක් වන මේ වනවිට සැඟව සිටින ‘ජිලේ’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් බවට මූලික විමර්ශනවල දී සොයාගෙන තිබෙනවා.

රුපියල් කෝටි 33.5 ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 12 ආසන්න මෙම හෙරොයින් තොගය සොයා ගැනුණේ මුල්ලේරියාව බාරොන් තිලකානන්ද මාවතේ නිවසකින්.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයට ලැබුනු තොරතුරක් මත විශේෂ කාර්‍ය බලකායේ විශේෂ මෙහෙයුම් 1 හා 3 සහ මූලස්ථාන කඳවුරේ නිලධාරින් විසින් මෙමෙ මෙහෙයුම සිදුකළා.

මෙම හෙරොයින් තොගය සමග ‘සලීම් තුවාන්’ සහ ‘රොශාන් රවිදු ඩිල්ශාන්’ යන පුද්ගලයින් දෙදෙනා (2) ද සැකපිට අත්ඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව හෙරොයින් තොගය ප්‍රවාහනයට භාවිතා කලායැයි සැකපිට ත්‍රීරෝද රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හා හෙරොයින් තොගය ඉදිරි විමර්ශන කටයුතු සදහා අංගොඩ පොලීසියට භාරදීමට නියමිතයි.

+


+


සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225 කින් බසියි

(14.12.2022 – 15:26 +0530 – hirunews.lk/sinhala)

අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව ඒ අනුව, ඉන්සී, සංස්ථා සහ ඉන්සී මහවැලි මෙරීන් ප්ලස් සිමෙන්ති කොට්ටයක නව මිල වනුයේ රුපියල් 2750ක්.

මීට පෙර එම සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975ක් ලෙසයි.


ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු උපකාරක පන්ති තහනම්

(14.12.2022 – 15:00 +0530 – hirunews.lk/sinhala)

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති හා සම්න්ත්‍රණ පැවැත්වීම අද(14) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ලබන 18 වැනිදා පැවැත්වෙන 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බවයි.

ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රි 12 සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු පැවැත්වීම සහ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වෙනවා.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම ද සම්පුර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි. ධර්මසේන පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *