පේරාදෙණිය සරසවියේ හිටපු කුලපතිට පහරදුන් 10 කගේ ශිෂ්‍යභාවය අහෝසියි

පේරාදෙණිය සරසවියේ හිටපු කුලපතිට පහරදුන් 10 කගේ ශිෂ්‍යභාවය අහෝසියි


පේරාදෙණිය සරසවියේ හිටපු කුලපතිට පහරදුන් 10 කගේ ශිෂ්‍යභාවය අහෝසියි

(12.12.2022 – 17:44 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළ මේවන විට සිසුන් 10 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු ද කරන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක පවසනවා.

විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිදු කරන ලද විමර්ෂණයකට අනුව එම සිසුන් හඳුනාගෙන ඇති බවත් තවත් සිසුන් අදුනාගනිමින් සිටින බව ඔහු සඳහන් කළා.

මේ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ද කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්‍ය අතුල සේනාරත්න සහ පුත්‍රයාට සිසුන් පිරිසක් විසින් පහරදීම අදාළව නීතිය ක්‍රියාත්මක නොවුනහොත් විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

+


සීත කාලගුණයෙන් උතුරු නැගෙනහිර මිය ගිය සතුන් සංඛ්‍යාව ඉහළට

(12.12.2022 – 17:15 +0530 – hirunews.lk/sinhala)

උතුරු, නැගෙනහිර පළාත්වලට බලපෑ ශීත කාලගුණ තත්වය හේතුවෙන් අද (12) දහවල් වන විට මිය ගිය සතුන් සංඛ්‍යාව 1660 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

උතුරු පළාතේ එළ හා මී ගවයින් 691 ක් මෙන්ම එළුවන් 206 දෙනෙකු මිය ගොස් ඇති බවයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සදහන් කළේ.

එමෙන්ම, තවත් සතුන් 329 දෙනෙකු රෝගාතුර ව සිටින බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර පළාතේද එළ ගවයින් සහ මී ගවයින් 555 ක් සහ එළුවන් 108 ක් ජීවිතක්ෂයට පත්වි ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සදහන් කළා ෴

+


පළමු ශ්‍රේණියට සහ උසස් පෙළට ළමුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්

(12.12.2022 – 17:13 +0530 – hirunews.lk/sinhala)

පළමු ශ්‍රේණියට සහ උසස් පෙළ සදහා ලමුන් ඇතුළත් කිරීම පාසල් මගින් පමණක් සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම කටයුතු කිසිදු අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අදාල පාසල් මගින් පමණක් සිදු කෙරෙනවා.

උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල් වල සිසුන් එම විෂය ධාරා ඇති පාසල් සදහා ඉල්ලුම් පත්‍ර අදාල පාසලටම යොමුකිරීම සිදු කළ යුතු අතර, එම අයදුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකිරීම සිදු නොකළ යුතු බවයි එම අමත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ ෴


උකස් මධ්‍යස්ථානයක් බිඳ රුපියල් මිලියන 20 ක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකයි

(12.12.2022 – 15:11 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – මාතලේ හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උකස් මධ්‍යස්ථානයක් බිඳ එහි සේප්පුව කඩා රුපියල් කෝටි 02 කට ආසන්න මුදල් සහ රන්භාණ්ඩ පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ දී මෙම කොල්ලය සිදුව ඇති අතර සැකකරුවන් බිත්තිය කඩා ඊට ඇතුළු වී ඇති බවටයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ සැකකරුවන් විසින් වෙළඳසැලේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දත්ත පද්ධතිය ද ගලවා ගොස් ඇති බවයි ෴


මුදල් හුවමාරු කරන සමාගමක බලපත්‍රය අවලංගු කෙරේ

(12.12.2022 – 15:01 +0530 – hirunews.lk/sinhala)

විදේශ මුදල් මාරුකිරීම සදහා ‘ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම’ වෙත ලබාදී තිබූ බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

ඒ අනුව එම සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට අවසර හිමි නොවන බවයි මහබැංකුව අද (12) නිවේදනය කළේ.

2017 අංක 12 දරණ විදේශ විනිමය පනතට අනුව බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම සමාගම නිකුත් කර තිබූ බලපත්‍රය මීට පෙර තාවකාලිකව අත්හිටවනු ලැබුවා ෴


කොල්ලුපිටියේ රිය අනතුරෙන් පසු මෝටර් රථය පැදවූ රියදුරු ඩුබායි රාජ්‍යයට පලා යයි

(12.12.2022 – 19:51 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය ප්‍රදේශයේදී පෙරේදා (10) රිය අනතුරක් සිදු කළ මෝටර් රථය පැදවූ ව්‍යාපාරික තරුණයා ඩුබායි රාජ්‍යයට පළාගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසූවේ ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගන්නා බවයි.

පෙරේදා (10) උදෑසන 06:30 ට පමණ බම්බලපිටියේ සිට ගාලුමුවදොර දෙසට සැකකරු ධාවනය කළ මෝටර් රථය, ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරෙන් එහි රියදුරු මිය ගොස් තිබුණා.

එලෙස ජීවිතක්ෂයට පත්වුණේ ත්‍රීරෝද රථ රැකියාව ජීවිකාව කරගත් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.

මෝටර් රථය පැදවූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ‘මොහොමඩ් රසුල් මොහොමඩ් රිෂාක්’ අනතුරින් පසු උදෑසන 09:55 ට පමණ මෙරටින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම අවස්ථාවේ මෝටර් රථයේ තවත් පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු (2) ද සිට ඇති අතර රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණි මොවුන් බීමතින් සිට ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් එහි දී එම කාන්තාවන්ට රිය අනතුර සිදු වූ ස්ථානයේ සිටි සනීපාරක්ෂක සේවා සපයන පෞද්ගලික ආයතනයක කාන්තාවන් දෙදෙනෙකු (2) පහර දී තිබුණා.

ඔවුන් ඊයේ (11) අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහි දී ඇප මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ ෴


සුබසාධන සඳහා ප්‍රතිලාභීන් මිලියන 3.7 ක් අයදුම් කරයි

(12.12.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

රජයේ සුබසාධන ප්‍රතිලාභ අවශ්‍ය පුද්ගලයින්ගේ අයදුම්පත් මිලියන 3.7 ක් ලැබී ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

පසුගිය අගෝස්තු මාසයේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන් හෝ පවුල් හඳුනා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු ලබාගෙන තිබුණා.

මෙම ප්‍රතිලාභ සඳහා රජයේ ආධාර බලාපොරොත්තු වන හෝ ආධාර ලබන ඕනෑම පුද්ගලයෙකුට ලියාපදිංචිය විය හැකි අතර, ඒ අනුවයි මිලියන 3.7 ක පිරිසක් මෙලෙස අයදුම් කර ඇත්තේ.

අයදුම්පත් ලබාදුන් පිරිස අතර දැනට සමෘද්ධි ආධාර ලබන, වැඩිහිටි ආධාර ලබන, ආබාධිත ජීවනාධාර ලබන, වකුගඩු රෝගී ජීවනාධාර ලබන සහ මහජන ආධාර ලබන හෝ බලාපොරොත්තු වන පිරිස් සිටින බව රජයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා.

දෙවන (2) අදියරේදී ක්ෂේත්‍ර නිලධාරින් නිවෙස් කරා ගොස් ජංගම දුරකථන යෙදවුමක් මාර්ගයෙන් දත්ත රැස් කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා.

මෙම නිර්නායක සම්පූර්ණ කිරීමෙන් පසු සෑම අයදුම්කරුවෙකුටම කිව්-ආර් (QR) කාඩ්පතක් ලබාදෙන අතර මෙම සියලු තොරතුරු ඒකාබද්ධ සුබ සාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට ඇතුළත් කර ගනු ලබනවා.

දෙවන (2) අදියරේ තොරතුරු රැස් කර ගැනීම මේ මස (දෙසැම්බර්) අවසානයේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴


‘සේනා දළඹුවන්’ අනුරාධපුරයේ – බඩඉරිඟු අක්කර 1500 ක් වනසයි

(12.12.2022 – 13:18 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ අක්කර 1500 ක පමණ බඩ ඉරිඟු වගාව ‘සේනා දළඹුවන්’ විනාශ කර ඇති බව ගොවි ජනතාව පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් වෙළඳපලේ ඇති කෘමිනාශක භාවිත කළ ද ඉන් ඵලක් නොවන බවත් ඔවුන් සඳහන් කළා.

එමෙන්ම, අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු ඇතුළු පළාත් රැසක ගොවි බිම්වලට හානි සිදුව ඇති බැවින් ඒ සඳහා ගොවි ජනතාවට වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස මහාවාරි ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් පුංචිරාළ රත්නායක රජයෙන් ඉල්ලීමක් කළා.

++++++++

කෘෂිකර්ම අමාතයාංශයෙන් වී වපුරන නව යන්ත්‍රයක්

(12.12.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala)

මොණරුන්ගෙන් සිදුවන වගා හානි වළක්වන පරිදි වී වැපිරීම් කළ හැකි නව ‘ෂීඩර්’ යන්ත්‍රයක් හඳුන්වා දී තිබෙනවා.

අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී ඊයේ (11) හඳුන්වාදුන් මෙම යන්ත්‍රය මගින් බීජ සිටුවීම සිදුකරන අතරම, මොණරුන් සහ වෙනත් පක්ෂීන්ට එම වපුරන ලද වී කා දැමිය නොහැකි වන පරිදි පොහොර තට්ටුවකින් බීජ වසා දැමීමද සිදු කෙරෙනවා.

හම්බන්තොට දිස්ත්‍රිකක්යේ මොණර ගහණය වැඩිවීමත් සමඟ වී වැපිරීම සිදුකළ පසු වන හානිය ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

බීජ වැපිරීමේ උපකරණයක් වෙළඳපොලේ රුපියල් 72,000 ක් වැනි ඉහළ මිල ගණන්වලින් යුක්ත නමුත් මෙම අලුත් යන්ත්‍රය රුපියල් 17,000 ක මුදලකට සකස් කර ගත හැකියි ෴


රථ වාහන ජාවාරම් කළ 03 දෙනෙකු අත්අඩංගුවට

(12.12.2022 – 12:57 +0530 – hirunews.lk/sinhala)

එන්ජින් අංක ව්‍යාජ ලෙස සකසා සිදුකළ රථ වාහන අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුවයි එම වැටලීම සිදු කර තිබුණේ.

පොලිසිය පවසන්නේ රථ වාහන සම්බන්ධයෙන් කූඨ ලේකන සැකසීම, එම වාහන සන්තකයේ තබා ගැනීම, එම කූඨ ලේකන සැකසීමට අනුබල ලබා දීම යන චෝදනා යටතේ සැකකරුවන් ඔවුන්ගේ නිවාසවල දී අත්අඩංගුවට ගත් බවයි.

වයස අවුරුදු 54, 58, 54 වන සැකකරුවන් වැලිවේරිය, පොළොන්නරුව හා මාකවිට ප්‍රදේශවල පදිංචිකරුවන්.

අද (12) එම සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


මත්පෙති සමඟින් රෝහල් සේවිකාවක් අත්අඩංගුවට

(12.12.2022 – 09:36 +0530 – hirunews.lk/sinhala)

මත්පෙති සමඟ කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු කණිෂ්ඨ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම ඊයේ (11) සිදු කර ඇති අතර එහිදී මෙම සේවිකාව රුපියල් 2,000 ක මත්පෙති 40 ක් අලෙවි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ දීර්ඝ කාලයක සිට මෙලෙස මත්පෙති අලෙවි කරන බවයි.

මේ අතර, කොකේන් මත්ද්‍රව්‍ය, මත් මිශ්‍ර මුද්දර සහ කුෂ් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකු (2) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කටුනායක සහ පෞද්ගලික ගුදමක රාජකාරි කරමින් සිටි රේගු පරීක්ෂකවරුන් බවයි වාර්තාවන්නේ.

ඇතැම් රේගු නිලධාරීන් වරාය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත එක් සැකකරුවෙකු වරායෙන් පිටවන අවස්ථාවේ දී චෛත්‍ය පාරේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දීයි අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර රුපියල් මිලියන 10 ක කප්පම් මුදලක් ඉල්ලා මඩකළපුව – කාත්තන්කුඩි ප්‍රදේශයේ දී ගුරුවරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (11) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සැකකරුගේ පියා සහ පැහැර ගැනීමට ලක්වූ ගුරුවරයා අතර ඉඩම් ගැටලුවක් සම්බන්ධයෙන් ද ආරවුලක් පැවති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *