තිළිණි ප්‍රියමාලිට සම්බන්ධ රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ්

තිළිණි ප්‍රියමාලිට සම්බන්ධ රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ්

*********************************************

තිළිණි ප්‍රියමාලිට සම්බන්ධ රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ්

(25.11.2022 – 12:57 +0530 – lankadeepa.lk)

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප්‍රියමාලි යන අය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි එකහමාරකට (1,50,00,000) අධික වටිනාකමකින් යුත් බෙන්ස් රථයක් විකුනා දෙන බව පවසා වංචා කළැයි කියන සිද්ධියකට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රූපලාවන්‍යාගාර හිමිකරුවකු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවල පාර, රාජගිරිය පදිංචි රූපලාවණ්‍යාගාර හිමිකරුවකු වන ප්‍රියන්ත කුමාර නැමැත්තාය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනේ එක්සත් රාජධානියේ රැකියාවක නියුතු මෙරට ව්‍යාපාරිකයෙකි ෴

+++++++++

තිලිණි ප්‍රියමාලිගේ වංචාවන්ට සම්බන්ධ රූපලාවන්‍ය ආයතනයක හිමිකරුවෙකු රිමාන්ඩ්

(25.11.2022 – 17:00 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි සමග එක්ව රුපියල් ලක්ෂ 140 ක් වටිනා සුඛෝපභෝගි මෝටර් රථයක් අලෙවි කර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ආයතනයක හිමිකරුවෙකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුගේ නමට අදාළ මෝටර් රථය ලියාපදිංචි කර, අලෙවි කර මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

හිමිකරු විසින් KW 4088 දරණ E-250 වර්ගයේ බෙන්ස් වර්ගයේ මෝටර් රථය 2021 වසරේ ජුලි මස 10 වනදා ෂැංග්‍රිලා හෝටලයේදී වාහනයට අදාළ සියලු ලියකියවිලි සමග තිලිණි ප්‍රියමාලිට භාර දී ඇති අතර එම අවස්ථාවේ ඔහු ද එම ස්ථානයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

පනාගොඩ ප්‍රදේශයේ පදිංචි වාහනයේ හිමිකරු සිදුකළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබුණා.

පැමිණිලිකරු සඳහන් කර ඇත්තේ සැකකරු තිලිණි ප්‍රියමාලි සමග එක්ව මෙම මුදල් වංචා කර ඇති බවයි.

කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සැකකරු අදාළ මෝටර් රථය අලෙවි කර ලබා ගත් මුදල් ඔහුගේ රූපලාවන්‍ය ආයතනයේදී තිළිණි ප්‍රියමාලිට ලබා දී ඇති බවයි.

එමෙන්ම, සැකකරුගේ බිරිඳ ස්නායු ආබාධයකින් පෙලෙන අතර, එම කරුණු සැලකිල්ලට ගෙන සුදුසු ඇපයක් මත ඔහු මුදා හරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ සැකකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ.

මේ අතර, තිලිණි ප්‍රියමාලි අද (25) යළිත් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබුණා.

ඒ ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීමේ චෝදනාවටයි.

එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ලබන 30 වනදා බන්ධනාගාරයට පැමිණ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබෙනවා.

++++++++

(26.11.2022 – dinamina.lk)

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හේරත් මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර යන අයෙකි. සැකකරු ඉදිරිපත් කරමින් කේ.ඩබ්ලිව් 4088 දරන ඊ 250 වර්ගයේ ප්‍රභූන් භාවිත කරන බෙන්ස් රථය විකුණා ඇත්තේ ඔහු බවත් 2021 වසරේ ජූලි මස 10 දා රථය ෂැංග්‍රිලා හෝටලයේදී වාහනයට අදාළ සියලු ලියවිලි සමඟ තිළිණි ප්‍රියමාලිට භාර දෙන අවස්ථාවේදී ඔහු එම ස්ථානයේ සිට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

පනාගොඩ පදිංචි ෂෙනන් රජේන්ද්‍ර යන අය කළ පැමිණිල්ලකට අනුව මේ විමර්ශනය කළ බව කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිළිණි ප්‍රියාමාලි සමඟ එක්ව මේ මුදල් සැකකරු වංචා කර ඇති බවත් කියා සිටියේය ෴

***************************************

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ ඇති වූ ගින්න

(25.11.2022 – 15:53 +0530 – aruna.lk)

දුම්රිය මැදිරියක අද (25) හදිසියේ ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වී තිබේ.

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් එලෙස ගිනිගෙන විනාශ වූ බව වාර්තා වෙයි.

මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළඟ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

***************************************

රාජගිරිය වකුගඩු ජාවාරම ගැන පැමිණිලි පහක් (5) – ජාවාරමට පොලිස් ලොක්කෙකුත් සම්බන්ධයි

(25.11.2022 – 10:23 +0530 – aruna.lk)

රාජගිරියේ පිහිටි පෞද්ගලික රෝහලක කළ වකුගඩු ජාවාරම පිළිබඳ පුද්ගලයන් පස් දෙනකු ​(5) බොරැල්ල පොලිසියට ඊයේ (24 වැනිදා) පැමිණිලි ගොනුකර ඇත. කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු (4) මෙලෙස පැමිණිලි ගොනුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේය.

ඔවුන් කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. ඔවුන් වයස අවුරුදු විසිහයත්, හතළිස් දෙකත් (26-42) අතර පසුවන අය වෙති.

මෙම පිරිස වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙතද ඉදිරිපත් කර ඇත.

අදාළ ජාවාරමට සහය ලබාදුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. මෙම නිලධාරියා තුන්වරක් (3) වැඩ තහනමට ලක් වූ අයකු බවත්, මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ රෝහලේ හිමිකරුවන්ගේ වාහනවලින්ම ගොස් පැමිණිලිකරුවන් බියවද්දවා රුපියල් ලක්ෂ දෙක (2,00,000) බැගින් ලබා දී ලිපිවලට අත්සන් ගෙන ඇති බවත් අනාවරණ විය ෴

***************************************

මෙරට කිතුල් පැණි විදෙස් රටවල් හතරකට (4) යවනවා – කොරියාවෙදි කිතුල් පැණි බෝතල රු. 17,000 (?) යි

(25.11.2022 – 09:59 +0530 – aruna.lk)

මෙරට නිෂ්පාදනය කෙරෙන පිරිසිදු කිතුල් පැණි ලීටර් 15,000 ක් මාසිකව විදෙස් රටවල් හතරකට (4) අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂිකා (SAPP) ආචාර්ය යසන්තා මාපටුන පැවසුවාය.

ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, කොරියාව සහ ජපානය යන රටවල්වලට කිතුල් පැණි අපනයනය කරන බවත් ඇය කීවාය.

ස්විට්සර්ලන්තයට මාසිකව ලීටර් 10,000 ක්ද කොරියාවට ලීටර් 3,000 ක්ද ජපානයට ලීටර් 200 ක් 300 ක් අතර ප්‍රමාණයක් අපනයනය කරන බව අප කළ විමසුමකදී ඇය පැවසුවාය.

මීට අමතරව කොරියාවට සහ එක්සත් රාජධානියට මෙරට පිරිසිදු කිතුල් හකුරු අපනයනය කරන බවත් මෙම නිෂ්පාදන ඇහැළියගොඩ ප්‍රදේශයේ මී රස පාරිසරික නිෂ්පාදන ආයතනය හරහා අපනයනය කිරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පමණක් 500 කට අධික පිරිසක් කිතුල් කර්මාන්තයේ නිරතව සිටිති.

මෙරට කිතුල් පැණි මිලිලීටර් 500 ක බෝතලයක් කොරියාවේ අලෙවි කරන්නේ රුපියල් 17,000 (?) ක් වැනි මිලකටය ෴

***************************************

නොදරුවෙකු තට්ටු නිවාසයකින් පහළට විසි කළ ‘අයිසා’ රිමාන්ඩ්

(25.11.2022 – 23:04 +0530 – hirunews.lk/sinhala)

= නොදරුවෙකු තට්ටු නිවාසයකින් පහළට විසි කළ නරුමයා රිමාන්ඩ් =

ග්‍රෑන්ඩ්පාස් සමඟිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් පහළට විසි කිරීමෙන් වයස අවුරුදු එක හමාරක (1½) කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවාගේ මවගේ සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ මොහොමඩ් යූසුෆ්. යූසුෆ් ජීවත් වන්නේ ග්‍රෑන්ඩ්පාස් සමගි පුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ නිවසකයි.

අද (25) උදෑසන 09:30 ට පමණ යූසුෆ්ගේ මවගේ සහෝදරයෙකු විසින් ඔහුව පහළට විසිකර තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසු වූ යුසුෆ් කඩිනමින් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමටයි ප්‍රදේශවාසීන් පියවර ගත්තේ.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදුන්නත් කුඩා යුසුෆ් මෙලොව හැර ගියා.

දරුවා පහළට දැමූ 35 හැවිරිදි සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එලෙස ඉදිරිපත් කෙරුණු සැකකරු දෙසැම්බර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙම සිද්ධියට අදාළ සැකකරු ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග පනත සංශෝධනය කරමින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගත හොත් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමට අදාළ නීති බලාත්මක කර ඇති පසුබිමකයි.

***************************************

‘කමෙන්ට්’ කියවන්න කලින් පොත කියවන්න – හිටපු මහබැංකු අධිපති

(25.11.2022 – 22:55 +0530 – hirunews.lk/sinhala)

උද්ධමනය ස්ථාවර මට්ටමක් දක්වා ළඟා කරගැනීම එකවර සිදු නොවන බවත් ඒ සඳහා තවත් වසර එක හමාරක (1½) පමණ කාලයක් ගතවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මේ අතර මහබැංකු අධිපතිවරයා ඊයේ (24) සිදුකළ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (25) ප්‍රතිචාර දැක්වූවා.

තම කෘතිය නොකියවා ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකරන ලෙසත්, සියල්ලටම පෙර කමෙන්ට් නොකියවා පොත කියවන ලෙසත් හිටපු මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

***************************************

පඩියට බදු අයවෙන හැටි

(25.11.2022 – 18:54 +0530 – hirunews.lk/sinhala)

සංශෝධිත දේශිය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ මතුව ඇත්තේ දැඩි කතාබහක්.

ඒ මාසික ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනා ආදායම් බද්දට යටත් වීම හේතුවෙන්.

මෙතෙක් කල් රුපියල් 250,000 ක මාසික අදායමක් ඉපැයූ පුද්ගලයන් අදායම් බද්දෙන් නිදහස් වූ අතර එම මුදල ඉක්මවා උපයන සෑම පුද්ගලයෙකුම ආදායම් බද්දකට යටත් කෙරුණා.

කෙසේ වෙතත්, මේ අතරතුර, උපයන විට අයකරන බද්ද හදුන්වාදීම සිදුකෙරෙන්නේ දේශිය ආදායම් බදු පනතට ගෙන ආ සංශෝධන අනුවයි. එය මෙම වසරේ ඔක්තෝබර් මස 01 දා සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබුණත් නෛතික කටයුතු හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් මාසය තෙක් කල්දැමුණා.

සශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනයට අනුව කාණ්ඩ 06 ක් යටතේ බදු අයකෙරෙන අතර සියයට 06, සියයට 12, සියයට 18, සියයට 24, සියයට 30 සහ සියයට 36 ලෙස ආදායම අනුව බදු ප්‍රතිශත ඉහළ දැමෙනු ඇති.

කෙසේ වෙතත්, උපයන විට බද්ද, රුපියල් 100,000 ක මාසික අදායමක් දක්වා බලපෑමක් සිදු කරන්නේ නැහැ.

මේ අතර, යම් පුද්ගලයෙකු සිය මාසික ආදායම ලෙස රුපියල් 400,000 ක් උපයන්නේ නම් එහි උපයන විට බද්ද මසකට රුපියල් 70,500 ක් වන අතර සමස්ත වැටුපෙන් සියයට 18 ක් එම පුද්ගලයා බදු ලෙස ගෙවිය යුතුයි.

***************************************

දඹගල්ලේ 13 හැවිරිදි දැරියක් අතුරුදන් – මේ සැකකරු හඳුනනවා ද? – දැනුම්දෙන්න ! (25.11.2022)

***************************************

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Rs 17,000 for 500 ml is equal to 40 GBP at the current exchange rate. This is an exaggeration. In UK the price of a litre is between 3.50 GBP to 6.00 GBP depending on the brand name. No one abroad will buy at the price SAPP is quoting which sounds like a either a big fib or they have got the decimal place at the wrong place but the spokeswoman has not got a clue about the actual price; it is more likely to be Rs 1700.00 per 500 ml in Korea.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *