මැලේසියාවේ රැකියා දෙන බව පවසා මිනිසුන් රැවටූ හොරා

මැලේසියාවේ රැකියා දෙන බව පවසා මිනිසුන් රැවටූ හොරා

*********************************************

මැලේසියාවේ රැකියා දෙන බව පවසා මිනිසුන් රැවටූ හොරා

(30.10.2022 – 14:54 +0530 – hirunews.lk/sinhala)

මැලේසියාවේ රැකියා දෙන බව පවසමින් තරුණ තරුණියන් 300 දෙනෙකුගෙන් පමණ මුදල් වංචා කළ පුද්ගලයෙකු තලංගම පොලිසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, එම වංචාවට හසු වූ පිරිස කළ පැමිණිල්ලකට අනුවයි.

මෙම ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇත්තේ, බත්තරමුල්ල රජමල්වත්ත ප්‍රදේශයේයි.

මැලේසියාවේ රැකියා දෙන බව පවසමින්, අජිත් කුමාර වික්‍රමසිංහ නමැති මෙම පුද්ගලයා දිවයින පුරා තරුණ තරුණියන් 180 දෙනෙකුගෙන් පමණ, රුපියල් 151,000 බැගින් සහ සෙසු පිරිසගෙන් රුපියල් 6,000 බැගින් ලබාගෙන තිබෙනවා.

මුදල් ලබා දී මාස කිහිපයක් ගතවුවත්, රැකියා ලබා නොදීම සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත තරුණයින් පිරිසක් පසුගිය 26 වැනිදා රාත්‍රියේ මෙම විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණ ඒ පිළිබඳව විමසූ විට එහි හිමිකරු විවිධ ප්‍රකාශ කරමින්, තමන් රැවටීමට උත්සාහ ගත් බව, එම තරුණයින් ප්‍රකාශ කළා.

ඒ අනුව, ඔවුන් ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසියට කළ පැමිණිල්ලක් මත අජිත් කුමාර වික්‍රමසිංහ නමැති සැකකරු අත්අඩංගුවට ගැනුණා.

ඔහු ඒ වනවිටත් රුසියාවට යාමට අවශ්‍ය වීසා ලබා ගෙන තිබූ බවයි එම තරුණයින් පැවසුවේ.

තලංගම පොලිසිය, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

https://www.youtube.com/watch?v=TZ6nMYXF5rk#t=5

***************************************

යාල සිද්ධියට අත්අඩංගුවට ගත් ඇමති අමරවීරගේ ඥාති පුත්‍රයාට ඇප

(30.10.2022 – 13:59 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා යාල වනෝද්‍යානයට ඇතුලු වූ පිරිසක් නීතිවිරෝධී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීරගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඔහු රුපියල් ලක්ෂ පහක (5) ශරීර ඇපයක් මත මුදාහැර ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය 22 වන සෙනසුරාදා සංවේදී පරිසර කලාපයක් සහිත යාල ජාතික වනෝද්‍යානයට සුඛෝපභෝගී ජීප් රථ සහ කැබ්රථවලින් පැමිණි පිරිසක් මෙලෙස වන සතුන්ට හිරිහැර වන ලෙස නොහික්මුණු ආකාරයෙන් හැසිරීමේ සිද්ධියක් වාර්තාවුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් ද සංසරණය වූ අතර, ඉන් අනතුරුවයි මේ පිළිබඳව කථාබහක් ඇතිවුණේ.

පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කෙරුණු අතර, එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටය මෙන්ම යාල වනෝද්‍යානයේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කෙරුණා.

එම නිරීක්ෂණයේ දී අනාවරණ වූ අදාළ කැබ් රථ සහ ජීප් රථවල අංක තහඩු ඔස්සේ ඒවායේ හිමිකරුවන් තහවුරු කරගත් අතර, පැමිණ සිටි පිරිසෙන් 9 දෙනෙකු ද හඳුනාගත්තා.

ඒ අනුවයි මීට පෙර එම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ.

නීතියට අනුව වනෝද්‍යානයක් තුළ රිසි සේ හැසිරීමට අවසර නොමැති අතර, සළකුණු කර ඇති මාර්ග හැරුණු විට වෙනත් මාර්ගවල රිය ධාවනයටද අවසර නැහැ.

එමෙන්ම තමන්ට අවශ්‍ය පරිදි උද්‍යානයේ පයින් ඇවිද යාමට ද නීතිය මගින් ඉඩ සළසා නැහැ.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගත් පිරිස එම සියලු නීතිරීති උල්ලංඝනය කර තිබුණා.

පසුව ජනාධිපතිවරයාද සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝග කළ අතර, කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරද පරීක්ෂණයක් පවත්වන ලෙස උපදෙස් ලබාදී තිබුණා.

එම කාලසීමාව තුළ ප්‍රභූ පුත්‍රයෙකු පිළිබඳව සංවාදයක් ඇතිවූ අතර, සනාථ කළ හැකි තොරතුරු කිසිවක් ඉදිරිපත්ව තිබුණේ නැහැ.

කෙසේ වෙතත් පසුව තවදුරටත් සිදුකළ සී.සී.ටී.වී නිරීක්ෂණයන්හිදී අමරවීර අමාත්‍යවරයාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා එම දර්ශනවල සිටින අයුරු නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුවයි උද්‍යායන පරිපාලනය විසින් මේ පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම්දි ඇත්තේ.

එහිදී අමාත්‍යවරයා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

පසුව වනජීවී නිලධාරීන් හමුවට අදාළ ඥාති පුත්‍රයා යොමු කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබුණා.

ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඇමති ඥාති පුත්‍රයා අනතුරුව මෙලෙස ඇප මත මුදාහැර ඇති බවටයි වාර්තාවන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගෙන් විමසීමක් කිරීමට උත්සාහ කළ ද ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකිවූයේ මහජන දිනයට සහභාගි වී සිටීම හේතුවෙන්.

***************************************

වෙඩි වැදුණු තිහගොඩ සිසුවාට ලයිසන් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

(30.10.2022 – 14:42 +0530 – hirunews.lk/sinhala)

මාතර, තිහගොඩ දී 15 හැවිරිදි දරුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වීමේ සිද්ධියේ දී එම දරුවන් ත්‍රිරෝද රථය පදවා තිබුණේ රියැදුරු බලපත්‍රයක්
නොමැතිව බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

මේ අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කළේ සිද්ධියට අදාළව තම කොමිසමේ මාතර කාර්යාලය පවත්වන පරීක්ෂණයේ ප්‍රතිඵල ඉදිරියේදී මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයට යොමු කිරිමට නියමිත බවයි.

මාතර, තිහගොඩදී 15 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වීම පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයින් ඊයේ එම ප්‍රදේශයට පැමිණියා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතර ප්‍රාදේශීය කාර්යාලය මගින් සිදුකෙරෙන අතර, පරීක්ෂණයේ ප්‍රතිඵල සුදුසු නිර්දේශ යොමු කිරිම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය වෙත යොමුකිරීමට නියමිත බවයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද අදහස් පළකළා.

++++++++

***************************************

ව්‍යාජ මුද්‍රණාල දෙකක් (2) පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(30.10.2022 – 10:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 07 වෝඩ් පෙදෙසේ ව්‍යාජ මුද්‍රණාල දෙකක් (2) පවත්වාගෙන යමින් කූඨ ලේඛන සකස් කර අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මතයි ඊයේ (29) මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙහි තිබී උප්පැන්න සහතික, ග්‍රාමසේවා සහතික, විවෘත විශ්වවිද්‍යාල සහතික, ශිෂ්‍ය කාර්ය දර්ශක, ජල බිල්පත්, බැංකු පාස් පොත් ඇතුලු ව්‍යාජ ලේඛන තොගයක් සොයාගෙන තිබෙනවා ෴

***************************************

හිටපු නියෝජ්‍ය ඇමති තීරු බදු නොමැතිව ගෙන්වූ ජිප් රථය පොලිස් භාරයට

(30.10.2022 – 22:47 +0530 – hirunews.lk/sinhala)

නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජීප් රථයක් ගාල්ල නගරයේදී පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරකයේ නිලධාරීන් භාරයට ගත්තා.

එය පදවමින් සිට ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂකයකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවත්, ජීප් රථයේ ලියාපදිංචි අංකය ලෙස ප්‍රදර්ශනය කර තිබුණේ මෝටර් රථයක ලියාපදිංචි අංකයක් බවට අනාවරණ වූ බවත් පොලීසිය පැවසුවා.

අද (30) සවස ජිප් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි කරාපිටිය ප්‍රදේශයේදී සැක කටයුතු ජිප් රථයක් පරීක්ෂාවට ලක්කර තිබුණේ.

එහිදී ජිප් රථයේ තිබී මත්ද්‍රව්‍ය හෝ වෙනත් සැක කටයුතු කිසිවක් හමුවී තිබුණේ නැහැ.

වැඩිදුර සිදු කළ පරීක්ෂාවේදී හෙළිවී තිබුනේ මෙම ජිප් රථය නීති විරෝධී ලෙස එකලස් කරන ලද රථයක් බවටයි.

අනතුරුව මෙය නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද රථයක් ද යන්න අනාවරණ කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

රථය ධාවනය කරමින් සිටි පොලිස් නිලධාරියා ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන 36 හැවිරිදි අයෙක් බව සඳහන්. සැකකරු හෙට (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++++++++

***************************************

තිලිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ 750 ක තොවිලයක් නටලා

(31.10.2022 – 09:43 +0530 – aruna.lk)

ප්‍රකෝටිපතියන් රවටා රුපියල් බිලියන ගණනාවක් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ 750 ක් වැය කරමින් කොළඹදී තොවිල් ශාන්ති කර්මයක් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ. අපල දුරුකර ව්‍යාපාර දියුණුව සඳහා කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාර ගොඩනැගිල්ලක් තුළදී රහසිගතව පවත්වන ලද එම ශාන්තිකර්මය සඳහා ගාල්ල ප්‍රදේශයේ යකැදුරෙකුගේ සේවය ලබාගෙන තිබෙන බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම ශාන්තිකර්මය සඳහා තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාර හවුල්කාරියක්, සමීපතයන් කිහිපදෙනෙකු සහ තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන් කිහිපදෙනෙක් සහභාගි වී තිබෙන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, භික්ෂුන් වහන්සේලාගෙන් ලබාගත් මුදල් වියදම් කරමින් අදාළ තොවිල් ශාන්තිකර්මය පවත්වා තිබෙන බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ​තොරතුරු ලැබී තිබේ.

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් ඒකක 6 ක් යටතේ පුළුල් විමර්ශනයක් සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ජනප්‍රිය නිළියන් දෙදෙනකු (2) ගෙන්, ප්‍රවීණ නිළියකගෙන් සහ නිළියක් මෙන්ම රූපවාහිනි නිවේදිකාවකගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

තිලිණි ප්‍රියමාලිගේ වංචාවට ආධාර අනුබල දී ඇතැයි පැවැසෙන තිකෝ සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් ක​ළේය.

නමුත් ප්‍රකාශ සටහන් කිරීමට අත්‍යවශ්‍ය තිකෝ සමූහ ව්‍යාපාරයේ කාර්යය මණ්ඩල​යේ කිහිපදෙනෙකු මේ වනතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීම මගහරිමින් සිටින බවද වාර්තා වෙයි ෴

++++++++++

අසභ්‍ය හඬ පට ඇවිලෙයි.. සේමිණි රහස් පොලිසියට කැදවා ප‍්‍රශ්ණ කරයි..

(31.10.2022 – 09:20 +0530 – lankacnews.com)

ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හතරකට (4) ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

(hirunews.lk)

ඒ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ය.

තිළිණි ප‍්‍රියමාලි විසින් ඇයට ලබාදී තිබිණි තිබූ මුදල් ප්‍රමාණය සහ ඇය සමඟ තිබූ සම්බන්ධතාවය මෙන්ම හඬ පට කිහිපයක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් මෙසේ ප්‍රශ්න කර ඇත.

නමුත් සේමිණි ඉද්දමල්ගොඩ විසින් ගණුදෙනු හා හඬ පට ‍ප‍්‍රතික්ෂේප කිරීමකට කටයුතු කර ඇතැයි ද වාර්තා වෙයි.

ඇය රහස් පොලිසිය හමුවට පැමිණ තිබුණේ ඇගේ සැමියා වන පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ප්‍රධාන පරීක්ෂකයෙකු ද සමගිනි.

මේ අතර තවත් නිරූපිකාවක් හා නිවේදිකාවකට ප‍්‍රකාශ ලබාදීම සඳහා රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි ෴

++++++++++

ප්‍රියමාලිගේ දැලේ තෝරු මෝරු හිරවෙලා

(30.10.2022 – 08:00 +0530 – deshaya.lk)

තිළිණි ප්‍රියමාලි නැමැති මූල්‍ය ජාවාරම්කාරියගේ වගතුග මාධ්‍ය ඔස්සේ විවිධාකාරයෙන් වාර්තා වෙයි. දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ බැට කන ජනතාවට මේ කතන්දර නම් අස්වැසිල්ලක් වැනිය. රටේ කඩා වැටෙන ආර්ථිකයත් ආණ්ඩුවේ නොහැකියාවත් දින කිහිපයකට හෝ යටපත් කරන්නට තිළිණි ප්‍රියමාලි කතාව ප්‍රමාණවත්ය. දේශපාලන පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ ජාවාරම්කාරිය පිළිබඳව කතාකරනු දකින්නට ලැබිණ. ඒ රටේ ජනතාවගේ දුක බඩගින්නට වඩා ඇයගේ ගනුදෙනුකරුවන් වූ දේශපාලුවන්ගේ හා හිතවතුන්ගේ සබඳතා හේතුවෙන් බව නම් පැහැදිලිය.

කුප්‍රකට මූල්‍ය වංචාකාරියක් ලෙස චෝදනා ලද තිළිණි ප්‍රියමාලි කළු සල්ලි සුදු කිරීමේ පෙරමුණ ගත් ව්‍යාපාරිකාවකි. මෙරට මහා පරිමාණ ව්‍යාපාර හා ජාවාරම් හොබවන ආර්ථිකයේ ඔස්තාර්ලා සතු රුපියල් කෝටි ගණනක කළු සල්ලි තිළිණි ප්‍රියමාලි හරහා සුදු සල්ලි කරගන්නට ක්‍රියාකර ඇතැයි සැක කෙරේ. හොරුන්ගෙත් හොරු කම්බ හොරු යැයි කියමන තිළිණි ප්‍රියමාලිට කොටුවූවන්ට මෙන්ම තිළිණිටත් මනාව ගැලපේ.

කොළඹ කොටුවේ WTC හෙවත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ 34 වැනි මහලේ නවීන පහසුකම් සහිත කාර්යාලයක් පවත්වාගෙන යමින් ප්‍රසිද්ධියේ මැය රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සිදුකර තිබේ. තිකෝ සමූහ ව්‍යාපාරය නමින් සමාගමක් පවත්වාගෙන යමින් ඒ ඔස්සේ ආයෝජනය කරන මුදලට වැඩි පොලියක් ලබාදෙන බව කියමින් ප්‍රධාන වශයෙන් ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්, ආගමික නායකයන් ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ රුපියල් කෝටි ගණනින් වංචාකර තිබෙන මැයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කොට තිබිණ.

තිළිණි ප්‍රියමාලිට එරෙහි පළමු පැමිණිල්ල යොමුකර තිබුණේ රුපියල් මිලියන 226 කට අදාළවය. ඒ කොළඹ ගාලු මුවදොර පදිංචි අබ්දුල් සත්තාර් නැමැත්තකු විසිනි. දෙවැනි පැමිණිල්ල සිදුකර තිබුණේ අබ්දුල් හසන් කමල් හසන් නැමැත්තකු විසිනි. ඒ ඇමෙරිකානු ඩොලර් 60,000 ක් හා ඕස්ට්‍රේලියානු ඩොලර් 100,000 ක් හා කිලෝවක් බර රන් ආභරණ තොගයක් සම්බන්ධයෙනි.

මේ පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් ආරම්භ කර තිබුණි. විමර්ශනයේදී අනාවරණය වූයේ වසා දමන ලද ගිණුමක් හරහා තිළිණි ප්‍රියමාලි ඇතැම් අයට අගරු චෙක්පත් නිකුත් කර ඇති බවය. ඒ අනුව තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට පත්වූයේ දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389, 403 යන වගන්ති යටතේ වරදවල් සිදුකර තිබීම හේතුවෙනි.

අනතුරුව සැකකාර තිළිණි ප්‍රියමාලි අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ පසුවද විමර්ශන සිදු කෙරෙමින් තිබියදී ඇයට මුදල් ලබාදුන්නා යැයි කියන පුද්ගලයන් 12 දෙනකුගෙන් ලැබුණු පැමිණිලිවලට අදාළව රුපියල් කෝටි 128 කට අධික මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

විමර්ශනය අතරතුර තිළිණි ප්‍රියමාලිට අයත් බව කියන රන් පවුම් 30 ක් සමග රුපියල් ලක්ෂ 30 ක් සොයාගන තිබුණේ ගම්පහ ප්‍රදේශයේ නිවසක තිබියදීය. ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ කාර්යාලය පවත්වාගන යමින් එම ස්ථානයට හා සේවක පිරිසේ වැටුප් සඳහා මාසයකට රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් ගෙවා තිබෙන බවද වාර්තාවේ.

මේ අතර තිළිණි ප්‍රියමාලිට එරෙහි විමර්ශන සිදුකෙරෙන අතරතුර එම පරීක්ෂණවලට පොලීසියට දැඩි දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බව විශ්වාස කටයුතු පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම කූඨ ව්‍යාපාරික කාන්තාව රටේ ප්‍රබල දේශපාලනඥයන්, ඔවුන්ගේ ඥාති හිතවතුන්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ධනවතුන් හා ඔවුන්ගේ සමීපතමයන් මෙන්ම කලාකරුවන් රුසක් සමඟ ළඟින් ඇසුරු කර ඇත. ඒ බවට සාක්ෂි දරන ඡායාරෑප හා වීඩියෝ දර්ශන රැසක්ද දකින්නට හැකිය.

ඇය ඇසුරු කළ බලවතුන්ට අමතරව පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන්ද සිටින බව නොරහසකි. මේ හේතුවෙන් රටේ ආරක්ෂක අංශයේ ඉහළම තනතුරක සිටින හා පොලීසියේ ඉහළ පුටුවල සිටින නිලධාරීන් කිහිප දෙනකු මගින්ද විමර්ශන සඳහා බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු පිරිසක්, ආණ්ඩුකාරවරු හා රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් කිහිප පොළක්ද තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ ජාවාරමට හසුව සිටිති. මොවුන් අතරින් ඇතැමුන් තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සබඳතා පවත්වා ඇති නිසා විමර්ශන සඳහා බාධා කරන බව දැනගන්නට තිබේ. එසේ විමර්ශන අඩාල කිරීමට සූදානමක් ඇත්තේ තිළිණි ප්‍රියමාලිගේ දුරකතනය හා විද්‍යාත්මක සාක්ෂි සාධක පදනම් කොටගෙන සිදුකළ විමර්ශනවලදී ඉහත කී ප්‍රධානීන් ගණනාවකගේ හඬපට සහ නම් හෙළිදරව් වී ඇති බැවිනි.

මෙම විමර්ශන සඳහා වැඩිදුර උපදෙස් ලබාගැනීමට පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත කරුණු වාර්තා කොට ඇත. මේ අයුරින් විමර්ශන සිදුවූ පසුව ඉහත කී ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් හා ඉහළ නිලධාරීන්ගේ නම් වතගොත හෙළිදරව් වන නිසා එය වළක්වනු පිණිස මොවුන් උත්සාහ දරමින් සිටිති. මේ සඳහා ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරක්ෂක අංශයේ ප්‍රබලම සාමාජිකයකු වෙතින් දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බවද වාර්තා වේ. මේ අතර එම දේශපාලනඥයන් තිළිණි ප්‍රියමාලි හමුවේ ආයෝජනය කළ මුදල් නිසා මුදල් විශුද්ධිකරණ චෝදනාවට ලක්වෙතැයි බියෙන් පසුවන බවත් ඒ නිසා සිදුවීම පැමිණිලි කර නැතැයිද කියති. මේ ආකාරයට ප්‍රබල දේශපාලනඥයන් හා ආරක්ෂක අංශයේ ප්‍රබලයන් විසින් පරීක්ෂණ කටයුතුවලට බලපෑම් කොට විමර්ශන අඩාල කරනු ඇතැයි යන සැකය නිසා අගතියට පත්ව සිටින පැමිණිලිකරුවන් වැඩිදුර නීතිමය සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදල්ද තිළිණි ප්‍රියමාලි සන්තකයේ ආයෝජනය කර ඇත. ඒ අතර ඩුබායි හා එංගලන්තයේ රුඳී සිටින ජාවාරම්කරුවන් සිටින බවද හෙළි වී ඇත. කුඩු ජාවාරමුන් සතු මුදල් උණඩියල් ක්‍රමයට මෙරටින් පිටකර ඇත්තේ කොළඹ අවට රන්බඩු සාප්පු හිමියන් කිහිප දෙනකු විසින් බවට තහවුරු වී තිබේ. ඔවුන් හරහා ජාවාරම්කරුවන්ගේ මුදල් තිළිණි ප්‍රියමාලිට ලබාදී තිබෙන බවද විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත. ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නැතත් කුඩු ජාවාරම්කරුවන් දැන් රන්බඩු සාප්පු හිමියන්ට තර්ජනය කරමින් සිටින බවට බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.

මේ අතර පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ තිළිණි ප්‍රියමාලි හමුවේ පුද්ගලයන් 100 දෙනකු හෝ ඊට වැඩියෙන් රුපියල් කෝටි ගණනක් තැන්පත් කර තිබෙන බවය. එවැනි පිරිසක් හඳුනාගෙන ඇතත් ඔවුන් කිසිවකු පැමිණිලි යොමුකර නැත්තේ එම මුදල් උපයාගත් ආකාරය සනාථ කිරීමට සාක්ෂි නොමැති නිසාය. ඔවුන් අතර ජනප්‍රිය නිළියන් දෙදෙනකු (2) හා ඉහළ දේශපාලනඥයන් දෙදෙනකු (2) සිටින බවටද වාර්තා වේ.

තිළිණි ප්‍රියමාලිට එරෙහිව සිදුකරන ලද පැමිණිලි 12 අතර අවසන් වරට පැමිණිල්ල සිදුකර තිබුණේ පසුගිය 27 වැනිදාය. ඔහු වැල්ලවත්ත ප්‍රදේශයේ ජංගම දුරකථන ව්‍යාපාරිකයෙකි. වෙළෙඳපොළේ පවතින විනිමය අනුපාතයට වඩා අඩු මුදලට ඩොලර් ලබාදෙන බව පවසා තිළිණි විසින් ඔහුව මුලාකර රුපියල් කෝටි 4 ක් වංචාකර ඇති බව පැවසේ.

එහෙත් ඔහුම නැවත රුපියල් හෝ ඩොලර් පොරොන්දු වූ පරිදි ලබාදී නැත. ව්‍යාපාරිකයාගේ බලකිරීම මත තිළිණි ප්‍රියමාලි චෙක්පත් කිහිපයක් ලබාදී තිබෙන අතර ඒවා අගරු වී ඇත. මෙසේ ලබාදුන් රුපියල් කෝටි 7 ක් වටිනා අගරු චෙක්පත් කිහිපයක් ව්‍යාපාරිකයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව වාර්තා වේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරන්නේ තිළිණි ප්‍රියමාලි වංචා සහගතව ලබාගත් මුදල් තුන්වැනි පාර්ශ්වයක සඟවා හෝ ආයෝජනය කර ඇති බවකි. ඒ පිළිබඳව සොයා විමර්ශන සිදුකරමින් පවතින මොහොතක ඊට බාධාකරන දේශපාලනඥයන්ගේ හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ බලපෑම් දිගින් දිගටම එල්ලවන බව දැන් රටට රහසක් නොවේ.

සමන්ත ප්‍රදීප් විල්තෙර

***************************************

පියයුරුවේ ගැටිත්තක් නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න – සෞඛ්‍ය අංශ

(31.10.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala)

පියයුරු පිළිකාවලට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු පමණ දෛනිකව මෙරටින් හඳුනා ගන්නා බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ
සංගමය පවසනවා.

එලෙස පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇත්තේ ඒ පිළිබඳ පරීක්ෂණ පහසුකම් පුළුල්වීම හේතුවෙන් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වනවිට පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පියයුරු පිළිකා රෝගයට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු පමණ දෛනිකව මෙරටින් හඳුනා ගැනෙනවා.

පසුගිය වසරවලට සාපේක්ෂව පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ පහසුකම් සහ අවස්ථා මේ වනවිට පුළුල් වීම හේතුවෙන් මෙලෙස පියයුරු පිළිකා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ.

එමෙන්ම බොහෝ කාන්තාවන් පියයුරු පිළිකා පරීක්ෂණ සිදුකිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වන බව ද එම වෛද්‍ය සංගමය පවසනවා.

සෑම වසරකම ඔක්තෝබර් මාසය සැලකෙන්නේ පියයුරු පිළිකා වැළැක්වීම හා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙසයි.

කාන්තාවන් වියපත්වීමත් සමඟ පියයුරු පිළිකා වැළඳීමේ ඉහළ අවදානමක් පවතින අතර, මෙම පිළිකා කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුවකළ හැකියි.

මේ අතර, යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වසර 5 ක් මුළුල්ලේ ක්‍රියාත්මක නොකිරීම නිසා ඖෂධ නියාමනය සහ රෝගී ජීවිත අනතුරේ වැටී ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ විද්වත් මණ්ඩලයක් මගින් සකස් කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකිරීමෙන් ඖෂධ නිෂ්පාදනය බෙදා හැරීම, නියාමනය ඇතුළු ඖෂධ ලබාදීමේ යාන්ත්‍රණය මුළුමණින්ම දූෂණ, වංචා සහ අක්‍රමිකතාවන්ගෙන් සමන්විත බව පෙනී යන බවයි.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීමත්, ඖෂධ නියාමන අධිකාරිය නිසි කාර්යක්ෂමතාවකින් කටයුතු නොකිරීමත් නිසා තත්ත්වයෙන් බාල ඖෂධ පවා ශ්‍රී ලංකාවට පැමිණීමට වැඩි ඉඩකඩක් පවතින බව ද එම නිවේදනයේ සඳහන්.

එම නිසා යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වහා ක්‍රියාත්මක කිරීමත්, මුහුදු තීරය ආශ්‍රිතව පවතින ඔසුසැල් හදිසි වැටලීම් මගින් තත්ත්වයෙන් බාල ඖෂධ නීත්‍යනුකූල නොවන ක්‍රමවලින් රට තුළට පැමිණ ඇතිදැයි පරීක්ෂා කිරීම ඇතුළු නියාමන යාන්ත්‍රණයක් ඖෂධ නියාමන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමය අවධාරණය කරනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *