ඇමරිකානු ඩොලරයට කොක්ක ගැසීමට මාන බලන ඉන්දීය රුපියල

ඇමරිකානු ඩොලරයට කොක්ක ගැසීමට මාන බලන ඉන්දීය රුපියල


ඇමරිකානු ඩොලරයට කොක්ක ගැසීමට මාන බලන ඉන්දීය රුපියල

(12.12.2022 – 09:31 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව ශ්‍රී ලාංකික පුරවැසියන්ට භෞතික ස්වරූපයෙන් ඇමරිකානු ඩොලර් 10,000 සමාන ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් (ඉන්දියානු රුපියල් ලක්ෂ 8.14) සිය සන්තකයේ තබා ගැනීමට පසුගියදා අවසර ලබාදුන්නා.

එම අවසරයත් සමග අසල්වැසියාගේ මුදල් ඒකකය, ලොව වෙනත් රටවල මුදල් බවට පරිවර්තනය කිරීමට මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබෙනවා.

එය අන්තර්ජාතික වෙළඳාමේ සිරවී ඇති ස්ථාන සක්‍රීය කරවීමට පැහැදිලි උපකාරයක්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහබැංකුව තවමත් ඉන්දීය රුපියල මෙරට පිළිගත් විදේශ මුදල් ඒකකයක් ලෙස නම් කර නැහැ.

දැනට ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ මුදල් ඒකක 15 ක් ඇති අතර ඔස්ට්‍රේලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, කැනේඩියානු ඩොලර්, ස්ටර්ලින් පවුම්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, යුරෝ, ස්විස් ෆ්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාට්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලර් සහ නවසීලන්ත ඩොලර් එලෙස නීත්‍යානුකූල විදේශීය ව්‍යවහාර මුදල් ඒකක ලෙස සැලකෙනවා.

ඉන්දීය ජනමාධ්‍ය ආනාවරණය කර ඇති ආකාරයට, ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියානු රුපියල් සිය සන්තකයේ තබා ගැනීම සඳහා, මෙරට බැංකු පද්ධතිය තුළ ප්‍රථමයෙන් ඉන්දියානු පාර්ශ්වය සමග ඒකාබද්ධව ඊට අදාළ ‘නොස්ට්‍රෝ ගිණුම්'(Nostro Accounts) විවෘත කළ යුතුයි.

‘නොස්ට්‍රෝ ගිණුම්’ යනු ද්විපාර්ශ්වික වෙළඳාම සහ අනෙකුත් මූල්‍ය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සඳහා විදේශීය බැංකුවක් සමඟ අදාළ රටේ බැංකුවක් විසින් විවෘත කරන ලද සහ එම විදේශ රටක මුදලින් විවෘත කරන ලද ගිණුම් වනවා.

මීට අමතරව, ඉන්දියාවේ වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් තැන්පතු භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා බැංකුවල විදේශීය ශාඛා ඉන්දියාවේ පිහිටුවීම සඳහා ද මෙමගින් අවසර හිමිවනවා.

මීට අමතරව ශ්‍රී ලාංකික සිසුන්ට සහ සංචාරකයින්ට පහසුවක් ඇති කිරීම සඳහා ඉන්දියාව තවදුරටත් මුදල් රෙගුලාසි ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව, ඔවුන්ට දැන් විදේශ ගමන් දීමනාව ලෙස ඉන්දියානු රුපියල් වලින් ඩොලර් 5,000 දක්වා මුදල් ලබා ගත හැකියි.

ඒ අනුව ඉන්දියාව මෙලෙස සිය මුදල් ඒකකය සම්බන්ධයෙන් ලබා දී ඇති නව අනුමැතියෙන් අදහස් වන්නේ, ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති ඉන්දීය රුපියල්, ඉදිරියේ දී ඉන්දියාව සමග සිදු කරන සියලුම ආකාරයේ ආනයන අපනයන ඇතුළු වෙළඳ ගනුදෙනු වෙනුවෙන්, එක්සත් ජනපද ඩොලරය වෙනුවට භාවිත කළ හැකි බවයි.

මෙය ශ්‍රී ලංකාව මුහුණදී සිටින දැවන්ත ආර්ථික අර්බුදය හමුවේ මෙරට මුහුණ දී සිටින විදේශ විනිමය ද්‍රවශීලතා අර්බුදයට විශාල සහනයක් වන බවට සැක නැහැ.

2021-2022 මුල්‍ය වර්ෂයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම එක්සත් ජනපද ඩොලර් බිලියන 6.81 ක් වුණා.

ඉන්දියානු රුපියල (INR) ලොව පුරා සිටින ඉන්දීය වෙළඳ හවුල්කරුවන් විසින් පිළිගත් අන්තර්ජාතික මුදල් ඒකකයක් ලෙස හඳුන්වා දීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාව දැනටමත් ලොව 05 වන විශාලතම ආර්ථිකය වන අතර, ආර්ථිකය තවදුරටත් වර්ධනය වන බැවින් එය ගෝලීය මුදල් ඒකකයක් බවට පත්වීමට වැඩි කාලයක් ගතවේයැයි සිතිය නොහැකියි.

ඉන්දියානු සංචිත බැංකුව සහ විදේශ කටයුතු සහ වාණිජ අමාත්‍යාංශ ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ ආයතන දැනටමත් එක්සත් ජනපද ඩොලරය වෙනුවට ඉන්දියානු රුපියල් භාවිතා කරමින් අන්තර්ජාතික වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදු කරගෙන යනු ලබනවා.

එම සාකච්ඡාවලට සමගාමීව ඉන්දීය රුපියල ගෝලීය මුදල් ඒකකයක් බවට පත් කිරීමේ කඩිනම් ඉදිරි පියවරක් ලෙස ‘රුපියල් වෙළඳාම’ පිළිබඳව සාකච්ඡා කරන්නැයි අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින ලෙස ඉන්දීය මූල්‍ය පාලකයන් වාණිජ බැංකුවලට දන්වා තිබෙනවා.

මේ වන විට මහින්ද්‍රා මෝටර්ස් ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාගම් කිහිපයක් සහ සංචාරක ක්ෂේත්‍රය ද ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල පිළිගන්නා ලෙස ඉල්ලා ඇත්තේ (භාවිතයට ගැනීමේ හැකියාව සලසන ලෙස) ඒ අනුවයි.

අනෙක් අතට, ඉන්දියාවේ මෙම තීරණය ආසියානු රටවල් අතර ඉන්දීය රුපියල ප්‍රචලිත කිරීමට සහ එක්සත් ජනපද ඩොලරය මත යැපීම අඩු කිරීමට දරන උත්සාහයන් සමඟ ද සමපාත වනවා.

දේශසීමා හරහා සිදුකෙරෙන ගෙවීම් සඳහා පහසුකම් සපයන SWIFT නම් මූල්‍ය පණිවුඩකරණ පද්ධතිය තවදුරටත් භාවිත කිරීමට එක්සත් ජනපදය සහ බටහිර රටවල් රුසියානු බැංකුවලට අවසර ලබා නොදෙන පසුබිමක පසුගිය ජූලි මාසයේදී ඉන්දියාව සහ රුසියාව එක්ව ඉන්දීය රුපියල දෙරට අතර ගෙවීම් මාධ්‍යයක් ලෙස ස්ථාපනය කරනු ලැබුවා.

දැන් මෙම නව යාන්ත්‍රණය විසින් ඉන්දියානු රුපියල්වලින් ගෝලීය වෙළඳාම පියවීමට ඉඩ සලසන පියවර ක්‍රමානුකුලව වර්ධනය කරමින් තිබෙනවා.

චීනය බොහෝ නිෂ්පාදන අපනයනය කරන නිසා ‘චීන යුවාන්’ සැලකිය යුතු ලෙස ගෝලීය වෙළඳාමේ අන්තර්ජාතික මුදල් ඒකකයක් බවට පත්වෙමින් තිබෙන අවස්ථාවක ඩොලරයට අමතරව, චීනයට තරගයක් ලබාදිය හැක්කේ, ඉන්දියාව වැනි නිෂ්පාදකයෙකු ලෙස ප්‍රබල වුවහොත් පමණක් වන නිසා ඉන්දීය රුපියල ගෝලීය වෙළඳපොලට පැමිණීම භූ දේශපාලනිකව ද වැදගත් වනු ඇති.

එහිදී ඉන්දීය රුපියල ආරක්ෂිත වත්කමක් ලෙස අන්තර්ජාතිකකරණය කිරීමට රටේ ආර්ථිකයේ ප්‍රමාණය ඉතා වැදගත් වන අතර ලොව පස්වැනි (5) විශලතම ආර්ථිකය හිමි ඉන්දියාවට එම නිර්ණායකය සැපිරීම එතරම් අපහසු නැහැ.

අනෙක් අතට ඉන්දීය රුපියල පිළිගනු ලබන වෙනත් රටවල් සංඛ්‍යාවද ඉහල යායුතු අතර මේ වන විටත් නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින වැනි සමහර අසල්වැසි රටවල ඉන්දියානු රුපියල අවිධිමත් ලෙස පිළිගනු ලබනවා.

එය සිම්බාබ්වේහි නීත්‍යානුකූල විදේශ ණය ගෙවීමේ මාධ්‍යයක් ලෙස පවා පිළිගැනීමට ලක්ව තිබෙනවා.

ඒ අනුව දෙවැනි (2) නිර්ණායකය ද ඉන්දියාව විසින් සපුරාලමින් සිටින බව පැහැදිලියි ෴


උකුසු ඇසට හසුවූ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවකවදය

(12.12.2022 – 20:10 +0530 – sinhala.adaderana.lk)

රජයේ විශ්වවිද්‍යාලවලදී නවක සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදුවන නවකවදය මේ වන විට සරසවි පද්ධතියේ බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ.

එවන් පසුබිමක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේට ද එම ඉරණමට මුහුණපාන්නට සිදුව ඇති බව ‘අද දෙරණ උකුස්සා’ට වාර්තා විය.

තොරතුරු හෙළිකළ භික්ෂුව සඳහන් කළේ මේ පිටුපස වාමාංශික දේශපාලන පක්ෂ දෙකක් (2) සිටින බවය.

මෙය සිදුව ඇත්තේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේය.

1982 අප්‍රෙල් 22 වැනිදා පූජ්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමියන් විසින් මෙම විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට මූලිකත්වය ගනු ලැබුවේ බෞද්ධ දර්ශනය මෙරට තුළ මෙන්ම විදෙස් රටවලටත් ව්‍යාප්ත කිරීමට හැකි ගිහි සහ පැවිදි ධර්මදූත පිරිසක් නිර්මාණය කිරීමේ අරමුණිනි.

කෙසේවෙතත් මෙම උතුම් අරමුණ කෙලෙසමින් රජයේ සෙසු විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක නවකවදය මෙම විශ්වවිද්‍යාලය තුළත් ක්‍රියාත්මක කිරීමට අමනයන් කණ්ඩායමක් මේ වන විට පෙරමුණ ගෙන සිටි.

මේ සම්බන්දයෙන් ‘අද දෙරණ’ට අදහස් දැක්වූ හිමිනම වැඩිදුරටත් පැවසුවේ නවක සිසුන්ව නිරුවත් කරමින් ලිංගික අඩත්තේට්ටම් කිරීමට පවා ජෙෂ්ඨ සිසුන් ක්‍රියාකරන බවය.

එමෙන්ම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ නේවාසිකාගාරවල රැඳී සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාකලාපය නිසා පීඩාවට පත් ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කිරීමෙන් පසු ඒ ගැනසොයා බැලීමට පාලනාධිකාරියේ හිමිවරුන් නේවාසිකාරගාරයක් වෙත පසුගියදා වැඩම කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති පූජ්‍ය ඉලුකේවල ධම්මරතන හිමියන්ගෙන් විමසීමක් කළේය.

එහිදී උන්වහන්සේ පැවසුවේ ඊට සම්බන්ධ සිසුන් කිහිපදෙනෙකුට පංති තහනමක් සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවත්ය.

+


ප්‍රධාන බැංකු පහකට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දඩ

(12.12.2022 – 23:14 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය පනත් කඩ කිරීම හේතුවෙන් ප්‍රධාන බැංකු පහකින් මිලියන 10.75 ක දඩ මුදලක් අය කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව සහ එන්.ඩී.බී. බැංකුව යන බැංකුවලට මෙලෙස දඩ නියම වී ඇති බව සඳහන්.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ නිවේදනයකට අනුව 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව යි මෙම මහ බැංකුව මඟින් මෙම දඩ නියම කර ඇත්තේ.

මූල්‍ය ආයතනයක් විසින් සිදු කරනු ලබන අක්‍රමිකතාවල ස්වභාවය හා බරපතළකම සැලකිල්ලට ගනිමින් මහ බැංකුව මෙම තීරණ ගෙන තිබෙනවා.

මම දඩ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති බව ද මහ බැංකුව වාර්තා කරනවා.


වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම

(12.12.2022 – cbsl.gov.lk)

විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇත.

එබැවින්, නිසි පරීක්ෂාවකින් තොරව ඉහත ආකාරයේ තොරතුරු මත පදනම්ව නොදන්නා පාර්ශ්වයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට අවධාරණය කර සිටී. 


පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිද්ධියට සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට

(13.12.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව සරසවි සිසුන් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුන් පොලිසිය වෙත භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23 සහ 25 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් නිට්ටඹුව, ගිරිතලේ, මාතලේ සහ හේන්ගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම සිද්ධියට අදාළව තවත් සිසුන් 6 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාමත්කයි.

පහර දීමට අදාළව ඊයේ (12) සරසවි සිසුන් 12 දෙනෙකු හඳුනා ගත් අතර ඔවුන්ගේ ශිෂ්‍යභාවය ද අහෝසි කෙරුණා ෴

+


කොල්ලුපිටිය රිය අනතුරෙන් පසු පලාගිය රියදුරු අත්අඩංගුවට

(13.12.2022 – 08:07 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කොට ඩුබායි වෙත පලා ගිය සැකකාර තරුණයා අද (13) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු ඩුබායි සිට යලි මෙරටට පැමිණීමෙන් අනතුරුවයි.

පසුගිය 10 වන දා උදෑසන 06:30 ට පමණ බම්බලපිටියේ සිට ගාලුමුවදොර දෙසට සැකකරු ධාවනය කළ මෝටර් රථය, ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටී සිදු වූ අනතුරෙන් එහි රියදුරු මියගොස් තිබුණා.

එහි දී මෝටර් රථය පැදවූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ‘මොහොමඩ් රසුල් මොහොමඩ් රිෂාක්’ අනතුරින් පසු එදිනම උදෑසන 09:55 ට පමණ මෙරටින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබූ බවයි පසුව අනාවරණ වුණේ.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා මේ වන විට කොල්ලුපිටිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා ෴


ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

(13.12.2022 – 09:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (13) පෙරවරුවේ ඔහු අභාවපාප්‍රාප්ත වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

සිය නිවසෙහි සිටියදී සිදු වූ හදිසි අනතුරකින් නිහාල් නෙල්සන් ගායන ශිල්පියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වර්ෂ 1946 ජනවාරි මස 09 වැනි දින මොරටුවේ දී නිහාල් නෙල්සන් මෙලොව එළිය දුටුවා.

ඔහු අධ්‍යාපනය ලැබුවේ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයෙන් හා මොරටු මහා විද්‍යාලයෙන් .

සිංහල සංගීත ලොවේ බයිලා ගායකයෙකු ලෙස කරළියට පැමිණි නිහාල් නෙල්සන්, ගැයූ ජනප්‍රිය ගීත අතර “කිරි දුන්නේ දරුවන්ටයි, කාවඩි බයිලා, ලස්සනට පිපුණු වනමල්, කරුණා සුවඳ, සල්ලි මිටි ගණන්” ආදී ජනප්‍රියතම ගී රැසක් ඔහුගේ හඬින් ගැයුණා.

අභාවප්‍රාප්ත වන විට ගායන ශිල්පී නිහාල් නෙල්සන් 76 හැවිරිදි වියෙහි පසුවූවා.

+++++++++++

බයිලා ගීත කලාවේ රජු ලෙස මෙරට සුවහසක් සංගීත ලෝලීන් අතර ජනාදරයට පත්ව සිටි ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වුණා.

අද (13) අලුයම රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී මිය යන විට ඔහු 76 වන වියේ පසුවුණා.

මොරටුවේ වෙළද ව්‍යාපාරිකයෙක් වූ, ජී. ඩී. හෙන්ද්‍රික් මහතාට සහ ඉංග්‍රීසි ගුරුවරියක් වූ , හේමා වීරවර්ධන යුවලට දාව , එම පවුලේ එකම දරුවා ලෙස නිහාල් නෙල්සන් උපත ලබන්නේ, 1946 වර්ෂයේ ජනවාරි 09 වන දිනයි.

රාවතාවත්තේ රෝමානු කතෝලික පාසැලට මූලික අධ්‍යාපනය සඳහා පිවිසෙන ඔහු, පසුව මොරටු විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යාපන කටයුතුවල නිරත වුණා.

පාසැලේ පන්ති කාමරයෙන්ම සංගීතයට අත්පොත් තබන ඔහු , 1962 වර්ෂයේ දී එනම් ඔහුට වයස අවුරුදු 16 ක් වන විට තමාම ලියා තනුවක් යොදාගත් ගීතයක්, මොරටුව විවාහ මංගල උත්සවයකදී ගායනා කරමින් තම සිහිනයේ ඉදිරි පියවරකට ආරම්භය ලබාගන්නවා.

එම උත්සවයේ සංගීතය මෙහෙය වූ, ඒ. ජේ. කරීම් නම් ප්‍රවීණ සංගීතවේදියා මේ ගැටවරයාගේ හැකියාව ගැන පැහැදී, ප්‍රවීණ සංගීතවේදි ආර්. ඒ. චන්ද්‍රසේන ශූරින් වෙත ඔහුව යොමු කරන්නේ ඉන් අනතුරුවයි.

එහි ප්‍රතිපලයක් ලෙස නිහාල් මුලින් ලියූ ගීතය, ඔහුගේ මිත්‍ර සරත් මුණසිංහයන් ලවා සංස්කරණය කොට, ආර් . ඒ. චන්ද්‍රසේන ශූරින් ගේ සංගීතයෙන් හැඩ ගැන්වී, 1963 වර්ෂයේ දිනයකදී කොල්ලුපිටිය සරසවි චිත්‍රාගාරයේදී පටිගත කෙරෙනවා.

ඔහු පටිගත කළ ප්‍රථම ගීතය වන්නේ ‘ලස්සනට පිපුණු වනමල්’ ගීතයයි.

ඉන් අනතුරුව ගී ගැයූ, ගීත තැටිවලට අමතරව කැසට් පට 113 කට පමණ සිය හඬ මුසුකළ නිහාල් නෙල්සන් ගැයූ ගීත දහස් ගණනක් මෙරට රසිකයින්ගේ සිත්අදත් ඇඳ බැඳ ගැනීමට සමත් වුණා.

මෙරට පළමු සී.ඩී. තැටිය නිකුත් කළ ගායකයා ලෙසද ඉතිහාසයට එක්වන්නේ නිහාල් නෙල්සන් වීමත් විශේෂත්වයක්.

පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේ පදිංචි ව සිටි, අලුත්ගේ ශ්‍රියාලතා මාලිනි පෙරේරා සමඟ 1974 මැයි මස 16 වන දින විවාහ දිවියට ඇතුලත් වන ඔහු එක් දරු පියෙක්.

අවස්ථා ගණනකදීම හිරු මෙගා බ්ලාස්ට් වේදිකාව ඔස්සේ මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නිහාල් නෙල්සන් වින්දනීය මතකයන් රැසක්ම ඉදිරි කර තිබෙනවා.

නිහාල් නෙල්සන් පසුබිම් ගී ගැයූ චිත්‍රපට සංඛ්‍යාව 25 කට අධිකයි.

සිය දශක හයක (6) සංගීත දිවියේදී ඔහු සම්මාන හරසරින් පිදුම් ලැබූ අවස්ථා ගණන ද අතිවිශාලයි.

අභවප්‍රාප්ත වූ නිහාල් නෙල්සන්ගේ අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.

බයිලා ගීත කලාවේ රජු ලෙස ඔහු මෙරට ගී ලොවේ තැබූ මතකය මෙරට සංගීත ලෝලීන් අතර සදාතනික වනු ඇති.

++++++++++

+

2021-09-04

+

meemessa.com : Nihal Nelson (mp3)


හිටපු ජනපති ණය ප‍්‍රතිව්‍යුහගත කරන්නැයි කල ඉල්ලීමට චීනය, ඉන්දියාව, ජපානය බෑ කිවුවා…- මහ බැංකු අධිපති

(13.12.2022 – 22:02 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කරණය සදහා මැදිහත් වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේ පසුගිය මාර්තු මස 18 වැනිදා බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම ඉල්ලීම කර තිබුණේ එවකට මහ බැංකු අධිපතිවරයාගේ නිර්දේශ මත බව ද හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට දැනුම් දී තිබුනේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නම් ණය හිමි රටවල අනුමැතිය ලබා ගන්නා ලෙස බවත් පැවසූ ඔහු ඒ අවස්ථායේ ජපානය චීනය ඉන්දියාව ඇතුළු ණය හිමි රටවල් හා ආයතන ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයිද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හොඳම පැවසූ ඔහු නමුත් එහි යාමට තිබුණේ 2020 වසරේ දී බව ද තවදුරටත් කියා සිටියේ ය.

තමන් මහ බැංකු අධිපති ධුරය භාරගන්නා මොහොත වන විටත් ලංකා බැංකුව සහ මහජන බැංකුව සිය ණයවර ලිපි සඳහා විදේශ මුදල් සම්පාදනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටි බවද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ‘දිවයින’ පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමිනි.

+


දේශපාලඥයන් පිරිසක් ‘මහඑලිය රක්ෂිතය’ වනසති…

(13.12.2022 – 17:30 +0530 – lankacnews.com)

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ වනජිවි දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ මැණික් ජාවාරම්කරුවන් පිරිසක් විසින් රක්ෂිතය තුල විශාල පරිසර හානියක් සිදු කරමින් සිදු කරගෙන යන මහ පරිමාණ අනවසර මැණික් ගැරිම නිසා කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය සිදි යාමේ අවධානමකට ලක් වි ඇති බව පරිසරවේදින් කියා සිටියි.

දේශපාලඥයින් කිහිපදෙනෙකුගේ මැදිහත් විමෙන් ඇතැම් රාජ්‍ය සහ ආරක්ෂක අංශ නිලධාරින්ගේ සහයෝගය මත මෙම අනවසර මැණික් ජාවාරම බලංගොඩ, බගවන්තලාව, නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවල පදිංචි ප්‍රධාන මැණික් ජාවාරම්කරුවන් පිරිසක් විසින් වතු කම්කරුවන් 400 – 500 අතර ප්‍රමාණයක් දිනකට යොදා ගනිමින් සිදු කරගෙන යන බවයි පරිසරවේදින් කියා සිටියේ.

එම රක්ෂිතය තුලට බලංගොඩ ඉහල ගලගම, කරිවත්ත පාර, හොර්ටන්තැන්න නැන්පේරියල්, බගවන්තලාව ලොයිනොන් වත්ත හරහා මාර්ග කිහිපයකින් මැණික් ගැරිමේ නිරත විමට දිනපතා එම පිරිස රක්ෂිය තුලට ඇතුල් වන බවත්, එම පිරිස කිසිදු බියක් සංකාවකින් තොරව රක්ෂිතය තුල පිහිටි විශාල ගස් කපා දමමින් ජල මුලාශ විනාශ කරමින් මෙම අනවසර මැණික් ගැරිම සිදු කරනු ලබයි.

බගවන්තලාව ලොයිනොන් වත්තේ රක්ෂිතයට යාබදව පිහිටි කබානාවක, මැණික් ජාවාරම වැටලිමට පැමිණෙන ඇතැම් ආරක්ෂක අංශ නිලධාරින්ට සහ රාජ්‍ය නිලධාරින්ට එම මැණික් ජාවාරම මෙහෙයවන පිරිස විසින් නිතර නිතර සාද පවත්වන බව පැවසේ.

මැණික් ජාවාරම සිදු කරන රක්ෂිතයට පිවිසෙන මාර්ග සියල්ලම සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි දිවා රාත්‍රියේ මුරකරුවන් යෙදා ගනිමින් මෙම අනවසර මැණික් ජාවාරම සිදු කරන බවත්, වැටලිමට යන ඇතැම් ආරක්ෂක අංශ නිලධාරින් පවත්නා තත්ත්වය මත රක්ෂිතය තුලට ගොස් ආපසු හිස් අතින් පැමිණෙන අවස්තා ගණනාවක් තිබෙන බවත්, ඇතැම් අවස්ථා වල වැටලිම් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම චුදිතයන් යලිත් එම රක්ෂිත තුලටම ගොස් මැණික් ගැරිමේ ජාවාරම ජයටම සිදු කරනු ලබයි.

බගවන්තලාව ප්‍රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවන් එම අනවසර මැණික් ගැරිමට යොදාගෙන ඇති නිසා තේ වතු වල වැඩ කිරිමට පවා වතු කම්කරුවන් නොමැති බව වතු පාලන අධිකාරිය කියා සිටියි.

රංජිත් රාජපක්ෂ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *