තිළිණි ප්‍රියමාලි වංචා කළ රත්‍රංවලින් කොටසක් ඉසුරු බණ්ඩාර ළඟ ?

තිළිණි ප්‍රියමාලි වංචා කළ රත්‍රංවලින් කොටසක් ඉසුරු බණ්ඩාර ළඟ ?

*********************************************

තිළිණි ප්‍රියමාලි වංචා කළ රත්‍රංවලින් කොටසක් ඉසුරු බණ්ඩාර ළඟ ?

(18.10.2022 – 21:24 +0530 – sinhala.adaderana.lk)

තිළිණි ප්‍රියමාලි විසින් ලබාගත් බව කියන රත්‍රං කිලෝවකට අධික ප්‍රමාණයෙන් කොටසක් සැකකාර ඉසුරු බණ්ඩාර සතුව පවතින බවට තොරතුරු අනාවරණ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට පවසා තිබේ.

තිළිණි ප්‍රියමාලි සහ ඇගේ අනියම් සැමියා බව පැවසෙන ඉසුරු බණ්ඩාර (divaina.lk)

ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ අනාවරණ කර ඇත.

ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලිගේ අනියම් සැමියා බව පැවසෙන ඉසුරු බණ්ඩාර නැමැත්තාව හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියම කළේය.

ඒ සැකකරුව අද (18) කොටුව අතිරේක මෙහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මූල්‍ය වංචා චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලිගේ අනියම් සැමියා බව පැවසෙන ඉසුරු බණ්ඩාර නැමැත්තාව ඊයේ (17) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි තිකෝ සමූහ ව්‍යාපාරය පිහිටි මහලේදී ව්‍යාපාරිකයෙකුගෙන් රත්‍රං, අමෙරිකානු ඩොලර් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් ලබාගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තිළිණි ප්‍රියමාලි ඇයගේ අනියම් සැමියා වන ඉසුරු බණ්ඩාර සමග 2019 වසරේ ෆේස්බුක් හරහා සම්බන්ධතාවනක් ගොඩනඟාගෙන ඇති බවය.

එමෙන්ම සැකකරු, තිළිණි ප්‍රියමාලි අධ්‍යක්ෂ ධූරය දරන තිකෝ සමූහ ව්‍යාපාරයේ ද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති සැකකරු අවස්ථා 8 කදී විදෙස් සංචාර සඳහා එක්වී ඇති බවත් මෙහිදී අනාවරණ වී ඇත.

ඒ අනුව සැකකාරිය විසින් අවස්ථා කිහිපයකදී ඉසුරු බණ්ඩාරට රුපියල් කෝටි 8 ක මුදලක් ලබාදී ඇති බවත් අනතුරුව ඔහු විසින් එය ඩොලර් බවට පරිවර්තනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබුණි.

තිළිණි ප්‍රියමාලී විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් අවස්ථා රැසකදී සැකකරු ද එම ස්ථානවල සිට ඇති බවත් එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ තිළිණි ප්‍රියමාලිගේ වංචා ජාලයේ මුල්පෙළ ප්‍රධාන පුද්ගලයෙකු ලෙස ඉසුරු බණ්ඩාර නැමැත්තාව හඳුනාගෙන ඇති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොටුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරුව හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළාය.

ඒ අනුව හෙට (19) දිනයේදී තිළිණි ප්‍රියමාලිව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

+++++++++++

තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර නොවැම්බර් 02 වනදා දක්වා යළි රිමාන්ඩ්

(19.10.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර නොවැම්බර් 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද (19) කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ශිලණි පෙරේරා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව යි.

බරපතල මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 06 වනදායි.

ඉන් අනතුරුව ඇය අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර ද මුල්‍ය චෝදනා සම්බන්ධයෙන් පෙරේදා (17) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවා ෴

++++++++++++++

19-10-2022

+++++++++++

තිළිණිගේ ගිණුමට මාස 6 ට රුපියල් මිලියන 3,000 ක් ! – තැන්පතු දුන්නේ කවුද ?

(19.10.2022 – 19:10 +0530 – sinhala.adaderana.lk)

දැනට බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි ගේ බැංකු ගිණුමේ තොරතුරු අනුව එම ගිණුමට 2022 ක වසරේ මුල් මාස 6 දී රුපියල් මිලියන 3,000 ක මුදලක් තැන්පත්වී තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) අධිකරණයට දැනුම් දුන්නේය.

නඩුව කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර තිළිණි ප්‍රියමාලි රක්ෂිත බන්ධනාගාර ගතවී සිටියදීත් පුද්ගලයෙකුව දුරකථනයෙන් අමතා රුපියල් ලක්ෂ 300 ක මුදලක් ඉල්ලා ඇති බවය.

මේ අතර මහා පරිමාණ මුල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි සහ ව්‍යාපාරික හවුල්කරු ඉසුරු බණ්ඩාර ලබන මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.

මහා පරිමාණ මුල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ව්‍යාපාරික හවුල්කරු ලෙස හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාරට එරෙහිව ගොනුකර ඇති නඩු 04 ක් අද (19) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

කොටුව ස්ථිර මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (19) දින අධිකරණ කටයුතුවලට සහභාගී නොවීම හේතුවෙන් නඩු කැඳවීම සිදුවූයේ වැඩබලන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේය.

එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර අද (19) දින බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට රැගෙන විත් නොතිබු අතර ඔවුන්ව නීති කෘත්‍යය සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේය.

ඒ අනුව සත්තාර් නම් ව්‍යාපාරිකයෙකු විසින් ගොනුකර ඇති පළමු පැමිණිල්ල කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක අංක 01 හි නිලධාරින් මෙතෙක් සිදුකරන ලද විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, තිළිණි ප්‍රියමාලි නම් මෙම සැකකාරිය සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල ලැබී ඇත්තේ රුපියල් මිලියන 226 කට වැඩි මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්. මීට පෙර නඩුවාරයකදී අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු 04 කට අදාළව අපි මෙම මුල්‍ය වංචාවට සම්බන්ධ ස්ථාන 04 ක් පරීක්ෂාවට ලක්කළා. වත්තල, කිරුළපන, චැතම් වීදිය සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය යන ප්‍රදේශ ආශ්‍රිත ලිපිනයන් 04 ක සිදුකළ මෙම සෝදිසි මෙහෙයුම් සඳහා සැකකාරියත් රැගෙන ගියා. ලෝක ‍වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ තිකෝ සමුහ ව්‍යාපාරයට අයත් ස්ථානය සෝදිසි කිරීමේදී පරිගණක CPU 5 ක් විමර්ශන නිලධාරින් භාරයට ගත්තත් ඒවායේ HARD DISK ඉවත් කර තිබුණා.”

එහිදී විමර්ශන නිලධාරියා සැකකාර තිළිණි ප්‍රියමාලි විසින් සිදුකර ඇති ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද කරුණු ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, මෙම සැකකාරිය Thico Gems, Thico Construction, Thico Films වැනි නාමයන් ඔස්සේ ‘තිකෝ සමුහ ව්‍යාපාරය’ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. නමුත් ස්වාමිනි මෙම ව්‍යාපාරයට ආයෝජනය කිරීමට ඇයට කිසිදු ආදායම් මාර්ගයක් තිබී නැහැ. එවැනි තත්ත්වයක මෙම සමුහ ව්‍යාපාරයේ සේවකයින්ගේ වැටුප් සහ බිල් සඳහා රුපියල් ලක්ෂ 41 ක වියදමක් මාසිකව දරා තිබෙනවා. රුපියල් ලක්ෂ 350 ක වියදමින් චිත්‍රපටයක මුහුරත් උළෙලක් පවත්වා තිබෙනවා. නොයෙක් ප්‍රසංග සහ උත්සව සඳහා යොදවා ඇති මුදල රුපියල් ලක්ෂ 55 ක්. මේ සියලු කටයුතු සඳහා යොදවා ඇත්තේ වංචා කළ මුදල්. නමුත් ඒ කිසිදු මුදලක් යෙදවීම හරහා ඇය ලාභයක් උපයා නැහැ.”

සැකකාරියගේ මුල්‍ය වංචාවන්ට හසුවූ පුද්ගලයන් සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරියා කරුණු හෙළිකළේය.

“මෙම තැනැත්තියගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන් තුළින් අනාවරණය වී තිබෙනවා.. ඇය සමග මුදල් ගනුදෙනු සිදුකළ තැනැත්තන් පිළිබඳව. ඔවුන් බහුතරයක් ප්‍රසිද්ධ පුද්ගලයන් සහ දේශපාලනඥයින්. එම තැනැත්තන් මෙම තැනැත්තිය භාරයේ විශාල වටිනාකම්වලින් යුත් මුදල් තැන්පත් කර ඇති බව කෙටි පණිවුඩ හා ‘වොයිස් මැසේජ්’ වලින් තහවුරු වෙනවා. නමුත් ස්වාමිනී, ඒ කිසිදු තැනැත්තෙක් ඒ පිළිබඳ පැමිණිලි නොකිරීම අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම ස්වාමිනි මෙම තැනැත්තියගේ බැංකු ගිණුමේ මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා රුපියල් මිලියන 3,000 ක මුදලක් තැන්පත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ සියලු මුදල් මේ වෙද්දි ගිණුමෙන් පිටතට ගෙන වියදම් කරලාත් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකළ යුතුයි. එබැවින් ස්වාමිනි, මෙම කරුණු යටතේ මෙම තැනැත්තියට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රාහයේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.”

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වු විමර්ශන නිලධාරියා සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමක් කළේය.

“ස්වාමිනි, මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබියදීත් ඇය සන්තකයේ තිබී අවස්ථා ‍02 කදී, ජංගම දුරකථන 03 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය ඇයගේම ව්‍යාපාර ආයතනයේ සේවය කරන සේවකයෙකු අමතා දුරකථන අංක කිහිපයක් ඉල්ලාගෙන තිබෙනවා. සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී අවස්ථා 11 කදී දුරකථන ඇමතුම් 22 ක් ගෙන ඇති බව මෙතෙක් සිදුකරන ලද විමර්ශන තුළින් තහවුරු වී තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙකුට ඇමතුමක් දී ඇප ගන්න කියා රුපියල් ලක්ෂ 300 ක මුදලක් ඉල්ලා තිබෙනවා. මෙම තැනැත්තිය සම්බන්ධයෙන් දැනට මහෙස්ත්‍රාත් සහ මහාධිකරණවල නඩු 07 ක් විභාගවෙනවා. ඒ වගේම රුපියල් ලක්ෂ 7,500 ක්, රුපියල් ලක්ෂ 800 ක් සහ රුපියල් ලක්ෂ 430 ක් වංචා කිරීම සම්බන්ධයෙන් නව පැමිණිලි 03 ක්ද මේ වනවිට ලැබී තිබෙනවා. එබැවින් ස්වාමිනි මෙම සංකීර්ණ විමර්ශනයට අදාළව දේපළ වසන් කිරීමට, සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන් බිය වැද්දවීමට සාක්ෂිකාරිය උත්සාහ දරා ඇති බැවින් ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

මෙහිදී අගතියට පත් පැමිණිලිකරුවෙකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාද අධිකරණයට කරුණු දැක්විය.

“ස්වාමිනි, මම මේ කරුණු දක්වන්නේ මේ විත්තිකාරිය භාරයේ රුපියල් මිලියන 226 ක් තැන්පත් කර අගතියට පත්වූ මාගේ සේවාදායකයා වෙනුවෙන්. මෙම බරපතළ මුල්‍ය වංචාව සිදුකළ ‘ශෘංගාර මූල්‍ය රැජින’ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙද්දි සාර්ථක විමර්ශනයක් ගෙන ගියත් මෙම ගනුදෙනුවලදී අතරමැදි පාර්ශ්වයක් ලෙස නම කියවෙන ‘ජානකී සිරිවර්ධන’ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැහැ. මම අහන්න කැමතියි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇයි ජානකී සිරිවර්ධන අත්අඩංගුවට නොගන්නේ කියලා. මොකද මේ වෙද්දි මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ වංචා කළ මුදල්වලට මොකද වුණේ කියන එක. අන්න ඒ මුදල්වලට වුණ දේ සොයා ගන්න පුළුවන් ජානකි සිරිවර්ධන අත්අඩංගුවට ගත්තොත්.”

අනතුරුව සැකකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාගස්හේන, රකිත රාජපක්ෂ ඇතුළු නීතිඥ මණ්ඩලයට විත්තිය වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාව හිමිවුණි.

එම කරුණු දැක්වීමට නීතිඥ දසුන් නාගස්හේන මහතා නැගී සිටිමත් සමඟ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විවෘත අධිකරණය ඉදිරියේ මෙසේ පැවසීය.

“තිළිණි වෙනුවෙන් කරුණු දක්වන්න අධිකරණ ඇමතිතුමාගේ නීතිඥ මණ්ඩලයම ඇවිල්ලා වගේ.”

එම ප්‍රකාශයට සිනවාවකින් ප්‍රතිචාර දැක්වූ නීතිඥ දසුන් නාගස්හේන මහතා සැකකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් කරුණු දැක්විය.

“ස්වාමිනි, මම මාගේ සේවාදායිකාව වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකරනවා. ඇයට එරෙහිව සිදුකරන සියලු චෝදනා ඇප ලබාදිය හැකි වැරදි. මොකද ඇය සිදුකළ සියලු ව්‍යාපාර කර තිබෙන්නේ නිත්‍යානුකූලව. ඇය ලංකා රජයට බදු ගෙවා තිබෙනවා. මේ මුදල් තැන්පත් කර තිබෙන සියලු දෙනා සාමාන්‍ය පුද්ගලයින් නෙමේ. මම අහන්න කැමති රුපියල් මිලියන 226 ක් වැනි අතිවිශාල මුදලක් තැන්පත් කරද්දි ඇයි මාගේ සේවාදායිකාවගේ ව්‍යාපාරවල නිත්‍යානුකූලභාවය සෙව්වේ නැත්තේ කියලා. ඒ වගේම මම යෝජනා කරනවා මේ මුදල් තැන්පත් කළ පුද්ගලයිනුත් ඒ මුදල් ඉපයූ ආකාරය සොයන්න කියලා. එම මුදල් ඉපයීම් නිත්‍යානුකූලද නැතහොත් ඒවා කලු සල්ලිද කියන එක අපිත් දැනගන්න කැමති.”

අනතුරුව අබ්දුල් හසන් කමල් හසන් නැමැත්තා විසින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවු අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කරුණු දැක්විය.

“ස්වාමිනි මෙම නඩුව පැමිණිලිකරු ගොනුකර ඇත්තේ අමෙරිකානු ඩොලර් 60,000 ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් සහ රත්තරන් කිලෝග්‍රෑම් 1 ක් වංචා කිරීම සම්බන්ධයෙන් ඉසුරු බණ්ඩාර නැමැත්තාට එරෙහිවයි. ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා පළමු සැකකාරියගේ ව්‍යාපාරවල අධ්‍යක්ෂකවරයෙකු ලෙස දෙවන සැකකාර ඉසුරු බණ්ඩාර නැමැත්තා කටයුතු කර ඇති බව. සැකකරුගේ එක් බැංකු ගිණුමක තිබී රුපියල් මිලියන 10 ක මුදලක් මේ වනවිට සොයාගෙන තිබෙනවා. එමෙන්ම තවත් මුදල් සොයා විමර්ශන ක්‍රියාත්මකයි. ඒ වගේමයි වංචා කරන ලද රත්තරන් ස්වර්ණාභරණ අලෙවිසැලකට අලෙවිකර ඇති බවට ලැබී ඇති තොරතුරක් ඔස්සේ මේ වනවිට විමර්ශන සිදුකරනවා.”

අධිකරණය ඉදිරියේ ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ වැඩබලන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය සැකකරුවන් වෙනුවෙන් සිදුකළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සැකකාර තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යන දෙදෙනාවම නොවැම්බර් 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

+++++++++++

19-10-2022

+

***************************************

පියවර 10,000 ක් ඇවිදීමෙන් ඩිමෙන්ෂියා අවදානම පහළට

(18.10.2022 – ada.lk)

දිනකට පියවර 10,000 ක් ඇවිදීමෙන් මිනිසුන්ට ඩිමෙන්ෂියාව වැලඳීමේ සම්භාවිතාව 50% කින් අඩුකර ගත හැකි බව නව අධ්‍යයනයකින් අනාවරණය වෙයි.

නිතිපතා ව්‍යායාම කිරීම ශාරීරිකව සහ මානසිකව එහි සර්ව සම්පූර්ණ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා ප්‍රකට කරුණකි. නමුත් දැන් ප්‍රථම වතාවට උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පුද්ගලයෙකු දිනකට කොපමණ පියවර ප්‍රමාණයක් ඇවිද යා යුතුද යන්න මෙහිදී ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම අධ්‍යයනය සඳහා වැඩිහිටියන් 78,500 ක් (වයස අවුරුදු 40 සිට 79 දක්වා) සම්බන්ධ කරගෙන තිබුණි. එය මිනිසුන්ගේ ඇවිදීම සහ සෞඛ්‍ය ප්‍රතිලාභ අතර සම්බන්ධතාව සොයා බලන විශාලතම අත්හදා බැලීම බවට පත් විය.

දිනකට පියවර 10,000 ක් ඇවිදීමෙන් ඩිමෙන්ෂියාව, හෘද රෝග, පිළිකා සහ මරණ අවදානම අඩු බව සිඩ්නි සහ දකුණු ඩෙන්මාර්කයේ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් අනාවරණය කළේය. එහිදී වේගවත් පියවර ගැනීම වැදගත් බවද සඳහන් විය.

ඒ අනුව යම් අයෙකු පියවර 9,800 ක් ඇවිද ගියහොත් ඔවුන් ඩිමෙන්ෂියාව වැළඳීමේ අවදානම 50% කින් අඩු කරන අතර, 3,800 ක් වැනි සුළු ප්‍රමාණයක් ගැනීමෙන් අවස්ථා 25% කින් අඩු වේ ෴

***************************************

වාහන ජාවාරමක් ගැන හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධනගේ බෑණා සොයා පොලිස් පරීක්ෂණ

(19.10.2022 – gossiplankanews.com)

අළෙවියෙන් පසු මුදල් දෙන බව පවසමින් වාහන ලබාගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟව සිටින බව කියන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියනියක විවාහ කරගෙන සිටින ‘බෑණන්ඩිය‘ යැයි කියන පුද්ගලයෙකු සොයා මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔහුගේ පියාද මහනුවර ප්‍රධාන පෙළේ වාහන අළෙවි සැල් හිමිකරුවෙකු බව පැවසේ. එකී පියාණන් මින් මාස දෙකකට පෙර වැඩි මිලට ඩීසල් අලෙවි කිරීමේ වරදකට පොලිස් අත්අඩංගුවට පත් වී ඇතැයි වාර්තා පළවේ.

මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් මහයියාව ප්‍රදේශයේ කළක පටන් වාහන අලෙවිසලක් පවත්වාගෙන යන මොවුන්
විකිණූ පසු මුදල් ගෙවන පදනමින් රට පුරා විවිධ පුද්ගලයින්ගේ වාහන රැගෙන පුද්ගලයින් රවටමින් මෙසේ වාහන අලෙවි කර ඇතැයි පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

තම වාහනය අලෙවි කර මුදල් ලබා නුදුන් බව පවසමින් මුල්ම පැමිණිල්ල කර ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
ඒ ගැන විබාග කරන්නට බලද්දී සැකකරු අතුරුදන්ව තිබේ.

සැකකරුගේ පියාගෙන් පොලිසිය මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර තම පුතු සිටින ප්‍රදේශයක් නොදන්නා බව ඔහු පොලිසියට පවසා ඇත.
මහයියාව වාහන අලෙවි සැලේ ගාල්කර තබා කොමිස් මුදලක් තබාගෙන වාහනය විකුණා මුදල් දෙන බව පවසමින් මෙම පුද්ගලයා දිවයිනේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ම වාහන ලබාගෙන තිබෙන අතර මෙලෙස ලබාගත් තම වාහන විකුනා ඇතත් විකිණීමෙන් ලද මුදල ලබා නොදුන් බවට පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සැකකරුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මහනුවර පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උවින්දසිරි මහතාගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී ෴

***************************************

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පින්වත් විජිත හේරත් උතුමාණන්වහන්සේගේ වාසනාවන්ත දෑතින් චෛත්‍යයක කොතක් නිරාවරණය කරද්දී එම කොත කැඩී බිමට ඇද වැටේ …

(20.10.2022 – 00:02 +0530 – lankacnews.com)

= විජිත හේරත් චෛත්‍යයක කොතක් නිරාවරණය කරද්දී කොත කැඩී බිමට ඇද වැටේ… =

ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් චෛත්‍යයක කොතක් නිරාවරණය කරන අවස්ථාවේ එම කොත කඩාවැටීමේ සිදුවීමක් ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම උත්සවය පැවැත් වී ඇත්තේ ගාල්ල බද්දේගම ඉහළ කිහිඹිය පුෂ්පගිරි විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුනු චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම සදහාය.

විජිත හේරත් මහතා විසින් එම කොත්වහන්සේ නිරාවරණය කිරීමට සූදානම් වෙද්දී එය ගැලවී බිම ඇදවැටීම පහත වීඩියෝවේ දැක්වේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *