මාරක රිය අනතුරක්.. තිදෙනෙක් (3) මරුට.. 17 ක් රෝහලේ… තවත් බසයක් නූලෙන් බේරේ…

මාරක රිය අනතුරක්.. තිදෙනෙක් (3) මරුට.. 17 ක් රෝහලේ… තවත් බසයක් නූලෙන් බේරේ…

*********************************************

මාරක රිය අනතුරක්.. තිදෙනෙක් (3) මරුට.. 17 ක් රෝහලේ… තවත් බසයක් නූලෙන් බේරේ…

(05.11.2022 – 07:43 +0530 – lankacnews.com)

යාපනයේ සිට කොළඹ දක්වා ධාවකය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් අද (05) අලුයම වව්නියාව නොච්චිමොට්ටෙයි පාලමේ ගැටී පෙරලී යාම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් 03 දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

යාපනය සිට අධිසුඛෝපභෝගී බස් රථ දෙකක් (2) කොළඹ දෙසට එකට ධාවනය වී ඇති අතර එහිදී මුලින් ධාවනය වූ බස් රථය නොච්චිමොට්ටෙයි පාලම මතදී පාලමේ ගැටීමෙන් බස්රථය පෙරලී ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

එමෙන්ම පසුපසින් පැමිණි බස්රථයද ඉදිරියෙන් ගිය බස්රථය පෙරලී යාම හේතුවෙන් රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් මාර්ගයෙන් කැලෑබද ප්‍රදේශයට ධාවනය කොට අනතුර වලක්වා ගැනීමට සමත්ව ඇතැයිද එහි ගමන්ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවටද පොලීසිය පැවසීය.

ඉදිරියෙන් ගිය බස්රථයේ රියදුරුට නින්ද යාම හෝ අධික වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් පාලමේ ගැටී පෙරලී ගොස් ඇතැයිද පොලීසිය සැක පල කර සිටියි.

අනතුර හේතුවෙන් පෙරලී ගිය බස්රථයේ ගමන්ගත් රියදුරු ඇතුලු තිදෙනෙකු (3) එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර මගීන් 17 දෙනෙකුගෙන් පිරිමි 08 ක් සහ කාන්තාවන් 09 දෙනෙකු තුවාල ලබා ඇත.

මිය ගිය පිරිස් අවුරුදු 23 සහ 32 අතර වයස්හි පසුවන යාපනය වැල්වැටිතුරෙයි සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවටත් තුවාල කරුවන් වහාම වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇතැයිද පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

වන්නි රොමේෂ් මධුෂංඛ

***************************************

‘ණය ගෙවන්නේ නැතුව හැංගිලා ආතල් එකේ ඉන්න මිනිහෙක්…’ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාලක ගොඩහේවා

(05.11.2022 – 03:20 +0530 – lankacnews.com)

‘අපි ඉන්නේ හිම කන්දක නෙමෙයි. ගිනි කන්දක ඒ නිසා ගිනි කන්ද පුපුරන්න කලින් මේ ජනතාවත් අරන් ආරක්ෂිත තැනකට යන ක්‍රමය හොයාගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. එහෙම නොකොලොත් මේ සියල්ල ගිනි ගන්න දවස වැඩි ඈතක නෙමෙයි’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.

නාවල ‘නිදහස’ කාර්යාලයේදී පැවැත් වූ මාධ්‍ය සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය :

“ජනාධිපතිතුමා, මේ ලඟදි කියල තිබුනා ටයිටැනික් නැව හිම කන්දේ හැපිලා දැන් අපි ඉන්නේ හිම කන්දේ කියලා. මම නම් හිතන්නේ එතුමාට වැරදිලා. මට හිතෙන්නේ අපි දැන් ඉන්නේ තෙල් ඉවර වෙලා මූදෙ ගිලෙන සබ්මැරීන් එකක වගේ කියලා. සබ්මැරීන් එක ඇතුලේ තාම ඔක්සිජන් තියෙන නිසා ඇතුලේ ඉන්න අය හිතනවා ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි ලඟදිම ඔක්සිජන් ඉවර උනාම ඔක්කොම මැරෙනවා. මම පැහැදිලි කරන්නම් ඇයි මම මෙහෙම කියන්නේ කියලා. මේ අවුරුද්ද පටන් ගන්න කොට අපට තිබුණා ඩොලර් බිලියන 7 ක් විදේශ ණය ගෙවන්න. ඉන් ඩොලර් බිලියන 3 ගෙව්වට පස්සේ රට බංකොලොත් කියලා අපි ඉතුරු බිලියන 4 ගෙවන එක පැහැර හැරියා. දැන් අපි ඉන්නේ ‘ණය ගෙවන්නේ නැතුව හැංගිලා ඉන්න මිනිහෙකුගෙ’ ආතල් එකේ. හැබැයි හැමදාම ණය නොගෙවා ඉන්න බෑ; කවදා හරි ගෙවන්න වෙනවා. අපිට මේ වන විට නොගෙවූ විදේශ ණය තියෙනවා ඩොලර් බිලියන 49 විතර. ඕවා ගෙවන්න පටන් ගත්ත දාට අවුරුද්දකට ඩොලර් බිලියන 7 ක් විතර ගෙවන්න වෙනවා. IMF එකෙන් ඩොලර් බිලියන 2.9 ක් ණය ගත්තා කියලා මේ ණය ඩොලර් බිලියන 49 ගෙවන්න බෑ. ඒක ගෙවන්න නම් රට සංවර්ධනය කරන්න ඕනේ; සල්ලි හොයන්න ඕනේ. නමුත් දැන් රට සංවර්ධනය වෙනවද ? රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති විදියට රට පාලනය කරපු 2015-2019 කාලේ රටේ ආර්ථික සංවර්ධන වේගය 5% සිට 2.3% ට අඩු උනා. ඊට පස්සේ 2020 කොවිඩ් ඇවිත් සංවර්ධන වේගය ඍණ උනා. හැබැයි 2021 රටේ ආර්ථික සංවර්ධන වේගය 3.6% ට වැඩි උනා. දැන් කොහොමද ආර්ථික සංවර්ධනය ? මහ බැංකු වාර්තා අනුව 2022 පලමුවෙනි කාර්තු දෙක (2) ඉවර වෙන කොට රටේ සංවර්ධන වේගය -8.1% යි. දැන් පුරෝකතනය කරන විදියට අවුරුද්ද ඉවර වෙන කොට වර්ධන වේගය –8.4% වෙනවා. ඒ කියන්නේ ආර්ථිකය සංවර්ධනය වෙනවා වෙනුවට තවත් සංකෝචනය වෙලා. ඉතින් කොහොමද අපි ගොඩ එන්නේ. දැන් බලන්න අපිට තිබුන මූලිකම ගැටලුව පහුගිය කාලේ ඩොලර් හිඟය. තෙල්, ගෑස්, ඖෂධ ඔක්කොම නැති උනේ ඒ නිසා. දැන් කොහොමද අපිට ඩොලර් එන ප්‍රමාණය. 2020 අපට ඩොලර් බිලියන 7 ක විදේශ ප්‍රේෂණ ලැබුනා. මේ අවුරුද්දේ පලමු භාගය ඉවර වෙනකොට ලැබිලා තිබුනේ ඩොලර් බිලියන 1.6 යි. ඒ කියන්නේ මොනම විදියකින්වත් මේ අවුරුද්ද තුල අපට ඩොලර් බිලියන 3.5 කට වඩා විදේශ ප්‍රේෂණ ලැබෙයි කියලා හිතන්න බෑ. එතකොට සංචාරක ව්‍යාපාරය ? 2018 අපට ඩොලර් බිලියන 4.3 ක ආදායමක් තිබුනා. මේ අවුරුද්දේ මුළු ලෝකෙම සංචාරක ව්‍යාපාරය දියුණු වෙමින් තිබුනත් අපේ එහෙම වෙන්නේ නෑ. 2022 අපට ඩොලර් බිලියන 1.5 කට වඩා ආදායමක් ලැබෙන පාටක් නෑ දැන් යන විදියට. මොකද තව මාස දෙකයි (2) ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදියට ඉදිරියට අපේ ඩොලර් අර්බූදය තවත් දරුණු වෙනවා.

අපි විවේචනය කර කර ඉන්න කැමති පිරිසක් නෙමෙයි. අපි ප්‍රශ්ණ කියනවා වගේම හැම තිස්සේම විසඳුමත් කියනවා. මම කියන්න කැමතියි මේ වෙලාවේ රටේ ආර්ථිකය යලි සක්‍රීය කරගන්න නම් ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වෙන්න ඕන ක්ෂේත්‍ර 10 ක් ගැන.

  1. පළමු වැන්න බිඳ වැටුන ආර්ථිකය ගොඩ ගෙන යලි වේගවත් සංවර්ධන මාවතකට යොමු කිරීම සඳහා පෞද්ගලික ව්‍යවසායකත්වයට සහ වෙළඳපොල තරඟකාරීත්වය සඳහා උපරිම වශයෙන් ඉඩ ප්‍රස්ථා විවෘත කරන්න. තියෙන ව්‍යාපාරත් වසාදමන පරිසරය වෙනස් කරල අළුතින් ව්‍යාපාර පටන් ගන්න, තියෙන ව්‍යාපාර තවත් දියුණු කරගන්න ව්‍යවසායකයන් දිරි ගන්වන, තරඟකාරීත්වයට සැබෑ නිදහස ලැබෙන පරිසරයක් සෑදීමට ආණ්ඩුව පෙරමුණ ගන්න.
  2. දෙවෙනි එක රාජ්‍ය යාන්ත්‍රණය කාර්‍යක්ෂම කරන්න අත්‍යවශ්‍ය දෙයක් වන රාජ්‍ය ආයතන, දෙපාර්තුමේන්තු ඩිජිටල් කරණය වේගවත් කරන්න. ආන්ඩුව මේ පහසුකම් සපයන්නේ නැතුව ව්‍යාපාරිකයන්ව දිරිමත් කරන්න බෑ. දූෂණය හා වංචාව පාලනය කිරීමටත් ජාත්‍යන්තරව පිළිගත් හොඳම විසඳුමක් වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණයයි.
  3. රජය බදු එකතුකිරීම කරණ ප්‍රධාන ආයතන තුන වන ආදායම් බදු දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තුමේන්තුව හා රේගුව කාර්‍යක්ෂම හා දූෂණයෙන් තොර කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වහාම හඳුන්වා දෙන්න.
  4. කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා යන ක්ෂේත්‍ර තුනේම අපනයන ප්‍රවර්ධනයට වැඩි අවධානයක් දෙන්න. ශ්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනය සඳහා හොඳම අවස්ථාව පවතින්නේ ගෝලීය වෙළදපොල ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධන මූලෝපායන් තුළයි.
  5. ආයෝජන ප්‍රවර්ධනය රාජ්‍ය ප්‍රමුඛතාවක් කරගන්න. ඒ සඳහා තිබෙන ආකල්පමය, නීතිමය හා පරිපාලන බාධා හැකි ඉක්මනින් ඉවත් කරන්න කටයුතු කරන්න. විදේශ ආයෝජකයන්ව ලංකාවට ආකර්ශණය කර ගැනීමේදී මතුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ ලංකාවේ නිෂ්පාදනයන්ට ගෝලීය වෙළඳපොල තුල තරඟකාරී වීම සඳහා මග විවෘත කරනා ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ප්‍රමාණය ඉතා සීමිත වීමයි. ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න.
  6. රටට විශාල බරක් වී තිබෙන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කරන්න. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියා ලාබ ලබන ආයතන කුණු කොල්ලයට විකුණන එක වෙනුවට රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර, රාජ්‍ය ආයතන නිසි නියාමනයක් යටතේ කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් වලට යන්න.
  7. වසර 74 තිස්සේ අපේ රටේ ආර්ථිකය විනාශ කල දූෂණ හා වංචා දැන්වත් මර්ධනය කිරීමට රජයේ ප්‍රමුඛත්වයක් දෙන්න. දශක ගනනාවක් තිස්සේ අපේ ජනතාවගෙන් කොල්ලකෑ ධනය ආපසු ජනතාවට ලබා දෙන්න නීති සකස් කොට ඒවා ක්‍රියාත්මක කරන්න.
  8. කුඩා රටක් වන අපේ රටේ ඇති සීමිත ඉඩම් වලින් 80% පමණ තාමත් තියෙන්නේ රජය යටතේයි. මේ ඉඩම් පාරදෘශ්‍ය ක්‍රමවේදයකට රටේ සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීමට ක්‍රමවේදයක් සාදන්න.
  9. අපේ රටේ ව්‍යවසායකයන්ට ප්‍රාග්ධනය හා කාරක ප්‍රාග් ධනය සොයා ගැනීමට පහසු වෙන පරිදි අපේ ප්‍රාග්ධන වෙළඳපොල පුළුල් කිරීමට කටයුතු කරන්න.
  10. මුල්‍ය හා විනිමය අනුපාත ප්‍රතිපත්ති රටේ ආර්ථිකයට ඉතා වැදගත්. ඒ නිසා මේ ප්‍රතිපත්ති කලමණාකරණයේදී රටේ ආර්ථික සංවර්ධන අවශ්‍යතාවලට මුල්තැන දෙන්න. උදාහරණයක් වශයෙන් උද්ධමනය පාලනය කිරීමට අවශ්‍ය යැයි කියමින් හඳුන්වා දුන් ඉහළ පොලී අනුපාත ආර්ථිකයට හානිකර වීමට පටන්ගෙන තියෙනවා. 30% විතර අධික පොලියකට ණය අරන් කාටද ව්‍යාපාර කරන්න පුලුවන්. ඒ නිසා මේ පොලී අනුපාතයන් සාධාරණ මට්ටමකට අඩු කරන්න කටයුතු කරන්න.

ඉතින් අපි ආණ්ඩුවට කියනවා මේ කරුණු වලට අවධානය යොමු කරන්න කියලා. ජනාධිපතිතුමාට අපි මතක් කරනවා අපි ඉන්නේ හිම කන්දක නෙමෙයි; ගිනි කන්දක කියලා. ඒ නිසා ගිනි කන්ද පුපුරන්න කලින් මේ ජනතාවත් අරන් ආරක්ෂිත තැනකට යන ක්‍රමය හොයාගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. එහෙම නොකොලොත් මේ සියල්ල ගිනි ගන්න දවස වැඩි ඈතක නෙමෙයි ෴

***************************************

පේෂල + පූර්ණිකාට නිවසක් හදාගන්න තිලිණි ප්‍රියමාලි ලබාදුන් රුපියල් කෝටි එකහමාරක මුදල ගැන ප්‍රශ්න කෙරේ

(05.11.2022 – gossiplankanews.com)

මේ වනවිට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි සමග සමීප ඇසුරක් පැවැත්වූ කලාකරුවන් හා ඔවුන් සමග අදාළ වංචාවන්ට අදාළව තිළිණි ප්‍රියමාලි සිදුකළ කටයුතු ගැන විමර්ශන සිදුවේ.

තිලිණි ප්‍රියමාලි තමන්ගෙ ව්‍යාපාර ජාලයේ පැවැත්ම සඳහා කලාකරුවන් හා දේශපාලකයින් සමග සමීප ඇසුරක් පවත්වා තිබූ අතර මේ නිසා ඇය හා සම්බන්ධවූ අය සියලු දෙනා ඇයගේ වංචාවන් දැන සිටියාද යන ගැටලුව පැනනැගී ඇත.

ඇතැමුන්ට ඇය තවත් චිත්‍රපට නිෂ්පාදිකාවක පමණක් වූ අතර ගෙවන මුදලට අදාළ කටයුතු වලට දායකවූ අයයි.

තවත් සමහර අය ඇයගේ හිතවත්කම මත ඇතැම් අකටයුතුකම් උදව් ලෙස ඇයට ඉටු කර දී තිබූ අයයි. ඇතැම් කලාකරුවන්ව තිලිණි උපයාශීලී ලෙස භාවිත කළ අතර ව්‍යාපාරිකයින් ‘බ්ලැක්මේල්’ කරවීම වැනි කටයුතු සඳහා දායකකරගෙන තිබුණි.

මේ හේතුවෙන් තිලිණි සමග කලාකරුවන් සිදු කළ කටයුතු දැනුවත් වංචාවන් මෙන්ම නොදැනුවත් වංචාවන් ලෙස දෙආකාරයට හඳුනාගන්නට ලැබී ඇතැයි මේ ගැන පරීක්ෂණ පවත්වන නිලධාරීන් සඳහන් කර තිබේ.

දෙරණ නාලිකාවෙහි ප්‍රකට නිවේදක පේෂල මනෝජ් හා දෙරණේ මින් ඉහත සේවය කළ පූර්ණිකා පීරිස් ද තිලිණි ප්‍රියමාලි සමග සමීපව ඇසුරු කර තිබූ අතර ඔවුන් දෙන්නා ඇය පැවැත්වූ බොහෝ උත්සව වලටද අමුත්තන් ලෙස එක්වූ අයයි. එසේම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිලිණිගේ කාර්යාලයේ හදිසි කැඳවීමක් පවත්වා පූර්ණිකා පුදුමකරවන ඇගේ උපන්දින සැමරුම මෙම වසර මුලදී පවත්වා තිබුනේද තිලිණි ප්‍රියමාලියි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල දී තිළිණි ප්‍රියමාලි වංචනික ලෙස උපයාගත් බව කියන රුපියල් කෝටි එකහමාරක (1,50,00,000) මුදලක් මෙම ජනප්‍රිය නිවේදක අඹුසැමි යුවළට ලබාදී ඇති බව අනාවරණය කරගෙන තිබේ.

ඔවුන්ට නිවසක් සෑදීම පිණිස මෙම මුදල් ඇය ලබාදුන් බව පැවසේ. එම මුදල් ලබාගත්තේ හිතවත්කම මත උපකාරයක් ලෙස පමණක්ද නැතිනම් ඒ වෙනුවෙන් යමක් ඉටු කරගැනීමටද? මුදල් අයථා ලෙස උපයාගත් ඒවා බව දැන සිටියාද ආදී ප්‍රශ්න ඔවුන් වෙත යොමු කර තිබූ අතර මෙම නිවේදක අඹුසැමි යුවළගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බවත් සාක්ෂි අධිකරණයේදී ගොනු කරන්නට කටයුතු කරන බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

තිළිණි ප්‍රියමාලි සමග ගනුදෙනු කළ තවත් රංගන ශිල්පිනියක, මෝස්තර නිරූපිකාවන් පහක් (5) ඇතුළු 6 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

තිලිනි ප්‍රියමාලිගේ WTC ඔෆිස් එකේ 2022 අප්‍රෙල් මාසේ පැවති පූර්ණිකා පීරිස්ගේ උපන් දින සාදය (සේයාරූ 62 ක්)

++++++++++

ප්‍රියමාලි රු. ලක්ෂ තුන්සිය පනහේ (350) චෙක්පතක් දුන්නත් – ගිණුමේ තිබුණේ රු. 35,000 යි

(05.11.2022 – 19:35 +0530 – hirunews.lk/sinhala)

තිලිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචා සඳහා ආධාර සහ අනුබල ලබාදීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනූ ලැබූ ජානකී සිරිවර්ධන, ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලු‍ත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (05) නියෝග කළා.

ඒ, සැකකාරිය අලු‍ත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (05) පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

බරපතල මූල්‍ය වංචා චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ වංචාවන් සඳහා ආධාර, අනුබල ලබාදීමේ චෝදනා යටතේ ‘රිට්ස් කාල්ටන්’ සමාගමේ විධායක අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කරන ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (04) අත්අඩංගුවට ගත්තා.

ඒ, කොළඹ කොටුවේ පිහිටි ‘රිට්ස් කාල්ටන්’ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදීයි.

අනතුරුව ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ඊයේ (04) රාත්‍රිය වන තුරුම ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව සැකකාර ජානකී සිරිවර්ධන, අද (05) අලු‍ත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය ගනුදෙනු වංචනික අයුරින් සිදුකිරීම සඳහා ඍජුවම ජානකී සිරිවර්ධන මැදිහත් වී ඇති අතර, දුරකථන සංවාද පරීක්ෂා කිරීමේදී ඒ පිළිබඳව අනාවරණය වන බවයි.

ඇයගේ ආයතනයට ඉන්දියාවෙන්ද මුදල් ලැබී ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කළා.

ඇයගේ ආයතනයේ සේවකයන්ට මාසිකව රුපියල් ලක්ෂ 50 කට අධික වැටුප් ලබාදී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ඒ සඳහා මුදල් ලැබී තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි.

මෙහිදී සැකකාර ජානකී සිරිවර්ධන වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ සිය සේවාදායිකාව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින්නේ මාධ්‍ය බවත්, මේ සම්බන්ධයෙන් කටයුතු මාධ්‍යයට මෙහෙයවීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.

සාක්ෂිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් නානායක්කාර එහිදී ප්‍රකාශ කළේ මාධ්‍යකරණයේ වගකීම ලෙස සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන පාර්ශ්වයන්ට ‘වෙඩි තැබීම්’ සිදුනොකළ යුතු බවයි.

කරුණු සලකා බැලූ අලු‍ත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අවධාරණය කළේ සැකකාර ජානකී සිරිවර්ධනයට ඇප ලබාදීමෙන් සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට බලපෑම් එල්ල විය හැකි බවයි.

ඒ අනුව සැකකාර ජානකී සිරිවර්ධන ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මේ අතර, තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන විසින් ‘ගාල්ලේ රත්තරන්’ හෙවත් ‘ක්‍රිෂාන්ත පුෂ්පකුමාර’ට ලබා දුන් මුදල් සම්බන්ධයෙන් වන හඬපටයක් මේ වනවිට මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා.

ඒ අනුව, එම චෝදනා සම්බන්ධයෙන් අප ගාල්ල – බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ කපුමහතා වන ‘ගාල්ලේ රත්තරන්’ හෙවත් ‘ක්‍රිෂාන්ත පුෂ්පකුමාර’ ගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ තිලිණි ප්‍රියමාලි එවැනි චෙක්පතක් ලබාදුන්න ද එය ලබා ගැනීමට ගිය අවස්ථාවේ අදාළ ගිණුමේ තිබී ඇත්තේ රුපියල් 35,000 ක මුදලක් පමණක් බවයි ෴

+++++++++++

11-10-2022

+++++++++++

තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙන්නා ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර සමග සිදු කළ කටයුතු ගැන අධිකරණයේදී කරුණු හෙළිව තිබේ.

දකුණු පළාත්සභා හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යනු වෘත්තියෙන් කට්ටඩියෙකි.

ඔහු 16 හැවිරිදි පාසල් දැරියක දූෂණයට ලක්කිරීම නිසා අත්අඩංගුවට පත්වූ අයෙකි. පසුව රංචු ගැසී චින ජාතික කාන්තාවක් දුෂණය කළැයි ද ඔහු චෝදනාවකට ලක්වූ අතර පසුව ස්ත්‍රී දූෂණ චෝදනා නිසා ඇතිවූ අපකීර්තිය නිසා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මන්ත්‍රී ධූරෙයන් ඉවත්වූයේ 2019 මාර්තු මාසයේය.

ඔහුට ලබා දුන් මුදල් සම්බන්ධයෙන් වන හඬපටයක් මේ වනවිට මාධ්‍ය හරහා ප්‍රචාරය වෙයි.

gossiplankanews.com

+++++++++++

ප්‍රියමාලිගේ මූල්‍ය වංචාව ගැන ජානකීගෙන් තවත් තොරතුරු

(05.11.2022 – 19:23 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවට ගත් ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (05) නියෝග කළාය.

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිට ආධාර අනුබලදීමේ චෝදනා මත ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) අත්අඩංගුවට ගත්තේය.

පසුව තිළිණි ප්‍රියමාලි සිදුකළ මූල්‍ය වංචා 2 ක් සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධනගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව අද (05) අලුත්කඩේ අංක 3 මහෙස්ත්‍රාත් අධිකරණය වෙන ඉදිරිපත් කළේය.

එහිදී ඇයව අධිකරණය වෙත රැගෙන ආවේ මාංචු සහිතවය.

අතිරේක මහෙස්ත්‍රාත් ශිලනී ‍පෙරේරා හමුවේ නඩුව කැඳවූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, තිළිණි ප්‍රියමාලි සිදුකළ බව කියන රුපියල් මිලියන 226 ක හා රුපියල් මිලියන 80 ක මූල්‍ය වංචා 2 කට අදාළව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධනව අත්අඩංගුවට ගත් බවය.

තිළිණි ප්‍රියමාලි වංචා කළ බව කියන රුපියල් මිලියන 226 ක මුදල, පැමිණිලිකරු විසින් ඇය හමුවේ ආයෝජනය කිරීමට පූර්ණ වශයෙන් පොළඹවා ඇත්තේ ජානකී සිරිවර්ධන විසින් බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

සැකකාරිය විසින් පැමිණිලිකරුට පවසා ඇත්තේ තිළිණි ප්‍රියමාලි හමුවේ මුදල් ආයෝජනය කර ඉන් ප්‍රතිලාභ ලබාගත හැකි බවය.

එමෙන්ම තිළිණි ප්‍රියමාලිට ලැබී ඇති මුදල්වලින් මිලියන 80 ක් පමණ ලබාදී ඇත්තේ ජානකී සිරිවර්ධන අධ්‍යක්ෂ ධූරය දරන ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ කාර්යාලයේදීය.

ඒ අතරින් මුදල් කොටසක් ජානකී සිරිවර්ධනට ලැබී ඇති බවත් ඉන් රුපියල් මිලියන 80 ක් සහ රුපියල් මිලියන 55 ක් පුද්ගලයන් දෙදෙනෙකුට ලබාදී ඇති බවත් මෙහිදී අනාවරණ විය.

එහිදී විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ එම මුදලින් රුපියල් මිලියන 80 ක මුදලක් ශාන්තිකර්මයක් සඳහා කට්ටඩියෙකුට ලබාදී ඇති බවය.

එමෙන්ම තිළිණි ප්‍රියමාලි ලබාදුන් මුදල් ජානකී සිරිවර්ධන ඇයගේ පෞද්ගලික පරිහරණය සඳහා ද යොදවා ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

තිළිණි ප්‍රියමාලිගේ දුරකථනය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබූ හඬපටවලින් ජානකී සිරිවර්ධන මුදල් ලබාගෙන ඇති බව තහවුරුවන බවත් අධිකරණය හමුවේ අනාවරණ විය.

මේ අතර, තවත් රුපියල් මිලියන 5 ක මුදලක් පැමිණිලිකරුවකුගේ නිවසට ගොස් සැකකාරිය විසින් ලබාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේය.

ඔවුන් පැවසුවේ පැමිණිලිකරුවන් මුලාකිරීම පූර්ණ ලෙසම සැකකාරිය විසින් සිදුකර ඇති බවය.

ජානකී සිරිවර්ධන විසින් තිළිණි ප්‍රියමාලිට පැමිණිලිකරුවන් හඳන්වාදීම පමණක් නොව ඇයගේ මුදල් ද පරිහරණය කර තිබේ.

ජානකී සිරිවර්ධන අධ්‍යක්ෂ ධූරය දරන ආයතනයට මුදල් ඉන්දියාවෙන් ලැබෙන බවත් පසුගිය කාලය පුරාම ඊට ඉන්දියාවෙන් මුදල් නොලැබී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

එමෙන්ම එහි සේවකයන්ට මසකට වැටුප් සඳහා රුපියල් ලක්ෂ 50 ක මුදලක් වැය වන බවද අනාවරණය වී තිබේ.

ඒ අනුව, ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා ජානකී සිරිවර්ධන තමන්ට ලැබුණු මුදල් යෙදවූවා ද යන්න පිළිබඳව සැකයක් පවතින බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

රුපියල් මිලියන 80 ක් කට්ටඩියෙකුට ලබාදීමත් රුපියල් මිලියන 55 වෙනත් පුද්ගලයෙකුට ලබාදීමත් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකෙරෙන බැවින් සැකකාරියට ඇප ලබා නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම සැකකාරියට ඇප ලබාදීමක් සිදුකළොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැයි බව ද ඔවුන් පැවසීය.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා සැකකාර ජානකී සිරිවර්ධනව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළාය.

තිළිණි ප්‍රියමාලි හා ජානකී සිරිවර්ධන එකම බන්ධනාගාරයක නොතබන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීම අධිකරණය මෙහිදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.

***************************************

01-11-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *