වෘත්තියට එහා ගිය මනුස්සකම් දත් 21 වැනි සියවසේ දිසාපාමොක්

වෘත්තියට එහා ගිය මනුස්සකම් දත් 21 වැනි සියවසේ දිසාපාමොක්


වෘත්තියට එහා ගිය මනුස්සකම් දත් 21 වැනි සියවසේ දිසාපාමොක්

(09.12.2022 – 16:33 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ගේ ජීවිතවල සිටින මුල් ගුරුවරුන් දෙමාපියන් වුවත් දරුවන් සමාජයේ වැඩදායී පුරවැසියන් බවට පත්කිරීමේ වැඩි වගකීමක් පැවරෙන්නේ ගුරුවරුන් වෙතයි.

ගුරුවරුන් දරුවන්ගේ දෑස් පමණක් නොවෙයි මුළු ජීවිතයම ආලෝකමත් කරන්නට අපමණ වෙහෙසක් දරණවා.

එවන් දිසාපාමොක් පරපුරේ ගුරුවරයෙකු පිළිබඳව පුවතක් මේ.

මහින්ද කුමාරකන්ද නම් වූ මෙම අපූරු ගුරුවරයා අපට හමුවන්නේ කොබෙයිගනේ ප්‍රදේශයට ආසන්න පාසලකින්.

නිකවැරටිය අධ්‍යාපන කළාපයට අයත් මිරිහානේගම කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගේ දෑස් පාදනවාට අමතරව පාසලේ දරුවන්ගේ ආර්ථික අපහසුතා සඳහා ද තම හැකියාවෙන් විසඳුම් ලබාදීමට මෙම අපූරු ගුරුවරයා සමත් වී තිබෙනවා.

ඒ පාසලේ දරුවන්ගේ කැඩී ගිය සපත්තු මසා පිළිසකර කර දීමෙන්.

පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ අලුතින් සපත්තු මිල දී ගැනීමේ දී අධික මුදලක් වැය කිරීමට සිදුවීමෙන් දරුවන් පත්වන අපහසුතා මගහරවා දෙමින් මෙලෙස තමන් විසින්ම සකසා ගත් උපකරණ භාවිත කර ඔහු මෙම කාර්ය සිදු කරන්නේ ඉතා සද්භාවයෙන්.

මහින්ද කුමාරකන්ද මහතා පාසලේ දරුවන්ගේ කැඩුණු සපත්තු පිළිසකර කර දෙන්නේ එම පාසලේ චිත්‍ර කලාව උගන්වන අතරතුරයි.

කුමාරකන්ද මහතා තම හැකියාවෙන් පාසලේ නාම පුවරුව පිළිසකර කිරීම වැනි දෑ ද ඉතා අලංකාර ලෙස සිදු කර තිබෙනවා.

+


ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කෙරේ

(09.12.2022 – 14:58 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාල තහනම වලංගු වන්නේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන තුරු පමණක් වන අතර එම තහනම පනවා ඇත්තේ 1927/49 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් සංශෝධිත 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ නියෝග ප්‍රකාර අනුවයි.

ඒ අනුව විභාග අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන සහ සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම ආදිය තහනම් වනු ඇති ෴


ජනපති කාර්‍යාලට අඩියකට වඩා උස මෙට්ටයක් ගෙනත්

(09.12.2022 – 12:01 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් ජූලි මස 11 වැනිදා පාර්ලිමේන්තුව විසින් ඇනවුම් නොකරන ලද භාණ්ඩ කිහිපයක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඇති බවත්, ඒ භාණ්ඩ සඳහා පෞද්ගලික ආයතනයකින් මුදල් ගෙවා ඇති බවත්, එලෙස ගෙනා භාණ්ඩ අතර අඩියක උසින් ‍යුතු සුපිරි මෙට්ටයක් ඇති බවත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ප්‍රකාශ කරනවා.

අද (09) පාර්ලිමේන්තුවේ දී ඒ බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාල භාණ්ඩ සඳහා අවශ්‍ය ලියකියවිලිවලට අත්සන් තබා ඇත්තේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා බවත්, එම මෙට්ටය ගෙනැවිත් ඇත්තේ ජනාධිපති කාර්‍යාලයට බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කළා.

මේ බව හෙළි කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාල භාණඩවලට මුදල් ගෙවූ පෞද්ගලික ආයතනය විසින් ම ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට අදාල බිල්පත් ගෙවා ඇත්තේ අදාල ආයතනය විසින් බවයි.

එබැවින් ඒ සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙසත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පාර්ලිමේන්තුවට පවසා සිටියේ හම්බේගමුව ප්‍රදේශයේ අක්කර 20 ක භූමි ප්‍රමාණයක් උක්ත සිද්ධියට අදාල සමාගමට පවරා ඇති බවයි.

+


රුපියල් මිලියන 400 ක වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 22 ක් රේගු භාරයට

(09.12.2022 – 11:06 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙකු නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රත්‍රං කිලෝ 22 කට ආසන්න ප්‍රමාණයක් රේගුව සිය භාරයට ගෙන තිබෙනවා.

ඩුබායි සිට චෙන්නායි නුවර හරහා පැමිණි මගීන් තුන්දෙනෙකු (3) ඇතුළු මෙම සිවු දෙනා (4) පිළිබඳ ඉන්දියාවේ ආදායම් බුද්ධි ආයතනය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදුන් තොරතුරකට අනුවයි රුපියල් මිලියන 400 කට ආසන්න වටිනාකමකින් යුත් මෙම රත්‍රං තොගය සොයාගෙන ඇත්තේ.

ගමන් මළු තුළ එම රත්‍රං රන් ආභරණ, ද්‍රව මෙන්ම වර්ණ ගැන්වූ රන් කුඩු කරල් ලෙසද සකසා සඟවා තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා කියා සිටියේ.

එසේ ම රන් කුඩු සූක්ෂම ලෙස ආලේප කළ ඇඳුම් 30 ක් ද මෙහි දී සොයා ගෙන තිබුණා.

+


පාසල් ළමුන් ට ‘මාවා’ විකිණූ පුද්ගලයෙකු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 7ක් STF භාරයට

(09.12.2022 – 10:52 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමුන් ට ‘මාවා’ විකිණු පුද්ගලයෙකු තලවකැලේ සුමන විද්‍යාලය ආසන්නයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

සැකකරුව ඊයේ (08) සිය භාරයට ගන්නා අවස්ථාවේ දී තහනම් දුම්කොළ මිශ්‍ර ‘මාවා’ ග්‍රෑම් 54 ක් සන්තකයේ තබාගෙන සිටි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

වයස අවුරුදු 46 ක් වන සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

පසුව එම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලවකැලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීමේ දී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවයි.

මේ අතර පානම, විහාර පොකුණ රක්ෂිතය වනසමින් ගංජා වගා කළ පුද්ගලයන් පස්දෙනෙකු (5) විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පසුගිය 07 වැනිදා මෙම මෙහෙයුම සිදු කර තිබුණේ.

එහිදී සැකකරුවන් විසින් පානම, විහාර පොකුණ රක්ෂිත ප්‍රදේශය වනසමින් නීති විරෝධී ලෙස අක්කර 03 ක භූමියක ඉතාම සුක්ෂම ලෙස ගංජා වගා කර ඇති බව විශේෂ කාර්ය බලකා පවසනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

වයස අවුරුදු 32, 38, 47, 49 හා 62 වන ඔවුන් සියඹලාන්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර කේරළ ගංජා ත්‍රිරෝද රථයක් මගින් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයෙකු මට්ටක්කුලියේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි ඊයේ (08) මෙම වැටලීම සිදු කර තිබුණේ.

මට්ටක්කුලිය අලුත් පාරේ පිහිටි වාහන දුම් පරික්ෂා කරන ආයතනය අසල දී සිදු කරන ලද මෙම වැටලීමේ දී කේරළ ගංජා ග්‍රෑම් 170 ක් හා විකිණීමෙන් උපයාගත් මුදල් යැයි සැකකළ හැකි රුපියල් 25,000 ක මුදලක් හා ඩිජිටල් තරාදියක් ද සොයා ගැනුණා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 23 ක අයෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුව මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴


භික්ෂූන් ගැන තීරණ ගැනීමේ බලය මහානායක හිමිවරුන් වෙත

(09.12.2022 – 21:24 +0530 – sinhala.adaderana.lk)

ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතට යෝජිත නව සංශෝධන මගින් ශාසන විරෝධීව හැසිරෙන භික්ෂූන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය අදාළ සංඝ සභාවේ මහානායක හිමිවරුන්ට හිමිවන බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමියන් පවසයි.

ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබුණි.

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සහ ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත් සඳහා ඉදිරි පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

එමගින් කිසියම් නිකායක හෝ පාර්ශ්වයක සංඝ සභාව විසින් ගනුලැබූ තීරණයකට අනුව කිසියම් භික්ෂූන් වහන්සේ නමක් විසින් කටයුතු නොකරන අවස්ථාවකදී අදාළ සංඝ සභාවේ තීරණය බලාත්මක කරවීමට නීතිමය ප්‍රතිපාදන හිමිවී තිබේ.

අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා ඊට අදාළ කරුණු පැහැදිලි කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි, 

“යම් යම් සටන්කාමී තරුණ භික්ෂූන් කටයුතු කරපු ආකාරය දිහා බලලා මේ ගැටලුවලට විසඳුම් හොයාගන්න අමාරුයි. ඇතැම් භික්ෂූන්වහන්සේ හදි හූනියම් කරමින්, වෂී ගුරුකම් කරමින්, පුවත්පත්වල දැන්වීම් පළකරමින් කටයුතු කිරීම නිසා ශ්‍රද්ධා සම්පන්න ජනයාගේ සිත් තැලෙන සිදුවීම් වෙලා තිබෙනවා. රත්‍රං පොලු කතන්දර නොයෙක් දේවල් තිබෙනවා.” 

++++++++

+


වැට් සහ ආදායම් බදු අය කෙරෙන අයුරු

(09.12.2022 – 20:37 +0530 – sinhala.adaderana.lk)

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව ගෙනආ දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

ඒ අනුව මෙම පනත්වලට අදාළ නියෝග ලබන ජනවාරි පළමු වනදා (01) සිට ක්‍රියාත්මක වෙයි. 

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණි

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82 ක් හා විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 41 කි.

මේ අතර දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත ද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණි.

ඊට පක්ෂව ඡන්ද 79 ක් හා විපක්ෂව ඡන්ද 36 ක් හිමි විය.

ඒ අනුව එකතු කළ අගය මත බදු පනතට ගෙනආ සංශෝධන 2023 ජනවාරි 01 වනදා සිට බලාත්මක වන අතර මහල් නිවාස මිලදී ගැනීමේදී සියයට 15 ක වැට් බද්දක් ගෙවිය යුතු වෙයි.

කෙසේවෙතත් අදාළ වැට් බද්ද ගෙවිය යුතු වන්නේ මහල් නිවාස පළමු වර මිලදී ගන්නා පුද්ගලයින් පමණි.

මේ අතර මෙතෙක් පැවති රුපියල් මිලියන තුන්සියයක (300) වාර්ෂික පිරිවැටුමකට අය කෙරුණු සියයට 15 ක් වූ වැට් බද්ද වාර්ෂිකව රුපියල් මිලියන 80 ක පිරිවැටුමක් ලබන ව්‍යාපාරවලට ද අදාළ කර තිබේ.

අද (09) සම්මත වූ දේශීය ආදයම් පනත් කෙටුම්පතේ සංශෝධන ද 2023 ජනවාරි පළමු වනදා (01) සිට ක්‍රීයාත්මකය. 

ඒ අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින් ආදායම් බදු ගෙවීමට යටත් වෙයි.

++++++++


සෞඛ්‍ය සේවකයෙක් රෝහලේ අකුණු සන්නායකවල තඹ තහඩු ගලවා විකුණයි…

(09.12.2022 – 19:10 +0530 – lankacnews.com)

අලුත්ගම රජයේ රෝහලේ අලුතෙන් ඉදි කර ඇති ගොඩනැගිල්ලේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා අකුණු සන්නායකයකයන්වල පොළොවට සම්බන්ධ වන වටිනා තඹ ලෝහ අඩි සියයක (100) කොටස් රාත්‍රී සේවා මුරයේදී සූක්ෂම ලෙස ගලවා සොරකම් කරගෙන ගොස් අලෙවි කර තිබෙන එම රෝහලේම සේවයේ නියුතු සැකකාර ‘සෞඛ්‍ය කාර්යය සහයකයා’ අද (09) අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

අලුත්ගම රෝහලේ උසස් නිලධාරියෙකු අලූත්ගම පොලිසියට කළ පැමිණිල්ලේ ඔස්සේ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් කෝටි ගණනක මහජන මුදලින්මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර මේ වන විටත්එම ගොඩනැගිල්ලේ රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතුවලට යොදාගෙන නොමැති බවත් ගොඩනැඟිල්ලේ වහලය මත සවි කර තිබෙන අකුණු සන්නායක අටක (8) ඉහළ සිට පොළොවට සම්බන්ධ වන වටිනා තඹ ලෝහ තහඩු සැකකාර සෞඛ්‍ය කාර්යය සහයකයා ආරක්ෂක නිලධාරීන්ට ද නොපෙනෙනසේ ඉතා සූක්ෂමව සැලසුම් කර ගලවා තිබෙන බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.

සැකකාර සෞඛ්‍ය කාර්යය සහයකයා වසර 10 ක කාලයක සිට රෝහල් ගණනාවක සේවය කර ඇති අතර කලුතර ශික්ෂණ රෝහලේ සේවයේ යෙදී සිටිය දී දඬුවම් මාරුවක් මත අලුත්ම රෝහලට පැමිණි සැකකරු වසර පහකට (5) වැඩි කාලයක් අලුත්ගම රෝහලේ සේවයේ යෙදී සිටිය දී ඉකුත් 02 දිනරාත්‍රී සේවා මුරයේ රාජකාරි කරමින් සිටියදී මෙම සොරකම සිදුකර තිබෙන බව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

සැකකරු ලබාදුන් කට උත්තරය අනුව එම වටිනා තඹ ලෝහය සොරකම් කරගෙන ගොස් අලෙවි කර තිබූ ස්ථානයේ හිමිකරු ද සමඟ එම වටිනා ලෝහ කොටස් කීපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන තිබෙන සැකකාර සෞඛ්‍ය කාර්යය සහයකයාට මෙයට පෙර ද සිදුකර තිබෙන විවිධ වැරදි සම්බන්ධයෙන් හය (6) වතාවක් පොලිසියේ නම ලියැවී ඇති අයෙකු බවත් පොලිසිය කියයි. සැකකරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මට්ටමෙන් විමර්ශනයක් සිදුකරන බව රෝහල් ආරංචිමාර්ග පවසයි ෴


බන්දුල බලය පෙන්වයි.. කිංස්ලි ඉවතට.. ලංගමට නව සභාපතිවරයෙක්..

(10.12.2022 – 03:16 +0530 – lankacnews.com)

ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු එස්. එම්. ඩී. එල්. කේ. ඩී. අල්විස් මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන ඉංජිනේරු, එස් එම් ඩී එල් කේ ඩී අල්විස් මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත් කරනු ලැබ ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ඇමතිවරයා විසින් නව සභාපතිවරයා වෙත පිරිනැමීම ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ කාර්යාලයේදී සිදු කරන ලදි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ධුරයට පත් අල්විස් මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ හිටපු ලේකම් වරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ ෴

+++++++++

බන්දුල විසින් ධුරයෙන් ඉවත් කරනු ලැබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපතිගේ විශේෂ මාධ්‍ය හමුව (09.12.2022)

+


09-12-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *