වයඹ සිසුවියෝ ‘අයිස්’ ගසති?

වයඹ සිසුවියෝ ‘අයිස්’ ගසති?

*********************************************

වයඹ සිසුවියෝ ‘අයිස්’ ගසති?

(13.11.2022 – lankadeepa.lk)

වයඹ පළාතේ පාසල්වල ඉගෙනුම ලබන සිසුවියන් විශාල පිරිසක් මේවනවිට ‘අයිස්’ ඇතුළු විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මේවනවිට අනාවරණයවී තිබේ.

ප්‍රධාන පෙළේ විදුහල් රැසක ඉගෙනුම ලබන සිසුවියන් වැඩි පිරිසක් මෙසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවට තොරතුරු ලැබී තිබෙන අතර, අට (8) වසරෙන් ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසුවියන් මේ ආකාරයට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව තහවුරු වී තිබේ.

වයඹ පළාතට අයත් ප්‍රධාන නගරවල පිහිටි ප්‍රධාන යැයි සම්මත පාසල්වල සිසුවියන් මේ ආකාරයට මත්ද්‍රව්‍ය සඳහා යොමුවී තිබෙන අතර ඔවුන්ගේ පෙම්වතුන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් ඔවුනට මත්ද්‍රව්‍ය ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කලකට පෙර පාසල් සිසුන් අතරේ ඉතා ජනප්‍රියව පැවති දිව යට තබා ගැනීමෙන් මත් වන ‘තූල්’ නමැති මත්ද්‍රව්‍ය මේවනවිට සිසුවියන් අතර බහුලව පැතිරී තිබෙන බවද , බොහෝ විට පාසල් වේලාව තුළ වැසිකිළියට ගොස් ඔවුන් ඒවා භාවිතා කරන බවද හෙළිවී තිබේ.

එසේම සති අන්තයේ ප්‍රධාන නගරවල පැවැත්වෙන පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වන මුවාවෙන් පැමිණන් සිසුවියන් තම පෙම්වතුන් සහ හිතවතුන් හිතවතියන් සමඟ එක්ව මෙම මත්ද්‍රව්‍ය පානයට පෙළඹී සිටින බවද මේවනවිට අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල ප්‍රදේශයේ පාසලක නම සඳහන් කිරීමට අකැමැතිවූ විදුහල්පතිවරයෙකු කියා සිටියේ මෙය ඉතා බරපතළ ප්‍රශ්නයක් බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරීන් ඉක්මණින් පියවරක් ගත යුතු බවය.

එසේ නොවුනහොත් රටේ සමස්ත පාසල් පද්ධතියම සහ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් විනාශයට පත් වීම වැළැක්විය නොහැකි බවද ඔහු අවධාරණය කළේය. පාසල් වල පවතින මෙම තත්ත්වය මර්ධනය කිරීම සඳහා ආරක්ෂක අංශ වලට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමේ කාලය එළඹ ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව කළ විමසීමකදී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රජිතා රත්නායක මහත්මිය ප්‍රකාශ කළේ මෙය ඉතා බරපතළ තත්ත්වයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු අංශ දැනුවත් කිරීමට ඉතා ඉක්මණින් පියවර ගන්නා බවය. මෙවැනිම වාතාවරණයක් පිළිබඳව හලාවත ප්‍රදේශයේ විදුහල්පතිවරුන් විසින් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන එම ප්‍රදේශයේ පාසල් සඳහා දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට උපදෙස් ලබා දුන් බවද ලේකම්වරිය සඳහන් කළාය ෴

***************************************

කළුතර ප්‍රදේශ කිහිපයකට 24 පැයක ජල කප්පාදුවක්

(14.11.2022 – 10:49 +0530 – hirunews.lk/sinhala)

කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව මෙම ජල කප්පාදුව අනිද්දා (16) දිනයේ දී පෙරවරු 08:30 සිට පසුදා (17) පෙරවරු 08:30 දක්වා පැය 24 ක කාලයක් සිදු කෙරෙනු ඇති.

ජල සැපයුම මෙම කාලය තුළ අත් හිටවන ප්‍රදේශ වන්නේ වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/දකුණ) කටුකුරුන්ද / නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත නම්කර තිබෙනවා.

***************************************

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව කොරියාවේ දී අතුරුදන්

(14.11.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ආසියානු සත් සාමාජික තරගාවලියට සහභාගී වීම සඳහා මේ වනවිට (14) දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා.

ඇය ඊයේ (13) දිනයේ දී සිය තරගයට එක්වීමෙන් අනතුරුව මෙලෙස අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.

සිය කණ්ඩායමේ සාමාජිකාවක් මෙලෙස අතුරුදන් වීම සම්බන්ධයෙන් රග්බි කණ්ඩායමේ කළමනාකරු විසින් කොරියානු රග්බි සංමගයේ නිලධාරීන් මාර්ගයෙන් පොලිසියට දන්වා තිබෙනවා.

මේ වනවිට ඉන්චියොන් හි නැම්ඩො පොලිසිය ඇය සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අද (14) පෙරවරු 11:30 ට පමණ ඉන්චියොන් ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිතයි.

කොරියානු පොලිසිය පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටෙන් පිටවීමට පෙර දුලානිව සොයාගැනීමට උපරිම උත්සාහය ගන්නා බවයි ෴

Dulani Pallekondage

දකුණු කොරියාවේදී අතුරුදන් වූ රග්බි නායිකාව සොයාගනී

(14.11.2022 – 21:13 +0530 – hirunews.lk/sinhala)

ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ දෙවන අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටිය දී අතුරුදන් වූ බවට පැවසූ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොන්දගේ හමුවී ඇති බව රග්බි සම්මේලනය පවසනවා.

ඇය හැකි ඉක්මණින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි එම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

***************************************

පොහොට්ටුවේ හතරක් (4) සජිත්ගේ සංධානයට

(14.11.2022 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ස්වාධීනව කටයුතු කළ මන්ත්‍රීවරුන් හතරදෙනෙක් (4) සමගි ජන බලවේගයේ සංධානයට එක්ව තිබෙනවා.

මෙලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් විපක්ෂ සන්ධානයට එකත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත් සහ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රීවරුන් ෴

***************************************

හිරුණිකා අත්අඩංගුවට

(14.11.2022 – 13:02 +0530 – lankadeepa.lk)

කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලයට ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් (1) කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත ෴

***************************************

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන පිළිවෙලේ වෙනසක්

(14.11.2022 – 12:20 +0530 – sinhala.adaderana.lk)

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ පිළිවෙලෙහි වෙනසක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

අද (14) මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවය.

මේ අතර, අපොස උසස් පෙළ විභාගය 2023 ජනවාරි මස 23 වනදා ආරම්භ වී පෙබරවාරි මස 17 වනදා අවසන් වීමට නියමිත බව ද විභාග කොමසාරිස්වරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ඔබට මතක ඇති පසුගියකාලයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න ගැටලු සහගත තත්ත්වයත් ආවා ළමයින්ට හොඳටම අමාරු වුණා කියලා. පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන්ම දරුවන්ට විභාගය එපා වුණා කියලා. මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ විභාව්‍යතා මනින ප්‍රශ්න පත්‍රයක්. ඒක උගන්නලා නෙමෙයි මනින්නේ. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න පත්‍රයක්; වරණ තුනකින් (3) සමන්විත ප්‍රශ්න 40 ක්. එතකොට මේක ටිකක් අමාරුයි. මෙතෙක් කල් හැමදාම ඉස්සරලා දීලා තිබුණේ පළමු ප්‍රශ්න පත්‍රය කිව්වා. දැන් අපි මේ සැරේ දෙක එක කළා. ඒ කියන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රය කියන්නේ ළමයා ඉගෙන ගත්ත දේවල්. එතකොට ළමයා තමන්ට සමීප දෙයින් දුෂ්කර දේටයි ගමන් කරන්නේ.

අපි අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයක් කියන්න වෙනවා. ඒ කියන්නේ 2022 ට නියමිත අපොස උසස් පෙළ විභාගය, 2023 ජනවාරි 23 විභාගය ආරම්භ වෙන්නේ; පෙබරවාරී මාසේ 17 වෙනිදා අවසන් වෙනවා. ඉල්ලීම් ගොඩක් ආවා දරුවන්නට විභාගය කල්දාන්න. දරුවෝ ගොඩාක් ඉල්ලුවා. විශේෂයෙන් දෙවන වතාවට ලියන ළමයි දිහා බලලා තමයි ගොඩක්ම තීරණය ආවේ. ඉතින් මම හිතනවා ඒ ළමයින්ටත් පළමු වතාවට පෙනී සිටින ළමයින්ටත් සූදනම් වෙන්න කාලය මේ තුළින් ලැබුණා.”

***************************************

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *