හිටපු ජනපති ගෝඨාභය ඝාතන සැලැස්මක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

හිටපු ජනපති ගෝඨාභය ඝාතන සැලැස්මක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

*********************************************

හිටපු ජනපති ගෝඨාභය ඝාතන සැලැස්මක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

(15.11.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජූනි 09 වනදා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු මෙම අනාවරණය සිදු කළේ, ‘හිරු ටී.වී’ ඔස්සේ ඊයේ (14) විකාශව වූ ‘සලකුණ’ දේශපාල සංවාදාත්මක වැඩසටහන්ට එක්වෙමින්.

මෙම සැලැස්මට පෙර අමරිකනු තානාපතිනි ජූලි චන්ග් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැකදෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා යාඥා කළ බවත්, එහි අවසානය වූයේ ජනාධිපතිවරයාව ඝාතනය කිරීම බවත් මන්ත්‍රී වීරවංශ සඳහන් කළා.

අරගලකරුවන් මන්දිරයට ගොඩවදින තෙක් හිටපු ජනාධිපතිවරයා ඒ බව නොදැන සිටි බවත්, මන්දිරය ඇතුළත සිටි ආරක්ෂක අංශ ප්‍රධානියෙකු එම අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂව නොමග යැවීමේ පිළිතුරක් ඔහු වෙත ලබාදෙමින් පැවසුවේ, ‘Under control Sir’ යනුවෙන් බවයි.

නමුත් පිටතින් තත්ත්වය පාලනය කර ඇති බව එම ආරක්ෂක නිලධාරියා ජනාධිපතිවරයාට එම අවස්ථාවේදී ප්‍රකාශ කොට, සුබවාදී පණිවිඩයක් දුන්න ද, අහම්බයකින් හිටපු ජනපති ගෝඨාභය විසින් රූපවාහිනී යන්ත්‍රයේ රිමෝටය ගෙන එය නැරඹූ විට ඒ මොහොතේදිත් අරගලකරුවන් මන්දිරයට ඇතුල් වී ඇති බව දුටු බවයි මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ.

ලිබියාවේ හිටපු ජනපති ගඩාෆි ඝාතනය කළ අයුරින් ම ගෝටාභය රාජපක්ෂ අරගලය තුළ ඝාතනයට සැලසුමක් තිබූ බවත්, අමරිකානු තානාපතිනියගේ යාඥාව පවා ප්ලෑන් එකේම කොටසක් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

++++++++++

***************************************

ඩයනා විදේශිකයෙක් බව සනාථයි .. ඩයනා සමග සජබ සියළු මන්ත‍්‍රින් අමාරුවේ ..

(15.11.2022 – 22:02 +0530 – lankacnews.com)

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයකු ඕෂල හේරත් මහතා විසිනි.

පෙත්සම්කරු තම පෙත්සමෙන් කියා සිටින්නේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකු බැවින් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම් නැති තැනැත්තියක් බවයි.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තු විසින් අද (15) අධිකරණයට දන්වා ඇත්තේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකු බවත් ඇයගේ ශ්‍රී ලංකා වීසා බලපත්‍රය 2014 වසරේදී අවසන් වී ඇති බවත් ය.

සිය දෙපාර්තමේන්තුවේ ලේඛන අනුව ‘නයනා සමන්මලී’ හෙවත් ඩයනා ‘නටාෂා කැකනදුර’ හෙවත් ‘ඩයනා ගමගේ’ ලෙස බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය ඇයට හිමිව බවද වාර්තා කර ඇත.

ඇය 2014 වසරේදී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම් පතක් භාවිතා කර ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවද දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා සිටියේය.

ඒ අනුව ඇය ‘ද්විත්ව පුරවැසියෙක්’ නොව ‘බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත නීති විරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් හිමි අයෙකු’ බවත් අධිකරණයට වාර්තා කර ඇත.

ඇති වී තිබෙන තත්ත්වය මත ඩයනා ගමගේ මහත්මිය ලේකම් ධූරය දරන ලද ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ ද නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් බරපතළ ගැටලු සහගත තත්ත්වයක් මතුවී තිබේ ෴

++++++++++

ඩයනා ට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලයි

(15.11.2022 – 20:03 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි තැනැත්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවත් එය නීතියට පටහැනි බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එබැවින් ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කොට එය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කර ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

***************************************

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද (15) දින අයවැය විවාදයේදී පාර්ලිමේන්තුවේදී පල කල අදහස්..

+

***************************************

රජයේ සේවක පඩි ගෙවන්න සල්ලි නෑ.. – මුදල් අමාත්‍යංශ ලේකම්..

(15.11.2022 – 22:22 +0530 – lankacnews.com)

රජයට දැනට ලැබෙන ආදායම රාජ්‍ය සේවක වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය කරුණු වලට ද ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශයේ දී කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි.

රජය විසින් නොගෙවූ බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 200 ක් පමණ වන බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

“භාණ්ඩාගාරය පැත්තෙන් ගත්තොත් එදිනෙදා මුදල් ප්‍රවාහය හසුරුවනකොට මට පේනවා මේක කොතරම් දුෂ්කර කාර්යයක්ද කියලා. මොකද මේ ලැබෙන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය දේවල්වලටවත් ප්‍රමාණවත් නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200 ක් පමණ වනවා. විශේෂයෙන්ම ඉදිකිරීම් සහ වෙනත් ආයතනවලට ගෙවිය යුතු බිල්පත් ඒ අතරට අයත්. ඒ බිල්පත් ගෙවිය නොහැකි තත්ත්වයකයි රජය තිබෙන්නෙ.”

+++++++++

***************************************

දසුන් ශානකට ක‍්‍රිඩා ඇමති නවක වධය දීලා… – හිටපු අමාත්‍ය විමල් වීරවංශ

(15.11.2022 – 14:10 +0530 – lankacnews.com)

‘ක්‍රීඩා අමාත්‍යවරයා අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ගෙන්වාගෙන මාධ්‍ය ඉදිරියේ විවිධ උපදෙස් දෙනවා; අඩුපාඩු විමසනවා; වැරදි ප්‍රසිද්ධියේ පෙන්වා දෙනවා. ඒක හරියට ‘නවක වදය දීම’ වැනි දෙයක්. එහෙම කළාම වෙන්නේ ක්‍රිකට් නායකයාගේ අඩුපාඩුවක් තිබෙනවා නම් ඒක හැදෙන එක නොවෙයි, ඔහු බින්දුවටම වැටෙන එක යි’ – උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේදී පැවති ‘උත්තර ලංකා සභාගයේ මහනුවර සම්ප්‍රාප්තිය’ සමුළුව අමතමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය :

“මේ අර්බුදය කුමක්ද ? එය මේ තත්ත්වයට වැඩෙන එක වළක්වා ගැනීමට තිබුණෙ නැද්ද? යන්න පිළිබඳව අපි මුලින්ම සලකා බලමු. 1977 ට පෙර වෙළඳ පරතරය ලෙස ඩොලර් බිලියනයක අතිරික්තයක් තිබුණා. වෙළඳ පරතරය කියන්නේ අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරයටයි. එය මේ වන විට ඩොලර් බිලියනයක පමණ හිඟයක් ලෙසයි පවතින්නේ. 1977 දී විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය මේ රට මත පටවනු ලැබුවා. ලෝකයේ බොහෝ රටවල් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයට මාරු වුණේ තමන්ගේ නිෂ්පාදන සංස්කෘතියක් ගොඩ නඟලා; එය පරිණත තත්ත්වයට ගෙනෙල්ලා; තම රටේ නිෂ්පාදන පරිභෝජනය කරන අභිමානවත් පුරවැසියකු බිහි කරලා. නමුත් අපේ රටේ එය සිදුවුණේ එසේ නොවෙයි. යුනික් රේඩියෝ එක, කාර් එකක් හැදීගෙන එනකොට, තුල්හිරිය රෙදි නිපදවීම හිස ඔසවන විට, එම සියලු දේශීය නිපැයුම් මුහුකුරා යන්න කලින් ගෙනැල්ලා පැටෙව්වා වෙළඳපොළ ආර්ථීක උපායමාර්ගය. ඒක හරියට පොඩි දරුවකුට ස්මාර්ට් ෆෝන් එකක් දුන්නා වගේ. වැඩිහිටියකුට ස්මාර්ට් ෆෝන් එකක් දුන්නාම වගකීමෙන් පාවිච්චි කරනවා. පොඩි දරුවකුට එසේ කරන්න බැහැ. ආර්ථිකයත් එහෙමයි. ආර්ථිකය මුහුකුරා ගියාම දෙන්න ඕන ප්‍රතිකර්මය ළදරු අවස්ථාවේදී දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස 1977 ට පෙර නොතිබුණු වෙළඳ පරතරයක් 1977 සිට ඇති වුණා.

වැරදි පරිභෝජන රටාවකට…

වෙළඳ දැන්වීම්වලින් අපේ පරිභෝජන රටාව කණපිට හරවන්න පටන් ගත්තේ ඒ සමඟයි. එහිදී තමයි ආනයන වියදම දැඩි ලෙස ඉහළ යන්නේ, වෙළඳ පරතරය වැඩි වීමට පටන් ගන්නේ. දේශීය ආහාර වෙනුවට විදේශීය ආහාර පරිභෝජනයට අපි වේගයෙන් ඇදිලා ගියා. නිදසුනක් ලෙස නැවුම් එළකිරි පානය කරපු අපි ආනයනික කිරිපිටි සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 300 ක් වැය කරන තැනට වැටුණා. ඒ විදිහට අපිව වැරදි පරිභෝජන රටාවකට අරගෙන ගියා. 1977 න් පසු පාලකයන්ගේ වගකීම වුණේ, ඒ වැරදි පරිභෝජන රටාව පිනවීම. පාලකයන් බැලුවේ නැහැ, නිවැරදි පරිභෝජන රටාවක් හඳුන්වලා දෙන්න. ජපානයේ ජනතාවට ඒ රජය මුද්‍රණය කර දීපු පොතක් තිබෙනවා. එය සෑම නිවසකම භාවිතා වෙනවා. ජීවිතය, පරිභෝජන රටාව, මිනිස් ගුණාංග පිළිබඳවයි එහි සඳහන්ව ඇත්තේ අපේ පාලකයන් අපේ නිවෙස්වලට එහෙම පොතක් ලබාදීලා නැහැ. දකුණු ආසියාවේ, ජනගහනයට සාපේක්ෂව බටහිර ඖෂධ සඳහා වැඩිපුරම මුදල් වැය කරන රට ශ්‍රී ලංකාවයි. 1977 න් පස්සේ අපේ ජීවන රටාව කණපිට හරවලා, ඔවුන්ගේ නිෂ්පාදන මත යැපෙන පරිභෝජන රටාවකට අපව වහල් කළා.

3.50 ට පාන් දුන්නු හැටි

රජු කියන්නේ ‘පිනවන්නා’ යන අර්ථය දෙන්නක්. පැරණි රජවරු පමණක් නොවෙයි ඡන්දයෙන් ආපු රාජ්‍ය පාලකයිනුත් බැලුවේ ජනතාව පිනවන්න. එදා චන්ද්‍රිකා මැතිනිය කිව්වා ‘3.50 ට පාන් දෙනවා’ කියා. ජනතාව ‘පිනා ගිහිල්ලා’ ඡන්දය දුන්නා. ඒ අනුව බලයට ආපු චන්ද්‍රිකා මැතිනිය අවුරුදු දෙකක් පමණ 3.50 ට පාන් දුන්නා. ප්‍රීමා සමාගමට පිටි අඩු මිලට දෙන්න බැහැනේ, එතැනදී සිදු වූයේ ජනතාවට 3.50 ට පාන් දෙන අතරේ පිටි වෙනුවෙන් වැය වන අමතර මුදල ජනතාවගේ බදු මුදලින් ප්‍රීමා සමාගමට ලබා දීමයි. අන්තිමට පාන් 3.50 ට දුන්නාට යොදවපු බදු මුදල් ද සමග පාන් ගෙඩියකට රුපියල් 15.50 ක් පමණ ඒ කාලයේ වැය වෙන්න ඇති. ඒ විදියේ කෙටිකාලීන පිනවීමේ දේශපාලනයක් තමයි 1977 න් පසුව ක්‍රියාත්මක වූයේ. අවසානයේදී වෙළඳ පරතරය ඩොලර් බිලියනයක හිඟයක් බවට පත්වුණා.

නිවැරදි මඟපෙන්වීම තෝරා ගනිමු!

1977 න් පසුව අපට දුන්නු ‘ශික්ෂා පදය’ තමයි නව ලිබරල්වාදය. ‘රජය ආර්ථික ක්‍රියාවලියෙන් ඈත් වෙන්න. පෞද්ගලික අංශයට සියල්ල කරන්න පහසුකම් සපයන්න’ යන්න එහිදී අවධාරණය කෙරුණා. දැන් මේ හතරගාතෙන් වැටුණු වෙලාවෙත් පොවන්න හදන්නේ ඒ ‘වහ කුප්පිය’ යි. මේ අර්බුදය ඇතුළෙ මගපෙන්වීම් ප්‍රවණතා දෙකක් තිබෙනවා එකක් තමයි ‘රාජ්‍ය ව්‍යවසාය, රාජ්‍ය සේවය කිසිම වැඩක් නැහැ. සියල්ල විකුණලා දමන්න ඕනේ. විකුණලා දමලා පෞද්ගලික අංශයේ දේශීය, විදේශීය ආයෝජකයන්ට ඕනෑ නැටුමක් නටා ගන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට මේ අර්බුදය විසඳෙනවා’ කියන එක. අනෙක් මගපෙන්වීමේ ප්‍රවණතාව නියෝජනය කරන්නේ අපි. 1977 සිට කළේ ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කිරීම. තුල්හිරිය රෙදි කර්මාන්ත ශාලාව, ඔරුවල වානේ සංස්ථාව ආදී දේශීය රාජ්‍ය ව්‍යවසාය විකුණා දැමුවා. දාස සමූහ ව්‍යාපාරය වැනි දේශීය පුද්ගලික සමාගම් වැසී යාමට සැලසුවා. සියල්ල පෞද්ගලීකරණයට නතු කළා. අවසාන ප්‍රතිඵලය කුමක්ද? රටට එදිනෙදා අත්‍යවශ්‍ය ආනයන ද්‍රව්‍ය ටික ගෙන්වීමට ඩොලර් හිඟ රටක ඉරණමට ඇද වැටීම.

මහා ආහාර නිෂ්පාදන සංස්කෘතියක්

මේ අර්බුදයෙන් ගොඩඒමට නම් එක පැත්තකින් අපි රටට හිතකර පරිභෝජන රටාවකට මාරු වෙන්න ඕනේ. ඒක නොකියනවා නම් අපි කරන්නෙත් වංචාවක්. අනාගත පරම්පරාවේ ජීවන අපේක්ෂාව ඇපයට තියලා ණය අරගෙන ‘කාලා බීලා සැපට ඉන්න’ වර්තමාන පරම්පරාව වන අපට අයිතියක් නැහැ. ඒ නිසා අපට පළමුව සිදුවෙනවා අපේ පරිභෝජන රටාවේ නියමිත ගුණාත්මක වෙනස්කම් කරන්න. ඒ වගේම මේ වෙළඳ පරතරය අවම කරගැනීම සඳහා අපි විදේශ විනිමය උපයන මාර්ග කෙරෙහි වැඩි බරක් තැබිය යුතුයි. තේ, රබර්, පොල් අපනයනය, ඇඟලුම් කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, තොරතුරු තාක්ෂණ කර්මාන්තය ආදිය මගින් තමයි දැනට අපට විදේශ විනිමය ලැබෙන්නේ. රුසියාවට හිරු එළිය ලැබෙන්නේ මාස හයයි. ඔවුන් ඒ හිරු එළිය ලැබෙන මාස 06 තුළ හිමෙන් බරිත වූ මාස 06 ටත් සෑහෙන්න සියලු ආහාර නිෂ්පාදන වගා කරනවා. ලෝකයේ පරිභෝජනය කරන තිරිඟු පිටිවලින් විශාල ප්‍රමාණයක් රුසියාව නිපදවනු ලබන තිරිඟු පිටි යි. ඔවුන් ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතයි. ඒකයි කවර සම්බාධක දැම්මත් ඔරොත්තු දෙන්නේ. අපට 365 දවසේම හිරු එළිය තිබෙනවා. හිරු එළියේ තිබෙනවා ඩොලර් උත්පාදනය කිරීමට අපට සොබාදහම දුන් මහා බලයක්. සුළඟ, වැස්ස, සාරවත් මහපොළොව .. මේ සියල්ල ද අපට ඩොලර් උත්පාදනය කිරීමට සොබාදහම දුන් මහා බලයන්. අපේ පරිභෝජනයෙන් එහාට ගිහිල්ලා, විදේශයන්හි පරිභෝජන අවශ්‍යතා සපුරාලිය හැකි ආහාර නිෂ්පාදන සංස්කෘතියකට අපට මාරුවීමට බැරි නැහැ. මේ රටේ සෑම මිනිසකුම සැලසුම් සහගතව, ඒ මහා නිෂ්පාදන ක්‍රියාන්විතයේ දායකයකු කරගන්න ඕනෙ. එහෙම වුණොත් විතරයි ජාතියක් හැටියට අප සියලුදෙනා සාමූහික විඥානයකින් බැදෙන්නේ.

සාමූහික විඥානය

චෝල, පාණ්ඩ්‍ය, කේරල, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කවර ආක්‍රමණ ආවත් අපේ සාමූහික විඥානය බිඳවැට්ටවීමට බැරි වුණා. ඒ සමූහ විඥානය බලගැන්වීම තමයි රට නගාසිටුවීමේ පළමු දෙය වන්නේ. ජපානයේ පසුගිය දිනවල න්‍යෂ්ටික බලාගාරයක පිපුරුමක් සිදු වුණා. ඒ සමගම විදුලි අර්බුදයක් ආවා. රජය නිවේදනය කළා, ‘ඔබගේ වායුසමීකරණ යන්ත්‍රය සෙන්ටිග්‍රේඩ් අංශක 25 ට වඩා පහළ අගයකට දමන්න එපා’ කියලා. ජවිපෙ වැනි පක්ෂයක් ජපානයේ තිබුණා නම් ‘තොපි කියන දේ අපි අහන්නේ නැහැ’ කියලා අර අගය සෙන්ටිග්‍රේඩ් අංශක 12 ක වගේ අගයක තියාගන්නවා. ඒ රටවල පක්ෂ විඥාන වෙනම තිබුණාට සාමූහික ජාතික විඥානයක් තිබෙනවා. පක්ෂ විඥානය උඩට ගෙනැවිල්ලා, සාමූහික ජාතික විඥානය යටට දැමූ රටකට නැගී සිටින්න බැහැ. මානව සම්පතට අයාලේ යන්න දීලා රටක් හදන්න බැහැ.

අර්බුදයෙන් ගොඩඒමේ තුන් වැදෑරුම් මගක්

එහෙනම් පළමුකොට අපි මහජනයාගේ පරිභෝජන රටාව නිවැරදි කළ යුතුයි. දෙවැන්න මහජනයා සාමූහික ජාතික විඥානයකට රැගෙන ඒම. එසේ කොට ඔවුන් නිෂ්පාදන ක්‍රියාන්විතයක මහා බලවේගයක් බවට පෙරළීම අපි සිදු කළ යුතුයි. එය ලංකාවේ වෙළෙඳපොළ පමණක් අරමුණු කර ගත් නිෂ්පාදන ක්‍රියාන්විතයක් නොවිය යුතුයි. විදේශ වෙළෙඳපොළ ද ආවරණය වන පරිදි එම නිෂ්පාදන ක්‍රියාන්විතය සැලසුම් කළ යුතුයි. කොස් ආශිත නිෂ්පාදන අදටත් ඩුබායි වෙළඳපොළෙන් අපට ඩොලර් උපයා දෙනවා. ‘ස්ටෝරි එකක් තිබෙනවා නම් ගල්කැටයක් වුවත් විකුණාගන්න පුළුවන්’ කියා කතාවක් තිබෙනවා. ලස්සන කතාවක් සමඟ අපනයන වෙළෙඳපොළ වෙත සැපයිය හැකි නිෂ්පාදන අප සතුව කොපමණ තිබෙනවාද? නමුත් ඒ සඳහා නිර්මාණාත්මක හැකියාවක් සහිත දරු පරපුරක් ඕනේ. එවැනි දරු පරපුරක් බිහි කිරීමට අධ්‍යාපනයේ වෙනසක් ඕනේ. ‘ගිරාපෝතක අධ්‍යාපනය වෙනුවට නිර්මාණාත්මක පරිකල්පනයක් සහිත මිනිසකු බිහි කරන අධ්‍යාපනයක් උවමනායි. පරිසරය සමඟ ජීවත් වන දරුවෙක් තුළින් ඒ වෙනස බලාපොරොත්තු විය හැකියි.

ආහාර ගනිමින් සිටින විට පහර දීම

මම දැක්කා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදයට විරුද්ධ දරුවන් පිරිසක් ආහාර ගනිමින් සිටින විට නවක වදයට පක්ෂ අයියලා ටිකක් ගිහිල්ලා කෑම පිඟන් විසි කරලා පහර දුන් බව දැක්වෙන පුවතක්. ඒක දැකලා මට සිහිපත් වුණා, අපේ අම්මලාගෙන් සහ ඒ පරිසරයෙන් අපට ලැබුණු අවබෝධය; කන කොට බල්ලෙකුටවත් ගහන්න එපා! කියන එක. ඒවා අපට ලැබී තිබුණු උරුමයන්. නමුත් අර ‘මරුවන්’ බවට පත්වෙලා ඉන්න විශ්වවිද්‍යාල අයියලා ටික දන්නේ නැහැ ආහාර ගනිමින් සිටින විට මිනිසකුට තියා සතකුටවත් පහර දෙන එක නිර්ලජ්ජිත ක්‍රියාවක් කියන එක. මේ අනුව පෙනෙන්නේ වත්මන් අධ්‍යාපන ක්‍රමයෙන් හදන්නේ ‘අවලස්සන දරුවකු’ බවයි. අපි හදන්න ඕනේ කාර්යශූර, අභියෝගවලින් පරදින විට නොවැටෙන, දිනන විට උඩ නොයන දරුවෙක්.

ක්‍රිකට් නායකයාට නවක වදය

ඒ වගේම මම දැක්කා, ක්‍රීඩා අමාත්‍යවරයා අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ගෙන්වාගෙන මාධ්‍ය ඉදිරියේ විවිධ උපදෙස් දෙනවා; අඩුපාඩු විමසනවා; වැරදි ප්‍රසිද්ධියේ පෙන්වා දෙනවා. ඒක හරියට ‘නවක වදය දීම’ වැනි දෙයක්. එහෙම කළාම වෙන්නේ ක්‍රිකට් නායකයාගේ අඩුපාඩුවක් තිබෙනවා නම් ඒක හැදෙන එක නොවෙයි, ඔහු බින්දුවටම වැටෙන එක. ඒක නොතේරෙන හන්දා තමයි නවක වදය දෙනවා වගේ මෙවැනි කටයුත්තක් කරන්නේ. මේ විදිහට විකෘති වුණු සමාජයක් එක්කයි අපට මේ ගමන යන්න වෙලා තිබෙන්නේ. අපි විශ්වාස කරනවා අපිට මේ තත්ත්වය වෙනස් කළ හැකියි කියා.”

‘උත්තර ලංකා සභාගයේ මහනුවර සම්ප්‍රාප්තිය’ සමුළුව අමතා එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් එහි ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වෘත්තීය සමිති නායක අම්මාන් නල්ලුසාමි යන මහත්වරු ද අදහස් දැක්වූහ.

පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක ඩී. යූ. සෙනරත් මහතා විසින් සිදු කරන ලද අතර පිවිතුරු හෙළ උරුමයේ මහනුවර දිස්ත්‍රික් නායක, පූජ්‍ය නිකවැරටියේ ධම්මරතන හිමියෝ ද අදහස් දැක්වූහ.

උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් මහනුවර දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

***************************************

පාදුක්ක අංගමුවේ පාලනය මැර කල්ලියක් අතට.. පොලිසිය බලා හිදී..

(15.11.2022 – 15:00 +0530 – lankacnews.com)

කඩු කිනිසි වැනි ආයුධ අතැතිව පාදුක්ක අංගමුව ප්‍රදේශයේ මාර්ගවල යන වාහන පරීක්ෂා කරමින් ජනතාවට මරණ තර්ජනය කරමින් සැරිසරන කණ්ඩායමක් නිසා ජනතාව මහත් භීතියට පත්ව සිටී.

අංගමුව සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති වරයාගේ නිවසට අවි ආයුධ අතැතිව ගොස් මරණ තර්ජනය කිරීම නිසාවෙන් ඔහුට ද සැඟවී සිටින්නට සිදු ව ඇත.

මේ සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට පැමිණිලි ද මෙතෙක් යහපත් ප්‍රතිඵල ලැබී නැතැයි ද ප්‍රදේශවාසීහු කියා සිටිති.

පුද්ගලයකුට මන්නා පිහියක් ගෙලට තබා මරණ තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ද වාර්තා වෙයි.

මෙම මැර කණ්ඩායම ප්‍රදේශයේ අන්නාසි පොලකට කඩාවැදී රුපියල් ලක්ෂ හතරකට වැඩි වටිනාකමින් යුත් අන්නාසි තොගයක් බලහත්කාරයෙන් පටවා ගෙන යාම පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇතත් ඒ සම්බන්ධයෙන් ද කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

ප්‍රදේශයේ කාන්තාවක් විසින් කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමකටද මෙම මැර කණ්ඩායමේ ආශිර්වාදය හිමිව ඇති බවත් වාර්තා වෙයි ෴

***************************************

හිරුණිකාගේ නඩුවේදී උණුසුම් වචන හුවමාරුවක් (15.11.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *