ශ්‍රී ලංකා පොලිසියේ මිලේච්ඡත්වය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි පිළිකුලට

ශ්‍රී ලංකා පොලිසියේ මිලේච්ඡත්වය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි පිළිකුලට

*********************************************

ශ්‍රී ලංකා පොලිසියේ මිලේච්ඡත්වය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි පිළිකුලට

(13.11.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala)

සාමකාමී සහ නිසි අනුගත වීම් මත සිදු කරන විරෝධතා වලක්වමින්, නිරායුධ සිවිල් ජනයාට පහරදීමත් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමත් පොලිසිය දිගින් දිගටම සිදු කිරීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසනවා.

ඊයේ (12) දිනයේ දී ස්ථාන තුනක (3) සිදු වූ විරෝධතා පොලිසිය විසින් මැඩලූ ආකාරය ඉතාමත් නින්දිත බවයි ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පෙන්වාදෙන්නේ.

මෙහි උච්චතම අවස්ථාව වන්නේ කළුතර සිට කොළඹට පා ගමනින් විරෝධතා දක්වමින් පැමිණි කාන්තාවන් දෙදෙනකු (2) සහ ඔවුන්ට සහාය පළකර සිටි පිරිස් අත් අඩංගුවට ගැනීමයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, රඳවා තබාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එම කාන්තාවන් දෙදෙනා (2) සිය විරෝධතා පා ගමන සිදු කළා.

එහිදී එම පා ගමනට වාද්දූව සහ පානදුරේ දී බාධා සිදු කළ පොලිසිය ගොරකපොල ප්‍රදේශයේ දී එම කාන්තාවන් දෙදෙනාව (2) අත් අඩංගුවට ගැනුණා.

මේ අතර මෙම සිදුවීම සහ තවත් සිදුවීමක් හුවා දක්වමින් සාලිය පීරිස් සඳහන් කරන්නෙ, ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පොලිස් කොස්තාපල්වරියකගේ ගෙලෙන් දැඩිව අල්ලා ඇයව හිංසනයට ලක් කරන ආකාරයක් දැක්වෙන පින්තූරයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින්.

මෙලෙස කිසියම් කාරණයකට හෝ කාන්තාවන් හිංසනයට ලක් කිරීම, පීඩාවට පත් කිරීම මෙන්ම සාමකාමී විරෝධතාවලටත් නිරායුධ සිවිල් වැසියන්ටත් පදනම් විරහිතව මිලේච්ඡත්වය පෙන්නුම් කරමින් පහරදීම පොලිසියේ නින්දිත ක්‍රියාවක් බවයි සාලිය පීරිස් අවධාරණය කර ඇත්තේ.

පොලිසියේ විනය පිරිහීම මෙවන් සිදුවීම්වලින් වැඩිදුරටත් ගම්‍ය වන බව ද ඔහු සඳහන් කරනවා.

++++++++++

++++++++++

පානදුර ප්‍රදේශයේදී පා ගමනක් අතරතුර පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරියෙකුගේ හැසිරීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යන වීඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක බවයි බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප කළ විමසීමකදී කියා සිටියේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රඳවා ගැනීමට විරෝධය පළ කරමින් කාන්තාවන් දෙදෙනෙකු (2) පා ගමනක් ආරම්භ කර තිබුණා.

එලෙස පැමිණි එම කාන්තාවන් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදියි මෙම සිද්ධිය ඇතිව තිබුණේ. මෙහිදී කාන්තාවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට කාන්තා පොලිස් නිලධාරිනියන් ඉදිරිපත් නොවන බවට චෝදනා කරමින් මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කෝපයෙන් හැසිරෙන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු විමර්ශනය කිරීමෙන් අනතුරුව නිගමනයක් ඉදිරිපත් කළ හැකි බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ සාමකාමී සහ අනුගතවීම් මත සිදුකරන විරෝධතා වළක්වමින් නිරායුධ සිවිල් ජනතාවට පහරදීමත්, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමත් පොලිසිය දිගින් දිගටම සිදුකිරීම දැඩි හෙළා දකින බවයි.

මේ අතර මෙම කාන්තාවන් දෙදෙනාට පොලිස් ඇප හිමිවීමෙන් අනතුරුව යළිත් මොරටුව කුරුස හන්දියේ සිට පා ගමනින් ගාලු මුවදොරට පැමිණීමට උත්සහ කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය ඊට ඉඩ ලබා දී නැහැ ෴

++++++++++

විරෝධතාවයේ නියුතු කාන්තාවන් දෙදෙනෙකු පොලිස් ජිප් රථයට නංවා ගැනීමට යෑමේ දී උසස් පොලිස් නිලධාරියෙකු විසින් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා තල්ලු කරන අයුරු අප කැමරාවේ සටහන්ව තිබුණි. (sinhala.adaderana.lk)

+++++++++++

++++++++++++

***************************************

මහවැලිකඩආර වැවේ ගිලී අතුරුදන් වූ ළමුන් දෙදෙනාගේ සිරුරු සොයාගැනේ

(13.11.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව – මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරළී අතුරුදන් වූ පිරිසෙන් ඊයේ (12) දිනය තෙක් හමු නොවුණු දරුවන් දෙදෙනාගේ (2) මෘතශරීර සොයාගෙන තිබෙනවා.

අද (13)උදෑසන මෙම දරුවන් දෙදෙනාගේ (2) සිරුරු සොයා පොලිසිය හා නාවික හමුදා කිමිදුම් අංශය විසින් මෙහෙයුම් දියත් කළ අතර, එහිදියි මියගිය සිරුරු සොයාගැනුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16 හා 18 යන වයස්වල සිටි එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක්.

මෙම පිරිස රැගත් ඔරුව පෙරළීමෙන් එහි ගමන්ගත් 8 දෙනාගෙන් පස්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ අතර, අතුරුදන් වූවන් තිදෙනාම (3) ගැහැණු දරුවන්.

ඊයේ (12) දිනයේ දී ම වයස අවුරුදු 10 ක් වූ ගැහැනු දරුවෙකුගේ සිරුර සොයාගැනීමට නාවික හමුදාවට හැකි වුව ද සෙසු දෙදෙනාගේ (2) සිරුරු අද උදෑසන සොයාගන්නා තෙක් හමුවුණේ නැහැ.

කුරුණෑගල සිට දානමය පිංකමක් සඳහා සූරියවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් මසුන් අල්ලන ඔරුවකින් මහවැලිකඩආර වැව නැරඹීම සඳහා ගිය අවස්ථාවේ ඊයේ (12) දහවල් ඔරුව පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

***************************************

ළමුන් පාසල් පැමිණීම සියයට 15 කින් පමණ පහතට

(13.11.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

ළමුන් පාසල් පැමිණීම මේ වනවිට 15% කින් පමණ පහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසනවා.

දිවයිනේ ප්‍රදේශ රැසක ගුරුවරුන් 400 කට ආසන්න පිරිසක් සහ ළමුන් 300 කට වැඩි පිරිසකගෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත් දත්ත අනුව මේ කරුණු හෙළි වී තිබෙනවා.

***************************************

ක්ෂය රෝගීන්ගේ වර්ධනයක් – වැඩිම රෝගීන් කොළඹින්

(13.11.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වර්ෂ දෙක (2) හා සැසඳීමේ දී මෙරටින් වාර්තා වන ක්ෂය රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව, ජාතික ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ පෙන්වා දෙන්නේ, මෙරටින් හඳුනා ගැනෙන රෝගීන් අතරින් බහුතරයක් කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව වාර්තා වන බවයි.

***************************************

තිළිණි ප්‍රියමාලිගේ තවත් රුපියල් මිලියන 40 ක වංචාවක් එළියට

(13.11.2022 – 19:23 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින තිළිණි ප්‍රියමාලි ජංගම දුරකථන අලෙවිකරණ ව්‍යාපාරිකයෙකුට රුපියල් මිලියන 40 ක මුදලක් වංචාකර ඇති බවට තවත් චෝදනාවක් එල්ල වී තිබෙනවා.

පසුගිය මැයි මාසයේදී දැනට රිමාන්ඩ් කර සිටින ජානකී සිරිවර්ධන හරහා අදාළ ව්‍යාපාරිකයා , තිළිණි ප්‍රියමාලිව හදුනාගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

කොළඹ – කොටුව ප්‍රදේශයේ පිහිටි ජානකි සිරිවර්ධනගේ කාර්යාල ගොඩනැගිල්ලට ඔහු පැමිණ තිබුණේ තමන්ට රුපියල් 550,000 ක පමණ වටිනාකමින් යුත් ‘අයිෆෝන් 13 ප්‍රෝ මැක්ස්’ වර්ගයේ ජංගම දුරකථනයක් අවශ්‍ය බවට ජානකී සිරිවර්ධන ලබාදුන් දුරකථන ඇමතුමකට අනුවයි.

එම ජංගම දුරකථනය ජානකී සිරිවර්ධනට ලබාදෙන අවස්ථාවේදී එම ස්ථානයේ තිළිණි ප්‍රියමාලි, තවත් පුද්ගලයෙකු සමඟ ඩොලර් ගනුදෙනුවක් සිදුකරන අයුරු එම ව්‍යාපාරිකයාට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව අදාළ දුරකථන ව්‍යාපාරිකයාට සිය ව්‍යාපාර කටයුතු සඳහා ඩොලර් අවශ්‍ය වන බැවින් ඒ සඳහා තිළිණි ප්‍රියමාලි සමඟ හවුල්වන ලෙස ජානකී සිරිවර්ධන ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

තිළිණි ප්‍රියමාලි වසර 06 ක පමණ කාලයක සිට තමන් පෞද්ගලිකව හදුනන බවද සඳහන් කර ඇති ජානකී සිරිවර්ධන එමඟින් ව්‍යාපාරිකයාගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. ඒ අනුවයි එම ව්‍යාපාරිකයා රුපියල් මිලියන 40 ක මුදලක් තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාර සඳහා යොදවා ඇත්තේ.

එම රුපියල් මිලියන 40, ඩොලර්වලින් මේ වසරේ මැයි මස 09 වනදා ලබාදෙන බව පවසා තිබුණද එම කාලසීමාවේදී මෙරට තුළ පැවති අර්බුදකාරි වාතාවරණය හමුවේ මුදල් ලබාදීම ප්‍රමාද වන බව තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන ව්‍යාපාරිකයාට දැනුම් දී තිබුණා.

අවස්ථා කිහිපයකදීම එම ව්‍යාපාරිකයා ජානකී සිරිවර්ධනගේ කොළඹ-කොටුවේ පිහිටි කාර්යාලයට සහ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි තිළිණි ප්‍රියමාලිගේ කාර්යාලයට පැමිණ තිබුණද ඩොලර් ලබාදී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් තවත් අවස්ථාවකදී ජානකී සිරිවර්ධන අදාළ ව්‍යාපාරිකයාගෙන් ‘අයිෆෝන් 13 ප්‍රෝ මැක්ස්’ වර්ගයේ තවත් ජංගම දුරකථන 04 ක් ඉල්ලා තිබූ අතර එය ලබාදීමට ඔහු ජානකී සිරිවර්ධනගේ කාර්යාලයට පැමිණ තිබුණා.

අදාළ ජංගම දුරකථන තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාරට සහ බොරැල්ලේ සිරිසුමන හිමියන්ට එම අවස්ථාවේදීම ලබාදී ඇති අතර ජංගම දුරකථනවලට අදාළ ගෙවීම් එම අවස්ථාවේදීම සිදුකර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම ව්‍යාපාරිකයාට බොරැල්ලේ සිරිසුමන හිමියන් එම අවස්ථාවේ “පුතේ, මම ඔයාගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්නම්” යනුවෙන් පවසා තිබෙනවා.

තවත් අවස්ථාවකදී අදාළ ව්‍යාපාරිකයාට ඩොලර් වෙනුවට ‘රන්පොලු’ ලබාදිය හැකි බව පවසා කඩවත – වෑබඩ පිහිටි සිරිසුමන හිමියන්ගේ විහාරස්ථානයට කැඳවාගෙන ගොස් තිබුණේ ජානකී සිරිවර්ධන විසින්. එහිදී ඔහුට ‘රන්පොලු’ පෙන්වා තිබූ නමුත් එම ව්‍යාපාරිකයා ඒවා ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා.

එම අවස්ථාවේ ‘රන්’ එපා නම් ‘බී.එම්.ඩබ්ලිව්. සෙවන් සීරිස්’ කාර් එකක් දෙන්නම් යනුවෙන් පවසා ව්‍යාපාරිකයාගේ දුරකථනයට මෝටර් රථයේ සහ එහි ලියාපදිංචි පොතෙහි ඡායාරූප කිහිපයක් එවා ඇති බවද සඳහන්. මීට පෙර තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කළ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිටද ලබා දෙන බවට පෙන්වා තිබුණේ අදාළ මෝටර් රථයම වීම විශේෂත්වයක්.

මේ අතර තම ගනුදෙනුව සම්බන්ධයෙන් දුරකථන ව්‍යාපාරිකයා දිගින් දිගටම විමසීම් කිරීමේදී ජානකි සිරිවර්ධන සහ තිළිණි ප්‍රියමාලි යන දෙදෙනා අතර විරසකයක් පවතින බවට අඟවා තිබෙනවා.

තම ගනුදෙනුවට හිමි ඩොලර් නොලැබුණු බවට පොලිසියට පැමිණිලි කිරීමට යාමේදී තිළිණි ප්‍රියමාලි විසින් රුපියල් කෝටි 04 ක චෙක්පතක් ලබාදී තිබුණද එය අඟරු චෙක්පතක් බව අදාළ බැංකු මඟින් ව්‍යාපාරිකයාට දැනුම්දී තිබෙනවා.

ඒ අනුවයි ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ ෴

‘බොරැල්ලේ සිරිසුමන + තිළිණි ප්‍රියමාලි’ යුවල

+++++++++++++

05-06-2021

++++++++++++++

13-11-2022

***************************************

දිට්ඨ ධම්මවේදනීය කර්මය පස්සෙන් එනවා – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ (13.11.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *