රටින් පිටවෙන්න යන විශේෂඥ වෛද්‍යවරුන් ගුවන්තොටේදී, තානාපති කාර්යාල වලදී අපරාධකරුවන් ලෙස ‘බ්ලැක් ලිස්ට්’ කරන්න යයි..

රටින් පිටවෙන්න යන විශේෂඥ වෛද්‍යවරුන් ගුවන්තොටේදී, තානාපති කාර්යාල වලදී අපරාධකරුවන් ලෙස ‘බ්ලැක් ලිස්ට්’ කරන්න යයි..


රටින් පිටවෙන්න යන විශේෂඥ වෛද්‍යවරුන් ගුවන්තොටේදී, තානාපති කාර්යාල වලදී අපරාධකරුවන් ලෙස ‘බ්ලැක් ලිස්ට්’ කරන්න යයි..

(06.12.2022 – 16:40 +0530 – lankacnews.com)

වෛද්‍ය විශේෂඥවරුන් ගුවන්තොටුපොළේ දී මෙන්ම විදේශ තානාපති කාර්යාල වල දී අපරාධකරුවන් හෝ ත්‍රස්තවාදීන් ලෙස අපහාසයට පත් කිරීමට උත්සාහ කිරීමක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මේ බව පවසමින් එම සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

= මාධ්‍ය නිවේදනය =

සෞඛ්‍ය ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපගේ ප්‍රතිචාරය

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස නොවැම්බර් මස 29 වැනි දින ගරු සෞඛ්‍ය ඇමති තුමා විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අප දැඩිව විරෝධය පළ කරන අතර එය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරමු. මෙම ප්‍රකාශය විශේෂඥ වෛද්‍යවරුන්ට කළ අපහාසයක් වන අතර එමගින් ඉදිරියේදී සිදුවිය හැකි අනිසි බලපෑම් ගැන අප දැඩි අවධානයෙන් බලා සිටිමු.

එතුමාගේ ප්‍රකාශයට අනුව මින් පසුව රජය විසින් නිවාඩු අනුමත කිරීමකින් තොරව විශේෂඥ වෛද්‍යවරුන් රැකියාවන් සඳහා විදේශගත වීමට දරන උත්සාහය වැලැක්වීමට තානාපති කාර්යාල හරහා ඔවුන්ට අවශ්‍ය වීසා නිකුත් කිරීම නවත්වන ලෙස උපදෙස් දෙනු ඇත. රටේ වත්මන් ආර්ථික තත්ත්වය අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෑම අංශයකම නිලධාරීන් විදේශගත වීම නොවැලක්විය හැකි වී ඇති අතර රජයේ අවසරයකින් තොරව එසේ විදේශගතවීම ආයතනික සංග්‍රහය ට විරුද්ධව ක්‍රියා කිරීමක් බව අප පිළිගන්නා අතර එහිදී ක්‍රියාකළ යුතු වන්නේ එම නිලධාරීන් සේවය අතහැර ගියා සේ සළකා යම්කිසි වන්දි මුදලක් අය කර ගැනීමට ඇත්නම් එය අයකර ගැනීමට කටයුතු කිරීමයි.

නමුත් අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් පමණක් ඉලක්ක කර මෙම ප්‍රකාශය නිකුත් කර ඇති බව පැහැදිලි වන අතර මෙය පුද්ගලයින්ට සම ලෙස සැලකීමේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ අංක 12 වගන්තිය ප්‍රකාර මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්ද වනු ඇත. තවද එම ප්‍රකාශයට අනුව ව්‍යවස්ථාවේ අංක 14(1)(h) සහ 14(1)(i) යන නිදහසේ සංචාරණය සඳහා ඇති අයිතිය කඩකිරීමක්ද වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඕනෑම සමාජයක මෙම නව යෝජනා පිළිගත නොහැකි කාරණයක් වනු ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර මෙහිදී මෙම නිලධාරීන් අපහාසයට හා අනවශ්‍ය බලපෑම් වලට ලක් නොකර ඔවුන්ට විදේශගත වීමට අවශ්‍ය නිවාඩු අනුමත කිරීම හා සේවයෙන් ඉවත් වීමට අවශ්‍ය නම් ඊට අවශ්‍ය කටයුතු නිසි ලෙස සම්පාදනය කර දෙන ලෙස අපි ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

මෙහිදී තවදුරටත් විදේශ ගත වීමට අදහස් කරන වෛද්‍යවරු එලෙස විදේශගත වීම අධෛර්යමත් කිරීම සඳහා ගුවන්තොටුපලේ දී එම නිලධාරීන්ට රටින් පිටවීමට ඉඩ නොදෙන ලෙස දන්වා සිටින බවද ප්‍රකාශ කර ඇත. මෙලෙස මෙම වෛද්‍ය විශේෂඥවරුන් ගුවන්තොටුපොළේ දී මෙන්ම විදේශ තානාපති කාර්යාල වල දී අපරාධකරුවන් හෝ ත්‍රස්තවාදීන් ලෙස අපහාසයට පත් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අපි පුදුම සහගත වෙමු. අප සංගමය මෙම තත්ත්වය දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන අතර මෙම තත්ත්වය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක.

එලෙසම ඇමතිතුමාගේ ප්‍රකාශයට අනුව මෙම විශේෂඥ වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකත්වය අහිමි කිරීමට ද කටයුතු කරනු ඇත. මෙහිදී වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය හා රෝගින් ගේ සුබසාධනය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබා දී ඇති බලතල ඇමතිතුමා විසින් බලෙන් පවරා ගැනීමට උත්සාහ කිරීම ඉතා අනීතික ක්‍රියාවකි. නොවැම්බර් මස 29 වැනි දා සිදු කළ මෙම ප්‍රකාශය ට අනුව මෙසේ විදේශගතවීමට තැත් කරන වෛද්‍යවරුන් වෙනම ‘කළු’ ලේඛනයකට ඇතුළත් කිරීමටද ඇමති තුමා අදහස් කරන බව පෙනේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම අත්තනෝමතික ප්‍රකාශය අන්තර්ජාතිකව ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන්ගේ කීර්තියට සිදුකරනලද බරපතළ හානියක් ලෙස දකිමු. එතුමාගේ මෙම ප්‍රකාශය විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීයමය තත්ත්වයට දැඩි හානියක් මෙන්ම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම් සිදුකරන ප්‍රකාශයක් ලෙස අපි දකිමු. ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන් අන්තර්ජාතික ලෙස ඉතා ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තිකයන් කණ්ඩායමක් වන අතර ඒ සඳහා දිගු කාලයක් තිස්සේ ඊට අවශ්‍ය කරන පසුබිම එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පුද්ගලයන් විසින් දැඩි කැපකිරීම් මත ලබා ගත් අතර කිසියම් පුද්ගලයෙකු ට හෝ පුද්ගලයන් කණ්ඩායමක ගේ අවශ්‍යතා පිරි මසා ගැනීම සඳහා මෙම තත්ත්වය නැතිකර දැමීමට අපට ඉඩ දිය නොහැකි බව අපි අවධාරණය කරමු.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය අවතක්සේරු කරන, අප හොඳින් දන්නා, විශේෂඟ සුදුසුකම් නොලත් වෛද්‍ය පරිපාලන නිලධාරීන් සමූහයකගේ උපදෙස් මත අමාත්‍යවරයා මෙම අදහස් පැවසීම ඉතා කනගාටුදායක කරුණකි. විශේෂඥ වෛද්‍යවරුන් අපහාසට ලක් කිරීම, සුළු කොට තැකීම මෙන්ම ඔවුන්ට අනවශ්‍ය අඩන්තේට්ටම් කිරීමට විරුද්ධව අප සංගමය එක්වී කටයුතු කරන බව මෙයින් අවධාරණය කරමු. මෙහිදී ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට මෙම තීරණය සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කොට වෛද්‍ය ක්ෂේත්‍රයේ සුබවාදී භාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් අප ඉල්ලා සිටිමු.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය


අමරණීය ගීත දායාද කළ ජ්‍යෙෂ්ඨ ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස් දැයට සමු දෙයි

(06.12.2022 – dinamina.lk)

අවමංගල නිවෙසකට ගොඩ වෙද්දී ජනප්‍රිය ගීත අසන්නට ලැබීම තරමක නුහුරු නුපුරුදු දෙයකි. ඒත් මේ කියන්නට යන අවමඟුල් උත්සව දින නොනවත්වා මේ ගීත වාදනය වන්නට විය. ඒ ගීත සියල්ලක්ම මිය යන්නට යෙදුණු අය විසින්ම රචනා කොට තිබීම විශේෂත්වයකි.

හේම ශ්‍රී ද අල්විස් නම් ඒ අසහාය කලාකරුවා නිසොල්මනේය. ගීත හාරදහසකට ආසන්න ප්‍රමාණයක් රචනා කළ ඔහු පසුගිය පළමු වැනිදා කලා ලොවට පමණක් නොව මුළු ලොවටම සමුදී පෙරේදා (04) නික්ම ගියේය.

වාද්දුව, තල්පිටිය මැද පාරේ පදිංචිව සිටි අසූ එක් (81) වැනි වියෙහි පසු වූ හේම ශ්‍රී ද අල්විස් මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සිය කලා ජීවිතය ආරම්භ කර ඇත. මීට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශිල්පිනී අයිරින් ද අල්විස් ඔහුගේ ආදරණීය භාර්යාව වූ අතර, සමන්ත චින්තක, දසුන් ද අල්විස් පුතුන් සහ කල්‍යාණි ප්‍රනාන්දු ලේලිය සමඟ ඔහු ජීවිතයට සමු දෙන තුරුම කාලය ගෙවීය.

‘මැණිකේ ඔබේ සිනාවේ’, ‘දෑස පා සිනා කියන රහස තේරුණා’, ‘මධු සඳෙන් තවත් සුපුන් සඳක්’, ‘ශ්‍රීණි විභූෂිත’, ‘මැණිකක් රකිනා නා රජිඳකු සේ’, ‘මයුරාසන මත වැඩ හිඳිනා’, ‘නෙත් යුග රන්තරු යුවළ සමයි’ වැනි ඉතාම ජනප්‍රිය ගීත ඇතුළුව ගීත හාරදහසක් පමණ හේම ශ්‍රී ද අල්විස් මහතා විසින් රචනා කොට ඇත.

ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට අමරණීය ගීත රැසක් දායාද කළ ජ්‍යෙෂ්ඨ ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස් මහතාගේ අභාවය සැලවීමෙන් තමන් සාතිශය සංවේගයට පත් වූ බවත්, ඔහුගේ දරුවන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට සහ රසිකයන්ට සාතිශය සංවේගය පළ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයකින් දන්වා තිබිණ. එම ශෝක පණිවිඩය ගායන ශිල්පී නුවන් විජය ශ්‍රී මහතා අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කළේය.

හේම ශ්‍රී ද අල්විස් මහතා ජනප්‍රිය ගායක ගායිකාවන් බොහෝ දෙනකුටම ගීත ලියා ඇත්තේය. මීට දශක ගණනකට පෙර ලියූ එම ගීත අදටත් ඉතාම ජනප්‍රිය බව නොරහසකි.

අවමංගල්‍ය සභාව කෙටියෙන් ආමන්ත්‍රණය කළ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රවීණ නිවේදක ජයන්ත පීරිස් මහතා “හේම ශ්‍රී දක්ෂ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වගේම දක්ෂ ගීත රචකයෙක්. කිසිම දවසක ඔහු කාගෙවත් දේවල් හොයපු කෙනෙක් නෙමෙයි. ඔහු කවදාවත් ගායක ගායිකාවන් පිටුපස ගියේ නෑ. කවදාවත් ගීත ලියන්න සල්ලි ඉල්ලුවේ නෑ. බොහෝ ගායක ගායිකාවන් ගීත ලියා ගන්න ඔහු ළඟට ආවා. හේම ශ්‍රී කියන්නේ කලාතුරකින් හමු වන ඉතාම හොඳ මනුෂ්‍යයෙක්. අපි නැවත හමුවෙමු.” යැයි පැවැසීය.

ශ්‍රීණි විභූෂිත ගීතය පසුබිමින් ප්‍රචාරය වෙද්දී හේම ශ්‍රී ද අල්විස් මහතාගේ නිසල දේහය ඥාති හිතමිත්‍රාදීන්ගේ කර මතින් භාග්‍ය පොදු සුසාන භූමිය වෙත ගමන් ඇරඹීය. ඒ ඔහු විසින්ම රචිත පහත පද රැගත් බැනරය පෙරටු කොට ගෙනය.

‘පෙන්නා සිනා කට කොයිකාටත් දන්නා
ඔබ අප අතර රන් තරුවක් ලෙස උන්නා
සසරෙහි අනිසි බව මුළු ලෝකෙට පෙන්නා
මරුවා තවත් කිරි ඇති ගහකට ඇන්නා’

වාද්දුව ආදාහනාගාරයේදී හේම ශ්‍රී ද අල්විස් කලාකරුවාණන් දැයට සමු දුන්නේ නූතන ප්‍රබුද්ධ කලා කෙතට හිඩැසක් එකතු කරමිනි.

ගායන ශිල්පීන් වන ධනපාල උඩවත්ත සහ නුවන් විජය ශ්‍රී මහත්වරු මේ අවස්ථාවට එක් වූහ. මෙවන් අසහාය කලාකරුවකු සමුගන්නා මොහොතේ කලාකරුවන්ගේ සහභාගිත්වය ඉතාම අවම මට්ටමක පැවතීම අවමංගල්‍ය අවස්ථාවට සහභාගි වී සිටි සෑම දෙනකුගේම දැඩි කතාබහට ලක් විය.

ආගමික වතාවත් පස්දුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් විදුහල්පති හැඩිගල්ලේ වජිර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, නිවේදක, මාධ්‍යවේදී සිසිර ජයතිලක මහතා අවමංගල්‍ය සභාව මෙහෙයවීය ෴


දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිඟ විදුලි බිල රුපියල් දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…

(06.12.2022 – 15:50 +0530 – lankacnews.com)

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලි සැපයුම නැවත ලබා දුන්නද හිඟ විදුලි ගාස්තු නොපියවන්නේනම් මෙම මස 14 වැනිදා සිට යළි විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් දැනුම්දී තිබේ.

ඉකුත් 27 වනදා එම ආරණ්‍යසේනාසනයේ විදුලිය විසන්ධි කළ ද මාධ්‍ය විසින් කළ අනාවරණයෙන් පසු නැවත පසුගිය 28 වනදා විදුලිය ලබාදීමට කටයුතු කරණ ලදි.

නමුත් එම ආරණ්‍ය සේනාසනයේ හිග විදුලි බිල්පත රුපියල් දොළොස් ලක්ෂ (12,00,000) ඉක්මවා ඇති නිසා දින 14 ක් ඇතුලත එය නොගෙවන්නේ විදුලිය විසන්ධි කරන බව මණ්ඩලය දැනුම් දී ඇත ෴


සප්ත කන්‍යා රක්ෂිතයට අනවසරෙන් ඇතුල් වි කදවුරු බැද සිටි වෛද්‍යවරුන් අත්අඩංගුවට…

(06.12.2022 – 17:30 +0530 – lankacnews.com)

දිවයින තුල බිහිසුණුම ගුවන් අනතුර සිදු වු නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට නිසි අවසර පත්‍රයක් නොමැතිව ඇතුල් වි රක්ෂිතය තුල දින කිහිපයක් කදවුරු බැද සිටි වෛද්‍යවරුන් තිදෙනෙකු (3) ඇතුළු හය (6) දෙනෙකු 05 වන දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇපකරයක් මත මුදා හැරි බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු (3) සහ ඔහුන්ගේ හිතවතුන් තිදෙනෙකු (3) ඉකුත් 02 වන දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට ඇතුල් වි ඇති අතර, පසුව එම පිරිස අතුරුදහන් වි ඇති බවට ලද තොරතුරක් මත නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් අතුරුදහන් පිරිස සොයා මෙහෙයුමක් දියත් කර තිබුණි.

එම මෙහෙයුම අතරතුර අවසරයකින් තොරව සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට ඇතුල් වි සිටි හයදෙනා (6) රක්ෂිතයෙන් පිටතට පැමිණි අවස්තාවේ අත්අඩංගුවට ගත් බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් හයදෙනා (6) අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් ද සිටි බවත්, අත්අඩංගුවට ගත් හයදෙනා (6) ඇපකරයක් මත මුදා හැරි බවත්, ඇපකරයක් මත මුදා හැරි වෛද්‍යවරුන් ඇතුළු හයදෙනා (6) මේ මස 27 වන දින හැටන් දිසා අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

වනජිවි උද්‍යාන සහ ස්භාවික රක්ෂිත වලට ඇතුල් විමට වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ලිඛිත අවසර පත්‍රයක් තිබිය යුතු බවත්, එසේ ලිඛිත අවසරයක් නොමැතිව කිසිවෙකුට එම රක්ෂිත වලට ඇතුල් විමට නොහැකි බවත්, රක්ෂිත වලට ඇතුල් වන අය පිලිබදව තොරතුරු වෙතොත් 1992 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දෙන ලෙස ප්‍රභාෂ් කරුණාතිලක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

– රංජිත් රාජපක්ෂ


වතුකරයේ දුප්පතුන්ගේ වකුගඩු විකුණන බිහිසුණු ජාවාරමක්

(06.12.2022 – 14:10 +0530 – mawbima.lk)

මුදලට වකුගඩු අලෙවි කළ උකුවෙල ප්‍රදේශයේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව නිසි පෝෂණය හා ඖෂධ නොමැතිව රෝගීන් බවට පත්ව ඇතැයි උකුවෙල වතුකරයේ කළ නිරීක්‍ෂණ චාරිකාවකදී හෙළිවී ඇත.

ඉතා රහසිගතව තැරැව්කරුවන් මඟින් වතු තරුණ තරුණියන්ගේ සහ විවිධ වයස්වල අඩු ආදායම්ලාභී ඉතා දිළිඳු ජනතාව තෝරාගෙන එක වකුගඩුවක් රුපියල් ලක්‍ෂ තුනත් පහත් (3-5) අතර මුදලකට මිලදී ගැනීම් සිදුවන බව මෙම චාරිකාවේදී හමුවූ වකුගඩු අලෙවි කළ පිරිස් ‘මව්බිම’ ට පැවැසූහ.

පවතින ආර්ථික දුෂ්කරතාව නිසා වතු ජනතාව තම වකුගඩුව අලෙවි කිරීම සිදුකරන බවත් ජීවිතය පවතිනතුරු එම අය සඳහා විවිධ උදවු උපකාර කරන බවට පොරොන්දු වුවද අවසානයේ වකුගඩුව ගලවා ගැනීමෙන් පසු තැරැව්කරු විශාල මුදලක් ලබාගෙන ඉතිරි මුදල කොටස් වශයෙන් හෝ තමන්ට ලබාදී ඉන් පසුව වකුගඩුව මිලදී ගන්නා පුද්ගලයා තමන් දෙස කිසිදු අවධානයක් යොමු නොකරන බව වකුගඩු අලෙවි කළ උකුවෙල ප්‍රදේශයේ ජනතාව පවසති.

මේ නිරීක්‍ෂණ චාරිකාවේදී හමුවූ වසන්ත ජයසිංහ (43) මේ වනවිට රැකියාවක් කරගත නොහැකි රෝගියෙකි. ඔහු වකුගඩුවක් දීමට පෙර හා පසු කරන ලද පරීක්‍ෂණවල වාර්තා මිටියක් දෝතින් ගෙන අගුපිළේ හිඳ මෙසේ කීවේය :

“නානා ඇවිත් මට කිව්වා මෙහෙම වැඩක් තියෙනවා කියලා. අපට ඉන්න හරියට ගෙයක් තිබුණේ නෑ. බොන්න වතුර තිබුණේ නෑ. වැසිකිළියක් නෑ. ඉතින් මම එක ගමනම කැමැති වුණා. පවුල කැමැති වුණේ නෑ. ඒ ගමන මම එයා අස්සන් කරන විදිහටම අස්සන් කරලා මේ වැඩේ කළා. රුපියල් ලක්‍ෂ පහක් (5) අතට දුන්නා. අන්තිමට ටිකට් කපල මාව ගෙදර ගෙනත් බැස්සුව වෙලාවේ ඒ සල්ලි දුන්නේ.

අපරාදෙ වකුගඩුව දුන්නේ කියලත් හිතෙනවා. ඒත් මං නැති කාලෙක පවුලේ අනික් අයට වැටිලා ඉන්න තැනක්, කරන්ට් එක, වතුර, වැසිකිළියක් හැමදේම තියෙනවානේ. මට දැන් මගේ රෙදි කෑල්ලක්වත් හෝද ගන්න බැහැ. හති වැටෙනවා. වැඩිදුරක් ඇවිදින්නත් බැහැ.”

එම්. තිරුචෙල්වම්ද මේ ඛේදවාචකයට මුහුණ දී සිටින්නෙකි. ඔහු තම කතාව කීවේ හැඬූ­ කඳුළිනි.

“මගේ පවුල පිච්චුණා. ගේ සින්නවෙන්න ගියා. දරු තුන් දෙනෙක් ඉන්නවා. ඒ වෙලාවේ ලක්‍ෂ පහක් (5) දෙන්නම් කියලා බ්‍රෝකර් කෙනෙක් ඇවිත් වකුගඩුව ඉල්ලුවා. මං කැමැති වුණා. ඒත් ලක්‍ෂ හතරයි (4) දුන්නේ. ඒකෙන් ගේ බේරගත්තා. වකුගඩුව දෙන වෙලාවේ ඒ ලෙඩාගේ නෑයෝ මට උදවු කරන්නම් කීවා. ඒත් කතා කළාට උත්තර දෙන්නෙවත් නෑ.

මට දැන් හොඳට ඇවිදින්න බෑ. කන්න බොන්න නෑ. ආයිත් ගේ උකස් තියන්න වුණා. සතියට දවස් දෙකක් අමාරුවෙන් වැඩ කරනවා. වකුගඩුව ගන්න ගෙදර ඉඳලා වාහනයක එක්ක ගියාට ආපහු ගෙනත් දැම්මේ පිටකොටුවට විතරයි. තුවාලෙ පැසවල හරි අමාරු වුණා. බෙහෙතුත් නෑ.

මම හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මෙහෙම ජාවාරම්කාරයන්ට අහුවෙන්න එපා කියලයි.”

අපට මඟ පෙන්වූ ජෙගනාදන් කියා සිටියේ මෙසේ වකුගඩු විකිණූ­ දෙදෙනෙක් (2) මේ වනවිට මියගොස් ඇති බවය. වතුකරයේ සිය දෙනෙක් (100) පමණ වකුගඩු විකුණා ඇති බවත් දැන් ඔවුන්ගෙන් වැඩි පිරිසක් රෝගීන් වී ඇති බවත් ඔහු කීවේය.

අපට හමුවූ වකුගඩුවක් රුපියල් ලක්‍ෂ හයකට (6) අලෙවි කළ තැනැත්තකු වන එන්. ජී. විජේසිරිගේ බිරිය මෙසේ කීවාය :

“මාසෙකට රුපියල් තුන්දාහක් (3000) විතර යනවා. කුලී වැඩ කරලා ණය අරන් අපි බේත් ගේන්නේ. බැරිම නම් බෙහෙත් නොගෙන ඉන්නවා. අතපය හිරිවැටෙනවා. කොන්දේ අමාරුව නිතරම. ඉස්පිරිතාලෙනුත් කිව්ව ගස් එහෙම නඟින්න එපා කියලා. දැන් අපට කන්න බොන්නත් නැහැ. වකුගඩුව ගත්තු අය ටික කාලයක් අපට උදවු කළා. එයා දරුවෝ ජීවත් කරන්නයි වකුගඩුව විකිණුවේ.”

උකුවෙල ප්‍රදේශයේ මෙසේ විශාල පිරිසකගේ වකුගඩු අලෙවි කිරීම ජාවාරමක් ලෙස සිදුවූවක්ද යන්න ගැන වැඩිදුරටත් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ගෙන් ‘මව්බිම’ කළ විමසීමකදී ඔහු කියා සිටියේ, උකුවෙල ප්‍රදේශයේ එවැනි ජාවාරමක් ගැන තමන් දැනුවත් නැති බවය.

දැනට කොළඹින් වාර්තා වී ඇති සිද්ධිය සම්බන්ධවත් ප්‍රමාණාත්මක සාක්‍ෂි නොමැති බවත්, ප්‍රමාණවත් සාක්‍ෂි ඇත්නම් නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට බලතල ඇති බවත් ඔහු කීවේය. මෙවැනි සිද්ධීන් පිළිබඳව සොයා බලා පියවර ගන්නැයි මේ වන විටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දන්වා ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

කේ. කේ. ආරියදාස

+++++++++

‘බායි’ රිමාන්ඩ් – රෝහලේ අධ්‍යක්ෂවරු 6 කට විදෙස් ගමන් තහනමක්

(06.12.2022 – 13:27 +0530 – sinhala.adaderana.lk)

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ‘මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩීන්’ හෙවත් ‘බායි’ නැමැත්තා දෙසැම්බර් මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත.

එමෙන්ම අදාළ වකුගඩු ජාවාරම සිදුකළ බව පැවසෙන බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරු 6 දෙනෙකු ට විදෙස් ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවා තිබේ.

මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරු වන 41 හැවිරිදි ‘මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩීන්’ හෙවත් ‘බායි’ නැමැත්තා අද (06) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

+++++++++

+++++++++++++


රුහුණු විද්‍යා පීඨයේ සිසුන් 54 කගේ ශිෂ්‍යභාවය අහෝසියි

(06.12.2022 – 12:13 +0530 – mawbima.lk)

රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ පසුගිය දා ඇතිවූ ගැටුමට සම්බන්ධ ගුරු සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අහෝසි කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද එහි මූලික පියවර වශයෙන් එම සිසුන් 54 දෙනාගේ ශිෂ්‍යභාවය අහෝසි කළ බව ද විද්‍යා පීඨ කොමසාරිස් රංජිත් චන්ද්‍රසේකර පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව ඇති බව ද ගුරු වෘත්තියෙහි නියැළෙන ශික්ෂණලාභීන්ගේ විනය පවත්වා ගැනීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ද කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

කිසියම් ශිෂ්‍යයෙකු මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බවට සිදුකරන විමර්ශනවලදී අනාවරණය වුවහොත් එම සිසුන්ගේ ශිෂ්‍යභාවය නැවත ලබා දීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරට ත් පැවසීය ෴


තිළිණිට බන්ධනාගාරය තුළ හරි කරදර ලු – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

(06.12.2022 – 17:32 +0530 – hirunews.lk/sinhala)

බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කොට සිටින සිටින තිලිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළ අමානුෂික සැලකිලි සිදුවනවා යැයි පවසමින් ඇගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (06) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

අදාල පැමිණිල්ල මගින් ඇගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පෙන්වා දෙන්නේ, ඇයට බන්ධනාගාරය තුළ දී ශාරික හා මාසික හිසනයන්ට ද ගොදුරු වන බවයි.

ඊයේ (05) රාත්‍රියේ සැකකාර තිළිණි ප්‍රියමාලිව රඳවා සිටින සිර කුටියට පැමිණි බන්ධානාගාර නිලධාරිනියන් විසින් ඇයගේ ඇඳුම් උණා දමන ලෙස අණ කර ඇති බවත්, සැකකාරිය විසින් යම් දෙයක් රහසේ සඟවා සිටින බව නිරීක්ෂණය සඳහා විදුලි පන්දම් ආලෝකය නිකුත් කර ඇති බවත්, අදාල අවස්ථාවේ දී ඇය අපහසුතාවයට පත් වූ බවත් සැකකාරියගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

සැකකාරියගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට බාර දුන් සම්පූර්ණ ලිපිය පහතින් :

Page 1Page 2Page 3

++++++++

++++++++++


සත පහක්වත් බදු නොගෙවන කැසිනෝ ව්‍යාපාර 3 ක් ගැන හෙළිදරව්වක්

(06.12.2022 – 16:12 +0530 – hirunews.lk/sinhala)

කිසිදු බදු මුදලක් නොගෙවමින් ඔන්ලයින් ක්‍රමයට රට තුළ ක්‍රියාත්මකවන කැසිනෝ ව්‍යාපාර 03 ක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අද (06) පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළා.

එහි දී ඔහු කියා සිටියේ, අදාල කැසිනෝ ආයතන පවත්වාගෙන යනු ලබන ලිපිනයන් සොයාගෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිය නමුත් එම ලිපිනයන්වල අදාල ව්‍යාපාර නැති බව ඊයේ (05) පැවති මුදල් පිළිබඳ කාරක සභාවේ දී හෙළි වූ බව පවසමින්.

“මෙම ඔන්ලයින් කැසිනෝ ආයතන රජයට කිසිම බද්දක් ගෙවන්නෙ නෑ. මේ ලිපිනයන් සොයාගෙන ගිය දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාල ලිපිනයන්හි මෙම ව්‍යාපාර නොමැති බව පෙනී ගියා. නමුත් අන්තර්ජාලයෙන් පමණක් මෙම ව්‍යාපාර තිබෙනවා. දැනට කැසිනෝ ව්‍යාපර 07 ක් පමණ රට තුළ තිබෙනවා. නමුත් යම් පමණකට හෝ බදු ගෙවන්නෙ ව්‍යාපාර 04 ක් පමණයි.” යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ බව කියා සිටි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැවසුවේ ඊයේ (05) කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරිමේ පනත රජයේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ නමුත් එය අනුමත කීරීම තව දුරටත් ප්‍රතික්ෂේප කළ බව යි.

ඊට හේතුව ලෙස ඔහු සඳන් කළේ, මෙම පනත තුළ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීම සඳහා අත්‍යාව්‍යශ වූ ආයතනයක් පිහිටුවීම සම්බන්ධව විධිමත් ක්‍රියාවලියක් නොවීම බවත්, අදාල ආයතනය පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය වසර දෙකක (2) කාලයක් ඉල්ලා සිටි බවයි.

එපමණ කාලයක් ලබා දිය නොහැකි බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මතය වූ බවත්, මෙම ආයතනය කඩිනමින් පිහිටුවීම සඳහා යෝජනා කරන දින වකවානු අද (06) පස්වරු 3 ට පෙර ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළ බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.


පොලිස් වසම් 07 ක කොල්ලකෑම් සිදුකළ කල්ලියක් අත්අඩංගුවට

(06.12.2022 – 19:59 +0530 – sinhala.adaderana.lk)

බොරලැස්ගමුව, පිළියන්දල, කැස්බෑව, කහතුඩුව හා හොරණ ඇතුළු පොලිස් වසම් 7 ක කොල්ලකෑම් 15 කට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූවන් අතර එකම පවුලේ මවක් සහ ඇයගේ පුතාද වන අතර එම පිරිසෙන් එක් කාන්තාවක් හැර අනෙක් සියලු දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව පොලීසිය සඳහන් කරයි.

එක් සැකකරුවෙක් කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලය කොල්ලකන ආකාරය සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *