කර්මාන්ත ශාලා කුණුකොල්ලයට විකුණා ඒවායේ වධකාගාර දැමූ ජනපති රනිල්ගේ “වැදි බණවලින්” පවතින ආර්ථික අර්බුදය ජයගන්න බැහැ – විමල් වීරවංශ කියයි

කර්මාන්ත ශාලා කුණුකොල්ලයට විකුණා ඒවායේ වධකාගාර දැමූ ජනපති රනිල්ගේ “වැදි බණවලින්” පවතින ආර්ථික අර්බුදය ජයගන්න බැහැ – විමල් වීරවංශ කියයි

*********************************************

කර්මාන්ත ශාලා කුණුකොල්ලයට විකුණා ඒවායේ වධකාගාර දැමූ ජනපති රනිල්ගේ “වැදි බණවලින්” පවතින ආර්ථික අර්බුදය ජයගන්න බැහැ – විමල් වීරවංශ කියයි

(23.11.2022 – 16:10 +0530 – lankaleadnews.com)

එදා කර්මාන්ත ඇමැති ලෙස, බියගම යූරියා කර්මාන්ත ශාලාව පාඩු ලබන තත්ත්වයට පත්කර විකුණා දැමූ, යභපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස, ශ්‍රී ලංකාවේ සමස්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 17 න් අවුරුදු හතරහමාරකට (4½) ඩොලර් බිලියන 12.5 ක්ම ලබගත් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘වැදි බණවලින්’ පවතින ආර්ථික අර්බුදය ජයගත හැකි යැයි උත්තර ලංකා සභාගය කිසිසේත්ම විශ්වාස නොකරන බව එහි සභාපති, හිටපු අමාත්‍ය, විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ පැවති අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය :

කර්මාන්තකරුවාට කර්මාන්ත එපා කරවීම

“ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මට පෙර අදහස් දක්වපු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා අපේ රටේ දියුණුව වෙනුවෙන් සිදු කළ යුතු බොහෝ දේ ගැන අදහස් පළ කළා. එහිදී එතුමා කර්මාන්ත පිළිබඳව විශේෂයෙන් කරුණු දැක්වූවා. එතැනින් මගේ කතාව ආරම්භ කිරීම සුදුසු යැයි මා සිතනවා. මට මතකයි, සිමෙන්ති සංස්ථාවට අයිති වෙලා තිබුණු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ පාලන සමයේ පෞද්ගලීකරණය කරනු ලැබූ පුත්තලම සිමෙන්ති කම්හල මේ වන විට පවත්වාගෙන යනු ලබන ඉන්සී (INSEE) සිමෙන්ති නිෂ්පාදන සමාගම මා කර්මාන්ත අමාත්‍ය ධුරය දරන අවධියේ මට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඒ මට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. පුත්තලම දිස්ත්‍රික්කයේ එක්තරා මන්ත්‍රීවරයෙක් (එක් කාලයකදී රාජ්‍ය අමාත්‍යවරයෙක්), එක් අවස්ථාවක එම කම්හලේ සේවක පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කළා, කියා ඔවුන් සේවයෙන් නෙරපීම ගැන විමසීමට එම ඉන්සී සමාගමට කතා කරලා, ‘එයාලා මගේ ගෝලයෝ ඔවුන් නැවත සේවයට ගන්න’ කියලා. අවසානයේදී මේ බලපෑමෙන් මිදෙන්න ඒ සමාගමට, මේ මන්ත්‍රීවරයාට සිමෙන්ති කොට්ට 1000-2000 ක් ලබා දෙන්න සිදු වෙලා. රටේ ජනාධිපතිවරයාට පවා මේ පැමිණිල්ල ආවා. මම දැක්කා ඒ මන්ත්‍රීතුමා අර ‘කපුටා’ පිළිගන්න ගුවන් තොටුපළට ගිහින් තිබුණා (කපුටාට ගැලපෙන කට්ටිය). තමන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස තිබෙන බලය පාවිච්චි කරලා බලපෑම් කරනවා, ‘ඒක දීපන්! මේක දීපන්!’ කියලා. ‘සමාගමට සේවකයන් ප්‍රවාහනය කරන බස් රථ ගන්න ඕනේ මගෙන්’ කියලා බලපෑම් කරනවා. එහෙම දේශපාලන සංස්කෘතියක් තමයි මේ පොළොවේ තිබෙන්නේ.

කර්මාන්තයක් පටන් ගන්න ගියාම මුලින්ම පගාව දෙන්න ඕනේ, ප්‍රාදේශීය සභාවට, නගර සභාවට. ඊළඟට පරිසර අධිකාරියෙන් ඇවිත් ‘කෙකර ගෑවාම’ එතැනටත් දෙන්න ඕනේ. හදලා තියෙන්නේ කර්මාන්තකරුවාව දිරිගන්වන සංස්කෘතියක් නොවෙයි, කර්මාන්තකරුවාට තමන් නියැලී සිටින කර්මාන්තයත් එපා කරවලා, මේ රටත් එපා කරවන තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තු සභා ගැබ මැද්දේ කොයිතරම් බරසාරෙට කතා කළත් මහ පොළොවේ තිබෙන ඒ අපරාධකාරී ස්වභාවය වෙනස් කරන්න ප්‍රායෝගික මැදිහත්වීමක් නැත්නම් කවදාවත් අපේ රටේ කර්මාන්ත සංස්කෘතියක් ඇති වෙන්නේ නැහැ. මෙහිදී තමුන්නාන්සේලා කතා කළ වියට්නාමය හෝ වෙනත් රටක් වෙන්න පුළුවන්, ඒ රටවල නීති-රීති කාටත් එකයි. ප්‍රාදේශීය දේශපාලනඥයන් සතුටු කිරීමට ඒ රටවල කර්මාන්තකරුවන්ට දොළ පිදේනි දීමට සිදුව නැහැ. මෙතැන එහෙම නොවෙයි, මෙතැන හදලා තිබෙන්නේම, එන මිනිහාව මරාගෙන කාලා හරි, තමන්ගේ කුට්ටිය කඩාගන්නා ‘පෙරේතකමට’. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන තැනින් අපි පටන් ගන්න ඕනේ.

බියගම පොහොර සමාගමට සිදු කළ දේ

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මට මතක් වුණා බියගම තිබුණු පොහොර කර්මාන්ත ශාලාවට සිදු වූ දෙය. මගේ මතකයේ හැටියට ඒ කාලය වත්මන් ජනාධිපතිවරයා කර්මාන්ත ඇමැති ධුරය දරපු කාලය. ඒ බියගම රාජ්‍ය පොහොර කම්හලෙන් රටටම අවශ්‍ය යූරියා නිෂ්පාදනය කළා. සමහර වෙලාවට අපි අතිරික්ත යූරියා ප්‍රමාණය පකිස්ථානයට විකුණලා පවා තිබෙනවා. එහෙම තිබුණු කර්මාන්ත ශාලාවක් පිටරට කොම්පැනියකට කුණුකොල්ලයට දුන්නා. ටික කලකදී එයාලා යන්ත්‍රසූත්‍ර පවා ගලවලා අරගෙන ගියා. ඊට පස්සේ එතැන වධකාගාරයක් දාගත්තා. මේ රටේ ගොවියාට යූරියා පොහොර ටික සපයපු පොහොර සමාගම පාඩුයි කියලා පෙන්වලා, විදේශ සමාගමකට දුන්නාට පසුව සිදු වූ දෙයයි ඒ.

පරණ ට්‍රැක් එකට වැටීම

තමන් එහෙම තුට්ටුදෙකේ තීරණ අරගෙන මේ රට වලට ඇදලා දාපු භාවිතාවන් පෙනෙන්න තිබියදී, අවුරුදු තිහකට (30) පමණ පසුව ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාම ජනාධිපතිවරයා හැටියට ඇවිත් කියනවා, ‘අපි ආපු ගමනේ වැරදි තිබෙනවා’ කියලා. ඒවා වැරදි නම්, වැරදි නිවැරදි කරන උපායමාර්ගික සැලැස්මක් මේ අයවැයේ තිබෙනවා ද? කුරුඳු වගාව සම්බන්ධ යෝජනාව ඇතුළු යෝජනා කීපයක් හැරුණාම මේ අයවැයෙන් බලන්නේ, ලැයිස්තුවක් ලෙස දමා තිබෙන ලාභ ලබන රාජ්‍ය ආයතන ටික, ඩොලර්වලට විකුණලා, විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන තුන-හතරකට හදාගෙන, ‘රේටින්ස්වලින්’ පොඩ්ඩක් ඉහළට ඒම. එහෙම ඉහළට ආවාම කවුරුහරි ‘හෙට්ටියකු’ ළඟට ගිහින් ආයෙත් ණය ගැනීම; ණයට අරන්, සැපට කාලා, ජොලියෙ ඉඳීම. මේ අයවැය තුළ තිබෙන මට පෙනෙන ‘ආර්ථික දර්ශනය’ ඒකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව සිදුකළ කතාවකදී කියනවා, ‘මම සංවේදී ඔය ආයතන, ගොඩනැගිලි ගැන නොවෙයි. මම සංවේදී කුස්සිය ගැන. ඒ ආයතන ටික විකුණලා ඩොලර් බිලියන තුන-ක්හතරක් හදාගත්තාම අපේ සංචිතය ශක්තිමත් වෙනවා’ කියා. එතැනින් කතාව නතර කරනවා. මේ හදන්නේ මම ඉහත පෙන්වා දීපු ආකාරයට ‘ණයට අරන් සැපට කෑමේ’ පරණ ට්‍රැක් එකට වැටෙන්න.

අර්බුදයේ ප්‍රධානතම හේතුකාරකයෙක්

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ මුළු විදේශ ණය බර ඩොලර් බිලියන 52 ක්. ඒක තුළ තිබෙනවා, සහන කාල සීමා නොමැති, 6%-9% අධික පොලියට ගත්තු වාණිජ ණය හෙවත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන 17 ක්. ඉන් ඩොලර් බිලියන 12.5 ක්ම ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරපු යහපාලන ආණ්ඩුවේ අවුරුදු හතරහමාරක (4½) කාලයේදීයි. ඒ ගත්තු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයවල වාරිකය එකවර කඩාගෙන වැටුණාම තමයි ණය ආපසු ගෙවීම කළමනාකරණය කරගැනීම ඉතා දුෂ්කර වෙන්නේ. මේ ආකාරයට අවුරුදු හතරහමාරකදී (4½) අධික පොලියට, සහන කාල සීමා නොමැති වාණිජ ණය ඩොලර් බිලියන 12.5 ක් ගැනීමත් අපි අද පත්වෙලා ඉන්න ආර්ථික අර්බුදයට එක් ප්‍රධානතම හේතුවක්. ඒ හේතුකාරකයාම දැන් ඇවිත් අපට කියනවා, ‘වැරදි වෙලා තියෙනවා. ඒවා හදාගෙන අපි ඉදිරියට යමු.’ කියලා. එක පැත්තකින් බියගම පොහොර කම්හල පාඩු ලබන තත්ත්වයට පත් කරවලා, විකුණා දමා, එතැන වධකාගාරයක් පවත්වාගෙන ගිය කෙනා, අනිත් පැත්තෙන් අවුරුදු හතරහමාරකදී ඩොලර් බිලියන 12.5 ක වැඩිම ණය බරක් එකතු කළ කෙනා කියන ‘වැදිබණවලින්’ මේ ආර්ථික අර්බුදය ජය ගත හැකියි, කියා අපි නම් හිතන්නේ නැහැ.

දැන්වත් විදේශ විනිමය පනත සංශෝධනය නොකරන්නේ ඇයි?

මට අද තිබෙන සරලම ප්‍රශ්නය තමයි ‘ඇයි තමුන්නාන්සේලා තවමත් විදේශ විනිමය පනත සංශෝධනය නොකරන්නේ?’ කියන එක. රවී කරුණානායක, ඉහත කී අවුරුදු හතරහමාරක (4½) යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස එතෙක් පැවති විනිමය පාලන පනත වෙනුවට විදේශ විනිමය පනත ගෙන ආවා. පෙර පැවති නීති අනුව අපනයනයෙන් උපයන මුදල් නිශ්චිත කාලයකදී රට තුළට රැගෙන ආ යුතුයි. එසේ නොකිරීම අපරාධ වරදක්. ඒ නිසා අපේ නිෂ්පාදකයන් අපනයන ආදායම මාස දෙක, තුනකට සැරයක් රට තුළට ගෙන ආවා. එහෙම නොකළොත් මහබැංකුවට හැකියාව තිබුණා නඩු පවරන්න. රවී කරුණානායක ගෙන ආ පනතින්, ‘නඩු පැවරීම, අපරාධ වරදක් ලෙස සැලකීම’ යන සියල්ලම ඉවත් කරලා, බොරු වගන්තියක් පමණක් දැම්මා, ‘උපයන විදේශ විනිමය මාස හයක් (6) ඇතුළත රට තුළට රැගෙන ආ යුතුයි’ කියලා. එහෙම රැගෙන නොආවොත් කරන දේ ඒ පනතේ නැහැ. ඒ නිසා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ නිෂ්පාදකයින් උපයන විදේශ විනිමය සම්පූර්ණයෙන් රට තුළට එන්නේ නැහැ. රට තුළට එන්නෙ නැතුව පිටරටවල ‘පාක් කරලා’ තිබෙන අපේ රටට අයිති විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 35 ක් පමණ වෙනවා. ඒක රට තුළට ගෙන එන්න විදේශ විනිමය පනත සංශෝධනය කරලා, පෙර පැවති නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කිරීමට බැරිනම්, තමුන්නාන්සේලා මොකද්ද බලාපොරොත්තු වන්නේ? අද පාසල් දරුවාගේ පොත් ටික, පාසල් බෑගය, සපත්තු කුට්ටම තුන්හතර ගුණයකින් මිල වැඩිවන ආකාරයට බදු ගහනවා. නමුත් මේ රටට අයිති විදේශ විනිමය ප්‍රමාණය රට තුළට ගෙන ඒමට නීති සංශෝධනය කරන්නේ නැහැ. මේ ප්‍රශ්නය සඳහා සංවේදී නැහැ කියන්නේ, මේ ආර්ථික අර්බුදය තමුන්නාන්සේලා විසඳන්න හදන්නේ ‘මුලෙන්’ අල්ලාගෙන නොවෙයි කියන එකයි. ඒ නිසා තමුන්නාන්සේලා තවදුරටත් කරන්නේ බොරුව.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තනතුර දමලා පලා යෑමට සිදු වුණේ ඇයි? පැවති යථාර්ථයට කෙලින් මුහුණ දීලා, පෙර තීරණ අරගෙන, ඒවා පිළිබඳව මහජනයා දැනුම්වත් කරලා, පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මේ ආර්ථික අර්බුදයට මුහුණදීමට උපායමාර්ග සැලැස්මක් නොමැතිකම නිසයි. අදත් වෙන්නේ කිසිදු උපායමාර්ගික සැලැස්මකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බලාගෙන දවස කළමනාකරණය කරගැනීම. ණයහිමි රටක් හෝ දෙකක් කිව්වොත් ‘අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධයි’ කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුළු සැලැස්මම ඒ මත බිඳ වැටෙනවා. එතැන සැලැස්ම සාර්ථක වුණත් ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9 ක්. ඒකත් වාරික හතරකට (4). අපේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 52 ක්. ඩොලර් බිලියන 52 ක ප්‍රශ්නයකට ඩොලර් බිලියන 2.9 කින් කරන්න පුළුවන් මොන කෙංගෙඩියක් ද?

IMF දොස්තර මහත්තයා අන්තිමට කියන දේ

මෙතැන වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘බෙහෙත් වට්ටෝරුව’ දිහා විතරක් බලාගෙන, ‘මේක තමයි හොඳම බෙහෙත; එකම බෙහෙත; මේ බෙහෙත පෙව්වාම තමයි මේ ලෙඩේ හොඳටම සනීප වෙන්නේ’ කියමින් ඉස්සරහට යෑම. අන්තිමටම IMF දොස්තර මහත්තයා කියයි, ‘ඔයාලාට ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරියට කරන්න බැරි වුණා. බෙහෙතේ ප්‍රශ්නයක් නොවෙයි, ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් තිබෙන්නේ’ කියා. ඔය ‘බෙහෙත් වට්ටෝරුව’ පාවිච්චි කරපු ආජන්ටිනාව, 1988 සිට පස් වතාවක් (5) ණය ගෙවාගත නොහැකි රටක් බවට පත්වූවා. අදටත් ඔවුන් ආර්ථික අර්බුදයෙන් ගොඩගිහින් නැහැ. ලංකාවත් එවැනි දීර්ඝකාලීන අර්බුදයක් කරා රැගෙන යාම පමණයි සිදුවන්නේ කියා, තමුන්නාන්සේලා අනුගමනය කරන ප්‍රතිපත්ති සහ අරගෙන තිබෙන තීන්දු අනුව අපට පැහැදිලියි. ඒ නිසා මේ අය-වැය, රට ඉදිරියේ තිබෙන අභියෝගය ජය ගැනීම සඳහා ප්‍රමාණවත්, පුරෝගාමී අය-වැයක් නොවන බවට අපේ මතය අපි ඉදිරිපත් කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

***************************************

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දවස මෙන්න

(23.11.2022 – 15:23 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් එල්. එම්. ඩී. ධර්මසේන පවසනවා.

පිළිතුරු පත්‍ර සහ ප්‍රායෝගික පරීක්ෂණ ඇගයීම් සියල්ල අවසන් බැවින් ලබන 30 වනදාට පෙර ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.

පසුගිය මැයි මාසයේදී 2021 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණු අතර, අපේක්ෂකයන් පන්ලක්ෂ 17,486 ක් ඒ සඳහා පෙනී සිටියා ෴

***************************************

වත්මන් සභාපතිවරයා නිසා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අවුලක

(23.11.2022 – 14:11 +0530 – hirunews.lk/sinhala)

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ වත්මන් සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් එම ආයතනයේ දුෂණ සහ වංචා මේ වන විට උග්‍ර වී ඇති බව එම කාර්යාංශයේ නිලධාරීන් පවසනවා.

‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළි කළ එම කාර්යාංශයේ අක්‍රමිකතා පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔවුන් මේ අදහස් පළ කළා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ වත්මන් සභාපති සෙනරත් හේවගේ ප්‍රසාද් මංජුලගේ නමින් ලබාගත් නීති විරෝධී කැනීම් බලපත්‍රයක් හරහා මුතූර් – සාෆිනගර් ප්‍රදේශයේ පරිසරය සුනු විසුනු කර ඇති බව අප අවස්ථා ගණනාවක දී හෙළි කළා.

එහෙත් ඊට මේ වන තෙක් විෂය භාර අමාත්‍ය නසීර් අහමඩ් කිසිදු පියවරක් ගෙන නැහැ.

මේ අතරවාරයේ සාෆි නගර් සිදුවීම ඇතුළු භු විද්‍යා හා කැණීම් කාර්යාංශයේ සිදුව ඇති දුෂණවලට සෘජුව ආධාර අනුල ලබාදෙමින් මේ වනවිටත් එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන ඉංජිනේරු සජ්ජන ද සිල්වාට විරුද්ධව පරිසර අමාත්‍යාංශය අසල පෝස්ටර් අලවා තිබෙනු දක්නට ලැබුණා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සේවක අයිතීන් සුරැකීමේ වෘත්තීය සමිතිය අද (23) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ මෙම පසුබිම තුළයි ෴

***************************************

වකුගඩු හොරු සමඟ හෙලුවෙන් සිටගත් පොලිස් ලොක්කා

(23.11.2022 – 19:58 +0530 – sinhala.adaderana.lk)

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදු කෙරෙන වකුගඩු ජාවාරමක් පිලිබඳ තොරතුරු ‘අද දෙරණ උකුස්සා’ ඉකුත් දින දෙකේදී රටට අනාවරණ කළේය.

‘අද දෙරණ උකුස්සා’ ඊයේ (22) අනාවරණ කළේ වකුගඩු ලබාදුන් පිරිසට බොරැල්ලේ පිහිටි දේවස්ථානයක් අසළට පැමිණ රෝහල් සේවකයන් විසින් දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කරන ලෙස පැවසූ ආකාරයයි.

ඊට පිරිස විරුද්ධවීමත් සමග රෝහල් සේවකයන් සමග පැමිණි පොලිස් නිලධාරියා දැක් වූ ප්‍රතිචාරය ද අප ඊයේ (22) රට හමුවේ අනාවරණ කළේය.

පොලිස් නිලධාරියාගේ එම බලපෑම හමුවේ පැමිණි පිරිස පසුව අදාළ රෝහල සමග මින් ඉදිරියට සබඳතාවක් නොමැති බවට වන දිවුරුම් ප්‍රකාශයට අත්සන් තැබූ අයුරු අප කැමරාවේ සටහන් විය.

එය සම්පූර්ණයෙන්ම පොලිස් නිලධාරියාගේ අධික්ෂණය යටතේ සිදු කිරීම විශේෂත්වයකි.

දිවුරුම් ප්‍රකාශයට අත්සන් තැබීමෙන් අනතුරුව වකුගඩු ලබාදුන් පිරිසට රුපියල් ලක්ෂ 2 ක් බැගින් ලබාදීම රෝහල් සේවකයෙකු සිදුකළ ආකාරයද දැකගත හැකිවිය.

පසුව තම පෞද්ගලික මෝටර් රථයෙන් පැමිණි බව පැවසූ පොලිස් නිලධාරියා අදාළ පෞද්ගලික රෝහලේ සේවකයන් දෙදෙනා සමගින් එම ස්ථානයෙන් පිටව ගියේය.

ඔවුන් පසුපස හඹාගිය උකුස්සාට දැකගත හැකිවුණේ CAN අංක 7000 කාණ්ඩයේ මෝටර් රථයෙන් ඔවුන් බොරැල්ල දෙසට ගමන් කරන ආකාරයයි.

පසුව පොලිස් නිලධාරියා ඇතුළු පිරිස වකුගඩු ජාවාරම සිදුකරන පෞද්ගලික රෝහලේ මෝටර් රථ අංගනයෙන් ඔවුන් ගමන් කළ රථය නවතා අදාළ රෝහල තුළට ගිය ආකාරයද දැකගත හැකිවිය.

එහිදී උකුස්සාට දක්නට ලැබුණේ පොලිස් නිලධාරියා තමන්ගේ පෞද්ගලික මෝටර් රථය බව පැවසූ අදාළ රථයේ වෛද්‍ය ලංඡනය අලවා ඇති ආකාරයය.

එමෙන්ම එය බොරැල්ලේ පදිංචි කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවද උකුස්සාට සොයාගත හැකිවුණි.

පසුව වකුගඩු ලබාදුන් පුද්ගලයන් රෝහලට හඳුන්වාදුන් තැරැව්කරුවකු සමග අප රෝහලට යන්නේ එහි ප්‍රධාන වෛද්‍යවරිය බව පැවසෙන කාන්තාව හමුවීම සඳහාය.

අදාළ කාන්තාව තැරැව්කරු දුටු සැණින් මෙලෙස එම ස්ථානයෙන් පලාගියාය.

එහිදී වූ විශේෂ සිදුවීම වන්නේ රෝහල් සේවකයන් සමග පැමිණි පොලිස් නිලධාරියා තමන්ගේ පෞද්ගලික මෝටර් රථය ලෙස පෙන්වූ මෝටර් රථයෙන් අදාළ වෛද්‍යවරිය එම ස්ථානයෙන් පිටවීමය.

ඇය ගිය පසු පොලිස් නිලධාරියාද රෝහලෙන් පිටතට පැමිණියේය.

පසුව එම පොලිස් නිලධාරියා විසින් අප සමග සිටි තැරැව්කරුට බලපෑම් කළේ මේ ආකාරයෙනි.

ඉන් අනතුරුව ඔහු මෙම කළු පැහැති CAT අංක 7000 කාණ්ඩයේ මෙම මෝටර් රථයෙන් රෝහලේ සේවකයෙකු සමග නරාහේන්පිට පිහිටි පොලිස් නිල නිවාස සංකීර්ණය වෙතට යන අයුරුත් ඔවුන් පසුපස හඹාගිය උකුස්සාට නිරීක්ෂණය වුණි.

මෙම නොමිනිස් ක්‍රියාව සිදුකරන බොරැල්ලේ පෞද්ගලික රෝහල සහ එම කූඨ ක්‍රියාවට සහයයෝගය දෙන මෙවැනි පොලිස් නිලධාරීන් පිළිබඳව වගකිවයුතු පාර්ශව ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව අද දෙරණ උකුස්සා අවධානයෙන්.

***************************************

කුෂාන් ගේ පැටිකිරිය කෝපා කමිටුවේ දී එළියට

(23.11.2022 – 13:54 +0530 – sinhala.adaderana.lk)

මේ වනවිට සේවයෙන් ඉවත්කර ඇතැයි සඳහන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වන ඊ. කේ කුෂාන් මීට පෙර ද මූල්‍ය වංචාවන්ට ද හසු වී ඇති බවට තොරතුරු ලැබී තිබේ.

ඊයේ (22) පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී මේ බව අනාවරණය වුණි.

විගණකාධිපති, ඩබ්. පී. සී. වික්‍රමරත්න මහතා : “මේ නිලධාරියාට විරුද්ධව හිටපු සභාපති ඉන්ටර්නල් ඔඩිට් එක ලවා පරීක්ෂණයක් කරන්න කියලා තියෙනවා 2022.01.28 වනදා. මේ අය මුකුත් කරලා නෑ. ඊට පස්සේ මේ නිලධාරියා දිගින් දිගටම ගොඩක් මුදල් වංචාවන්ට හසුවෙලා තියෙනවා. සහතික වංචා කිරීමේ වරදකට අහුවෙලා තියෙනවා. කිසිම පියවරක් අරන් නෑ…”

විදේශ සේවා කාර්යාංශයේ නිලධාරියා : “ඔබතුමා කිව්වා වගේ ඒ නිලධාරියාට එරෙහිව කාන්තාවන් දෙදෙනෙක් කාර්යාංශයට පැමිණිලි කළා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් කාර්යාංශය අභ්‍යන්තර විගණන අංශය යොදවලා පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයේ දී තහවුරු වුණේ නෑ. මොකද ඒ කාන්තාවෝ කියලා තිබුණේ මෙහෙම වෙනවා කිව්වා මිසක් ඒක පරීක්ෂණයේ දී තහවුරු වුණේ නෑ. අපි කාර්යාංශය මගින් ඒ නිලධාරියාගේ වැඩතහනම් කිරීමට කටයුතු කළා. ඊට අමතරව කාර්යාංශය මගින් අභ්‍යන්තර විමර්ශනයකුත් ආරම්භ කරලා තියෙනවා.”

විගණකාධිපති, ඩබ්. පී. සී. වික්‍රමරත්න මහතා : “විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ තමා ලේකම්ට මේ ලියුම යොමුකරලා තියෙන්නේ. මෙයා වින්දිතයින්ට බලපෑම් කරන්න පුළුවන් ඒ නිසා ගෙන්වන්න කියලා. අද වෙනතුරු සිද්ධිය ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ යනකල් ඔය නිලධාරියාගේ අඩුම ගානේ වැඩතහනම් කළේ නෑනේ. ඊට කලින් මේ නිලධාරියා වැරදි කිහිපයක් කරලා තියෙනවා. කිසිම පියවරක් අරන් නෑ.”

++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *