රණසිංහ ප්‍රේමදාස සුළු ජාතික ඡන්ද ගන්න රටේ රාජ්‍ය භාෂාව දෙමළ කළා – ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරණගමගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

රණසිංහ ප්‍රේමදාස සුළු ජාතික ඡන්ද ගන්න රටේ රාජ්‍ය භාෂාව දෙමළ කළා – ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරණගමගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්


රණසිංහ ප්‍රේමදාස සුළු ජාතික ඡන්ද ගන්න රටේ රාජ්‍ය භාෂාව දෙමළ කළා – ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරණගමගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

(09.12.2022 – 20:14 +0530 – lankaleadnews.com)

මෙරට රාජ්‍ය භාෂාව සිංහල භාෂාව ලෙස බොහෝ දෙනෙකු සිතා සිටිය ද එය එසේ නොවන බවට ජ්‍යේෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කරයි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති බවට පත්වීමට සුළු ජාතික ඡන්ද ලබාගැනීමේ වුවමනාවෙන් මෙරට රාජ්‍ය භාෂාව ලෙස තිබූ සිංහල භාෂාව වෙනුවට දෙමළ රාජ්‍ය භාෂාව බවට පත් කළ බව ඔහු හෙළි කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි 1 වගන්තිය තුළින් එය සනාථ වන බවයි ඒ මහතා පවසන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි 1 වගන්තියෙන් සිංහල හා දෙමළ භාෂා මෙරට පරිපාලන භාෂා වශයෙන් දක්වා ඇති බවත්, එහි දෙවැනි (2) වගන්තියෙන් දක්වා ඇත්තේ උතුරු, නැගෙනහිර පළාත් හැර අනෙකුත් පළාත් 7 සදහා සිංහල භාෂාව පරිපාලන භාෂාව වන බව යැයි තිරණගම මහතා පවසයි. එමගින් සිංහල භාෂාව පළාත් 7 කට පමණක් පරිපාලන භාෂාව වූ බවත්, දෙමළ භාෂාව පළාත් 9 සදහාම පරිපාලන භාෂාව වූ බවත් ඒ මහතා හෙළි කරයි.

ඉතිහාසයේ සිටම මෙරට තුළ බෙදුම්වාදය ක්‍රියාත්මක වූ ආකාරය මෙමගින් පැහැදිලි වන බව කල්‍යානන්ද තිරණගම මහතා පවසයි. වර්තමාන ජනාධිපතිවරයාද ක්‍රියාකරන්නේ මෙම බෙදුම්වාදී බලවේග අනුව බවයි ඔහු සදහන් කරන්නේ.

+


මහවැලියේ ඉඩම් බෙදුම්වාදීන් අතට පත් කිරීමේ රනිල්ගේ සූදානම පරාජය කළ යුතුයි – පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

(09.12.2022 – 17:54 +0530 – lankaleadnews.com)

නිදහස් ලංකාව කෑලි කෑලිවලට කඩන්නට ඉතිහාසයේ සිටම විවිධ පිරිස් උත්සාහ දරා ඇති බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

බෙදුම්වාදීන් සැමවිටම උත්සාහ දැරුවේ අවස්ථාවක් ලද විගස රට කෑලිවලට කැඩීමට බවත්, මේ අවස්ථාවේ රටේ පවතින ආර්ථික අර්බුදය යොදාගනිමින් බෙදුම්වාදීන් ඒ සදහා උත්සාහ දරන බවත් උන්වහන්සේ පවසති.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අයවැයෙන් යෝජනා කර ඇති ‘මහවැලි L කලාපයේ’ ඇති අති සංවේදී ඉඩම් ප්‍රාදේශීය ලේකම් හරහා බෙදාදීම තුළින් එම ඉඩම් අන්තවාදීන් හා ත්‍රස්තවාදීන් මෙන්ම බෙදුම්වාදීන් අතට පත්වීමෙන් උතුරු, නැගෙනහිර පළාත් බෙදුම්වාදයට නතුවීම අනිවාර්යයෙන් සිදුවන බවත් එම උත්සාහය පරාජය කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

රටේ හොද තත්ත්වයක් පැවතියද, නරක තත්ත්වයක් පැවතියද සෑම කාලයකදීම මේ රටේ කඳ පණුවන් සිටිබවත්, ඔවුන්ගේ ජන්මාශාවන් ක්‍රියාත්මක වන්නේම රට දෙකඩ කිරීමට බවත් ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ වැඩිදුරටත් පවසති.

උන්වහන්සේ මේ බව සදහන් කළේ ඊයේ (08) ‘අයවැය, බෙදුම්වාදීන්ගේ නව සැලැසුම හා රටේ ඉරණම‘ නමින් ජාතික මහජන සභාව මගින් සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකදී ය.

+


මිල අධික වූ අධ්‍යාපනයේ මිල බස්සවා දුගී දුප්පත් දරු පරපුරේ අනාගත වෙනුවෙන් C W W කන්නන්ගර මහතා බිහිකළ නිදහස් අධ්‍යාපනය

(08.12.2022 – 21:36 +0530 – lankaleadnews.com)

“කන්නන්ගර තමුසෙට පිස්සුද ? තමුසෙ හදන්නෙ ගහකට නගින්නවත් කොල්ලෙක් නැතිකරන්නද ?” යැයි නිදහස් අධ්‍යාපනය පනත ඉදිරිපත් කරන්නට පෙර මෙරට වලව්කාර, වංශවත් මහඇමතිවරු එතුමාට උසුලු විසිළු කලහ.

උසුළු විසුළු මැද යථාර්ථයක් කල නිදහස් අධ්‍යාපනය නිසා ගුරුමුෂ්ටියෙන් තොරව පරම්පරාවෙන් පරම්පරාවට නොමිලේ දැනුම, ආකල්ප සහ කුසලතා සම්ප්‍රේෂණය වීම සිහිකරන්නට අද ද රිච්මන්ඩ් විද්‍යාලයීය කන්නන්ගර ශාලාව ඉදිරියේ C W W කන්නන්ගර මහතාගේ පිළිමය ස්ථාපිතව තිබේ.

එය 1897 වර්ෂයේ දිනකි. එදින අම්බලන්ගොඩ රන්දොඹේ වෙස්ලියානු උසස් පාසලේ තෑගි බෙදාදීමේ උත්සවය වර්ණවත් කළ සිසුවකු වෙත කාගේත් ඇස් යොමුවී තිබිණි. 14 වතාවක්ම තෑගි දිනාගත් මේ දරුවා පිළිබඳ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ එවක විදුහල්පති ජේම්ස් හෝන් ඩැරල් පියතුමාගේ අවධානය යොමු විය. කෙටි කතා බහකින් ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ලෙසින් හඳුනාගත් මෙම ශිෂ්‍යාට තම පාසලට ඇතුළත් වීම සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින ලෙස දන්වනු ලැබීය.

ශිෂ්‍යත්වය සමත් වූ කුඩා කන්නන්ගර රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත්වීමට සමත් වූවේය. කෙසේ වෙතත් ඔහුට හිමිව තිබුණේ තුන්වැනි පන්තියේ ශිෂ්‍යත්වයකි. ඒ අනුව හිමිවූයේ අවම පහසුකම්වලින් යුක්ත වූ නේවාසිකාගාරයකි. මෙම නේවාසිකාගාරයේ සිටි අයට පළමු පන්තියේ නේවාසිකාගාර හිමි ශිෂ්‍යයන්ගේ උසුළු විසුළු ‍වලට ලක්වූහ. මෙහිදී ඔවුහු කුඩා කන්නන්ගරට සමච්චල් කළේ ‘රන්දොඹේ ගොඩයා’ කියමිනි.

කෙසේ වුවද මේ අතිදක්ෂ සිසුවා පසු කලක මෙරට ජාතික මන්ත්‍රණ සභාව නියෝජනය කළේය.

C W W කන්නන්ගර යනු ජාතික මන්ත්‍රණ සහාවේ ජාතික ඇඳුම ඇඳි පළමු ඇමතිවරයාය.

‘නිදහස් අධ්‍යාපනය’ නම්, ජාතියට සදාකාලික වටිනාකමක් දීමේ අරමුණින් නිදහස් අධ්‍යාපන කමිටු වාර්තාවේ නිර්දේශ 1943 දී ඉදිරිපත් කළේය. එම නිර්දේශ අනුව යමින් 1944 දී මැයි මස 30 වෙනිදා අධ්‍යාපන සංශෝධන ආඥා පනත ඔස්සේ නිදහස් අධ්‍යාපන යෝජනා මන්ත්‍රණ සභාවට කන්නන්ගර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබිණි .

පැය හයකට (6) අධික කාලයක් තිස්සේ පැවති ඓතිහාසික කතාවක් හරහා කන්නන්ගර මහතා එම යෝජනාවලිය රාජ්‍යය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය.

එතුමා සිය දීර්ඝ කතාව ආරම්භ කරන්නේ තෝමස් ග්‍රෙරේ නම් වූ ප්‍රසිද්ධ කවියාගෙ කවියකිනි,

‘නොයෙනා හිරු රැස් සිඳු ගැබ පතුළට – අගනා මිණි කැට අඳුරේම සැඟවෙද
පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත – හමනා සුළෙඟින් වනෙයෙම පරවෙත’

“විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැල වී සුවඳ අහිමි වී යන ඈත පිටිසර දිළිඳු ගොවි පවුලේ පොල් අතු සෙවණේ ඉපැදී බුද්ධියේ හා භාග්‍යයේ එළිය නොලබා නිවී යන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතු යි.”

කෙසේ වෙතත්, මෙම ප්‍රගතිශීලී නිදහස් අධ්‍යාපන යෝජනා සඳහා බාධක වැට කඩුලු බොහෝමයක් එල්ල විය. ගමේ බත් බැලයන්ට අධ්‍යාපනය දුන් විට ගස් නගින්නේ අපිදැ යි ඇසූ ජාතික විරවරයෝ මෙන්ම, කන්නන්ගර මහතාට එලව එලවා පහර දුන් මාධ්‍ය එකල බොහෝ තිබුණි. එහෙත් කන්නන්ගර මහතාට හේරත්නායක, ඊ. ඒ. නුගවෙල, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, එච්. ඩබ්ලිව්. අමරසූරිය, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක යන මන්ත්‍රණ සභා සභිකවරුන්ගේ සහායත් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, මහාචාර්ය ගුණපාල මලලසේකර, එල්. එච්. මෙත්තානන්ද යන සමාජ ක්‍රියාකාරීන්ගේ සහායත් ලැබිණි. මේ පනතට තම පුද්ගලික ලාභ අපේක්ෂාවන් මත එරෙහිව සිටි අයට ද කන්නන්ගර මහතා සිය කතාවේ දී කාරුණික ආයාචනයක් කිරීමට පසුබට වූයේ නැත.

“ගරු සභිකවරුනි, එදා ඔගස්ටස් නිරිඳු පුරසාරම් දෙඩුවා මා එන විට ගඩොලින් බැඳ තිබු රෝමය වෙනුවට ඉතිරි කොට ආවේ කිරි ගරුඬෙන් තැනූ රෝමයකි. අන්න ඒ වගේ අප යන විටත් ‘මිල අධික අධ්‍යාපනයේ මිල බැස්සුවා ය. වසා මුද්‍රා තබන ලද අධ්‍යාපන විවෘත ලිපියක් බවට පත් කළා ය. ධනවතුන්ගේ වරප්‍රසාදයක් වූ අධ්‍යාපන දිළින්දන්ගේ දායදයක් බවට පත් කළාය’ යි උදම් අනන්න පුළුවන් නම් එය කොයි තරම් අගේද ?” යි යනුවෙන් එතුමා ඔවුන්ගේ හෘද සාක්ෂිය අවදි කලේය . ඒ අනුව 1945 ජූලි මාසයේ දී නිදහස් අධ්‍යාපන පනත සම්මත වූ අතර, දහසක් දූ දරුවන්ගේ හා දෙමාපියන්ගේ අපේක්ෂා මල්ඵල ගන්වමින් එම වසරේ ඔක්තෝම්බර් මස පළමුවෙනිදා (01) සිට එය බලාත්මක විය .

1931 සිට 1947 දක්වා වසර 16 ක් අධ්‍යාපන ඇමති ධුරය ද 1936-1947 මතුගම ආසනයේ මන්ත්‍රීවරයා ද වූ කන්නගර මහතා, 1947 පැවති අතුරු මැතිවරණයෙන්, විල්මට් ඒ. පෙරේරාට පරාජයට පත්විය . විල්මට් ඒ. පෙරේරා ඡන්ද 19,000 ක් පමණ ලබා ගනිද්දී, කන්නන්ගර මහතාට ලැබුණේ ඡන්ද 16,000 පමණයි. ඒ අනුව නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් එතුමා, ලංකාවේ පළමු පෞද්ගලික විශ්වවිද්‍යාල වූ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ අයිතිකරුට පරාජයට පත් වීම දෛවයේ සරදමකි.

කන්නන්ගරයන්ගේ එම පරාජයට දේශීය මෙන්ම විදේශීය බලපෑම්ද වූ බව කියැවේ. මෙය හොඳින්ම තහවුරු වන්නේ 1947 එතුමාගේ පරාජය නිසා ඇතැම් ආගමික ස්ථානවල ගණ්ටාර පවා නාද කර සතුට ප්‍රකාශ කර තිබීමෙනි.

ඉන්පසුව 1952 දී පැවති මහ මැතිවරණයේ දී අගලවත්ත ආසනය ජයග්‍රහණය කළ එතුමා නැවත වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වෙන්නේ දෙගුණයකට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනුයි. එහෙත් ඩඩ්ලි සේනානායක රජයේ අධ්‍යාපන ඇමතිවරයා බවට පත්වන්නේ ඩි. එම්. බන්ඩා යි. කන්නන්ගරයන්ට හිමි වන්නේ පළාත් පාලන ඇමතිධුරය යි. ඔහුට අධ්‍යාපන ඇමතිධුරය දෙනවාට රජයේ බොහෝ දෙනෙක් විරුද්ධ වී ඇති අතර, ඒ එතුමාගේ සේවය තවදුරටත් ගම් දනව් කරා යාමෙන් බමුණු කුලවලට විය හැකි බරපතල තර්ජනය පහසුවෙන් එසේ වළකා දමා තිබිණ. කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපන පනතේ අයිතිය බොහෝ පක්ෂ සින්නකර ලියා ගැනීමට, දේශපාලනික වාසි ලබා ගැනීමට උත්සුක වුවද කන්නන්ගර මහතාට අත් වූ ඉරණම කණගාටුදායක ය.

රටට ජනතාවට සේවය කළා විනා ඔහු ඉන් ආර්ථික වාසියක් ලබා ගැනීමට කටයුතු කර තිබුණේ නැත. මේ නිසා අවසාන කාලයේ ආර්ථික අතින් ඔහු පීඩාවට පත්ව සිටියේය.

1961 ඔක්තෝබර් මාසයේ 26 වැනි දින කන්නන්ගර මහතා තමා මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳ කතානායකවරයාට පවා ලියා දැන්වීය. විශ්‍රාම වැටුපක් පාර්ලිමේන්තු නියෝජිතයන්ට වෙන්ව නොතිබූ සමයේ තමාට ආර්ථික වශයෙන් සහනයක් ලබාදීමට කටයුතු කරන මෙන් ඔහු එහිදී ඉල්ලා සිටියේය.

“ආයෝජනවලින්, නිවාසවලින්, ඉඩකඩම්වලින් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් මට කිසිඳු පෞද්ගලික ආදායමක් නොලැබෙන බැවින් මා වසර ගණනාවක්ම යැපුණේ මාගේ මිත්‍රයන්ගෙන් හා හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාගවලිනි. මාගේ සෞඛ්‍ය රැක ගැනීම සඳහා කළ යුතු අත්‍යවශ්‍යම වියදම් වෙනුවෙන් ගෙවිය යුතු බිල්පත් දිනපතා ගොඩ ගැසෙමින් පවතී.”

රට වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ආර්ථිකමය වශයෙන් ඔහු ලබාගත් දේ අවම වුවත්, සමාජමය වශයෙන් ඔහු ඉපයූ දේ සුවිශාලය.

“භාරතයේ උපත ලැබුවේ නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබනු ඇත” ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ එම්. එස්. ආන් මහතා 1945 දී සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සේවය අගයමින් පවසා තිබිණි.

ඉන්දියානු මහකොමසාරිස්වරයා කියූ පරිදි දෙවියකු බවට නොපිළිගැනුනද එදා මෙදාතුර ලක්ෂ සංඛ්‍යාත දුප්පත් දුවා දරුවන්ගේ ජීවිත වලට ආලෝකය ලබාදී සිහින සැබෑ කළ දෙවියා ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා බව නිදහස් අධ්‍යාපනයේ පල ලැබූ කවුරුත් දනිති.

නිදහස් අධ්‍යාපනය හරහා නොමිලයේ අධ්‍යාපන අවස්ථා මෙරට දරුවනට දායාදකල ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර ශ්‍රීමතානෝ 1969 වසරේ අදවන් දිනක දිවිසැරිය නිමාකළෝය.

නුවන් ගම්මම්පිල
(උපුටාගැනීම් වලට යටත්ව)


වැදි ජනයාට කැලේ ජීවත්වෙන්න අයිතියක් තිබෙන රටේ භික්‍ෂුන්ට ඓතිහාසික සිද්ධස්ථානයක වැඩ ඉන්න අයිතියක් නෑ (06.12.2022)

+


මන්නාරම සහ කෑගල්ල වායු දූෂණය වැඩි වෙයි – කොළඹ අඩුවේ

(10.12.2022 – 18:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකයට අනුව අද (10) පස්වරුව වනවිට දහවලට වඩා යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියේ දැක්වෙන වායුගුණාත්මක දර්ශකයේ දැඩි සෞඛ්‍ය අවදානමක් සහිත නගරයක් ලෙස අද (10) පස්වරු 6 පමණ වනවිට මන්නාරම දක්වා තිබෙනවා.

ඒ අනුව මන්නාරමේ වායු තත්ත්ව දර්ශකය ඒකක 53 මට්ටමේ පවතින අතර, කෑගල්ලේ එම දර්ශක අගය දැක්වෙන්නේ ඒකක 50 ක් ලෙසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ එම තත්ත්වය ඒකක 47 ක් ලෙස දැක්වෙනවා.

කෙසේ වෙතත්, අද (10) දහවල් කොළඹ නගරයේ වායු දූෂණය සටහන්ව තිබුණේ සෞඛ්‍යට අහිතකර අවදානම් මට්ටමක වන ඒකක හැට හතරේ (64) යි ෴

+++++++

මෙරටට බලපෑ ඇති අයහපත් වායු දූෂණ තත්ත්වයට ඉන්දියාව පමණක් නොව චීනය සහ බංග්ලාදේශයේ ක්‍රියාකාරකම් ද හේතු වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ මේ වනවිට මෙරට වායුගෝලය තුළ විකිරණ හා න්‍යෂ්ටික අපද්‍රව්‍ය නොමැති බව භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා තහවුරු කළා.

+


මාස 10 කට ලක්ෂ 40 ක පමණ පිරිසක් රන් ආභරණ උකස් කරයි

(10.12.2022 – 18:32 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ලක්ෂ 40 ක පමණ පිරිසක් පසුගිය මාස 10 තුළ රුපියල් බිලියන 200 කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ උකස් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

ඔහු කියා සිටියේ වානිජ බැංකු ඇතුළු මූල්‍ය ආයතන 13 ක්, උකස් මධ්‍යස්ථාන 10 ක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 3 ක් යොදා ගනිමින් කරනු ලැබූ අධ්‍යයනයකට අනුව මෙම කරුණු අනාවරණය වී ඇති බවයි.

ළමයින්ගේ අධ්‍යාපනික උපකරණ මිලදී ගැනීමට ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ සහ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙලෙස රන් භාණ්ඩ උකස් තබා ඇති බවයි මහාචාර්යවරයා කියා සිටියේ.

මේ අතර, මේ වසරේ නොවැම්බර් මාසයේ පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට ඩොලර් මිලියන 384.4 ක් එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

එම දත්තවලට අනුව මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා විදෙස්ගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 3,313.9 ක් මෙරටට එවා ඇති බව සඳහන්.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන් ඇමරිකන් ඩොලර් මිලියන 271.4 ක් එවා තිබූ අතර, මේ වසරේ එම කාලය හා සැසදීමේදී සියයට 42 ක වැඩිවීමක් බවයි මහ බැංකු කියා සිටියේ ෴


කොල්ලුපිටියේ මාරක රිය අනතුරක් – එක් (1) අයෙකු මරුට

(10.12.2022 – 17:09 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය පොලිස් වසමේ ගාලු පාර – කොල්ලුපිටිය කාගිල්ස් බැංකුව ඉදිරිපිට සිදු වූ මෝටර් රථ අනතුරකින් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (10) පෙරවරුවේ බම්බලපිටිය දෙස සිට ගාලු මුවදොර දෙසට ධාවනය වූ කා‍ර් රථයක් ඉදිරියෙන් එම දෙසටම ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රීරෝද රථයෙහි රියදුරුයි.

බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි පොල්ගස්ඕවිට පදිංචිකරුවෙක්.

මෝටර් රථය පැදවූ රියදුරු අනතුරින් පසුව පලා ගොස් තිබෙන අතර, අනතුර සිදුවන විට කාර් රථයේ කාන්තාවන් තිදෙනෙකු (3) සහ එක් (1) පිරිමි පුද්ගලයෙකු සිට ඇති බවත් පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 29-31 හැවිරිදි වියෙහි පසු වූ කාන්තාවන් දෙදෙනකු (2) කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

++++++++

++++++++

https://www.youtube.com/watch?v=3qhDWRgOuwI

++++++++

+++++++++

රිය අනතුරින් පසු කතකට පහර දුන් තවත් කතුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(11.12.2022 – 16:03 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය පොලිස් වසමේ සිදුවූ රිය අනතුරක් අතරතුර දී පහරදීමේ සිදුවීමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු (2) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් දෙදෙනා අවුරුදු 42 සහ 64 යන වයස්වල පසුවන වැල්ලවත්ත සහ එල්ලක්කළ ප්‍රදේශවල පදිංචිකරුවන්.

සනීපාරක්ෂක සේවා සපයන පෞද්ගලික ආයතනයක මොවුන් දෙදෙනා (2) සේවය කරනවා.

ඊයේ (10) බම්බලපිටියේ සිට ගාලුමුවදොර දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඉදිරියෙන් එම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටී අනතුරක් සිදුවුණා.

එහිදී ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

අනතුරින් පසු මෝටර් රථය පැදවූ රියදුරු පළාගොස් ඇති අතර අනතුර සිදු වූ අවස්ථාවේදී මෝටර් රථයේ පිටුපස ගමන්කළ කාන්තාවකට තවත් කාන්තාවන් දෙදෙනෙකු (2) පහරදෙන ආකාරය සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණා.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා සී.සී.ටී.වී සහ වීඩියෝ දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *