යාල වනෝද්‍යානයේ දැවැන්ත වන සංහාරයක්

යාල වනෝද්‍යානයේ දැවැන්ත වන සංහාරයක්

*********************************************

යාල වනෝද්‍යානයේ දැවැන්ත වන සංහාරයක්

(27.11.2022 – 21:57 +0530 – sinhala.adaderana.lk)

යාල, ගල්ආර ප්‍රේරණ කලාපයේ කැළය කිසියම් පිරිසක් කපා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නිලධාරින් පිරිසක් පිටත් කර හැරීමට තීරණය කර ති‌බේ.

ඔවුන් හෙට (28) කොළඹ සිට පිටත් කර හරින බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

යාල වනෝද්‍යානයට අයත් ගල්ආර ප්‍රේරණ කලාපය තුළ කිසියම් පුද්ගලයින් පිරිසක් වනාන්තරය හෙළි පෙහෙළි කිරීමේ සිදුවීමක් සම්බන්ධව වනජීවි හා වන සංරක්ෂණ අමාතයාංශයට වාර්තා වී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

එම සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් කර වහාම තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට අද දින (27) පස්වරුවේ උපදෙස් දෙනු ලැබීය.

එම සිද්ධියට කිසියම් නිලධාරියෙක් වගකිව යුතු නම් හෝ කිසියම් නිලධාරියෙක් තම රාජකාරිමය වගකීම පැහැර හැර ඇත්නම් එම නිලධාරියාට එරෙහිව තදින්ම විනයානුකූල පියවර ගන්නා බව චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය.

යාල වන සංරක්ෂක ප්‍රේරණ කලාපයට අයත් බව කියන ගල් ආර ප්‍රදේශයේ අක්කර හතළිහක (40) පමණ වපසරියක් බැකෝ යන්ත්‍ර යොදා කිසියම් පිරිසක් එළි පෙහෙළි කරමින් සිටින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ දින පහක් පුරා සිදුවන එම පරිසර විනාශය පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.

යාල වන සංරක්ෂණ ප්‍රේරක කලාපයට අයත් බව කියන ගල් ආර ප්‍රදේශයේ ඝන වනාන්තර සහිත ප්‍රදේශයක් කිසියම් පිරිසක් විසින් එළි පෙහෙළි කිරීමට පටන්ගෙන තිබුණේ මීට දින 5 කට පමණ පෙරය.

දින පහක් (5) තිස්සේ සිදුවන මෙම පරිසර විනාශය පිළිබඳ ගොවීන් පිරිසක් කළ දැනුවත්කිරීමකට අනුව ‘අද දෙරණ’ මාධ්‍යවේදියා අද (27) එහි යන විටත් බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් එම ස්ථානය එළි පෙහෙළි කරමින් තිබුණි.

***************************************

වන්දනාවේ ගිය 21 හැවිරිදි තරුණිය දියේ ගිලී මරුට

(27.11.2022 – 15:26 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර හිදෝගම දිවුල්වැවේ ගිලී තරුණියක් මියගොස් තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේ වන්දනා චාරිකාවක පැමිණි මෙම තරුණිය ඇතුළු කණ්ඩායම ඊයේ (26) පස්වරුවේ දිවුල්වැවේ නාන තොටුපළ අසල දිය නාමින් සිට ඇත.

එම අවස්ථාවේ අදාළ තරුණිය දියේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ප්‍රදේශවාසින් විසින් තරුණිය ගොඩට ගෙන නෙළුබෑව රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී තරුණිය මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

***************************************

බන්ධනාගාර ධාරිතාව සියයට 300 ඉක්මවයි

(27.11.2022 – 11:35 +0530 – sinhala.adaderana.lk)

බන්ධනාගාර ගතවන රැඳවියන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, මේ වන විට දිවයින පුරා සියලුම බන්ධනාගාරවල රැඳවියන් 26,000 කට වැඩි ප්‍රමාණයක් සිටින බවය.

බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගෙන් 10,000 සිරකරුවන් වන අතර 16,000 ක් සැකකරුවන් බව සඳහන් වේ.

2021 වර්ෂයේ බන්ධනාගාර ගතවූ රැඳවියන්ගෙන් 74% ක පිරිසක් බන්ධනාගාර ගතවී ඇත්තේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනාවලට බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම රැඳවියන්ගෙන් 4,600 ක් සිරකරුවන් වන අතර 8,700 ක් සැකකරුවන් ය.

දිවයින පුරා පිහිටි බන්ධනාගාර තුළ රැඳවිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව 13,200 ක් පමණ වුව ද දැනට බන්ධනාගාර තුළ උපරිම ධාරිතාවය මෙන් දෙගුණයක් රැඳවියන් රඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඇතැම් බන්ධනාගර තුළ මෙම ධාරිතාව 300% ක සීමාව ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

වැලිගම දී සිදුවු බිහිසුණු අනතුර

(27.11.2022 – 11:30 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය කළ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිබල විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබේ.

ඊයේ (26) රාත්‍රී 11:55 ට පමණ අනතුර සිදුව ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ රියදුරු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව වැලිගම මුලස්ථාන පොලීසිය පවසයි.

මාතර සිට අහංගම දෙසට අධික වේගයෙන් ධාවනය කරමින් තිබු වෑන් රථය ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේදී එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයකද ගැටී වෝල්ට් 11,000 ක අධිබල විදුලි කණුවක ගැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් ගමන් කොට ඇති අතර ඔහු වෑන් රථයේ සිරවී සිට ඇත.

පසුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් යොදා රියදුරුව වෑන් රථයෙන් පිටතට ගෙන වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුරට ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය මහ රෝහලට මාරු කර යවා තිබේ.

අනතුරත් සමග විදුලි කණුව මාර්ගය හරහා ඇද වැටී ඇති අතර මේ හේතුවෙන් වැලිගම නගරයේ සිට පැලෑන වටරවුම දක්වා රථවාහන ගමනාගමනයට ද බාධා ඇතිවූ බව අප වාර්තාකරු පැවසීය.

අනතුරින් අධිබල විදුලි රැහැන් පද්ධතියට අයත් විදුලි කණු දෙකකට (2) හානි සිදුව ඇති අතර වැලිගම ප්‍රදේශ කිහිපයකට විදුලි විසන්ධි වීමක් ද සිදුව තිබුණි.

කෙසේ වෙතත් මේ වනවිට විදුලිය ලබාදීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින බව ද විදුලිබල මණ්ඩලයේ වැලිගම ප්‍රාදේශීය කාර්යාලය සඳහන් කළේය.

අනතුර පිළිබඳ වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

***************************************

වකුගඩු ජාවාරමට හවුල් පොලිස් නිලධාරියා හිටපු බුද්ධි අංශ ලොක්කෙක් විමර්ශනවලින් හෙළි වෙයි

(28.11.2022 – dinamina.lk)

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් ආශ්‍රිතව සිදුව ඇතැයි කියනු ලබන වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියැවෙන පොලිස් නිලධාරියා බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයේ ස්ථානාධිපතිවරයෙක් ලෙසද සේවය කර ඇති නිලධාරියෙක් බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

වකුගඩු ජාවාරමට මෙම නිලධාරියා සම්බන්ධ බව හෙළි වන විට ඔහු සේවයේ නිරතව සිට ඇත්තේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ විමර්ශන ඒකක දෙකෙහි ස්ථානාධිපතිවරයා ලෙසිනි. මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ටද ගැටලුවක් පැන නැඟී ඇති බැවින් වංචා විමර්ශන කාර්යාංශයෙන් ඔහුව ඉවත් කරන ලෙස පොලිස් බලධාරීන්ගෙන් ලිඛිත ඉල්ලීමක්ද මේ වන විට කර තිබේ.

මෙම පොලිස් නිලධාරියාව බස්නාහිර පළාත් බුද්ධි අංශ ස්ථානාධිපති ධුරයෙන් ඉවත්කර ඇත්තේද බුද්ධි වාර්තා සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලුවක් හේතුවෙන් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

කලක් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කර තිබේ. එහිදී ඔහු බියගම විලේජ් හි හිමිකරුගේ ඝාතන විමර්ශනය යට ගැසීමටද කටයුතු කිරීමක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ඉවත්කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක්ද පවත්වා ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම නිලධාරියා පොලිසියේ ඉහළ තනතුරුවල සිටින නිලධාරීන් රැසක් සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන බැවින් ඔහු හැම විටම ඒ අයගේ ආශිර්වාදයෙන් එල්ලවන හැම චෝදනාවකින්ම ගැලවෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය. ඒ අනුව මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් වූ චෝදනාවෙන්ද මෙම නිලධාරියා ගැලවීමට ඇති අවස්ථාව වැඩි බව පොලිස් තොරතුරු සඳහන් කළේය. මෙම රෝහල ආශ්‍රිතව කරන වකුගඩු බද්ධ කිරීම්වලට වකුගඩු පරිත්‍යාගශීලින් මුදලට සපයා දීම කාලයක් තිස්සේ කරන ජාවාරමක් බවද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ ගැන කෙරුණු මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. මෙම ජාවාරම මාධ්‍යයට අනාවරණය කර ඇත්තේද මුදලට වකුගඩු පරිත්‍යාග කිරීමට විවිධ පුද්ගලයන්ව එම රෝහලට සොයා දීමට මැදිහත් වූ තැරැව්කරුවකුට පොරොන්දු වූ මුදල් නොගෙවීම නිසා බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම තැරැව්කරු කාලයක් තිස්සේම වකුගඩු පරිත්‍යාග කිරීමට මුදලට පුද්ගලයන් සපයන අයෙක් බවද මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. වකුගඩු අලෙවි කිරීම සහ ජාවාරම් කිරීමට ද නීති විරෝධි ක්‍රියාවක් බැවින් ඒ සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂ අවධානයක් යොමුකර විමර්ශන සිදුවන බව කොළඹ අපරාධ කොට්ඨාස තොරතුරු අනාවරණය කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *