කොළඹ ජනප්‍රිය පාසලක දැරියක අපයෝජනය කළ බැංකු මැනේජර් අත්අඩංගුවට

කොළඹ ජනප්‍රිය පාසලක දැරියක අපයෝජනය කළ බැංකු මැනේජර් අත්අඩංගුවට


කොළඹ ජනප්‍රිය පාසලක දැරියක අපයෝජනය කළ බැංකු මැනේජර් අත්අඩංගුවට

(08.12.2022 – 08:14 +0530 – mawbima.lk)

කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියක කොළඹ ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු බිරිය මියගිය, වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනකුගේ (2) පියෙකු බව පොලිසිය කියයි.

කොළඹට ආසන්න ප්‍රදේශයක දැරිය පදිංචිව සිටින අතර ඇය පමණක් නිවෙසේ සිටින අවස්ථාවේදී මීට මාස කිහිපයකට ඉහතදී නිවසේ දුරකතනයට ඇමතුමක් ලැබී විසන්ධි වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මඳ වේලාවක දී නැවතත් ඇමැතුම පැමිණ ඇති අතර දැරිය ඊට පිළිතුරු ලබාදෙමින් කවුදැයි විමසීමේදී ‘ඇයි දුකින් වගේ කතා කරන්නේ’ යැයි පුද්ගලයෙකු පවසා ඇති අතර දෙදෙනා අතර පසුව සුහදත්වයක් ඇති වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. තමන්ගේ වයස අවුරුදු තිස් නවයක් (39) බව කී එම නාඳුනන තැනැත්තා තමාගේ බිරිය මිය ගොස් ඇති බවත් දියණියන් දෙදෙනකු (2) සිටින බව ත් වැඩිදුරටත් පවසා ඇත.

අනතුරුව එම පුද්ගලයා දැරියට ඔහුගේ ජංගම දුරකතන අංකය ලබා දී ඇති අතර දැරිය නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථාවේදී නිවෙසේ දුරකතනයෙන් ද සමහර අවස්ථාවලදී පියාගේ දුරකතනය සොරාගෙන එමඟින් ද එම පුද්ගලයා සමග දුරකතනයෙන් අදහස් හුවමාරු කර තිබූ බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

පසුව එදින සිට වරින්වර දැරිය පාසලට යාම සඳහා නිවෙසින් පිටව ගිය අවස්ථාවලදී අතරමගදී එම පුද්ගලයා දැරියව ඔහුගේ අඳුරු වීදුරු සහිත ජිප් රථයේ නංවාගෙන ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් දැරිය අපහරණය කර ඇතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සමහර අවස්ථාවලදී දැරිය සිය පාසල් බෑගයේ පාට ඇඳුම් දමාගෙන ගොස් ජීප් රථය තුළදී ම ඇඳුම් මාරු කරගෙන ඔහු සමග එහි ගත කර පාසල නිමා වන අවස්ථාව වන විට නැවතත් නිල ඇඳුමින් සැරසී සුපුරුදු ලෙස නිවසට ගොස් ඇති බව ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

එම අවස්ථාවලදී දෙදෙනාට අනුභව කිරීම සඳහා ක්ෂණික ආහාර ද පානය කිරීමට වතුර බෝතල්, ටිෂූ කඩදාසි ආදිය ද සුපිරි වෙළෙඳසල්වලින් මිල දී ගෙන ඇතැයි ද දැරිය ලබාදුන් ප්‍රකාශයෙන් වැඩිදුරටත් අනාවරණය වේ.

පවත්වාගෙන යන මෙම සම්බන්ධය පන්තියේ එක් මිතුරියක් පමණක් දන්නා බවත් එම මිතුරිය සැකකරුට දුරකතන ඇමතුමක් ලබා දී වයස අවුරුදු 18 වන තුරු මෙම සම්බන්ධතාව නතර කර දමන ලෙසත් පවසා ඇතැයි ද දැරිය ලබාදුන් ප්‍රකාශයක සඳහන් වේ.

දැරියගේ හැසිරීම් රටාවේ වෙනසක් දුටු මවුපියන් නිවෙසේ ස්ථාවර දුරකතනයේ වාර්තාවක් ලබාගෙන පරීක්ෂා කිරීමේදී නාඳුනන දුරකතන අංකයක් දැක ඒ බව පොලිසියට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

තවද ඇතැම් ස්ථානවල සීසීටීවී දර්ශන ඔස්සේ ද පොලිසිය පරීක්ෂණ පවත්වා ඇත. දැරිය එම කාලය තුළ සැකකරු සමග ගත කිරීම හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු ද මග හැරී ඇතැයි පොලිසිය කියයි.

සැකකරුගේ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔහු පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි ෴

• බැංකු කළමනාකරු කිරුලපන ප්‍රදේශයේ පදිංචි අයෙක් (hirunews.lk/sinhala)

++++++++

දැරියකට අතවර කළ ‘වල් බැංකු මැනේජරයා’ රිමාන්ඩ්

(08.12.2022 – 20:32 +0530 – hirunews.lk/sinhala)

= දැරියකට අතවර කළ බැංකු මැනේජර් රිමාන්ඩ් =

කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කළ බව කියන පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් අවස්ථා කිහිපයකදී අදාළ දැරිය අඳුරු වීඳුරු සහිත ජීප් රථයකින් කොළඹ ප්‍රදේශයේ රථ ගාල්වලට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් 50 හැවිරිදි මෙම සැකකරුද වයස අවුරුදු 13 සහ 17 යන වයස්වල පසුවන දැරියන් දෙදෙනෙකු (2) සිටින බව අනාවරණ තිබෙනවා ෴

+


තරුණියක බිය ගන්වා මාලය කඩා ගත් සැකකරු ‘සෙල්ෆි’ ඡායාරූපයෙන් අත්අඩංගුවට

(08.12.2022 – 11:21 +0530 – mawbima.lk)

මහ මග ගමන් ගත් තරුණියකගේ ගෙළට තියුණු ආයුධයක් තබා මරණීය තර්ජනය කොට රන් මාලයක් කොල්ල කන අවස්ථාවේදී ඉතා සූක්ෂම ලෙස තරුණිය අත තිබූ ජංගම දුරකතනයෙන් ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් ආධාරයෙන් කොල්ලයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ දහයකට (10,00,000) අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් දහයයි මිලි ග්‍රෑම් හයසිය පනහක් (10.65) ද හමුවූ බව පොලිසිය පැවසීය.

හෝමාගම මූලස්ථාන පොලිසියේ නිලධාරී කණ්ඩායමක් හෝමාගම පිටිපන, සුවපුබුදුගම ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයක යමින් සිටියදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනකු (2) යමින් සිටි යතුරුපැදියක් නවතා පරික්ෂා කිරීමේදී එහි සිටි එක් පුද්ගලයෙකුගේ කලිසම් සාක්කුවේ හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 400 ද අනිත් පුද්ගලයා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 250 තිබී හමුවූ බව පැවසේ.

පසුව සැකකරුවන් දෙදෙනා (2) පරීක්ෂා කිරීමේදී පසු පැදිකරු සන්තකයේ තබා ගෙන සිටි උල් පිහියක් ද භාරයට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා (2) යතුරු පැදියද සමග අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් තවදුරටත් පරීක්ෂා කිරීමේදී එහි සිටි එක් පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියේ තිබී රුපියල් ලක්ෂයකට (1,00,000) උකස් කරන ලද රන් මාලයකට අදාල රිසිට් පතක් හමු වී ඇත.

ඒ සම්බන්ධයෙන් දිගින් දිගට ම ප්‍රශ්න කිරීමේදී එම රන් මාලය කහතුඩුව පොලිස් වසමේදී කාන්තාවකට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා කොල්ල කන ලද රුපියල් ලක්ෂ දෙකක් (2,00,000) පමණ වටිනා රන් මාලයක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව, රුපියල් ලක්ෂයකට (1,00,000) උකස් කර තිබූ රන් මාලය පොලිසිය මගින් සොයාගෙන ඒ සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය දැනුවත් කිරීමේදී, එහි තිබූ සෙල්ෆි ඡායාරූපයක් පරික්ෂා කිරීමේදී එහි සිට ඇත්තේ හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබූ උල් පිහිය රන් මාල කොල්ල කෑමේ දී කාන්තාවන් බිය ගැන්වීමට භාවිත කරන උල් පිහිය බව ද පැවසේ.

සැකකරුවන් දෙදෙනා (2) හෙරොයින් හා රන්මාල කොල්ලකෑම සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලැබූවන් දෙදෙනෙකු (2) බව කියයි.

අත්අඩංගුවට ගත් හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචි ‘හරා’ නමැත්තා සහ ඔහුගේ සහායකයා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම් මහතාගේ උපදෙස් මත, දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අජන්ත ප්‍රභාකර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මක ය ෴


අනිද්දා පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවෙයි

(08.12.2022 – 16:02 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (10) පෙරවරු 10 සිට පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහා නගර සභාව, මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශවලට පෙරවරු 10 සිට රාත්‍රී 08 දක්වා ඒ අනුව ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

එමෙන්ම කොළොන්නාව නගර සභාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියේ ෴


අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට උත්තර ලංකා සභාගයෙන් ප්‍රකාශයක්

(08.12.2022 – 15:47 +0530 – hirunews.lk/sinhala)

උත්තර ලංකා සභාගයේ සියලුම නියෝජිතයින් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා.

ඒ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ සහ මොහොමඩ් මුසම්මිල් අදහස් පල කළා.

තවදුරටත්, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා ෴

+


2021 සා/පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයඳුම්පත් කැඳවයි

(08.12.2022 – 17:23 +0530 – hirunews.lk/sinhala)

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (08) සිට ලබන 20 වැනිදා දක්වා ඔන්ලයින් ක්‍රමයට අයඳුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එහි අයදුම්පත් https://www.doenets.lk වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ෴


‘ශාෆි නගර් වැලි ජාවාරම’ට චෝදනා එල්ල වූ භූ විද්‍යා ලොක්කන්ට එරෙහිව පියවර

(08.12.2022 – 18:58 +0530 – hirunews.lk/sinhala)

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට එල්ල වු දුෂණ චෝදනා හේතුවෙන් ඔහුව එම තනතුරින් ඉවත් කර එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

‘හිරු සී.අයි.ඒ.’ හරහා දිගින් දිගටම මොවුන් දෙදෙනාගේ (2) දුෂිත ගණුදෙනු පිළිබඳ කළ හෙළිදරව් අනුව මොවුන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

මිරිස් වගා කිරීමේ ව්‍යාපෘතියක් මුවාවෙන් මුතූර් සාෆි නගර් ප්‍රදේශයේ ඉඩම් අක්කර ගණනාවක් වැලි ජාවාරම් කිරීම් සඳහා වෙන් කර ගෙන තිබුණ අතර මෙම දුෂිත වැලි ජාවාරම සඳහා භූ විද්‍යා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා විසින් කැණීම් බලපත්‍රයක් සඳහා අවසර ලබා දී තිබුණේ එම කාර්යාංශයේම සභාපති සෙනරත් හේවගේ ප්‍රසාද් මංජුල නම් අයටයි.

මෙම දුෂිත වැලි ගණුදෙනුව ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළි කිරීමත් සමග රට තුළ එම පරිසර විනාශය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මතු වූ අතර පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් භූ විද්‍යා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට චෝදනා පත්‍රයක් නිකුත් කළා.

එහි දී පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ මෙම දුෂිත වැලි ගණුදෙනුව හරහා භූ විද්‍යා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා විසින් ජාතික පාරිසරික පනත උල්ලඝනය කර බරපතල විෂමාචාරයක් සිදු කර ඇති බවත්, අදාල තනතුරේ රැදෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තනතුර අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කළ බවටයි.

+


• අර්බුදය පිළිබඳ ඥානාන්විත කියැවීමක් ආණ්ඩුවට නැහැ!
• කළ යුත්තේ සියල්ල ගිලිහෙන ප්‍රතිසංස්කරණ නොව, ප්‍රතිලාභ ජනතාව අත රැඳෙන ප්‍රතිසංස්කරණයි!
• පාසල් උපකරණ, ආබාධිත ප්‍රජාවට අවශ්‍ය උපකරණ මත බදු එපා!
උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ
(2023 අයවැය තෙවන වර කියවීමේ විවාදය /2022-12-08)

07-12-2022

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් උතුරේ ගිහින් බලය බෙදන්න කතා කරලා

(08.12.2022 – 23:30 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් යාපනයට ගොස් විවිධ පාර්ශ්ව සමග උතුරට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි ජාතික පුවත්පත් කිහිපයක් ම අද (08) කරුණු වාර්තා කළා.

එහි දී උතුරේ ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා සහ යාපනය නගරාධිපති මනිවන්නන් ඇතුළු විවිධ සංවිධාන කිහිපයක නියෝජිතයන් සමග මෙම සාකච්ඡා පවත්වා ඇති බවත්, ඇය පසුව කිලිනොච්චියට ද ගොස් එම ප්‍රදේශයේ ද්‍රවිඩ දේශපාලකයන් හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව‍යි එම පුවත්පත් වාර්තා කරන්නේ.

මේ අතර ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද උතුරට ගොස්, එස්. ශ්‍රීධරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන් හමුවී ඇති බවත් වාර්තා වනවා ෴


හෙට (09) පාසල් නිවාඩුවක්

(08.12.2022 – 21:19 +0530 – hirunews.lk/sinhala)

පවත්නා කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සියලු ම රජයේ පාසල් වලට සහ රජයේ ආධාර ලබන පාසල් වලට නිවාඩු ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග කළ විමසීමක් අනුව අදාල නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ ෴


දශකයකට පසු මෙරට වායුගෝලයේ වැඩි ම දූවිලි අංශු ප්‍රමාණය අද (08)

(08.12.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala)

දශකයකට පමණ පසු මෙරට වායුගෝලයේ වැඩිම දූවිලි අංශු ප්‍රමාණය දැන් (08 වන දා) වාර්තා වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එහි පරිසර ආරක්ෂණ අංශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක කියා සිටියේ මැන්ඩවුස් සුලි කුණාටුවද ඉන්දියාවේ සිට දූවිලි අංශු ගලා ඒම බලපෑ ඇති බවයි.

කෙසේ වෙතත් අද (08) උදෑසන කාලයේ පැවති තත්වයට සාපේක්ෂව මේ වන විට දූලි අංශු ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (08) පැවති වැඩසටහනකදී පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ මෙම තත්වය ශ්‍රී ලංකාවට පාලනය කළ හැකි තත්වයක් නොවන බවයි.

මේ අතර මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් අද (08) උතුර සහ නැගෙනහිර දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට අද (08) පස්වරුවේ සහ රාත්‍රි කාලයේ මිලි මීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මැන්ඩවුස් සුළි කුණාටුව හෙට (09) රාත්‍රිය වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

++++++++

+


රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තවත් සටනකට සැරසෙයි – විපක්ෂයේ සියළු පක්ෂ සමග එකම වේදිකාවක (08.12.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *