යාල වැනසුවේ අමරවීරගේ අයියගෙ පුතා, රෝහිතගේ බෑණා හා බිත්තර ව්‍යාපාරික පුත්තු.. – පරිසරවේදී නයනක රන්වැල්ල හෙලිදරවුවක

යාල වැනසුවේ අමරවීරගේ අයියගෙ පුතා, රෝහිතගේ බෑණා හා බිත්තර ව්‍යාපාරික පුත්තු.. – පරිසරවේදී නයනක රන්වැල්ල හෙලිදරවුවක

*********************************************

යාල වැනසුවේ අමරවීරගේ අයියගෙ පුතා, රෝහිතගේ බෑණා හා බිත්තර ව්‍යාපාරික පුත්තු.. – පරිසරවේදී නයනක රන්වැල්ල හෙලිදරවුවක

(28.10.2022 – 09:20 +0530 – lankacnews.com)

යාල ජාතික වනෝද්‍යානය තුළ ජීප් රථවලින් යකා නැටුවේ මහින්ද අමරවීර අමාත්‍යවරයා ගේ සහෝදරයාගේ පුත්‍රයා සහ රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා ඇතුළු පිරිසක් බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා හෙළිකරයි.

සල්ලි වලට කරන්න දෙයක් නැති කුරුණෑගල බිත්තර ව්‍යාපාරිකයන්ගේ පුත්‍රයන් පිරිසක්ද ඒ සදහා එක්ව සිටි බව ද හෙතෙම පැවසීය.

මෙය මාධ්‍යවලට නොපවසන්නයි තමන්ද මුදලට බා ගැනීමට ඔවුන් උත්සාහ කළ බවද පැවසූ ඔහු වනජීවිය සහ පොලිසිය බිත්තර ව්‍යාපාරිකයන්ගේ මුදලට යට වූ බවද සදහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඇත්තටම වාහනවල ගිය පිරිස නොව වෙනත් පිරිසක් බවද පවසන ඔහු මෙම වැරදි වලට අවුරුදු දහයකට (10) වැඩි සිරදඬුවම් නියම කළ හැකි බව ද කියා සිටියි.

මීට පෙරද අමාත්‍ය අමරවීරගේ වාහනයට මුවෙකු හැපුණු බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ වාහනයේ කොටියෙකු හැපුනු බවත් එම සිදුවීම් වනජීවිය විසින් යටගසා ඇති බවද හෙතෙම සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

++++++++++

***************************************

තිළිණි ප්‍රියමාලිට එරෙහිව තවත් ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක්

(28.10.2022 – 07:32 +0530 – hirunews.lk/sinhala)

තිළිණි ප්‍රියමාලිගේ වංචාවට හසු වූ මොරටුව ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබෙනවා.

අදාළ පැමිණිල්ලෙන් ඔහු සඳහන් කර ඇත්තේ තිලිණි ප්‍රියමාලිට රුපියල් කෝටි හතරහමාරකට ආසන්න මුදලක් ලබාදුන් බවයි.

ජංගම දුරකථන අලෙවිකරුවෙකු වන මොහු, තවත් කාන්තාවකගේ හඳුන්වාදීම මත මෙම මුදල තිළිණි ප්‍රියමාලි වෙත ලබා දී තිබෙනවා.

මේ දක්වා තිළිණි ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි 12 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර, ඇය විසින් වංචා කර ඇති මුදල රුපියල් කෝටි 128 ක් බව මේ දක්වා සිදුකළ පරීක්ෂණවල දී අනාවරණ වී ඇති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ෴

++++++++

කමල් හසන්ගෙන් ප්‍රියමාලි ගත් රත්‍රං ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

(28.10.2022 – 21:49 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි, කමල් හසන් යන පුද්ගලයාගෙන් ලබාගත් රුපියල් කෝටියක් පමණ වටිනා රත්‍රං විකිණීමට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ලබන 02 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කසුන් පෙරේරා නමැති සැකකරු අද (28) කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන් ම අදාළ රත්‍රං තොගය මිලට ගත් බව කියන ජා ඇල ප්‍රදේශයේ පදිංචි ස්වර්ණාභරණ අලෙවිසැළක හිමිකරුවෙකු ද දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ඔහු රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් ද නියම කර තිබෙනවා.

එමෙන් ම, ඔහු මිලට ගත් බව කියන රත්‍රං කිලෝ 40 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් භාරයට ගෙන ඇති අතර රත්‍රං විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 30 ක මුදල්ද අදාළ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තුන්වන (3) සැකකරු තිකෝ කන්ස්ට්‍රක්ශන් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඔහු, තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාරගේ නිවසෙන් සොයාගත් ‘රන් ආලේප කළ යකඩ කැබලි’ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ. තමන් තිකෝ සේවකයෙකු පමණක් බව සැකකරු සඳහන් කර ඇති අතර, ඊයේ (27) ඔහු යළි ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ පෞද්ගලික ගිණුමක් හරහා තිලිණි ප්‍රියමාලි අවස්ථා 10 කට වැඩි ප්‍රමාණයක් ගණුදෙනු කර ඇති බවයි. රුපියල් මිලියන 20, 30 එලෙස තැන්පත් කර ඇති බව රහස් පොලීසිය අද (28) අධිකරණය හමුවේ කියා සිටියා.

ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ඍජුවම ප්‍රියමාලිගේ ගණුදෙනුවලට සම්බන්ධ වූ අයෙක්. රත්‍රං විකිණීම සඳහා ප්‍රියමාලි සමඟ එක්ව ඔහු ඍජුවම මැදිහත් වී ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු විදේශගතව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

+

***************************************

පැය 12 ක ජල කප්පාදුවක්

(28.10.2022 – 07:49 +0530 – hirunews.lk/sinhala)

පැය 12 ක ජල කප්පාදුවක් සිදු කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (28) රාත්‍රී 10 සිට හෙට (29) උදෑසන 10 තෙක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත් හිටවෙනු ඇති.

කොළඹ 02, 03, 04, 05, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට මෙම කාලසීමාව තුළ ජල සැපයීම නතරවන අතර, කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙනුයි ජල කප්පාදුව සිදු වන්නේ ෴

***************************************

ජාතික ගීය වෙනස් කරන්නැයි මිහින්තලේ විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක්

(28.10.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – කුරුන්දි විහාරය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව තමන්ට දැඩි සැකයක් පවතින බව ජාතික උරුමයන් සුරැකීම සඳහා වූ සංවිධාන එකමුතුව චෝදනා කරනවා.

එහි සාමාජික මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ශ්‍රී ලංකා ජාතික ගීය ආනන්ද සමරකෝන් ශූරීන් විසින් නිර්මාණය කළ අයුරින්ම ලබන වසරට යෙදෙන 75 වන ජාතික දිනයේදී ගායනා කරන ලෙස මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගෙන් ඉල්ලා සිටියා.

මිහින්තලය පූජා භූමිය අවට ඉදිකර ඇති වෙළදසැල්වලට පිවිසෙන මාර්ගය පසුගිය කාලසීමාවේදී වසා දැමීමට බලධාරින් පියවර ගැනීම පිළිබඳව ඊයේ (27) මිහින්තලයේ පැවති සාකච්ඡාවකදීයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

***************************************

බෞද්ධ උරුමය විනාශ කිරීමේ දෙමළ ඩයස්පෝරාවේ සැලසුමක් ගැන මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් හෙළිදරව්වක් – කුරුන්දි විහාරයත් බිලිගැනීමේ සූදානමක්

(27.10.2022 – 21:45 +0530 – lankaleadnews.com)

මෙරට ලිඛිත ඉතිහාසය තුළින් මෙන්ම ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාධක තුළින් ඈත අතීතයේ සිටම හදුනාගෙන තිබූ කුරුන්දි විහාරස්ථානය පිළිබදව මේවන විට රටේ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.

ඒ එක්තරා අන්තවාදී පිරිසක් විසින් කුරුන්දි විහාරයේ ඉදිකිරීම් කටයුතුවලට බාධාකරමින් එම භූමිය බලහත්කාරයෙන් අතපත්කර ගැනීමට සූදානම් වෙමින් ඇති තත්ත්වයක් නිර්මාණය වී ඇති හෙයිනි.

කුරුන්දි විහාරයේ බෞද්ධ උරුමය අහිමි කරලීමට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විශාල බලපෑමක් එල්ලවෙමින් පවතින බවත්, මේ සදහා දෙමළ ඩයස්පෝරාව හා මෙරට ඇතැම් දේශපාලන බලවතුන් සෘජු සම්බන්ධයක් ඇති බව ද ජාතික සංවිධාන විසින් පසුගිය දා හෙළිදරව් කර තිබිණි.

මෙවැනි වාතාවරණයක් තුළ කුරුන්දි විහාරයට සහ උතුරු, නැගෙනහිර දෙපළාතේ බෞද්ධ උරුමයන්ට සිදුවෙමින් පවතින මෙම විනාශයට එරෙහිව පියවර ගැනීමට ජාතික සංවිධාන එකමුතුව විසින් ‘ජාතික උරුමයන් සුරැකීම සදහා වන සංවිධාන එකමුතුව’ නමින් නව සංවිධානයක් ආරම්භ කළ බව ජාතික සංවිධාන එකමුතුව සදහන් කරයි.

එම නව සංවිධානයේ අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සදහන් කළේ කුරුන්දි විහාරය මෙරට ඉතිහාසයෙන් මකාදමා දමිළ කෝවිලක් බවට පත්කිරීමට දෙමළ ඩයස්පෝරාව ක්‍රියාකරමින් සිටින බවයි.

ඓතිහාසික බෞද්ධ උරුමයක් වූ මෙම කුරුන්දි විහාරස්ථානය තුළම හින්දු කෝවිලක් ඉදිකිරීමේ සූදානමක් පවතින බවත්, ඒ සදහා දෙමළ ඩයස්පෝරාවේ වරදාන හා වරප්‍රසාද ලබන දේශපාලකයන් පිරිසක් කූඨ උත්සායහක නිරත වී සිටින බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ හෙළිදරව් කරති.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ විෂයභාර ඇමැතිවරයා මෙම සිදුවීම නොදැක්කා සේ පසුවන බව සදහන් කරන උන්වහන්සේ, අරගලකාරී පිරිසක් විසින් මෙම විහාර භූමියේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීම නිසා මහේස්ත්‍රාත් අධිකරණය විසින් විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇත්තේ එක් පාර්ශ්වයක් ගැන පමණක් සලකා බලා යැයි ද පවසති.

ඓතිහාසික ලිඛිත හා පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් ලෙස සනාථ වූ ස්ථානයක කටයුතු වෙනුවෙන් මැදිහත්වීමට මහේස්ත්‍රාත් අධිකරණයකට නොහැකි බවත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම අධිකරණ නියෝගයට යටත්වී කුරුන්දි විහාරයේ ඉදිකිරීම් කටයුතු නතර කර ඇති බවටත් උන්වහන්සේ චෝදනා නගයි.

***************************************

දුස්සීල භික්ෂුන්ට එරෙහිව ක්‍රියාකිරීමට නව පනතක්

(28.10.2022 – 15:41 +0530 – sinhala.adaderana.lk)

දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුවී තිබේ.

එවැනි ක්‍රියා නිසා ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් ඒ අනුව ඒවා නැවැත්වීමට අමාත්‍යාංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාවයත් කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡාවී ඇත.

ඒ අනුව, භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලීසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායකහිමිවරුන් දැනුවත් කිරීමටත් සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමටද ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායකහිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව පනතක් හදුන්වාදීමටත් අපේක්ෂා කරන බව බුද්ධශාසන අමාත්‍යවරයා පැවසීය.

මේ අතර අඩු වයසින් කුල දරුවන් සසුන්ගත කිරීම පිළිබදව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා විය ෴

***************************************

28-10-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *