‘මැන්ඩවුස්’ සුළං තත්ත්වයේ බලපෑමෙන් කිරි ගවයින් 500 කට ආසන්න ප්‍රමාණයක් මියැදෙයි

‘මැන්ඩවුස්’ සුළං තත්ත්වයේ බලපෑමෙන් කිරි ගවයින් 500 කට ආසන්න ප්‍රමාණයක් මියැදෙයි


‘මැන්ඩවුස්’ සුළං තත්ත්වයේ බලපෑමෙන් කිරි ගවයින් 500 කට ආසන්න ප්‍රමාණයක් මියැදෙයි

(09.12.2022 – 17:31 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල රට පුරා ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයෙන් කිරි ගවයින් 500 කට ආසන්න ප්‍රමාණයක් මියැදී ඇති බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය විසින් නිවේදනය කර තිබෙනවා.

දින කිහිපයක සිට ශ්‍රී ලංකාවට බලපා ඇති ‘මැන්ඩවුස්’ සුළං තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අධික සීතල හා වර්ෂා බලපෑම හේතුවෙන් මෙම සතුන් මියැදී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එලෙස මියගිය කිරි ගවයින් 165 දෙනෙකු සහ එළුවන් 07 දෙනෙකුගේ සිරුරු කිලිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොන්නගර් ප්‍රදේශයෙන් ද වාර්තා වනවා.

මෙම ගවයින් සහ එළුවන් ගව මඩුවල මෙන් ම වීදිවල ද තැනින් තැන මියැදී සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් සතුන් මෙම ස්වභාවික ව්‍යසනයෙන් බේරාගැනීමට ගම්වාසීන් විසින් ඔවුන් සිටින ස්ථානවල ගිනිමැල ගසා සතුන් බේරාගැනීමේ කටයුත්තේ නියැලී සිටියා.

කිලිනොච්චියේ පසුගිය දින දෙක (2) තුළ දී පරිසර උෂ්ණත්වය සඳහන් වූයේ සෙල්සියස් අංශක 17 ක් ලෙසයි.

+++++++++

සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 1300 කට හානි

(09.12.2022 – 19:33 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ වායු දූෂණය යළි ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ දත්ත වාර්තාවට අනුව බත්තරමුල්ලේ වායු තත්ත්ව දර්ශකය ඒකක 52 ක් ලෙස මීට ටික වේලාවකට පෙර සටහන් වී තිබුණා.

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 48 ක් ලෙසත්, මන්නාරම සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඒකක 42 ක් ලෙසත් දැක්වුණු අතර කෑගල්ලේ වායු තත්ත්ව දර්ශකය ඒකක 41 ක් ලෙස සටහන් වී තිබුණා.

යාපනය දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 39 ක් ලෙසයි දැක්වුණේ.

මෙලෙස ඒකක 36 ත් 52 ත් අතර අගයන් වාර්තා වී ඇති සියළු දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ තැඹිලි පැහැයෙන් දක්වා ඇති අතර, එය සාමාන්‍ය මහජනතාවට බලපෑමක් සිදු නොකළද සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍ය ගැටළු ඇති කළ හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර, ඒකක 53 ත් 70 ත් අතර අගයන් රතු පැහැයෙන් වර්ණ ගැන්වෙන අතර, එය සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් මෙන්ම සංවේදී පිරිස් සඳහා බරපතළ සෞඛ්‍ය බලපෑමක් ඇති කරන්නක්.

එවැනි රතු පැහැයක් ගන්නා අගයන් ඊයේ (08) සහ පෙරේදා (07) මෙරට ප්‍රධාන නගර රැසක දක්නට ලැබුණා.

මේ අතර නිව්මෝනියාව, ඉන්ෆුවෙන්සා වැනි ශ්වසන රෝග තත්ත්වයන් නිසා නිදන්ගත රෝග උත්සන්න වීමෙන් රෝහල්ගත වන සංඛ්‍යාව මේවන විට ඉහළ ගොස් ඇති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළේ.

මෙම ශීත කාලගුණික තත්ත්වය අද (09) දිනයේත් අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද (09) පස්වරුව වනවිට දිවයිනේ අවම ඌෂ්ණත්වය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබූ අතර, එම අගය සෙල්සියස් අංශක 8.1 ක්.

වෙනත් දිනවලට සාපේක්ෂව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද උෂ්ණත්වය පහත බැස තිබෙනවා.

මේ අතර මැන්ඩවුස් සුළි කුණාටුව නිසා හටගත් අයහපත් කාළගුණයෙන් පුද්ගලයන් 4335 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

එමෙන්ම නිවාස 1302 කට හානි සිදුව ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

මැන්ඩවුස් සුළි කුණාටුව අද (09) රාත්‍රිය වනවිට උතුරු තමිල්නාඩුව දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කෙරෙනවා.

මේ හේතුවෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර 60 – 70 ක් පමණ තද සුළං ඇති විය හැකියි.

එමෙන්ම උතුරුමැද පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

++++++++++++

+


පනතට පිටින් කළ පත්කිරීම් ඇතුළු විදේශ සේවා නියුක්තියේ මගඩි ගොඩක් එළියට

(09.12.2022 – 18:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතට අනනුකූලව කරන ලද පත් කිරීමක් ඇතුළු එම කාර්යාංශයේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ පරිපාලන ගැටලු රැසක තොරතුරු කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබෙනවා.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 2019 සහ 2020 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඊයේ (08) රැස් වූ අවස්ථාවේ දී යි.

එහි දී විගණකාධිපතිවරයා විසින් සිය වාර්තාවේ පෙන්වා දී තිබූ මූලික කාරණා 21 ක් පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනුණා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය විසින් නිවේදනය කරන එම කරුණු සහ ඒවා සම්බන්ධයෙන් කෝප් කමිටුවේ නිර්දේශ සහ උපදේශ නිකුත් කළ අතර හෙළිවූ ගැටලු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසයි කෝප් කමිටුව විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගය කළේ.

අදාල නිර්දේශ සහ උපදේශ පහතින් :

01. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට අදාළ පනත සම්බන්ධයෙන් ඇති ගැටලු යාවත්කාලීන කිරීම පිළිබද කරුණු මෙහිදී විමර්ශනය කෙරිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන ආයතනයක් ලෙස කටයුතු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට ‘විදේශ සේවා නියෝජිතායතන’ නියෝජනය කරමින් සිවුදෙනෙකු (4) පත් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමුවිය. ‍කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට අමාත්‍යාංශයේ නියෝජිතයෙකු නොමැති වීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටුව දැනුම් දුන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යාවත්කාලීන කිරීම සදහා කඩිනමින් කටයුතු කර ඒ පිළිබද මූලික වාර්තාවක් මසක කාලසීමාවක් තුළ ඉදිරිපත් කරන ලෙසයි.

02. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතට අනුව උප සභාපති තනතුරක් නොතිබිය යුතු බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන්නේය. එමෙන්ම අමාත්‍යවරයා විසින් කර ඇති පත්වීම නීත්‍යනුකූල නොවන බවත් එවැනි පත් කිරීමක් සදහා පනතේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවත් අමාත්‍යවරයා වෙත වහාම ක්‍රියාත්මක වන පිරිදි ලිපියක් මගින් ඒ බව දන්වන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග මෙහිදී කෙරිණි. පසුගිය කාල සීමාව තුල උක්ත තනතුර දැරෑ පුද්ගලයන් ගනු ලැබු තීරණ නිත්‍යනුකූල නොවන බව දන්වන ලෙසද ලේකම්වරයාට දන්වන ලදි.

03. කාර්යාංශයේ සංයුක්ත සැලැස්ම යාවත්කාලින කර මාස දෙකක් (2) ඇතුලත ඉදිරිපත් කරන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට කෝප් කමිටුව නියෝග කරන ලදි. ඒ සමගම උපායමාර්ගික සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම සහ අනුප්‍රාප්තික සැලැස්ම ද ඊට ඇතුළත් විය යුතු බවටද උපදෙස් ලබා දෙන ලදී.

04. ‘කම්කරු සුබසාධන අරමුදල’ වෙනම ගිණුමක් ලෙස පවත්වාගෙන යාම සහ විගණකාධිපතිවරයාගේ මූල්‍ය විගණනයට ලක්කිරීම සදහා වන වැඩපිළිවෙල මෙම මුදල් වර්ෂයේ සිට ක්‍රියාවට නංවන ලෙස නියෝග කෙරිණි. ඒ පිළිබඳව ප්‍රධාන මූල්‍ය නිලධාරියා විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දන්වා අධ්‍යක්ෂ මණ්ඩල තීරණය දෙමසක් (2) ඇතුළත කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කෙරිණි.

05. පූර්ව කැබිනට් නිර්දේශයකට අනුව ශ්‍රී ලංකා පොලිසියේ සේවය විමර්ශන කටයුතු සදහා කාර්යාංශය යොදාගෙන තිබුණද දැනට එවැන්නක් ක්‍රියාත්මක නොවන නිසා විමර්ශන කටයුතුවල සිදුවිය හැකි අඩුපාඩු මොනවාද යන්න හදුනා ගැනීම සිදුවිය. ඉහත කැබිනට් අනුමතියට අදාළ වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීම පිළිබඳ කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී.
.
එවැනි අවශ්‍යතාවක් නොමැතිනම් එය කැබිනට් මණ්ඩලය වෙත දන්වා ඒ සදහා අවශ්‍ය විධිවිධාන ගන්නා ලෙස ද උපදෙස් ලබා දුන්නේය.

06. විවිධ අක්‍රමිකතාවන් පිළිබඳව විගණකාධිපතිවරයා විසින් හෝ අමාත්‍යාංශ මටිටමින් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශ මට්ටමින් ‍ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකොට, වරදකරුවන්ට දඩුවම් නොකිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයන්ට අනුව ඔවුන් නිදොස්කොට නිදහස් කිරීම පිළිබඳව කරුණු සාකච්ඡා විය. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විනය පරීක්ෂණ සංචිතයේ සහයෝගය ලබාගෙන විධිමත් විනය පරීක්ෂණයක් සිදුකොට මසක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

07. විදේශගත ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් ලබා දීමේදී සිදුවී ඇතැයි කියන දෝෂ සහගත තත්ත්වයන් සහ අක්‍රමිකතා පිළිබදව විශේෂ වාර්තාවක් විගණකාධිපතිවරයා වෙතින් කැදවීමට නිර්දේශ විය. එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රක්ෂණාවරණයක් ලබා දීමේ ක්‍රියා පිටිපාටිය පිළිබදව සංක්ෂිප්ත වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

08. විධිමත් අනුමැතියකින් තොරව දිගින් දිගටම කාර්යාංශය මගින් සිදුකළ වියදම් සමිබන්ධයෙන් කරුණු විභාග කළ අතර ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මහාභාණ්ඩාගාරයේ නියෝජිතයා විසින් සම්බන්ධීකරණය කොට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද සංක්ෂිප්ත වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි.
.
එහිදී මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් ලෙස විවිධ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත්කර යවන පිරිස් නිශ්චිත කාල සීමාවකට පත් කරන ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට නියෝග කෙරිණි.

09. ආයෝජන තීන්දු පමා කිරීම මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුව ඇති අලාභ පිළිබද කෝප් කමිටුව කරුණු විමර්ශනය කළ අතර එවැනි අලාභයක් සිදුව ඇත්තේ එවැනි තීන්දු ගැනීම සදහා වන බලය එක් නිලධාරියෙකුට පැවරීම නිසා බව ද හෙළි විය. එමනිසා කමිටුවක් වෙත එම බලය පැවරිය යුතු යැයි නිර්දේශ කළ කෝප් කමිටුව ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද සති දෙකක් (2) තුළ දන්වන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට නියෝග කළේය.

10. විදේශ දූත මණ්ඩලවල කම්කරු සුබසාධන කටයුතු සිදුකරන අය පිළිබදව විශේෂ විමර්ශනයක් අභ්‍යන්තර විගණක විසින් කළයුතුයැයි කෝප් කමිටුව යෝජනා කළ අතර එම වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා මගින් කෝප් කමිටුව වෙත ලැබීමට සලස්වන ලෙස නිර්දේශ කෙරිණි.

11. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විවිධ රටවල රැකියා අවස්ථාවන් සදහා පවත්වන විවිධ වැඩසටහන් මගින් විශාල පිරිසකට පුහුණු අවස්ථාවන් ලැබුණද විදේශගත වීමට අවස්ථාව නොලබන නිසා සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විගණාකාධිපති වාර්තාව මගින් හෙළිදරව් විය. එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දැනුට පුහුණු කිරීම් සදහා යොමුකොට විදේශගත විමට සූදානම් කර ඇති පිරිස් පිළිබද පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස කාර්යාංශයයේ සභාපතිවරයාට නියෝග කළේය ෴


‘හිරු’ට තුති පුදා කිරිබත් කැපූ සේවකයෝ

(09.12.2022 – 21:35 +0530 – hirunews.lk/sinhala)

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සේවකයින් අද (09) එම කාර්යාලය ඉදිරිපිට රතිඤ්ඤා දල්වමින්, සිය සතුට පළ කළා.

ඒ, ‘හිරු සී.අයි.ඒ.’ හරහා සිදුකළ හෙළිදරව්වෙන් පසු එහි අධ්‍යක්ෂ ජනරාල් හා සභාපතිවරයාව ඉවත් කිරීම සම්බන්ධවයි.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා විසින් මුතූර් ‘සාෆි නගර්’ හි දුෂිත වැලි ගණුදෙනුවකට බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු වංචා දුෂණ හෙළි කිරීමත් සමග ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමටයි කටයුතු කෙරුණේ.

ඒ සමග ‘සාෆි නගර්’ වැලි බලපත්‍රය ලබාගත් භූ විද්‍යා කාර්යාංශයේ සභාපතිවරයාව ද එම තනතුරින් ඉවත් කිරීමට පියවර ගැනුණා.

එම තීන්දුව ඊයේ (08) රාත්‍රී හිරු ප්‍රවෘත්ති විකාශයෙන් දැනුවත්වීමත් සමග අද (09) පෙරවරුවේ බත්තරමුල්ල භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඉදිරිපිට උත්සව සිරියක් ගත්තා.

භූ විද්‍යා කාර්යාංශ සේවකයන් කාර්යාලය ඉදිරිපිට සිය සතුට සැමරීමට සුදානම් වෙද්දී ඊයේ (08) සේවයෙන් ඉවත් කළ එහි සභාපති සෙනරත් හේවගේ ප්‍රසාද් මංජුල කාර්යාලයෙන් පිටතට ගිය අයුරු ද දක්නට ලැබුණා.

සභාපතිවරයා කාර්යාංශයෙන් ඉවත් වනවිට රාජකාරී අවශ්‍යතා මත බව පවසමින් ඔහුට නිකුත් කර තිබු ඩබ්ලිව්.පී. පී.ජේ. 6152 රථය ද වෙනත් පුද්ගලයෙකු විසින් කාර්යාංශ භූමියෙන් පිටතට රැගෙන යන අයුරු දැකගත හැකි වුණා.

ඊට අමතරව සභාපතිවරයා පිටවයාමට පෙර ඊයේ (08) සිට බලපැවැත්වෙන පරිදි භූ විද්‍යා ප්‍රාදේශීය කාර්යාල කිහිපයක රෙජිස්ට්‍රාර්වරුන්ට ස්ථාන මාරු ලිපි ලබා දී ඇති බවට ද ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

එම ස්ථාන මාරු අතර සභාපතිවරයාගේ දුෂිත ‘සාෆි නගර්’ වැලි බලපත්‍රයේ අයදුම් පත භාරගත් රෙජිස්ට්‍රාර්වරිය ද සිටින බවටයි තොරතුරු හෙළි වුයේ.

මේ අතර භූ විද්‍යා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් කාර්යාංශයේ සේවක පිරිස කාර්යාලය ඉදිරිපිට කිරිබත් මේසයක් විවෘත කර ප්‍රදේශවාසීන්ට ද මෙලෙස සංග්‍රහ කර සිය සතුට පළ කළා.

https://www.youtube.com/watch?v=IviLV5g3cV0#t=5

වැට් බද්දට එරෙහිව පාරට බැස්ස විද්වතුන්

(09.12.2022 – 21:30 +0530 – hirunews.lk/sinhala)

අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට සහ දේ‍ශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තිකයින් විරෝධතාවක් පැවැත්වුවා.

එහිදී විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ අදාළ බදු සංශෝධන හේතුවෙන් මෙරට වෘත්තිකයින් රට හැර යාමේ අවදානමක් මතුවන බවයි.


සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයින් 04 ක් අත්අඩංගුවට

(09.12.2022 – 19:58 +0530 – hirunews.lk/sinhala)

නවගමුව පොලිස් වසමේ සමගි මාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු (4) අවිආයුධ සමගින් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ, මෙම සැකකරුවන් සන්තකයේ තිබී කඩු 02 ක්, මන්නා පිහි 04 ක්, මෙරට නිෂ්පාදිත අත් බෝම්බ 02 ක්, අපරාධ සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ත්‍රීරෝද රථයක් හා යතුරු පැදියක් ද පොලිස් භාරයට ගැනුණා.

අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ මොවුන් පසුගිය මස 16 වැනි දින නවගමුව – දැඩිගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකට ද අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටි අයවලුන් බවයි.

මොවුන් වයස අවුරුදු 21, 29 හා 41 වැනි වියෙහි පසුවන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම පිරිස ජාත්‍යන්තර පොලිසිය මගින් ද රතු නිවේදන නිකුත් කර විදෙස්ගතව සැඟවී සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකුගේ ගෝලයින් බවට ද තොරතුරු හෙළි වී තිබෙනවා.

එමෙන්ම මෙම සැකකරුවන්ට අදාළ අපරාධ සිදු කිරීමට විදෙස්ගතව සිටින තැනැත්තා විසින් මුදල් එවා ඇති බවට ද අනාවරණ වී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

සැකකරුවන් හෙට (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ඉන්දියාව ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් වීසා (e-වීසා) නැවත ආරම්භ කරයි

(09.12.2022 – 19:45 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් වීසා බලපත්‍ර ලබාදීම යළි ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට මේ අනුව පහසුවෙන් වීසා අයදුම් කළ හැකි බවයි.

සංචාර සඳහා, ව්‍යාපාර කටයුතු, සම්මන්ත්‍රණ සහ තවත් බොහෝ දේ සඳහා ඉන්දියාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා මේ පහසුකම් විවෘත වන බවයි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.

පහත දිගුව ඔස්සේ විද්‍යුත් වීසා (e-වීසා) සඳහා ඔබට දැන් අයදුම් කළ හැකියි :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *