ලංකාව අද මෙහෙම අසරණ වුනේ වසර පනහක් විතර ණයට කාලා සැපට හිටි නිසා… – උදය ගම්මන්පිල

ලංකාව අද මෙහෙම අසරණ වුනේ වසර පනහක් විතර ණයට කාලා සැපට හිටි නිසා… – උදය ගම්මන්පිල

*********************************************

ලංකාව අද මෙහෙම අසරණ වුනේ වසර පනහක් විතර ණයට කාලා සැපට හිටි නිසා… – උදය ගම්මන්පිල

(09.11.2022 – facebook.com/UdayaGammanpilaFanPage)

දේශපාලකයන් සුන්දර පොරොන්දු ලබා දෙමින් ජනතාව මුලා කිරීම නැවැත්වීම සදහා දේශපාලකයින් විසින් නව ව්‍යාපෘතියක් යෝජනා කරන විට එයට වැය වන මුදලත් ඒ මුදල් සොයන ක්‍රමයත් ජනතාව හමුවේ තැබිම සදහා වන නීති රීති සම්පාදනය කල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ අද දින (2022.11.09) පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව හා එක් වෙමිනි. එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

මිල්ලනිය සිදුවීමට හේතු මොනවා ද?

මිල්ලනිය පාසලක විදුහල්පතිනිය විසින් පොලිසිය ලවා දරුවන්ට හිංසා කරවීම අද සමාජයේ ලොකු අවධානයකට පත්වෙලා තිබෙනවා. මගේ තාත්තා ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය අරඹලා අධ්‍යාපන පරිපාලන නිලධාරියෙකු ලෙස විශ්‍රාම යන විට අම්මා විදුහල්පතිනියක් ලෙස විශ්‍රාම ගියා. මම පුංචි කාලයේ ජීවත් වුණේ පාසල තුලම තිබුණු විදුහල්පති නිල නිවස තුල. එදා සහ අද සංසන්දනය කරන විට පාසලෙන් වාර්තා වන ඛේදවාචකයන් බරපතල ලෙස ඉහල ගිහින්.

මිල්ලනිය පාසලක විදුහල්පතිනිය විසින් පොලිසිය ලවා දරුවන් වධ හිංසාවන්ට ලක් කිරීම හුදකලා සිදු වීමක් නෙවෙයි. මේ සිදුවීමට දැවැන්ත මාධ්‍ය අවධ්‍යානයක් යොමු වුනාට මෙවැනි සිදුවීම් නිතරම රට පුරාම සිදුවෙනවා. එදාට වඩා අද මේ සිදුවීම් වැඩි වුනේ ඇයි කියන ප්‍රශ්ණයට අපි උත්තර හොයන්න ඕනෑ. එදා විදුහල්පතිවරුන් දරුවන්ට විරුද්ධව පොලිසි ගියේ නෑ. පාසලේ ප්‍රශ්න පාසල තුලම විසඳ ගත්තා. දරුවන්ගේ දෙමව්පියන් ගෙන්නලා ගෙවල් වල ප්‍රශ්න පවා විසඳුවා. එදා කරපු දේ අද නොවෙන්නේ ඇයි ?

විද්‍යාව, ගණිතය භාෂාවට උපාධියක් ලැබූ පමණින් ඒ දැනුම බෙදන ගුරුවරයෙකු වෙන්න බෑ. අධ්‍යාපනවේදය වෙනම විෂයක්. ළමා මනෝ විද්‍යාව, ඉගැන්වීමේ ක්‍රම, සන්නිවේදනය, කණ්ඩායම් පාලනය වැනි විෂයන් ගණනාවක් ගැන අවබෝධය ලබාගෙනයි ගුරුවරයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. එදා උසස් පෙල සමතෙකු වුණත් උපාධිධාරියෙකු වුණත් පාසලට යවන්න කලින් මිරිගම, ගිරාගම, කටුකුරුන්ද ගුරු විදුහල්වලට යවලා වසර දෙක-තුනක් ගුරුවරයෙකු ලෙස පුහුණු කරලා තමයි ගුරුවරයා පන්ති කාමරයට යොමු කලේ.

ගුරුවරු ප්‍රමාණයෙන් වැඩි වන විට පුහුණුව අඩු වුණා. දැන් උපාධියක් තිබේ නම් තරග විභාගය සමත් නම් සති කිහිපයක පුහුණුවකින් පාසලට යවනවා. හරියට බ්‍රොයිලර් චිකන් වගේ. අවුරුදු දෙකේ හමුදා පුහුණුව මාස හයට අඩු කරලා උතුරේ යුද්ධයට යවපු සොල්දාදුවන්ගේ ඉරණමම තමයි අද ගුරුවරුන්ට අත් වෙලා තිබෙන්නේ.

මනා පුහුණුවක් තිබුණා නම් අර මිල්ලනිය පාසලේ විදුහල්පතිනිය පොලිසි යන්නේ නෑ. දරුවන්ගේ ඉරියව් සහ දෙන පිළිතුරු අනුව මේ දරුවන් ඇත්තටම පසුම්බියක් සොරකම් කලා ද නැද්ද කියා සොයා ගන්නවා. පුහුල් හොරා කරෙන් දැනේ වගේ කතා උගන්වන්නේ ඒ දැනුම අපට ලබා ගන්නයි.

දේශපාලකයින්ගේ සෑම යෝජනාවකටම මුදල් සොයන ක්‍රමයත් ඕනෑ

ලංකාව අද මෙහෙම අසරණ තත්වයට පත් වුනේ වසර පනහක් විතර ‘ණයට කාලා සැපට හිටිය’ නිසා. අපි විදුලි ආවරණය 95% ක් කලේ ප්‍රධාන පාරවල් කාපට් කලේ ගමේ පාර කොන්ක්‍රිට් කලේ ණය අරගෙන. හැබැයි බංගලි දේශය හැමදාමත් ආදායමේ හැටියට වියදම් කලේ. ඒ රටේ 40% කට විදුලිය නෑ. තවමත් ගම්වල තිබෙන්නේ ගුරු පාරවල්. නමුත් විදේශ සංචිත ඩොලර් බිලියන 43 ක් තිබෙනවා. අපිත් දැන් ණය ඉල්ලන්නේ බංගලිදේශයෙන්.
ණයට කෑමේ ආදිනව උපරිමයට විඳින ගමන් ඊලඟ ඡන්දය දිනන්න නැවතත් පොරොන්දු දේශපාලනය පටන් අරන්. නොමිලේ පාසල් දරුවන්ට දිවා ආහාරය දෙනවාලු. සෑම දිස්ත්‍රික්කයකම විශ්ව විද්‍යාලයක් අරඹනවාලු. විදේශ රටවල ඉගෙන ගන්න දරුවන්ට ශිෂ්‍යත්ව දෙනවාලු. සමෘද්ධි ලබන පිරිස වැඩි කරනවාලු. මේවා ඉතාම හොඳයි. ඒත් කරන්න සල්ලි කෝ?

බොහෝ යුරෝපීය රටවල දේශපාලකයින් විසින් නව ව්‍යාපෘතියක් යෝජනා කරන විට ඒකට වැය වන මුදලත් ඒ මුදල් සොයන ක්‍රමයත් කියන්න ඕනෑ. මැතිවරණ ප්‍රකාශනයේ තිබෙන යෝජනා ක්‍රියාත්මක කරන්න ‘මොන බදු වැඩි කරලා ද ආදායම සොයන්නේ’ කියන එකත් මැතිවරණ ප්‍රකාශනයේ දාන්න ඕනෑ. කොටින්ම කියනවා නම් අනාගත අයවැය තියෙන්නේ මැතිවරණ ප්‍රකාශනයේ. අපි නීතියක් සම්මත කරලා හරි මේ පොරොන්දු දේශපාලන සංස්කෘතිය නැති කලේ නැති නම් ඊලඟ ඡන්දය දිනා ගන්න අපේ ඊලඟ පරම්පරාවත් උකස් කරනවා.

අපේ ආච්චිලා සීයලා හැටේ දශකයේ දී රොටි කන්න පිටි ගේන්න ‘පීඑල් 480’ ඇමෙරිකානු ණය ක්‍රමය යටතේ ගත් ණය මෑතක් වන තුරු ගෙව්වා. අපි දුක් වින්දා හොඳටෝම ඇති. ඡන්ද දිනන්න සුන්දර පොරොන්දු දීලා ඒවා ඉටුකරන්න ණය අරගෙන අපේ දරුවන්වත් අපි සිරවුණු ණය උගුලේ හිර කරන්න එපා කියලා පොරොන්දු දෙන දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය :
ආණ්ඩුව මැතිවරණය තියාවිද ?

පිළිතුර :
ආණ්ඩුවේ ආසාව නම් මැතිවරණය කල් දාන්න. ආණ්ඩුවට ඒක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මැතිවරණ සීමා නිර්ණය කොමිසම සහ පලාත් පාලන මැතිවරණ සීමා නිර්ණ කමිටුව මගින් මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවලිය සිදුවන්නේ නැහැ. ඒ අය හදන යෝජනාවලිය පාර්ලිමේන්තු පනතක් හරහා සම්මත කරන්න ඕනෑ. මැතිවරණයට කලින් ඒ පනත සම්මත කළොත් තමයි මැතිවරණය කල් දැමීම සිද්ධවෙන්නේ. ඒ නිසා ‘මේ සීමා නිර්ණයෙන් මැතිවරණ කල් දැමීම සිදු වෙනවා’ කියන්නෙ වැරදි අදහසක්.

පාර්ලිමේන්තුවට එවැනි පනත් කෙටුම්පතක් ගෙනල්ලා සම්මත කරගන්න මාසයකට මදක් අධික කාලයක් ගත වෙනවා. ඒ තුළ දේශීය වගේම විදේශීය පීඩනයක් ආණ්ඩුවට එල්ල වෙනවා. මොකද මේ දිනවල ලංකාව පිටරටවල සාදර අනුග්‍රහයෙන් ජීවත් වන නිසා පිටරටවල් කියන දේ අහන්න සිද්ධ වෙනවා. විදේශ ආධාර වල කොන්දේසි අංක එක වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිව්‍යුහගත කිරීම නොවෙයි. වහාම මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය උදා කරන්න කියන එකයි. ඒ නිසා ආණ්ඩුවට වැඩිම වුනොත් මැතිවරණය මාස දෙකක් (2) කල් දමා ගන්නට පුළුවන් වෙයි. එහෙම මාස දෙහෙකට කල් දාලා ‘නාගෙන’ ඡන්දයකට යනවට වඩා නිසි කලට ඡන්ද පැවැත්වීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයටද හොඳයි කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.

ප්‍රශ්නය‍ :
විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු වෙන්න යනවා කියලා කියනවා නේද ?

පිළිතුර :
ඔය කට කතාව දැන් ටිකක් පරණයි. සාමාන්‍යයෙන් අයවැය කිට්ටු වෙනකොට ඉතිහාසය පුරාම ඔබ බැලුවොත් නොවැම්බර් මාසයේ ඔය කට කතාවට පියාපත් එනවා. මේ ආණ්ඩුව විතරක් නෙමේ, සමස්ත රටම ගිලෙන නැවක්. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්නේ කෙසේද කියන එකට ආණ්ඩුවට මේ දක්වාම වැඩපිළිවෙළක් නැහැ. ගිලෙන නැවට පිරෙන වතුර එළියට දාන්නේ කොහොම ද? නැවේ තියෙන හිල් වහන්නේ කොහොම ද? කියලා වැඩ පිලිවෙලක් නැතුව කවුරුහරි ගිලෙන නැවට පනිනවා නම් අනේ ඒ අයට අබ සරණයි.

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුර හෙළ උරුමය ගම්පහ දිසා සංවිධායක අංජන උදාර, වත්තල ආසන සංවිධායක නන්දන ජයලත් යන මහත්වරුන් ද සහභාගී විය ෴

***************************************

ප්‍රියමාලිට රන් පොලු ලෙස පිත්තල පොලු හැදූ අයවලුන් සොයා සී.අයි.ඩී.ය විමර්ශන අරඹයි

(10.11.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලිට රන් පොලු ලෙස පිත්තල පොලු නිෂ්පාදනය කළ පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කිසිදු සැකයක් ඇති නොවන ආකාරයට සැබෑ රන් පොලු ලෙසට මේවා නිර්මාණය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන් සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමට සැලසුම් කර ඇති බවයි.

තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර නමැත්තාට අයත් පිළිමතලාව ප්‍රදේශයේ නිවසක තිබී මෙලෙස සකස් කරන ලද ව්‍යාජ රන්පොලු 8 ක් සොයා ගෙන තිබුණා.

ඒවා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතිනවා.

එම ව්‍යාජ රන්පොලු සැබෑ ඒවා බවට පවසා ඇතැම් පුද්ගලයින් රවටමින් මුදල් වංචා කළ බවට තිලිණි ප්‍රියමාලිට සහ ඇගේ පෙම්වතාට චෝදනා එල්ල වනවා.

මේ අතර, තිලිණි ප්‍රියමාලි සමග ගනුදෙණු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ලේ සිරිසුමන හිමියන් ද මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ ෴

++++++++++

තිළිණි ප්‍රියමාලිගේ තවත් මහපරිමාණ මූල්‍ය වංචාවක් එළියට

(10.11.2022 – 21:26 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි විසින් සිදුකරන ලද තවත් මහාපරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.

අදාළ ව්‍යාපාරිකයාට ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 400 ක මුදලක් ඇය විසින් වංචාකර ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් දැනුම් දී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තිළිණි ප්‍රියමාලිගේ බැංකු ගිණුම් 04 ක් පරීක්ෂා කිරීමට අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඊට අවසරය හිමිව තිබෙනවා.

පෞද්ගලික බැංකු හතරක (4) ඇති ප්‍රියමාලිගේ ගිණුම් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා සිටියා.

අධිකරණයෙන් ඊට අවසර හිමි වූ අතර මෙම ගනුදෙනුව පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරනවා.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලිට ‘රන් පොලු’ නිෂ්පාදනය කළ පුද්ගලයින් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ කිසිදු සැකයක් ඇති නොවන අයුරින් ‘රන් පොලු’ ලෙස නිර්මාණය කර ඇත්තේ ‘පිත්තල පොලු’ බවයි.

තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර නමැත්තාට අයත් පිළිමතලාව ප්‍රදේශයේ නිවසක තිබී එවැනි ‘ව්‍යාජ රන් පොලු’ 8 ක්ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

එම ‘ව්‍යාජ රන් පොලු’ ලබා දීල ඇතැම් පුද්ගලයින් රවටමින් මුදල් වංචා කළ බවට තිළිණි ප්‍රියමාලිට සහ ඇගේ පෙම්වතාට චෝදනා එල්ල වී ඇති බවත්, මෙම ‘ව්‍යාජ රන් පොලු’ නිර්මාණය කර ඉසුරු බණ්ඩාර නමැත්තාට ලබා දුන් පුද්ගලයින් සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමට නියමිතයි.

+++++++++++

ප්‍රියමාලි සහ ජානකී ව මෙහෙයවූ අය ගැනත් තොරතුරු

(10.11.2022 – 20:46 +0530 – sinhala.adaderana.lk)

මූල්‍ය වංචා චෝදනාවලට ලක්වූ තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන අතර ඇතිවූ දුරකථන සංවාද කිහිපයක් ‘අද දෙරණ’ වෙත ලැබී තිබේ.

මේ අතර තිළිණි ප්‍රියමාලිගේ ගිණුම් ඇති පෞද්ගලික බැංකු 4 ක ගිණුම් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුනි.

මහා පරිමාණ මූල්‍ය චෝදනා හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කරසිටින තිළිණි ප්‍රියමාලි අමෙරිකානු ඩොලර් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 4 ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි.

තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන අතර ඇතිවූ දුරකථන සංවාදවලින් අනාවරණය වන්නේ කිසියම් අවස්ථාවකදී ජානකී සිරිවර්ධන තිළිණි ප්‍රියමාලිගේ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීම මගහැර ඇති බවය.

“ඇත්තටම ඩාලිං අපි දෙන්නම පිළිගන්න ඕන එකම දේ තමයි.. අපිව මේ අමාරුවේ ඇත්තටම දැම්මේ ක්‍රිෂාන්ත.” යනුවෙන් ද එක් හඬපටයක තිළිණි ප්‍රියමාලි පවසා තිබුණි.

මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න :

+

***************************************

04-11-2022

***************************************

කුසගින්න උහුලාගෙන ජීවත් වෙන්න වෙර දරන පවුලක්

(10.11.2022 – 15:34 +0530 – sinhala.adaderana.lk)

දරුවන් සිව්දෙනෙකුගේ (4) වගකීම් තනිව දරන්නට සිදුවූ අසරණ මවක් පිළිබඳ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා විය.

සැමිය ඇයව හැරගොස් ඇති අතර කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් එම පවුල මෙම තත්ත්වයට පත්වී ඇත.

දරුවන් සිව්දෙනා සමග කුසට කිසිඳු ආහාරයක් නොමැතිව බොහෝ දින ගෙවාදැමීමට සිදුවන බවද ඇය සඳහන් කළාය.

ආහාර වේලක් නොමැති දිනවල දරුවන් තිදෙනා (3) පාසල් නොයන බවද ඇය අප සමග පැවසුවාය.

මෙම අසරණ පවුල ජීවත් වන්නේ ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ ය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ එවැනි දිනවල තුන්වැනි (3) වියේ පසුවන පුතණුවන් මව් කිරි බී කුස පුරවාගන්නා බවය.

ඒ අනුව ඇයට දරුවන්ගේ කුස පුරවන්නට සිදුවී ඇත්තේ අසල්වැසියන් ඉඳ හිට ලබාදෙන සුළු ආහාරයකිනි.

8, 9 සහ 13 වැනි වයස්වල පසුවන දරුවන් තිදෙනාට (3) පාසල් යෑමට ද සිදුවී ඇත්තේ විවිධ අඩුපාඩුකම් රැසක් මධ්‍යයේය.

දෑස්වල කඳුළු පුරවාගත් මෙම මව ඉල්ලා සිටින්නේ තම දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීමට උපකාරයක් කරන ලෙසය.

මෙම පුවත සම්බන්ධ වැඩි විස්තර සඳහා :
‘අද දෙරණ’ ප්‍රාදේශීය වාර්තාකරු කාංචන කුමාර ආරියදාස
077 341 6157
071 536 1347

***************************************

පොලිස් වෙසින් ගොස් විදේශ මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයකින් රු. ලක්ෂ 48 ක් කොල්ලකෑ 04 ක් දැලේ

(10.11.2022 – gossiplankanews.com)

පොලිස් වෙසින් ගොස් බලපත්‍ර රහිතව විදේශීය මුදල් හුවමාරු කරන ස්ථානයකින් රුපියල් ලක්ෂ හතලිස් අටක් (48) කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනෙකු (4) පෙරේදා (08 දා) අත්අඩංගුවට ගත් බව දික්වැල්ල පොලිසිය පවසයි. දික්වැල්ල අවට පදිංචි 23-47 හැවිරිදි වියපසුවන සිවුදෙනක් (4) මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

දික්වැල්ල, නගරයේ බෙලිඅත්ත පාරේ පිහිටි නිවසක පවත්වාගෙන යමින් තිබූ අදාළ මුදල් මාරුකිරිමේ මධ්‍යස්ථානයකට ඉකුත් (05) සවස පැමිණි දෙදෙනකු (2) යූරෝ 1000 ක මුදලක් එහි හිමිකරුට ලබාදී එම මුදල් මාරුකර දෙන ලෙස ඉල්ලා තිබේ. ඊට සුළු වේලාවකට පසු පැමිණි සිවුදෙනෙකු (4) තමන් පොලිසියෙන් බවත් මෙම ස්ථානයේ නීතී විරෝධිව විදෙස් මුදල් හුවමාරු කරන බැවින් ඒ පිළිබදව පරික්ෂණ සඳහා පැමිණි බවත් පවසා ඇත. ඒ අනුව ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ යූරෝ 1000 සිය භාරයට ගෙන ඇති සැකකරුවන් එම මුදල් රැගෙන ආ දෙදෙනාද (2) අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ට මාංචු දමන ලෙස පැවසුවද ඔවුන් මාර්ගයට ගොස් මුදා හැර ඇති බවද පොලීසිය පවසයි.

මින්පසු ඉදිරි කාමරයට ගොස් අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 45 ක්ද ව්‍යාපාරිකයා ළග තිබූ ලක්ෂ තුනක් (3) ද සැකකරුවන් භාරයට ගෙන ඇත.

ඒ අනුව ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ පුතෙකු විසින් පිරිසට පොලිස් හැඳුනුම්පත පෙන්වන ලෙස පවසා ඇති අතර එහිදී ඔහුට බැණවැදී පහර කිහිපයක් එල්ල කර ව්‍යාපාරිකයාව ඔවුන් පැමිණි වෑන් රථයට නංවා මාතර දෙසට ගමන් කර ඇති බවද පොලිසිය පවසයි. සැකකරුවන් පැමිණි රථය දික්වැල්ල පොලීසිය පසුකරන විට පොලීසියට හරවන්නේ නැතිදැයි ව්‍යාපාරිකයා ප්‍රශ්න කර ඇති අතර තම පොලිස් ඒකකයේ මූලස්ථානයට රැගෙන යන බව පවසා ඇතත් මගක්දුරක් යද්දී ව්‍යාපාරිකයා බස්සවා වාහනය මාතර දෙසට ධාවනය කර ඇති බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දික්වැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක එච්.එස්. මදුරංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වති ෴

***************************************

රු. 255 ක ලිංගික උත්තේජනය වැඩි කරන එන්නතකට රු. 40000 බැගින් ගෙවලා

(09.11.2022 – mawbima.lk)

ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන එන්නතක් රුපියල් 255 කට මිල දී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563 ක් මිල දී ගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පළ වී ඇති මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එම එන්නත් මිල දී ගැනීම සඳහා රුපියල් කෝටි 7 කට ආසන්න මුදලක් වැය කර ඇති බව ය.

Papaverine නමැති එම එන්නත ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය සිදු කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇතැයි අදාළ වාර්තාවල දැක්වේ.

රුධිර සංසරණ ගැටලු ඇති රෝගීන්ගේ රුධිර පරිවහනය වැඩි දියුණු කිරීම සඳහා Papaverine භාවිත කරයි.

වෛද්‍ය අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා මේයෝ පදනම සිය වෙබ්අඩවියේ දක්වා ඇත්තේ, ශිෂ්ණය ප්‍රාණවත් වීමේ දුබලතා ඇති ඇතැම් පිරිමි පුද්ගලයින්ගේ ශිෂ්ණය ප්‍රාණවත් කිරීමට එය භාවිත කරනු ලබන බව ය.

එම ඖෂධය ශිෂ්ණයට එන්නත් කළ විට, එය ශිෂ්ණය ප්‍රාණවත් කිරීම සඳහා රුධිර පරිවහන වේගය ඉහළ දමන බව එහි සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, එම එන්නත ශිෂ්ණය ප්‍රාණවත් වීමේ දුබලතා නොමැති පිරිමි සඳහා භාවිත නොකළ යුතු බවට වෛද්‍යවරුන් අවධාරණය කර තිබේ.

එන්නත වෛද්‍ය උපදෙස්වලින් තොරව අනිසි ලෙස භාවිත කළහොත් ශිෂ්ණයට ස්ථිර හානියක් හා ශිෂ්ණය ප්‍රාණවත් වීමේ හැකියාව අහිමි විය හැකි බවට ඔවුන් දැඩි ලෙස අනතුරු අඟවා ඇත ෴

***************************************

පරිසර ඇමති වැලි ජාවාරම්කරුවන්ට සහාය දෙන බවට චෝදනාවක්

(10.11.2022 – 22:23 +0530 – hirunews.lk/sinhala)

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් සාෆි නගර් වැලි ජාවාරම්කරුවන්ට රැකවරණය දෙමින් සිටින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද (10) පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

ඒ, ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළි කළ එම මහාපරිමාන වැලි ජාවාරම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින්.

මුතූර් – සාෆිනගර් ප්‍රදේශයේ දුපතක් වැනි ප්‍රදේශයක් මිරිස් වගාවක් සිදුකරන මුවවෙන් කූට ලෙස වෙන්කර ගෙන මහා පරිමාන වැලි ජාවාරමක් සිදුකරන බව අප ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප පසුගිය දින කිහිපයේම හෙළි කළා.

මෙලෙස චෝදනා එල්ල වන භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වාට හිටපු සභාපති අනුර වල්පොල මහතාගේ අත්සන සහිත මෙම ලේඛනය මගින් ද චෝදනා එල්ල කර තිබෙනවා.

ඔහු පසුගිය 2018, 2019 වර්ෂ ද ඇතුළුව ඊට පෙර ආදායම් වර්ෂ 5 න් කිසිදු වසරක් සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නැහැ.

අදාළ ලේඛණයේ දැක්වෙන්නේ ඊට නිදහසට කරුණු විමසා තිබුන ද එය ද මඟහරිමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවයි.

මෙවන් බරපතල චෝදනා පවා මායිම් නොකොට භූ විද්‍යා කාර්යංශය භාරව සිටින පරිසර විෂ්‍ය භාර අමාත්‍ය නසීර් අහමඩ් මහතා තවදුරටත් මුනිවත රැකීම පුදුමයට කරුණක්.

එවන් පසුබිමක් තුළ වුවත් භූ විද්‍යා කාර්යාංශයට අරක් ගත් බහිරවයන්ගේ තවත් වංචා දුෂණ රැසක් ඉදිරියේදී හෙළි කිරීමට ‘හිරු සී.අයි.ඒ.’ සූදානමින්.

https://www.youtube.com/watch?v=POUBHr8d35Q#t=6

***************************************

11-11-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *