ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

*********************************************

ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

(22.11.2022 – 15:56 +0530 – sinhala.adaderana.lk)

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට තොරතුරු හෙළිකිරීමත් සමග තමාගේ වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව වෛද්‍ය චමල් සංජීව මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට තමන් විසින් සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව සිය වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගෙන තිබෙන තීරණය තුළින් තම මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසය.

තවද, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 10 ක වන්දියක් අය කරදෙන ලෙසත් වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු 23 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශයකට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් ඉකුත් ඔක්තෝබර් මස 25 වනදා සිය වැඩ තහනම් කිරීමට පියවර ගත් බවය.

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ තමන් වෛද්‍ය සායනයක් පැවැත්වීමට කටයුතු කළ අතර ඒ තුළින් ප්‍රදේශයේ පවතින ළමා මන්දපෝෂණය පිළිබඳව සමීක්ෂණයක් සිදු කළ බවද පෙත්සම්කරු පවසයි.

එම සායනයට සහභාගීවූ සෑම දරුවන් 20 දෙනෙකුගෙන් 6 දෙනෙකු පමණ දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වුයේ යැයි පවසන පෙත්සම්කරු, සහභාගීවූ දරුවන්ගෙන් සියයට 50 ත් 80 ත් අතර සංඛ්‍යාවක් නිසි බරට වඩා අඩු බරකින් යුක්ත වූ බවත් කියා සිටියේය.

මේ පිළිබඳව තමන් සිදු කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වූ බව පෙත්සම්කරු පවසා තිබේ.

ඉන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කළ දැනුම්දීමකට අනුව ඉකුත් සැප්තැම්බර් මස 26 වනදා තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කමිටුව වෙත ගොස් ප්‍රකාශයක් ලබාදුන් බවත් ඔහු පවසයි.

පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ආයතන සංග්‍රහයේ 31:1:15 වගන්තිය උල්ලංඝනය කලේ යැයි චෝදනා කරමින් සිය වැඩ තහනම් කිරීමට වගඋත්තරකරුවන් පියවර ගත් බවත් පෙත්සම්කරු කියා සිටී.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සිය වැඩ තහනම් කිරීමට වගඋත්තරකරුවන් ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම තමන්ව නැවත සේවයේ පිහිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය විදේශීය පුහුණුව අඛණ්ඩව ලබාගැනීමට අවස්ථාව සලසාදෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත ෴

***************************************

සුවසැරිය ගිලන් රථ සේවය ගොඩගන්න හර්ෂ උදව් ඉල්ලයි

(22.11.2022 – 14:55 +0530 – sinhala.adaderana.lk)

දෛනිකව රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වා ගෙනයෑම අසීරුවී ඇතැයි මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.

“අපිට දැන් සර්විස් කරන්න බෑ. රිපෙයාර් කරන්න බෑ. ඒ ආයතනයට අපි රුපියල් මිලියන 62 ක් ගෙවන්න තියෙනවා. ඊ ළඟට ෂොක්ඇබ්සෝබර් දාන්න විදියක් නෑ. ඒකට සල්ලි නෑ. බැටරි දාන්න විදියක් නෑ. රුපියල් මිලියන 2.5 ක් ගෙවන්න තියෙනවා. නැත්නම් මේක නවත්වන්න වෙනවා. රුපියල් මිලියන 220 ක් අවශ්‍යයි.”

ඊට ප්‍රතිචාර වශයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන බවය.

***************************************

කළුබෝවිල ප්‍රදේශයේ නිවසකින් මතුවූ මත් කරල් ගබඩාව

(22.11.2022 – 14:09 +0530 – sinhala.adaderana.lk)

මෝදර පොලිස් වසමේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මත් කරල් 78,600 ක් සොයා ගෙන තිබේ.

ඊයේ (21) සිදුකර ඇති එක් වැටලීමක දී මත් කරල් 4,800 ක් සන්තකයෝ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී තවත් මත් කරල් 73,800 ක් සොයා ගෙන තිබේ.

සැකකරු කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී එම මත් කරල් සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, 47 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (22) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

Photo from hirunews.lk

+++++++++

***************************************

එකම දවසේ ගෙවල් පහක් (5) කඩපු හොරා – CCTV

(22.11.2022 – 10:14 +0530 – sinhala.adaderana.lk)

පයාගල පොලිස් වසමේ එකම දින නිවාස පහක් (5) බිඳ රුපියල් ලක්ෂ ගණනාවක රන් ආභරණ සහ මුදල් සොරාගෙන ගොස් ඇති බවට වාර්තා වේ.

අදාළ පුද්ගලයා නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වී දේපළ සොරා ගෙන යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන් වුණි.

***************************************

++++++++++

***************************************

***************************************

“රාජ්‍ය පරිපාලනයෙන් නියම කළ ඇඳුම ගුරුවරුන්ට අදාළ නැහැ!” ඇමති කියයි

(22.11.2022 – 19:36 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත සමයේ දී රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවන අතර, එය සංශෝධනය කරන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඊයේ (21) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගුරුවරියන්, සාරිය සහ ඔසරිය ඇදීම වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් වෙත පැමිණ තිබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර ඊයේ (21) දිනයේදී ප්‍රදේශ කිහිපයක ගුරුවරියන් පහසු ඇදුමකින් පාසල් පැමිණ තිබීම සම්බන්ධයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද අවධානය යොමුවුණා.

එලෙස පහසු ඇඳුමකින් පාසලට පැමිණි ගුරුවරු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් අනිවාර්යෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි වැඩබලන කැබිනට් ප්‍රකාශක සහ වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර එහිදී ප්‍රකාශ කළේ.

+++++++++

***************************************

ඉසුරු බණ්ඩාර සහ දයාසිරි ගේ හඬපටය ගැන වැඩිදුර විමර්ශනයක්

(22.11.2022 – 21:22 +0530 – hirunews.lk/sinhala)

ඉසුරු බණ්ඩාර නමැති සැකකරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන හඬපටය පිළිබඳ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියේ මූල්‍ය වංචා සඳහා අනුබල ලබාදීමේ චෝදනා සම්බන්ධයෙන් අදාළ සැකකරුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අති‍රේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පවසන්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් 2022.10.19 වන දින සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කළ අතර මේ වනවිට ඔහු නව මැගසින් බන්ධනාගාරයේ රඳවා ඇති බවය.

මෙම සැකකරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතර සිදුවූ බව පැවසෙන දුරකථන හඩපටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවති.

මෙම සැකකරු රඳවා සිටින විශේෂ සිරමැදිරිය බන්ධනාගාර නිලධාරීන් යොදවා සෝදිසි කර ඇති අතර, එහිදී ජංගම දුරකථනයක් හෝ වෙනත් නීතිවිරෝධි කිසිවක් හමුවී නොමැති බවත් සැකකරු රක්ෂණ භාරයට පත් කිරීමෙන් පසු කිසිදු අවස්ථාවක සැකකරු බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නව මැගසින් බන්ධනාගාරයට පැමිණ නොමැති බවත් බන්ධනාගාර අධිකාරි වාර්තා කර ඇති බවද චන්දන ඒකනායක මහතා පැවසීය.

අදාළ සිදුවීම සම්බන්ධ‍යෙන් සැකකරුගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇත. 

එම ප්‍රකාශය මගින් සැකකරු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර අධිකාරි විසින් වාර්තා කර ඇතැයි ද චන්දන ඒකනායක සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් සිදු කරමින් පවතින බව අති‍රේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා සඳහන් කළේය ෴

***************************************

වන අලි පහරදීම්වලින් මේ වසරේ අනුරාධපුරයේ ජීවිත හානි 33 ක්

(22.11.2022 – 15:10 +0530 – hirunews.lk/sinhala)

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වන අලි පහරදීම්වලින් අනුරාධපුර වනජීවී කලාපයේ පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම කාලය තුළ මියගොස් ඇති වන අලි සංඛ්‍යාව 70 ක්. මේ බව අනාවරණ වුණේ වන අලි ඇතුලු වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ගෙවීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ පැවති දිස්ත්‍රික් වන්දි කමිටු රැස්වීමේදියි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් අනුරාධපුර වනජීවී කලාපයේ වන අලි පහරදීම් හේතුවෙන් ජීවිත හානි 12 ක් සිදුව තිබෙනවා.

වන අලි ප්‍රහාරයකට ලක්ව මියයන පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් වන්දි ලෙස ගෙවන අතර, මේ වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා වන්දි කමිටු මගින් අනුරාධපුර වනජීවී කලාපයේ අනුමත, වන අලි හානි සඳහා ගෙවීම් කිරීමට අවශ්‍ය මුළු මුදල රුපියල් පන් කෝටි හැට එක් ලක්ෂයකට (5,61,00,000) අධිකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *