පාසල් ගමනට සමුදී මව රකින බෝසත් පුතා

පාසල් ගමනට සමුදී මව රකින බෝසත් පුතා


පාසල් ගමනට සමුදී මව රකින බෝසත් පුතා

(07.12.2022 – 16:13 +0530 – ada.lk)

පාසල් ගමනට සමුදී දරුණු පිළිකා රෝගයක් සහ ස්නායු රෝගයකින් පෙළෙන තම මෑණියන් රැකබලාගන්නා දාහත් (17) හැවිරිදි අපේ කාලේ බෝසත් පුතෙකු පිළිබඳ පුවතක් කැකිරාව මඩාටුගම ප්‍රදේශ්යේදී උතුම් උදුවප් පොහෝ දිනයේ (07.12.2022) වාර්තා විය.

ඩබ්ලිව්. ජි. තරුෂ ගුණවර්ධන පුතා මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙ සමත් දරුවෙකි, වසර දෙකකට (2) වැඩි කාලයක සිට තම මෑණියන් එක්තැන් වීමත් සමග කඩින් කඩ පාසල් ගොස් කිසිදු උපකාරක පන්තියකට පවා නොගොස් විභාගයට පෙනී සිට විෂයන් 8 සමග සම්මාන පහක් (5) සහිතව උසස් පෙළ හැදෑරීමට වරම් ලබාගෙන මේ වන විට අධ්‍යාපනය නවතා දමා ඇත්තේ සිය මවට උවැටන් කිරීම්ට කෙනෙකු නොමැති නිසාවෙනි.

කැකිරාව මඩාටුගම කොටාගල හන්දිය ප්‍රදේශයේ පදිංචි එම්. ඒ. අමිතා ගුණවර්ධන (53) හැවිරිදි මව මේ වන විට ඇවිද ගැනීමට හෝ නොහැකිව එක්තැන් වී සිටින්නේ කිසිදු ප්‍රතිකාරයක් ලබා ගැනීමට පවා මුදලක් නොමැතිව නිසාවෙනි. දරුණු පිළිකා රෝගයක් සහ ස්නායු රෝග නිසා ඇය ඔත්පළ වී තම දාහත් (17) හැවිරිදි දරුවා ගේ උපස්ථාන වලින් පමණක් ජීවත්වන බව ඇය හැඬූ කඳුළින් අප සමඟ පැවසුවාය.

තම මෑණියන්ට ඇප උපස්ථාන කරන මෙම බෝසත් පුතා පෙර පාසල් ආරම්භ කරන සමයේ ඔවුන්ගේ පියා හෘදයාබාධයකින් මියගොස් තිබේ, ඇස් දෙක මෙන් පිරිමි දරුවන් දෙදෙනෙකු (2) මෙම මවට සිටි බවත් හදිසි රිය අනතුරකින් තම වැඩිමහල් දරුවා මීට වසර 5 කට ඉහත දී මියගොස් ඇති බව ඇය සඳහන් කළාය.

එදා සිට තම දරුවා හදාවඩා ගැනීම අධ්‍යාපනය දීම ආදී සියලු කරුණු කාරණා කර ගනිමින් සිටියදී මීට වසර දෙකකට (2) පමණ ඉහත දී එක වරම අමිතා ගුණවර්ධන මහත්මිය මෙම රෝගයට ගොදුරු වී තිබේ.

එදා සිට මේ දක්වාම දාහත් (17) හැවිරිදි බෝසත් පුතා මෙම මවගේ රෙදිපිළි සෝදා පිරිසුදු කිරීම, මව නහවා පිරිසිදු කිරීම, ආහාර පිස කැවීම පමණක් නොව වැසිකිළි කැසිකිළි පවා සුද්ධ පවිත්‍ර කිරීම මවගේ සියලු ඇප උපස්ථාන කිරීම ඔහු විසින් ඔහුගේම අත් දෙකෙන් සිදු කරනු ලබන්නේ මවට ඇති ආදරය සහ තමන් අතින් සිදු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කරමින්ය.

ඇවිද ගැනීමටට හෝ නොහැකිව සිටින මෙම මව හඬා වැටෙමින් අප සමග කියා සිටියේ පිරිමි දරුවෙකු තමන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරද්දි තමන්ගේ හදවත හිර වන බවය.

එවැනි අවාසනාවන්ත තත්වයක් අත්විදින්නට සිදුවී ඇත්තේ තමා පෙර කළ පවක් නිසා බව ඇය හඬා වැටෙමින් අප සමග ප්‍රකාශ කළාය.

විවිධ තරග වලින් සමස්ත ලංකා ජයග්‍රහණ පවා හිමිකරගෙන ඇති තරුෂ ගුණවර්ධන, පාසලේ ශිෂ්‍ය නායකයා ද වන බව සහතික ඡායාරූප පෙන්වමින් අප සමග සඳහන් කළේය.

අධ්‍යාපනයට විශාල කැප කිරීමක් කළ ඔහු මව වෙනුවෙන් ඒ සියල්ල පසෙක දා මේ වන විට කවුරුන් හෝ ගෙනැවිත් දෙන ආහාර වේල්කින් තම මව සහ තමන් දිනකට එක වේලක් ආහාර ගෙන ජීවත්වන බවද කියයි.

විනාඩි 30 ක් පමණ ගත වෙද්දී මවට මූත්‍ර පිටවන නිසා දිනකට රාත්‍රිය එළිවනවිට ඇඳුම් රැසක් ඉවත් කොට අලුයම ඒවා සියල්ල සෝදා වේලා ගැනීම ඔහුගේ පළමු රාජකාරිය වෙයි. සබන් කුඩු ටිකක් රෙදි සෝදන සබන් කැටයක් හෝ ලබාගැනීමට නොහැකි වන බවත් කවුරුන් හෝ ගෙනැවිත් දෙන රෙදි හෝදන කුඩු වලින් මවගේ රෙදිපිළි සෝදා ගන්නා බව ඔහු අප සමග සඳහන් කළේය.

තම දරුවා සිදුකරන උතුම් මෙහෙවර පිළිබඳව හැඬූ කඳුළින් ඩබ්ලිව්. ඒ. අමිතා ගුණවර්ධන මහත්මිය මෙසේ අප සමග සඳහන් කළාය.

“මට හරිම දුකයි මගේ දරුවා ඉදිරියේයේ පෞද්ගලික සියලු දේවල් සිදු කර ගන්න සිදුවීම්. කාන්තාවක් විදියට – අම්මා කෙනෙක් විදියට මට ඒක දරා ගන්න බැහැ. මොන අම්මට ද තරුණ පිරිමි දරුවෙක් ඉදිරියේ කාන්තාවකගේ සිදුවෙන සියලු ක්‍රියාවන් සිදු කරනකන් බලන් ඉන්න පුළුවන්. මගේ පපුව හිර වෙනවා, ඇඟ රත් වෙනවා කරන්න දෙයක් නැහැ. මම පෙර කරපු පවක් වෙන්න ඇති. මේ ආත්මෙ නම් මම කිසිම කෙනෙකුට පවක් කරල නැහැ.

මගේ සැමියා මිය ගියා. ලොකු පුතා මිය ගියා. මම මේ විදිහට ඔත්පල වුණා. පොඩි පුතා නින්දක් නැතුව මගේ ලඟ සියලු දේවල් කරනවා. දෑතින් වඩාගෙන ගිහිල්ලා වැසිකිළියට යනවා. අඩුම තරමේ අපිට වැසිකිලියක් වත් නෑ. පුටුවක් කපලා අරගෙන තමයි පුතා ඒ වැඩ කරවන්නේ. අඩුම තරමේ කොමඩ් වැසිකිළි පහසුකමක් වත් තිබුනොත් මගේ පුතාට ටිකක් හරි පහසු වෙනවා.

රෝදපුටුවක් ඉල්ලගෙන ආවා ඒකත් දැන් කැඩිලා මාව උස්සගෙන තමයි පුතා වැසිකිළි කැසිකිළි වලට එක්කගෙන යන්නේ.

වහිනකොට මුළු ගේම තෙමෙනවා මේ ඇඳ තියන ටික විතරයි ඉතිරි වෙලා තියෙන්නේ, අතේ සතයක් නැහැ ඔක්කොම බෙහෙත් වලට වියදම් කළා. දැන් ප්‍රතිකාරයක් ගන්න යන්නවත් මුදලක් අපි දෙන්නා ලග නැහැ.

මට දුක තියෙන්නේ දරුවරුවාගේ අධ්‍යාපනය ගැන. එයා හොඳට ඉගෙන ගත්ත දරුවෙක්. දැන් පාසල් ගමන නැවතිලා. විභාගය පාස් වෙලා. උසස් පෙළ කරන්න විදිහක් නෑ මං නිසා. මොකක්ද කරන්නෙ කියල මටම තේරෙන්නෙ නෑ. කවුරුහරි කරන්න ඕන මොනවද කියලා තේරුම් කරල දෙනවනං ඒකත් ලොකු පිනක්. එහෙම නැත්තං මට මගේ වැඩ ටික වත් කරගන්න පුළුවන් වෙන විදියට රෝගයට ප්‍රතිකාරයක් කරගන්න තිබුනානම් ඒ ඇති. එතකොට දරුවාට කවුරුහරි දෙන එකකින් හරි ඉගෙන ගන්න පුළුවන්.”

මව එසේ කියද්දී ඩබ්ලිව්. ජී. තරුෂ ගුණවර්ධන බෝසත් පුතා අප සමග මෙසේ පැවසීය :

“මට අම්මව හොඳ කරගන්න තිබුණ නම් ප්‍රමාණවත්. කොහොමහරි මම දන්නවා ඉගෙනගෙන රස්සාවක් කරගන්න. ඉගෙන ගන්න මේ දවස් වල විදිහක් නෑ. හැමතිස්සේම අම්ම ලඟ ඉන්න ඕන. මට යාළුවො ගොඩක් හිටියා. එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්න අනිත් ඔක්කොම අය මාව අමතක කළා.

කොහොම හරි මම විශ්වාසයක් තියන් හිටියා ‘ඒ’ නවයක් සහිතව විභාගය පාස් වෙනවා කියලා. අම්මා ඉස්පිරිතාලෙ තියන් හිටියා. විභාගය කිට්ටු වෙද්දිම ඉගෙන ගන්න පන්ති යන්න ඉස්කෝලේ යන්න තිබුණේ නැහැ. කොහොමහරි විභාගය ලියලා ‍ප්‍රතිඵල ලැබුණා. ඒක ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා.

මේ දවස් වල කාගේ හරි උදව්වක් ලැබුණොත්, අම්මව සනීප කරගන්න – අම්මට කන්න බොන්න ටිකක් අරන් දෙන්න පුලුවන්. මොකද එයා ආසා කරන කෑමක් බීමක් දෙන්න – කිරි ටිකක් දෙන්න – ඇඳුම්ක් පැළඳුමක් අරන් දෙන්න විදිහක් නෑ. අම්මට ඇඳේම මූත්‍ර යනවා. පාරවල් වල තියෙන බැනර් ගෙනල්ලා තමයි දාලා තියෙන්නේ. එයාට රෙදි ගොඩක් යනවා. ඉතින් හදිස්සියකට පැම්පස් එකක්වත් අන්ද ගන්න – මිලදී ගන්න විදිහක් නෑ. අද මගේ අතේ තියෙන්නේ රුපියල් පන්සීයයි, ඒකත් නැන්දා කෙනෙක් ගෙනත් දීපු රුපියල් පන්සියයක්. මම ඒක වියදම් කරන්නැතුව තියාගෙන ඉන්නේ හදිසියක් වුනොත් අම්මව රෝහලකට හරි ගෙනියන්න. ඒක හැර මගේ ලග රුපියලක් වත් නෑ.

මම කාගෙන් හරි ඉල්ලන්නේ අම්මව සනීප කර කරගන්න මට උදව් කරන්න කියලා විතරයි. එහෙම උනොත් මට උසස් පෙළ කරලා හොද රස්සාවක් කරලා අම්මව ජිවත් කරවන්න පුළුවන් .”

මේ බෝසත් පුතාට පිහිටවී සසර කෙටිකර ගන්න.

ඔවුන්ගේ ලිපිනය :

ඒ. එම්. අමිතා ගුණවර්ධන මහත්මිය
කොටාගල හන්දිය
මඩාටුගම

දුරකථන අංකය : 071 903 7495

බෝසත් පුතාගේ බැංකු ගිණුම :

බැංකු ගිණුමේ අංකය :
890 54 310
89054310

බැංකු ගිණුමේ නම :
ඩබ්ලිව්. ජි. තරුෂ ගුණවර්ධන
W G Tharusha Gunawardhana
W G T Gunawardhana

බැංකුව සහ ශාඛාව :
ලංකා බැංකුවේ මඩාටුගම ශාඛාව
Bank Of Ceylon (BOC) – Madatugama

(එස්. කරුණාරත්න විසින්)


මිහින්තලේ නාහිමි ආණ්ඩුවට මාසයක් කල්දෙයි

(08.12.2022 – 08:09 +0530 – sinhala.adaderana.lk)

වත්මන් ආණ්ඩුවට ජනතාවට සහන ලබාදීම සඳහා තවත් මාසයක කාලයක් ලබාදෙන බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ජනතාව සඳහා සහන ලබාදීම සඳහා රජය කඩිනම් වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවය.

මිහින්තලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි එම අදහස් පළ කළේය.

“රට කරවන ජනාධිපතිට, අගමැතිට කැබිනට් එකට කාලේ දෙන්නේ මාසයයි. රටේ ලක්ෂ 220 ක් ගැන හිතපල්ලා. මේ සියලු ආගම්, සියලු ජාතීන් එකතුවෙලා උඹලට කියන්නේ මිනිස්සුන්ට සහන දීපල්ලා. මිනිස්සුන්ට සහන නොදී උඹලා දිගටම මේ රට පාලනය කරන්න යනවා නම්, අපිට වෙනවා උඹලා එලවන්න. ජනවාරි මාසයේ අලුත් අවුරුද්දක් ලබනවා. පුර පසළොස්වක පෝයත් ලබනවා. ඒ වෙනකොට මහජනතාව වෙනුවෙන් ජීවත්වෙන්න අයිතිය දීපල්ලා. උඹලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ මධුසමය ගතකරන්න කියලා හිතනවා නම් උඹලට වැරදිලා. මෙච්චර කල් අපෙන් වැරදීමක් වුණා. ඒක අපි නිවැරදි කරන්න තමා එක මාවතකට, එක කොඩියක්, එක නීතියක්, එක රටක් කියන එකට අපි පෙළගස්වන්නේ. පාර්ලිමේන්තුව කරන එක නායකයෙක්වත් අපිට වැඩක් නෑ” ෴


ලෝක වෙළෙඳපොලේ පවත්වාගෙන ගිය මූල්‍ය වංචාවක් හිරු CIA අල්ලයි

(07.12.2022 – 23:32 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර වෙළඳපලේ මුදල් ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දෙන බව පවසා සිදුකර ගෙන ගිය තවත් මහා පරිමාණ මුල්‍ය වංචාවක් පිළිබඳව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විමර්ශන අරඹා තිබෙනවා.

එම මුල්‍ය වංචා සිදු කළ ආයතනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන ගොස් තිබුනේ ‘කොළඹ, කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 19 වැනි මහළේ’යි.

කොළඹ – කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය පසුගිය කාලයේ ජනතාව අතර දැඩිව කථාබහට ලක්වුයේ කෝටිපති ව්‍යාපාරිකයින් රැවටු තිළිණි ප්‍රියමාලිගේ ‘තිකෝ ගෲප්’ ව්‍යාපාරික ස්ථානය එම ගොඩනැගිල්ලේ පවත්වාගෙනයාම හේතුවෙන්.

තිළිණිගේ මුල්‍ය වංචා හෙළිදරව්වීමත් සමග එවැනි තවත් මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳව සමාජය තුල අවධානය යොමු වූ අතර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 19 වැනි මහලේ පවත්වා ගෙන ගිය තවත් ව්‍යාපාරයක් පිළිබඳව ද කරුණු හෙළිදරව් වුණා.

ඒ, එම මහලේ පවත්වාගෙන ගිය ආයතනයකින් මුදල් ආයෝජනය කරන ලෙස ව්‍යාපාරිකයන්ට ආරාධනා කරන බවට දුරකථන හඩපටයක් නිකුත්වීමත් සමගයි.

මෙරට මූල්‍ය ආයතන සම්බන්ධ ප්‍රධාන වගකීම දරන ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු ලියාපදිංචියක් නොමැතිව මුල්‍ය ආයෝජන සිදුකිරීමට ජනතාව පොළඹ වන මෙම ආයතනය පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ සොයා බැලුවා.

මෙම ආයතනය මගින් රුපියල් ලක්ෂ 32 ක් හා රුපියල් ලක්ෂ 39 ක් වංචා කළ බව පවසමින් මේ වනවිට කොළඹ වංචා විමර්ශන කාර්යංශය වෙත පැමිණිලි දෙකක් (2) ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධ ඉදිරි විමර්ශන පිළිබඳව මෙන්ම මේ මහා පරිමාණ මූල්‍ය වංචාවේ තවත් තොරතුරු ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළිකිරිමට අප සුදානම්.


රු. කෝටි ගණනක මුදල් වංචා කළ චීන යුවළට අධිකරණයෙන් දුන් නියෝගය

(08.12.2022 – 11:07 +0530 – sinhala.adaderana.lk)

පරිගණක මෘදුකාංගයක් හරහා රුපියල් කෝටි 1,500 කට අධික මුදලක් වංචා කළ බවට අත්අඩංගුවට ගත් චීන ජාතික යුවළ ඇතුළු සැකකරුවන් 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සැකකරුවන් ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළ බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

‘ස්පෝට්ස් චේන්’ නම් පරිගණක මෘදුකාංගයක් මගින් වැඩි ප්‍රතිලාභ ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 1,500 කට අධික මුදලක් වංචා කළ බවට අදාළ චීන ජාතික යුවළ ඇතුළු සැකකරුවන් 08 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකර ඇති ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 15 දින ප්‍රකාශයට පත් කරන බව නඩුව කැඳවූ අවස්ථාවේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත ෴


විශ්වවිද්‍යාලය සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචිය ලබන සතියේ සිට

(08.12.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම ලබන සතියේ සිට ආරම්භ කෙරෙනවා.

විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ ලියාපදිංචි කිරීම් සිදු කළ හැකි බවයි එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

සති දෙකක (2) කාලයක් තුල අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා ෴


රට තුළ සිටින ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ක්‍රමවේදයක්

(08.12.2022 – 09:38 +0530 – hirunews.lk/sinhala)

රට තුළ සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන්ගේ සේවා තත්ත්වයන් සහ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර තීරණය කර තිබෙනවා.

ඒ සදහා වන වැඩසහටනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අමාත්‍යවරයා උපදෙස් ද ලබා දී තිබුණා.

අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන සහ ඉදිරි වැඩ සටහන් සැලසුම් සම්බන්ධයෙන් වන සාකච්ඡාවේ දී මෙම ක්‍රමවේදය සකස් කිරීම සදහා වන තීරණය ගෙන තිබෙනවා.

මේ වන විට ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත්කර යන ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ක්‍රමවේදයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ක්‍රියාත්මක කරන නමුත් දේශීය වශයෙන් ගෘහ සේවයේ යෙදෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය අවධානය යොමු කළා.

ඒ අනුව දේශීය ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා දැනුම් දුන්නා.

තවද, විදේශ රටවල සිටින ගෘහ සේවිකාවන් ගැන සහ ඔවුන් හිංසාවට පත්වීම ගැන විතරක් හැමෝම කතා කරන බවත්, ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගත වන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් රට ඇතුළේ ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරන බවත් එහිදී අමාත්‍යවරයා පැවසුවා.

මේ නිසා දේශීය වශයෙන් සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බැවින් ඔවුන්ගේ ආරක්ෂාව හා සේවා තත්ත්වයන් සම්බන්ධයෙන් වන විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ ෴


වායු රයිෆලයෙන් තැබූ වෙඩිල්ලක් වැදී දෙහැවිරිදි (2) දියණියකට තුවාල

(08.12.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala)

තම 11 හැවිරිදි සොහොයුරා වායු රයිෆලයකින් තැබූ උණ්ඩයක කැබැල්ලක් ගෙලෙහි වැදී අවුරුදු දෙකක් (2) වයසැති දැරියක් බරපතල තුවාල ලැබූ පුවතක් පස්යාල – දෙමටදෙණිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා.

වායු රයිෆල් උණ්ඩයේ කොටස දැරියගේ උගුර ප්‍රදේශය පසාරු කරගෙන ගොස් ඇති අතර, ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

11 හැවිරිදි ඇයගේ සොහොයුරා වායු රයිෆලයෙන් බිත්තියට වෙඩි තබා ඇති අතර, එම අවස්ථාවේ දී යි දැරිය අනතුරට ලක් ව ඇත්තේ.

මීට පෙර කතරගම – දෙටගමුව ප්‍රදේශයේ දී සිය බාප්පා අතැතිව තිබූ වායු රයිපලයක් ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ පස්හැවිරිදි (5) දරුවා මිය ගොස් තිබුණේ පසුගිය 17 වැනි දා යි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *