මිනිස් වෙළඳාමේ සැකකරුවෙකු වන කුෂාන් අත්අඩංගුවට ගන්නා බව විදේශ රැකියා ඇමති කියයි

මිනිස් වෙළඳාමේ සැකකරුවෙකු වන කුෂාන් අත්අඩංගුවට ගන්නා බව විදේශ රැකියා ඇමති කියයි

*********************************************

මිනිස් වෙළඳාමේ සැකකරුවෙකු වන කුෂාන් අත්අඩංගුවට ගන්නා බව විදේශ රැකියා ඇමති කියයි

(22.11.2022 – 12:29 +0530 – hirunews.lk/sinhala)

මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට වැඩ තහනමට ලක්ව සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් මෙරටට පැමිණි පසු අත්අඩංගුවට ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම, දැනට ඕමානයේ සුරක්ෂා මධ්‍යස්ථානයේ රැදී සිටින මෙරට ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සංචාරක වීසා මගින් අබුඩාබියට ඇතුලු වූ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු සම්බන්ධයෙන්.

තානාපති කාර්යාලයේ නිලධාරින් එරට පොලිසීය විසින් මෙම පිරිස රැදී සිටින ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට කිසිදු ගැටලුවක් හෝ පැමිණිල්ලක් නොමැති බවයි. නමුත් එම පිරිස එක් අයෙකු පමණක් නැවත ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර තිබෙනවා.

කෙසේ වෙතත්, සෙසු පුද්ගලයින් නීත්‍යානුකූල හා ආගමන ක්‍රියා පටිපාටීන් නොතකා නොවැම්බර් 15 වනදා ඕමානය බලා පිටත්ව ගොස් ඇති බවයි හෙළි වී ඇත්තේ.

එක්සත් එමීර් රාජ්‍යයේ හා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

+++++++++

+++++++++

++++++++++

+++++++++

***************************************

වකුගඩුවක් අහිමි කරගෙන ජීවිතය යදින මිනිස්සු ගැන තවත් තොරතුරු

(22.11.2022 – 20:14 +0530 – sinhala.adaderana.lk)

වකුගඩු ජාවාරමක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ ඊයේ (21) රටට කළ අනාවරණයත් සමග අද (22) එම ජාවාරමේ තවත් පැතිකඩක් පිළිබඳව තොරතුරු හෙළි විය.

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ ඊයේ (21) රටට එලෙස අනාවරණ කළේය.

ඒ, එම ජාවාරමට හසු වූ පුද්ගලයන්ගේ තොරතුරු පදනම් කරගනිමිනි.

එහිදී මෙම ජාවාරමට හසුවූවන් සඳහන් කළේ, “මමත් මගේ ආර්ථික ප්‍රශ්න අනුව වකුගඩුවක් දෙන්න වුණා. මට කිව්වා ලක්ෂ 60 ක් අරන් දෙන්නම් කියලා. ඒ නිසයි මම දෙන්නම් කිව්වේ. මගේ අම්මට සනීප නැහැ. ඒක නිසයි දෙන්න කැමති වුණේ,” යනුවෙනි.

වකුගඩු ලබාදුන් පුද්ගලයින් සිදුකළ හෙළිදරව්ව ඔස්සේ ගවේෂණයක නිරත වුණු ‘උකුස්සා’ට ඔවුන් අදාළ රෝහලට සම්බන්ධ කරදුන් තැරැව්කරුව සොයාගත හැකිවිය.

එම තැරැව්කරු සඳහන් කළ ‘බායි’ නමැත්තා ද අප සොයාගත් අතර සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු වකුගඩු ජාවාරම සිදුකරන බව පිළිගත්තේය.

මේ අතරතුර වකුගඩු ලබාදුන් පිරිස පසුව බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබුණි.

එම අවස්ථාවේදී රෝහල් සේවකයෙකු බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකු පැවසුවේ රෝහලට නොපැමිණෙන ලෙසත් බොරැල්ලේ පිහිටි දෙවස්ථානයක් අසල ඇති රථ ගාලක් වෙත එම පිරිසට යන ලෙසය.

ඒ වනවිටත් පොලිස් නිලධාරියෙකු සමගින් මෝටර් රථයක් එම ස්ථානයට පැමිණ තිබුණි.

පොලිස් නිලධාරියා මෝටර් රථය තුළටවී සිටියදී වකුගඩු ලබාදුන් පිරිසද එම ස්ථානයට පැමිණ තිබුණි.

තමන්ට මින් ඉදිරියට රෝහල සමග කිසිඳු සබඳතාවක් නොමැති බවට පවසා දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මෙහිදී රෝහල් සේවකයන් අදාළ පිරිසට දැනුම් දුන්නේය.

ඊට පිරිස විරුද්ධවීමත් සමග රෝහල් සේවකයන් සමග පැමිණි පොලිස් නිලධාරියා මෝටර් රථයෙන් පිටතට පැමිණියේය.

ඔහු එහිදී වකුගඩු ලබාදුන් පිරිසට මෙලෙස ප්‍රතිචාර දැක්විය.

“අවයව දෙන්න බැහැ සල්ලිවලට. ඒක නීතියක්. ඔයගොල්ලෝ කරන්නේ ලොකු වරදක්. මතක තියාගන්න. ඔයගොල්ලන්ට උදව්වක් කරේ. හරිද.. මම මේ ජීප් එකේ එන්නෙත් නැතුව මගේ පුද්ගලික කාර් එකේ අවිල්ලා.. මම කියන්න ආවේ.. ඔයගොල්ලෝ ඔළුව කල්පනා කරලා වැඩකරන්න ඕනේ. වැඩිය කතා කරන්න එපා.”

මෙම පොලිස් නිලධාරියා හා වකුගඩු ජාවාරම පිළිබඳ තවත් වැදගත් තොරතුරු රැසක් අප සතුය.

ඒ පිළිබඳ තොරතුරු හෙට (23) රාත්‍රී 06:55 ට ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තුවන්න.

***************************************

ගොඩ දාන වැලි වලින් 40% ප්‍රවාහනය හොරෙන් – භූවිද්‍යා ලොකු ලොක්කන්ගේ හොර පත්වීම්

***************************************

පොළොන්නරුව වැලිකන්ද සූරියවැව ප්‍රදේශයේ රක්ෂිතයක අනවසර ඩෝසර් කිරීමක්

(22.11.2022 – 14:55 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂියට මායිම්ව පිහිටි සූරියවැව ප්‍රදේශයේ රක්ෂිතයක් කිසියම් පිරිසක් ඩෝසර් කරමින් පරිසර විනාශයක් සිදු කරන බවට ගොවි නියෝජිතයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, සිදු කරන විනාශය පිළිබඳව වගකිවයුතු නිලධාරීන් මෙතෙක් කිසිඳ පියවරක් ගෙන නොමැති බවයි.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ බඩඉරිඟු වගාවක් සඳහා ආයෝජකයයෙකුට මෙම ප්‍රදේශය ලබා දී ඇති බවයි.

ඒ අනුව ඩෝසර් යොදා ගනිමින් ප්‍රදේශය එළි පෙහෙළිකරමින් පවතින ආකාරය මෙලෙස දැක ගත හැකි වුණා.

කිසිඳු වග විභාගයක් නොමැතිව විශාල ගස් කපා දමමින් මෙම පිරිස දැඩි පාරසරික විනාශයක් සිදු කරන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් වන සතුන් ගම්වැදීම නිසා තම වගාවන් විනාශ වීමේ අවදානමක්ද මතුව ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

***************************************

මහවැලි ඉඩම් පැවරීමේ බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම මගින් කුරුන්දි විහාරය ඇතුළු උතුරු හා නැගෙනහිර ඓතිහාසික බෞද්ධ උරුමය සම්පූර්ණයෙන් වැනසී යනවා – මහාචාර්ය චන්න ජයසුමන ; දෙමළ නිජබිම් ප්‍රලාප වලට එරෙහිව තිබෙන ප්‍රබලම සාක්ෂිය උතුරු හා නැගෙනහිර ඓතිහාසික බෞද්ධ උරුමයයි – උදය ගම්මන්පිල

(22.11.2022 – 15:38 +0530 – lankaleadnews.com)

දිගින් දිගටම කුරුන්දි විහාරය හා පොදුවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල බෞද්ධ අයිතිවාසිකම් හා ක්‍රියාකාරකම්වලට බාධා එල්ලවීම් බහුලව සිදු වීම හේතුවෙන් මේ වන විට උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටා තිබෙන බෞද්ධ විහාරස්ථාන දැඩි ආනාරක්ෂිතතාවකට ලක්ව තිබේ. ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳව ජාතික උරුමයන් සුරැකීම සදහා වූ සංවිධාන එකමුතුව පත් කළ විමර්ශන කොමිසම මගින් සාක්ෂි විමසීමේ කටයුතු දෙවෙනි වරටත් අද දින (නොවැම්බර් 22) පෙරවරු 09:00 ට පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි.

අද දින(නොවැම්බර් 22) සාක්ෂී විමසීමේ කොමිසමේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ කටයුතු කළහ. කොමිසමේ සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා , විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය , (විශ්‍රාමික) ලුතිනල් ජනරාල් ජගත් ඩයස් මහතා සහ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා කටයුතු කළහ.

අද (22) දින කොමිසම හමුවේ සාක්ෂි දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, වසර 46 කට ආසන්න කාලයක සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල බෞද්ධ උරුමය විනාශ කිරීම සම්බන්ධයෙන් සාක්ෂි රැස්කරන්නෙකු මෙන්ම අධ්‍යයනය කරන්නෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශ්‍රාමික ගණකාධිකාරි පියසිරි අමරකෝන් මහතා සහ ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යයක්ෂක කුලතුංග රාජපක්ෂ මහතා පැමිණ සිටියහ.

එහිදී සාක්ෂි ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ වත්මන් ජනාධිපති අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කළ 2002 වර්ෂයේදී පවා මහවැලි ඉඩම් පැවරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා දීමට කටයුතු කළ බවත් එය වැළකි ගියේ එදා දේශ හිතෛෂී ජනයා කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බවයි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුප්‍රාප්තිකයෙකු ලෙස පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මහවැලි ඉඩම් පැවරීමේ බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට අය වැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීම මගින් කුරුන්දි විහාරය ඇතුලු උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි සියලු ඓතිහාසික බෞද්ධ උරුමයන් සම්පූර්ණයෙන් විනාශ වන බව මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් කොමිසමේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීවරයා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට එවැනි බරපතල තීන්දු ගැනීමට කිසිදු ජනවරමක් හෝ සදාචාර අයිතියක් ලැබී නොමැති බවයි.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ නිජබිමය යන ප්‍රලාපයට එරෙහිව ඓතිහාසික සාක්ෂි සපයමින් දැවැන්ත නිහඬ සටනක් කරණු ලබන්නේ උතුරු නැගෙනහිර තිබෙන පුරාවස්තු යැයි පෙන්වා දුන්නේය. ඒ අනුව එම පුරා වස්තු උතුරු සහ නැගෙනහිර පළාත්වල බෞද්ධ ශිෂ්ඨාචාරය පැතිර ගියේ දකුණු ඉන්දියාවේ පැවැති බෞද්ධ ශිෂ්ඨාචාරයේ බලපෑම මතය යන ප්‍රලාපයක් විශේෂයෙන්ම නෝර්වේ විශ්ව විද්‍යාල පාදක කර ගනිමින් ගොතාගෙන යමින් පවතින බව පෙන්වා දුන් ඒ මහතා එම ප්‍රලාප වලට එරෙහිව තිබෙන ප්‍රබලම සාක්ෂිය උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින ඓතිහාසික බෞද්ධ උරුමය බව කොමිසම හමුවේ අවධාරණය කළේය. ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ නිජ බිමක් පැවතුනාය යන ප්‍රලාපය තහවුරු කිරීමට ඇති ප්‍රබලම දායකත්වය වන එම පළාත්වල තිබෙන ඓතිහාසික බෞද්ධ උරුමය හිතා මතාම විනාශ කිරීමේ කුමන්ත්‍රණය පරාජය කළ යුතු බවත් පවසා සිටියේය.

විශ්‍රාමික ගණකාධිකාරි පියසිරි අමරකෝන් මහතා අදහස් දක්වමින් කොමිසම හමුවේ පවසා සිටියේ යාපන අර්ධ ද්වීපය තුළ බෞද්ධ නටබුන් හමු නොවන්නේ ඇයි යන පැනයත් ත්‍රිකුණාමලය ගෝකන්න විහාරයට අත්වූ ඉරණම කුමක්ද යන පැනයත් කොමිසම ඉදිරියේ තබන බවයි. එම පැනයන්ට පිලිතුරු සෙවීමේදී ඉංග්‍රීසීන් බලයට පැමිණි වහාම යාපනය අර්ධ ද්වීපය තුළ හින්දු කෝවිල් 300 ක් පමණ ඉදිකර ඇති බව අවධාරණය කළේය. ඔවුන් ඒ සඳහා ඉන්දියාවේ හින්දු බ්‍රාහ්මණයින්ගේ උදව් උපකාර ගෙන එම කටයුතු කර ඇති බවද කොමිසම හමුවේ ප්‍රකාශ කළේය. එලෙසම ත්‍රිකුණාමලයේ ගෝකණ්න විහාරය විනාශ කර හින්දු කෝවිලක් ඉදිකිරීම මගින් ඔවුන් බෞද්ධ උරුමය විනාශ කිරීමට බරපතල වෙහෙසක් ගත් බවයි.

ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යයක්ෂක කුලතුංග රාජපක්ෂ මහතා අදහස් දක්වමින්, 2020 වර්ෂයේදී තමා ඇතුළු පිරිසක් කුරුන්දි විහාරයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුනු බවත් කැලෑව මැදින් ගිය එම දුෂ්කර ගමනේදී හමුවූ කුරුන්දි විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි සංතබෝධි හිමියන් එම විහාරයේ සංරක්ෂණ කටයුතු වලට මැදිහත් වන ලෙස ඉල්ලා සිටි බව අනාවරණය කළේය. එහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ පරිහරණය සඳහා රුපියල් මිලියන දෙකක වියදමින් ගොඩනැගිල්ලක් ඉදිකළ බව අනාවරණය කළේය. එහිදී සංරක්ෂණ කටයුතු වල නිරීක්ෂණ කටයුතු වලට සහභාගි වීමේදී එම විහාර සංකීර්ණයේ දැවැන්තභාවය නිරීක්ෂණය කළ බවද අවධාරණය කළ අතර ඒවා සියල්ල ඡායාරූප කරගත කර ඇති බවද කොමිසම හමුවේ අවධාරණය කළේය.

කොමිසමේ කැඳවුම්කරු ලෙස මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කටයුතු කරති. ලේකම් මණ්ඩලය ලෙස මතුගම සෙනෙවිරුවන් ප්‍රමුඛ නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය කටයුතු කරති.

කොමිසම තුන්වෙනි (3) වතාවට නොවැම්බර් 24 වනදා පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවේණේදීම පැවැත්වෙන බව කොමිසමේ කැඳවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූ අතර කොමිසම හමුවේ ඕනෑම අයෙකුට සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවද පැවසූහ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *