රෝහල්වල ඖෂධ 200 ක් නිතර හිගයි… රෝගීන් බරපතළ අනතුරුදායක තත්වයකට…

රෝහල්වල ඖෂධ 200 ක් නිතර හිගයි… රෝගීන් බරපතළ අනතුරුදායක තත්වයකට…

*********************************************

රෝහල්වල ඖෂධ 200 ක් නිතර හිගයි… රෝගීන් බරපතළ අනතුරුදායක තත්වයකට…

(24.11.2022 – 17:30 +0530 – lankacnews.com)

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයෙන් රජයේ රෝහල් කරා එන අසරණ රෝගීන් බරපතළ අනතුරුදායක තත්වයකට පත්ව ඇති බවත් අවම තරමින් අඩු ආදායම්ලාභීන්ට හෝ කඩිනමින් සහන සැලසීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් ජානිපෙ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවසීය.

රජයේ රෝහල්වල තිබිය යුතු ඖෂධ වර්ග 360 න් නිරතුරුවම 200 ක් පමණ හිඟ බවත් ඇසෙහි සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා අවශ්‍ය අක්ෂි කාච ආනයනය ඩොලර් හිඟය හේතුවෙන් නතර වී ඇති බවත් එමගින් ශ්‍රී ලංකාව තුළ අන්ධභාවය වැඩිවීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවත් සමරවීර මහතා පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානිපෙ ජාතික සංවිධායකවරය මෙසේද සඳහන් කළේය :

ඖෂධ හිඟය උග්‍රයි!

“ප්‍රතිකාර ගැනීමට රජයේ රෝහල් වෙත යන ජනතාවගේ ජීවිත අද බලවත් අනතුරකට මුහුණ පා තිබෙනවා. අපේ රටේ රාජ්‍ය රෝහල් පද්ධතියේ සිටින වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, පරිපූරක වෛද්‍ය සේවාවන්හි නිලධාරීන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීම නොවන්නට මේ තත්ත්වය මීටත් වඩා බරපතළ වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පසුගියදා ප්‍රකාශ කළා, ‘රජයේ රෝහල්වල රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග 360 ක් තිබෙනවා. ඉන් 160 ක් මේ වන විට රෝගීන් සඳහා ලබා දීමට නොහැකිව තිබෙනවා.’ කියා. මේ අගය දිනපතා වෙනස් වෙනවා. පොදුවේ ගත්තොත් නිරතුරුව ඖෂධ වර්ග 200 ක් පමණ රජයේ රෝහල්වල හිඟව තිබෙන අයුරු දැකගත හැකියි. කැතීටර, ආහාර ගැනීම අපහසු රෝගීන් වෙනුවෙන් භාවිතා කරන NG ටියුබ්, රුධිර පාරවිලයනය සිදුකරන වකුගඩු රෝගීන් සඳහා වන අත්‍යවශ්‍ය ඖෂධ නොමැති අතර Full Blood Count (FBC) වාර්තා නිකුත් කිරීම ද නතර කර තිබෙනවා. ඇතැම් රජයේ රෝහල්වල පුළුන් කෑල්ලක්, ගෝස්, බැන්ඩේජ්, ඊසීජී පටි පවා නැහැ. එවැනි රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම මුදලින් අරමුදල් හදාගෙන, පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය මත ඒ අවශ්‍යතා සපුරා ගන්නා තත්ත්වයක් තියෙන්නේ.

අක්ෂි රෝහලේ ප්‍රතිකාර බිඳවැටිලා

කොළඹ අක්ෂි රෝහලේ තත්ත්වය වඩා බරපතලයි. මෙම රෝහල කෙරෙහි විශ්වාසය තබා දිවයිනේ සිව්දෙසින් අසරණ රෝගී ජනතාව පැමිණෙනවා. ඇසෙහි සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය ද එම රෝහලෙහි සිදුකෙරෙනවා. ඊට අවශ්‍ය අක්ෂි කාච ඩොලර් නැතිකම නිසා ආනයනය කිරීම නවතා දමා තිබෙනවා. මෙහි ප්‍රතිඵලය කුමක්ද? ශ්‍රී ලාංකිකයන් අතර අන්ධභාවය වැඩි වීම. ඒ වගේම ඇතැම් අක්ෂි රෝගීන් සිටිනවා, ඔවුන්ට මුළු ජීවිත කාලය පුරා ඇස්වලට බෙහෙත් දැමිය යුතුයි. එවැනි රෝගීන් සඳහා වන ඖෂධ මිල අධිකයි. එම ඖෂධ නොමිලේ ලබා දෙමින් අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව සිදු කරනු ලැබුවේ ද කොළඹ අක්ෂි රෝහලයි දැන් එම ඖෂධ වර්ග ද හිඟ වී තිබෙනවා. ඒවා රෝගීන්ට පෞද්ගලික මුදලින් ලබා ගැනීමට සිදුව තිබෙනවා. නමුත් රුපියල් පන්දාහක්, දහදාහක් වැයකරලා එවැනි ඖෂධ මිලදී ගැනීමට නොහැකි රෝගීන් එම ඖෂධ භාවිතය අත් හරිනු ලබනවා. එය ද රටේ අන්ධභාවය වැඩි වීමට හේතු වේවි.

අය-වැයෙන් ඉලක්කම් විජ්ජා කළාට වැඩක් නැහැ

මේ අනුව පෙනී යන්නේ රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යන අසරණ රෝගීන් බරපතළ අනතුරකට මුහුණපා ඇති බවයි. මේ පිළිබඳව වගේ වගක් නැතුවයි ආණ්ඩුව ඉන්නේ. 2023 අයවැයෙන් සෞඛ්‍ය සේවාව සඳහා යම් මුදලක් වෙන්ව තිබුණත් මේ ප්‍රශ්නෙට ඉන් පිළියම් ලැබේවි, කියා අපි විශ්වාස කරන්නේ නැහැ. 2022 අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 248 ක්. 2023 අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 319.99 ක්. බැලූබැල්මට 2022 ට වඩා 2023 සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන ගණනාවක මුදලක් වැඩිපුර වෙන්ව තිබෙනවා. නමුත් උද්ධමනය හේතුවෙන් 2022 වෙන් කළ රුපියල් බිලියන 248 හි මූර්ත වටිනාකම වුණේ රුපියල් බිලියන 172 යි. ඒ වගේම ඉදිරි වර්ෂය සඳහා නාමිකව රුපියල් බිලියන 319.99 ක් වෙන් කර තිබුණත් අධික උද්ධමනය හමුවේ එහි මූර්ත වටිනාකම වෙන්නේ රුපියල් බිලියන 132 යි. ඒ අනුව ඉහත ආකාරයට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 320 කට ආසන්න මුදලක් වෙන් කර තිබුණාට ඉන් කළ හැක්කේ රුපියල් බිලියන 132 ක වැඩ ප්‍රමාණයක්. ඒ අනුව ඉදිරි වර්ෂයේ සෞඛ්‍ය සේවය සඳහා වෙන්ව ඇති මුදල, මේ වසරේදී ඉටුකළ සේවාවවත් ඉටු කරන්න ප්‍රමාණවත් නැහැ, කියා පැහැදිලියි. ඉදිරි වර්ෂයේදී රාජ්‍ය රෝහල් පද්ධතිය තවදුරටත් බිඳ වැටේවි; ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය තවදුරටත් උග්‍ර වේවි.

අය-වැයෙන් ඉලක්කම් විජ්ජා කළාට වැඩක් නැහැ. අක්ෂි රෝගීන් ඇතුළු අනෙකුත් රෝගීන්ට ඉදිරි වර්ෂයේදී මීටත් වඩා ඖෂධ හා වෛද්‍ය උපකරණ හිගයෙන් පෙළෙන රෝහල් වෙත යාමටයි මේ පාලකයන් පාර කපා ඇත්තේ. නමුත් ඇමති මණ්ඩලය සහ රාජ්‍ය ඇමති නඩය පැටව් ගහනවා. ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදුවට කටයුතු කර නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා, ‘වහාම අවම තරමින් අඩු ආදායම්ලාභී රෝගීන්ට හෝ රජයේ ප්‍රතිපාදන යොදා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ සැපයීමට පියවර ගන්න’ කියා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

***************************************

වැටුප මදියි කියා ශ්‍රී ලංකන් හැර යන ගුවන් නියමුවෝ

(24.11.2022 – 21:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් විශාල පිරිසක් ගුවන් සමාගම හැර යමින් සිටින බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් පවසනවා.

කොළඹ දී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත හැකි ඉදිරි පියවර පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කළ බවයි.

***************************************

උද්ධමනය තව තවත් අඩුවීමේ ප්‍රවණතාවක් – මුදල් අච්චු ගැසීමත් පහතට

(24.11.2022 – 20:03 +0530 – hirunews.lk/sinhala)

පිපිරීමට ආසන්නව තිබූ මෙරට ආර්ථිකය, එම තත්ත්වයට යා නොදී වළක්වා ගැනීමට හැකියාව ලැබී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහබැංකුවේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිපතිවරයා කියා සිටියේ ඉදිරියේදී මෙරට පොලී අනුපාතවල ස්ථාවරවීමක් සහ අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බවයි.

එසේම, ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවික ණය හිමියන්ගේ එකඟතාවය ලබා ගැනීමට හැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂිත සහනය එළැඹෙන ජනවාරි මාසය පමණ වනවිට ලබාගත හැකි වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුදල් මුද්‍රණයේ අඩුවක් දක්නට ලැබෙන බවද මහ ඔහු සඳහන් කළා.

2022 ජනවාරි සිට මේ දක්වා කාලය තුළ මුදල් මුද්‍රණය කර ඇත්තේ රුපියල් බිලියන 47 ක් පමණයි. පසුගිය 2021 වසර තුළ දී රුපියල් බිලියන 341 ක මුදලක් මුද්‍රණය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

***************************************

ජනාධිපතිගේ උද්දච්චකම නිසා IMF වැඩපිලිවෙල ඇණගෙන..

(25.11.2022 – 08:40 +0530 – lankacnews.com)

ජනාධිපතිවරයාගේ උද්දච්ච ක්‍රියාපිළිවෙත නිසා මෙරට ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල කල් යමින් ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

“ජනාධිපතිවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී දේශපාලන පක්ෂවලට , මාධ්‍ය ආයතන වලට, සිවිල් පුරවැසියන්ට කරපු තර්ජනය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම එතුමා ව්‍යවස්ථාව ගැන එතුමාට ඕන ඕන අර්ථකථන දුන්නට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම පුරවැසියෙකුට කතා කිරීමේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස රැස්වීමේ නිදහස තියෙනවා අනිවාර්යයෙන් මා. ඉතිං ඒ නිසා ජනතාව ඉතාම දුක්බරව ජීවත් වෙනකොට ළමයින්ට කන්න දීගන්න නැති වෙනකොට, ඉස්කෝලේ යවන්න පෙළපොත් ටික ගන්න බැරි වෙනකොට පෑන් පැන්සල් ටික ගන්න බැරි වෙනකොට, සපත්තු කුට්ටමක් – ඉස්කුල් බෑග් එක ගන්න බැරිවෙනකොට, ගන්න ආදායමෙන් ජීවත් වෙන්න බැරි වෙනකොට ලක්ෂ ගණනක් මිනිස්සුන්ගෙ රස්සාවල් නැති වෙනකොට, ණය අරගෙන රට නන්නත්තාර කරනකොට, ඒ වගේම බදු පිට බදු ගහලා මිනිසුන්ගේ රීරි මාංශ උරා බොන්න හදනවා නම් පාලකයෝ , ඒකට විරුද්ධව තමන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට ජනතාවට තියෙන අයිතිය සාධාරණ අයිතියක්. ප්‍රශ්න කරන්න හෝ තර්ජනය කරල යටපත් කරන්න කාටවත් බෑ. අට වන ජනාධිපතිතුමාට අපි කියනවා ඔබතුමා ඕන උගුලක් අටවන්න ලෑස්ති වෙන්න. අපිට තේරෙන්නේ ඔබතුමා බය වෙලා ඉන්නෙ. ඕන උගුලක් අටවන්න. අපි එනවා. අපි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට එනවා. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් සංවේදීව බලන්නෙ නැත්තං, බදු පිට බදු ගහලා මිනිස්සුන්ව මරන්න හදනවා නම්, බදු අනුපාතය සාධාරණ මට්ටමකට ගෙනාවේ නැත්නම්, ලමයින්ගේ පෙළපොත් ගන්න පුළුවන් වටාපිටාවක් හදලා දුන් නැත්තං අපි පැහැදිලිවම එනවා. පුලුවන්නම් නවත්තන්න. එනිසා එක දෙයක් තේරුම් ගන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ලංකාවේ සදාකාලික ජනාධිපතිවරයා නෙමෙයි. හමුදාවේ නිලධාරී මහත්වරුනි පොලිසියේ නිලධාරී මහත්වරුනි, ඔබතුමන්ලා රජයේ පඩි ගන්න සේවකයෝ. ඔයාලගේ ගෙවල්වල ඉන්න බිරින්දෑවරුන්ගෙන් අහලා බලන්න ඒ බිරින්ඳෑවරු කුස්සිය කළමනාකරණය කරන්නේ කොහොමද? දරුවන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ කොහොමද?

ඒ නිසා මේ ජනාධිපතිවරයා හෝ මේ ආණ්ඩුවෙ කවුරුහරි දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කෙරුවොත්, එන අවුරුද්දේ ආණ්ඩු පෙරලියක් එනවා කියලා පැහැදිලිව කියන්න ඕන. හේතුව පැහැදිලිවම කියන්න ඕන. අපි ප්‍රචණ්ඩත්වය පිළිගන්නේ නෑ. මන්ත්‍රීවරු මරන්න, ගෙවල් ගිනි තියන්න, මිනිස්සුන්ට ගහන්න – අපි ඒ ප්‍රචණ්ඩත්වය පිළිකුල් කරනවා; හෙලා දකිනවා; දායකත්වයක් ලබා දෙන්නේ – සහයෝගය ලබා දෙන්නේ නෑ. නමුත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහනම් කරන්න හමුදාවට බෑ. දැන් ජනාධිපතිතුමා කියනවා විහිළුවට වගේ ‘මට දැන් හිට්ලර් වගේ කියනවා’ කියලා. ඇත්තටම එයා හිට්ලර් වගේ රඟන්න හදනවා. හිට්ලර් වගේ රඟන්න හැදුවට හිට්ලර් වගේ රඟන්න බෑ එයාට. අපි දන්නවා නේ එයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එයා දන්නවා අපිටත් කරන්න පුලුවන් දේවල් මොනවද කියලා. ඒ නිසා අපි මහපාරට එනවා. මහපාරට ඇවිත් බලාගමු මොනවද කරන්නේ කියලා.

දෙවෙනි එක තමයි එතුමා මාධ්‍ය ආයතන වලට තර්ජනය කරනවා. කොමිෂන් දානවලු. ඕන කොමිසමක් දාන්ඩ. මාධ්‍ය ආයතන නෙමේ, කවුරු හරි වැරැද්දක් කලානම් දඬුවමක් දෙන්න. හැබැයි, බොරුවට බය කරන්න ලෑස්ති වෙන්න එපා. අපි දැක්කනෙ එයා ආණ්ඩුවෙ ඉන්න කාලේ, මාධ්‍ය ආයතන දෙකක් මුසාවෙන් මුලාවෙන් ප්‍රෝඩාවෙන්, ඒ ආණ්ඩුවට විරුද්ධව මිනිසුන් පෙළගස්වන කොට මොකුත් කරන්න බැරි වුණා අගමැති කාලේ. ඒ කාලේ එහෙම කළා නම් අද මොකුත් නැහැ නේ. ඒ නිසා නිකං හිතළු කියනවා පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීලව චූන් කරන්න. ඒ නිසා ජනාධිපතිතුමාට එක දෙයක් තේරෙන්නේ නැහැ. මේ ජනතාව බලාපොරොත්තු වුනේ ජාත්‍යන්තර අරමුදලට ගිහිල්ලා, ණය ලබා දුන්න ණය හිමියන් එක්ක කතා කරලා ණය ප්‍රතිව්‍යහගත කරලා මේ රටේ ආර්ථිකය යම් මට්ටමකට ගේන්න කියන එක. මෙයා මේ වගේ ප්‍රකාශ කරලා මාධ්‍යයන්ට තර්ජනය කරලා, ජනතාවට තර්ජනය කරලා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා, හමුදා අනුඛණ්ඩ දාල ඒකාධිපතියෙක් වගේ හැසිරෙන්න රටේ පාර්ලිමේන්තුවට ඇවිල්ල කිවුවහම මේ රටේ පුරවැසි නිදහස නැහැ කියන එක ජාත්‍යන්තරය පිළිගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසි නිදහස නැත්නම් ඒගොල්ලො මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා දෙයිද? ඒ නිසා පට්ටපල් බොරු කියන්නෙ මේ ආණ්ඩුවෙ කට්ටියයි මහ බැංකුවෙ කට්ටියයි. මේ දෙසැම්බර් හම්බ වෙනවා කිව්වා ප්‍රතිව්‍යුහගත කිරීම. දෙසැම්බර් හම්බ වෙන්නේ නෑ. මාර්තු වෙනකල් යනවා. හේතුව මේ ජනාධිපති වරයාගේ උද්දච්ච ක්‍රියාපිළිවෙත. අනිත් එක සාකච්ඡා කරන්න යන්ඩ ඕනේ ඒ පිළිබඳ දැනුමක් තියෙන කට්ටිය නේ. අර අනුරාධපුරේ ශෙහාන් සේමසිංහට පුලුවන් ද ජාත්‍යන්තර අරමුදලත් එක්ක කතා කරල ණය ප්‍රතිව්‍යහගත කරන්න?

ඩොලර් බිලියන 54 ක ණය ප්‍රතිව්‍යහගත කිරීමක් කරන්න එවැනි කණ්ඩායමක් දාන්න ඕන. ඒ නිසා විපක්ෂයේ අපේ සහයෝගය ගන්න නම් ඔහොම තර්ජනය කරලා ඒක කරන්න හම්බ වෙන්නේ නෑ.

එතුමා තව වැඩක් කරනවා. බොරුවට ජනතාවට පේන්න සමගි ජන බලවේගයේ සහයෝගය ඉල්ලනවා. ඉල්ලන ගමන් සජිත් ප්‍රේමදාස මහත්මයාට ෂොට් එකක් දෙන්න ට්‍රයි කරනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ තමයි ජනතාකරණය ගෙනාවේ. අරක ගෙනාවෙ මේක ගෙනාවේ කියලා. ඔව් එතුමාගේ කාලයේ තමයි ඇඟලුම් කම්හල් ගෙන ආවේ. අද අවුරුද්දකට ඩොලර් බිලියන දාහතරක නැත්නම් ඩොලර් මිලියන දාහතර දාහක ආදායමක් ලංකාවට එන්නේ ඒකෙන් තමයි බෙහෙත් ටික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික හරි මේ වෙලාවේ ගෙන්නන්නේ. ඒව කතා කරන්නෙ නෑ. පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යහගත කරන්න ඕන. අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ නිසා එහෙම සමගි ජන බලවේගය හෝ විපක්ෂයේ සහයෝගය ගන්නනම් උගුල් අටවලා ඒක කරන්න වෙන්නේ නෑ කියලා අපි උගුල් අටවන ජනාධිපතිවරයා ට කියන්න ඕන.

මට note උන තව දෙයක් තියෙනවා . මම කිසිසේත්ම කුමාර් ගුණරත්නම් හෝ පෙරටුගාමීන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. හැබැයි එතුමා කුමාර් ගුණරත්නම්ට සහ පෙරටුගාමීන්ට ගහනවා. උද්ඝෝෂණය කරපු ජනතා විමුක්ති පෙරමුණට වචනයක්වත් කියන්නේ නැහැ. පාර්ලිමේන්තුව ගාවට ගියේ ජනතා විමුක්ති පෙරමුණ. පාර්ලිමේන්තුව ගිනි තියන්න කියලා කතාවක් ගියා, එතෙන්ට ගියේ ජනතා විමුක්ති පෙරමුණේ අය. ඉතිං ඒ අය ගැන කතා කරන්නේ නැහැ නේ. එතකොට මේ ‘රතු අලි පැටව්’ එක්ක තියෙන ඩීල් එකද එළි වුණේ කියන එක මට හිතාගන්න බැහැ. පොහොට්ටුවේ උන්දලට අපි කියනවා ඔයාලටත් ජනමතයක් නැහැ, ඒ වගේම අටවන ජනාධිපතිටත් ජනමතයක් නැහැ. ‘අලියෙක් ඉවර කරපු මිනිහෙකුට පොහොට්ටුවක් ඉවර කරන එක’ මහ කජ්ජක් නෙමෙයි. ඒක විතරක් හොඳට මතක තියාගන්න” ෴

++++++++++

උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර (2022-11-24 – විශේෂ මාධ්‍ය හමුව – උත්තර ලංකා සභාගය)

+

***************************************

මිනිස් ජාවාරමට සම්බන්ධ මහමොළකරු තවදුරටත් රිමාන්ඩ් – රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුටත් වැඩ වරදියි

(24.11.2022 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් නැමැත්තාගේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් අවලංගු කර තිබෙනවා.

පසුගියදා ඕමානයේ සිට මෙරටට පැමිණි කාන්තාවක් ඊ. කුෂාන් නැමැත්තාට චෝදනා එල්ලකරමින් ප්‍රකාශ කළේ ඔහු විසින් තමාට බලහත්කාරකම් කළ බවටයි.

කෙසේ වෙතත් තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් අද (24) යළිත් වරක් ඕමානයේ සිට අදහස් දක්වමින් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ තමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම රැකියා සඳහා ඕමානයට ගොස් සිටින කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද (24) මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ඕමාන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ අනාවරණයෙන් පසුව ප්‍රධාන සැකකාර මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාසා නැමැත්තා පසුගිය 19 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන්තොටුපළේදීයි.

එමෙන්ම ඔහුගේ නියෝජිත උප තැරැව්කරුවෙකුද පසුගිය ඉරිදා (20) අවිස්සාවේල්ල – පුවක්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු ද ලබන මස පළමුවනදා (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මීට අමතරව කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ තැරැව්කාරියක්ද අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණා.

++++++++

***************************************

නව එනසාල් ප්‍රභේදයක්

(25.11.2022 – 08:43 +0530 – hirunews.lk/sinhala)

නව එනසාල් ප්‍රභේදයක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා.

මේ දක්වා එනසාල් වියලි කලාපයේ කඳු මුදුන්වල වගා කෙරුණු අතර, නව ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ එය පහත රට තෙත් කලාපවලද වගා කිරීමට හැකි වීම යි.

ඒ අනුව මහනුවර, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර ගාල්ල, මාතර සහ ගම්පහ වැනි දිස්ත්‍රික්කවල නව ප්‍රභේදය වගා කර ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සරත්චන්ද්‍ර ධර්ම පරාක්‍රම සඳහන් කළා ෴

***************************************

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

(24.11.2022 – aruna.lk)

2022 නොවැම්බර් 23 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය අනුව ට්‍රන්ක පෙට්ටි, සූට් කේස්, බ්‍රීෆ් කේස්, ඇස් කණ්නාඩි කවර, හෑන්ඩ් බෑග් ශීතකරණ, වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ තිරිංග පෑඩ් වැනි ණ්ඩ රැසක් නැවතත් ආනය කිරීමේ නිදහස හිමිවේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් පත්‍රයට අත්සන් තබා තිබේ.

ගැසට් පත්‍රයට අනුව, තෝරාගත් HS කේත මගින් වර්ගීකරණය කරන ලද භාණ්ඩ ආනයනය කිරීමට ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ පූර්ව අනුමැතියට යටත්ව අවසර දෙන බව දැක්වෙයි.

ආනයනයට අවසර ලැබූ භාණ්ඩ ලැයිස්තුව (pdf file)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *