තිලිණි ප්‍රියමාලිගෙන් සී.අයි.ඩීය යළි ප්‍රශ්න කරයි

තිලිණි ප්‍රියමාලිගෙන් සී.අයි.ඩීය යළි ප්‍රශ්න කරයි

*********************************************

තිලිණි ප්‍රියමාලිගෙන් සී.අයි.ඩීය යළි ප්‍රශ්න කරයි

(08.11.2022 – 12:51 +0530 – hirunews.lk/sinhala)

මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ ඇය සමග ගනුදෙනු කළ නළු නිළියන් ඇතුළු පුද්ගලයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වූ කරුණුවලට අනුව යි.

ඒ අනුව, ඊයේ (07) දිනයේ දී පැය 5 කට වැඩි කාලයක් තිලිණි ප්‍රියමාලිගෙන් ප්‍රශ්න කර ඇති අතර, අද (08) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් තිලිණි ප්‍රියමාලි රැදී සිටින බන්ධනාගාරය වෙත ගොස් ඇගෙන් අදාළ ප්‍රශ්න කිරීම් සිදු කරන බවට යි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය තුළ දී ම තිලිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ නළු නිළියන් ඇතුළු 6 දෙනෙකුට වැඩි පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් අතර, ඊට සේමිණි ඉද්දමල්ගොඩ, සංගීතා වීරරත්න, ජීවන් කුමාරණතුංග මෙන්ම ඔහුගේ බිරිඳ වන ෂෙරින් කුමාරණතුංග ද ඇතුළත්.

එසේම, තිලිණි ප්‍රියමාලි ආගිය තැන් සහ ඇය ගණුදෙනු පවත්වාගෙන ගිය තවත් ආයතන රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

++++++++++

තිළිණිගේ ගනුදෙනු ගැන සංගීතා, ජීවන් හා ෂෙරීන් ගෙන් පැය 5 ක් ප්‍රශ්න කෙරේ

(08.11.2022 – gossiplankanews.com)

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වා යමින් වංචනික කරුණු ගෙනහැර දක්වමින් මහජනතාව ආයෝජනයට පොළඹවා මුදල් රැස් කළ බව කියන තිලිණි ප්‍රියමාලි ගේ ගනුදෙනු සම්බන්ධයෙන් ජනප්‍රිය කලාකරුවන් වන සංගීතා වීරරත්න, ජීවන් කුමාරතුංග, ඔහුගේ බිරිඳ ෂෙරීන් කුමාරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඊයේ (07) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

තිළිණි ප්‍රියමාලි සමඟ ඔවුනට තිබුණු හිතවත්කම් ගැන මෙන්ම තිළිණි සමඟ කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ. ජීවන් කුමාරතුංගගේ අධ්‍යක්ෂණයෙන් සංගීතා හා ජීවන් ප්‍රධාන චරිත වලට යොදාගනිමින් තිළිණි ප්‍රියමාලි විසින් ‘ජීවා’ නමැති චිත්‍රපටයක් නිර්මාණය කරන්නට පසුගිය කාලයේ උත්සාහ දරා තිබුණ අතර ඒ හා සම්බන්ධ මුහුරත් උළෙලක්ද පැවැත්විණි. මෙහිදී කලාකරුවන්ට ගෙවීමට තිලිණි වියදම් දරා ඇත්තේ වංචනික ලෙස උපයන ලද මුදල්ය.

මෙම ප්‍රශ්න කිරීමේදී අදාළ ගනුදෙනු ගැන මෙන්ම ඔවුන් සමීප ඇසුරක් පවත්වමින් සිටින අවස්ථාවල සාක්ෂි විමර්ශනය කර තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් තිළිණි සංගීතා සමග සිටින වීඩියෝ දර්ශනයක් සංගීතාට ඉදිරිපත් කර ඒ ගැන විමසීමේදී ඇය කිසිවක් පැවසීමට නොහැකිව මඳ වේලාවක් නිරුත්තර වී සිටි බව වාර්තා කර තිබේ.

සංගීතා වීරරත්න මහත්මියගෙන් ප්‍රශ්න කිරීමේදී ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පැවැත්වෙන බවත් එහිදී ඇගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව හැඟී ගියහොත් ඇයව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතාගෙන් සහ එම මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සෙනසුරදා පැය 5 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත්තේ තිලිණි ප්‍රියමාලී සමඟ ඔහුටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් පැවැති සම්බන්ධතාවය සහ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ඉදිරියේදී ඒ මහතාගේ පවුලේ කිහිපදෙනකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරයි.
තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් පසුගිය සතියේ සේමිණි ඉද්දමල්ගොඩ, පූර්ණිකා පීරිස්, පේෂල මනෝජ් යන අයගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනිණි.

++++++++++

තිළිණි ප්‍රියමාලිගේ හඬපටවලින් එන නළු නිළියන්ගේ නම්

(08.11.2022 – 20:32 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීණ රංගන ශිල්පී, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග, ඔහුගේ බිරිඳ වන ෂෙරින් කුමාරතුංග සහ ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්නගෙන් තිළිණි ප්‍රියමාලි සමග පැවැත්වූ සබඳතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබේ.

මේ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ද තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ගනුදෙනු පිළිබඳ ‘අද දෙරණ’ සමග හෙළිදරව්වක් සිදු කළේය.

තිළිණි ප්‍රියමාලි විසින් සිදුකළ මූල්‍ය වංචා කිහිපයක තොරතුරු සහ හඬපට කිහිපයක් ද මේ වනවිට අප වෙත ලැබී තිබේ.

මහ පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි තමන්ගෙන් ද රුපියල් මිලියන 80 ක මුදලක් වංචා කළ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළ ප්‍රකාශය ද රටේ කතාබහට ලක්වුණි.

මේ අතර තිළිණි ප්‍රියමාලිට ආධාර අනුබලදීම මත රිමාන්ඩ් භාරයේ සිටින පූජ්‍ය බොරැල්ලේ සුමන හිමි තමන්වහන්සේ වැඩවිසූ කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයේ රත්‍රං කුට්ටියක් ඇති බව පවසා ව්‍යාපාරිකයන් රවටා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

උන්වහන්සේ ව්‍යාපාරිකයන්ට එසේ පෙන්වූ රත්‍රං කුට්ටියේ ඡායාරූපයක් ද මේ වනවිට අප වෙත ලැබී තිබුණි.

එමෙන්ම තිළිණි ප්‍රියමාලි අසාද් සාලි මහතාගෙන් ලබාගත් රුපියල් මිලියන 80 න් කොටසක් පියවීම සඳහා ඔහුට අධි සුඛෝපභෝගී මෝටර් රථයක් පෙන්වා එය ලබාගන්නා ලෙස පවසා තිබේ.

මෝටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 40 කට ආසන්නය.

ඊට අදාළව ඇය සාලි මහතා වෙත හඬපටයක් ද එවා තිබුණි.

එසේ පැවසුව ද තිළිණි ප්‍රියමාලි එම රථය අසාද් සාලි මහතාට ලබාදී නොමැත.

පසුව වාර්තා වූයේ තිළිණිගේ අනියම් සැමියා බව පවසන ඉසුරු බණ්ඩාර එම රථය වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇති බවය.

අවසානයේදී තිළිණි ප්‍රියමාලිට මුදල් පියවීමට නොහැකි වූ තැන, ඇය අසාද් සාලි මහතා වෙත තවත් හඬපටයක් යොමුකර තිබුණි.

එහි සඳහන්ව ඇත්තේ ඉඩමක් විකුණා අදාළ මුදල් පියවන බවටය.

නමුත් ඇය පැවසූ පරිදි ඉඩමක් නොවූ බව අසාද් සාලි මහතා පැවසීය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව ඊයේ (07) වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයට ගොස් තිළිණි ප්‍රියමාලිගෙන් පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබේ.

එමෙන්ම ජානකී සිරිවර්ධනව පසුගිය සෙනසුරාදාම මීගමුව බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රවීණ රංගන ශිල්පී, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග, ඔහුගේ බිරිඳ වන ෂෙරින් කුමාරතුංග හා ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්නගෙන් තිළිණි ප්‍රියමාලි සමග පැවැත් වූ සබඳතා පිළිබඳ ප්‍රකාශ ලබාගෙන තිබේ.

ජීවන් කුමාරතුංග මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක නිෂ්පාදක ලෙස කටයතු කර ඇත්තේ ද තිළිණි ප්‍රියමාලිය.

චිත්‍රපටය සඳහා රුපියල් ලක්ෂ 140 ත් 145 ත් අතර මුදලක් වැයවී ඇතැයි වාර්තා වෙයි.

ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස කුමාරතුංග මහතාගේ ප්‍රකාශ ලබාගෙන තිබේ.

එමෙන්ම ඔහුගේ බිරිඳ වන ෂෙරින් කුමාරතුංග මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිළිණි ප්‍රියමාලි සමග පැවැත් වූ සමීප සබඳතා පිළිබඳව ප්‍රශ්න කර තිබුණි.

කුමාරතුංග මහත්මිය හා තිළිණි ප්‍රියමාලි ඉදිරියේදී පැවැත්වීමට අපේක්ෂා කළ ප්‍රසංග කිහිපයක් පිළිබඳව ද විමර්ශන නිලධාරීන් එහිදී ප්‍රශ්න කර ඇත.

එමෙන්ම පොලීසිය පැවසුවේ, කුමාරතුංග යුවළ තිළිණි ප්‍රියමාලි සමග සමීප සබඳතා පවත්වා ඇති බවය.

මේ අතර ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) පැය 05 කට අධික කාලයක් තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ ෴

++++++++++++

++++++++++++

06-11-2022

***************************************

‘ගැමුණු කණ්ඩුල’ අලියා පහර දීමෙන් ඇත් ගොව්වෙකු මරුට

(08.11.2022 – 13:11 +0530 – hirunews.lk/sinhala)

පින්නවල අලි අනාථාගාරයේ අලියෙකුගේ පහරදීමෙන් ඇත් ගොව්වෙකු අද (08) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කඩුවෙල – නවගමුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

‘ගැමුණු කණ්ඩුල’ නැමති අලියා විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඇත්ගොව්වා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මේ අතර ඊයේ (07) උඩවලව ඇත් අතුරු සෙවණේ වනඅලි රැඳවුම් මධ්‍යස්ථානයේදී හීලෑ අලියෙකු සිදුකළ පහරදීමකින් ද 22 හැවිරිදි එහි සේවකයෙකු මියගියා ෴

***************************************

සිංගප්පූරු මුහුදේ දී බේරා ගත් යාත්‍රාවේ සිටි තුන්සිය (300) දෙනා ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු

(08.11.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ දී අනතුරට ලක්ව බේරා ගත් යාත්‍රාවේ සිටි 303 දෙනා ශ්‍රී ලාංකිකයන් බවට හඳුනාගෙන තිබෙනවා.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ, එම යාත්‍රාවේ සිටි මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස ජපාන නෞකාවක් මගින් මේ වනවිට වියට්නාමය වෙත රැගෙන යමින් සිටින බවයි.

ඊයේ (07) දිනයේ දී අදාළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව අමතා තමන් රැඳී සිටින යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට දැනුම් දී තිබෙනවා.

පසු ව කොළඹ සමූද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් සිංගප්පූරුව, වියට්නාමය සහ පිලිපීනය යන රටවල් වෙත දැනුම් දීමෙන් පසුව යි මෙම යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස ඒ අසලින් ගමන් කරමින් තිබූ අදාළ ජපාන නෞකාවක් මගින් බේරා ගෙන ඇත්තේ.

මොවුන් මෙරට සිට වෙනත් රටවල් වෙත ගොස් මියන්මාරය සිට අදාළ යාත්‍රාවෙන් කැනඩාව දක්වා ගමන් කරමින් සිට ඇති බව සඳහන්.

අදාළ යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් යාත්‍රාව අතහැර ගොස් ඇති බව ද වාර්තා වනවා.

අප මේ පිලිබඳ වියට්නාමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු කියා සිටියේ, මෙම පිරිස වියට්නාමයට රැගෙන ඒමෙන් පසු ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි ෴

සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව මුදාගත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනා මේ වනවිට වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝමීටර 1800 ක් දුරින් පිහිටි වුන්ග් ටාඕ වරායට රැගෙනවිත් තිබෙනවා.

ඔවුන් ආපදාවට පත්ව සිටි යාත්‍රාවෙන් මුදාගෙන මෙලෙස එම වරායට රැගෙනවිත් ඇති බවයි ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය කියා සිටියේ ෴

++++++++++

***************************************

ලේ බැංකුවෙන් විශේෂ නිවේදනයක් – රුධිරය එකතු කිරීම අඩාල වීමේ අවදානමක්

(08.11.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala)

රෝගියකුට රුධිරය දීමට පෙර ඒඩ්ස්, එප්ටයිසීස් බී හා සී රෝගය පරීක්ෂා කරන එලයිසා කියන රසායනය තව ඇත්තේ, සතියකට පමණක් බව රුධිර පාරිවිලයන සේවයේ ජාතික අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මි එදිරිසිංහ පවසනවා.

එය යථාවත් කර ගැනීමට නො හැකි වුව හොත් බරපතළ අභියෝගයකට මුහුණ දීමට සිදු වන බව යි වෛද්‍යවරිය පවසන්නේ.

සැපයුම්කරු විසින් ඊට අදාළ සැපයුම් ලබා දීමට සහතික වී ඇතත් ඒ සඳහා විශාල මුදලක් ගෙවිය යුතු බවත් අධ්‍යක්ෂවරිය සඳහන් කරනවා.

මේ හේතුවෙන් රුධිරය එකතු කර ගැනීම ද යම් සීමාවකට ලක් වී ඇති බව සඳහන්.

මේ නිසා ඉදිරි සතියේ රුධිර කඳවුරු පැවැත්වීමේ දී රිධිර ධායකයන් 50 ක පමණ කුඩා කඳවුරු පමණක් සංවිධානය කරන ලෙස යි රුධිර පාරිවිලයන සේවය සඳහන් කරන්නේ ෴

***************************************

විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි

(08.11.2022 – 12:05 +0530 – sinhala.adaderana.lk)

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටින පුද්ගලයින් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිට වූ බව එමගින් දැනුම් දී ඇත.

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ ෴

***************************************

කල්ලි දෙකක් (2) එකතු වී කළ වැඩක් – CCTV සහිතයි

(08.11.2022 – 11:17 +0530 – sinhala.adaderana.lk)

මහ මඟ නවතා තිබෙන යතුරුපැදි සොරකම් කර, එම යතුරුපැදි කොටස් කර විකිණීම සම්බන්ධයෙන් සැකකරුවන් හයදෙනෙකු (6) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එම සැකකරුවන් කණ්ඩායම් දෙකක (2) සමාජිකයින් බවය.

එහිදී එක් කල්ලියක සාමාජිකයන් සිව්දෙනෙකු (4) සහ තවත් කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු (2) බොරලැස්ගමුව පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අතර ගරාජ් හිමිකරුවන් දෙදෙනෙක් (2) සහ මූල්‍ය සමාගමක සේවකයෙක් (1) ද සිටින බව වාර්තා වේ.

සැකකරුවන් සන්තකයේ තිබී යතුරුපැදි හතක් (7) පොලිස් භාරයට ගෙන තිබේ.

බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ ආයතනයක් ඉදිරිපිට නවතා තිබූ සිවිල් ඉංජිනේරුවෙකුට අයත් යතුරුපැදියක් සොරා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත් බව පොලීසිය පවසයි.

මෙම එක් කණ්ඩායමක සැකකරුවන් බස්නාහිර පළාතෙන් සොරකම් කරගන්නා යතුරුපැදි දකුණු පළාතෙහි ගැනුම්කරුවන්ට විකිණීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් බොරලැස්ගමුව, මිරිහාන, හක්මන සහ කිරින්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

***************************************

මිල්ලනියේ සිසුන්ට වධ හිංසා පැමිණ වූ විදුහල්පති හා පොලිස් නිලධාරින් රිමාන්ඩ්

(08.11.2022 – 18:50 +0530 – hirunews.lk/sinhala)

මිල්ලනිය ගුංගමුව කනිෂ්ට විද්‍යාලයේ සිසුන්ට වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාලව එම විදුහලේ විදුහල්පතිවරයා සහ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මගේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ විදුහලපතිවරයා සහ පොලිස් නිලධාරින් දෙදෙනෙක් (2) එළඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර අදාල සිද්ධියට සම්බන්ධ තවත් ගුරුවරයෙක් සහ පොලිස් නිලධාරියෙකුට ඇප ලබා දීමටත් කොළඹ ප්‍රධාන මගේස්ත්‍රාත්වරයා නියෝග කළා ෴

++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *